කොල්වින් ආර් ද සිල්වාගෙ අ
වුට් ලයින් ඔෆ් ද පර්මනන්ට් රෙවලූෂන් කියලා චූටි පොතක්. පිටු විස්සක්වත් තිබුණද කියල මට මතක නෑ හරියට. ඒ වෙනකොට මම ඉස්කෝලෙ එච්.එස්.සී පන්තියෙ. ඒක මම නිකන් ආසාවට කළේ. ඒක හරිම තර්කානුකූලව ලියපු හොඳ පොතක්. එයා ලෝයර්නෙ. ඒක හරි ලස්සනට කරලා තිබුණා. මම ඒක කියෙව්වම මට හිතුණා ඒක පරිවර්තනය කරන්න. මම ඒ වෙනකොට වෙනත් පරිවර්තන කරල තිබුණෙ නෑ. මම ලස්සනට ඒක පොතක ලිව්වා. මම එහෙම කරන්නෙ නෑ සාමාන්‍යයෙන්. මුල්ම එක නිසා එහෙම ලිව්වෙ. හැබැයි මම ඒක ප්‍රසිද්ධ කළේ නෑ. ඒක කවුරුහරි ගත්තා. පස්සෙ ඒක ප්‍රසිද්ද කරල තිබ්බා. මගෙ එකෙනුත් අරගෙන වෙන්න ඇති. මොකද ඒක වැඩිපුර ප්‍රසිද්ධ පොතක් නෙමෙයි.
2. ශිෂ්‍ය අවධියෙදිම දේශපාලනයට සහ ලේඛනයට නැඹුරු වුණේ කොයි විදියේ බලපෑම්සහගත පසුබිමක් තුළ ද?
එස්.එස්.සී දක්වා මම මුලින් ගියේ හොරණ ශ්‍රීපාලියට. ඊට පස්සෙ පානදුරේට ඇවිත් ශ්‍රී සුමංගලේට ගියා. ඊට පස්සෙ පේරාදෙණි කැම්පස් ගියා. ඉස්කෝලෙ යන කාලෙ මම ලිව්වා. මම සඟරාවක් ගැහුවා ‘ළමා හඬ’ කියලා. එතකොට මම අටවෙනි පන්තියෙද කොහෙද. සඟරාව අතින් ලිව්වෙ. එක කොපියයි. ශිෂ්‍යයො අතරෙ ගියෙ. ඒකෙ කලාප අටක් විතර ගැහුවා. ඒවා තවම තියෙනව මා ළග. එතකොට මට අවුරුදු දොළහක් විතර ඇති. ඒ කාලෙ දේශපාලන ව්‍යාපාරෙකට සම්බන්ධයක් තිබ්බෙ නෑ. මම ඉපදුණේ 1944 වසරෙ. 1956 වෙනකොට අවුරුදු දොළහයි. එතකොට බණ්ඩාරනායකගෙ නායකත්වයෙන් යූඑන්පියට විරුද්ධව ඇති වෙච්ච මහජන එක්සත් පෙරමුණ තිබුණෙ. අපේ තාත්තල හෙම යූ.එන්.පී විරෝධී. ඒගොල්ලො හරහා අපි ඒ දැනුම තමයි ලබාගත්තෙ. මාක්ස්වාදය ගැන නෙමෙයි. මාක්ස්වාදයට සම්බන්ධ එක එක පොත් හරහා එක එක අයගෙ චරිත ගැන දැනගත්ත මිසක් මතයක් පිළිගත්තෙ නෑ. හැබැයි අපේ අයියල සම්පූර්ණයෙන් සමසමාජ පක්ෂයෙ හිටපු අය. මුල් කාලෙ ඒ අය කරපු දේශපාලනේ අපිට බලපෑවෙ නෑ. ඒ අය හිටියෙ පානදුරේ. අපි හිටියෙ හොරණ අඟුරුවාතොට. ඒ නිසා අපේ සම්බන්ධය අඩුයි. ඒ අයගෙ බලපෑමක් ලැබුණෙ නෑ. තාත්තගෙ බලපෑම තමයි තිබුණෙ. මම බස්ජනසතුව ගැන ලියනකොට අවුරුදු දොළහයි. වරාය ජනසතුව, කටුනායක කඳවුර පවරගැනීම ගැන ඒවට පක්ෂව අවුරුදු දොළහෙදි ලියල තියෙනව.
ඊටපස්සෙ සුමංගලේට ආවා. සුමංගලේට එනකොට මම දේශපාලනේ දන්නවා. මොකද ඒ කාලෙ සමසමාජෙ අපේ අයියලත් එක්ක සම්බන්දෙ ඇති වුණා. එයාගෙ පොත්පත් තිබුණා මාක්ස්වාදය ගැන. ඒවා කියවන්න පටන්ගත්තා. නමුත් එයා මට පුද්ගලිකව බලපෑමක් කළේ නෑ. එයා පුද්ගලිකව කරපු බලපෑම තමයි මට පොත්පත් ගෙනත් දුන්නු එක. ඒ කාලෙ සමන් ප්‍රකාශකයො ඉතාම වැදගත් පොත් තොගයක් ගැහුවා. ඒවා විවිධ ක්ෂේත්‍රවල පොත්. මම ලෝකෙට විවර වුණේ ඒවයින් තමයි. අයිය ඒ වගේ පොත් ගොඩක් ගෙනත් දුන්නා. ඒකෙන් තමයි විවිධ පොත් කියවීම පටන්ගත්තෙ.
ඒවා කියෙව්වා ඇර ලේඛකයෙක් වෙන්න මගේ කිසිම ඕනෙකමක් තිබ්බෙ නෑ. මම ලේඛනය සඳහා ලිව්වා නෙමෙයි. දේශපාලනයට ආවට පස්සෙ දේශපාලනය කිරීම සඳහා ලියන්න වුණා. පක්ෂයේ පත්තරයට ලියන්න වුණා. මම සමහර කාලවල ලියල තියෙනව. සමහර කාලවල ලියල නෑ. ලියපු නැති කාලෙ සම්පූර්ණයෙන් ප්‍රායෝගිකව දේශපාලනය සඳහා ක්‍රියාත්මක වීම තමයි කළේ. පත්තර විකුණන්න යනවා. පන්ති පවත්වනවා. පෙළපාලි යනවා. ඒ වගේ දේවල් කළා මිසක් ලිවීම කළේ නෑ. ලිවීම කළේ කැම්පස් එකට ගිහිල්ල ආවට පස්සෙ. මට කිසිම අරමුණක් තිබුණෙ නෑ ලේඛකයෙක් වෙන්න. පක්ෂෙට ආවට පස්සෙ අනිවාර්යෙන් ලියන්න වුණා, විශේෂෙයෙන් විවිධ මතිමතාන්තර ආවම.
මම පොත් කියවීම දිගටම කළා. කැම්පස් එකේ ඉද්දිත් කළේ කියවන එක. මම කැම්පස්එකේ විෂයන්ට අදාළව නෙමෙයි කියෙව්වෙ. විභාග පාස් වුණෙත් මගෙ මිත්‍රයො විභාගයට ආසන්න කාලෙදි සාකච්ඡා කරන ඒවට මාව සහභාගී කරගත්ත නිසා. මට අධ්‍යාපනය ලබන්නවත් බීඒ ගන්නවත් කැම්පස් යන්නවත් අවශ්‍යතාවයක් ආශාවක් තිබ්බෙ නෑ. දේශපාලනය පැත්තට තමයි උනන්දුව තිබුණෙ. ඒ කාලෙ සමසමාජ පක්ෂෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ එක්ක එකතු වෙලා ආණ්ඩුවක් හදන්න යන තත්වෙ ආවා. එ නිසා අපි තවත් දේශපාලනය කියවන්න උනන්දු වුණා. ඉතිං විශාල වශයෙන් කියෙව්වා. ඒ කාලෙ වමේ හිටපු ඔක්කොම වගේ පොත් කියෙව්වා. සිංහල පොත් තිබුණෙ නෑ වැඩිය. අපි අමාරුවෙන්හරි, දන්න ඉංග්‍රීසියෙන් කියවන්න ගත්තා. ඒ කියවීම විශාල වශයෙන් වුණා. දැන් කාලෙ නම් හිතන්නෙවත් නෑ කවුරුත් එහෙම කරන්න. ට්‍රොට්ස්කිවාදයට අදාළව ලංකාවට ගෙනාපු ඔක්කොම පොත් ඒ කාලෙම කියවල තියෙනව.
කැම්පස් එකට ගිහින් හිටපු කාලෙත් මම කියවීම තමයි කළේ. මාක්ස්වාදයට අදාළ පොත්පත් තමයි කියෙව්වෙ. ඊට කලින් කැම්පස් එකට යන්න ඉස්සෙල්ලා තියෙනව ඉංග්‍රීසි උගන්නන පාඨමාලාවක්. ඒකට ගන්න විභාගයක් තිබ්බා. විභාගෙන් ඒකට මම එන්න ඕන්නෑ කියලා ඒ අය කිව්වා. ඒගොල්ලො ඒ කරපු එකෙන් ඒකට නොයා පළමු වරට පුස්තකාලෙකට ගියා. පළමුවරට සහ අවසන් වරට ඒ පුස්තකාලෙකට ගියෙ. ඒ පානදුර ලයිබ්‍රරි එකට. ඒ කාලෙ අපට කිසිම මගපෙන්වීමක් නෑ මොනවද කියවන්න ඕනෙ කියලා. ඉතින් අපි සෝවියට් පොත් ආපුවා කියෙව්වා. මට ඒවයෙන් කිසිම බලපෑමක් කළේ නෑ. මට ඒකෙ රසයකුත් තිබුණෙ නෑ. ඉංග්‍රීසි සාහිත්‍යයෙ තියෙන ඒවා කියවනකොට වගේ අදවත් ඒක දැනෙන්නෙ නෑ. ඒ කාලෙ නම් කොහොමත් ඒක නෑ. ඒක ප්‍රචාරක සාහිත්‍යයක්නෙ. ප්‍රචාරක සාහිත්‍යය නිසා ඉංග්‍රීසි ඉගෙනගන්න පොඩ්ඩක් ඉවහල් වුණා.
සමසමාජ පක්ෂෙන් කැඩුණට පස්සෙ මුලින්ම දෙවෙනි සමසමාජ පත්තරේට මම ලීවා. ඉන්පස්සෙ දේශපාලන වැඩ කරන්න තමයි පටන් ගත්තෙ. මම පක්ෂෙට කෙලින්ම සම්බන්ධ වෙලා හිටියා. ඒකට අදාළව පත්තරේට ලිව්වා. පොත් ලිව්වා. පළවෙනියෙන්ම පරිවර්තනය කළේ
‘ඉන්දුනීසාවෙ කොමියුනිස්ට් ඝාතනයෙන් පාඩම්’ කියන පොත. ඒක ලිපි තුනක් සහිත පරිවර්තනයක්. ඉන්දුනීසියාවෙ ලක්ෂ පහක් විතර මැරුවනෙ. ඒකට විරුද්ධව ලියපු එකක්.
3. පරිවර්තන හැර, මුලින්ම ඔබ ලියපු කෘතිය ගැන සඳහන් කරමු.
මගේ කියල මම පොතක් විදියට ඉස්සෙල්ලම ලිව්වෙ ‘ට්‍රොට්ස්කි සහ මාක්ස්වාදය’ කියලා පොතක්. ඒක කෙනෙක්ගෙ පොතකට පිළිතුරක්. කී. යූ. ජයරත්න කියන නමින් ඒ පොත ආවත් ඒක එයා නෙමෙයි ලිව්වෙ. වෙන අය ලියලා ඒක එයාගෙ නමින් ගැහුවා. එයාව කවුරුත් දන්නෙ නැති කෙනෙක්. අරගොල්ලන්ගෙ නමින් ගැහුවොත් ඒගොල්ලන්ට සවුත්තුව නිසා ඒ ගොල්ලො කළේ කවුරුත් දන්නෙනැති මිනිහෙක්ගෙ නමින් ගහපු එක. මට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. මම ඒක ප්‍රශ්න පත්තරයක් කරගත්තා. හැම ප්‍රශ්නෙකටම පිළිතුරු දීලා ලිව්වා. මම කියවල තිබිච්ච ඒවා ඒකට පාවිච්චි කළා. ඒ පිළිතුර ලියද්දි මම මාක්ස් – ලෙනින් – ට්‍රොට්ස්කිව හොඳට උපුටා දක්වලා පරිවර්තනය කරලා ඒක පොත ලිව්වා.
‘කොල්ලකාරී ධනවාදයට එරෙහිව මාක්ස්වාදය’ත් මම හිතලා ලියපු එකක්. ඒ කාලෙ ජේ.වී.පී. භීෂණ කාලෙ. මට ඇත්තටම හිතුණා මේ මොකවත් දන්නෙ නැති මෝඩයෙක් ඇවිල්ලා මාව මරල දැම්මොත් මම දන්න ඔක්කොමත් යනවනෙ කියලා. ඉතින් මාව මරල දාන්න කලින් දන්න දේ ලේඛනගත කරන්න ඕනෙ කියල හිතලා කොල්ලකාරී ධනවාදයට එරෙහිව මාක්ස්වාදය ලිව්වෙ. පරිවර්තන නොවන, මම ම ලියපු තව පොත් තියෙනවා.
4 ඔබේ ක්‍රියාකාරී පක්ෂ දේශපාලනය ආරම්භ වුණු ආකාරය සහ එහි ගමන් මග ටිකක් විස්තර කළ හැකිද ?
මුලින්ම බණ්ඩාරනායකගෙ දේශප්‍රේමී යූ.එන්.පී විරෝධී ව්‍යාපාරක් ඇතිවුණ වෙලාවෙ මම බණ්ඩාරනායක එන රැස්වීමකට ගියා. තාත්තලා නිසා තමයි ගියෙ. ඒත් පක්ෂෙකට සම්බන්ධ වුණේ නෑ. මං පක්ෂෙකට සම්බන්ධ වෙන්න පටන්ගත්තෙ 1960 දි. ඊට කලින් අයිය මාව මැයි දින පෙළපාලිවලට පොඩි කාලෙ අරන් ගිහින් තියෙනවා. අයිය සමසමාජෙ දේශපාලනය කළා. 1960 දි මම සමසමාජ පත්තරේට ලිව්වා. ඒත් සෘජුව පක්ෂෙට ගියෙ නෑ. පක්ෂෙ පත්තර කියවනවා. ඒගොල්ලො ගහන පොත්පත් කියවනව. ඊට පස්සෙ මම සමසමාජ පක්ෂෙට ඇතුළු වෙන්න ඔන්නමෙන්න කියනකොට 64 දි සමසමාජ පක්ෂෙ තීන්දු කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක එකතු වෙන්න. ඒකට විරුද්ධ වෙච්ච අය හිටියා. එඩ්මන්ඩ් සමරක්කොඩි, මෙරිල් ප්‍රනාන්දු, බාලතම්පෝ වගේ ප්‍රධාන නායකයො විරුද්ධව හිටියා. ඒ අය වෙනම කණ්ඩායමක් විදියට හිටියා. සමසමාජෙ සිරිමාවෝ එක්ක ආණ්ඩුවක් හැදුවට පස්සෙ ඒගොල්ලො වෙනම පක්ෂයක් විදියට කැඩුණා. ලංකා සමසමාජ පක්ෂයමයි වරහන් ඇතුළෙ විප්ලවවාදී කියල දැම්මා. මුල් කාලෙ තිබ්බෙ එහෙම තමයි. එල්.එස්.එස්.පී.ආර්. ඒකට තමයි ඇතුළු උනේ මුලින්ම. 1964 දි. පත්තරේ මම මුලින්ම ලිව්වා, සභාග ආණ්ඩුව ඇති කිරීමට විරුද්ධව. පක්ෂෙට ඇතුල් වෙලා වැඩ කළා. කැම්පස් එකේදි මම සම්පූර්ණයෙන් ඒ දේශපාලනේ කළේ. එතකොට අපිට සෑහෙන කොටසක් හිටියා. මාවෝවාදීනුයි අපියි තමයි හිටියෙ. සමසමාජෙ, කොමියුනිස්ට් පක්ෂවලට තැනක් තිබ්බෙ නෑ ඒ කාලෙ. පේරාදෙණියයි විද්‍යෝදයයි විද්‍යාලංකාරෙයි කොළඹ කැම්පස් එකයි, හතර තමයි තිබුණෙ. පක්ෂ දේශපාලනය පටන්ගත්තෙ එතනින්, සමසමාජ පක්ෂෙ ට්‍රොට්ස්කිවාදීන් විදියට.
එල්.එස්.එස්.පී.ආර් එකෙත් නොයෙකුත් කැඩීම් ඇති වෙලා කුඩා කණ්ඩායම් බවට පත්වුණා. අපි සභාගෙට විරුද්ධව ක්‍රියා කළා. ඒ වාගෙම යූ එන් පියට විරුද්ධවත් ක්‍රියා කළා. අපි කුඩා කණ්ඩායමක් වුණා. ඒකෙදි කොහොමද අපි ඉදිරියට යන්නෙ කියන ප්‍රශ්නෙදි විවිධ මත ඇති වෙලා කැඩිලා එක එක කණ්ඩායම් ඇති වුණා. තවමත් සමහර ඒවා තියෙනව, සමහර ඒවා දැන් නෑ. ඉතින් 64 දි තමයි හරියටම දේශපාලනේ පටන්ගත්තෙ. ඊට කලින් සමසමාජ පත්තරේට ලිව්වා. ඒ ලිපි ඔක්කොම පලවුණා. මම ඒ කවුරුවත් දන්නෙ නෑ. දිණමිණටත් ලිව්වා. ඒවත් පල වුණා. ලේඛකයෙක් වෙන්න ආසාවට නෙමෙයි ලිව්වෙ. දේශපාලන මතය වෙනුවෙන් ලිව්වෙ. අන්තිමට ලේඛකයෙක් වුණා.
අපේ කැඩීම් ඇතිවුණා. අවසාන වශයෙන් 89 දි අපිට ක්‍රියාත්මක වෙන්න බැරි තත්වෙට අපේ අයවත් මරලා දැම්මා. අපි හැංගිලා හිටියේ. ටික ටික ක්‍රියාත්මක වීම සම්පූර්ණයෙන් නැවතුණා. දැන් පක්ෂයක් කියල නෑ. ප්‍රතිපත්ති ටික තවම තියෙනවා.
5. නිශ්චිත දේශපාලන ව්‍යාපාරයක අවසාන වශයෙන් ක්‍රියාකාරීව දේශපාලනය කළේ කම්කරු මාක්ස්වාදී සංගමයෙ ද?
ඔව්. ඒකෙ තමයි. ඊට කලින් එල්.එස්.එස්.පී.ආර්. එකේ නම වෙනස් කළා විප්ලවවාදී සමසමාජ පක්ෂය කියලා. පත්තරේ නම ‘පන්ති සටන’ වුණා. ඒ විදියට ගිහින් අවසන් වශයෙන් කැඩිලා ගිහින් අන්තිමට හිටියෙ කම්කරු මාක්ස්වාදී සංගමයෙ. මෙහෙම දිගටම කරද්දි අපේ ප්‍රතිපත්තිවල වෙනසක් වුණේ නෑ. අපේ සංවිධායක ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. ඒ වගේ දේවල් උඩ තමයි කැඩීම් ඇති වුණේ. සමහර දේශපාලන ප්‍රශ්නත් තිබුණා. ඒක දීර්ඝව කතා කරන්න ඕනෙ දෙයක්. නමුත් ව්‍යාපාරය තුළ සංවිධානයක් විදියට හිටියා අනූ ගණන් වෙනකල්. ඒ කාලෙ අපිව මරණ නිසා ගෙදරින් පැනල ගිහින් අවුරුද්දකටත් වඩා හැංගිලා හිටියා. ඒ කාලෙ තමයි පාන් සහ වයින් පරිවර්තනය කළේ. වෙන ඒවා පරිවර්තනය කරන්න බෑනෙ, වෙන පොත් තියාගෙන හිටියොත් ගෙදර මිනිස්සුත් අහුවෙනවනෙ. ඒ විදියෙ නොයෙකුත් ප්‍රශ්න තිබුණා. කම්කරු මාක්ස්වාදී සංගමේ අවසාන වශයෙන් හිටියා. මේක අඛණ්ඩව ගිය ව්‍යාපාරයක්. නම් වෙනස් වුණා. එකතු වෙච්ච අය වෙනස් වුණා. ප්‍රතිපත්ති වෙනස් වුණේ නෑ.
7. එඩ්මන්ඩ් සමරක්කොඩි සහ මෙරිල් ප්‍රනාන්දු ගැන මතකය ටිකක් අවදි කළොත්?
පරණ වාමාංශික නායකයො ඔක්කොම පාවාදීමට හවුල් වුණානෙ. අපිත් එක්ක හිටිය අයත් එක එක තර්ක දදා හැරිල ගියා. එඩ්මන්ඩ් සමරක්කොඩි, මෙරිල් ෆ්‍රනෑන්ඩුලා තමයි මුල ඉඳලම සභාග දේශපාලනයට විරුද්ධ වුණේ. දෙමළ ජනතාවගෙ අයිතිය වෙනුවෙන් සටන් කළෙත් ඒගොල්ලො. ඒ වෙනුවෙන් පෙනී හිටියා. උතුරට ගියා. යන්නත් බෑ ඒ කාලෙ. යන්න බැරිම කාලෙත් ගියා මෙරිල් ෆ්‍රනෑන්ඩු. 83 කලු ජූලියෙන් පස්සෙත් ඒකට විරුද්ධ ප්‍රකාශයක් පොතක් වගේ ගහලා ඒක දෙමළටත් පරිවර්තනය කරලා ඒකත් අරන් එහෙ ගියා. ගිහින් ඒක බෙදාහැරීමට ක්‍රියාකළා. ට්‍රොට්ස්කිවාදී ප්‍රතිපත්ති වෙනුවෙන් අපි සටන් කළා දිගටම. ඒ පරණ අය අතරෙ එහෙම අය වෙන නෑ. විවිධ මට්ටම්වලින් ක්‍රියා කරපු තව අය ඉන්නවා.
8. ඔබේ වෘත්තීය සමිති දේශපාලනය ගැනත් මතක් කරමු.
මම මහබැංකු සේවක සංගමේ සභාපති වෙලා හිටියා. ඒ 1966 දි. 70 වෙනකොට මම ඒකෙ ලේකම් වුණා. ඒ වෙනකොට මුළු රටේම වෘත්තීය සමිති තිබුණෙ සභාගෙට. සමසමාජ, කොමියුනිස්ට්, ශ්‍රී ලංකා, පක්ෂවලට අයිති අය තමයි කම්කරු පන්ති ව්‍යාපාරෙ වෘත්තීය සමිතිවල නායකත්වයෙ හිටියෙ. 70 මැයි මාසෙ ඉලෙක්ෂන් එකෙන් ඒගොල්ලො දිනුවා. ඒත් මහ බැංකුව තුළ මට පුළුවන් වුණා ඒගොල්ලෝ ඔක්කොම පරද්දලා ලේකම් වෙන්න. ඊට පස්සෙ අවුරුද්දක් යනකොට අපි ඒ ඔක්කොම පරද්දල දාලා අපි කණ්ඩායමක් හදලා බලය ගත්තා. එදා ඉදන් 80 වැඩ වර්ජනේදි අපිව නෙරපනකල්ම දිගටම අපි සටන් මෙහෙව්වා. නොයෙකුත් වෘත්තීය සමිති එක්ක එකතුවෙලා වැඩ කළා. 80 ජූලි වැඩවර්ජනේට සහභාගී වුණා. ඒකෙන් තමයි රස්සාව නැති වුණේ. ඊටපස්සෙ ගෙදර අවුරුදු 14 ක් ඉඳලා ආපහු වැඩට ගත්තා. ආපහු ආයෙත් සටන් කරලා උසාවිත් ගිහිල්ලා වයස 60 වෙනකල් හිටියෙත් නැතුව 55 න් රිටයර් වුණා. මම තමයි උපාධියකුත් තියාගෙන කිසිම උසස්වීමක් නැතුව හිටිය කෙනා.
9. ඔබේ පුස්තකාලෙ පොත් විකුණන්න තීරණය කළේ ඇයි?
මෙතන පොත් 10,000 ක් විතර තියෙනව. ඉතිං ඒ පොත් රැකගැනීමේ ප්‍රශ්නයක් තියෙනවනෙ. ඇත්ත වශයෙන්ම මගෙ ළග මේ පොත් තියෙන එකත් එක්තරා විදිහක වැරැද්දක්. සමහරු කියනව පුස්තකාලයක් දාමු කියලා. ඒවා නිකන් කියන්න පුළුවන්, මම දන්නවා පුස්තකාලයක් දැම්මට කවුරුත් එන්නෙ නෑ. මේවා දෙනව කිව්වත් ආවෙ නෑනෙ. පුස්තකාලයක් දාන්නත් තැනක් ඕනෙ. මෙතන හැරෙන්නවත් බෑ. මං මැරුණොත් මේවා විකුණයි. මං ගොඩක් පොත් අරන් තියෙන්නෙත් එහෙම. සමහරු මැරුණහම ඒ අයගෙ පවුලෙ අය පොත් කියවන්නෙ නැති නිසා පොත් කඩේට විකුණනවා. ඉතිං අපි ඒ පොත් ගන්නවා. ඒ නිසා මම කල්පනා කළා හොඳම ක්‍රමේ තමයි මේ පොත් කියවන්න ඕනෙ අයට විකුණන එක කියලා. ඒත් ඔක්කොම පොත් විකුණන්නෙ නෑ. පොත් ගන්න විශ්වවිද්‍යාලෙ එකෙක්වත් ආවෙ නෑ. ඒක ශිෂ්‍යයෙක් ආවෙ නෑ. ලෙක්චරස්ලා කවුරුත් ආවෙත් නෑ. ෆේස්බුක් එකේ ලියනව ඕක විකුණන්න එපා අරකයි මේකයි කියලා. හොඳම දේ තමයි අරන් එක්කො තමන්ගෙ පුස්තකාලෙ තියනවා, නැත්නම් කාගෙහරි පුස්තකාලෙකට දෙනවා. මාර්ග පොත් හතළිස් ගාණක් මගෙ ළඟ තිබුණා. ඒවා විකිණුවා. සමහර ඒවා අවුරුදු 50 ක් විතර ඇති.
මගෙ පොත් එකතුවෙ තියෙන පොත් මම විතරයිනෙ කියවල තියෙන්නෙ. ඉතින් ඒකත් අසාධාරණයක්නෙ. කවුරුහරි ගෙනිහිං එක්කො පුස්තකාලෙකට දායි. නැත්නම් මොකකට හරි ගනියිනෙ. සමහර ඒවා රුපියල් 5000ට විකිණුවෙ. දේශපාලන පක්ෂවලින් ආවෙ නෑ. නිකන් දෙන්නෙක් තුන්දෙනෙක් ආවා. ලේඛකයො වගේ හතරපස් දෙනෙක් ආවා. මම මේවා විකුණන අතරෙ ගිය සුමානෙ පරණ පොත් කඩේකට ගිහිල්ල බැලුවා මං මෙතෙක් කල් නොකියවපු පොත් තියෙනවද කියලා. සරසවියටත් ගියා. මගෙ ළග තියෙන පොත්වලින් පොත් දහයක්වත් එතන නෑ. මගෙ ළග ජීවන චරිත එකසිය හැට ගාණක් තියෙනවා. මම හිතුවා අඩු ගණනෙ සීය දෙනෙක්වත් එයි කියලා. මගෙ පොත් ටික විකුණගන්න නෙමෙයි, එහෙම උද්‍යෝගයක් ඇති වෙන්න එපැයි මිනිස්සුන්ගෙ. මෙයා මේ කයිවාරු ගහනව, මොනවද මේ තියෙන පොත් කියල බලල අඩු ගානෙ බනින්න හරි පුළුවන්නේ. යුරෝපයේ සම්භාව්‍ය සාහිත්‍යය ඔක්කොම මෙතන තියෙනවා. එක පොතක්වත් බැලුවෙවත් නෑ ආපු හුඟක් අය.
මේක තිබ්බයි කියල වැඩක්ද. මම හෙට මැරුණයි කියන්න. මොකද්ද මේකට කරන්නෙ. මම දැකල තියෙනවනෙ සිද්ද වෙන දේ. එඩ්මන්ඩ් සමරක්කොඩිගෙ පොත් දීලා තිබුණා. එයාගෙ මෙච්චර පොත් තිබුණෙ නෑ. මම ගියා එයා ගාව තිබුණ පරණ ට්‍රොට්ස්කිවාදී සඟරා ගන්න. ඉංග්‍රීසි ඒවා. හතළිස් ගණන්වල ඒවා. අනේ එතන කිසි කෙනෙක් දන්නෙ නෑ එහෙම එකක් තියෙන බවවත්. මං කීවා නෑ නෑ මේ ළඟදි දුන්නෙ කියලා. ඉන්පස්සෙ ගිහින් හොයනකොට එක එක තැන්වල. මටත් ඉතිං මං මැරුණා වාගෙ තමයි මෙතන තියෙන සමහර පොත් නැති උනාම. ඒත් ඉතිං ලෝකෙ යථාර්ථයක් තියෙනවනෙ. මං නොමැරි ඉන්නෙ නෑනෙ. අනිත් එක මට කියවන්න හරි අමාරුයි දැන්. මේ පොත්වලට මොකද්ද කරන්නෙ කියන එක ප්‍රශ්නයක්.
10.ඔබ කර්තෘ ප්‍රකාශන විදියට කරපු පොත් ඔබෙන් පස්සෙ මුද්‍රණය කරන්න සැලැස්මක් තියෙනවද?
ඕනෙ කෙනෙකුට මුද්‍රණය කරන්න පුළුවන්. දැනුත් මං දෙනවා. ඒගොල්ලො කර්තෘ බාගෙ කියල මට දෙනව. මං ඒගොල්ලන්ගෙන් ඉල්ලන්නෙ නෑ. දුන්නොත් ගන්නවා. මට කර්තෘ බාගෙ වැඩක් නෑ. මම දැන් කියල තියෙන්නෙ ස්කෑන් කරලා අන්තර්ජාලයට ඇතුළු කරන්න කියලා. එක්කෙනෙක් බාර ගත්තා ඒක කරන්න. තව එක්කෙනෙකුත් බාර ගත්තා. කරයිද දන්නෑ. ඕනැ කෙනෙකුට දීලා තියෙනවා. ඒත් ප්‍රකාශකයෙක් කරන ඒවා දෙන්න බෑනෙ. ඒගොල්ලො අයිතිය දීල තියෙන්නෙ මට වුණාට ප්‍රශ්න පැනනගින්න පුළුවන්. මගේ කොපිරයිට් කියල මං දාන්නෙ නෑ. නිකං ගහන්නෙ ඉස්සර අපි. මගෙ පොතක් ගහනව නම් මට කියල ගහන්න. මං මැරුණට පස්සෙ කියල ගහන්න දෙයක් නෑනෙ. කර්තෘ ප්‍රකාශන විදියට කරපු සමහර පොත් දැන් ප්‍රකාශකයො අරගෙන තියෙන්නෙ. කවුරු හරි ගහනව නම් ඕනෙ කෙනෙක්ට මම දෙනවා.
11 අලුතින්ම ලියන්න පටන්ගත්ත පොත ගැනත් කතා කරමු.
මම අලුතෙන් පොතක් කරනව ‘මිනිස් චින්තනයේ ඉතිහාසය’ කියලා. ලෝකෙ මිනිස්සුන්ගෙ චින්තනය ලියල තියෙන්නෙ, බටහිර චින්තනය වෙනම. ඉන්දියන් චින්තනය වෙනම. තව එක එක රටවල වෙනම තියෙනවා. මම මේ ඔක්කොම දේවල් එකතු කරලා සම්පූර්ණ එකක් කරන්න ඉන්නෙ. හුඟ කාලෙක ඉඳලා හිතාගෙන ඉන්නවා. ලියන්න වෙලාව හම්බවෙන්නෙ නෑ. දැන් ඔක්කොම අතඇරලා ඒකට අවශ්‍ය පොත් ටිකයි මාක්ස්වාදී පොත් ටිකයි තියාගෙන ඉන්නවා.
ලියන්න මට වෙලා යන්නෙ නෑ. කොල්ලකාරී ධනවාදය ලිව්වෙ මාස හතරකින්. ලියාගෙන ලියාගෙන යන්න පුළුවන් . ඒ කාලෙ පත්තරේ ගහන්නයි, එක එක වැඩයි තිබුණනෙ. දැන් ඒවා නෑ, මේක විතරයිනෙ. හැබැයි ඒවා තියෙනකොට මීට වඩා කළා, පොත් ලියන එක වුණත්, කියවන එක වුණත්. අපි හිතන්නෙ නිකන් ඉන්නකොටනෙ ලියන්න පුළුවන් කියලා. නිකන් ඉන්නකොට වඩා ගැම්ම තියෙන්නෙ දේශපාලන වැඩ කරනගමන් ලියනකොට. ඒ කාලෙ හරි වේගෙන් ලියන්න පුළුවන්.
සංවාද සටහන – තක්ෂිලා ස්වර්ණමාලි