Skip links

වීණාවක් රැගෙන ගිය දරුවා

වෙඩි උණ්ඩවලින් සිදුරු වී තිබූ කිලිනොච්චිය නම් නාම පුවරුවේ කුහරයක් අතරේ හිඳ දෙමළිච්චෙක් පියාපත් සැළුවේ ය.දින ගණනාවක් මිනිස් වාසයෙන් තොර ව පැවති නගරයේ ධාන්‍ය ඇට සොයමින් ගොස් පරාජයට පත් වූ තවත් දෙමළිච්චන් කිහිප දෙනෙක් කුඩා අතු මත වසා සිටිය හ. කිලිනොච්චියේ බස් නැවතුම වන්නේ එතරම්විශාල ලෙස අතු නො විහිදුණු පලු ගසකි.එය තුවාල ලත් පක්‍ෂියකු මෙන් සුළඟේ ඇඹරෙමින් තිබුණි. එහි කුඩා සෙවණේ බස් රථ පැමිණ නතර කරමින් සහ යළි පිටත්ව යමින් තිබෙණු දක්නට ලැබුණි.

පෙර පැවති දෙමළ ඊළාම් බස් නැවතුමෙන් කඩා වීසි කර දමන ලද කහ පැහැති ටකරන් තහඩුවලින් ඉදි කරන ලද පෙට්ටි කඩයකි. සත්තියන් තම ඔරලෝසුව දෙසත්, මාර්ගය දෙසත් මාරුවෙන් මාරුවට බලමින් සිටියේ ය. ඔහු දෙස අවධානය යොමු කර ගෙන සිටි තංගරාසා රෙදි කැබැල්ලකින් වතුර බෝතල් පිස දමන්නට විය.

“ඇයි සත්තියන් අය්යේ, අද ගෙදරට කවුරුහරි අමුත්තෙක්වත් එනවද?”
බුලත් විට සකස් කර ලෑලි තට්ටුවේ තැන්පත් කරමින් තංගරාසා කතාවට මුල පිරුවේ ය.

“ඔව් ඔව්. කොළඹ ඉඳන් එක්කෙනෙක් එනව.”
සත්තියන් පාර දෙස බලාගෙන ම පිළිතුරු දුන්නේ ය-

විනාශව ගොස් තිබූ නගරයේ සෑම තාප්පයක ම කුමක් හෝ ලියා තිබුණි. පාර දෙපස සෑම ස්ථානයක් ම අළු සහ දුහුවිලිවලින් පිරී ඇත. බසයක් පැමිණ නතර විය. ඒ මහනුවර යාපනය බස් රථයයි. කොළඹ සිට වව්නියාව දක්වා දුම්රියෙන් පැමිණි රෝහිත් තමන් වව්නියාව යාපනය බස් රථයට ගොඩ වූ බවත්, එහි අංකයත් සත්තියන්ට දුරකථනයෙන් දැනුම්දී තිබුණි.

සත්තියන් පුවත්පත් කලාවේදියෙකි. යාපනයේ වාලම්පුරි පුවත්පතේ සේවය කරන ඔහු තමිල්නාඩුවේ ප්‍රකාශයට පත් වන පුවත්පත්වලටත් ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ තොරතුරු වාර්තා කර යවයි. ඔහුට රෝහිත්ව හඳුන්වා දෙන ලද්දේ තමිල්නාඩුවේ පත්‍ර කලාවේදියකු වන සුන්දරම් විසිනි. රෝහිත් ගුණරත්න ලන්ඩනයේ බී.බී.සී. ප්‍රවෘත්ති ආයතනයේ සේවය කළේ ය. ඔහු ඉතා වැදගත් කාර්යයක් සඳහා කිලිනොච්චියට පැමිණෙන බැවින් ඔහුට අවශ්‍ය උපකාර ලබා දෙන ලෙසත්, ඔහුගේ අවශ්‍යතාවය පැමිණ පවසනු ඇති බවත් සුන්දරම් එවූ ලිපියේ සඳහන් කර තිබුණි.

දුරකථනයෙන් දැනුම් දුන් අංකය සහිත වව්නියාව බස් රථය පැමිණ නතර කරත් ම රෝහිත් ඉන් බැස්සේ ය. ඔහුගේ දෑස් දැඩි විමසිල්ලෙන් එහෙට මෙහෙට හැරුණි. ඔහු උපැස් යුවලට ඉහළින් වටපිට හැරී බලන්නට විය.‘මම මෙහේ ඉන්නවා’ යි පවසමින් දෑත් දෙපසට පද්දමින් රෝහිත් වෙත සමීප වූ සත්තියන් අතට අත දී ඔහුව පිළිගත්තේ ය.

රෝහිත්ගේ අතේ තිබූ ගමන් මල්ල ඉල්ලා ගත් සත්තියන් සයිකලය වෙත ගොස් එය රැගෙන ආවේ ය.
“නගින්න; ඔය පැත්තෙ තමයි.”

රෝහිත්ගේ දෑස් නගරයේ එහෙ මෙහෙ සැරිසරන මිනිසුන් පසුපස ඇදී ගියේ ය. ඒ බැල්ම තුළ දැඩි වෙනස් බවක් තිබුණි. විනාශ වූ ගොඩනැගිලිවලින් හමා එන සුළඟට ඔහුගේ සියුම් සුදු පැහැති කෙස් සැළුණි.

“කිලිනොච්චියෙ සටන් තිබුණෙ නෑ. ඒත් ඔක්කොම විනාශ වෙලා.”
රෝහිත් දමිළ බසින් යම් පමණකට කතා කළේ ය.
“කිලිනොච්චිය අල්ලගත්තට පස්සෙ ගනිපු ෆොටෝවලයි, වීඩියෝවලයි මෙහෙම හැමදේ ම විනාශ වෙලා තියෙන බවක් වැදිල නෑ—-”
සත්තියන් හිස වනා එකඟත්වය පෑවේ ය.

“පස්සෙ තමයි ඔක්කොම විනාශ කරල දාල තියෙන්නෙ.”
සත්තියන් එසේ පැවසූ විට ‘ඇයි එහෙම කරල තියෙන්නෙ?’ යි අසන ලීලාවෙන් රෝහිත් දෑස් වසා ගත්තේ ය.

පෙර පැවති දෙමළ ඊළාම් නීති විද්‍යාලයත්,දෙමළ ඊළාම් අධිකරණයත් එකිනෙකට ආසන්නයෙන් පිහිටා තිබූ අතර ඒවායේ වහලවල් කැඩීබිඳී ගොසිනි. සයිකලය මඳකට නතර කරන්නැයි රෝහිත් සංඥා කළේ ය .ඊළාම් රාජ්‍යයේ මතක ඔහුගේ සිත පාරන්නට ඇත. කුමක් දෝ ලියා තීන්ත බොඳව ගොස් තිබූ ඒ තාප්ප ඔහු හොඳින් නිරීක්‍ෂණය කළේ ය. සුදු පැහැයෙන් මුද්‍රණය කරන ලද නාම පුවරුවේ වූ කොටි ලාංඡනයේ ශේෂව තිබුණේ පනින දෙපා පමණි.

සත්තියන් යළිත් සයිකලයට යොමුවුණේ ය. බෑවුම් සහිත ඇතුල් පටුමඟ ඔස්සේ සයිකලය ඇදී ගියේ ය.

සත්තියන්ගේ ඉඩමේ කුඩා කොහොඹ ගසක් පමණක් ශේෂව තිබුණි. ඒ ආසන්නයේ ටකරන් තහඩුවලින් තැනූ කූඩාරමකි. එහි කවුළු ද සකසා තිබුණි. ස්වේච්ඡා සංවිධානයක නම මුද්‍රණය කරන ලද දොරකි. කොහොඹ ගස යට කපන ලද පොල් කොටයක් තිබූ අතර ඔවුන්ගේ ආසනය වූයේ එයයි.රෝහිත් තම ඇඳුම් බෑගය බිම තබා ඒ පොල් කොටය මත හිඳගත්තේ ය. මුහුණේ ගැටුණු මඳ සුළඟ ඔහුගේ විඩාව සංසිඳවූයේ ය.

කවිදා තේ වතුර ගෙනැවිත් පිළිගැන්වූවා ය. ඒ තේ කෝප්පයේ ද ස්වේච්ඡා සංවිධානයක නම සඳහන්ව තිබුණි. දුම්විහිදෙන ඒ තේ බඳුනින් රෝහිත්ගේ විඩාව නිවී ගිය අතර ඔහු ගුඩුගුඩු ගා එය බීගෙන ගියේ ය. සත්තියන්ගේ පුත් මාරන්ගේ සෙරෙප්පු හඬ ඇසෙත් ම රෝහිත් පඩලය දෙස බැලුවේ ය. ඔහුව දකිත් ම රෝහිත්ගේ දෑස් තුළින් සංවේගී හැඟීමක් ගලා ගියේ ය. ඔහු දෑත් දික් කර කුමක්දෝ විමසීමට උත්සාහ කළේ ය.

“මෙයා තමයි මගෙ පුතා. ඉස්කෝලෙ ගිහින් එන්නෙ—-”
මාරන් පැමිණ සත්තියන්ගේ උකුලේ හිඳගත්තේ ය.‘කව්ද තාත්තේ මේ?’ යි සත්තියන්ගේ හිස බදා ගෙන කනට ළං වී රහසින් විමසුවේ ය.
“පුතා මේ තමයි රෝහිත් මාම- ලන්ඩන්වල ඉඳන් ඇවිත් තියෙන්නෙ.”

සුරතලයත්, ලජ්ජාවත් මුසු වූ සිනාවක් පාමින් ඒ සිඟිත්තා තම මතක ඔස්සේ පාවී යන්නට වූයේ ය.

රෝහිත් සත්තියන් දෙස බලා ඒ කතාව පවසන්නට පටන් ගත්තේ ය.
“ඒ දරුණුවට ම සටන් පැවැත්වුණු වෙලාවක්. මැයි 16 නැත්තම් 17 වෙන්න ඕන. මම බී.බී.සී එකට ආපු වීඩියෝ බල බලා හිටියෙ. ඒ දර්ශන දැකල හිත කැළඹුණා. මේ ලෝකෙ දකින්න ලැබෙන දුක්බර ම දර්ශන ඒ. දෙමළ මිනිස්සුන්ව අපි අපේ මිනිස්සු විදියට දැක්කෙ නෑ නේද කියන සිතුවිල්ල මාව පීඩාවට පත් කළා. වෙන රටවල් වල නම් රජයක් මේ වගේ දේවල් කරන්නෙ විදේශිකයො ඉලක්ක කරගෙන.මිනිස්සු කුඩා දරුවොද, වැඩිහිටියොද කියල වෙනසක් නැතුව මැරිල ගිහින් තිබුණ. හැම තැන ම මළ කඳනුයි යුද්දෙ මහ දුමාරයයි. මම ඒ වීඩියෝ බල බල හිටියෙ. ඒ අතරෙ පොඩි දරුවෙක් දැක්ක. කාගෙවත් අත්වල මොකුත් තිබුණෙ නෑ. කඳුළු පුරෝගෙන හිස් අතින් යනව. යන තැනක්වත් දන්නැතුව යන ඒ මිනිස්සු අතරෙ අර දරුව විතරක් ආරුක්කු වීණාවක් උස්සගෙන ගියා. ඒක දැකපු මොහොතෙ ඉඳන් ඒ කොල්ල මගේ නින්ද බිඳල දැම්ම. ඔහු කව්ද? ඒ වීණාවයි ඔහුයි අතරේ තියෙන සම්බන්ධය මොකක්ද? එයා ළඟ මොකක් හරි කතාන්දරයක් තියෙනව. මට ඒක දැනගන්නෙ නැතුව ආයෙත් ලන්ඩනයට යන්න බෑ. මම කොහොමහරි ඒ දරුව හමුවෙන්න ඕන- කොහොමහරි හොයාගන්නව—-”

එසේ කතාව නිම කළ රෝහිත් මුහුණ පහතට නැඹුරු කළේ ය. සත්තියන් ඔහුට සැනසිලි වදන් කීවේ ය. රෝහිත්ගේ මුහුණ මැලවී ගොස් තිබූ අතර, ඔහුගේ අතේ වූයේ වීනාව ඔසවා ගෙන ගිය ඒ දරුවාගේ ඡායාරූපයයි. වීඩියෝවකින් පිටපත් කර ගන්නා ලද ඒ ඡායාරූපය පැහැදිලි නැත. රෝහිත් යළි යළිත් ඒ ඡායාරූපය දෙස බැලුවේ ය. ඔහුගේ දෑස් බොඳ වී තිබුණි.වීණාවක් ඔසවා ගෙන ජනතාව සමග එක්වී ගිය ඒ දරුවාගේ පසුපස දර්ශනය එහි විය. සත්තියන් ඡායාරූපය රැගෙන බැලුවේ ය. ඔහුට ද ඒ දරුවා කවුරුන්දැයි හඳුනා ගත නො හැකි විය.

ඊ ළඟ දිනයේ උදෑසන අවදි වූ රෝහිත් නා ගැනීම සඳහා දොලට ගියේ ය. දිය තුළ දෙපා පළල් කර පැන පැන ආ මාරන් වහා දිව ගොස් තුවාය ඇඟ වටා ඔතා ගනිමින් ලජ්ජාවෙන් ඇඹරුණේ ය. සහල් පිටි පිට්ටු සහ මිරිස් සම්බලට රෝහිත් ඉතා ප්‍රිය කළේ ය.

’‘නංගී, කෑම ටික නම් නියමයි. අපේ කෑමවලට වඩා ඔයාලගෙ කෑම රහයි.”
රෝහිත් මඳහසක් නගා පෑමට උත්සාහ කළේ ය.

මාරන් සයිකලයේ ඉදිරිපසින් හිඳුවා ගත් සත්තියන් රෝහිත්ව එහි පසුපසින් නග්ගවා ගත්තේ ය.
“මාමා බාය්—-”

මාරන්ගේ අතවැනීම රෝහිත්ගේ සිතට සිහිල් පැන් බිඳක් සේ දැනුණි. මාරන්ව පාසැල අසල බැස්සවූ සත්තියන් ගායන ශිල්පී සෙන්තාලන්ගේ නිවස බලා සයිකලය පැදවූයේ ය. ඒ දරුවා සංගීතය සමග සබැඳි අයකු විය හැකි ය. ඔහු පිළිබඳ මෙහි සිටින ගායකයින්, සංගීතඥයින් සියලු දෙනා දැන සිටිනු විය හැකි  ය. ඔවුන්ට පාසැලේ දී හෝ වෙනත් කිසියම් වැඩසටහන්වල දී ඔහුව හමු වී තිබෙනු ඇතැයි ද සිතිය හැකි යැයි රෝහිත් පැවසුවේ ය. එහෙත් සෙන්තාලන් හිස වනා පැවසුවේ මෙවන් ආකාරයේ දරුවකු පිළිබඳ තමන් නොදන්නා බවයි.

“කෝකටත් ෂන්මුගම් මහත්තයගෙනුත් අහල බලන්න. එයා පොඩි ළමයින්ට සංගීත පංති කරනව නේ—-”

ෂණ්මුගම්ගේ නිවස බලා මුලතිව්වලට බස් ගමන ඇරඹුණි. අතරමග දීබසය නතර කර බෑග් මළු පරීක්‍ෂා කෙරුණි. රෝහිත්ගේ මාධ්‍ය හැඳුනුම්පත රැගෙන බැලූ සෙබළා අන්තවාදියකු දෙස බලන්නාක් මෙන් සැක සහිත ව ඔහු දෙස බැලුවේ ය.

බසය මාතලන් වෙතට ළඟා විය. කොටි සංවිධානයෙන් අත්පත් කර ගත් යුද උපකරණ හමුදාව විසින් ප්‍රදර්ශනයට තබා තිබුණි. සිංහල ජනතාව රොද බැඳ පැමිණ ඒව නරඹමින් සිටිය හ.
’‘කමක් නෑ- මේ ඔයාලගෙ වීරත්වය අපේ ජනතාවට කියල දෙන අවස්ථාවක් නේ—-”

මුල්ලිවයික්කාල්වලට ළඟා වෙනවිට රෝහිත් තමන් නො දැනුවත්ව ම  මනසින් ඇවිද යාමට පටන් ගෙන ය. වීණාව දරාගෙන ගිය දරුවා ඔහුගේ දෑස්වලට හොඳින් ම පෙනී ගියේ ය. එක් පසෙක මළ සිරුරු ගොඩවල් ය. බෝම්බවල දුමාරයෙන් සහ ගින්නෙන් වට වී ඇති භූමියේ ජනතාව හසරක් නො දැන ගමන් කරති. සැම තැන ම ලේ සහ මස් කැබලි ය. මිය ගොස් සිටි සටන්කාමීන්ගේ සිරුරු අතරේ තුවක්කුව මානා ගෙන සිටි සෙබළෙක් තව දුරටත් සටන් කළේ ය.

රෝහිත් ඒ දරුවාට සමීප විය.  තනිකම හුරු පුරුදුවී කෑ ගසන පක්‍ෂීන්ගේ හඬ ඔහුගේ මතකය අවදි කළේ ය.

කිසිදු මං සලකුණක් නැති වන ලැහැබ්වලින් වෙලී තිබූ මුල්ලිවයික්කාල් ප්‍රදේශය ගන කැළෑවක් බවට පත් ව තිබුණි. ඒ වන ලැහැබ්තුළ පක්‍ෂීහු රහසේ බිත්තර දමා ඇති සේ ය. ඒ දරුවා එම වන ලැහැබ් අතරේ නොපෙනී ගියේ ඇයි ද කියා ඔහු මිමිනුවේ ය. හිස් සුළඟ පැමිණ මුහුණේ ගැටී ඔහුගේ මතක සාගරයේ රැළි බිඳ හෙලුවේ  ය.

ඒ නන්දිකඩාල් වට්ටුවාහල් පාලමයි. ලන්ඩනයේ සිට වීඩියෝවලින් තමන් සෝදිසි කළ ස්ථාන රෝහිත් සමග මොන මොනවදෝ කතා කරමින් සිටියේ ය. ඒ දරුවාව මරා දැම්මේද? යුද්ධයේ දී කුඩා දරුවන් කී දෙනෙක් නම්මිය යන්නට ඇත්ද? ඒ දරුවාත් එසේ මියගිය වුන් අතරට එක්වූයේද? නැත. ඒ මළසිරුරු ආසන්නයේ කොතැනක හෝ විණාවක් දක්නට ලැබුණේ නැත. එසේ නම් ඒ දරුවා මේ මාර්ගයේ ගොස් හමුදාවට භාරවූයේද? සත්තියන්ගෙන් විමසූ විට ඔහු ද හිස වැනුවේ ය.

හමුදාව යුද්ධයේ ජයග්‍රහණය සැමරීමට මතක ස්මාරකයක් ඉදිකරමින් සිටිය හ. බසය මුලතිව්වලට පැමිණ ඇති බැව් හැඟුණු රෝහිත් බසයෙන් බැසීම සඳහා නැගී සිටියේ ය.

කැඩීබිඳී ගොස් තිබූ නිවසකි. කාමරයක ලී දඬු ගොඩගසා තිබුණි. ෂණ්මුගම් ඉදිරියට පැමිණියේ ය. ඔහුගේ නළල පිරෙන්නට විභූති ය. සුදු වේට්ටිය ලිහා සකස් කරමින් දෙපා තැබුවේ ය. කොණ්ඩය ඉහළට ගැටගසා ගෙන ය. ඔහුගේ මෘදු බැල්මත්, චලනයත් ගීතයක් වැනි ය. ඔහු අමුත්තන් ඇතුළට අඬ ගසා ගෙන ගියේ ය.

කැඩී ගොස් තිබූ ලෑලිවලින් සකස් කරන ලද ආසනයක සත්තියන්ට සහ රෝහිත්ට ඉඳගැනීමට සැලැස්වී ය. ඔහුගේ බිරිඳ දෙහි යුෂ ගෙනැවිත් පිළිගැන්වූවා ය.

ෂණ්මුගම් ප්‍රකට සංගීතඥයෙක් බැව් රෝහිත් ද දැන සිටියේ ය. ඔහුගේ ගීත බී.බී.සී. වැඩසටහන්වල ද ප්‍රචාරය වන්නේ ය. එසේ ම බී.බී.සී. ආයතනය මගින් ජාත්‍යන්තර මට්ටමින් පවත්වන ලද තරගවලින් ද ෂණ්මුගම්ගේ ගීත ප්‍රථම ස්ථාන හිමි කර ගෙන ඇත.

සත්තියන් කාරණය පැවසුවේ ය.

“ඔබතුමා කිලිනොච්චියෙ ඉන්න කාලෙ මේ වගේ දරුවෙක් දැකල තියෙනවද? ඔබතුමාගෙන් ඉගෙනගන්න ආපු මතකයක් වගේ—-?”
ෂණ්මුගම් ඒ ඡායාරූපය විවිධ කෝණවලින් පරීක්‍ෂා කර බැලුවේ ය. ඔහුට මතකයක් නගා ගත නො හැකි විය. බොහෝ වෙලාවක් පිළිතුරක් නොදී බලා සිටියේ ය. ඔහුගේ දෑස් වෙත යොමු කළ සිය දෑස් පිටතට නො ගෙන රෝහිත් ද දැඩි උනන්දුවෙන් බලා සිටියේ ය.

“හුඟක් පොඩි දරුවො මගෙන් ඉගෙන ගන්නව නම් තමයි. ඒත් මේ දරුවමට හරියට ම අඳුරගන්න බෑ. මේ පිංතූරෙ මූණත් හරියට  පේන්නෙ නැහැනේ—-”

ෂණ්මුගම්ගේ මුහුණින් ද ශෝකය සහ අසතුට පිළිබිඹු විය. ඡායාරූපයේ රැඳී තිබූ ඒ දුමාරය අතරේ තවත් බොහෝ දුරක ඔහු අතරමංව ඇති සේ ය. රෝහිත්ගේ දෑස් ද අපේක්‍ෂා භංගත්වයෙන් ළතවිය.

කිලිනොච්චියේ දෙමළ ඊළාම් ලලිත කලා විද්‍යාලයේ සමහර විට ඔහු ඉගෙන ගන්නට ඇතැයි ද, එය භාරව සිටි සංගීත මාස්ටර් හමු වී වරක් අසා බලන ලෙස ද පැවසූ ෂණ්මුගම් ඔවුන්ට සමු දුන්නේ ය.

හමුදා සාමාජිකයෝ කැඩීබිඳී විනාශව ගොස් තිබූ කඩ සාප්පු ගොඩනැගිලිවල ඉහළින් බලකොටු පිහිටුවා ගෙන සිටිය හ. ඔවුන්ගේ තුවක්කුවල කටවල් කුමක්දෝ පවසන්නට උත්සාහ කරන්නාක් සේ තිබෙනු දුටු රෝහිත් තිගැස්සුණේය..

විවේක ගැනීමක් හෝ නිසල ව සිටීමක් නොමැති තුවක්කු සෑම විට ම වෙඩි තැබීමට බලා සිටින්නේ ය යන හැඟීම එක් පසෙකින් ද, ඒ දරුවා සොයා ගැනීමට හැකි වේදෝ යන දෙගිඩියාව තවත් පැත්තකින් ද ඉස්මතුව තිබුණි. රෝහිත්ගේ හදවත ද සසලව පැවතුණි.

සංගීත මාස්ටර්සමග සම්බන්ධවීමට උත්සාහ ගනිද්දී ඔහුගේ දුරකථනය අක්‍රීය ව පැවතුණි.

“මෙහේ දරුවො කලින් ත්‍රස්තවාදියො කියල ඔක්කොම වගේ හේතුවක් නැතුව අත්අඩංගුවට ගත්ත.ඒ නිසා හැම වෙලාවෙම මේ දරුවන් මුර කරගෙන ආරක්‍ෂා කරනව—–”

මාස්ටර්ගේ දුරකථනය විසන්ධි කර තැබීමේ හේතුව සත්තියන් රෝහිත්ට පහදා දුන්නේ ය. එය වටහා ගත් රෝහිත් හිස වනා මඳ වෙලාවක් කුමක් ගැන දෝ කල්පනාවක නියැලී සිට පසුව සත්තියන් ඇමතුවේ ය.

“ඒ දරුව 2009 දි අවුරුදු 10 – 11 ක වයසෙ වෙන්න ඕන.දැනුත් එයා කොහෙ හරි ඉස්කෝලෙක ඉගෙන ගන්නව. අපි ටිකක් ඉස්කෝලවලටත් ගිහින් බලමුද? එහෙමවත් එයා හොයාගන්න චාන්ස් එකක් තියෙන්න පුළුවන්—-”

රෝහිත්ගේ යෝජනාව ඉතා නිවැරදි යැයි සත්තියන්ට වැටහුණි. ඔහු කිලිනොච්චියේ සහ මුලතිව්වල පිහිටි පාසැල් කිහිපයකට ම යාමට ලේඛණයක් සකස් කළේ ය.

කැඩී ගිය පාසැල් ගොඩනැගිලි තුළ බිඳී ගිය මේස පුටු තබා ගෙන පංති පැවැත්වුණී.ඇතැම් පංති කාමර පැවතියේ තාවකාලික කූඩාරම් ලෙසයි. පාසැල් මතට බෝම්බ හෙලූ අයවලුන් ගැන සිතන විට රෝහිත් තුළ ඇතිවූයේ දැඩි අප්‍රසාදජනක හැඟීමකි. මෙවන් දේ මේමිහිපිට සිදු නො විය යුතු දේවල් ය. ඉදිරියේදීවත් මෙවන් පහත් ක්‍රියා සිදුවීම වළක්වා ගත යුතු යැයි ඔහු සිතට ගත්තේ ය.

උදෑසන රැස්වීමේදී විදුහල්පතිතුමා සිසුන්ට රෝහිත් සහ සත්තියන්ව හඳුන්වා දී ඔවුන් පැමිණ සිටින්නේ කුමක් සඳහාදැයි කියා ද ශිෂ්‍යයන්ට පැවසුවේ ය. ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරට ගොස් ඔවුන් සමග කතා කිරීමට විදුහල්පතිගේ අනුමැතිය ලබාගත් රෝහිත් සත්තියන් සමග ඔවුන් අතරට ගියේ ය.
රෝහිත්ගේ දෑස් ඒ දරුවා සෙව්වේ ය. වහ වහා එක් එක් දරුවාගේ මුහුණ දෙස විමසිලිමත් බැල්මක් පාමින්දිව ගියේ ය. සෑම දරුවෙක් ම වීණාව දරා ගෙන ගිය දරුවා ලෙසින් ම සිටිය හ. ඔහුගේ දෑත් වෙව්ලන්නට විය. ඔහු එක් ශිෂ්‍යයෙක් ළඟට ගොස් නතර වී සත්තියන්ට අඬගැසුවේ ය.

’‘මේ ඔය පුතා නේද? මුල්ලිවාය්ක්කාල් යුද්දෙ වෙලාවෙ ඔයා ආරුක්කු වීණාවක් අරන් ඒ ජනතාවත් එක්ක ගියාද?”
දරුවා කිසිවක් නො වැටහුණු ලීලාවෙන් ‘ඒ මම නෙවෙයි’ යනුවෙන් වෙව්ලමින් හිස වැනුවේ ය. ඔහුගේ මුහුණ පුරා දහදිය මතුවිය. රෝහිත් හිස පිරිමැද එතනින් ඇදී ගියේ ය.

රෝහිත් පැසැල නිම වීපේළියට නිවස බලා යන ශිෂ්‍යයන් දෙස විමසිල්ලෙන් බලා සිටියේ ය. මෙවන් ඛේදජනක තත්ත්වයකට පසුවත් පොත්පත් ඔසවා ගෙන, විනාශ වී තිබූ පංති කාමරවලට ගොස් යළි පිටව එන දරුවෝ ඔහු තුළ එක්තරා විශ්වාසයක් ජනිත කළ හ. දෙපා අහිමි, දෙනෙත් අහිමි, දෑත් අහිමි මෙම ශිෂ්‍යයන්ගේ මුහුණු ද මින් පසු තම නින්ද බිඳින්නට පැමිණෙනු ඇතැයි ඔහුට සිතුනාක් වැන්න. ඉන් පිටව එද්දී ඔහුගේ මුවින් ගැඹුරු සුසුමක් ගිලිහුණි.

නින්දක් නොවූ දෑස්වලට ඉහළින් මතකයන් ගලා ගියේ ය. යකඩ කුවක්කුවලින් පපුව පසාරු කරන ලද බාලචන්ද්‍රන්, අත් පිටුපසට බැඳ දමා තිබූ කුඩා දරුවන්, පහර දී මරා දමා මඩ වගුරකට වීසි කර තිබූ දරුවා ඇතුළු සියලු දෙනා ම එදින රාත්‍රියේ රෝහිත්ගේ මතක අතරේ සැරිසැරුවෝ ය. රෝහිත් වීණාව ඔසවා ගෙන ගිය දරුවා පිළිබඳ ඔවුන්ගෙන් ද විමසන්නට වූ හ. ඒ දරුවා ගැන නොදන්නා බව කියමින් ඔවුහු අත දිගහැර පෑවෝ ය. ඒ දරුවාට කිසිවක් සිදු නොවූ බව තමන්ට ම පවසා ගනිමින් රෝහිත් සිත සනසා ගත්තේ ය.

ඒ ළමා නිවාසයේ කුඩා දරුවෝ උදෑසන ආහාරය ගනිමින් සිටිය හ. රෝහිත් දකිත් ම නැගිට ආචාර කර යළි හිඳගත් හ. ඒ නිවාසය තුළ පවුලේ සියලු දෙනා අහිමිවී ගිය බොහෝ දරුවෝ සිටිය හ.
“මගේ ළඟ පවුලෙ කාඩ් එක තියෙනව. මම තමයි අපේ පවුලෙ වැඩිමලා. යුද්දෙ ඉවර වෙලා ආවෙ. අම්ම අතුරුදහන්. තාත්ත කලින් ම ෂෙල් ප්‍රහාරෙකට අහුවෙලා මැරුණ—-“
ඒ ‘කුඩා මිනිස්සු‘පවසන අනුවේදනීය කතාන්දරවලින් රෝහිත්ට තම ජීවිතය තමන්ගෙන් ඈත්ව යන්නාක් වැනි වේදනාවක් දැනුණි.
“ඒ ෆොටෝඑකේ ඉන්නෙ මම නෙවෙයි-”
සියලු දෙනාගෙන්ම පිටවූයේ ඒ වදන් ය.
“හොඳට ඇඳුම් පැළඳුම්, කෑම්බීම්, ඉන්න හිටින්න තැන් උනත් තියෙන්න පුළුවන්. ඒත් අම්ම තාත්ත, සහෝදරයො නැතුව පවුලක් ම විනාශ වෙලා ගියාම—- මේ දරුවොන්ගෙ ඇස්වල තියෙන්නෙ ඒ වේදනාව විතරයි-”
සෙන්චෝලෛ, භාරති ඇතුළු තවත් ළමා නිවාස කිහිපයකට ම ගොස් විමසා පැමිණි රෝහිත්ට තමන් සෙවූ දරුවා හමුවූයේ නැත. ඔහු කොහේ සිටිනවා ඇත්ද? ඔහුගේ සිත ළත විය. අදත් සොයා බැලිය හැක. හෙටත්—- අසාර්ථක වෑයමකි. ඔහුගේ දෑස් පියවීමෙන් වැළකුණි.

ඊ ළඟ දින අවදි වූ රෝහිත් එක්තරා තීරණයකට එළඹුණේ ය. ඔහු තම ඇඳුම් නමා රෙදි බෑගයේ තැන්පත් කරනු දුටු සත්තියන් තිගැස්සුනේ ය.
’‘තව තැන් දෙක තුනක් තුනක් තියෙනව- බලමු. ඒවයෙත් බලල ම යන්න පුළුවන් නේ—- කොහොම හරි කොල්ලව අල්ලගන්න පුළුවන් වේවි—-”
’‘ඉස්කෝල ගොඩකට ගියා. ඒ කොහෙවත් එයා හිටියෙ නෑ. ඒ පොඩි එකා ගැන කවුරුවත් දන්නෙවත් නෑ. සමහර අය කතා කරන්නෙ නෑ..ෆෝන් ඕෆ් කරගෙන. මට හරි කනගාටුයි. ඉතින් තවත් ඉඳල මොනව කරන්නද? මම යනව සත්ති—-”
ඒ දරුවාව නොදැක ආපසු නොයමි යන අදහස රෝහිත් පහසුවෙන් ම අත්හැර දමා ඇත. සත්තියන්ගේ මුහුණ මැලවුණි. තම නිවාඩු දවස් අවසන් වූ බවත්, තමන් යළි ලන්ඩනයට යා යුතු බවත් පවසමින් ම රෝහිත් පිටත් වන්නට සූදානම් වූයේ ය.
’‘මම එහෙ ගිහින් කොහොම වැඩ කරන්නද කියල මට තේරෙන්නෙ නෑ සත්ති—-”
’‘—-මට එක දරුවෙක්වත් නෑ. මගේ වයිෆ් මැරිල දැන් අවුරුදු දෙකක් වෙනව. මම ආසාවෙන් හිටියෙ මේ දරුවව එක්කගෙන යන්න.”

සත්තියන් දෙස බලමින් රෝහිත් තම බෑගය වැසුවේ ය.  ‘ඒ දරුවාව සොයා ගත නො හැක’ යන අදහස සත්තියන් තුළ ද සංවේගයක් ජනිත කළේ ය.
“මාමෙ මාමෙ, ආයෙත් කවද්ද එන්නෙ?”
මාරන් රෝහිත්ගේ අතේ එල්ලී විමසා සිටියේ ය. කිසිදු ආයාසයකින් තොරව මාරන් ඔහු සමග කුමක් හෝ පිළිබඳ කතාබහක නියැලුනේ ය.
“ඒ දරුවමට කවදාකහරි දකින්න ලැබේවි කියල ලොකු විශ්වාසයක් තියෙනව සත්තියන්-”
“———-”
“එයාගෙ නමවත් දැනගන්න ලැබුණොත් මගේ හිතට සැනසීමක්. ඒ වීණාව මට එක වතාවක් හරි අතගාල බලන්න ඕන. ඒ පොඩිඑකාව බදාගෙන අඬන්න ඕන සත්තියන්—-”

සත්තියන්ගේ සිත තුළ ද වේදනාව උතුරා ගියේ ය. රෝහිත්ගේ දෑස් තුළින් වේදනාවේ කඳුළුබිඳු ගලා හැලෙන්නට විය. මාරන්ට හාදුවක් දී සත්තියන්ගේ දෑත් අල්ලා සමුගත් රෝහිත් බසයට ගොඩවූයේ ය.
හමුදා රථ පිරී තිබූ වීදියේ බසය සෙමින් සෙමින් ඇදී ගියේ ය.  ‘කච්චාන්—-කච්චාන්—-” (රටකජු රටකජු) කියා හඬ නගමින් ඔහුට ඉදිරියෙන් කුඩා දරුවෙක් ඉදිරියට ඇදුනේ ය. පසුපස පෙනුමෙන් ඔහු ඒ වීණාව ඔසවා ගෙන ගිය දරුවා හා සමාන විය. රෝහිත් වහා නැගිට ඔහුව අල්ලා මුහුණ දෙස බැලුවේ සැලෙන හදිනි. ඔහු ‘ඇයි මාත්තයා, රටකජු ඕනද?’ යි අසමින් රෝහිත් දෙස බැලුවේ ය. රෝහිත් වහ වහා තම බෑගයෙන් ඡායාරූපය අතට ගත්තේ ය.  නො ඉවසිලිවන්ත ලෙස එය ඔහු වෙතට දික් කළේ ය. රෝහිත්ගේ මුවට එකවර වදන් නොනැගුණි.
“මේ ඔයා නේද?”
ඔහු ද මඳ වෙලාවක් නිසලව ඒ දෙස බලා සිටියේ ය.  පසුව කුමක්දෝ කල්පනා කරමින් හිස වනා ‘ඔය මම නෙවෙයි’ කියා ඊ ළඟ නැවතුමෙන් බැස ඉදිරි දෙසින් පැමිණි වෙනත් බසයකට ගොඩවිය. රෝහිත් සිටි බසය දෙස ගෙල දික් කර බිය ජනක ලෙස බලමින් ම පිටව ගියේ ය.  රෝහිත් ද බසයේ කවුළුවෙන් හිස එළියට දමා ඔහු දෙස බලා සිටියේ ය.  බස් දෙක ම දෙපසින් දුර ගොස් නොපෙනී ගියේ ය.

’‘දෙමළ දරුවෙකු සොයා යන සිංහලයා”
සත්තියන් විසින් ලියන ලද රෝහිත් දරුවකු සොයා පැමිණීමේ කතාන්දරය වාලම්පුරි පුවත්පතේ පළවී තිබුණි. එදින දවස පුරා ම සත්තියන්ට දුරකථන ඇමතුම් ගලා එන්නට විය.
“නියම ආර්ටිකල් එකක්; හිත පුපුරල යනව”

ලැබෙන කිසිදු ඇගයීමකින් හෝ ඔහුගේ සිතට සතුටක් ගෙන ආවේ නැත. 
දැන් සත්තියන් ද පාරේ යන දරුවන් දකින සෑම විටකදී ම වීණාවක් ඔසවා ගෙන ගිය දරුවා ඒ අතරේ සොයන්නට උත්සාහ කරයි. රෝහිත්ගේ සිත සසල වූ විලසින් ම සත්තියන් ද චංචලත්වයේ වෙලී සිටියේ ය.

 මාරන් වීණාව ඔසවාගෙන ගිය දරුවාගේ ඡායාරූපය තබා ගෙන සෙල්ලම් කරමින් සිටියේ ය.
“රෝහිත් මාමාට පව් නේද? ඔයා ඇයි එයා හමුවුණේ නැත්තෙ? තාත්තේ මේ අය්ය කොහෙද අනේ ඉන්නෙ—-?”
කල්පනාවේ වෙලී සිටින සත්තියන් මාරන්ගේ පැනය පිළිබඳ සැලකිලිමත් වූයේ නැත.

වාලම්පුරි පුවත්පතේ කතුවරයා විදේශ රටකට ගොස් සිටි බැවින් එදින සත්තියන්ට කාර්යාලයේ වැඩ අධිකව පැවතුණි. ඔහු හමුවීමට කවුදෝ පැමිණ සිටින බවට දුරකථනයෙන් තොරතුරු ලැබුණි. ප්‍රවෘත්ති කියවා බලා ඒවාට ශීර්ෂපාඨ සකස් කරමින් සිටි සත්තියන්ට වීණාව රැගෙන ගිය දරුවා පිළිබඳ තොරතුරු ලබා දීමට කවුරු හෝ පැමිණ සිටිනු හැකි යැයි සිතුණි. ඔහු පිළිගැනීමේ කාමරය බලාදිව ගියේ ය.

තෙල් හෝ වතුර බිඳක් නොදුටු, වියළී දුහුවිලි තැවරුණු හිසකෙස් ය. පාරේ දෙපස තිබෙන පස් වැදී සිරුර රතු පැහැයට හැරී ඇත.  තනිකමත්, ශෝකයත්, ධෛර්යවන්ත බවත් මුසුව පැවති මුහුණකි. කමිසය තැනින් තැන සිදුරු වී තිබූ අතර, කලිසම ලිස්සා පහළට ඒම වළක්වා ලීමට කටුවක් ගසා තිබුණි. අතක තිබූ පොලිතීන් බෑගයේ රටකජු පැකට් ය. උරහිසේ දමාගෙන සිටි තවත් බෑගයක කුමක්දෝ බඩු වගයකි. වයස අවුරුදු 12 – 13  පමණ ඇත. ප්‍රශ්නාර්ථවත් බවක් හඟවමින් බලා සිටයේ ය.
“මහත්තයට ද සත්තියන් කියන්නෙ?”
ඔහු ප්‍රශ්න කළේ වැඩිහිටියෙකුගේ ලීලාවෙනි.
“ඔව්—- ඔයා—-?”
“මොකටද ඒ සිංහල කෙනා මං හොයන්නෙ? එදාත් බස් එකේදි දැක්ක- මගේ ෆොටෝ එකක් පෙන්නල ඇහුව—-”
මුහුණේ බියමුසු බවක් පෙනුන ද ඔහු ප්‍රශ්න කළේ මඳක් මුරණ්ඩු බවක් පාමිනි.
“එයාට මොකක්ද තියෙන ප්‍රශ්නෙ?”
සත්තියන් මොහොතක් ගල් ගැසුණි.
“පුතා ඉස්සෙල්ල ඉඳගන්නකො-”

සත්තියන් ඔහුගේ දෑතින් අල්ලා අසුනෙහි හිඳ ගන්නට සැලැස්වූයේ ය. එහෙත් ඒ කුඩා දරුවාගේ දෑස් තව දුරටත් ප්‍රශ්නාර්ථ ලීලාවෙන් ම පැවතුණි.
“යුද්දෙදි වීණාවක් උස්සගෙන ගියේ ඔයා නේද?”
ඔහු පිළිතුරක් නොදී නිහඬව සිටියේ ය.
’‘ඒ ඔයා නේද? කියන්න පුතා—-”
ඔහු සෙමින් තම උරහිසේ එල්ලා තිබූ බෑගය විවෘත කර ඒ තුළ වූ වීණාව එළියට ගත්තේ ය. එහි තත් පිරිමැද වාදනය කළේ ය. සත්තියන්ගේ දෑස් පුපුරා ගියාක් වැන්න. ඒ නාදය තුළින් ඔහුගේ සිත පුරා කුමක්දෝ මතු වී ආවේ ය.
’‘කාගෙද මේ වීණාව පුතා?”
’‘මේක මගෙ අක්කගෙ වීණාව-”
’‘එයා කොහෙද දැන්?”
’‘එයා මැරිල—-”
’‘——–?”
“අපි කවුරුත් අවතැන් වෙලා හිටියෙ. තාත්ත අම්ම මම අක්ක—- හමුදාව පස්සෙන් පන්න පන්න වෙඩි තියනව. උණ්ඩයක් ඇවිත් අක්කගෙ බෙල්ල හරහ ගියා. අක්ක එතන ම මැරිල වැටුණ. අපිත් එතන වැටිල ඉඳගෙන ඇඬුව. ආර්මි එක ආයෙත් ෂෙල් වෙඩි ගහන්න පටන් ගත්ත. අපි අක්කව එතන ම දාල පිටත්වුණා. ටික දුරක් ගියාට පස්සෙ මම ආයෙම දුවල ආව. ඒ වීණාව අක්ක හැම සටනකදි ම අත්හැරියෙ නැතුව අරන් ගිය එකක්. ඒක අක්කට පණ වගේ. බංකරේ ඇතුළෙ ඉද්දිත් ඒක තුරුල් කරගෙන තමයි නිදාගත්තෙ. ෂෙල් වෙඩි ළඟ ළඟ ම වැටෙන්න ගත්ත. මම දුවල ගිහින් ඒක අරගෙන ඇවිත් බලනකොට ෂෙල් වෙඩිල්ලක් අම්මවත් බිලි අරන්. ඒ අතරේ ම මට තාත්තත් මගඇරුණ. හොයාගන්න බැරිවුණා.”

ඔහු කතා කර අවසන් වන විට දෑසින් හෙළුෑ කඳුළින් කම්මුල්වල තැවරී තිබූ දූවිළි සේදී ගලා ගියේ ය. ඔහුගේ නම මේගවණ්ණන් ය. දැනට වාසස්ථානය වී තිබෙන්නේ බස් නැවතුම්පළයි. රෝහිත් ඔහුව සොයා පැමිණියේ කුමක් සඳහාදැයි සත්තියන් ඔහුට පැහැදිලි කර දුන්නේ ය. 
’‘මම බයවුණා. නැත්තම් එයාත් එක්ක කතා කරන්න තිබුණ.”
’‘මම රෝහිත් මාමාට ලියුමක් ලියනව. ඔයාට එයා එක්ක කතා කරන්න සලස්වන්නම්. එයා ඉක්මනින් ම ඇවිත් ඔයාව හමුවේවි.”

“ෂහ්—- මට එයා එක්ක කතා කරන්නයි තිබුණෙ—-”

මේගවණ්ණන් යළි යළිත් හිස පහතට නමා ගෙන පශ්චාත්තාප වූයේ ය.
කෙසේ හෝ රෝහිත්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ වී ඇත. මින් පසු ඔහුට නිවීහැනේ නින්දට යා හැකි ය.  ඔහුගේ නිදි නැති රැයවල් නිමාවට පත්වනු ඇත. රෝහිත් පැමිණ මේගවණ්ණන්ව ලන්ඩනයට කැඳවා ගෙන යනු ඇත. සත්තියන්ගේ සිත තුළ ද ප්‍රීතියක් ජනිත විය. ඔහු රෝහිත්ට ලිපියක් යැවීම සඳහා ලැප් පරිගණකය විවෘත කළේ ය.  පළමුව වෙබ් අඩවිවලට පිවිසී ප්‍රවෘත්ති බලා, ඔහුට ලිපිය ලිවිය යුතු යැයි සිතන අතරේ ඔහුගේ ඇඟිලි වේගයෙන් ලැප් පරිගණකය තුළ සැරිසැරුවේ ය. 

“දෙමළ ජනයාට ආදරය කළ සිංහල මාධ්‍යවේදී රෝහිත් දිවියෙන් සමුගනියි-”
පුවතේ සිරස්තලය දැක සත්තියන් දැඩි කම්පනයට පත්විය.  ඔහු ‘අයියෝ—-’ යි මහ හඬින් කෑ ගැසුවේ ය.  කවිදා ද තිගැස්සී නැගිට ආවා ය.  ‘මගේ දෙය්යනේ’ යි කියමින් සත්තියන් වැළඳ ගෙන ඇය ද වැලපුනා ය. ඇඳේ සිට තිගැස්සී අවදිවුණු මේගවණ්ණන් මුව වසාගෙන සිටියේ ය. තිගැස්සුණු ස්වරූපයෙන් ම සත්තියන් ඔහුගේ හිස පිරිමදින්නට වූයේ ය. 
“තාත්තේ, රෝහිත් මාමට මොකද?”
මාරන් ද මුමුනන්නට වූයේ ය.
ලැප් පරිගණකය වසා දැමූ සත්තියන් ඉකි ගසමින් හඬා වැටුණේ ය.

 මේගවණ්ණන් වීණාවේ තත් හඬවන්නට පටන් ගත්තේ ය.  නහර වැල් කපන ලද මිනිසකුගේ හඬක් ලෙස එහි නාදය විකෘති වී ඇසුණි.

රෝහිත් අවසන් වරට අත වැනූ මතකය සත්තියන්ගේ සිතුවිලි ද සසල කරන්නට වූයේ ය. තම සයිකලයේ පිටුපසින් හිඳගෙන කුඩා දරුවකු සෙවූ ඒ දෑස්වල පැවති වේදනාත්මක සේයාව ඔහුගේ මනසින් ඈත් කරන්නට නො හැකි විය. භ්‍රාන්ත වී සිටි මේගවණ්ණන් තමන් අසලින් හිඳවා ගෙන, මාරන් ව ද උකුළේ තබාගත් ඔහු දෑස් වසා ගත්තේ ය.  වසාගත් දෑස් තුළින් ද අඛණ්ඩව කඳුළු බිඳු ගලා හැලුණි.

එදින රාත්‍රියේ පෑයූ සඳ ද ආරුක්කු වීණාවක් මෙන් වක ගැසී තිබුණි.

__________පරිවර්තනය ජී.ජී. සරත් ආනන්ද_____________

දීපචෙල්වන්  ‘දීපචෙල්වන්’ නමින් ලේඛනකරණයේ නියැලෙන බාලේන්ද්‍රන් ප්‍රදීපන් 1983 වසරේදී කිලිනොච්චියේ රත්තිනපුරම් ග්‍රාමයේදී උපන්නේ ය. මූලික අධ්‍යාපනය ලැබුවේ කිලිනොච්චිය මහා විද්‍යාලයෙනි. යුද්ධය හේතුවෙන් කිහිප වතාවක් ම අවතැන්වන්නට සිදුවූ ඔහුට සිය පාසැල් අධ්‍යාපනය සම්පූර්ණ කර ගැනීම සඳහා වරින්වර උතුරේ පාසැල් කිහිපයකටම යාමට සිදුවිය. යාපනය විශ්වවිද්‍යාලයෙන් දෙමළ භාෂාව පිළිබද විශේෂවේදී උපාධිය හැදෑරූ බාලේන්ද්‍රන් පසුව ඉන්දියාවේ චෙන්නායි විශ්වවිද්‍යාලයෙන් පුවත්පත්කලාව හා ජනසන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධියද, තිරුනෙල්වේලිමනෝන්මනියම් සුන්දරනාර් විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධියද ලබා ගත්තේ ය.

මාධ්‍යවේදියකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹූ බාලේන්ද්‍රන් සාහිත්‍ය ක්‍ෂේත්‍රයට එළඹෙන්නේ කවියකු වශයෙනි. 2008 වසරේදී දීපචෙල්වන් නමින් සිය මුල් ම කාව්‍ය සංග්‍රහය ‘බංකරයක උපන් පුතෙක්’ යනුවෙන් ප්‍රකාශයට පත් කළ ඔහු මේ වන විට කවි, කෙටිකතා, නවකතා, විමර්ශන ආදී විවිධ ග්‍රන්ථ 20ක් පමණ ප්‍රකාශයට පත්කර ඇත. මෑතකදී තිර ගත වූ ඉන්දියානු අධ්‍යක්‍ෂකවරයකු විසින් නිර්මාණය කරන ලද ‘සිනම්කොල්’ දමිළ චිත්‍රපටයේ තිර රචනය හා ගීත පබැඳුම් කළේද ඔහු විසිනි. ඔහුගේ‘නඩුගල්’ නවකතාව පසුගිය වසරේ දී ‘ස්මාරක ශිලාවත’ නමින් සිංහලට බසට පරිවර්තනය විය.

This website uses cookies to improve your web experience.