Skip links

කාක තර්ජිත හිස (දෙමළ කෙටිකතාව)

“ඉතාමත් පුදුම සහගත දෙය නම් ඔහු ඒ දැරිය ඉදිරියේ කපුටන්ට විරෝධය පෑමට එකදු අසැබි වදනක් පිට නො කිරීමය. ඒ කොලු කුරුට්ටන් ලුහුබඳිමින් දුවන්නට ද ඔහුට ධෛර්යයක් නොතිබුණි. ගොළුවකු සේ ඒ දැරිය සමග ද නොදොඩා ඇගේ නිවස වෙත ඇය ඉතා ප්‍රවේශම් සහිතව ගෙන ගොස් භාර දුන්නේය. ඔහු ගමේ සියලුදෙනා හොඳින් හඳුනාගත්තේ එදින සිටය.”

කපුටන් සෑම විට ම ඉලක්ක කළේ ඔහුගේ හිසයි. අවශ්‍ය වන්නේ ඔහු දිවා කාලයේ එළියට පැමිණීම පමණි. මාර්ගයේ විදුලි රැහැන්, දුරකථන රැහැන්, වැට මායිමේ සූරියා ගස්, නිවෙස්වල වහල, මාළු කඩ ආදී වශයෙන් විවිධ ස්ථානවල වසා බලා සිටින කපුටු රංචු හෝ තනි කපුටෙක් හෝ ඔහුගේ හිසට ඉලක්කය අල්ලා ඉගිල විත් කොටා යති. එක් වරක් කොටා ගිය කපුටෙකු ඔහු එළිමහනේ ඇවිද නිවෙසට යන තුරු නැවත කොටන්නේ නැත. ලුහුබඳින්නේ ද නැත. ඔහු නිවෙසට ඇතුළු වී සිට යළි එළියට එන අවස්ථාවේ දී පැමිණ හිසට කොටා ඉගිලෙති. ඔහු ඒ පිළිබඳ සැලකිලිමත් වී සිටියේය. වරක් ගෙල පෙදෙසේ පියාපත් සහිත, මඳක් අළු පැහැය මුසු කපුටෙක් එසේ කළේය. සියලු කපුටන් කරන්නේ එසේ යැයි එදා සිට ඔහු වටහා ගත්තේය. එකිනෙකා තම තමන්ගේ වාරය බලා පැමිණ කොටති’යි ඔහු සැක කළේය.

කපුටෙකු විත් කොටා යළි ඉගිල යන විට ඔහු කුඩා කල සිට ඉගෙනගෙන තිබූ අසභ්‍ය වචන පිට කරන ආකාරය ද දැකගත හැකිය. එය ‘ඕම්කාරය’ වැනි හඬකි. පාර පුරා රැව් දෙයි. හිසට කොටා යෑමෙන් ඇති වූ වේදනාව පහව යනතුරු ම ඉතා පහත් පෙළේ සියලු අසැබි වදන් ඔහු මුවින් පිට වී කපුටන් කරා ඇදී යන්නේය. ඔහු මෙසේ පාරේ යනෙන විට වැඩිහිටියෝ තනිව ම දොස් තබමින්, ඔහුගේ අසැබි වදන් තම නිවෙස් තුළට ඇතුළු වීම වළක්වා ගැනීම සඳහා තම තමන්ගේ නිවෙස්වල දොර ජනෙල් වසා තබති. ඔහුගේ හිසට කපුටන් කොටා යනු දැකීම ප්‍රදේශයේ පොඩි උන්ට මහත් විනෝදාස්වාදයක් ගෙන දුන් අතර, ඔහුගේ මුවින් පිටවන වදන් තුළින් ඔහු තව තවත් ව්‍යාකූලත්වයට පත්වෙනු දැකිය හැකි විය. සියලු කපුටන් කොටා ඉගිල ගිය පසු උන්ට දොස් තබමින් ම විවේක ගනිමින් හිස පිරිමදිනයුරු දැකගත හැකි ය. ඔහු තම හිස පිරිමදින ලද අතැඟිලිවල රතු පැහැයෙන් ලේ තැවරී තිබේදැයි බලමින් එන විට කොළු කුරුට්ටෝ කපුටන් සේ ‘කාක්— කාක්—’ යි හඬ නඟා දුවති. ඔහු කොර ගසමින් කොල්ලන් ලුහුබඳින්නට දුවයි. ඔහු දුවන විට ගෙම්බකුගේ පැනීමත්, කකුළුවකුගේ ගමනත් සිහියට නැගෙයි.

නිසි අයුරින් දුවන්නට නො හැකි සේ ඔහුගේ දණහිස් දෙක ම උපතින් ම විකෘති වී තිබුණි. එසේ ම ඔහු ඉතා කෘෂ ය. නිසි පෝෂණයෙන් තොර වීම නිසා ඔහුගේ මුහුණ ද වැහැරුණු ස්වභාවයකින් යුක්ත වූ මුත් දරුවකුගේ පෙනුමෙන් යුක්ත විය. දිගු ඇහි බැම සහිත හීනි ඇස් පව්කාර පෙනුමක් ගෙන දුන්නේ ය. සම කළු හෝ තලෙලු පැහැයක් නො ගත් අතර රතු පැහැතිත් නොවේ. සුදු කඩදහියක රතු පැහැ දුහුවිලි තැවරුණාක් වැනි ය. ඔහු මිටි ය. කොර වූ කකුල් ඔහු තවත් මිටි කර පායි. කිසි විටෙක ඔහුට ඒ එක කොල්ලෙකුවත් අල්ලා ගැනීමට හැකි වන්නේ නැත.

සාමාන්‍යයෙන් ඔහු කිසිවෙකු සමගවත් කතා නො කරයි. කුමන කොතරම් දක්‍ෂයෙකුට වුවත් ඔහුගේ මුවින් පිටවන වදන් පැහැදිලිව වටහා ගත නො හැක. ඕනෑම ප්‍රශ්නයකට ‘ඔව්, නෑ’ යන එකඟත්වය පෑම ඔහුගේ සිරිතයි. නැතහොත් විරුද්ධත්වය පෑමට හිස වැනීම සිදුකරයි. දැඩිව අවධාරණය කිරීමට නම් අත්වලින් ද සංඥා කරයි.

අනිත් අය අදහස් විකෘති කරමින් කතාකරන සෑම වචනයක ම අරුත ඔහු හොඳින් දැන සිටියේ ය. තමන් කෙරෙන් පිටව සුළඟකට හසුව ගසාගෙන යාවි යැයි සිතාදෝ ඔහු තුළ වදන් පිටකිරීමට බියක් තිබුණි. ඇතැම් විට ඔහු තුළ පිරී තිබෙන වදන් සියල්ල පිටතට ගැනීමට කපුටන් සංවිධානය වී පැමිණ හිසට කොටා යළි ඉගිල යනවාවත්ද? ගුවන් විදුලි යන්ත්‍රයට එහි මුදුණෙහි බොත්තමක් තිබේ. එය එබූ විට යන්ත්‍රය කතා කරයි. හඬ මතුවෙයි- ගී ගයයි. ඒ ආකාරයට ඔහුගේ කතා පෙට්ටියේ ද බොත්තම තිබෙන්නේ හිස මුදුණේ බැවින් එය කතා කරන්නේ කපුටන් පැමිණ ඔබා ගිය විට යැයි කතාන්දර නිර්මාණය කර පවසමින් මව්වරු තම දරුවන්ට කෑම කැවූහ.

ඔහු අනාථයෙකු යැයි ගමේ සියලු දෙනා කතා වූහ. කොහේදෝ සිට පැමිණි ඔහු එම ගමේ බොහෝ කලක සිට ජීවත්වන්නෙකි. කපුටන් තමන් ලුහුබඳිමින් කොටන බව දැනගත් දිනයේ පටන් ඔහු දිවා කාලයේ දී එළියට ඒමට පැකිලුණේ ය. දිවා කාලයේ එළියට බහින්නේ ඉතා වැදගත් අවශ්‍යතාවයක් තිබුණහොත් පමණි. ඔහු එම ගමේ ලොකු හෝටල් හිමිකරුවකුගේ හෝටලයක සේවය කළේ ය. ඒ හෝටල් හිමියා ඔහුට ජීවත්වීම සඳහා හෝටලයට ආසන්නයෙන් ම කුඩා පැල්පතක් ඉදිකර ගැනීමට අවසර දුන්නේ ය. ඔහු ජීවත්වූයේ එහි ය. වතුර කලයක්, ඇලුමිනියම් පිඟන් දෙකක්, කේතලයක්, වතුර බොන ජොග්ගුවක්, බූරු ඇඳක්, කොට්ටයක්, සුදු සරම් දෙකක්, ඉදිරිපස සාක්කු දෙකක් සහිත අත් කොට සුදු කමිස දෙකක් යනාදී ඔහු සතු දේපළින් ඒ පැල්පත පිරී තිබුණි. ඊළඟ දිනයේ උදෑසන හෝටලයේ අලෙවි කරන රොටී සඳහා රාත්‍රියේ පිටි පදම් කර පිළියෙල කිරීම ඔහුගේ කාර්යයයි. කපුටන්ට බියෙන් උන් සියල්ල කූඩු කරා ගිය පසු රාත්‍රි කාලයේ ඔහු දොළට ගොස් නාගෙන එන්නේය. පසුව හෝටලයට ගොස් දවල්ට උයා ඉතිරි තිබෙන කෑම කා, රොටී පිළියෙල කිරීම අරඹයි. වැඩ නිමා වූ අලුයම් කාලයේ රොටී කිහිපයක් උදේ සහ දිවා ආහාරය සඳහා පාර්සලයකට දමා රැගෙන තම පැල්පතට පැමිණි පසු සැන්දෑ යාමය වනතුරු ම කරන කාර්යය වන්නේ නිදාගැනීමයි. කෑමට සහ බීමට පමණක් අවදි වන ඔහු යළි නිදාගනියි.

කිසියම් අවස්ථාවක හෝටල් හිමිකරු වැදගත් අවශ්‍යතාවයක් සඳහා කැඳවුවහොත් පමණක් ඔහු පිටතට පැමිණෙයි. වරක් හෝටල් හිමිකරු එසේ ඔහුව කැඳවා තම නිවසට දර පලා දෙන ලෙස ඔහුට පැවරුවේය. මග දිගට ලුහුබඳිමින් කොටන කපුටනුත්, හෝටල් හිමියාගේ නිවස ඉදිරිපිට අඹ ගසේ වසා සිටින කපුටනුත් සියල්ල එක් වී දර පලමින් සිටි ඔහුගේ හිසට කොටන්නට වූ බැවින් ඔහුගේ ඩහදිය සමග මුසු වී ලේ බිඳු ද නළල ඔස්සේ රේඛාවක් සේ ගලා හැලුණේය. අසැබි වදන් උස් හඬින් ඔහුගේ මුව ඔස්සේ පිටවිය. නිවසේ සිටි තරුණියෝ ජනේලයෙන් විස්මිතව බලා සිටියෝය. හෝටල් හිමියාගේ මහළු මව ඔහුට දර පැලීම නතර කරන ලෙස දන්වා ඔහුගේ නිවසට පිටත් කර හැරියාය. ඔහු කුඩා වියේ දී පැටව් සිටි කපුටු කූඩුවක් දෑතින් කඩා බිඳ දමා ඇති බවත්, ඒ සඳහා කපුටන් සෑම විට ම ඔහුගෙන් පළිගන්නා බවත් මැහැල්ල ඒ තරුණියන් සමග පැවසුවා ය. එය ඔහුට කපුටන් කෙටීම සම්බන්ධයෙන් ගම පුරා පැතිර තිබූ කට කතාවකි. ඔහු පිටව යන අතරේ දී කලින් ඔහුට කොටා සන්සුන්ව සිටි එකදු කපුටෙකුවත් ඔහුට කෙටුවේ නැත. ලුහුබැන්දේ ද නැත. ඔහු සන්සුන් ලීලාවෙන් පැල්පතට පැමිණියේය. හිස පිරිමදිමින් ම නින්දට ගියේය.

කිසියම් කාර්යයන් සඳහා හෝටලයෙන් පිටතට යැවීමට අයෙකු නොමැති අවස්ථාවල දී හොටල් හිමියා විසින් මාළු මිල දී ගැනීම සඳහා යවනු ලබන්නේ ද ඔහු ය. ඒ නිසා ඔහුට තමන්ගේ රැකියාව පවා ඉතා අප්‍රසන්න කාර්යයක් වී තිබුණි. මාළු කඩය අසල නිතර ම රැස්ව සිටින කපුටන් සිහි වී ඔහු බිය වූයේ ය. මාළුවල ඉවත් කරන කොටස් ඇහිඳ කා පුරුදුව සිටි උන්ගේ හොට ඉතා තියුණු යැයි ඔහුට හැඟී තිබුණි. ඔහු දකිත් ම හොටයේ රඳවා ගෙන තිබෙන කෑම කැබැල්ල ඉවත දමන කපුටෝ කිසියම් වගකීමක් ඉටු කිරීමට මෙන් ඔහුගේ හිසට කොටා ඉගිල යති. පොළට පැමිණ සිටින, ඔහුව නො හඳුනන බොහෝ දෙනා අරුම පුදුම සතකු දෙස බලන්නාක් සේ ඔහු දෙස බලති. ඉනේ දරුවන් රුවාගෙන සිටින මව්වරු තම දරුවන්ට හාස්‍යජනක දර්ශනයක් පෙන්වන්නාක් සේ ඔහුව පෑවෝය. පොළේ තිබෙන අමුතු, විනෝදාත්මක උපකරණයක් නරඹන්නා සේ ඒ දරුවෝ දෑස් ලොකු කර, කට ඇරගෙන, සිනාසෙමින් ඔහු දෙස බලා ආස්වාදයක් ලබති.

මෙසේ වරක් ඔහු පොළේ සිට මාළු රැගෙන එන අතරේ පාසැල් නිල ඇඳුමින් සිටි දැරියක් සියඹලා ගස් කැළෑවේ තනියම අඬමින් සිටිනු නෙත ගැටුණි. කෙළත්, සොටුත්, කඳුළුත් ගලද්දී සියඹලා කරල් දෙකක් ද අතැතිව ඒ පාළු කැළෑ බිමේ ඇය තනිව සිටින අයුරු ඔහු දුටුවේය. මදක් සමීපයට ගොස් අතින් සංඥා කර ‘මොකද?’ යි විමසීය. කිසිවකුත් නොමැති කැළෑවක, සුදු ඇඳුම් ඇඳ, දෙපා වකුටු මිට්ටකු වූ මොහු දකිත් ම මුලින් බියපත් වූ දැරිය පසුව තමන් සියඹලා කැඩීමට පැමිණ පාර වැරදුණ බව පවසා ඉකි ගසමින් හැඬුවාය. ඇය කැඳවාගෙන නැවතත් පොළ දෙසට යන පාරේ පැමිණ, අල්ලපු ගමට යන පාරේ පිහිටි ඇගේ නිවසට ඇයව ඇරලූවේය. ඒ අතරේ සියඹලා ගසේ සිටි කපුටෙක් ඔහුගේ හිසට කොටා ඉගිල ගියේය. ඒ පාරේ සිටි කපුටෝ දෙතුන් දෙනෙක් ද එසේ හිසට කොටා ඉගිල ගියහ. කපුටන් පියාඹා එන ‘ෂ්— ෂ්—’ හඬ ඇසුණු සෑම විටක දී ම දැරිය ඉකි ගසමින් හැරී, ඒ කපුටන් දෙස බියපත්ව බලා සිටියාය. ඇතැම් දරුවෝ ‘කාක්— කාක්—’ යි හඬ නගා දිවූහ.

ඉතාමත් පුදුම සහගත දෙය නම් ඔහු ඒ දැරිය ඉදිරියේ කපුටන්ට විරෝධය පෑමට එකදු අසැබි වදනක් පිට නො කිරීමය. ඒ කොලු කුරුට්ටන් ලුහුබඳිමින් දුවන්නට ද ඔහුට ධෛර්යයක් නොතිබුණි. ගොළුවකු සේ ඒ දැරිය සමග ද නොදොඩා ඇගේ නිවස වෙත ඇය ඉතා ප්‍රවේශම් සහිතව ගෙන ගොස් භාර දුන්නේය. ඔහු ගමේ සියලුදෙනා හොඳින් හඳුනාගත්තේ එදින සිටය. ඒ පුවත ගම පුරා පැතිරී ගියේ ය..‘කපුටු කොල්ලා’ යැයි ගමේ සියලු දෙනාගෙන් ගැරහුම් ලද ඔහු දැරිය ප්‍රවේශමෙන් රැගෙන විත් භාරදුන් පුවත ප්‍රචාරය වීමත් සමග ගම්මුන්ගේ ප්‍රශංසාවට ලක්වූයේය.

එදා සිට ගම තුළ දී ඔහු දකින ඇතැම්හු ඔහුගෙන් සුවදුක් විචාරති. පිළිතුරු කිසිවක් නො ලැබුණත් ඇතැම්හු ඔහු කපුටන්ගෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා උපක්‍රම යොදති. ගෙයින් එළියට බසින විට හිස්වැසුමක් පැළඳ හෝ කපුටන් බියවන ආකාරයේ දිළිසෙන නළල් පටියක් ගැටගසා ගෙන හෝ  එන්නැයි ඔහුට උපදෙස් දෙත. ඇතැමෙක් කොස් කට්ටක් සේ ඉහළට උල් වී වැඩී තිබූ ඔහුගේ හිසකෙස් සියල්ල ම ඉවත් කර බූගාන ලෙසත්, නැතහොත් දිගට කොණ්ඩය වවන ලෙසත් කියා සිටිති.  තවත් ඇතැමෙක් මෙය හූනියමක් යැයි පවසා තමන් දන්නා කට්ටඩියන් ගැන දැනුම් දී, ඔවුන් ලවා සුරයක් ජීවම් කර පැළඳගන්නැයි ද උපදෙස් දෙති.  ඔහු මුවින් කිසිත් නො කියා හිස වනා එය පිළිගත් බව හඟවයි. ඊළඟ දිනයේ  දහවල් එළියට එන විට ඔහු ඔවුන් පැවසූ දේ ක්‍රියාවට නගන්නට සිතුවේය. කිසිවකින් නො නැවතුණු කපුටෝ ඔහුගේ පසුපසින් පැමිණ තොප්පියට කොටා ඉගිල ගියහ. එක් වරක් කෙටූ කපුටෝ ද නැවත නැවතත් පැමිණ ඔහු වටා කැරකෙමින් නැවත නැවතත් කෙටූහ. රැස් වී සිටිමින් අඛණ්ඩව කෙටූහ. එකෙනෙහි ම ඔහු උස් හඬින් අසැබි වචන පිට කරමින් තොප්පියත්, නළල් පටියත්, ගෙලෙහි ගැටගසා තිබූ කළු පැහැති සුරයත් ගලවා වීසි කළේය.

එක් රැයක ඔහු රොටී පිළියෙල කිරීම සඳහා හෝටලයට නො පැමිණීම නිසා ඔහු ගැන සොයන්නට හෝටල් හිමිකරු පුද්ගලයකු යැව්වේ ය. ඒ පුද්ගලයා ඔහුගේ පැල්පත විවෘත කර සොයා බැලුවේය. වතුර කලයත්, පෙර තිබූ ඇඳුම් ටිකත් දක්නට නො ලැබීම නිසා ඔහු ගම හැර දා කොහේ හෝ යන්නට ඇතැයි අනුමාන කර පැමිණ ඒ බව කියා සිටියේය. ඔහු සොයන්නට වෙහෙසුණු අය දවසක් දෙකක් ඉවසා බලමු යි පැවසූහ. හෝටලයේ රොටී පිළියෙල කිරීමේ වගකීම, එය භාරගැනීමට ආසාවෙන් බලා සිටි, රැකියාවක් සොයමින් සිටි අයෙකුට දෙන ලදී. ඊළඟ දිනයේ උදෑසන දිය නෑමට ගිය ඒ ගමේ වින්නඹු මැහැල්ල ඉවුරු දෑලේ ගල් තලාවක ලිස්සා ඇද වැටී, හිස පැලී, මිය ගොස් සිටි ඔහුගේ සිරුර දැක විලාප නැගුවාය. ගං ඉවුරේ වූ කුඹුක් ගසේත්, අනෙකුත් සියලු ගස්වලත් කළු පැහැති පොකුරු මෙන් කපුටෝ ඒ සිරුර වටා කරව් කරමින් සිටියහ. ඔහු නැගිට්ටේ නැත- එහෙත් ඒ ගමේ සිටි කපුටෝ සියල්ල එකට එක් වී කණ්ඩායමක් ලෙස ඔහු දෙස බලමින් කරව් කළහ. ගොදුරු සොයා යාමෙන් වැළකී, ඒ සිරුර ඉවත් කරන තුරු එහි ම සිටිය හ. මින් පසු ඔහුගේ ගුවන් විදුලියේ බොත්තම ඔබා හඬ නැංවීම කළ නො හැකි බැව් දැනගෙන දෝ උන් ඔහුට කෙටුවේ නැත. ලුහුබැන්දේ ද නැත.

– එම්. රිෂාන් ෂෙරිෆ්

දෙමළ බසින් ලියැවුණු කෙටි කතාවේ සිංහල පරිවර්තනය
ජී. ජී. සරත් ආනන්ද

 

රිෂාන් ෂෙරීෆ් – කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ලේ උපන් රිෂාන් ෂෙරීෆ් මාවනැල්ල බදුරියා මධ්‍ය මහා විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය ලැබුවේය. පාසැල් වියේ පටන් සාහිත්‍යය කෙරෙහි ඇල්මක් දැක්වූ ඔහු ජනමාධ්‍යකරණය, ඡායාරූපකරණය, කෙටිකතාව, කවිය, පරිවර්තනය ආදී ක්‍ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සිය ලේඛන ප්‍රතිභාව ප්‍රකට කර ඇත. සිංහල බසින් පළවූ කෘති ගණනාවක් දෙමළ බසට පරිවර්තනය කර ඇති රිෂාන් විල්දළින් නිළල් නමින් ස්වතන්ත්‍ර කාව්‍ය සංග්‍රහයක් මේ වන විට එළි දක්වා තිබේ.
ඔහු විසින් ලියන ලද මෙම ස්වතන්ත්‍ර කෙටිකතාව 2011 වසරේ ඉන්දියාවේ ‘වම්සි’ ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර කෙටිකතා තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත් නිර්මාණයයි.

Leave a comment

This website uses cookies to improve your web experience.