තණකොළ පෙත්තා සහ ලී තරප්පුව හෙවත් මහව දුම්රියෙන් ආ ලිපිය

තිස්ස ප්‍රේමසිරි
18 Min Read

‘එදවස මතක’ පළමු තීරු ලිපිය වෙන් වන්නේ 80 දශකයේදී සිනමාව පිළිබඳ අතිරේකයක් සංස්කරණය කළ පුවත්පත්කලාවේදියෙකුගේ වෘත්තිමය ජීවිතයේ මතක සටහනක් වෙනුවෙනි.

 

අනෙකුත් රැකියාවලදී මෙන්ම පත්තර රස්සාවෙහිදී ද විවිධාකාර ප්‍රමෝෂන් ලැබිය හැකිය.

පත්තර කලාවේදී මෙම උසස්වීම් මාලාව පෙළ ගැසී ඇත්තේ නිදහස් ලේඛකයෙකු ලෙස හෝ ප්‍රාදේශීය වාර්තාකරුවෙකු ලෙස සේවය අරඹා පුවත්පතක ප්‍රධාන කර්තෘ ධූරය දක්වා යාමට ඇති සුවිසාල පරාසය තුළය.

එනමුත් පත්තර කලාව තුළම ඊට ම අනන්‍යවූ නිල නොවන ප්‍රමෝෂන් වර්ගයක්ද තිබේ. සමහර පත්තරකාරයින් සිය වෘත්තීය ජීවිතයේ වැඩි සතුටක් ලබන්නේ එතුළිනි. නිල පත්වීම් ලිපි මතුනොව, වැටුප් වැඩිවීම් සහ වෙනත් වරප්‍රසාදවලින්ද තොරවූ මෙම උසස්වීම් වූ කලී පුවත්පත් කලාවේදියාට තමා වඩාත් කැමති රාජකාරියක යෙදෙන්නට ලැබීම විනා අන් කිසිවක් නොවේ.

අසූව දශකයේ මුල් භාගයේදී දිවයින පුවත්පතේ ප්‍රවෘත්ති වාර්තාකරුවෙකු ලෙස සේවය කරමින් සිටි මා හටද, වරක් මේ ආකාරයේ නිල නොවන උසස් වීමක්  ලබා ගැනීමේ අවස්ථාව උදා වුයේය. එම ප්‍රමෝෂන් එක වූයේ එවකට ජයන්ත චන්ද්‍රසිරි විසින් සංස්කරණය කරනු ලැබූ ඉතා විශිෂ්ට ගණයේ නිර්මාණයක් වූ නවලිය සිනමා අතිරේකය සංස්කරණය කිරීමේ අවස්ථාව  හිමි වීමය.

මෙම ලිපියේ උක්ත මාතෘකාව බිහිවීමට අදාළ සිදුවීම ඇති වන්නේ මගේ මේ නිල නොවන ප්‍රමෝෂන් එකත් සමඟය. නමුත් ඒ ගැන කතා කිරීමට පෙර තව ටිකක් පැහැදිලි කළ යුතුව ඇත්තේ පත්තර කෙරුවාව අරභයා අද මෙන් තාක්ෂණය නොදියුණු යුගයක තත්ත්වය ගැන නොදැන අද යුගයේ අයෙකුට මා කෑ පරිප්පුව වටහා ගැනීම අසීරු බැවිනි.

ඉතින් එය සිදු වූයේ මෙවැනි පසුබිමක් යටතේය.

මා දිවයින පුවත් පත සඳහා ප්‍රවෘත්ති වාර්තාකරණයෙහි යෙදුණද, මගේ වැඩි නෑදැකම තිබුණේ නවලිය පුවත්පත සමඟය. මන්දයත් මා මුලින්ම ලියනු ලැබුවේ නවලිය පුවත් පතට නිසාය. එයට මා සම්බන්ධ කරගෙන තිබුණේ ජයන්ත චන්ද්‍රසිරි විසින්ම ය.

පසු කලෙක වත්මන සඟරාවෙහි ප්‍රධාන කර්තෘ ධූරයටද පත්වූ දක්ෂ ලේඛිකාවක හා කිවිඳියකද වන  පුෂ්පා ඉලංගන්තිලකද එවකට නවලියෙහි විශාල වැඩ කොටසක් ඉටුකළ අතර, ප්‍රධාන කතුවරිය වූ ප්‍රියාංගනී ගුණවර්ධන හැරුණු කල එහි සියලු බර අදිනු ලැබුවේ මේ දෙදෙනා විසිනි. ඒ වන විට නාට්‍යයක් හෝ දෙකක් නිර්මාණය කර නාට්‍ය කලාවේ අත්පොත් තබා සිටි ජයන්ත ධර්මසිරි බණ්ඩාරණායකගේ නාට්‍යයක චරිත නිරූපණයේද යෙදී සිටියේය. නාට්‍ය කලාවට අමතරව සිනමාව පිළිබඳ කියවීමේ සහ ලිවීමේද නිරතව සිටි ජයන්ත චන්ද්‍රසිරි චිත්‍රපට නැරඹීම සඳහා දක්වනු ලැබුවේ උමතුවකට ආසන්න වූ ආශක්ත භාවයකි. ජයන්ත විසින් නවලිය පුවත්පත තුළම පිටු අටක් පුරා පැතිරුණු එතෙක් නොවූ විරූ ආකාරයේ විශිෂ්ට සිනමා අතිරේකයක් ආරම්භ කරනු ලැබුවේ මේ සියල්ලේම සංකලනයක් වශයෙනි.
කදිම පිටු සැලසුමකින් සහ ආකර්ෂණීය මාතෘකාවලින් යුතු මෙතුළින් සිනමා ඕපාදූප කතා නොකළ අතර, කලාවක් ලෙස සිනමාවේ විශිෂ්ටත්වය ගැන මෙන්ම හොඳ චිත්‍රපට සහ නාට්‍ය කලාව පිළිබඳට යම් පමණකටද කතිකාවතක් සැකසිණි.

ප්‍රධාන කතුවරිය වූ ප්‍රියංගනී ගුණවර්ධන ධූරයෙන් ඉවත්වීමත් සමඟ නවලිය පුවත් පතේ සියලු බර ජයන්තගේ කරපිට වැටුණු අතර ඔහු තම සහායකයා වශයෙන් තෝරා ගත්තේ නවලිය සිනමා අතිරේකයේ පළමු වැන්නේ සිටම ඒ සඳහා නිදහස්  ලේඛකයෙකු ලෙස සම්බන්ධ වූ මා ය. ප්‍රියාංගනිගෙන් හිස් වූ ඇබෑර්තුවේ වැඩ බැලීමට පිණිස දිප්ති අධිකාරි පත් කෙරිණි. ආරියදාස ලන්තුවාහන්දි සහ ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පියෙකු වූ ගුණපාල හේමචන්ද්‍ර පිටු සැකසීම සම්බන්ධව අප සමඟ කටයුතු කළහ.

ජයන්තගේ නවලිය සිනමා අතිරේකය  ලංකාවේ තිබූ අනෙකුත් ප්‍රබල සිනමා පුවත් පත් මධ්‍යයේ බැබලෙන්නට පටන් ගත්තේ ජයන්තවත් නොසිතූ විරූ ආකාරයෙනි. ප්‍රසන්න විතානගේ ප්‍රමුඛ තවත් සිනමාකරුවන් කීප දෙනෙකු නවලිය පුවත්පතේ සෙසු කොටස් පත්තර තට්ටුවේ තිබියදී සිනමා අතිරේකය පමණක් රැගෙන ගිය අවස්ථා පිළිබඳව මම පුද්ගලිකව දනිමි. එමෙන්ම නවලිය සිනමා අතිරේකයෙහි තමන් සමඟ සාකච්ඡාවක් හෝ තමන් පිළිබඳ ලිපියක් පළවීම ගෞරවයක් සේ එදවස බොහෝ කලාකරුවෝ සැලකූහ.

නළු නිළියන් කන්නේ බොන්නේ මොනවාද සහ බඳින්න යන්නේ කවුද? ඔහුගේ හෝ ඇයගේ පුංචි අම්මාගේ දුවගේ නම කුමක්දැයි ආදී කාරණාවලින් ඔබ්බට ගොස් නළුවාගේ හෝ නිළියගේ කලාත්මක ගුණයන් හා සිනමාව හෝ වේදිකාව අරබයා ඔවුන්ගේ ආලක්ප කුමක්දැයි යන්නට ප්‍රධාන තැනක් දුන් මෙය පොදුවේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් වූයේ ඒ නිසාම නොවේ. ජයන්ත චන්ද්‍රසිරි විසින් යොදන ලද ආකර්ෂණීය මාතෘකා සහ අපූර්ව පිටු සැලැස්මද එයට හේතුවක් වූයේය. පිස්සෙකු නොවී නිර්මාණශීලීයෙකු වන්නේ නම්, හිතුවක්කාරයෙකු වීමේ කිසිදු වරදක් නැතැයි පැවසූ ජයන්ත, නවලිය සිනමා අතිරේකයේ පිටු සැකසුම් සඳහා ආකර්ෂණිය ප්‍රතිඵල ගෙන බොහෝ අත්හදා බැලීම් කරනු ලැබීය.

මෙම ලියුම්කරු ඇතුළුව ටී.එම්.ජී. චන්ද්‍රසේකර, ජී. එවරස්ට් ආරච්චිගේ, පුෂ්පා ඉලංගන්තිලක, ජී. සිවගුරුනාදන් ඇතුළු තවත් අප කීප දෙනෙකුගේම නම් එහි පළමු වටයේදීම කේෂත්‍රය තුළ ඔසවා තබනු ලැබුවේ ජයන්තගේ මේ අනගි  හපන්කමට පින්සිදු වන්නටය.

මෙහිදී කිව යුතු තවත් කාරණාවක් වන්නේ එකල්හි අද මෙන් පත්තර පිටු සැකසීම පිණිස පරිගණක නොතිබූ බවය. ඒ වන විට පත්තර මුද්‍රණයේ ඉහළම තාක්ෂණය භාවිතා කරමින් තිබූ උපාලි පුවත්පත් සමාගමේ පවා ලිපි ටයිප් කිරීම සඳහා පරිගණක මුහුණකින් යුත් නව යාන්ත්‍රික යතුරු ලියනයක් තිබූ නමුත් එවායින් කළ හැකි වූයේ උප කතුවරයා විසින් නියම කරනු ලැබූ ලිපිය ටයිප් කිරීම පමණකි. මේ සඳහා ලිපිය සංස්කරණය කොට එවනු ලබන උප කතුවරයා හෝ සංස්කාරකවරයාට තමන් ලිපිය සංස්කරණය කරන විටදී ම පත්තරයේ පළ වන්නට නියමිත තමාගේ පිටුව පිළිබඳ දළ සැකැස්මක් ඔළුවෙහි තිබිය යුතු විය. ඔහු ඒ අනුව යම් ලේඛකයෙකු විසින් ලියනු ලැබ, තමන් සංස්කරණය කරන පිටුවේ පලවන්නට නියමිත ලිපිය එම පිටුවේ පළ විය යුතු ආකාරය පිළිබඳ තොරතුරු ( එනම් ලිපියෙහි මාතෘකාවේ අකුරුවල විශාලත්වය, ලිපියෙහි අකුරුවල විශාලත්වය වැනි) තීරණය කර ඒ විස්තර ටයිප් කිරීමට දෙන ලිපියේ පැත්තකින් පෑනකින් ලියා සටහන් කළ යුතු විය. එමෙන්ම ඔහු තමාගේ පිටුව සඳහා වූ පින්තූරද වෙනම ම පිහිටි විශේෂ කැමරා අංශයකින් අවශ්‍ය පමණට ලොකු හෝ කුඩා කර පිටපත් සකසා ගත යුතු විය.

පෙර කී ටයිප් සෙටින් අංශයට ලබා දෙන ලිපි අදාළ යන්ත්‍රයේ ටයිප් කිරීමෙන් අනතුරුව ප්‍රින්ට් අවුට්ස් (මුද්‍රිත පිටපත්) ගනු ලැබුවේ අද මෙන් වූ මුද්‍රණ යන්ත්‍රයකින් නොවේ. එයට හේතුව පෙර කී ටයිප් කරනු ලැබූ ලිපිය සටහන් වන්නේ එම යන්ත්‍රයට අදාළ දිගැති පෙට්ටියක් තුළ වූ පටලයක වන හෙයිණි. ආලෝකයට නිරාවරණය නොවූ එම පෙට්ටිය අදාළ කාමරයට යවා එහි වූ යන්ත්‍රයකට ඇතුළු කිරීමෙන් අනතුරුව එම පටලය රසායනික දියරක් තුළින් යවනු ලැබේ. එහි වූ අකුරු මතුවන්නේ ඉන් අනතුරුවය. පත්තර කන්තෝරුවේදී ඒවා හැඳින්වෙන්නේ ‘බ්‍රෝමයිඞ්’ වශයෙනි. අපට එය ලැබෙන්නේ තවත් මඳ වේලාවක් වේලෙන්නට හැරීමෙන් අනතුරුවය.නමුත් අපට හදිසි වූ අවස්ථාවල කාර්යාල කාර්ය සහායකයෙකු හෝ නොයවා අප ම ගොස්, ඒවා තෙත පිටින්ම රැගෙන ආ අවස්ථා එමටය.

සංස්කාරවරුන් විසින් අදාළ පිටු සකසනු ලබන්නේ මෙකී බ්‍රෝමයිඩ් පටිද, පින්තූරවල බ්‍රෝමයිඩ් ද පුවත්පතේ දිග පළල සහිත නියමිත තීරු ගණනද, සෙන්ටි මීටර් ගණනට කොටු ද මුද්‍රණය කර ඇති කඩදාසිද ළඟ තබා ගනිමිනි. ‘ඩමි කොළ’ වශයෙන් හැඳින්වෙන්නේ මේවාය.

මෙකී ඩමි කොළයේ තීරු මත ටයිප් සෙටින් අංශයෙන් රැගෙන ආ බ්‍රෝමයිඩ් පටි තබා, මාතෘකාද, උප මාතෘකාද, හැඳින්වීම් කොටසද අදාළ ඡායාරූප හෝ ඒ සඳහා චිත්‍ර ශිල්පියා ලවා අන්දවා ගන්නා ලද චිත්‍රද යොදා ගනිමින් පිටුව සැලසුම් කරනු ලැබේ. පිටු ඇලවීම් අංශයේදී ප්ලාස්ටික් පටලයක මේවා අලවනු ලබන්නේ මෙම ඩමියට අනුවය. නවලිය වැනි කුඩා පුවත්පත්වලදී නම් එම කටයුත්ත කර්තෘ මණ්ඩලය තුළ සිටින චිත්‍ර ශිල්පියා විසින්ම බ්‍රිසිල් බෝඩ් එකක් උපයෝගි කරගෙන නිසි පරිදි සකසනු ලැබේ. නවලිය සිනමා අතිරේකය සඳහාද  ඒ ආකාරයට කර්තෘ මණ්ඩලය තුළදීම පිටු අලවන ලදී.

නවලියට මා සම්බන්ධ වීමෙන්  මසක් දෙකක් ඇතුළත ජයන්ත සිය ප්‍රථම ටෙලි වෘතාන්තයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට දින නියම කර ගත්තේය.
ඒ ‘වෙද හාමිනේ’ ය.

එහි රූපගත කරනු ලබන්නේ මහව දුම්රිය පොළ ආසන්නයේ වූ හද්දා පිටිසර ගමකය.ඒ සඳහා අවශ්‍ය දීර්ඝ නිවාඩුව ලබා ගැනීම සඳහා ජයන්ත චන්ද්‍රසිරි ඉතා සාධාරණ කොන්දේසි ද්විත්වයක් එවක අපේ ප්‍රධාන කර්තෘවරයා වූ එඩ්මන්ඩ් රණසිංහ මහතාට ඉදිරිපත් කළේය.

ඉන් පළමු වැන්න නම් නිවාඩුව ලබා ගන්නා කාලයේදී නවලිය පුවත්පත සඳහා කොටස් වශයෙන් පළවන නවකතාවක් ලියන බවය. ‘සුරංගනාව සහ සයිමන්’ නම් වූ ආකර්ෂණීය නමකින් යුත් මේ කතාන්දරය සඳහා වර්ණවත් චිත්‍රයක් අඳිනු ලැබන්නේ එවක සුප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වූ ජනක රත්නායක විසින් බවද ඔහු පැවසීය. එසේම තමන් විසින් සංස්කරණය කරනු ලබන නවලිය සිනමා අතිරේකයේ සංස්කරණ කටයුතු තිස්ස ප්‍රේමසිරි විසින් ඉටු කරනු ඇති බවද, තමන් ලියන නවකතාවේ කොටස් හරියටම බ්‍රහස්පතින්දා සවස් යාමය වන විට කාර්යාලයට ලැබෙන්නට සලස්වන බවද ඔහු අපේ ලොක්කා වූ එඩ්මන්ඩ් රණසිංහ මහතාට අවධාරණය කළේය. අද මෙන් නොව විද්‍යුත් තැපැල කොහොමටවත් ව්‍යාප්තව නොතිබුණු මේ යුගයේ ෆැක්ස් පහසුකම් තිබුණේද ඉතාමත් සීමාසහිතවය. ‘වෙද හාමිනේ’ ටෙලිනාට්‍ය ලොකේෂන් එකේදී මේ කිසිවක් තබා ලියුමක් හෝ බෙදන්නට කිසිවෙකු සිටියාදැයි යන්න පවා සැක සහිතය.

කාරුණික සිනහාවකින් යුතුව නිවාඩුව සඳහා ලොක්කාගෙන් අවසර ලැබූ සැණයකින් ජයන්ත ඉතා වේගයෙන් යම් උපදෙස් මාලාවක් මා වෙත ලබා දෙමින් සුළං පහරක් සේ කාර්යාලයෙන් අතුරුදහන් වූයේ ‘සුරංගනාව සහ සයිමන්’ නොවරදීම හැම සතියේ ම බ්‍රහස්පතින්දා වන විට අපට එවන බවට ස්වෙච්ඡාවෙන්ම දිවුරුම් හතේ දිවුරා පොරොන්දුවීමෙන් අනතුරුවය.

ඒ වන විටත් ඔහුව සිය  ප්‍රථම රූපවාහිනී ආගමනය උදෙසා රැගෙන යන නිෂ්පාදක සුනිල් රත්නායකගේ ටෙලිවිව් වාහනය කන්තෝරු ගේට්ටුව අබියස නවතා තිබුණි. ඉතින් දැන් මමත්, දීප්ති අධිකාරිත්, චිත්‍ර ශිල්පීන් දෙදෙනා වන ගුණපාල හේමචන්ද්‍ර සහ ආරියදාස ලත්තුවාහන්දිත් සමඟ වැඬේට අත ගැසුවෙමු.

සිනමා අතිරේකයට අමතරව නවලියෙහි කවි පිටුව ඇතුළුව තවත් පිටු කීපයක වගකීමද මා පිට පැවරුණු බැවින්, මා මුළින්ම කළේ ලිවීමෙන් ඈත්වීමය. ඉක්බිති මා හට යම් පාඨක පිරිසක් සිටියා නම් ඔවුන්ටද මා නොපෙනී ගිය අතර තිස්ස ප්‍රේමසිරි නම් අයෙක් සිටින බව දැන සිටියේ කන්තෝරුවේ අය පමණි.

පළමුවෙනි සතියේ සිටම වැඩකටයුතු සියල්ල නවලියේ සුපුරුදු ක්‍රමවේදය අනුව පවත්වා ගන්නට අපට හැකිවිය.

නවලිය නිකුත් වන්නේ සඳුදාය. ඒ පුවත්පත සඳහා අපි ඊට කලින් සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා පිටු සකසන්නෙමු. ඒ අතරම එතනින් පසුව එළඹෙන සඳුදාට අවශ්‍ය ලිපි හා නිර්මාණද එම සතියේ සිකුරාදා වන විට ටයිප් සෙටින් අංශයට යවන්නෙමු. ඒ යවන ගොන්නට අයත් වන පරිදි ජයන්තගේ නවකතාවේ පළමු වැනි කොටසද අප වෙත ලැබී තිබුණි. නිසි වේලාවට ටයිප් කරවා ගැනීමට පමණක් නොව ජනක රත්නායක ලවා කදිම චිත්‍රයක් නිර්මාණය කරවා ගැනීමටද  කාලය නිසි පරිදි ලැබී තිබිණ.
දැන් තිබෙන්නේ එතනින් එහා සතියේ සඳුදා පත්තරය සඳහා ජයන්තගේ කතාවේ කොටස් ලබා ගැනීමය. නමුත් ගිය වතාවේ පරිදි මේ වතාවේ බ්‍රහස්පතින්දා දිවා කාලය තුළ එය කර්තෘ මණ්ඩලය වෙත ලැබුණේ නැත. අපි විශේෂයෙන්ම රාත්‍රි කාලයේදී හෝ එය ලැබේ යයි සිතා සිටියෙමු. නමුත් සිකුරාදා දිනයද බලාපොරොත්තු සුන් කරමින් හා මා නොසන්සුන් කරමින් ගෙවී යන්නට පටන් ගත්තේය. අද මෙන් ජංගම දුරකතන නැතිවා පමණක් නොව රැහැන් දුරකතනද දුලභ වූ එකල්හි ජයන්ත අල්ලා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවීය. අවසානයේ ඔහුගේ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කළ ටෙලිවිව් ආයතනයට කතා කොට ඉතා අසීරු වෑයමකින් අනතුරුව ඊළඟ අඟහරුවාදා වන විට කලින් සතියේ බ්‍රහස්පතින්දා ලැබිය යුතු කතාංගය ගෙන්වා ගතිමි.

පිටු සාදන අතරේ හැකි ඉක්මනින් පිටු දෙකක කතාවක් පත්තර කන්තෝරුවේ ටයිප් සෙටින් අංශයේ ප්‍රධානියාගේ කණෙන් රිංගා ටයිප් කර ගැනිම ලෙහෙසි නැත. ඒ සඳහා පෞද්ගලිකව හිතවත් ටයිප් සෙටින් සුපර්වයිසර් කෙනෙකුද ටයිප් කරන්නෙකුද සොයා ගත යුතුය. මේ සඳහා එකල්හි මා හට සැමවිටම පිහිට වූයේ පසු කලෙක ඒ අංශයේ ඉහළටම ළඟා වූ සුපර්වයිසර් සුරේය. සූරසේනය.

නමුත් ඊළඟ සතියේදී තත්ත්වය බරපතල විය. කතාව එන පාටක් ඇත්තේම නැත. ප්‍රධාන කර්තෘ රණසිංහ මහතාද ඒ ගැන විමසිමක් කළේය. මට කිසිසේත්ම ජයන්ත පාවා දිය නොහැකි බැවින් කතාව මඟ එන බව පැවසුවෙමි. සිකුරාදා සවස් වන විට ඒ ගැන විමසන්නට ටයිප් සෙටින් අංශාධිපති මිරැන්ඩෝද පැමිණියේය. වැඬේ කොහු වන්නට යන බව වටහා ගත් මම සඳුදා සවස මහව බලා පිටත්වන කාර්යාල දුම්රියට දෙමටගොඩින් නැග ගතිමි.

මහව දුම්රියපොළට ළඟා වන විට සෑහෙන තරම් රෑ බෝවී තිබුණ අතර, ටෙලිනාට්‍යය රූගත කරමින් සිටි ස්ථානයට ගිය විට මා දැකීමෙන් පුදුමයට පත් ජයන්ත නිදා ගැනීමට පෙර කතාව ලියා දෙන බවට පොරොන්දු වී සිය කටයුත්තෙහි නිමග්න වූයේය. නමුත් එදින රූප ගත කිරීම් හමාර වන විට අළුයම එක දෙක පමණ වී තිබූ  හෙයින් කතාව ලිවීමට සුදුසු තත්ත්වයක් තිබුණේ නැත. අනෙක් කාරණය වූයේ පසුවදා කාර්යාලයට පැමිණීමට නම් මා අනිවාර්යයෙන්ම උදේ හතරකුත් ගාණකට මහවින් පිටත්වන දුම්රියට නැඟ ගත යුතු වීමය. ඉතාමත් මිත්‍රශීලී ලෙස ජයන්ත සිය විසඳුම ඉදිරිපත් කළේ තැඹිලි පාටැති රුපියල් 100 කොළ දෙකක් මා අත තබමිනි. (මේ යුගයේ රුපියල් 200 යනු සෑහෙන මුදලකි)

“මචං! උඹ හොඳ එකා වගේ හෙට හවස වරෙං. මොකක් හරි කරල අදට ෂේප් වෙයං”

ඇතිවී තිබූ තත්ත්වය දෙස බලන කල වෙන කළ යුතු දෙයක් තිබුණේ නැත. පසුදා මහව සිට කන්තෝරුවට පැමිණි මා රණසිංහ මහතාට මෙන්ම ටයිප් සෙටින්

මිරැන්ඩෝටද මුහුණ නොදෙමින් වැඩ කටයුතුවල යෙදුණ අතර  එදින සවස යළිත්  මහව දුම්රියට ගොඩ වුණෙමි.
ජයන්ත එදිනද කතාව ලියා තිබුණේ නැත. එදින රාත්‍රියේ කතාව ලියා දෙන බවට ජයන්ත විසින් කරන ලද කිසිම දිව්රිල්ලක් තඹ සතයකට හෝ මායිම් නොකළ මා ඔහුට තර්ජනය කළේ “උඹ මට කතාව ලියා නොදුන්නොත් මමත් මෙහෙම නවතිනවා. සිනමා අතිරේකයට හෙණ ගැහිච්චාවේ” කියාය.

එදා රාත්‍රියේ නොව අළුයම දෙක පමණ වන විට මට කතාව ලැබුණේය. ඒ මෙසේය. ඔහු එක මදුරු දැලක් ඇතුළේය. හේ ධාන්‍යලාභී තවුසෙකු මෙන් මදක් පියා ගත් දෙනෙතින් යුතුව කතාව කියයි. අනෙක් මදුරු දැල තුළ සිටින මම කතාව ලියා ගතිමි. ආරම්භයේදී යම් වධයක් සේ පෙනුණද එකද සටහන් කැබැල්ලක් හෝ නැතිව ඔහු තමාට අනන්‍යවු අපූර්ව ප්‍රාණවත් භාෂා ශෛලියකින් ඒ කතාව කියවූ අයුරු මම මේ මොහොතේත් ආශ්වාදයෙන් යුතුව සිහිපත් කරමි.

කොතරම් විඩාපත් වුවද කාර්යාලයට පැමිණි මම එය ටයිප් කර ගැනීමේ අරගලයටද මුහුණ දී බ්‍රෝමයිඞ් පටිය චිත්‍ර ශිල්පී ජනක අතට දුන්නේ චිත්‍රය ඇඳ ගැනීම පිණිසය. නමුත් කාල වේලාව ඉකුත්වීම හේතුකොට ගෙන ඒ සතියේ වර්ණ පිටු දෙකක් පුරා කතාව පළ වූයේ සුදු සහ ක`ථ පැහැයෙන් යුතු චිත්‍රයක් සමඟය.

ප්‍රශ්නයට මුහුණ දෙන්නට වූයේ මට ය. එහෙත් මම එවරද ජයන්ත පාවා නොදුන්නෙමි. රණසිංහ මහතාද මගේ අසරණ මුහුණ දෙස බලා සිට යන්නට ගියා විනා දොස් පැවරුවේ නැත.

නමුත් ඊළඟට තත්ත්වය නරකම අතටම හැරුණේය. එක් සතියක ජයන්තට කතාව ලියා ගත හැකි තත්ත්වයක් කෙසේ වෙතත් මා ඉදිරියේ ඒ බව කියාගත හැකි තත්ත්වයක් පවා නොවීය.

“හරි වැඩේ සර්, කතාව එවද්දී මිස් ප්ලේස් වෙලා”

මම රණසිංහ මහතාට කීවෙමි. තරමක දෝෂාරෝපණයක යෙදුණද තව ටික වේලාවකින් කාන්තාවන් පිළිබඳ සුවිශේෂී උත්සව අංග කිහිපයක පින්තූර තොගයක් මා අතට දුන් ලොකු මහත්තයා ප්‍රමාද නොකර පිටුව සාදා යවන ලෙස දැන්වීය.

ඉක්බිති යළි යළිත් මහව දුම්රියේ මහවට යමින්ද, ඔහු කියන විට කතාව ලියා ගනිමින්ද, සමහර විට සතියකට දෙවතාවක් ගමනේ යෙදෙමින්ද මම ‘සුරංගනාව සහ සයිමන්’ සමඟ ජයන්ත රැක ගැනීමේ යෙදුණේ කිසිදු අඩුපාඩුවකින් තොරව නවලිය සිනමා අතිරේකයද සංස්කරණය කරන අතරේ බව කිව යුතුය.

මේ ආකාරයටම ජයන්තගේ ‘සුරංගනාව සහ සයිමන්’ අවසාන කොටස මා අතට පත් වන විට ටයිප් සෙටින් අංශාධිපතිවරයා සුරංගනාවට මෙන්ම මටද එරෙහිව හැකි උපරිමයෙන් සටන් වැද තිබුණේය. ඒ අනුව ඔහු ටයිප් සෙටින් අංශයේ උදවියට තදින් ම පවසා තිබුණේ නියමිත වේලාවට පැයකට පසුව හෝ එය ලැබුණහොත් තමා අතට එය පත් කරන ලෙසත් කිසි ලෙසකින් හෝ ප්‍රමාද වී ලැබෙන ලිපිය භාරගෙන ටයිප් නොකරන ලෙසත්ය.

නමුත් පිටපත ඒ මොහොතේද මා අතට පත්ව තිබුණේ පැයක් දෙකක් නොව දවසක් දෙකක් පමණ ප්‍රමාද වීමෙන් පසුවය. පෙර පරිදිම ජයන්ත කියවන විට ලියා ගත් හෙයින් අත් අකුරු මගේය.

“මේ පාර නම් මචෝ කරන්නම දෙයක් නැහැ. මොකද දැන් කරන්නෙ? සුරංගනාව සහ සයිමන් ආවොත් එයා අතට දෙන්න කියල තියෙන්නේ”
මා සිටින තැනට පැමිණි සූරේ පැවසීය.

“කමක් නෑ මචං! එහෙනං මම උඹට වෙන ආටිකල් එකක් දෙන්නං. මේක උඹම ගහල දීපං!”

මෙසේ කියූ මම, මා අතවූ පිටපතෙහි ඉහළින් ‘සුරංගනාව සහ සයිමන්’ යන මාතෘකාව නොදා ‘තණ කොළ පෙත්තා සහ ලී තරප්පුව..’ යයි සටහන් කර සුරේට දුනිමි.

ඔහුද හැකි ඉක්මනින් ‘තණ කොළ පෙත්තා සහ ලී තරප්පුව’  ටයිප් කර මා අතට දුන් අතර මම ගුණපාල හේමචන්ද්‍ර ලවා පිටුව නිම කර කැමරා අංශයට යැවීමි.
පිටපත පරක්කු වී ලැබුණද ‘සුරංගනාව සහ සයිමන්’ කතාව සහිත පිටු දෙක නිසි වේලාවට සකස් වී තිබීම ගැන මිරැන්ඩෝ කොතෙක් පුදුමයට පත්වීද යත් නවලිය කර්තෘ මණ්ඩලය දෙසට පැමිණ ලොකු කර ගත් අක්ෂි ගෝලවලින් යුතුව මා දෙස බලා  සිනහාවක් පා යන්නට ගියේය.

මෙය පත්තර කලාවේ එක් අවස්ථාවක් පිළිබඳ කතාවක් විනා නාට්‍යමය අවසානයක් නොවේ.

නමුත් ජයන්තගේ  කතාවේ අවසන් කොටසත් සමඟ නවලිය සිනමා අතිරේකයේ අවසානය සිදු වූ ආකාරය පිළිඹිඹු වන ශෝකාත්මක අවසානයක්ද ඇත.
එය වෙනම ම කිව යුතු වෘතාන්තයකි.

-තිස්ස ප්‍රේමසිරි

තිස්ස ප්‍රේමසිරි– දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රකට සිනමා විචාරකයෙකු ලෙස ලංකාවේ පළවූ පුවත්පත් කිහිපයක් සඳහා සිනමා විචාරයෙහි යෙදුණු තිස්ස ප්‍රේමසිරි පූර්ණ කාලීන ජනමාධ්‍යවේදියෙකු වශයෙන් දශක හතරකට වඩා සේවා අත්දැකීම් ඇත්තෙකි. ලක්බිම ඉරිදා සංග්‍රහයෙහි හිටපු ප්‍රධාන කතුවරයෙකි.

Share This Article
Leave a comment