Skip links

ලාංකේය ටෙලිවිෂන්කරණයේ දෘෂ්ටිවාදී ප්‍රචාරණය

ටෙලිවිෂන් මාධ්‍ය අද්‍යතනය වන විට පශ්චාත් කාර්මික ශිෂ්ටාචාරය තුළ පොදු ජන විඥානය සකස් කිරීමෙහිලා ප්‍රමුඛ මැදිහත්වීමක් සිදුකරමින් සිටී. දෘෂ්ටිවාදය සකස් කරමින් ඒ අනුව එයට අදාළ නිශ්චිත වෙළඳපොලක් සකස් කිරීම ලංකාවේ ටෙලිවිෂන් කර්මාන්තය තුළද පසුගිය කාලයේ කැපී පෙනෙන ලෙස වැඩි වී තිබෙනු නිරීක්ෂණය කළ හැකි විය. මෙම ලිපියේදී මූලිකව සලකා බැලෙන්නේ අද්‍යතන සිංහල මාධ්‍ය රුපවාහිනී නාලිකාවල දෘෂ්ටිවාදී ප්‍රචාරණය පිළිබඳවය.

ටෙලිවිෂන් මාධ්‍ය යනු සමිපූර්ණයෙන්ම පාහේ තාක්ෂණික ක්‍රියාදාමයක් මත පිහිටා ජනතාව වෙත තොරතුරු සන්නිවෙිදනය කරන්නකි. ජනතාව ටෙලිවිෂනය හරහා මෙි සන්නිවෙිදනය කරන තොරතුරු පිළිබඳ දැඩි විශ්වාසයකින් යුතුව කටයුතු කරයි.

අනෙක් අතට ටෙලිවිෂනය විසින් සියල්ල තීරණය කරයි. වෝල්ටර් ලිප්මන් (Walter Lippman) නම් සන්නිවේදනඥයාට අනුව රූපවාහිනිය මනස් කළමනාකරුවෙකි. අප කුමකට රුචි විය යුතුද, අපේ ශරීරවලට ගැළපෙන ඇඳුම් මොනවාද, ආදරය කළ යුත්තේ කෙසේද, සරලවම අපි ජන්දය දිය යුත්තේ කාටද යන දේවල් පවා රූපවාහිනිය විසින් ප්‍රේක්ෂකයන්ට තීරණය කර දෙන තැනට පැමිණ තිබෙන බව නිරීක්ෂණය කළ හැකිය.

වර්තමාන රූපවාහිනි මාධ්‍ය ඉතාමත් වෙිගයෙන් වානිජකරණයට ලක්වීමත් සමඟ දෘෂ්ටිවාදය වපුරන මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම පිළිබඳ නිරික්ෂණාත්මක අදහසක් විද්වතුන් අතර පවතී. කාලයෙන් කාලයට විවිධ මාතෘකා පදනම් කර ගනිමින් පෝෂණය වූ රූපවාහිනී කලාවේ මෑත කාලයේ ව්‍යාපාරික ඉලක්කය වූයේ දේශපාලනික වශයෙන් ජන මනස වෙනස් කිරිමෙි දෘෂ්ටිවාද නිර්මාණය කිරීමෙි අභිලාෂයෙන් යුතු ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම ය.

දෘෂ්ටිවාදය යනු

ජන සමාජය තුළ බලය (Power) අත්පත් කරගෙන ඇති පුද්ගල සමූහයක් විසින් තර්කානුකූලව හෝ විද්‍යාත්මකව සාවද්‍ය අදහස් මාලාවක් තමන්ට වාසිදායක ලෙස සමාජගත කොට පවත්වාගෙන යාම දෘෂ්ටිවාදයයි (Ideology). මහාචාර්ය විමල් දිසානායක පෙන්වා දෙන ආකාරයට “බලය තහවුරු කිරීම වෙනුවෙන් සමාජ අර්ථ නිෂ්පාදනය කිරීම” දෘෂ්ටිවාදය යනුවෙන් සරලවම අරුත් ගැන්විය හැකි බව ඔහුගේ අදහසයි. මේ සඳහා ජනතාව අතර නිරවද්‍යතාවයෙන් තොර වු සාවද්‍ය දෘෂ්ටියක් ඉතා සියුම් ලෙස ප‍්‍රචලිත කිරීම සිදු වේ. එබැවින් මෙවැනි දේ ප‍්‍රශ්න කිරීමකින් තොරවම බාර ගැනීමට පුද්ගල සමුහයා පෙළඹී තිබේ. මෙි හරහා පවතින සමාජ පද්ධතිය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම රාජ්‍යයට ද ඉතා පහසුය. උදාහරණයක් ලෙස ‘ගැහැණිය සමාජයේ ඉහළට පැමිණීම නොකළ යුතු ය, පුරුෂයාගේ සහායිකාවක් විය යුතුය’ වැනි අදහසක් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම තුළින් කාන්තාවන් රැකියා ඉල්ලා හඬ නැඟීම, කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම යන සංසිද්ධීන් පහසුවෙන්ම පාලනය කරන්නට රාජ්‍යයට හැකිය.

එනිසා රාජ්‍යය විසින් සිදුකරන්නේ ‘කාන්තාවට රැකියා අවශ්‍ය නොවෙි’ යන දෘෂ්ටිවාදය සාමාන්‍යකරණය කොට පවත්වාගෙන යාමයි. ‘අපි දුප්පත් වෙන්නෙ අපේ ගිය ආත්මෙ කර්මය නිසා, මේ ආත්මෙදිවත් පින් කර ගන්න ඕනෑ’ වැනි ව්‍යාජ අදහස් ජන විඥානය තුළ රෝපණය වී ඇත්තේද ආගමික දෘෂ්ටිවාදී මායාවක් ආකාරයෙනි. ‘දෘෂ්ටිවාදය යනු දාර්ශනික, දේශපාලනික, ආගමික, සදාචාරමය සහ සෞන්දර්ය විද්‍යාත්මක මත පද්ධතියක් බව අන්තෝනියෝ ග්‍රාමිස්චිගේ දෘෂ්ටිවාදය සමිබන්ධ අදහස වේ. ‘මෙය අවසාන විශ්ලේෂණයේදී සමාජ පංතිවල වුවමනාවන් ප‍්‍රකාශ කරයි’ යන අදහසට අනුව බලන කල ආගමික, ආර්ථික, දේශපාලනික හෝ සෞන්දර්ය විද්‍යාත්මක වුවමනාවන් දෘෂ්ටිවාද වෙතින් පිළිඹිබු කරයි.

‘අම්මේ ඔයාට රසට උයන්න පුළුවනි, ඔයාගෙ කෑම නම් මරු, ගෙදර බුදුන් අම්මා’ යනාදි දෘෂ්ටිවාද තුළ වුවද ඇත්තේ රූපමය ආකාරයේ දෘෂ්ටිවාදයි. අප දැන හෝ නොදැන හෝ ආදරය, ප‍්‍රශංසාව, කරුණාව සහ අගය කිරීම යනාදී ස්වරූපයන් වුවද දෘෂ්ටිවාදත්මක ආකාරයෙන් ක‍්‍රියාත්මක විය හැකිය. එය සෘජුව හෝ වක‍්‍රව කිසිවෙකුගේ හෝ කිසියම් පිරිසකගේ වුවමනාවක් වෙනුවෙන් සේවය කරන්නකි. මෙම දාෂ්ටිවාදය වර්තමානය වනවිට පාලනය කරනු ලබන්නේ ජනමාධ්‍ය විසින් බව දක්නට ලැබෙන නිරීක්ෂණයයි. එය දේශපාලනික, ආගමික, සංස්කෘතිය, සාමාජයීය වශයෙන් දෘෂ්ටිවාද ⁣ගොඩනංවන්නට සහ එහි ප්‍රමුඛ කාර්යභාරයක් ටෙලිවිෂන් මාධ්‍ය විසින් ඉටු කරනු ලබන බව ඉතා ප්‍රවෙිසමෙන් යුතුව විමසා බැලිය යුතු ය.

ටෙලිවිෂන් රූපය තුළ තමන් සෙවීම

මෙි ගෙවෙන සහ ගෙවන අවධිමය මොහොත එක්තරා අාකාරයකට රූපමය අවධියක් (Visual Age) ලෙස නමි කිරීම උචිත වෙි. ප්‍රේක්ෂකයන් ඉලක්ක කරගෙන විවිධ මාධ්‍යයන් ඔස්සේ නොකඩවා ගලාගෙන එන බොහෝ සන්නිවේදන පණිවුඩ සහ තොරතුරු ප්‍රේක්ෂකයන් කියවන්නේ රූපය මුල්කරගෙන  ය,  යන නිරික්ෂණය තුළ රූපමය අවධියක් තුළ සිටින බව සාක්ෂ්‍ය වෙි. බහුජන මාධ්‍ය තුළ වර්තමානයේ පුළුල් වපසරියක පැතිරීමක ස්වභාවයක් ගෙන තිබෙන සහ මහා ⁣ප්‍රේකෂකාගාරයක් (Mass Audience) ආකර්ශණය කර ගෙන තිබෙන දැඩි විශ්වාසදායී මාධ්‍ය, රූපවාහිනී මාධ්‍යය බව සුවිශේෂිකමක්  ලෙස නිරික්ෂණය කළ විට පෙනී යන වැදගත් කාරණාවක් වෙි. බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතයට ආරෝපණය කර ගැනීමට අවශ්‍ය පරමාදර්ශ (Idols) සොයන්නේ තමන් ඉදිරියේ මැවෙන රූපවලිනි. විශේෂයෙන් සිනමාව සහ රූපවාහිනිය ද්විත්ව මාධ්‍ය තුළ විධිමත් කියවීමක් නොමැති, ගැඹුරු සිතීමකින් තොර වූ සමාජයක සාමාන්‍ය පුද්ගලයාට මෙය බරපතළ බලපෑමක් ඇති කරනු ලබයි. විශේෂයෙන් ටෙලිවිෂන් මාධ්‍ය ගත්විට ඔහු හෝ ඇය උත්සාහ කරමින් සිටින්නේ මේ පුංචි තිරය හරහා සන්නිවේදනය වන පණිවිඩ ඔස්සේ තමන් කැමති සහ ආසක්ත වුණු චරිතයක් ආරෝපණය කර ගැනීමට ය .

සමකාලීන ටෙලිවිෂන් නාළිකා තුළ නිර්මාණය කරනු ලබන වීරයන් (Heroes) අනුකරණය කිරීමට ප්‍රේක්ෂකයන් පෙළඹෙනු ලැබේ. ඒ චරිත අනුව ස්වකීය ජීවිත ගැටලු සොයා යාමට උත්සාහ කිරීම සහ තමන්ගේ ජීවිතය දෙස බැලිය යුත්තේ කෙසේද යන කාරණාව තුළ තමන් දැනටමත් අනන්‍ය කරගෙන සිටින වීරයා ඔස්සේ අර්බුදයකට ගමන් කිරීම තුළ ඊට මුලාරමිභය සපයයි. නිදර්ශනයක් ලෙස ලාංකේය ටෙලි නාට්‍ය සහ ඒ තුළ ජනප්‍රිය වන ටෙලි නළු නිළියන් ගෙන්වා කරන සුහද සංවාදමය වැඩසටහන් තුළ ඔවුන් පවසන දේවල් විචාරයකින් තොරව ප්‍රේක්ෂකයන් ඒ ආකාරයෙන්ම භාර ගනු ලබයි. ඔවුන් පරමාදර්ශය කරගෙන ජීවිතය ඔවුන්ට අනුව හැඩගස්වා ගැනීමට  උත්සාහ කරයි. එයාකාරයෙන්ම ටෙලිවිෂන් හරහා භාර ගන්නා අනෙකා මත යැපෙන අදහස් නිසා තමන්ම  අර්බුදයට ලක් වීමෙි ඛෙිදවාචකය ආරමිභය බවට පත් වේ. ටෙලිවිෂන් හරහා ගොඩනඟන මෙවැනි ගණයේ බොල් දෘෂ්ටිවාදයන්ට හසුවීම නිසාම පුද්ගලයන් අනන්‍යතා අර්බුදයකට( Identity crisis) පවා මුහුණ දීමට සිදු වේ.

ටෙලිවිෂන් සහ දේශපාලනික දෘෂ්ටිවාදය

ටෙලිවිෂන් මාධ්‍ය යනු තම දේශපාලනික මතවාද සහ දෘෂ්ටීන් ප්‍රචාරණය කිරීම සඳහා රජයන් විසින් භාවිතා කරන අවියක් (weapon) ආකාරයෙන් ද, ප්‍රධාන මෙවලමක් (tool) ආකාරයෙන් ද භාවිත කරන බව ටෙලිවිෂන් සමඟ පර්යේෂණ කරන විචාරකයන්ගේ මතයයි. දෘෂ්ටිවාදී යන්ත්‍රයක් (Ideology Machine) ආකාරයෙන් ටෙලිවිෂනය ක්‍රියාත්මක වෙයි. ටෙලිවිෂන් අාරමිභ වෙන්නේ ද මුදල්වලිනි. එය අවසාන වන්නේද මුදල්වලිනි. මාධ්‍ය න්‍යායචාරියකු වන නීල් පෝස්ටිමන්ගේ “Amusing Ourselves to death” නමි කෘතිය තුළින් පෙන්වා දෙන්නේ ටෙලිවිෂනය විසින් විනෝදාස්වාදයේ ආධිපත්‍යය දරණ ප්‍රජාතන්ත්‍රවාදයට වළ කපන දේශපාලනික වශයෙන් නූගත් සමාජයක් නිර්මාණය කරන බවයි. එය සැබෑවකි. නව මාධ්‍යවල නැගීම සහ දේශපාලන ධ්‍රැවීකරණයට ගොදුරු වූවන් ලෙස  දේශපාලන සහභාගීත්වය සහ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රේක්ෂකයන්ට බලපෑමි කිරීමට නව ටෙලිවිෂන් මාධ්‍ය උපාය මාර්ගිකව කටයුතු කරයි. දේශපාලන භූමිකාව උදෙසා ටෙලිවිෂනය භාවිතා කිරීම සමිබන්ධව නූතන ලංකාවෙි ටෙලිවිෂන් තුළින් හමුවන නිදර්ශන බොහෝ ය.

ටෙලිවිෂන් මාධ්‍ය මඟින් දේශපාලනික වාසි වෙනුවෙන් සහ පවතින ආණ්ඩුවේ මතවාදය වෙනුවෙන් හෝ ඊළගට පැමිණීමට නියමිත ආණ්ඩුවේ මතවාද මත පෙනී සිටිනවා හැර ජනතාවගේ පැත්තෙන් විකල්පමය අදහසක් සමාජය තුළ ගොඩනැඟීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට නැත. නිදර්ශනයක් ලෙස 2019 වසරේ බලයට පත් වූ පොදුජන පෙරමුණ නායකත්වය යටතේ ජනපති ලෙස බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලනික ප්‍රචාරණ ව්‍යපාරය මෙහෙයවන ලද්දේ  සුප්‍රකට පෞද්ගලික රූපවාහිනී  නාලිකා දෙකක් විසින් බව බොහෝ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ  සහ දේශපාලන විචාරකයන් ගේ මතය විය.

සෘජු දේශපාලනික මතවාදයන් ප්‍රචාරණයට අමතරව මීට සමගාමීව ආගමික මිථ්‍යා සිදුවීමි අලළා සැකසු තිර පිටපත් නාටක ද ප්‍රේක්ෂකයා වෙත තලු මරමින් නොනවත්වා ඉදිරිපත් කළේය. මෙහි උත්ප්‍රාසය නමි  උගත් බුද්ධිමත් යැයි ලේබල්කරණයට ලක් වූ මධ්‍යම පන්තිය ද ටෙලිවිෂන් චැනල් හරහා දියත් කළ මෙවැනි ගණයේ බලකාමය තකා සිදු කළ හුදු දේශපාලනික ව්‍යාජ මතවාදයන්ට ක්ෂණිකව හසු වීමයි. මින් නිරික්ෂණය වන වැදගත් කාරණාව නමි අවිචාරවත්ව රූපවාහිනිය විසින් ගොඩ නඟනු ලබන දේවල් සමිබන්ධව ඇති සවිඥාණික බව සහ අවබෝධයෙන් කටයුතු කිරීමෙි දුප්පත් මානසිකත්වය මහා ප්‍රේක්ෂකාගාරය තුළ ටෙලිවිෂන් මාධ්‍ය විසින්ම අහිමි කර ඇති බවයි.

ටෙලිවිෂන් සහ මිත්‍යාමය දෘෂ්ටිවාදය

මිථ්‍යාව (myth) විවිධ ස්වරූපයෙන් පැමිණිය හැකි ය. නිදර්ශනයක් ලෙස ලාංකේය තරුණ ප්‍රජාව විශ්වාස කරන එක් ප්‍රබල මිථ්‍යාවක් වන්නේ “රාවණ” වැනි හුදු සංස්කෘතිමය ප්‍රබන්ධ චරිතය පිළිබඳ තිබෙන අධි විශ්වාසයයි. පශ්චාත් යුද සමයේ දකුණේ සිංහල බෞද්ධයෝ රාවණ චරිතය ඔවුන්ගේ සංස්කෘතික වීරයා බවට පත් කර ගත්හ. මේ ව්‍යයාමයට පූර්ණ හා සෘජු  රාජ්‍ය අනුග්‍රහය ලැබුණු බව ද පෙනෙන්නට තිබිණි. රාවණ නමැති ෆැන්ටසි ප්‍රබන්ධ – මිථ්‍යා චරිතය සෑබැ චරිතයක් බවට පරිවර්තනය කරනු ලැබුවෙි සමකාලීන රූපවාහිනී මාධ්‍ය විසිනුයි. රාවණ ප්‍රබන්ධ චරිතය ලාංකේය බහුතර ජනතාව විශ්වාසී බවින් යුතුව පිළිගනු ලැබුයේ රූපවාහිනී සඟරාමය වැඩසටහන් තුළ බෙදා හරින තොරතුරු සැමවිටම සත්‍යයි කියා පිළිගත් නිසාය . නමුත් රාවණ යනුවෙන් චරිතයක් සිටි බවට නිශ්චිතව තහවුරු කරන ලද පුරාවිද්‍යාත්මක සාධක මෙතෙක් හමු වී නැත.

ලංකාවෙි කෝවිඩි වසංගතය පැමිණි කාලය අතරතුර කෝවිඩි වෛරසය සුව කරන, ආයුර්වේදය හරහා නිෂ්පාදනය කරන ලදැයි කියු “ධමිමික පැණිය” ද පෞද්ගලික ටෙලිවිෂන් මාධ්‍ය හරහා ප්‍රචාරණය (propaganda) කරන ලද අති ප්‍රබල ගණයේ මිථ්‍යා නාටකයකි. එදවස මෙම මිථ්‍යාව රජයේ සහ පෞද්ගලික නාලිකා විසින් රැයක් දවාලක් නොමැතිව ප්‍රචාරණය කෙරිණි. ඩිජිටල් මාධ්‍ය හරහා ද එය වෙිගයෙන් එය සංසරණය විය. අවසානයේ ධමිමික පැණිය, මිථ්‍යාමය පුස්සක් බවට පත් වුයේ එහි තිබු ව්‍යාජත්වයත්, අසාර්ථකබවත් නිසා ය.

ලාංකේය ජනතාව මිථ්‍යාවන් සමඟ ගනුදෙනු කරන අාකර තුනක් දක්නට තිබෙි. ඉන් පළමුවැන්න නමි මිථ්‍යාවන් එයාකාරයෙන්ම භාරගනිමින් මිථ්‍යාව පසුපස ම අධිවිශ්වාසයෙන් යුතුව ඒ සමඟ ගනුදෙනු කිරීමයි. දෙවැන්න නමි මිථ්‍යා විශ්වාස සමිපුර්ණයෙන් ම විශ්වාස නොකරන අතර, එය යමි පමණකට විශ්වාස කිරීමයි. මෙි පුද්ගලයන් සිටින්නේ මිථ්‍යා විශ්වාස සමඟ මධ්‍යස්ථ මතයකයි. තුන්වැන්න නමි මිථ්‍යා විශ්වාස සමිප්‍රදායෙන් බැහැර කරමින් විචාරාත්මකව ඒවාට අභියෝග කිරීමයි. ලංකාවෙි බහුතරයක් ජනයා සිටින්නේ පළමුව  සඳහන් කළ මිථ්‍යාව සමඟ ගනුදෙනු කරන ආකාරයෙන් ය.

මිථ්‍යාව ප්‍රචාරණය කරන ටෙලි වැඩසටහන් සඳහා ලවක් දෙවක් නැතිව මහජනතාව සතු නිදහස් ගුවන් කාලයෙන් වැඩි කොටසක් රූපවාහිනී නාලිකා විසින් වෙන් කරනු ලබයි. රාහු කාලය, සුබ වෙලාවන්, ලග්න පලාඵල, හදිහූනියම්, ෆෙන්ෂුයි, හක්ගෙඩි, ආදී මිත්‍යාමය කාරණා සඳහා තීරණාත්මක හොඳම කාලය වැය කෙරේ. එසේ කරන්නේ ඇයි? ග්‍රාහක සමාජයට සිය ජීවන ගැටළු විසඳාගැනිමට ඇති එකම මග දැනුවත් සමාජ දේශපාලන අරගල නොව නොපෙනෙන දෙවියන් හා අත්භූත බලවේග බව ස්ථාපිත කිරීම සඳහා ය . එය දේශපාලන උවමනාවක් සේම දෘෂ්ටිවාදී අඳුරේ ගිල්වා තැබීමකි.

මෙි මිථ්‍යා විශ්වාස පසුපස යන බහුතර ජනයා උගත්කමින් සහ තාක්‍ෂණික දැනුමින් පොහොසත් වුවත් ඔවුන්ට මිථ්‍යාව තුළ තිබෙන සත්‍ය අසත්‍යබව පිළිබඳ වැටහෙන්නේ නැත. එය සංකීර්ණ ප්‍රශ්නයකි. මන්ද එය උගත්කම පිළිබඳ ප්‍රශ්නයක් නොවන නිසාය.  ගැටලුව ඇත්තේ බුද්ධිය තුළ ය. බොහෝ වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු, මහාචාර්යවරුන්, නීතිඥයන්, පාසල් ගුරුවරුන් මිථ්‍යාවන් පසුපස යන බව පෙනෙන්නට තිබෙන සමාජ නිරික්ෂණයයි. ඔවුන් අත රැඳෙන ස්මාර්ට් ජංගම දුරකථනයේ තිබෙන සමාජ ජාලා මාධ්‍ය  හරහාද ටෙලිවිෂනයේ ප්‍රචාරණය වන බොහෝ මිථ්‍යා මත සහ දෘෂ්ටිවාදයන් සන්නිවේදනය වන අතර ඔවුන් ඊට නතු වන්නේ කිසිදු විචාරයකින් හෝ අවබෝධයකින් ⁣තොරවය.

ටෙලිවිෂන් කතන්දරකරණය සහ දෘෂ්ටිවාදය

ටෙලිවිෂනය එදා සිට අද දක්වාම නග්න (Nude) බවෙි ලක්ෂණ විදහා පෑ වාණිජ මාධ්‍යයක්ම විය. 1960 – 1970 දශකවල ටෙලිවිෂනය ධනවාදී ආර්ථිකයේ මෙහෙයුමිකරුවකු බවට පත් විය. එය මිනිස් සිතුම් පැතුම් පාලනය කරමින් අලෙවිකරණය මගින් පුද්ගල පරිභෝජනයට බලපෑම් කළේය. එමෙන්ම ජනප්‍රිය සංස්කෘතිය බෙදාහරින්නා බවට පත් විය. පාලකයාගේ සුරතලා බවට පත් විය. බහුජාතික සමාගම්වල අලෙවි ප්‍රවර්ධකයා විය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු අධ්‍යාපනික මාධ්‍යයක් ලෙස බෞතීස්ම කර තිබුණ ටෙලිවිෂනයේ නුතනවාදී ලෝකයේ සැබෑ ස්වරූපය ඊට හාත්පසින්ම වෙනස් වූවකි. එක්සත් රාජධානිය, ජපානය වැනි රටවල් යම්තාක් දුරට ටෙලිවිෂනය හීලෑ කරගෙන සිටිය ද විශේෂයෙන් තුන්වන ලෝකයේ රටවල දී නව ලිබරල් ආර්ථිකයේ කසකරුවා ටෙලිවිෂනයයි.

වර්තමාන ටෙලිවිෂනය යනු දවසේ පැය විසිහතර තුළ විවිධ කතා ගොතමින් නරඹන්නාට කතා කවන මාධ්‍යයකි. ටෙලිවිෂනය  යනු සමිපුර්ණයෙන්ම පාහේ කතන්දර කියන්නෙකි (Storyteller). එම කියන කතා තුළින් සැමවිට ම නරඹන්නා ප්‍රමෝදයට පත් කරයි. අනාදිමත් කාලයක සිට මුඛ පරමිපරාගතව පැවත ආ කතන්දර කීමෙි කලාව විතැන්වීමක් පත්වන්නේ මෙි ටෙලිවිෂනය බිහිවීමත් සමඟිනි.

ඒ කෙසේවෙතත් ටෙලිවිෂනය තුළ සිදු කරන්නේ වාණිජ පරමාර්ථයන් මුදුන්පත් කර ගැනීම උදෙසා රටක ජාතිය උත්කෘෂ්ට නංවමින් රාජ්‍ය දෘෂ්ටිවාදයන් ජන මනස තුළ පැළ කිරීමට විවිධ ආඛ්‍යානයන් ගොඩ නැඟීමයි. රූපවාහිනි මාධ්‍ය මෙි හරහා සිදු කරන්නේ ජනප්‍රිය අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වීමයි. ජාතිය යනු සමාන හැසිරීමක් සමාන ස්වරූපයක් හෝ සමාන සිතුමි පැතුමි ඇති කණ්ඩායමකට ය. නිදසුනක් ලෙස සිංහල ජාතිය යනුවෙන් හඳුන්වන්නේ එකම සංස්කෘතියක් සහිත සමාන හැසිරීමක් ඇති ප්‍රජාවකටය.

ජාතිය පිළිබඳ කතාන්තර කීමට පෙර අවධියේ ආගම ප්‍රමුඛ කරගනිමින් ටෙලිවිෂනය විවිධ කතා කියන්නට පටන් ගත්තේය. නමුත් ආගමට වඩා ජාතිය පිළිබඳ විවිධ කතා පුවත් ගොතමින් නිතර දෙවෙලේ ප්‍රචාරය කිරීම හරහා රාජ්‍ය යාන්ත්‍රණයේ මතවාදයන් සහ හෙජමොනික කාරණා ඉස්මතු කිරීම විවිධ පටු අරමුණ උදෙසා භාවිත කරනු පෙනේ.

ටෙලිවිෂනය වර්තමානයේ සිදු කරමින් සිටින්නේ පරිකල්පනීය ලෙස බහුතරය සිටින ජාතිය පිළිබඳ පමණක් විවිධ කතන්දර ප්‍රචාරණය කිරීමයි. ජාතිය පිළිබඳ ගොතන ලබන කතන්දර සමිපූර්ණයෙන්ම පාහේ දේශපාලනික වුවත් ඊට ලැබෙන අවධානය හරහා ටෙලිවිෂන් නාලිකාව ලබාගන්නා වූ වාණිජ වටිනාකම සමුදාය අරමුණ කරගනී. දෛනික ජිවිතයේ මිනිසාට ඇති ප්‍රශ්න සහ ගැටලු, අර්බුද සාකච්ඡා කිරීමට වඩා ටෙලිවිෂනයට නිසඟයෙන්ම ලැබී ඇති අධිකාරි බලය විපුල ඵල නෙලා ගනිමින් ජාතියට ඇති සංස්කෘතිය සහ ඉතිහාසය පිළිබඳ කතාන්තර ප්‍රචාරණය කරම්න් ජන මනස විකෘති කරන බවට ඊට එරෙහිව චෝදනා නැගේ.

උදෘ -; රාවණ සමිබන්ධ කතා පුවත් ආශ්‍රිත සමිමුඛ සාකචිජා වැඩසටහන් සහ ටෙලි නාට්‍ය විකාශනය කිරීම.

ITN වැනි නාලිකා හරහා  විකාශනය  කරන “දොරමඬලාව” සහ ස්වර්ණවාහිනිය නාලිකාව හරහා ව්කාශනය කරන “මහා සිංහලේ වංස කතාව” සහ සියත නාලිකාව හරහා විකාශනය  කරන “රාවණා” වැනි වැඩසටහන් හරහා සිංහල ජාතිය පිළිබඳ දෘෂ්ටිවාදී අදහස් මතු කිරීම.

ජාතික ඇඳුම පසුපස ඇති දෘෂ්ටිවාදී මායාවන් බව නොදන්නා ජනතාව සංඛේතානුසාරී දෘෂ්ටිමය සුදු ඇඳුම පිළිගනී. ඕනෑම ප‍්‍රපංචයක්, ප‍්‍රවාදයක් සංස්කෘතිය තුළ දිගින් දිගටම දියත්වීම තුළින් ඒවා සාර්වස්ති‍්‍රක අර්ථ බවට පත් කරන්නට ටෙලිවිෂනයට හැකි ය. මෙවැනි සංස්කෘතික කාරණා ඝනීභූත වූ කල ඒවා ප‍්‍රශ්න කිරීමකින් තොරවම පිළිගනී. ‘සංස්කෘතික අන්ධස්ථාන’  (Cultural Blind Spots) ලෙස විද්වතුන් විසින් හඳුන්වනුයේ මෙම තත්වයයි. එනම් මිනිසා සංස්කෘතියේ නාමයෙන් සිය විචාර බුද්ධිය හකුළුවාගනු ලැබූ අවස්ථාවන් යන අර්ථයෙනි. කෙසේ නමුත් රටක ජාතිය පිළිබඳ සංකල්පය තුළ එක් ජාතියක් වෙනුවෙන් පක්ෂග්‍රාහී ලෙස අදහස් පළ කිරීම මඟින් එම ජාතිය උත්කෘෂ්ටත්වයට නැංවීම රටකට, සමාජයකට හානිදායක ය.

මහ ජාතිය පිළිබඳ උත්කෘෂ්ටත්වයට නංවන විවිධ කතා ගෙතමින් කරන ආඛ්‍යානයන් ටෙලිවිෂනයේ ප්‍රචාරය කිරීම හරහා සිදුවන්නේ සුළුතර ජාතින් පිළිබඳ ආකල්පය සහ අදහස යටපත් වීමයි. එවිට සමාජය තුළ ජාතින් අතර අර්බුදයක් නිර්මාණය කරයි. එහි සෘජු වාසිය ලබා ගන්නේ දේශපාලඥයන් ය.

ලාංකේය ටෙලිවිෂනය හරහා ඉදිරිපත් කරන කතන්දර මඟින් බොහෝවිට ඒක පාර්ශවීය ජාතියක් නඩත්තු කරයි. විනෝදාස්වාදය වෙනුවට දෘෂ්ටිවාදයන් නඩත්තු කරයි. රාජ්‍ය දෘෂ්ටිවාදය සවිමත් කිරීමට විවිධ කතා නිර්මාණය කරයි. එම කතා ප්‍රේක්ෂකයා විශ්වාස කරයි. මුළු මහත් සමාජයකම අදහස් කලාප ක්ෂණයෙන් වෙනස් කරන්නට ටෙලිවිෂනයට ඇති අධිකාරිය බලගතු ය. ප්‍රවෘත්තිවලින් අඩු වැඩි වශයෙන් ජාතිය කේන්ද්‍රීය ලෙස ගෙන පුවත් මවති. මනෝමුලික තර්කයන්, ප්‍රවාදයන් ගොඬනගයි. ටෙලිවිෂනය තුළ ප්‍රචාරක බලය, Cultivation Theory හෙවත් ජන මනස තුළ අදහස් පැළ කිරීමෙි න්‍යාය හරහා සිදුවන්නේ ර⁣ටක ආධ්‍යාත්මික සහ අදහස් කලාප, විචාර බුද්ධිය හීන කිරීමයි. දේශපාලනය සහ වාණිජමය අරමුණු වෙනුවෙන් විවිධ කතන්දර නිෂ්පාදන කරමින්, නිෂ්පාදන මෙවලමක් ලෙස ක්‍රියා කිරීම වත්මත් ලාංකීය ටෙලිවිෂනය තුළ ඇති ප්‍රවණතාව බවට පත්ව ඇත.

ටෙලිවිෂනය විසින් කියන මෙි සෑම කතන්දරයක්ම තේරුමි ගැනීමට සබුද්ධික ප්‍රේක්ෂක කලාපයක් නොසිටීම ශිෂ්ටාචාරය වළපල්ලට යන්නට හේතු විය හැකිය. පරිභෝජනවාදය, වෙළඳපොල සහ ආගම උත්කර්ෂයට නංවන නූතන ටෙලිවිෂන් සංස්කෘතිය තුළින් මිනිසුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම බොල් ජීවිත බවට පත්කර ඇත. ටෙලිවිෂනය මඟින් ව්‍යාප්ත කරන අධිපති දෘෂ්ටිවාදයන් ඛණ්ඩනය (Fragmentation) කිරීමටත් ඊට ප්‍රතිපක්ෂව විකල්පමය දෘෂ්ටිවාදී කථිකාවතක් බිහි කිරීමටත් සුදුසු අවකාශයක් ඇති කිරීම අනාගත පැවැත්ම වෙනුවෙන් වැදගත් වනු ඇත. හුදු අනුකාරකවාදී, මානසික වහල්භාවයෙන් යුක්ත සමාජයක් බිහිවන්නේ, ටෙලිවිෂන් සාක්ෂරතා ඥානයක් හා මාධ්‍ය විචාර අධ්‍යාපනයක් නොමැති නිසා ය.

සාරාංශය

ටෙලිවිෂනය විසින් නිරන්තරයෙන්ම පාහේ විකාශනය කරනු ලබන්නේ අධිපතිධාරී මතවාදය යි. එනමි මාධ්‍ය හිමි සහ එය හසුරුවන පන්තියේ ව්‍යාජ අදහස් පද්ධතිය යි. ලාංකේය ටෙලිවිෂනය දෘෂ්ටිවාදී මාධ්‍යයක් ලෙස දේශපාලනික, සංස්කෘතික, සාමාජයීය, ආර්ථික වශයෙන් මෙහෙයවන බව නිරීක්ෂණය කළ හැකි ය. මෙි අභියෝගකාරී තත්ත්වය ප්‍රේක්ෂකයන් දුර්මුඛ කිරීමට පමණක් නොව රූපවාහිනී ආයතනවල ප්‍රතිපත්ති කෙරෙහිද අහිතකර ලෙස බලපාන්නකි. වර්තමානය වන විට ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ පෞද්ගලික රූපවාහිනී නාලිකාවලට මෙි තත්ත්වයෙන් මිදීමට අපහසු වී තිබෙි. සමකාලීන ලාංකීය ටෙලිවිෂන් නාලිකා විසින් දෘෂ්ටිවාද හරහා විඥානය වෙත එන්නත් කරන සාවද්‍ය මතවාද, දුර්මත නිෂ්පාදනය කරන බව ටෙලිවිෂනය  කල්පනාකාරී ව නිරීක්ෂණය කරමින්  නරඹන්නෙකු අවබෝධ කරගත යුතු වෙි. විශේෂයෙන් ටෙලිවිෂනය හුදු විනෝදාස්වාදය සපයන මාධ්‍යකට වඩා ප්‍රේක්ෂකයාට සැමවිටම ටෙලිවිෂන් මාධ්‍ය බරපතළ ලෙස පඨිතයක් (text) ලෙස කියවීමට මෙම දෘෂ්ටිවාදී  කර්තව්‍යමය කථිකාව තුළ බල කර සිටී.

මලින්ත විතානගේ – පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ලලිත කලා විශේෂවෙිදි උපාධිය හදාරමින් සිටින විද්‍යාර්ථයෙකි. සිනමා හා රූපවාහිනී විෂය ක්ෂෙත්‍රය සමිබන්ධ අධ්‍යයන කටයුතුවල සහ ඒ සමිබන්ධ නිර්මාණ කටයුතුවල යෙදෙමින් සිටින අතර වර්තමානයේ ‘මවිබිම’ පුවත්පතේ විශේෂාංග ලිපි ලේඛකයකු ලෙස කටයුතු කරමින් සිටී.




image credits- imrussia.org

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

බණ්ඩාර දිසානායක, සෙනේෂ්, හෙටිටිආරචිචි ස්ටැන්ලි, පලිහක්කාර නන්දසේන, ජනප්‍රිය.ඒ.ජි(සංස්), රූපවාහිනී සමීක්ෂා ; දසවැනි කලාපය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2016

බණ්ඩාර දිසානායක,සෙනේෂ්, ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලාව, මාධ්‍යය, කර්මාන්තය සහ එහි අනාගත පර්යාලෝක

ප්‍රියංකර චමිල, රංග කලාව හා දෘෂ්ටිවාදය පිළිබඳ හැඳීන්වීමක් සහ මෙය තුවක්කුවක් නොවෙි, විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය, පුංචි බොරැල්ල, 2021

ඇතුගල ආරියරත්න, සමීප රූප, විශ්වකලා ප්‍රකාශනයක්, පිළියන්දල, 1990

නිහාල් බර්ට්‍රමි, රූ කල්පන : රූපවාහිනී රචනා කලාව, බර්ට් ප්‍රකාශකයෝ, නුගේගොඩ, 2019

Sinclair, John(Edi), Contemporary World Television, British film Institute, 2004

Jancivich, Mark and Lyons, James, Quality Popular Television, The British Film Institute, 2004

Newcomb, Horace, Television; The Critical View, Oxford University Press, 1994

Leave a comment

This website uses cookies to improve your web experience.