Skip links

“ප්‍රබන්ධ රචනය යනු චරිතවල ආත්මයට ඇතුළු වීමයි”

“සාහිත්‍ය වැඩවලට මම ජනමාධ්‍යවේදිනියක් ලෙස වැඩ කිරීම ලොකු පිටිවහලක් වුණා. පාඨකයාගේ අවධානය ඇද ගන්නා ආකාරයෙන් භාෂාව සකසුරුවම් ලෙස හැසිරවීමට මම ඉගෙන ගත්තේ ජනමාධ්‍ය තුළින්. කිසියම් කාර්යයකට පර්යේෂණ කරන ආකාරයත් මම ඉගෙන ගත්තේ ජනමාධ්‍යවේදිනියක ලෙස ක්‍රියාකාරි වීම හරහා. ඒවගේම මම ඉගෙන ගත් තවත් දෙයක් තමයි කිසියම් පීඩනයකට යටත්ව වැඩ කිරීම. මේ කාලේ බොහොමයක් ලේඛකයන් තමන් පිළිබඳ විනයක් පවත්වාගෙන යන්න අසමත් වෙලා තියෙනවා. එයාලා තමන්ට බොහොම ලොකු නිදහසක් දෙමින් වැඩ කරනවා. සමහරවිට පොතක් ලියන්න අවුරුදු ගාණක් ගත කරනවා. ඒත් ජනමාධ්‍යය මට ඉගැන්නුවා, ලිවීමේ කාර්යය පටන් ගැනීමට කිසියම් නිශ්චිත දිනයක්  යොදා ගැනීම වගේම දිනකට හැකිතරම් පැය ගණනක් වැඩ කළ යුතුයි යන අදිටන තුළින් තමන්ව හික්මවාගන්නෙ කොහොමද කියන එක.” — ඉසබෙල් අයියන්දේ

අසූ එක් වියැති චිලියානු ලේඛිකා ඉසබෙල් අයියන්දේ නම් කෘතහස්ත සාහිත්‍යවේදිනිය හෝ ඇයගේ කෘති පිළිබඳව  විශේෂයෙන් හඳුන්වා දීම දැන් එතරම් ම අවශ්‍ය නැත. ලොව පුරා වෙසෙන සාහිත්‍යලෝලීහු සියලු දෙනාම පාහේ ඇයව හොඳින් හඳුනති. වසර හතළිහක් පමණ වෙන ඇයගේ සාහිත්‍ය දිවිය තුළ, මේ වන විට ඇය ලියූ කෘති විසි පහකට අධික ගණනක් වෙනත් භාෂා හතළිහක්ට පමණ පරිවර්තනය වී, ලොව පුරා ඒවායේ පිටපත් මිලියන හැත්තෑවකට වැඩි ප්‍රමාණයක් අලෙවි වී ඇත.

වසර විස්සක් පුරා ඇය දිවි ගෙවන ඇමරිකා එක්සත්ජනපදයේ සැන් ‍ෆ්‍රැන්සිස්කෝ හී පිහිටි ඇයගේ නිවසේ පහත මාලයේ, මේ වන විට 2023 වසරේ ජූනි මස 06 වැනිදා නිකුත් වූ ඇයගේ අලුත්ම කෘතිය වන The Wind Knows My Name පිටපත්වලින් පිරී ඇත. ඇය දැන් සෑම මාස දහඅටකටම වරක් විශාල පරිඝණක තිරයක් ඉදිරියේ  හිඳගෙන පොතක් ලියා අවසන් කරන්නීය. ඇයගේ පරිඝණකය අසල, වයස අවුරුදු විසි අටේදී සිය ජිවිතයෙන් සමුගත් ඇයගේ දියණිය වන පෝලාගේ පින්තූරයකි. ලියන මේසය පිටුපස ඇති අනෙක් පින්තූර අතර ඇයගේ දෙමව්පියන්, දරුවන්, මුණුබුරන් සේම බැරක් ඔබාමා සහ චිලියේ වර්තමාන ජනාධිපති ග්‍රාබියෙල් බොරිච්ගේ ද සේයාරූ දැකිය හැකිය.

ඇයගේ අලුත්ම ප්‍රබන්ධය, The Wind Knows My Name කෘතිය ආරම්භ වන්නේ 1938 නොවැම්බර් මස ඔස්ට්‍රියාවේ සිදු වුණු  යුදෙව් ජන සංහාරයට සම්බන්ධ සිදුවීම්වලින් වන අතර ඉන් පසුව කතාවට පසුබිම සපයන්නේ, 1980 වසරේ එල්සැල්වදෝරයේ හමුදාව විසින් දියත් කළ ගොවි ජන ඝාතනය සම්බන්ධ සිදුවීම් විසිනි. අවසානයේ ඇය ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන කාලයේ ඇමරිකානු එක්සත් ජනපදයේ දේශසීමා අසලදි ක්‍රියාත්මක වුණු, සංක්‍රමණික පවුල්වල දරුවන් දෙමව්පියන්ගෙන් වෙන් කිරීමේ කෘර ප්‍රතිපත්ති වෙත විවේචනාත්මක බැලමක් හෙලයි.

පහතින් දැක්වෙන්නේ ඉසබෙල් අයියන්දේ  සමඟ කරන ලද සම්මුඛ සාකච්ජා කිහිපයක් ඇසුරින් සකස් කරන ලද සංවාද සටහනකි.

ඔබට The Wind Knows My Name ලීවීමට නිර්මාණාත්මක ආවේශය ලැබුණේ  කොහොමද?

මීට අවුරුද්දකට පමණ ඉහතදී තමයි මේ තේමාව ගැන මට ලියන්න උවමනාය කියන අදහස මතු වුණේ. මොකද කිසියම් ප්‍රබන්ධ නිර්මාණයක  චරිත ගොඩනැඟීමේදි ඒ සඳහා විවිධ සමාජීය, ආර්ථික සහ දේශපාලන කාරණා බලපානවා. මේ කෘතිය තුළ එම සාධකවලට පදනම සැපයූවේ ඇමරිකා එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක වන සංක්‍රමණිකයන්ට බලපාන, පවුලේ සාමාජිකයන් වෙන් කිරීමේ ප්‍රතිපත්තිය. එම ප්‍රතිපත්තියේ කෘරත්වය මගේ හදවතට  තදින්ම කා වැදුනා. ඉතින් මම සංක්‍රමණිකයන් සහ දේශපාලන රැකවරණය සොයා යන අය සම්බන්ධයෙන් මැදිහත්වෙන සංවිධාන කීපයක සාමාජිකයන් සමඟ කතා බහ කළා. ඒ සංවාදයේදී විවිධ කතාන්දර මතු වුණා. එතනදී මට අහන්න ලැබුණා මේ කෘතියේ  ඇනීටා නම් චරිතය මුහුණ දෙන ආකාරයේ කතාන්දරයක්.

මීට කලින් මම දෙවැනි ලෝක යුද්ධය සම්බන්ධයෙන් කරපු පර්යේෂණයක් නිසා මම දැනගෙන හිටියා, ඒ කාලේ ඉතා දැවැන්ත ආකාරයෙන් ජර්මනියේ ජිවත් වුණු යුදෙව්වන් ඒ රටින් පිටවෙන ප්‍රවණතාවක් ඇති වුණා කියන එක. ඒ දුෂ්කර අවස්ථාවේ ඔවුන් උත්සාහ කළේ, වැඩිහිටියන්ට බැරි නම් අඩුම වශයෙන් එයලාගේ දරුවන් හරි රටින් පිට කරන්න. එංගලන්තය යුදෙව් සංක්‍රමණික දරුවන් 10,000කට එරට තුළ ඉඩ ලබා දුන්නා, ඒත් දෙමව්පියන් නැතිව. ඉතින් ඒ  යුදෙව් දෙමව්පියන්ට සිද්ධ වුණා  කොයි ඉසව්වකට ද යන්නේ පවා නොදන්නා දුම්රියකට තමන්ගේ දරුවා නංවා, ඔවුන් ආදරයෙන් පිළිගනිවිද නැතිනම් ඔවුන්ට දුක් විඳීමට සිදු වේවිද යැයි නොදන්නා ගමනාන්තයකට පිටත් කොට හැරීමේ භයංකාර තීරණයට එළඹෙන්න.

මම ඒ කතාන්දරය, වර්තමානයේ තමන්ගේ රට තුළ ඇති අවදානමට මුහුණ දෙනවාට වඩා, නොදන්නා ගමනාන්තයකට තම දරුවන් යැවීම ආරක්ෂිතයි යැයි සිතන මධ්‍යම ඇමරිකාවේ සමහර පවුල් තුළ සිදුවන දේට සම්බන්ධ කළා. ඉතින් ඒ කතාන්දර එකට ගෙතිය හැකි තරමට එක සමානයි. ඉතින් සැමුවෙල් සහ ඇනීටා කියන චරිත ඒ කතාව තුළ මතු වුණේ එහෙම.

ඇයි ඔබ තීරණය කලේ මේ කතාන්දර දරුවන් ගේ දෘෂ්ටි කෝණයෙන් කියන්න?

ඒක මෙහෙමයි. මව්පියවරුන්ගේ විඳවීම් පැහැදිලිව සමාජය තුළ පෙනෙන්න තියෙන දෙයක්, ඒත් අපිට තේරෙන්නෙ නෑ දරුවන් තුළ ඇතිකරන ක්ෂතිමය තත්වය මොන වගේද කියන එක. අනික ඔවුන් විඳවන මානසික වේදනාවන්ගෙන් ඔවුන්ට තනියම එළියට එන්න බෑ. හිතන්න කුඩා දරුවෙක් ඔහු‍ගේ හෝ ඇයගේ පවුලෙන් වෙන් කරලා නොදන්න භාෂාවකට, නොදන්න තැනකට,  කිසිසේත්ම ඔවුන්ට පාලනය කරන්න බැරි තත්වයන්ට නිරාවරණය වෙන  අවස්ථාවක් ගැන. තමන්ගේ පවුල, තමන්ගේ දෙමව්පියන් සිහිවෙද්දි ඔවුනට දැනෙන සංවේගය,  ඒ වගේම තමන්ගේ අය කවදාවත් එකිනෙකා දකින්න නොලැබේවී කියන බය කොයිතරම්  ඔවුනට දැනෙනවා ඇද්ද.

මම දේශසීමා අසල එවැනි දරුවන්ගෙන් ගොඩක් දේ ඉගෙන ගත්තා. කුඩා දරුවන් එවැනි ක්ෂතිමය  තත්ත්වයකදී මුළුමනින්ම කතා කිරීම නවත්වනවා. නැතිනම් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා. සමහරවිට මනසින් මවාගත්  මිතුරෙකු හෝ සතෙක් නිර්මාණය කරගෙන ඒ කෙනා සමඟ විතරක් කතා කරනවා. එසේත් නැතිනම් එයාලට ආදරය කරන අම්මා තාත්තා ආච්චි සීයා ඉන්න ලෝකයක් මවා ගෙන ඒක ඇතුළේ  ජිවත් වෙනවා.

මට මතකයි මට අවුරුදු හයේදී, හතක් වෙන්න ඔන්න මෙන්න වගේ තියෙද්දි,  මට රක්තහීනතා  තත්ත්වයක් ඇතිවුණු නිසා එයාලා මාව පිටිසර බද පළාතකට යැව්වා. ඒ තමයි මට අම්මාගෙන් වෙන් වෙලා ජිවත්වෙන්න සිද්ධ වුණු පළමුවැනි අවස්ථාව.

මම හැමතිස්සෙම අඬ අඬා උන්නෙ,  මට රාත්‍රී නිදි  ඇ‍ඳේ මුත්‍රා පිටවෙන්න පටන් ගත්තා. ඊට ආසන්න කාලෙක එහෙම මට සිදුවෙලා නෑ. මම ඉන්පස්සෙ කාලය ගත කළේ බියෙන් ව‍ගේම ලැජ්ජාවෙන්.

මම විඳි ඉච්ඡාභංගත්වය ඉතාමත් දැඩියි, ඒ නිසා එයාලා මාව ආපහු ගෙන්න ගත්තා. මට එය දරාගන්න හැකි වුණේ  සතියක් විතර කාලයක් පමණයි. මට මතකයි මා ඒ විඳි අත්දැකීම. ඒත් මම ඒ මොහොතෙ දැනගෙන උන්නා මට ආපිට යන්න පුළුවන් බව. ඒත් හිතන්න කුඩා දරුවෙක්ට එයාගෙ අම්මා තාත්තා ළඟට ආයෙ කවදා යන්න ලැබේවීද කියලා නොදැන කල් ගත කරන්න වෙන එක ගැන. එයාලා දන්නෙ නෑ තමන්ගේ අම්මා තාත්තා කොහේද ඉන්නෙ, එයාලාව කොහොමද හොයා ගන්නෙ කියලවත්. මට එයාලගේ දෘෂ්ටිකෝණයෙන් තමයි මේ කතා කියන්න උවමනා වුණේ . ඒ නිසයි මේ කෘතිය තුළ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් කතාව කියන එකම පුද්ගලයා මේ ගැහැනු  ළමයා බවට පත් කළේ . හැම කෙනාටම කතාව කියන්නෙක් ඉන්නවා, ඒත් ගැහැනු  ළමයා සඳහා, මට ඒක ඒ දැරියගේ ඇතුළාන්තයෙන්ම, ඒ බිය තුළින්ම කතාව කියන්න අවශ්‍ය උනා.

ඇයි සංක්‍රමණිකයන්ගේ සහ දේශපාලන සරණාගතයන්ගේ කතා ලෝකයට කියා පෑම එතරම් වැදගත් වෙන්නේ?

පිටත සිට ඔබට හැඟීම්වල ගැඹුර තේරුම්ගන්න බෑ. ඔබ කරුණු දැන ඉන්නවා වෙන්න පුළුවනි, ඒත් ඔබට ‍තේරෙන්නෙ නෑ එක් එක් පුද්ගලයාට දැනෙන හැඟීම් මොනවද කියන එක.

මම වරක් පරිඝණකයෙන් ත්‍රීමාන පරිසර මවන ප්‍රදර්ශනයක් නරඹන්න ගියා. ඔවුන් අපට හෙඩ්‍ෆෝන සහ විශේෂිත ඇස් කණ්නාඩි ලබා දී ඔබව ත්‍රීමාන දර්ශන මඟින් කාන්තාරයකට රැගෙන යනවා. ඔබ දැන් ඉන්නෙ කාන්තාරේ, පතොක් ගස් අතර. ඔබට ඇහෙනවා ඈත කොයෝටයන් (වෘක විශේෂයක්) කෑ ගසන හඬ. ඔබ කිසිවෙකු විසින් කැඳවාගෙන යන කණ්ඩායමක තවත් එක අයෙකු ලෙස දැන් ගමන් කරනවා. දේශසීමා ආරක්ෂ වළල්ලට ඔබ ලං වෙත්ම, හෙලිකොප්ටර් යානා සහ ඔබ වෙත යොමු වුණු  පන්දම් ද සහිතව  එන ට්‍රක් රථ ඔබව වට කරගන්නවා, එකවර  හැමකෙනාම බිමට නැඹුරු වුණු  හිස් ඇති සිරකරුවෝ. ඔබත් එහි එක් සාමාජිකයෙක්.
එතන මොනවද සිද්ධ වෙන්නෙ කියලා දැනගන්න එකම විදිය තමයි එතනට  යන එක. ලේඛිකාවක විදියට මගෙ වගකීමත් එතනට ගිහිල්ලා  එක් එක් චරිතයේ ආත්මය තුළට ගිහින් කතාවට ඒ තුළ සිට පණ දීම. මම කරුණු හුවා දැක්වූවා කියලා කිසිම දෙයක් ලැබෙන්නෙ නැහැ, ඒක ජනමාධ්‍යවේදීයකුටත් කරන්න පුළුවන්. මගේ කාර්යය වන ප්‍රබන්ධ රචනය යනු චරිතවල ආත්මයට ඇතුළු වීමයි.

ඔබ විවිධ සංස්කෘතීන් සහිත විවිධ රටවල ජිවත් වී ඔබ ලද ඒ අත්දැකීම  විසින් ඔබගේ සාහිත්‍යය වඩාත් විශ්වීය තත්වයකට පත් කළාද?

මම හිතනවා විදේශිකයෙකු වීම  මට මහත් අනුබලයක් වුනා කියන එක. මම නිතරම ජිවත් වුණේ  විදේශිකයෙක් විදියට. මගේ දෙමව්පියන් රාජතාන්ත්‍රිකයෝ. මම ළමා කාලය ගත කලේ, පුද්ගලයන්ට සහ ස්ථානවලට නිතරම සමුදෙමින්,මොකද වසර දෙකකට වරක් මට රට, පාසල, යාළුවෝ, භාෂාව වගේ හැමදේම වෙනස් කරන්න සිදු වුණා .

පසුව චිලියේ හමුදා කුමන්ත්‍රණය නිසා මම වෙනිසියුලාවේ දේශපාලන සරණාගතයෙක් වුණා, ඉන්පසු ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වුණා . මට මගේ රට වුණු චිලියට ගියාමත් දැනෙන්නෙ මම විදේශිකයෙක් කියලා, මොකද මම අවුරුදු පනහකින් මෙහා එහි ජිවත් වෙලා නෑ.
ඉතින් මට කියන්න තියෙන්නෙ මේ තත්වය මට විශ්වීය දැක්මක් ලබා දෙනවා තමයි. ඒ වගේම මම තේරුම්ගත්ත තවත් දෙයක් තමයි හැමතැනම ඉන්නෙ එක වගේ මිනිස්සු. අපට හැමතිස්සෙම ඕනෙ එකම දේ. අපි හැම කෙනාටම ආදරය, වෛරය, මිත්‍රත්වය, හිතෛශිබව, ගිජු භාවය එක වගේ දැනෙනවා. අපි හැම කෙනාටම ඕනෑ අපේ දරුවනට අපට නොතිබුණු  හොඳ ජිවිත ලබා දෙන්න. අපි හැම කෙනාටම පවුලක් ඕනෑ. ඒ කාරණා ලෝකේ කොහේ දී වත් වෙනස් නෑ. ඉතින් මම ඒ ගැන ලියනවා, පුද්ගලික සම්බන්ධතා සහ මිනිස් හැඟීම් ගැන. ඒත් ඒවා විශ්වීයයි.

ලතින් ඇමරිකානු කලාපයේ වැඩියෙන්ම වෙනත් භාෂාවලට පරිවර්තනය වුණු පොත්වල නිර්මාණකාරිය වු ඔබ, තමන්ගේ පළමු නවකතාව නිම කළ තරුණ ඉසබෙල්ට පවසන්න ඇත්තේ කුමක්ද?

මම මගේ පළමු පොත අවසන් කරන විට කවුරුවත්, මම උනත් දැන උන්නේ නෑ ඒ කෘතිය ඒ තරම් සාර්ථක වෙවි කියන එක. The House of the Spirits කෘතියට කලාතුරකින් සිදුවන, පළමු පොතම සාර්ථක වීමෙ සංසිද්ධිය අත් විඳින්න හැකි වුණා.

අද තත්වය තුළින් මම දැන් ඒ දෙස බලද්දි, මට ඇයට කියන්න තියෙන්නෙ එය සැබවින්ම ආශ්චර්යයක්. අප ප්‍රයෝජනයට ගත යුතු අපූරු අවස්ථාවක් ඒක. මම ඇත්තටම ඒක තමයි කළේ. මම දිගටම ලිව්වා. සාර්ථකත්වය ඇවිත් මගේ ජීවිතේ වෙනස් කරන තුරු මම ඉඳගෙන බලා සිටියේ නෑ. The House of the Spirits අදාළ පළමු චෙක් පත මට ලැබෙද්දි මම දෙවැනි පොතේ වැඩත් පටන් අරන් හිටියේ. එය මට මාවතක් විවර කර දුන්නා, මම ඒ මාවත දිගේ ඉදිරියට ගියා. මට දැන් ඒ ඉසබෙල්ට කියන්න තියෙන්නෙ “ ඔබ එය හොඳින් කළා! එයට සුබපැතුම්!

ඔබ ජනවාරි අට වැනි දා අලුත් පොතක් ලියන්න පටන් ගන්නවා කියන එක දැන් ප්‍රකට කරුණක්. එසේ ලිවීම ආරම්භ කළ පසු, ඒ ලිවීමේ ක්‍රියාවලිය සිදු වෙන්නෙ කොහොමද ද?

මගේ ජීවිතය සංකීර්ණයි. මට දහස් ගණනක් සම්මුඛ සාකච්ඡා කරන්න සිදු වෙනවා. හැමදාම මම පිලිතුරු සැපයිය යුතු ප්‍රශ්න තොගයක් මට ලැබෙනවා. මම බලා කියා ගත යුතු ආයතනයක්(ඉසබෙල් අයින්දේ පදනම) මට තියෙනවා. මම සංචාරය කරනවා. ඉතින් වසරේ මාස කීපයක් හෝ මම මගේ කාමරයේ දොර අඟුලලාගෙන, ලිවීමට අවධානය යොමු කළේ නැතිනම් මට ආයෙ කවදාවත් ලියන්න ‍වෙලාව ලැබෙන එකක් නෑ. ඒ නිසා මගේ ජිවිතය වඩාත් පිළිවෙලට හැඩගස්සා ගන්න, මම එහෙම දිනයක් භාවිතා කළා. එවිට මගේ වටේ ඉන්න සියළු දෙනා මගේ පවුලේ අය, කාර්යාලයේ අය සහ මගේ ඒජන්තවරු දන්නවා ජනවාරි අට වෙනිදා මම බාහිර ලෝකයෙන් ඈත් වෙනවා, ඒ නිසා මම ඒ කාලය තුළ සංචාරය කරන්නේවත්, සහෘද පාඨකයන් මුණගැහෙන්නේවත් නෑ කියලා.

ඔබ හිතනවද ජනමාධ්‍යවේදිනියක් ලෙස වැඩ කිරීම ඔබේ ලිවීමට බලපෑවා කියලා?

සාහිත්‍ය වැඩවලට මම ජනමාධ්‍යවේදිනියක් ලෙස වැඩ කිරීම ලොකු පිටිවහලක් වුණා. පාඨකයාගේ අවධානය ඇද ගන්නා ආකාරයෙන් භාෂාව සකසුරුවම් ලෙස හැසිරවීමට මම ඉගෙන ගත්තේ ජනමාධ්‍ය තුළින්. කිසියම් කාර්යයකට පර්යේෂණ කරන ආකාරයත් මම ඉගෙන ගත්තේ ජනමාධ්‍යවේදිනියක ලෙස ක්‍රියාකාරි වීම හරහා. ඒවගේම මම ඉගෙන ගත් තවත් දෙයක් තමයි කිසියම් පීඩනයකට යටත්ව වැඩ කිරීම. මේ කාලේ බොහොමයක් ලේඛකයන් තමන් පිළිබඳ විනයක් පවත්වාගෙන යන්න අසමත් වෙලා තියෙනවා. එයාලා තමන්ට බොහොම ලොකු නිදහසක් දෙමින් වැඩ කරනවා. එයාලා සමහරවිට පොතක් ලියන්න අවුරුදු ගාණක් ගත කරනවා. ඒත් ජනමාධ්‍යය මට ඉගැන්නුවා, ලිවීමේ කාර්යය පටන් ගැනීමට කිසියම් නිශ්චිත දිනයක්  යොදා ගැනීම වගේම දිනකට හැකිතරම් පැය ගණනක් වැඩ කළ යුතුයි යන අදිටන තුළින් තමන්ව හික්මවාගන්නෙ කොහොමද කියන එක. මට එය අවසන් කරන නිශ්චිත දවසක් නැහැ. ඒත් මම දළ වශයෙන් දන්නවා එය මම මාස 18 කින් හෝ වසර දෙකකින් අවසන් කරනවා කියන එක. ඒ අනුව මට අඩු වැඩි වශයෙන් කාල රාමුවකුත් තියෙනවා.

නුදුරු අනාගතයේදී හෝ ඉදිරි වසර කීපය තුළ ඔබ කුමක් කරමින් සිටිවීද?

මම එදාටත් කරනවා ඇත්තෙ අද කරමින් ඉන්න දේම තමයි. මම ඉන්න වයසත් එක්ක මට පුළුවන් මේ වෙද්දි මම කරන්න ඕනෙ මොනවද නැත්තෙ මොනවද කියලා නිදහසේ තීරණය කරන්න. ඒ නිසා මට හරි පහසුයි බැහැ කියන්න. ජීවිතයේ බොහෝ කාලයක් මට බල කෙරුනා අනික් අයගේ න්‍යාය පත්‍රවලට යට වෙන්න.
මම කැමතියි ගෙදරට වෙලා ඉන්න, කියවන්න. මගේ සැමියාත් එක්ක, මගේ සුනඛ සුරතලුන් එක්ක කාලය ගත කරන්න, හොඳ රූපවාහිනී වැඩසටහන් නරඹන්න. මම කැමතියි උයන්න, ගං ඉවුරකට වෙලා බීම විදුරවක් තොල ගාන්න. මම කැමතියි මගේ කෘතිවලට අවශ්‍ය පර්යේෂණ කරමින් ඉන්න. ඒවා තමයි මම කරන්න කැමතිම දේවල්, ඒවා තමයි දැනුත් මම කරමින් ඉන්නෙ.

 

– සුභාෂිණී චතුරිකා

( මෙම ලිපිය 2023 ජූලි මාසයේදී ‘අනිද්දා’ පුවත්පතේ මුල් වරට පළ විය )
Photo credit- andersen-award.com

Leave a comment

This website uses cookies to improve your web experience.