වෙනස්වීම්

ලතා උදයන්
9 Min Read

අම්මාගේ දෑස්වලින් කඩා හැලෙන කඳුළු දෙස මම නිහඬව බලා සිටියෙමි. “මං මොනවා කිව්වත් එයා අහන්නේ නැහැනේ… ඉතිං අඬපුදෙන්… ‘’ අප්පා අම්මාට තරවටු කළේය. මමත් ඉතා අපහසුතාවට පත් වී සිටියෙමි. පාරේ යන එන මිනිස්සු අප දෙස බලමින් ගියහ.

ග්‍රාමක්කෝඩු , මන්දිහෛ, වසිරි ආදී සංවිධානයේ සෑම කඳවුරක් ගානේම යමින් ගිනියම් අව්වේ මල්ලීව සොයමින් ඇවිදිමින් සිටියෙමු. සෑම තැනකින්ම ඔහු නැතැයි කියන ලදී. අවසානයේ කට්කෝවලෛ කඳවුරේ ඔහු සිටින බව දැනගන්නට ලැබිණි. නමුත් ඔහු අප දැකීමට හෝ හමුවන්නට අකමැති බව කියා එවා ඇත.

මල්ලී අප හමුවන්නට කැමති නොවන බව මම පෙර සිටම දැන උන්නෙමි. නමුත් තවමත් මෙතන සිටගෙන සිටින්නේ අම්මාගේ කරදරය නිසාය.

“ අනේ පුතාට එකපාරක් මාව ඇවිත් බලන්න කියන්නකෝ.. පුතා ආවේ නැත්තම් මම කන්නේ බොන්නේ නැතුව බඩගින්නෙම ඉඳලා මැරිලා යනවා.. “ අම්මා මුරණ්ඩු වෙමින් විලාප නගමින් හඬන්නට ගත් නිසා එතැන සිටි වගකිවයුතු පුද්ගලයා ද කුමක් කරන්නේදැයි නොදැන අපහසුතාවට පත්ව සිටියේය.

“උඹේ ළමයා වගේ ළමයි සිය ගාණක් මෙහෙ ඉන්නවා. හැම අම්මා කෙනෙක්ම මෙහෙම තමයි ඇවිත් විලාප තියෙන්නේ. නැගිටිනවා දැන් යන්න ” යයි කියමින් අම්මාව නැගිට්ටවූ අප්පා අම්මාව බයිසිකලයට නග්ගා  ගත්තේය. හැඬීම නිසා අම්මාගේ මුහුණ ඉදිමී මලානික වී ගොස් තිබිණි.

“මම සංවිධානයට බැඳෙන්න ගොඩක් කැමතියි. ඒත් මම ගියොත් ඔයා උපවාස කරන්න පටන් ගනියි. ඒ නිසයි මම යන්නේ නැත්තේ.. ” යැයි විහිලුවට නිතරම අම්මාට කියමින් සිටි මල්ලි ඇත්තටම දැන් ගිහින්ය.

අම්මා නිරාහාරව සිටීම ගැන  ඔහු තවදුරටත් තැකීමක් නොකරන බවක් පෙනෙන්නට තිබුණි.

විශාල ප්‍රදේශයක් ආවරණය කරන මෙම කඳවුරේ පිටුපසින් යන විට මම එබී බැලුවේ අහම්බෙන් හෝ  මගේ මල්ලීගේ මුහුණ දැකගන්නට ලැබේවී යැයි සිතාගෙනය.  මගේ බලාපොරොත්තුව දිය වී පයට පෑගී හීන් වැල්ලට යට වී ගියේය.

එම පාරවල්වල බයිසිකල් පැදීම අපහසු වූ හෙයින් අපි බයිසිකලය තල්ලු කරගෙනම ප්‍රධාන මාර්ගයට ආවෙමු. මුහුදේ සිට සටන් කරන  “කඩල් පුලි” බළකායේ නිල ඇඳුමින් සැරසුණු සටන්කරුවෝ  හතර පස් දෙනෙක්  අප පසුකර ඇතුල් පාරකට හැරුණෝය.  මගේ මල්ලිගේ සිහිනය නෙත් මානයේ දිස්විය.

ඔහු මුහුදේ නෑමට ගොඩක් ආසා ය. දැන් ඔහුට ආශාවන් සියල්ල අමතක වී ගොස් ඇති..

“මුහුදේ නාලා නාලා කළු වෙලා කපුටු පැටියෙක් වගේ වෙයි” කියමින් අප නිතර ඔහුට උසුළු විසුළු කළ හැටි මට සිහිවෙයි.

“එළියේ හමුදාව එක්ක සටන් කරනවට වඩා මුහුදේ ඉඳන් සටන් කරන එක තමා වීරකම“ පණ්ඩිතයෙක් මෙන් පවසන මල්ලී අවසානයට  “ මම සංවිධානයට බැඳෙනවා නම් බැඳෙන්නේ  කඩල් පුලි බළකායට තමයි “ යනුවෙන් ආඩම්බරෙන් කියයි.

එලෙස සෙල්ලමට කිවූ කතා අද යතාර්ථයක් වී අපෙ දෑස් ඉදිරියේ චිත්‍රපටයක් සේ දර්ශනය වෙමින් තිබිණි.

වරක් මල්ලී “මම සංවිධානයට බැඳෙනවා…” යැයි කියමින් අප්පාව බිය වද්දා අලුත් බයිසිකලයක් මිලදී ගත්තේය. “ මෙහෙම කිය කියා ඉන්න කට්ටිය කවදාවත් යන්නේ නෑ.. මේ වගේ බය ගුල්ලෝ කොහේ යන්නද ? ” මල්ලිත් සමඟ නිතරම රණ්ඩුවට යන නංගී නිතරම කියමින් සිටියාය. නමුත් අම්මාත් එක්ක එක් වී දැන් වැඩිපුරම අඬන්නේ ඇයයි.

නිවසේ මල්ලී නැති පාලුව දැනෙනවිට මට කෑ ගසා හඬන්නට සිතිණි. නිවස ආලෝකමත් කළ පහන සුලි කුනාටුවකට හසුවී නිවී ගියාක් මෙන් දැනුණි.

පොල් ගසට හේත්තු වී සිටි මට මල්ලී මතක් වන විට හදවත තදින් අල්ලා සිරකොට දමා ඇති බවක් දැනුණි. අපගේ පවුලෙන් ඔහුගේ සියලු ආසාවන් හා හැඟීම් ගැන වැඩියෙන්ම සැලකිල්ලක් දැක්වූයේ මා ය. එවිට අනෙක් අය “හුරතල් කරලා නාස්ති කරනවා“ කියමින් මට තරවටු කරති.

මල්ලී සමහර දිනවලදී රෑ බෝ වන විට කොහෙන් හෝ සංවිධානයේ මහා විරු ගීත කැසට් කිහිපයක් සොයාගෙන එයි. ඒ දිනවල සිංදු අසන්නට නම්  බයිසිකල් ඩයිනමෝව කරකැවිය යුතු වූ නිසා අපි දෙදෙනකු දෙපැත්තෙන් වාඩි වී කරකවන්නෙමු. මේ අතර වටේ පිටේ පොඩි උන්ද මෙතැනට පැමිණෙයි. පිරිස වැඩිවන විට ගීතවලට නව පණක් ලැබුවා මෙනි. මල්ලී ද ගීත ගායනා කරමින් යටපත් වී තිබෙන හැඟීම් අවදිකරයි.  විජයග්‍රහණයක් ලැබුවා සේ උඩ පනිමින් ඔහු ඇවිදින සැටි දකින මගේ හදවත සෙනෙහසින් උතුරා යයි.

දිලීපන්ගේ අනුස්මරණ දිනය පැමිණිය හොත් මල්ලී අලුයමින්ම නැගිට ගොස් අතුරු පාර ආරම්භයේ ඔහු සෑදු උපහාර ආසනයට දිය ඉස , මල් කඩා ගෙනැත් දී මා අවදිකොට මල් මාල ගොතාගෙන එහි තැබීමට රැගෙන යයි. සෑම අතුරු පාරකටම ගොස් සාදා ඇති උපහාර ආසන බලා විත් ලස්සනම උපහාර ආසනය ඔහු සෑදු එක යැයි කියමින් උදම් අනයි. ඔහුගේ මෙම සෙල්ලක්කාර වැඩ පිටුපස සැඟව තිබුණු විමුක්තියේ පිපාසය පිළි බඳ මට එවිට තේරුණේ නැත.

අවසානයේ ටවුමෙහි පැවතුණු  මහා විරු සැමරුම් උළලේදී සියල්ලන්ම විස්මයට පත් කළ ‘’කුඩා අරගලකරුවාගේ මෘදංග වාදන වැඩසටහන’’ නම් සංගීත වැඩසටහන බලා විත් ඔහුටද මෘදංග වාදනය පුහුණු වන්නට අවශ්‍ය බව කියමින් මුරණ්ඩු වෙමින් මට කරදර කරමින් සිටියේය. මේ  කරදරය නිසාම මෘදංග වාදන පුහුණු පංතියක් සොයා ඔහු ඇතුළත් කළෙමි. ගිය මාසය තෙක්ම මල්ලී සැමදාම පන්තියට ගොස් ඇත.එම සිද්ධිය සිදුවන තෙක් මල්ලීගේ කිසිම වෙනසක් මා දුටුවේ නැත. ඒ දිනය ගැන සිතන විට දැන් පවා ඇඟ කිලි පොලා යයි.

දෑස් පියාගෙන එම සිදුවීම මතක් කළෙමි. මරණ බිය වෙලාගෙන තිබුණු අප ජීවිතවලට අත්‍යවශ්‍යම අංගයක්  වී තිබුණු “බංකර” සිලිපර් කොට යොදාගනිමින් ශක්තිමත් කොට, ඇතුලතින් සිමෙන්ති කපරාරු  කොට සෙලවෙන්නේ නැති ලෙසට සාදා තිබුණු අතර එක්  වීදියකට එකක් ලෙස අප ගමට බංකර තුනක් තිබිණි. එසේම ඒවා ප්‍රධාන මාර්ගයේ යන එන ජනයා ගැනද සිතා තරමක් විශාලව සාදා තිබිණි.

එම ඉරිදා දිනය හිරු උදා වූ දීප්තිමත් දිනයක් විය. එකවරම  ඇසුණු  බෝම්බ පිපිරෙන  ශබ්දය නිසා බංකරයේ දොර ළඟට සියල්ලෝම දිවගෙන ඇවිත් තිබිණි.  “ මට මොනවදෝ වෙනවා..“ කියමින් අම්මා පපුව අල්ලගෙන කෑ ගසමින් එහෙ මෙහෙ දුවමින් සිටියාය. එකවර නැගෙන කුඩා ශබ්දවලට පවා මෙලෙස බය වන අම්මාට ඒ ගැන කියමින් විහිලු කරන්නට ගොස් මල්ලී අම්මාගෙන් බැනුම් අසාගෙන ඇති වාර ගණන අනන්තය. වත්ත පැත්තට වැටුණු බෝම්බයේ ශබ්දය ඇසුණු සියලු දෙනා බංකරය තුළට දිව යන්නට වූහ.

මල්ලී තවමත් දොරකඩ සිටගෙන බෝම්බ වැටෙන්නේ කොහේටදැයි බලමින් සිටියි. ”ඔතන ඉන්නේ නැතුව මල්ලීට  ඇතුලට එන්න කියපන් …මගේ පපුව රිදෙනවා මූ නිසා ‘’ අම්මාගේ බැණුම නිසා මල්ලී ඇතුලට ආවේය. ගුවන් දඩයම නැවතුණු  පසු මරණ බියෙන් සැලෙමින් අපි එළියට පැමිණියෙමු.

පාර පැත්තට තිබුණු පැල්පත් දෙකක් කුඩු පට්ටම් වී ගොස් තිබිණි. සියලු දෙනා බංකරය තුළ  සිටි බැවින් අප සිතුවේ කිසිදු ජීවිත හානියක් සිදුවී නැතැයි කියාය. නමුත් සිදුවී ඇති විපත තේරුණේ  ටවුමට ගොස් සිටි රාසම් අක්කා විලාප දෙමින් පැමිණ කැඩුණු පැල්පත තුළ  තම දරුවන්ව සොයන විටය. වැඩිමහල් දරුවන් දෙදෙනා එළියට වී සෙල්ලම් කරමින් සිටියදී දිව ගිය මිනිසුන් සමඟ බංකරයට පැමිණ ඇත. අවුරුදු එකහමාරක බාල දරුවා තම බිහිරි සීයා සමඟ පැල්පත තුළ  සිට ඇත.

සුන් බුන් එහා මෙහා කොට අපි බැලුවෙමු.  සීයා සුළු තුවාල සහිතව සුන් බුන් අතර වැටී සිටියේය. කම්පනයට හා බියට පත්ව සිටි ඔහු හැලහොල්මනක් නොමැතිව බලාගත් අත බලාගෙන  සිටියේය. නමුත් ළදරුවා මියගොස්ය. මලක පෙති ගලවා ඉරා  පොළොවට විසි කර දැමුවාක් මෙන් පෙනුණු එම දර්ශනය දුටු මල්ලී තිගැස්සී කෑ ගැසුවේය.

ඔහු නිතරම වඩාගෙන සුරතල් කරන එම දරු පැටියාගේ දේහය සොහොනට ගෙන යන මොහොතේ පවා අවසාන වතාවටවත්  දරු පැටියාගේ මුහුණ බැලීමට ධෛර්යයක් ඔහුට තිබුණේ නැත. එදින රෑ බෝ වන තුරුම ඔහු මුහුදු වෙරළට වී හිඳගෙන හොඳටම හැඬූවේය.

එම සිද්ධියෙන් පසු ඔහුගේ කතාව ඉතාමත් අඩු විය. මුරණ්ඩු වැඩ හා රණ්ඩු කිරීම්ද නැවතිණි.

“මල්ලී හොඳටම බය වෙලා වගේ.. සෙල්ලක්කාරකමත් එත් එක්කම අඩු වෙලා “ මල්ලී ගැන පවුලේ සැවොම කතා වුණහ.

නමුත් ඔහු ඇතුළතින් දැඩි වේදනාවක් විඳින බවත්, ඔහුගේ තුවාල වුණු සිත පහසුවෙන් කිසිසේත්ම සුවපත් නොවන බවත්,  එය කෙදිනක හෝ විශාල ගිනි කන්දක් වී පුපුරා යන බවත්, ඒ ගිනි මතින් ඔහු යළිත් ඔහුව ගොඩනගා ගනු ඇති බවත් මම දැන සිටියෙමි. එය එසේම සිදුවිය.

හෙට උදයේම මා පංතිවලට සහභාගී වීමට යාපනයට යා යුතුය. මට ඒ සඳහා හිත හදාගත නොහැකිය.

මා බස් එකට හැරලවා, සිනාසෙමින් රුපියල් පහේ කාසියක් මගෙන් උදුරාගෙන යන මල්ලී ව මතක් වෙයි.

ඔහු නොමැතිව නිවසින් එළියට බහින්නට වත් නොසිතෙයි.

 

සිංහල පරිවර්තනය – රික්සා ඉන්ෆාස්

ලතා උදයන් – යාපනයේ පේදුරුතුඩුව නගරයේ උපන් ලතා උදයන්, උතුරේ ඇවිලුණු මර්දනකාරී යුද්ධයෙහි පීඩාව විඳ  සරණාගතයෙකු ලෙස උපන් බිමෙන් පිටව ගියේ 90 දශකය මැද දීය. දෙමළ භාෂා  ගුරුවරියක වන ඇයගේ පළමු කෘතිය 2001 වර්ෂයේ එළිදක්වන ලද ‘ඔරු නදියින් තේඩල් ’ නම් කෙටිකතා සංග්‍රහයයි. 2015 වර්ෂයේදී ඇය ලියූ ‘උන්නෛ සරනඩෛන්දේන්‘ නවකතාව ප්‍රකාශයට පත් විය. ඉන්පසු ‘අක්කිනිකුංජිගල් ’ නම් නවකතාව 2022 වර්ෂයේදී ප්‍රකාශයට පත් කොට ඇත. මෙම කෙටි කතාව පෙර සඳහන් කළ ඇයගේ පළමු කෘතිය වන ‘ඔරු නදියින් තේඩල් ’ නම් කෙටි කතා සංග්‍රහයේ එන කෙටිකතාවකි.
Share This Article
Leave a comment