හතරමං හන්දියක වචන’තරට වැටුණු ‘හෙල්ගාමය හිස් බැල්ම’

විමර්ශී
5 Min Read

කෙටිකතාව පිලිබඳ කුමනාකාරයේ නිර්වචන තිබුණද හොඳ කෙටි කතාවක්  එක් කියවීමක් තුළ පවා කියවන්නාගේ සිත කම්පනයට පත් කර, ඒ පිළිබඳ නැවත නැවත සිතීමට පොලඹවාලන බවක් ඇති කරවන බව මගේ හැඟීමයි. සාර්ථක කෙටිකතා රචකයෙකුට සුලබ තේමාවක් යොදාගෙන වුවත් මේ ආකාරයට පාඨකයා කම්පනය කරවන සුලු අපූර්ව නිර්මාණයක් කිරීමේ හැකියාව තිබේ. නොබෙල් සම්මාන ලාභී ඩොරිස් ලෙසිං ලියූ sparrows නමැති කෙටිකතාව මේ ගැන කියද්දී සිහියට නැගෙයි. කෙටිකතා රචකයෙකු කොපමණ දුරට මිනිස් සන්තානයේ ඇති සියුම් හැඟීම් විස්තර කිරීමට සමත් වෙයිද සහ එහිදී කෙටිකතාව ගොඩනැගෙන පරිසරය – එම පරිසරයෙහි ඇති, කෙනෙකුට කිසිම වැදගැම්මක් ඇතැයි නොසිතෙන කුඩාම වස්තුව පවා – සූක්ෂ්ම ලෙස තමන්ගේ කතා වස්තුව ගොඩ නැගීම පිණිස ඈඳා ගැනීමේ දක්ෂතාවද එය විසින්  ප්‍රකට කරවයි.

‘හතරමං හන්දියක වචන’තර’ කෙටිකතා සංග්‍රහයේදී සඳුන් ප්‍රියංකර විතානගේ ලියන ඇතැම් කෙටිකතාවක දී ද මේ ලක්ෂණය ඉස්මතු වෙයි. ඔහුගේ කෙටිකතා සංග්‍රහයෙහි එන ‘හෙල්ගාමය හිස් බැල්ම’ නම් කෙටිකතාව මේ කාරණය අරභයා තදින් සිත ඇදබැඳ තබා ගන්නට සමත් වුණු කතාවකි. මෙහි වස්තු බීජය බැලූ බැල්මට සුලබය. හිට්ලර්ගේ නාසි හමුදා සහ යුදෙව් මර්දනය ගැන ලියැවුණු නිර්මාණ ඕනෑ තරම් අප කියවා තිබේ. එහෙත් ‘හෙල්ගාමය හිස් බැල්ම’ ලියන කෙටිකතාකරුවාගේ දක්ෂතාව වන්නේ, විදේශීය දේශපාලන සන්දර්භයක තබා ඔහු ජීවත් වන සමාජයද ඉතිහාසය පුරා අත්විඳ ඇති පීඩක රාජ්‍යය, වර්ගවාදය, පීඩිත ජාතියකට අත්විඳින්නට සිදුවන අයුක්තිය මෙන්ම පුරුෂ මූලික සමාජයක සමාජ සම්මතයන්ට අවනත නොවන ස්ත්‍රියට එල්ලවන පීඩනය පිලිබඳ සහකම්පනීය හැඟීම් එම විදේශීය සමාජ පරිසරය තුළම තබා අපට සිහි ගන්වන්නට සමත් වීමය.

ඒ සඳහා ඔහු කෙටිකතාවට ගෙන එන හෙල්ගා නම් තරුණියගේ චරිතය අපූරුය. තරුණියක ලෙස අමුත්තක් නැති වීම ම ඇගේ අමුත්ත හෝ අපූර්ව බව ලෙස කෙටිකතාකරුවා එම චරිතය ගොඩනගයි.

” පාවහන් පමණක් නොවේ; ඈ ද කිසි ලකයක් නැති එකියකි; නූස් ය.  සාමාන්‍යයෙන් ඕනෑ ම තැනක දී දකින්න හැකි ආකාරයේ මුහුණකි. කියොඹු වැලක් දෙකක් දෙපසින් ලිහී තිබේ. දෙබැම පමණක් රෝම උගුලුවා සකස් කර තිබෙයි. නාසයෙහි මුවෙහි සාහිත්‍යකාරයන් වර්ණනා කරනාකාරයේ වෙසෙසක් නැති. ”
(පිටුව 30)

ඊලඟට කෙටිකතාකරුවා මෙම “කිසි ලකයක් නැති” තරුණිය පිරිමින් විෂයයෙහි මෙතරම් කුහුල වඩවන්නේ කුමක් නිසාද යන්න විස්තර කරයි.
“ප්‍රධාන කොටම ඈ පිරිමින් නොසලකා හරින්නීය. පිරිමින් පමණක් නොව ගැහැනුන්ද සමස්තය ම ඈ ගණනකට ගන්නේ නැත. එය අරුම යමකි”
“…..අනන්තය දෙසට යොමු වුණු ඇයගේ හිස් දෑසත්, මේ හැසීරීමත් විසින් පිරිමින් කෙරෙහි ධාරණා දෙකක් ඇති වෙයි. මේ අමුත්තිය හෙළාගෙන, ඈ සිය වසඟයට ගෙන , ඇයගේ එඩි දර්පය බිඳ ඈ අනෙක් ඕනෑම කාන්තාවක බවට පත් කිරීමයි. එසේත් නැත් නම් මොන යම් ආකාරයකින් හෝ ඈ විනාශ වී යනු පිණිස කැමැති වීමයි. ඇයගේ මේ ‘ ඈ වීම ‘ පිරිමින්ට කිසි සේත් ම දරා ගත නොහේ.”
(පිටුව 31)

ස්ත්‍රී පුරුෂ සබඳතා විෂයයෙහි මෙවැනි සියුම් කියවීම් වචනයට නැගීමට කෙටිකතාකරුවා දක්වන දක්ෂතාව මෙම නිර්මාණය පුරා දකින්නට ලැබෙයි. විශේෂයෙන්ම හෙල්ගා නම් තරුණියගේ එකී ‘හිස් බැල්ම’ කෙටිකතාව තුළ ප්‍රබල ලෙස ඉස්මතු ව ඇගේ ආත්මය නිරාවරණය කරන අතර, පවතින ක්‍රමයට ඇය දක්වන ප්‍රතිරෝධයද කිසිවක් තුට්ටුවකට මායිම් නොකර සිටිමින් ඇය හෙලන ඒ හිස් බැල්ම ම ය ! ඉතා අයුක්තිසහගත ලෙස ඛේදනීය ඉරණමකට පත් කරද්දී පවා ඇය “ඉතා ශාන්තව, ඇයගේ සදාකාලික හිස් බැල්ම” ඇසේ රඳවාගෙන සිටින්නීය. විලාපයන් සහ ඉකිගැසුම් ඇසෙද්දීත් අසල ගොඩනැගිල්ලකින් දුම්රොටු අහසට නගිනා’යුරු හෙල්ගාගේ “හිස් බැල්මට” හසු වෙයි.!

එකී චරිතයෙහි සංකීර්ණ බව නිසාම, ඈ ඇසුරු කළ පිරිමින්ට පමණක් නොව කෙටිකතාව කියවන පාඨකයාටද ඇගේ චරිතය දෙස කුහුලෙන් බලමින්, ඈ වෙත බැඳෙමින්, කෙටිකතාව අවසානයේදී ඈ මුහුණ දුන් ඉරණම පිලිබඳව කම්පනයක ගිලෙමින්  කෙටිකතාව කියවා නිම කිරීමට සිදුවෙයි. එහෙත් හෙල්ගා නම් තරුණියගේ චරිත ස්වභාවයෙහි ගුප්ත ස්වභාවය පිළිබඳ නොසිතා සිටීමට කෙටිකතාව කියවා අවසන් කළ පසුව පවා නොහැකි වෙයි. කෙටිකතාවේ ම තැනක කියැවෙන පරිදි ” ඈ යනු සම්පූර්ණයෙන් ම කුහුලකි”..!

මෙවැනි සංකීර්ණ චරිතයක් කෙටි කතාවක සීමාව තුලදී ගොඩනැගීම අභියෝගයක් බව මගේ හැඟීමයි. සඳුන් ප්‍රියංකර විතානගේ එම අභියෝගය ජය ගන්නේ සමාජය සහ පුද්ගල මනෝභාවයන් පිලිබඳ තියුණු නිරීක්ෂණ ඉතා සීරුවෙන්, මනරම් භාෂාවක්ද යොදා ගනිමින් කෙටිකතාවේ ආඛ්‍යානය තුළට ගෙන ඒමෙනි.

මේ කෙටිකතා සංග්‍රහයේ එන අනෙක් කෙටිකතාද විවිධ තේමා ඔස්සේ, එ් ඒ තේමාවට ගැළපෙන භාෂා රටා යොදා ගනිමින් ලියැවී තිබේ. ‘මාෂා සහ වලස්සු’, ‘සංහිඳියා බයිට් එක’, ‘වෙනුවට මිය යන දිවියක අරුත’, ‘හද සන්තානේ විඳි සන්තෝසේ’ එවැනි කෙටිකතා කිහිපයකට උදාහරණ වේ.

සමස්තයක් වශයෙන් ගත් කල ‘හතරමං හන්දියක වචන’තර’ නම්වූ කතුවරයාගේ කුළුඳුල් කෙටිකතා සංග්‍රහය සිංහල කෙටිකතා කලාව විෂයයෙහි නැවුම් බලාපොරොත්තු දල්වන්නකි.

-කත්‍යානා අමරසිංහ

Share This Article
Leave a comment