තලගුනේ වියමන්: පුරාණතම ලාංකේය පේෂකර්ම සම්ප්‍රදායයක් වන දුම්බර වියමන් පිළිබඳ අධ්‍යයනයක්

සුලාරි ද සිල්වා
29 Min Read

මෙම රචනාව වූ කලී තලගුනේ ගම්මානය ආශ්‍රිතව පැවත එන  දුම්බර රෙදි වියමන පිළිබඳ ඉදිරිපත්  කෙරෙන කෙටි වාර්තාවකි.  තලගුනේ රෙදි වියමනෙහි ශිල්ප සම්ප්‍රදායය, කර්මාන්තයක් ලෙස එහි වර්තමාන තත්වය හා රෙදි වියමන ජීවිකාව කොටගත් පේෂකාර්මික ශිල්පීන්ගේ  ප්‍රජා මූලික තොරතුරු ඇතුලත් කොට මෙම රචනාව සම්පාදනය කෙරේ.

දුම්බර වියමන්

තලගුනේ, ‘ශ්‍රී ලංකාවේ පාරම්පරික  ශිල්පීන්  වෙසෙන  පැරණිතම පේෂකර්ම ගම්මානය’යැයි නම් කළ හැකිය. ලිඛිත සාධකවලට අනුව, යටත් පිරිසෙයින්, මහනුවර රාජධානි යුගයේ මූලාරම්භයේ පටන්වත් තලගුනේ ගම්මානය ආශ්‍රිතව මෙම වියමන පැවැත එන්නට ඇතැයි අනුමාන කළ හැකිය. උඩුදුම්බර, තලගුනේ ගම්මානය ආශ්‍රිතව පැවත එන මෙම රෙදි වියමන වර්තමානයේ   ප්‍රචලිතව ඇත්තේ  ‘දුම්බර වියමන්’ යනුවෙනි. මේ වනවිට, තලගුනේ ගම්මානයේ පේෂකාර්මික පවුල් දහයක් පමණ වාසය කරති. වර්තමානයේ, දුම්බර රෙදි වියමන ලංකාවේ සංස්කෘතික උරුමයක් ලෙස ද නම් කරනු ලැබ තිබේ. අලංකාර, සංකීර්ණ මෝස්තර සහිත මේ රෙදි, උඩරට රාජධානි සමයේ ගිහි පැවිදි, රදළ ප්‍රභූන් විසින් පරිහරණය කරන ලද අතර, වර්තමානයේ කොළඹ හා අනෙකුත් ප්‍රධාන  නගරාශ්‍රිත ඉහළ පෙළේ අත්කම් භාණ්ඩ  වෙළඳසල්වල හා වෙළඳ සන්නාම යටතේ අලෙවි කෙරේ. මෙම ශිල්පීන්ගේ පෙර පරම්පරාවල විසූවන් විසින් වියන ලද විස්තීර්ණ හා අලංකෘත මෝස්තර සහිත පැරණි රෙදි ලංකාවේ හා බ්‍රිතාන්‍යයේ  ජාතික කෞතුකාගරවල  ප්‍රදර්ශනය පිණිස තබා ඇත.


දුම්බර පේෂකාර්මික ශිල්පීන් පාරම්පරික  වාසභූමිය වන තලගුනේ ගම්මානය

සාම්ප්‍රදායික ශිල්ප කර්මාන්තයක් ලෙස තලගුනේ රෙදි වියමන

සාම්ප්‍රදායික ශිල්ප කර්මාන්ත යම් රටකට හෝ ජාතියකට වැදගත් වන්නේ  එය ශ්‍රමිකයන් සඳහා රැකියා සපයන හුදු කර්මාන්තාංශයක් ලෙස නොවේ. ශිල්ප කර්මාන්තවල ආර්ථිකමය ඉපැයීම් ගැන පමණක්ම අවධානය යොමු කළත්, තිරසාර සංවර්ධනයට අදාළ බොහොමයක් සාධක මේ ශිල්ප කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන මාදිලි හා පරිභෝජන රටා තුළින් අත්විඳීය හැකිය. භාණ්ඩ වර්ගීකරණය යටතේ මේවා යාන්ත්‍රිකව මහා පරිමාණයෙන් නිෂ්පාදනය වන වෙළඳ භාණ්ඩ ප්‍රවර්ගයට ප්‍රතිවිරෝධීව, අතින් සාදනු ලබන භාණ්ඩ හෙවත් අත්කම් භාණ්ඩ ගණයට ඇතුළත් වේ.  එහෙත්, සාම්ප්‍රදායික  ශිල්ප භාණ්ඩ පොදුවේ අත්කම් ලෙස හැඳින්වීම සුදුසු නොවේ. යම් ශිල්ප  ප්‍රජාවක් විසින්, අඩු තරමින් සියවසකට  වඩා එපිට අතීතයක සිට, නිශ්චිත  භූමි ප්‍රදේශයක ජීවත්වෙමින්  පරම්පරා ගණනාවක් පුරා, ඔවුන්ටම ආවේණික ශිල්ප තාක්ෂණයක් භාවිත කරමින් සිය ජීවිකාව ලෙස පවත්වාගෙන යනු ලබන භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියක් හා පිළිවෙතක් ‘සාම්ප්‍රදායික  ශිල්පකලාවක්/කර්මාන්තයක්’ ලෙස හැඳින්විය හැකිය; සජීවීව හා අවිච්චින්නව  එම කර්මාන්තය මේ දක්වා පැවත ආ යුතුය. මේ නිසා, සාම්ප්‍රදායික ශිල්ප කලාවන් පොහොසත් ජන සංස්කෘතියකින් ද සෑමවිටම සංලක්ෂිත වේ.  නවීනත්වය පිළිබඳ සිත්ගන්නාසුලු අවබෝධයක් ද මේ ශිල්ප සාම්ප්‍රදාය තුළින් අත්දැකිය හැකිය.  මෙසේ, සාම්ප්‍රදායික  ශිල්ප කර්මාන්ත ලෙස අප අද හඳුන්වන්නේ, පූර්ව ධනේශ්වර යුගයේ  ගොවිතැන මූලික කොටගත් සමාජ-ආර්ථික ක්‍රමයක් තුළ බිහි වූ භාණ්ඩ සෑදීමේ පිළිවෙතයි. මුළුමනින්ම  මානව ශ්‍රමය, පරිකල්පනය, හා ශිල්පීත්වය උපයෝගී කොටගෙන සිදුවන නිෂ්පාදන ක්‍රියාවලියකි එය; ඒ සඳහා සරල මෙවලම්, උපකරණ හා තාක්ෂණ විධික්‍රම උපයෝගී කොටගැනේ. එම යුගයේ භාණ්ඩ නිෂ්පාදනය මෙන්ම පරිභෝජනය ද ඉතා සංවිධිත හා සංවෘත  සමාජ-ආර්ථික ව්‍යුහයකට අනුව (කුලය, රාජකාරිය, හා ඉඩම් භුක්තිය මත පදනම්ව) හැඩ ගැසී තිබුණි. මේ අනුව, ශිල්පීය ප්‍රජාවන්ගේ පාරම්පරික වාසභූමි දේශපාලනික භූ අවකාශයන් බවට පත්ව තිබිණි. අදටත්, ශිල්පීන් ජීවත්වන මෙම ග්‍රාමීය ප්‍රදේශ ධනේශ්වර ආර්ථිකයේ පරිධියේ පිහිටා ඇති අතර එබැවින් ඒවා ශිල්ප ව්‍යවසායකත්වයට ස්වාධීනව දායක නොවේ.

ශිල්ප  ප්‍රජාවන්ට  ආවේනික, අනන්‍ය ශිල්පීය හා කලාත්මක අංගයන්ගෙන් සංලක්ෂිතවීම සාම්ප්‍රදායික ශිල්ප කලාවන්ගේ නෛසර්ගික ගුණාංගයකි.  අතීතයේ, එදිනෙදා පරිහරණය උදෙසා  සාදන ලද ඇතැම් භාණ්ඩ කලාත්මක හා ගුණාත්මක බවින්  උත්කෘෂ්ඨ මට්ටමක පැවතුණි. එවැනි භාණ්ඩ, කලා කෘති (ජන කලා, ගැමි කලා යනුවෙනි ඒවා වර්ගීකරණය වන්නේ) හා කෞතුක භාණ්ඩ ලෙස එක්රැස් කිරීමට ද, සංරක්ෂණය කිරීමට ද, වාර්තා ගත කිරීමට හා අධ්‍යයනය කිරීමට ද ලෝකය  පුරා පෙළැඹුමක් ඇතිවිය. ලෝකයේ බුද්ධි ප්‍රබෝධ සමය තුළ, ආනුභාවික හා  විද්‍යාත්මක  ක්‍රමවේද මත පදනම්ව විවිධ  මනුෂ්‍ය ප්‍රජාවන් පිලිබඳ ගවේෂණ සිදුකරන ලදී.   මේ කාලය තුලම, ඉහතාකාරයේ හේතු සාධක කරණ කොට ගෙන (අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියක් ලෙස) යටත්විජිත  රටවල ජන ප්‍රජාවන්ගේ වාර්ගික තොරතුරු එක්රුස් කිරීම හා  වාර්තා ගතකිරීම  ඇරඹිණි. මේ යුගයේ මෙරට පැවති මෙවැනි ශිල්ප කර්මාන්ත ගැන වාර්තා  හා  ග්‍රන්ථ රාශියක්  සම්පාදනය වී තිබේ. ඒවා සියල්ලක්ම  පාහේ ලංකාවේ විසූ හා සංචාරයේ යෙදුණු විදේශිකයන් විසින් රචනා කරන ලද ඒවා ය. ඒවායෙහි  ලංකාවේ  කර්මාන්ත ලෙස වාර්තා කර  ඇත්තේ, මහනුවර යුගයට අයත් එවක  පැවැති භාණ්ඩ සෑදීමේ පිළිවෙත් ගැනයි. මේ අනුව, සම්ප්‍රදායික කලාවන් අරබයා ප්‍රාමාණික දැනුම් පද්ධතියක් හා මහා ආඛ්‍යානයක් බිහිවී තිබේ. මේ සියලු ප්‍රයත්නයන් විසින් අවසානයේ ශිල්ප කලා පුනරුදයක් සඳහා ද මග පාදනු ලැබීය. දේශීය කලා හා ශිල්පීය වැඩ සඳහා අවශ්‍ය කුසලතා ආරක්ෂා කර සම්ප්‍රේෂණය කිරීම වෙනුවෙන්, ඒ භාණ්ඩ ‘සාදන්නා’  ‘ශිල්පීයා’ හා  ‘ශිල්පයේ  උරුමකරු’ යන භූමිකා හිමිකරගත්තේය. එහෙත්, මෙහිදී අවධාරණය කළ යුතු යමක් තිබේ; ඒ, මේ කිසිදු සංසිද්ධියක් හෝ දෘෂ්ටිවාදයක් නිසා ශිල්පීන්ගේ සමාජාර්ථික තත්වය යථා ජීවිතයේ දී නම් උසස් තත්ත්වයකට පත්වූවේ නැති බව හා ඔවුන් ඒ දෘෂ්ටිවාද සංකල්පමය වශයෙන් ගොඩනගන්නට සහභාගී නොවුණු  අය බවයි. තම ශිල්පය සම්බන්ධවම ශිල්පීහූ ‘නිර්ප්‍රභූ’ ජන කොටසක් බවට පත්ව සිටිති.

මේ සාම්ප්‍රදායික කර්මාන්ත බොහෝ කලක සිට ඉහත කී සමාජාර්ථික සන්දර්භයෙන්  එනම්,  පූර්ව  නූතන යුගයේ නිෂ්පාදන මාදිලිවලින් හා නිෂ්පාදන සබඳතාවලින්  බැහැරවෙමින් පැවතුණු අතර, ඒ නිසා ඒවා ක්‍රමයෙන් අභාවයට යමින් තිබිණි. ගෝලීය තරඟකාරිත්වය, ලාභ ආදේශක භාණ්ඩ මහා පරිමාණයෙන් නිෂ්පාදනය වීම සහ ශිල්ප භාණ්ඩ අරබයා වන සෞන්දර්ය, සංස්කෘතික රසය සහ ප්‍රවණතා වෙනස්වීම ආදිය නිසා මේ භාණ්ඩවලට ඇති ඉල්ලුම හා වටිනාකම් නිතර උච්ඡාවචනයන්ට ලක්වෙමින් පවතියි. මේ සියල්ල, ශිල්පීය ප්‍රජාවන්ගේ ආන්තික සමාජභාවය හා අස්ථාවර පැවැත්ම තීව්‍ර කර ඇති බව පෙන්නුම් කරයි. එමගින්, ශිල්පීන්  තුන්වන ලෝකයේ හුදු ශ්‍රමිකයන් බවට පත් කරනු ලැබ ඇත. සීමිත හා අකාර්යක්ෂම වැඩසටහන් සහ ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම සම්බන්ධයෙන් ශිල්ප කලාවන්ට සහාය දැක්වීමේ හා  ශිල්ප ප්‍රජාවන් බලමුලු ගැන්වීමේ  රජයේ සහ රාජ්‍ය නොවන උත්සුකයන් ද විවේචනයට ලක්වේ. ශිල්ප ප්‍රජාවන් නොනැසී පවතින විට, විශේෂයෙන් ලංකාව වැනි රටක, ඔවුන් එසේ කරන්නේ ප්‍රධාන වශයෙන් ගෝලීය හා දේශීය ධනේශ්වර ආර්ථිකයන්ගේ පරිධියෙහි දිවි ගෙවමිනි; මෙය දශක ගණනාවක් තිස්සේ කලාතුරකින් වෙනස් වී ඇති තත්වයකි.

මේ අනුව, තලගුනේ වියමන් වැනි සාම්ප්‍රදායික ශිල්ප කලා පිළිබඳ අවධාරණය කළ යුතු කරුණු කීපයක් වෙයි. මේ ශිල්පයන්හි නියැලෙන්නේ, අතීතයේ සිට ඒ පිළිබඳ ප්‍රාගුණ්‍යය හිමිකරගත් ශිල්ප ප්‍රජාවකි. ඒ ප්‍රජාවේ සාමාජිකයන් ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉතා සීමිතය. මේ නිසා ශිල්ප ප්‍රජාවන් ද, ශිල්ප ද, වඳවී යාමේ බරපතල තර්ජනයකට මුහුණ පා සිටියි. ශිල්ප සංරක්ෂණය වෙනුවෙන් ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම වැදගත් වනු ඇත්තේ මේ හේතුව කෙරෙහි අවධානය  යොමු කිරීමෙනි. ශිල්ප, කර්මාන්තමය වශයෙන් වෙනත් ආර්ථික ක්ෂේත්‍ර (සංචාරක, ග්‍රාමීය කර්මාන්තය වැනි) හා සෘජු සම්බන්ධතා ඇති බැවින්, කර්මාන්ත ප්‍රවර්ධනයේ දී ද  ප්‍රමුඛතා හිමිවිය යුතු ක්ෂේත්‍රයකි. තලගුනේ රෙදි විවීම පිළිබඳ ශිල්පීය ක්‍රම අධ්‍යයනය කිරීමෙන්, සාම්ප්‍රදායික ශිල්පකලා  පිළිබඳ දැනුම ප්‍රචලිත කිරීමෙන්  රෙදිපිළි නිෂ්පාදනයේ ඓතිහාසිකත්වය, සංකීර්ණත්වය හා නවීනත්වය පිළිබඳ සිත්ගන්නාසුලු අවබෝධයක් ලබා දෙන අතර එමඟින් අනාගත පරපුරේ ප්‍රයෝජනය උදෙසා සජීවී ශිල්ප සම්ප්‍රදායක් පවත්වා ගෙන යා හැකිය.

තලගුනේ පේෂ කාර්මික ශිල්ප ප්‍රජාව හා එහි සමාජ-ආර්ථික සැකැස්ම

ලංකාවේ මධ්‍යම පළාතේ , මහනුවර දිස්ත්‍රික්කයේ නැගෙනහිර සීමාවේ පිහිටා ඇති උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තලගුණේ නමැති මේ කුඩා ගම්මානය පිහිටා තිබේ. මහනුවර සිට මහියංගන දක්වා ගමන් කරන විට ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් පනහක් පමණ ගමන් කළ විට හමුවන උඩුදුම්බර මංසන්ධියෙන්  (මාඩුගොඩ  හන්දිය නමිනි ගැමියන් එය හදුන්වන්නේ) වමට හැරී, නැවත කිලෝමීටර් හතරක් පහක් පමණ ගමන් කළ පසුය මේ  ගම්මානයට පිවිසිය හැක්කේ. තලගුනේ රෙදි වියමන සියවස් ගණනාවක් පුරා පැවත එන්නේ මේ ගම්මානය ආශ්‍රිතවය.

දැනට මේ   ගමෙහි, පේෂකාර්මික ශිල්පීන්ගේ පවුල් දහයක් පමණ මෙම ශිල්පයේ නිරතව සිටිති. ඒ සෑම පවුලකටම  ගෘහස්ත  වැඩමුළුවක් හිමි ය. ඒ  වැඩමුළුවලින් අටක පමණ එහි හිමිකාරත්වය දරන ප්‍රධාන/ ප්‍රවීන ශිල්පීයා  (master-weaver), ඔහුගේ/ඇයගේ පවුලේ සාමාජිකයන්, සහ වැටුප් මත සේවයේ යෙදී සිටින සහාය-වියන්නෝ  කීපදෙනෙක් සේවයේ  නියුක්තව සිටිති.     තවත්  ගෘහස්ත  වැඩමුළු ඒකක  කීපයක රෙදි වියමනෙහි නිරතව සිටින්නේ ප්‍රධාන ශිල්පියා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පමණකි. මේ ප්‍රධාන  ශිල්පීහු එකම පවුල් පරම්පරාවේ ඥාතීහුය. මේ පවුල්වල ගමෙන් පිට  පදිංචිව සිටින සාමාජිකයන් කීපදෙනෙක් ද ඔවුන්ගේ නිවෙස්වල පේෂකාර්මික වැඩමුළු පවත්වාගෙන යන අතර, ඔවුන්ට ඇණවුම් ලැබෙන්නේ මේ ගමේ   තම ‘මුල්-පවුල’  හරහාය. මේ අනුව,  මෙම කර්මාන්තයේ නියැලෙන මුළු පිරිස සියයකට ආසන්නය. දැන් මේ ශිල්ප කර්මාන්තය මේ අයුරින් න්‍යෂ්ටික පවුල් කේන්ද්‍රීයව පවත්වාගෙන ගියත්, මෑත අතීතයේ, එනම් දස වර්ෂ හතරකට පමණ පෙර, එය පැවතියේ ප්‍රජාව තුළ සාමූහික නිෂ්පාදන ක්‍රියාපිළිවෙතක් ලෙසය. මේ ශිල්පය, මේ වනවිට ක්‍රමයෙන් ධනේෂ්වර  නිෂ්පාදන මාදිලි හා නිෂ්පාදන සබඳතා මත පදනම් වූ කර්මාන්තයක් බවට පරිවර්තනය වෙමින් තිබේ.  ප්‍රධාන ශිල්පියා මූලිකත්වය දරනු ලබන,  පවුලේ සාමාජිකයන් සඳහා නිශ්චිත ක්‍රමයක් යටතේ ‘වැඩ’ බෙදන ලද, ගෘහස්ථ වැඩමුළු අවකාශ  තුළ,  න්‍යෂ්ටික පවුල ප්‍රධාන කොටගත් නිෂ්පාදන ක්‍රමයක් දැන් මෙහි ස්ථාපිත වී තිබේ.

තලගුනේ වියමනෙහි මූලාරම්භය කෙසේ, කවර කාලයක සිදුවූවා ද  යන්නට නිශ්චිත තොරතුරක් හමුනොවේ. ලංකාවේ යටත්විජිත ඉතිහාසය ග්‍රන්ථවල තලගුනේ වියමන පිළිබඳ යම් සඳහනක් වෙතත් ඒ ගැන ප්‍රාමාණික විස්තරයක් අන්තර්ගතවන්නේ  ආනන්ද කුමාරස්වාමිගේ   ‘මධ්‍යකාලීන සිංහල කලා’ (කුමාරස්වාමි, 1905) නමැති පොතෙහිය.  මූලික යුග තුනක් හරහා එනම්, නුවර රාජධානිය පැවති වැඩවසම් යුගය, යටත්විජිත යුගය හා නිදහසෙන්-පසු යුගය ආදී වශයෙන් වන ලංකා ඉතිහාසයේ   යුග ගණනාවක් පුරා, ඒවායේ   ආර්ථික හා  සමාජ සැකසුම්වලට නතුවෙමින්  මෙම ශිල්පීන් විසින් තලගුනේ වියමන ජීවමාන ස්වරූපයෙන් පවත්වා ගෙන එන ලදී. උඩරට ප්‍රදේශයේ මීට සමගාමීව ලාක්ෂා, පිත්තල, ලෝකුරු, මැටි, පන් පැදුරු, නියඳ කළාල ආදී සාම්ප්‍රදායික ශිල්ප කර්මාන්ත ලෙස අද අප හදුන්වන  භාණ්ඩ සෑදීමෙහි නියැලෙන ශිල්ප ප්‍රජාවෝ ද  එම ශිල්ප ඔවුන්ගේ ජීවිකා ලෙස පවත්වා ගෙන එති.

මෙම පේෂකාර්මික ශිල්පීන් අතීතයේ සිට රෙදි වියන ලද්දේ කෘෂිකාර්මික ජන සමාජයක විසූ සාමාන්‍ය  ගැමි ජනයාගේ එදිනෙදා අවශ්‍යතා සපුරාලීම උදෙසාය. එහෙත් මේ රෙදිවල චිත්තාකර්ශනීය  ස්වභාවය නිසා අතීතයේ සිට මේ දක්වා වූ සෑම යුගයකම සමාජයේ විසූ ගිහි-පැවිදි ප්‍රභූ ජන කොටස්වල විශේෂ අවධානය ඒ කෙරෙහි යොමුව තිබිණි. තලගුණේ ග්‍රාමය ආශ්‍රිතව ජීවත් වූ ප්‍රාදේශීය  නිලතල දැරූ රදළ ප්‍රභූන් ද, මඩුගල්ල ආදී තදාශ්‍රිත ප්‍රදේශවල වාසය කළ උසස් රාජකීය නිලධාරීන්ගේ පවුල් ද මෙවැනි අලංකෘත රෙදි භාවිත කරන්නට ඇතැයි අනුමාන කළ හැකි සාධක හමුවේ. පසුකාලීනව, එනම්, යටත්විජිත යුගයේ දී, බ්‍රිතාන්‍ය පාලනයේ විශේෂ අනුග්‍රහය මේ ශිල්ප කර්මාන්තය සඳහා හිමි ව තිබූ බවට බොහෝ තත්‍ය සාක්ෂි හමුවේ. මේ කාලයේ  මහනුවර උඩරට කලා සංගමය විසින් පවත්වාගෙන ගිය අලෙවිසලෙහි තලගුණේ පේෂකාර්මික ශිල්පීන් කිහිප දෙනෙකු දීර්ඝ කාලීනව සේවයේ යොදවා සිටි අතර ඔවුන්ගේ නිෂ්පාදන අලෙවිය හා ප්‍රදර්ශනය සඳහා අවස්ථා  උදාකර දෙන ලදී. නිදහසෙන් පසු යුගයේ, රජය ද, අනෙක් අතට, නිකේතන වෙළෙඳපොළ ඉලක්ක කරගත් නාගරික අත්කම් වෙළෙඳසල් පවත්වාගෙන ගිය පෞද්ගලික අංශය ද මේ ශිල්පය සඳහා  දීර්ඝ කාලීනව අනුග්‍රාහකත්වය සපයා ඇති බව සදහන් කළ යුතුය.  ඒ අනුව අතීතයේ පටන්ම තලගුනේ වියමන ප්‍රභූ  අනුග්‍රාහකත්වය මත පැවතගෙන ආ ශිල්ප කර්මාන්තයක් ලෙස හඳුන්වාදීම සුදුසුය.

මේ අාකාරයෙන්ම, වර්තමානයේ ද තලගුනේ මේ  ප්‍රධාන පේෂකාර්මික ශිල්පීන් බොහෝවිට තම නිෂ්පාදනය කරගෙන යන්නේ අනුග්‍රාහකයෙකු හා සම්බන්ධවීමෙනි.  එසේ ඒ අනුග්‍රාහකයන්  ඇණවුම් කරන භාණ්ඩ නිෂ්පාදනය කිරීම ශිල්පීන්ට වඩාත් පහසු සහ වාසිදායක ක්‍රමයකි. මේ අනුග්‍රාහකයා, වර්තමාන සමාජයේ ක්‍රියාත්මක වන නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර සිටින  වෙළඳ  අතරමැදියෙකුෙගේ   භූමිකාවෙහි  යෙදෙන්නෙකු නොවේ.  මෙම අනුග්‍රාහකයන්, ලංකාවේ ඉහළ පෙළේ ශිල්පභාණ්ඩ  නිෂ්පාදන කර්මාන්තයේ මෙන්ම හා අලෙවි ව්‍යාපාරවල නියැලී සිටින අයයි. ඔවුන්ගේ ගැනුම්කරුවන් ශිල්ප  භාණ්ඩ පිළිබද රසඥතාවක් හා දැනුමක් ඇති ඒවා නිත්‍ය ලෙස පරිභෝජනය කරන සමාජයේ ඉහළ පැළැන්තියේ අයයි. මේ නිසා, ඔවුන් වෙනුවෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ දී, සෞන්දර්යාත්මක ගුණයෙන් ද,  තත්ත්වයෙන් ද සිය නිෂ්පාදන ඉතා උසස් මට්ටමක පවත්වා ගැනීමට ශිල්පීන්ට සිදුවේ. භාණ්ඩ නිෂ්පාදනයේ දී අවශ්‍ය වන ගුණාත්මක බවින් යුක්ත වර්ණ ගන්වන ලද නූල් අනුග්‍රහකයන්ගෙන් ශිල්පීන් වෙත ලැබේ. එම භාණ්ඩවල නිර්මාණ කටයුතු බොහෝ විට තීරණය කරනු ලබන්නේ ශිල්පීන් විසිනි.  එසේ නිෂ්පාදනය කළ භාණ්ඩ අනුග්‍රහකයා විසින් මිලදී ගනු ලැබේ. මේ නිසා මෙම ශිල්පීන්ට වෙනත් විකුණුම් ක්‍රම කරා යෑමේ අවශ්‍යතාවක් ඇතිවන්නේ කලාතුරකිනි. මේ අනුව අනුග්‍රාහකයා සමඟ ඉතා සෘජු, දැඩි, හා  පක්ෂපාතී අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් ගොඩනැගීමට ඔවුන් බැඳී  සිටිති. තම භාණ්ඩ තමා විසින් ම අලෙවි කරගන්නවාට වඩා මෙවැනි ඉහළ පෙළේ වෙළඳ සන්නාම යටතේ  ඒවා අලෙවි කිරීමෙන් ශිල්පියාගේ කීර්ති නාමය ද ඉහළ යයි. අනෙක් අතට  ඉහළ සමාජ සංචලනයක් අත්ක‍රගැනීමට ද මේ සබඳතා හරහා ශිල්පීන්ට අවස්ථාව උදාවී තිබේ. මෙය හුදෙක් ශිල්ප ශ්‍රමය ‘සූරාකෑමේ’ පිළිවෙතකැයි අවකත්සේරු කළ නොහැකිය.  ඒ කෙසේවුවත්, මේ අනුග්‍රාහක-ශිල්පී සම්බන්ධය, ඇතැම් විට, වර්තමාන පරම්පරාවේ ඥාති ජාලය තුළ ගොඩනැගී ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාවලින් ඈත්වීමට නම් වැඩි ඉඩකඩක් පවතී.

ශිල්ප කුසලතා එක් එක් සමාජයට ආවේණික වූ සංස්කෘතික ජීවන රටාවේ කොටසකි.  සමස්තයක් වශයෙන්, දුම්බර වියමනෙහි ශිල්පීය කුසලතාවන්හි ඥාතීත්ව පදනමින් සැකසෙන සංස්කෘතික සම්ප්‍රේෂණයක් පවතින බව සනාථ කළ හැකි අතර, එම කුසලතාව සංස්කෘතික සලකුණු කිරීමකින් සම්පූර්ණයෙන්ම තීරණය වන බව,  එනම්,  ‘ඥාතිත්ව සංකල්ප’ සහ ‘අතීතයේ සිට පැවත එන ජීවිකාවක හා ජීවන රටාවක අරුත’ ගොඩනඟා ඇති ආකාරය පෙන්නුම් කරයි. තලගුනේ පේෂකාර්මික ශිල්පීන්ගේ ඥාතීත්ව ජාලයට පිටතින් විවාහයෙන් ඇතුලත් වූ  කිසිවකු ප්‍රධාන ශිල්පයෙකුගේ භූමිකාව අත්පත් කරගන්නට මෙතෙක් සුදුසුකම් ලැබූ බවක් දැනගන්නට නැත. මේ පවුලට විවාහය‍ෙන් සම්බන්ධ වූ ස්ත්‍රීන් හා පුරුෂයන් දෙපාර්ශවයම මෙම වියමනෙහි නිපුණතා විශද කළ ද   ඔවුන් ප්‍රධාන ශිල්පීන් ලෙස සේවය කොට නැති බවකි පෙනෙන්නට ඇත්තේ. පෙළපතින්ම ශිල්පයේ උරුමකරුවෙකු වීම ඒ සුදුසුකම සපුරාලනු ඇත.

පේෂකාර්මික ශිල්පීන්ගේ පරම්පරා පිලිබඳ විමසා බැලීමේදී අවබෝධ වන්නේ, ඒ  පෙළපත්-ජාලය තුළ සමාන ආකාරයෙන් ප්‍රධාන-ශිල්පීන්ගේ ආස්ථානයන් විසිරී නැති බවයි. ඒ වෙනුවට, එක් පවුලක් වටා එය සංකේන්ද්‍රණය වෙමින්, ඒ පවුලේ ‘අනු’ ‘උප’ ශාඛා ඔස්සේ  පහළට ජාලගත වෙමින්, ඒ පවුලේ දරුමුණුබුරු පරම්පරාවලට ශිල්පය සම්ප්‍රේෂණය වීමකි  සිදුව ඇත්තේ. මෙසේ එක  පවුලක සහෝදර සහෝදරියන් වැඩි පිරිසක් ශිල්පයෙහි නිරතවී සිටින විට  සහයෝගීතාවක්, අන්‍යොන්‍ය බවක් සහ සුරක්ෂිතතාවක් නිතැතින්ම වර්ධනය වෙයි.  එවිට එවැනි එක් පවුලක් හෝ කීපයක් විසින් ශිල්පයේ ආධිපත්‍ය දැරීම සිදුවේ. සෑම පරම්පරාවකම, සෑම පවුලකම වැඩිහිටි වියට පත්වන පිරිමි දරුවෝ වෙනත් රැකියා හා ජීවන මාර්ග හේතුවෙන් මෙම ජීවිකාව අත්හැර ගමෙන් පිටව යාමට වැඩි නැඹුරුවක් දක්වති. ස්ත්‍රිහු නම් පාසල් හැරගිය වයසේ පටන්ම මෙම කර්මාන්තයෙහි නියැලෙති. එහෙත්, විවාහ  හේතු කොට ගෙන ඔවුන්ගෙන් වැඩිදෙනෙකුටත් ගම‍ෙන් පිටතට සංක්‍රමණය වීමට සිදුවෙයි. මොවුන්ගේ පවුල් පරම්පරා පිළිබඳ පිරික්සීමේ දී, බාලම පරම්පරාව හැර අන් සියලුම පරම්පරාවල, පිරිමි,  සංඛ්‍යාත්මකව ඉතා වැඩිය. පිරිමි  මෙම කර්මාන්තයේ නියැලෙන විට ඔවුන්ගේ සහෝදරයන් හෝ පියා හෝ පිරිමි දරුවන් සමග මෙම ශිල්පය වඩාත් ස්ථාවරව පවත්වාගෙන යාම පහසු වී තිබෙන බව පෙනේ.

මීට අමතරව, ඔවුන්ගේ පාරම්පරික අතීත ඥාතිත්වය හා බැඳෙන තවත් සාධකයක් තිබේ; ශිල්පීය ප්‍රවීණත්වය හා ආධුනිකත්වය. මේ ශිල්පීන් කිසිවෙක් මේ වියමන පිලිබද විධිමත් හෝ ක්‍රමානුකූල පුහුණුවක් ලබන්නේ හෝ ලබා නැත. ශිල්ප ශ්‍රේණි ආශ්‍රිතව පවතින ‘ආධුනිකත්ව කාලයකැ’යි පැහැදිලිව හඳුනාගත හැකි  කාලපරිච්ඡේදයක් මේ ශිල්පීන්ගේ ජීවිත කාලය තුළ නැත. එනම්, මේ ශිල්පීන් ආධුනිකයන් ලෙස විශේෂයෙන් පුහුණුවක් නොලබන බවයි මෙහි අදහස වන්නේ. කුඩා කාලයේ සිට තම නිවසේ හෝ වෙනත් ඥාතියෙකුගේ නිවසේ සිට වියමනෙහි නියැලීමට ඔවුන්ට බාධාවක් නැත. වියමනෙහි  පුහුනු වීම නියැලීම හෝ  ස්වයංව, නිදහසේ සිදු කරනු ලබන්නකි. ‘පවුලේ සෑම සාමාජිකයෙකුම රෙදි වියමන අනිවාර්යයෙන් පුහුණු විය යුතුය’ හෝ ‘එය ජීවිකාව ලෙස තෝරාගත යුතුය’ ආදී වශයෙන් නියමයක්  නැති බැවිනි. එය ශිල්පියෙකුගේ ස්වාධීන අභිමතය පරිදි තෝරාගන්නා ජීවිකාවකි. ගෘහස්ථව රෙදි වියමන නිතර දකින හා කරන කාර්යයක් නිසා ඔවුන් සිය වැඩිහිටියන්ට සහාය වීමක් ලෙස හෝ ඒ කෙරෙහි ඇති ඇල්ම හා ආශාව නිසා එහි ප්‍රායෝගිකව නියැලීමයි සිදුකරන්නේ. එහිදී වැඩිහිටියන්ගෙන් ගුරුහරුකම් ලැබේ. එහි නියැලෙන්නන්ව ඒ කාර්යය සඳහා දිරිගන්වනු ලැබේ. වර්තමානයේ නම් මේ පවුල්වල දරුවන් දිරිගන්වන්නේ විධිමත් පාසල් හෝ එවැනි අධ්‍යාපන අවස්ථා උදා කරගැනීම සඳහාය. නමුත් නිවසේ සිදුකෙරෙන වැඩ සඳහා ඔවුන්ගේ සහය යොදාගැනීමට සිදුවේ. එවිට ශිල්පීත්ව හැකියාව බාල පරම්පරාව තුළ නිසගයෙන් ආරෝපණය වේ.  ජීවිතයේ යම් කාලයක දී, මොන යම් හෝ හේතුවක්  නිසා වියමන අත්හරිනු ලැබූවත්, සදාකාලිකවම එම ශිල්ප හැකියාව තමා තුළ තිබෙන බවත්, එය කිසිවිටෙක අත්නොහැරෙන බවත් මේ ශිල්පීහු විශ්වාස කරති. එම හැකියාව ජීවිකාවක් බවට පත්කර ගැනීම සඳහා ඔවුන්ගේ ‘ඥාති ජාලය’ තුළ සහ පාරම්පරික භූමිය තුළ වාසය කිරීම වඩාත් ප්‍රතිඵල ගෙන දෙන්නක් බව ඔවුහු පිළිගනිති. තලගුනේ ගම්මානයේ වාසය කරන ප්‍රධාන ශිල්පීන් සියලු දෙනාම පාහේ  ජීවිතයේ යම් කාලයක මෙය අත්හැර වෙනත් රැකියා  හා ජීවිකාවන් සඳහා වෙන වෙන වෘත්තීන්වල නියැලුණු අයයි.

පැරණි සාම්ප්‍රදායික වැඩවසම් රෙදි වියන්නාගේ සිට ධනේෂ්වරයේ ශූර ව්‍යවසායකයා හෝ උරුම ශිල්පියා දක්වා වන  ප්‍රතිවිරුද්ධ අන්තවල සහ ඒ අතරමැද  භූමිකාවන් සියල්ලම මේ ප්‍රජාවේ පැවැත්ම සඳහා අනිවාර්ය සාධකයක් වී තිබේ. මෙම ‘ප්‍රජා සංයුතිය’, සාම්ප්‍රදායික ශිල්පයක්,  නූතන ධනවාදී ආර්ථික  ක්‍රමයක් තුළ ස්ථාවර ආස්ථානයක් හිමිකරගැනීමේ දී  ඔවුන්ගේ ප්‍රජාව විසින්ම ක්‍රමානුකූලව හා ක්‍රමිකව ගොඩ නගාගන්නා ලද සමාජ ව්‍යුහයක් ලෙස පරිවර්තනය වී තිබෙන බව පෙනේ. මෙම ප්‍රජා සාමූහිකය  එක් එක් ශිල්පියාගේ ඒකල භූමිකාව වඩ වඩාත්  පෝෂණය කරන අතර, සාමූහිකය තුළින් ඉවත්වීමෙන් ඔවුන්ගේ ඒ තනි භූමිකාවේ වලංගුභාවය තවදුරටත් පවත්වා ගැනීමට නොහැකි වනු ඇත. වර්තමානයේ දුම්බර වියමන යනු සිය පාරම්පරික පෙළපත් තුළින් මතුකරගත් විසංවාදී හා සහයෝගී විවිධ භූමිකා රැසක සාමූහික ප්‍රයත්නයකි.

ශිල්ප කලාව හා වියමන් සම්ප්‍රදාය

පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන තලගුනේ වියමන්  හෙවත් දුම්බර රෙදි විවීමේ කලාව නිර්මාණශීලිත්වය, පරිකල්පනය සහ කුසලතාවල එකතුවකි. එය  මෝස්තර රටාවලින්  යුතු රෙදි වියමනකි. එහි භාවිතා කර ඇති ගණන් කළ නොහැකි රටා ආකෘතීන් සඳහා ලිඛිත සාධක ශිල්පීන් සතුව නොමැත.


ප්‍රවීණ ශිල්පී චන්දන යාපාගේ  මහතා සතු අත්යන්ත්‍රයක් මත නිමැවෙමින් පවතින සාම්ප්‍රදායික මෝසතර සහිත වියමනක්
තලගුනේ වියමන‍ෙහි  මෝස්තර වියා පිළියෙල කෙරෙන්නේ මෙසේය.  දික් හා හරස් නූල් සහිත රෙද්දේ (සරල) වියමන අතරට, ලී පත්තක ආධාරයෙන් අමතර හරස් නූලක් බැගින්  එක් කරමින්,  තනි රූප ලෙස හෝ, රූප තීරු ලෙස හෝ, මුළු රෙද්ද පුරාම විසිරුණු තනි විශාල මොස්තරයක් ලෙස හෝ, රටා යොදා රෙද්ද  පිළියෙල කරගැනීම සිදුවේ. අතීතයේ නම්, පසුබිම් රෙද්ද වියා ගැනුණේ  පිරිපහදු නොකළ අමු නූලෙනි. මෝස්‌තර විවීම සඳහා යොදාගන්නා අමතර හරස් නූල සැමවිටම පසුබිම් රෙද්දේ වියමනට යොදාගන්නා නූලට වඩා ඝනකම් වන්නට නූල්පට වැඩි ගණනක්  යොදා පිළියෙළ කරගනී. එවිට, මෝස්‌තරය, රෙද්දේ මතුපිට  උත්තීර්ණ (embossed) වයනයක් මවයි.රෙදි වියමන සඳහා  මෙම ශිල්පීන් විසින් සිය සාම්ප්‍රදායික ක්‍රමවේදයම අනුගමනය කළ ද, අතීතයේ භාවිත කළ ‘අලුව’,  හෙවත් අල්-වලේ යන්ත්‍රය වෙනුවට දැන්   භාවිතකරන්නේ  පා පොලු දෙකේ සරල අත්වියමන් යන්ත්‍රයයි. එය වලක් සකසා ඒ මත  පිළියෙල කරන ලද යන්ත්‍රයකි. මේ ගමේ තිබුණු පැරණිතම ‘අලුව’   මෑතකදී පොලොන්නරුවේ ස්ථාපනය කරන ලද කෞතුකාගාරයේ තැන්පත් කොට පිළියෙල කළ බව එහි උරුමකරු වූ ප්‍රවීණ ශිල්පී අසෝක පද්මසිරි මහතා පැවසීය. එම යන්ත්‍රය පිළියෙළ කිරීමට හා එහි වියමනෙහි ප්‍රාගුණ්‍යයක් හිමි ශිල්පියෙකි ඔහු. මේ යන්ත්‍රයට හා  විවීම සදහා අනන්‍ය පාරිභාෂිතයක් ද ඇත.

 ප්‍රවීණ ශිල්පී අශෝක පද්මසිරි මහතා සාම්ප්‍රදායික ‘අල්වලේ’ යන්ත්‍රයේ රෙදි වියමනක නිරතව සිටියි  
තලගුනේ  රෙදි වියමනට අදාල තාක්ෂණය, වියන යන්ත්‍ර හා මෙවලම්  එමෙන්ම එහි මෝස්තර රටා  ලෝකයේ වෙනත් රෙදි වියමන් සම්ප්‍රදායයන් අතර ද දැකගත හැකිය. නමුත්, වියමනේ දී අමුද්‍රව්‍ය භාවිත කරන ආකාරය හා රටා යොදා මෝස්තරය රෙද්ද මතුපිට සංරචණය කරන ආකාරය අනුව තලගුනේ වියමන්  ලෝකයේ  අනෙක් ඕනෑම තැනක  නිපදවන රෙද්දකින් වෙන්කොට හඳුනාගැනීමට අපහසුවන්නේ නැත.  ඒ  ශෛලීය වෙනස්කම්, අතින් නිම කළ ඕනෑම සාම්ප්‍රදායික ශිල්ප භාණ්ඩයක දක්නට ලැබෙන පොදු නෛසර්ගික ගුණාංගයක් බව සඳහන් කළ යුතුය.තලගුනේ වියමන් නිම කෙරෙන්නේ  රෙදි වශයෙන් නොව  රෙදි ආශ්‍රිත නිමි හෝ අර්ධ-නිමි භාණ්ඩ ලෙසිනි (on-loom finished products). අතීතයේ දී නම්, පිරිමි අඳින රෙදි – තුප්පොට්ටි, ගැහැනු අඳින රෙදි – පාද හේල හෙවත් සේල, පිරිමි දිය නෑමට අඳින රෙදි – දියකච්චි, ලේන්සු, සාලු, උරමාලා, ඇඳ රෙදි, ගෘහ අලංකරන රෙදි, කනප්පු ලේන්සු, පුටු කවර, කොට්ට උර, වියන් රෙදි, සිවුරු හැට්ට, සිවුරු රෙදි, සිවුරු පටි, තොප්පි, බුලත්පහි, බුලත් මලු, රජවරුන්ගේ තුප්පොට්ටි, නිලමේවරුන්ගේ තුප්පොට්ටි, නිලමක්කාර තුප්පොට්ටි, සමාන්‍ය මිනිස්සුන්ගේ තුප්පොට්ටි, බිසොවරුන්ගේ රෙදි, කොඩි රෙදි, තිර රෙදි, වියන් රෙදි ආදියයි.
වර්තමානයේ වැඩිපුර සාදන්නේ කුෂන් කවර,  බිත්ති සැරසිලි, මේස අතුරණ ආදියයි (මේ තොරතුරු සපයන ලද්දේ තලගුනේ ප්‍රවීන පේෂකාර්මික ශිල්පී සෝමවංශ මහතා විසිනි).‘දියකච්චිය’, තලගුණේ රෙදි වියමනේ අද්විතීය නිර්මාණයක් සේ සැළකිය යුත්තකි. ඒ වනාහි, අතීතයේ පිරිමින් විසින්  යටිකය ආවරණය කිරීමට හඳිනා ලද බහු කාර්යය ඇඳුමකැ යි සැලකේ. ඉදිරිපසින් එල්ලෙන ලොකු හතරැස් පෙර වැස්මක් ද, පසුපස  වැසෙන සේ යෙදෙන පටු දිගු රෙදි කඩක් ද,  ඉන වටා බැඳීම සදහා සිහින් දිගු පටියක් ද සහිත මෙම ඇඳුම තනි රෙද්දක්  සේ  වියා ගන්නා තාක්ෂණය හෝ ශිල්ප ක්‍රමය  රෙදි වියමනෙහි ප්‍රවීණයන් පවා විස්මයට පත් කරන කාරණයකි (එය වර්තමානයේ ඉතා දියුණු සංකීර්ණ වියන යන්ත්‍රයකින්වත් කළ හැකි වියමනක් නොවේ). පැරණි ආකෘතීන්ට අනුව අලුතින් වියන ලද  දියකච්චිවල අනුරූ මේ ශිල්පීන් කීපදෙනෙකු සතුව ඇත. නවදිල්ලියේ, දකුණු ආසියානු කෞතුකාගාරයට ඉදිරිපත් කිරීම සදහා, ලංකාවේ රෙදිපිළි මෝස්තර නිර්මාණවේදිනියක වන චන්ද්‍රාමණී තේනුවර මහත්මියගේ අනුදැනුම යටතේ වියන ලද දියකච්චියක අනුරුවක් සඳහා ඇය විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථයෙහි එම ඇඳුමේ මෝස්තර හා වියමන් සැකැස්ම විස්තීර්ණ ලෙස පිටු ගණනාවක් පුරා පිටපත් කොට දක්වා තිබේ. එහි මෝස්තර වියමන එපමණටම සංකීර්ණය, අලංකෘතය. ඒ දියකච්චියේ අනුරුව වියමන් කරන ලද්දේ තලගුනේ ප්‍රවීණ ශිල්පියෙකු වන ගාමිණී වික්‍රමසිංහ මහතා විසිනි.

ප්‍රවීණ ශිල්පී සමන් යාපාගේ මහතා විසින් නිර්මාණය කළ පුරාණ දියකච්චියක අනුරුවකින් කොටසක්

තලගුනේ වියමන් රටා බොහෝ දුරට ජ්‍යාමිතික, ශාක හා මල් මෝස්තරවලින් යුක්ත වේ. ඒ රටාවල පැරණි  නම් කීපයක් මෙසේය. මල් පෙත්ත, හීන් මල් පෙත්ත, මහ මල් පෙත්ත, පෑහෙන මල් පෙත්ත, පර මල්, දැත්ත, දැත් මල, කතුරු මල, අට පෙති මල, ඉද්ද මල, පියුම, පනා පියුම, කිරිබත් රටාව, හවඩි දගය, තනි පොට ලනුව, දෙපොට ලනුව, අට පොට ලනුව, වලලු දගය, ලනු ගැටය, දිය රැල්ල, ඉරි තොන්ඩු, පන්නම් කූරු, හීන් රටාව, මහ රටාව, දුනු මල, ගෙඩි මල, අවුල් හැරය, බෝ කොළ, බෝපත්, අලියා, සිංහයා, ගජ සිංහ, කුරුල්ලා, භේරුණ්ඩ පක්ෂියා, ඇත්කඳ ලිහිනියා, නයි පූට්ටුව, හංස පූට්ටුව, චෛත්‍ය, බුදු රූප, දේව රූප ආදී වශයෙනි (ප්‍රවීණ ශිල්පී ඒ. කේ. ටී. සෝමවංශ මහතා විසින් ඉදිරිපත් කරන ලද විස්තරයකි).අද වන විට මේ සඳහා වෙළඳපොලෙන් ලබාගන්නා විස්සෙන් දෙක කපු නූල් යොදා ගන්නා අතර පුරාණයේ යොදා ගත්තේ ශිල්පීන් විසින් පිළියෙල කළ කපු නූල්ය. ගමේ හා ඒ අවට (මඩුගල්ල ආදී ප්‍රදේශවලින් පවා) වගා කළ කපු සපයාගැනීමෙන් ඒ   කපු කැට නූල් සාදා ගෙන තිබේ. එම නූල්වලටත්, එම නූල්වලින් වියූ රෙදිවලටත් භාවිතා කළේ  ‘තඩුප්පු නූල්’ හා ‘තඩුප්පු රෙදි’ යන නාමයි (මෙය දෙමළ භාෂාවේ සමාන තේරුම් ඇති වචනයකි). තඩුප්පු නූල දැනට භාවිත කරන විස්සෙන් දෙක කපු නූලට වඩා යම් තරමකින් ඝනකමින් වැඩිය. ‘විස්සෙන් දෙක’ දෙපටක් එක් කොට ඇඹරූ නූලක් වන අතර ‘තඩුප්පු නූල’ තනිපට නූලකි. එම තඩුප්පු නූල් වර්ණවත් කරගැනීම සඳහා ගස්වල මුල්, මල්, පොතු, ගෙඩි සහ ඇට, මල් වර්ග ආදී  ස්වභාවිකව වර්ණක උපයෝගී කොටගෙන තිබේ. වර්ණ නූල භාවිත කළේ මෝස්තර සඳහා පමණි. පසුබිම් රෙද්ද අමු නූලෙන් වියාගැනේ. තලගුනේ රෙදි වියමන් අති සංකීර්ණ මෝස්තර රටාවලින් සංයුක්ත වූවේ වුව ද එහි වර්ණ පරාසය  තුනකට හෝ හතරකට පමණක් සීමා වී තිබිණි. වර්තමානයේ නම්,  වෙළඳපොලෙන් ලබාගත හැකි ඕනෑම වර්ණයක නූල් සංකලනය කොට  වියමන පිළියෙළ කරගැනේ.

තලගුනේ වියමනෙහි තවත් විශේෂතා කීපයක් ගැන සාකච්ඡා කළ යුතුව තිබේ.

1.මෝස්තරය පිළියෙල කෙරෙන්නේ අතින් එකතු කරන අමතර හරස් නූලකිනි. තලගුනේ ප්‍රවීණතම පේෂකාර්මික ශිල්පිනියක වන දයාවතී මහත්මිය මේ වියමනේ විශේෂත්වය ගැන සඳහන් කළේ මෙවැන්නකි; “අනිත් වියමන්වල පා පොලුවලටනේ   ඩිසයින් එක ගන්නේ. පා පොලු ගණන හතරක්, අටක්, දාසයක් වගේ වැඩි වෙන්න වැඩි වෙන්න වියන්න පුළුවන් ඩිසයින් ප්‍රමාණෙ වැඩි‍වෙනවා. පා පොලු පා ගන රටාව අනුවයි  ඩිසයින් එක වියවෙන්නේ. ඒත් දුම්බර වියමනේ එහෙම නෙවෙයි;  පා පොලු දෙකයි (පාපොලු දෙකේ යන්ත්‍රයකින් වියමන් කළ හැක්කේ සාමාන්‍ය සරල වියමනක් සහිත රෙද්දක් පමණි), පත්තෙන් (දිගු පැතලි සුමට ලී   පතුරක්)  තමා ඩිසයින් එක හදාගන්නේ. පත්තෙන් දික්-නූල්   ඕන තරමක්, ඕන විදියට උස් පහත් කරන්ට පුළුවන්. ඒක කරන්නේ…. ඒ කියන්නේ දික්-නූල් උස් පහත් කරන්නේ අතින්,…. කකුලෙන් නෙවෙයි.  ඉතිං ඕනෑ විදියේ ඩිසයින් එකක් මේකෙදි කරගන්න පුළුවන්”.

2.තලගුනේ වියමන යනු ‘අමතර-හරස් නූල්’  එක් කිරීමෙන්  මෝස්තර නිර්මාණය කරන තාක්ෂණයකි (‘extra-weft’ technique.) දයාවතී මහත්මියගේ ඉහත ප්‍රකාශයට අනුව, පත්තේ ආධාරයෙන් දික්නූල් ඔසවා ඒවා අතරට යොදන්නේ මේ අමතර-හරස් නූලයි. රෙද්දේ මුළු පළලට එකම අමතර හරස් නූලක් යොදමින් ඒ ඇසුරින් රටාව විවීම මේ වියමනේ සාමාන්‍ය ක්‍රමයයි. ‘ටැපැස්ට්‍රි’ වියමන මීට තරමක් සමාන වුවත්,  මෙහිදී සෑම අමතර-හරස් නූලකට පසුවම සාමාන්‍ය වියමනේ දී මෙන් තවත් ප්‍රධාන නූලක් යාන්ත්‍රිකව පා පොලු පෑගීමෙන් රෙද්දට එක්කරයි. රෙද්දේ ඇතැම් තැනක ‘මල් බෑම’ ලෙස හදුන්වන ක්‍රමයට තනි රූපයක් (විශේෂයෙන්ම සත්ත්ව රූප) හෝ රූප කීපයක් වියන අවස්ථා ද බහුලය. එහෙත් එය සාමාන්‍ය ‘මල් බෑම’ හෝ ‘ජම්දානි’ වියමනට ද වඩා වෙනස්ය. දයාවතී මහත්මියගේ ඉහත ප්‍රකාශයට අනුව මේ අමතර නූල එක් කරන්නේ පත්තෙන් දික්-නූල් අවශ්‍ය ගණන අවශ්‍ය පරිදි ඔසවා මෝස්තර නිර්මාණය කරගැනීම පිණිසය. ‘අමතර-හරස් නූල්’ යනු මෝස්තර සඳහා යොදන නූලයි.

3.‘මෝස්තර නූල’ පසුබිම් රෙද්ද සදහා යොදාගන්නා නූලට වඩා ඝනකමින් වැඩිය; ඒ,  පසුබිම් රෙද්ද සඳහා නුල්පට දෙකක් ද, ‘මෝස්තර නූල’ සඳහා නූල්පට හතරක් ද බැගින් යොදාගන්නා නිසාය.  ඝනකමින් වැඩි නූලෙන් මෝස්තරය වියන විට එය පසුබිම් රෙද්ද මත  උත්තීරණව නිමැවේ. එය රෙද්ද මතුපිට කළ එම්බ්‍රොයිඩර් මැහුමක් වැනිය.

4.මේ වියමනේ දී රෙද්දේ දෙපැත්තේම මෝස්තරය යෙදේ. එබැවින් තලගුනේ රෙදි වියමන්  රෙදි විවීමේ දියුණුම හා සංකීර්ණම ක්‍රමයක් ලෙස සැලකිය යුතුය. මෙසේ ‘මෝස්තර නූල්’ අතින් එක් කරන විට, ඒ අමතර-හරස්නූල්, සෑම දික්නූල් හතරකටවත් මතුපිටට හා යටට යෙදෙන ලෙස වියමන් නොකළේ නම් ඒ රෙද්ද දෝෂ සහිත වේ. ශිල්පීන් රටාව හා මෝස්තරය සැලසුම් කරන්නේ ඒ නූල් සියුම් ලෙස ගණනය කිරීමෙනි. තනි-රූප විවීමේ දී නූල් එකිනෙක ගැටගැසීම, ගැට එකතු කිරීම සහ රූපයේ මායිම සකස් කිරීම සියුම් ක්‍රියාවලියක් වන අතර, ඒ සදහා අතිවිශිෂ්ට කුසලතාවක් හා පරිචයක් අවශ්‍ය වේ. වියමනේ නිමාව හා මෝස්තරවලට අදාළ නිර්මාණාත්මක හා නිෂ්පාදන ගැටලු සියල්ල සඳහාම ශිල්පීන් මේ අතිවිචිත්‍ර වියමන් ක්‍රමය තුළ සාර්ථක  විසඳුම් හඳුනාගෙන තිබේ.

5.මෝස්තරය, රෙද්ද පුරාම යෙදෙන්නේ  නම්, එය රෙද්දේ දිග  හා පළල යන දෙදිශාවටම සමමිතිකව විහිදේ. එසේ වියාගැනීම සඳහා රෙද්දේ පළමු භාගය වියන අතර වියන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තේ (Heald shaft) දික්නූල් අතරට පොල් ඉරටු වැනි කූරු යොදා මෝස්තරය සලකුණු කරගැනීමෙන් රෙද්දේ ඉතිරි කොටස වේගවත්ව වියමන් කරගැනීම සඳහා ඔවුන්ටම ආවේණික ක්‍රමවේදයක් අනුගමනය කරනු ලැබේ.

සාම්ප්‍රදායික මෝස්තරවලට අමතරව මේ ශිල්පීහු  නවෝත්පාදන රෙදි විවීමේ ද නියැලී සිටිති. ඒ අනුව ඔවුහු  දීප්තිමත් වර්ණ රටා සහිත නව නිර්මාණ  ඉදිරිපත් කරති. ශිල්ප සංස්කෘතිය තුළ මුල්බැස ඇති ඔවුන්ගේ පොහොසත් උරුමයෙන් නවීන රෙදිපිළි නිර්මාණය කිරීම සඳහා ඔවුහු  සුවිශේෂී ඉදිරි දර්ශනයක් සපයා ගනිති. ඔවුන්ගේ නවතම නිර්මාණ සමකාලීන සෞන්දර්යය සමඟ සම්මිශ්‍රණය කර කාලෝචිත රෙදිවිවීමේ ශිල්ප ක්‍රම ඇසුරින් නිපදවන ලද ඒවාය.  ඔවුහු  නිරන්තරයෙන් පර්යේෂණාත්මක වියමන් ක්‍රම අත්හදා බැලීමට පසුබට නොවෙති.  බාල පරම්පරාවේ ශිල්පීහු  ප්‍රබල ජ්‍යාමිතික ශෛලියක් සඳහා  ප්‍රසිද්ධියට පත්ව සිටිති.  මෙසේ නිපදවන ලද මෝස්තර ඔවුන්ගේ නිර්මාණවල වෙනසක් සලකුණු කළේය. මෙම ශිල්පීන් සියලු දෙනාම පාහේ ඔවුන්ගේ ශිල්පීත්වය අරබයා දේශීය හා විදේශීය වශයෙන්  සම්මානයට, ඇගයීමට ද  පාත්‍රවූවෝ වෙති.

– සුලාරි ද සිල්වා

සුලාරි ද සිල්වා– මොරටුව විශ්වවිද්‍යාලයේ රෙදිපිළි හා ඇගළුම් ඉංජිනේරු අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරියකි. වසර දොළහකට අධික කාලයක සිට ඇය ලංකාවේ අත්යන්ත්‍ර පේෂකර්ම ගම්මාන හා ඒවාහි ප්‍රජාවන් සමග පර්යේෂණ හා අධ්‍යයන කටයුතුවල නිරතව සිටින්නීය. ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රථම හා පශ්චාත් උපාධිධාරිණික වන අතර දැනට ක්යෝතෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටියි.

ජායාරූප –  හේමන්ත අරුණසිරි

Share This Article
Leave a comment