Skip links

ගාසා තීරයේ දී පරව ගිය විප්ලවීය පලස්තීන කිවිඳිය

පලස්තීන කිවිඳියක සහ නවකතාකාරියක වන හිබා කමල් අබු නඩා ඊශ්‍රායල ප්‍රහාරයකින් ඛේදජනක ලෙස මියගියාය.

ඇයගේ ජීවිතය අහිමි වීමට ටික වේලාවකට පෙර ගාසා තීරය පිළිබඳ ඇගේ බලාපොරොත්තු සහගත දැක්ම ඇය ෆේස්බුක් පෝස්ටුවක් ඔස්සේ ප්‍රකාශ කොට තිබිණි.

හිබා ඇගේ එම පෝස්ටුවෙන් ගාසාව පිලිබඳ පවසා තිබුණේ ආදරය ගැන ගායනා කරන අයට සැනසිල්ලක් ලබාදෙන ස්වර්ගීය ස්ථානයක් ලෙස, නව නගරයක් ලෙස ගාසාව ගොඩනැගෙනු ඇති  බවය.

දුක් කම්කටොළුවලින් තොර ගාසා තීරයක් පිළිබඳ ඇගේ දැක්ම හදවත් ස්පර්ශ කිරීමට සමත් වූ බැවින් ඇගේ වදන් බොහෝ දෙනාගේ හදවත් තුළ ගැඹුරින් අනුනාද විය.

1991 දී සෞදි අරාබියේ උපත ලැබූ හිබා, පලස්තීනයේ කැලඹීම් මධ්‍යයේ රැකවරණය පතා එහි යාමට බලකෙරුණු පවුලකට අයත් වූවාය. එසේම ඇය ගාසා හි ඉස්ලාමීය විශ්ව විද්‍යාලයෙන් ජෛව රසායන විද්‍යාව පිළිබඳ උපාධියක් සහ අල්-අසාර් විශ්ව විද්‍යාලයෙන් සායනික පෝෂණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගෙන ඇත.

පලස්තීන සංස්කෘතික දෙපාර්තමේන්තුව ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා හිබාගේ මරණය පිළිබඳ පුවත නිවේදනය කොට තිබිණි. 32 හැවිරිදි හිබා, ඇයගේ සිත් ඇදගන්නාසුළු කතාන්දර, කවි සහ නවකතා තුළින් පලස්තීන සංස්කෘතික උරුමය ප්‍රවර්ධනය කිරීමට සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ දක්ෂ ලේඛිකාවකි. ඇයගේ “Oxygen is not for the Dead” නවකතාව අරාබි සාහිත්‍ය ලෝකයේ පුළුල් ප්‍රශංසාවට ලක් වූ අතර ඒ සඳහා කීර්තිමත් සාජා ත්‍යාගය පවා  ඇයට හිමිවිණි.

තම ලේඛන හැකියාව හේතුවෙන් ප්‍රශංසාවට ලක් වෙමින් සම්මාන රාශියක් ලබා ඇති හිබාගේ අකල් වියෝව නිර්මාණ සාහිත්‍ය ප්‍රජාව තුළ රික්තකයක් ඉතිරි කොට ඇත. ගාසා තීරයේ සදාකාලික ප්‍රේමයේ සාරය ඇගේ වදන් තුළින් ග්‍රහණය කර ගැනීමට හැකියාවක් තිබූ විශිෂ්ට ලේඛිකාවකගේ වියෝව පිලිබඳ ජනතාව සමාජ මාධ්‍ය හරහා තම කණගාටුව ප්‍රකාශ කරමින් උපහාර පුදනු දක්නට ලැබිණි.

මේ, පසුගිය ඔක්තෝබරයේදී ඇය මිය යන්නට මොහොතකට පෙර තබන ලද අවසන් ට්විටර් සටහනයි.

” රොකට්වල ආලෝකය මැද වුව  ගාසාවේ රාත්‍රිය අඳුරු ය, බෝම්බවල හඬ මැද වුව නිහඬ ය, යාඤාවේ සැනසිල්ල මැද වුව බිය උපදවන සුලු ය, විරුවන්ගේ ආලෝකය මැද වුව අන්ධකාර ය. ගාසාව, සුබ රාත්‍රියක්! ”

පහත පළ වන්නේ හිබා විසින් අරාබි බසින් ලියන ලද කවියක ඉංග්‍රීසි පරිවර්තනයකින් සිදු කළ සිංහල පරිවර්තනයකි.

අහෝ තනිවූ අප !
සියල්ලන් ම ඔවුන්ගේ යුද්ධය ජයග්‍රහණය කර ඇත
නුඹලා නිරුවතින් මඩ ගොහොරෙහි හැර දමා ඇත
ඩාවිෂ්ගේ * කිසිම කවියකට
නොහැකිය නැවත රැගෙන එන්නට
අහිමි වූ දේ
වියෝ දුකින් පෙළෙන්නන් වෙත

අහෝ තනිවූ අප!
අප ජීවත් වන්නේ තවත් අඳුරු යුගයක ය
නුඹේ සෙහොන මතින් එක්ව
අප යුද ගිනි මැද කොටු කළවුන්ට
ශාප වේවා!

අහෝ තනි වූ අප!
පෘථිවිය නම් නිදහස් වෙළඳපොළෙහි
වෙන්දේසියට දමා ඇත
මේ ශ්‍රේෂ්ට ජාතිය!

අහෝ තනි වූ අප!
අප ආරක්ෂා කිරීමට
කිසිවෙකුත් නැති
අඳුරු කාලයකි මෙය

අහෝ තනි වූ අප!
එබැවින් නූඹලාගේ කඳුළු පිස දමන්න
අහෝ මාගේ ජනයෙනි,
නොසැලී සිටින්න!

(*මුහම්මද් ඩාවිෂ්- පලස්තීනයේ ප්‍රමුඛතම කවියා ලෙස සැලකේ. )

-රික්සා ඉන්ෆාස්

Leave a comment

This website uses cookies to improve your web experience.