Skip links

ජීවිතය කියන්නේ ලස්සන විකාරයක් සහ උගුලක් ! – සිරිමල් විජේසිංහ

මෙහි පළ වන්නේ සිරිමල් විජේසිංහ සමග කරන ලද මුල් සම්මුඛ සාකච්ඡාවේ විමර්ශී වෙබ් අඩවිය මගින් සංස්කරණය කරන ලද පිටපතකි. මෙම සාකච්ඡාවේ සංස්කරණය නොකළ පිටපත වෙනත් වෙබ් අඩවිවල සහ සමාජ මාධ්‍යවල පළ වී ඇති ඇත. විමර්ශී වෙබ් අඩවිය විසින් ප්‍රකාශන වගකීම දරන්නේ මෙහි පළ වන සංස්කරණය වූ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධව පමණි.

-සංස්කාරක

ලේඛකයකු – පුවත්පත් කතුවරයෙකු – චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු – සමාජ විශ්ලේෂකයකු හා දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙස ජීවත්ව ඇති සිරිමල් විජේසිංහ, 1977 විවෘත ආර්ථිකයෙන් ප්‍රසූත, කලා සහ දේශපාලන සංස්කෘතීන්හි නූතන පරිවර්තනයන් උදෙසා සාධනීය මැදිහත් වීමක් සිදු කළ විකල්ප මතධාරියෙකි. මෙරට සාංදෘෂ්ඨික මාක්ස්වාදී බුද්ධි ධාරාවෙහි ප්‍රමුඛ ප්‍රකාශකයෙකු වන හෙතෙම, සිය පසු පරම්පරාව වෙත රැඩිකල් සංස්කෘතික මං පෙත් විවර කළ පුරෝගාමියකු ලෙස ද ප්‍රකට ය. ඔහු විසින් නිර්මාණය කර කර්තෘත්වය දැරූ, (පසුව අධිකරණ නියෝගයකින් තහනමට ලක් කළ) ‘පරාදීසය’ මාසික සඟරාව ඊට සාක්ෂි දරයි. 

*ධර්මසිරි බණ්ඩාරනායක වෙනුවෙන් උපහාර දක්වමින් ඔහුගේ සිනමාව අති උත්කර්ෂයට නගමින් ඇගයුණු පසුගිය දිනවල ඔබ ධර්මසිරිගේ සිනමාවේ ප්‍රතිගාමී දෘෂ්ටිවාදය පිළිබඳව ප්‍රශ්න කරනවා. ධර්මසිරි බණ්ඩාරනායකගේ සිනමාව ගැන ඔබේ විග්‍රහය මොකද්ද ?

ඔහුගෙ ‘හංස විලක්’ සහ ‘තුන්වෙනි යාමය’ කියන්නෙ ආකෘතික වශයෙන් මෙරට සිනෙමාවෙහි සංධිස්ථාන. එහෙත් සන්දර්භය අතින් වික්ටෝරියානු සදාචාරවාදීයි. පවුල්වාදීයි. දීර්ඝව කරුණු දැක්වීම මේ මොහොතෙ බැහැ.

*ධර්මසිරි බණ්ඩාරනායකගේ සිනමාව ගැන කතා කරද්දි ප්‍රේමසිරි කේමදාසව නොතකා හරින්න බැහැ. මීට වසර ගණනාවකට පෙර කේමදාස වෙනුවෙන් ඔබ දැක්වූ ‘උපහාරයක්’ ඉතිහාසයේ සටහන්ව පවතිනවා. ඒ පිළීබඳ ආවර්ජනය කරමින්ම කේමදාසගේ සංගීත භාවිතාව ගැන කතා කළොත්.

මාස්ටර් සහ මම යාළුවො. ඔය මම කණ පැලෙන්න ගහල කරපු කොමඩියක්නෙ. මාස්ටර්ට අපහාස කරන්න නෙමෙයි ඒක කළේ කීයටවත්. ඒත් ආරංචිය ගියෙ නෙගෙටිව් විදිහට. ඊට පස්සේ දවසක මාස්ටරුයි මායි බිව්වත් එක්ක.

‘කේමදාස’ කියන්නෙ මෙ රට සිනමා සංගිතයෙහි නවීකාරකයා. සරල සංගීතය උනත් වෙනස්. පොඩි අවුලකට තියෙන්නෙ එයාගෙ සිංදුවක් යනකොට අපිට තේරෙනව ඒක කේමදාසගෙ කියල. ඒ වයලින් පාර්ට්ස්වල එහෙම ඒකමතියක් තියෙනව. ඒ කියන්නෙ වෙනම අනන්‍යතාවක් තියෙනව. අමරදේවගෙ උනත් එහෙමයි. මම කියන්නෙ මේ අනන්‍යතාවය අවුලක්. එහෙම වීම තුළ විවිධත්වය විනාශ වෙනව. දැන් බලන්න, රෝහණ වීරසිංහගේ  තාල නාද එකිනෙකට වෙනස්. ඒකීය අනන්‍යතාවයක් නැහැ. ඒක නම් මාර වැඩක්. ඔහු කරල තියෙන සිංදු 3500 ම එකිනෙකට වෙනස්. ඒ වගෙම අනර්ඝයි. මට නම් කේමදාස තරමටම රෝහණත් වැදගත්.

*ඔබේ ‘ඔබාමා මහතාගේ ස්ත්‍රී ප්‍රශ්නය’ නැමැති කෘතියෙන් ඔබ ආදරය සහ ගැහැනිය පිළිබදව වෙනස් කියවීමකට යනව.

‘ආදරය’ නම් දෙය ලස්සන තමයි. ඒත් ‘ස්ත්‍රී – පුරුෂ ආදරය’ කියන්නෙ අපිම හිතින් හදා ගෙන, ඕනෙ නම් අපිම කඩා බිඳ දා ගන්නා එකක්. මිත්‍යාවක්. තණ්හාවක්. ඕකෙ වැඩිපුර එල්ලෙන්න ගියොත් මංමුලා වෙනව.  නමුත් ආදරය කියන්නෙ අපට අවශ්‍ය දෙයක්. යම් ජීවන හුස්මක්.

කොහොමත් බල්ලෙක් මිනිහෙකුට දක්වන ආදරය තරම් පිරිසිදු නැහැ ඔය මොනම ආදරයක් වත්.

‘මනුස්ස සම්බන්ධකම්’ තමයි තමයි මේ ලෝකෙ තියෙන ලස්සනම දේ. ඔය ඊනියා ආදරයට වඩා ඒක ඉහළයි. ඒත් අපි මේ සම්බන්ධකම කැත කර ගන්නව බොහෝ විට. මොකද හැම මිනිහ තුළම සර්පයෙක් ඉන්නව නිදාගෙන. ඌ නැගිටල දෂ්ඨ කරන්න ගන්නව හිටපු ගමන්.

* ඔබ තුළත් ඉන්නව ඇති එහෙම සර්පයෙක් ?

අනිවා. ඒකනෙ මම ඔය දේශපාලන ලියැවිලිවලදි දෂ්ඨ කරන්නෙ. මගේ මානසික ලෝකය තුළ නම් මම කිහිප දෙනෙක්ව දෂ්ඨ කරල මරල දාලයි  ඉන්නෙ. විශේෂයෙන් මිත්‍රද්‍රෝහීන්ව. මම යාළුකම් පණ සේ රකින මිනිහෙක්.

*ගැහැනිය ගැන අපේ කතාව යට ගියා…

‘ස්ත්‍රිය’ නම් මට කවදාවත්  තේරුම් ගන්න බැහැ. තේරුම් ගන්න උත්සහ කරන්නෙත් නැහැ. පඹ ගාලක පැටලෙන එක විතරයි වෙන්නෙ. ගැහැණුන් ඉන්නෙ තේරුම් ගැනීමට නෙමෙයි. අර ආදරය නැමැති  කෙහෙල්මල කිරීමට පමණයි.

පිරිමියකු ලෙස මට ‘ස්ත්‍රිය’ කියන්නේ  භයානක සත්වයෙක්. කොයි වෙලාවෙ මොනව හිතනවද, මොනව කරනවද කියල කියන්න ආමාරුයි.

*ස්ත්‍රිය තේරුම් ගන්න බැරි එක අවස්ථාවක් සඳහන් කළොත්?

බොහෝ කාන්තාවන්ට පුළුවන් ලිංගික ජීවිතය එක පාරට අත් හරින්න හෝ ජිවිතාන්තය දක්වා ලිංගික ජිවිතයක් නැතිව ඉන්න. මම දන්න ගැහැනුන් අනන්තවත් ඉන්නව එහෙම. සමහරු හරි විදග්ධ කට්ටිය.

මිය යන්න අවුරුදු 15 කට විතර ඉස්සර සුනිලා අබේසේකරයන් මට කියල තියෙනව එයා දැන් සෙක්ස් කරන්නෙ නහැ. සෙක්ස් නැතිව ඉන්න පුළුවන්. ඒක මනසට සහනයක් කියල. මට නම් එය තේරුම් ගත නොහැකි විශ්වයක්.

දීප්ති කුමාරයන්ට නම් ඉතින් ඒකටත් විග්‍රහයක් තියෙනව. එයාගෙ චින්තනයට සාපේක්ෂව. න්‍යාය ඇතුළෙ එයා කොහොමත් ගැහැනු තේරුම් අරන්නෙ ඉන්නෙ. අඩු ගාණෙ අභිසාරිකාවන් නොවන ගැහැනු පහළොවක් එක්කවත් සෙක්ස් කරල තිබුණ නම් ඔය මතවාදය වෙනස් වෙලා ‘‘අම්මෝ මට නම් මුං තේරුම් ගන්න බැරියෝ’’ කියල දුවනව.

*එක්ස් කණ්ඩායම විසින් ලාංකේය සමාජය සම්බන්ධව ඉටුකළ ඓතිහාසික කාර්යභාරය පිළීබඳ අද වන විට ඔබේ අදහස මොකද්ද ? ඒ තුළ ඔබේ දායකත්වය මොන වගේ එකක් ද?

එක්ස් කණ්ඩායම සහ ඔවුනගේ මාතොට සඟරාව විසින් අලුතින් හිතන පතන පරම්පරාවක් බිහි කළා. එය වාම දේශපාලනිකව ප්‍රගතිශීලී කාරියක්. උන් ගැන මගේ විවේචනයක් තියෙනව. ඒත් ඒක මෙහෙම සරලව කියන්න පුළුවන් දෙයක් නෙමෙයි.

එක්ස් කණ්ඩායමට මගේ ඇති එකම දායකත්වය තමයි එහි නායක දීප්ති කුමාරව මාක්ස්වාදියෙක් කිරීම.

සමාජවාදයට පෙර මෙහි ධනේෂ්වර ප්‍රතිසංස්කරණ කළ යුතුයි. ඒ සදහා වන අනගි දැනුමක් දීප්තියන්ට තියෙනව. රනිල් ඔහුව ඊට අදාල ඇමති කෙනෙක් හෝ කළ යුතුයි.

දීප්තිට  විරුද්ධව මම මේ දවස් වල ඇටෑක් කරන එක වෙනම පුද්ගලික කාරණයක්.

*මිනිසාගේ ලිංගික විවිධත්වය පිළිබඳව අන්තර්ගත, ජාත්‍යන්තර මට්ටමින් අළෙවි කරන, ඔබ විසින් සංස්කරණය කළ Subcultural Sex Practices To Try Before You Die කෘතියේ පී ඩී එෆ් පිටපත් ඔබ පහුගිය දිනවල නොමිලේ ලබා දීමට කටයුතු කළා. ඒ, සතුන් සමඟ ලිංගිකව හැසිරීම පිළිබඳව කතාබහක් ‌මතුවීමත් සමග. ඒ ගැනත් කෙටියෙන් සඳහන් කළොත්.

මිනිසාගෙ ලිංගික ජීවිතය හරිම ගුප්තයි. තමාට මොනවද  ඕනෙ කරන්නෙ කියල දන්නෙ තමන්ම විතරයි. අනික සත්තු එක්ක ලිංගිකව හැසිරීම ගල් යුගයෙ ඉඳලම තිබුණ දෙයක්. ලෝකෙ පුරාම ගල්ලෙන්වල බිතුසිතුවම් පවා තියෙනව. ඉන්දියාවෙ කජුරාවෝ දේවාලෙත් අඹපු පිලිම දැක ගන්න පුළුවන්. මහලොකු අරුමයන් නෙමෙයි  ඕව.ඩෙන්මාර්කයෙ සතුන් එක්ක ලිංගික ක්‍රියා නීත්‍යානුකූලයි. එහෙ වෙනම ගොවිපොලවල් තියෙනව ඒ වෙනුවෙන් පුහුණු කරපු සත්තු ඉන්න.  ඕනෙම ස්ත්‍රියකට හෝ පුරුෂයකුට පුලුවන් ඒ සේවාව ලබා ගන්න.

මිනිසා ශිෂ්ට වීමත් එක්ක – ලිංගිකය සංස්කෘතික උන නිසා අපි මේව දිහා බලන්නෙම ඇදේට.  ලිංගිකය කියන්නෙ කනව – බොනව – මරණය වගෙම අති සාමාන්‍ය කාරියක්.

* ඇතමුන් විසින් බොහීමියානුවන් ලෙස ඇතමුන්ව හඳුන්වන, තමන් විසින්මත් එසේ හඳුන්වා ගන්න අවස්ථා අපි සුලබව දකිනවා. ඔබවත් ඇතමුන් බොහීමියානුවකු ලෙස හඳුන්වනවා. බොහීමියානු කියන සංකල්පය ඔබ විග්‍රහ කරන්නේ කොහොමද ? ඔබ බොහීමියානුවෙක් ද ?

බොහීමියානුවා කියන්නෙ අතීතය හෝ අනාගතය ගැන හිතන්නෙ නැති, ඒ මොහොතෙ පමණක් ජීවත් වෙන,  සමාජ සම්ප්‍රදායන්ට විරුද්ධ, අසම්මත ජීවිතයක් ගත කරන, කලාවන් සහ විලාසිතාවන්ට කැමති කෙනාට.

ඒ අර්ථයෙක් මම බොහීමියානුවෙක් තමයි. හැබැයි සම්පූර්ණ නැහැ. මොකද මට  ඕනෙ හිපියෙක් වගෙ ඔහේ ඇවිද ඇවිද සංචාරය කරමින්, ලෝකයේ නොයෙක් මිනිසුන් සහ සංස්කෘතීන් විනිවිදිමින් ජීවිතය රස විඳින්න. ඒත් ඒක කරන්න විදියක් නැහැ මම දරු පවුල් කාරයෙක් හින්ද. උනුත් හිපියො වෙන්න ලැස්ති නම් ඉතින් වැඩේ ගොඩ.

අනික හිපියෙක් වගෙ, අඩු ගානෙ ඉන්දියාව පුරාවත් ඇවිදින්න සල්ලි කප්පරක්  ඕනෙ. වැඬේ කොහොමත් කෙරෙන්නෙ නැහැ. ඉතින් මම අර්ධ බොහිමියානුවෙක්.

*ඔබට යම් ස්ථීර ජීවන දර්ශනයක් තියෙනවද?

මම සමාජයීය වශයෙන් භෞතිකවාදියෙක් – මාක්ස්වාදියෙක් – දේශපාලනික සත්ත්වයෙක්.

ඒත් ආධ්‍යාත්මික වශයෙන් බුදුන් – තිලෝපා – ලා ඔට් සූ – නාගඅර්ජුන –  ඕෂෝ ආදී මුනිවරුන්ගෙ චින්තනයට කිට්ටු වෙමින්, යම් මානසික පුහුණුවක ඉන්න කෙනෙක්. ‘මම’ නැමැති යක්ෂයා හෙවත් ‘මනස’ නැමැති කෝළම පරාජය කිරීමට උත්සහ ගන්න කෙනෙක්. ඒ හරහා මේ දුක් සහිත ලෝකයෙහි හිඳීමින්ම සතුට සහ නිවන සොයා යන කෙනෙක්.

දැන් හිතන්න. අපි සතුට සඳහා චිත්‍රපට බලනව, පොත් කියවනව, සිංදු අහනව. ඒ බාහිර මොකක්වත් නැතිව සතුට තම මනස තුළින්ම ලං කර ගන්න පුළුවන් නම්, ඒක තමයි අධ්‍යාත්මික සහනය.

හැබැයි මොනව නැතත් ලිංගික ජීවිතය නම් මිනිසාට අවශ්‍යයි. ඒ ඒක බාහිර නොවන ස්වභාවික නිසා. ඒක මනසින් පාලනය කරන්න ගියොත් වෙන්නෙ විකෘතියක්. පැවිද්දන්ට පවා ලිංගික ජීවිතයක් තිබිය යුතුයි. මොකද එය අපේ ආධ්‍යාත්මික ජීවිතය හා කෙළින්ම සම්බන්ධ නිසායි.

මම එකිනෙකට පරස්පර දර්ශන දෙකක තමයි පිහිටා ඉන්නෙ. ඒත් අපි හැමෝම ජීවත් වෙන්නෙ මේ පරස්පරය හෙවත් දයලෙක්තිකය නඩත්තු කරමින්නෙ.

* අපේ ලිංගිකය – ආධ්‍යාත්මික ජීවිතය හා සම්බන්ධ වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කළොත් ?

අපේ ‘සුරතාන්තය’ කෙළින්ම අපේ ‘මනස’ හා සම්බන්ධයිනෙ. මනසෙහි අවධානය නැත්නම් සුරතාන්තය ලබන්න බැහැ. ඒ වගෙම අපිට පුළු වන් වෙන්න ඕනෙ අපේ පාට්නර් එක්ක ලිංගිකව ඒකාත්මික වෙන්න. ‘මගේ මම’ සහ ‘අනෙකාගේ මම’ එකිනෙකා තුළ දිය කර හරින්න. එවිට අපිට පුළුවන් ලිංගිකය හරහා යම් ආධ්‍යාත්මික විමුක්තියක් ලබන්න. සල්ලාලයකුට හෝ සල්ලාලියකුට උනත් මේක කරන්න පුළුවන්.  ඕෂෝ මේ ගැන ලස්සනට කියල තියෙනව.

ඒකයි මම කිව්වෙ පැවිද්දෙකුට උනත් ලිංගික ජීවිතයක් තියෙන්න  ඕනෙ කියල. ඒක යම් මොහොතකදි ආධ්‍යාත්මිකව උසස් කර ගන්න පුළුවන්.

*අපි හදිසි අනතුරකින් මිය නොගියොත්, ජීවිතයේ අවසාන අවදිය සහ මරණය සම්බන්ධව ඔබට දැනෙන හැඟීම කොයි වගේ එකක්ද?

ජීවිතය කියන්නෙ විකාරයක් – ලස්සන විකාරයක්.

වැඩිකල් ජීවත් වෙනව කියන්නෙම වේදනාවන් තව තවත් හදවතට තුරුලු කර ගැනීමයි. 60 ක් ජීවත් වෙලා මම ඒ වේදනාවන් තොග පිටින් එකතු කරමින් ඉන්නෙ. නිදසුනක් ලෙස සමහර හොඳම යාළුවන්ගෙ වෙස් මූණ හෙළි වෙන්නෙ දැන්. අපේ සමීපතයන් මියයාම බලන්න වීමත් දුකක්. වේලාසනින් එලොව ගියා නම් ඒ දුකවල් නැහැ.

ඒත් ගොඩක් මිනිස්සු වේදනාවෙන් යම් සතුටක් ලබනව. ඒක නිසා මේක අවුලක් කියල උන්ට තේරෙන්නෙ නැහැ.

මට  ඕනෙ මේ ලෝකෙන් ඉක්මනට යන්න. ඒත් දරු පවුල නිසා දිවි නහ ගන්නත් බැහැ. උන්ටනෙ අපකීර්තිය සහ දුක. අර මගේ යාළුවෙක් මේ ළඟදි කර ගත්ත වගෙ එක්කො බිල බීලම මැරෙන්න පුළුවන් නම් හොඳයි. ඒකටත් ඉතින් සල්ලි  ඕනනෙ. බොනව කියන්නෙ දැන් අධි සුඛෝපභෝගී වැඩක්.

ඉතින් මම ජීවිතය නැමති විකාර උගුලෙ හිරවෙලා – ඔහේ ඉන්නව.

සංවාද සටහන – තක්ෂිලා ස්වර්ණමාලි

Leave a comment

This website uses cookies to improve your web experience.