Skip links

සයුර පිරවීම

තරු විසුළ අහස් ගඟ
ගල ගලා වැතිරෙයි
දිදුළන අඩ සඳ
පැමිණෙයි
අප පිටුපසින්
මීදුම් දුමාරය
වසා ගනියි කෙත්වතු

හැපි හැපී පොල් රුප්පාවල
බුර බුරා නැගෙයි රළ
බෙංගාල බොක්කෙන්
පැල්පත් සොලවමින් ගලා විත්
රළ බිඳෙන හඬ
අපෙ දෙසවනට රිංගයි.

එදවස..

පාළු මාවත් මතින්
කොයිතරම් දුර
ඇවිද ගොස් ඇති ද අප

කොතරම් රෑ ගණන්
වාද කරමින් සමහර දේ ගැන
කල් ගත කර ඇතිද අප

එහැම වේලේ අප වෙන් වුණේ

හෙට දිනය ගැන
නොපැහැදිලි පැටලුණු සිතිවිලි ද ඇතිව ය!  

අවසන

එක්තරා උද්වේගකර මොහොතක
අතැර දා හැම දේ
නුඹ පතන විමුක්තියෙ මග ඉදිරියේ
නැගී සිට
වන වැදුණෙහිය නුඹ

පරණි…!

නුඹ ගැන මතක වියැකෙන මොහොතක
වැසිබර සැඳෑවක
දිය බිඳු වැටෙද්දී සළු මතින්
පෙනී සිටියෙහිය නුඹ යළිත්

රළ නැගෙන බිඳෙන මුහුදු වෙරලක
ඉටු කරනු රිසියෙන් මෙහෙයක්
වෙන් ව ගියෙහි ය නුඹ

වෙන්ව යන විට
පැතුමක් පතන්නටවත්
මුව අගුළු විවර වුණේ නැත 

වැලඳ ගන්නටවත්
ඉඩක් ලැබුණේ නැත

වැසි දිය සහ අන්ධකාරය මැද  අතුරුදන් විය නුඹ

දියඹ තරණය කරන
දෙයක් බවට ම නුඹ පත් විණ..

මහ අග්නි ජාලයක්
වසා ගත්තෙ ය දියඹ මතුපිට

ඉතින්, නැවත කිසිදා
පැමිණියේ නැත නුඹ!

අද…..
කාලයේ වේදනාවේ
සුවිසල් නිහඬ බව
පතිත වෙයි
දිරිය හදවත් නිදන
සොහොන් මත..

නුඹ!
සොහොන් ගැබ සයුර මෙන් විසල් වූ…….

පුරවන්නද මම

නුඹේ හිස් සොහොන් ගැබ

සප්ත මහ සාගරේ ජල කඳින්?

( ෆහීමා ජහාන් විසින් දෙමළ බසින් රචිත ‘ඔරු කඩල් නීරූට්රි’ කවියේ සිංහල පරිවර්තනයකි)

ෆහීමා ජහාන්– නූතන දෙමළ සාහිත්‍යයට  විශිෂ්ඨ නිර්මාණ දායාද කරන කිවිඳියක සහ පරිවර්තිකාවක ලෙස ප්‍රකට ෆහීමාගේ ‘ඔරු කඩල් නීරූට්රි’ කාව්‍ය සංග්‍රහයේ එන කවියක පරිවර්තනයකි, ‘සයුර පිරවීම’.  2007 වර්ෂයේදී පළවූ එම කාව්‍ය සංග්‍රහයට පසුව 2009 වර්ෂයේදී ඇගේ  “අපරාධි” කාව්‍ය සංග්‍රහය පළ විය. දෙමළ බසට පරිවර්තනය වූ මංජුල වෙඩිවර්ධනගේ “මාතෘකාවක් නැති මාතෘ භූමිය” කෘතියේ සම පරිවර්තිකාවක වන ෆහීමාගේ මෙම කවිය ඇතුළු ස්වතන්ත්‍ර කවි බොහොමයක් ඉංග්‍රීසි බසට ද පරිවර්තනය වී ඇත.

Leave a comment

This website uses cookies to improve your web experience.