කොහොඹ ගහ සහ පවලම් ආච්චි

විවේකානන්දනූර් සදීෂ්
16 Min Read

කිලිනොච්චිය නගර මධ්‍යයේ සිට කිලෝ මීටර් තුනක දුරින් පිහිටි විවේකානන්ද නගර් ග්‍රාමයත්, භාරතිපුරම් ග්‍රාමයත් වෙන් කරමින් දිවෙන බොරළු පාරේ සැතපුම් භාගයක් පමණ ගොස් වම් පසට හැරුණු විට ඒ ‘කොහොඹ ගහ හන්දිය’ හමු වේ. ‘මේ හන්දියට ඒ නම ලැබුණේ මා නිසා ය’ යන අභිමානයෙන් යුතුව අතුපතර විහිදුවමින් ඒ කොහොඹ ගස නැගී සිටියි.
දුගී පාසැල් දරුවන්ගේ සිට උගත් ධනවතුන් දක්වා සියලු දෙනාට ම සුදුසුකම් තරාතිරම් නො බලා ඕනෑම අවස්ථාවක සෙවණ සහ රැකවරණය ලබා දෙන ගසකි එය. ඒ කොහොඹ ගසට ද තමාගේ යැයි කිව හැකි මානව සම්පතක් උරුම ව තිබුණි. ඇය ‘කඩල විකුණන පවලම් ආච්චි’ ය.

එක්තරා යුගයක දරු මුණුබුරන් පිරිවරාගෙන ඉතා සතුටින් කාලය ගත කළ පවලම් ආච්චි අද අව්වටත්, වැස්සටත්, පින්නටත් මුහුණ දෙමින් පාර අයිනේ වාඩි වී හිඳ කඩල විකුණන්නී ය. ඇය එම අඩියට ඇද හෙලනු ලැබුවේ බිහිසුණු යුද්ධයෙන් ඇති වූ අති මහත් විනාශයන් විසිනි.

ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවකට තම සාමාන්‍ය දිවි ගමන අහිමි කරමින්, සොම්නසින් පැවති සිත් කඳුළින් පුරවාලමින් මරණය සහ අහිමිවීම් උරුම කර දී අහිංසකයින් අවතැන් කරනු ලැබුවේ ඒ රුදුරු යුද්ධයයි. පවලම් ආච්චි තම පවුලේ සාමාජිකයින් සමග පුදුමාතලන් රෝහල ආසන්නයෙන් ස්වේච්ඡා සංවිධානයක උපකාර මත කූඩාරමක් ඉදිකර ගත්තා ය. ඒ අසල ම බංකරයක් ද සකස් කරවා ගෙන ආරක්‍ෂිතව සිටින්නට උත්සාහ කළා ය. හමුදාව විසින් මුදාහරින ලද දෑස් නොමැති ෂෙල් වෙඩි උණ්ඩයක් ගොදුරු සොයා පිඹගෙන විත් ඒ බංකරය මත පතිත වී පුපුරා ගිය අතර, බංකරය ලේ සහ විසිරී ගිය මස් වැදලිවලින් පිරී ගියේ ය.

පවලම් ආච්චිට පාදයක් අහිමි විය. ඇයත් සමග ඇගේ පුතෙකුගේ දරුවන් දෙදෙනෙක් පමණක් දිවි රැකගත් හ. ඒ මොහොතේ පටන් ඒ මුණුබුරන් දෙදෙනාට අම්මාත්, අප්පාත් යන දෙදෙනාට ම සිටියේ පවලම් ආච්චි පමණි. ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරන, ආරක්‍ෂාව සපයන භාරකාරිය බවට පවලම් ආච්චි පත්වූවා ය. මඩින් පිරුණු සරණාගත කඳවුර හැර දමා මුණුබුරන් දෙදෙනා සමග යළි තමන් උපන් භූමියට පැමිණ පදිංචිවීමට පවලම් ආච්චිට හැකි විය. එදා පටන් ඇයට අත දුන්නේ ඇය තරම් ම වයසැති ඒ කොහොඹ ගසයි.

ආච්චිගේ වත්ත තුළ මාර්ගයට මායිම්ව පිහිටා තිබූ ඒ ගසට ‘තරුණයින්ගේ පාලන කාලයේ දී’ මාර්ග අලුත්වැඩියාවක් හේතුවෙන් වැටෙන් පිටතට යාමට සිදුවිය. ඒ වන විට පරිපාලන කටයුතුවල සිටි ‘දරුවන්’ සමග කතා කර ගස නො කපා ආරක්‍ෂා කර ගැනීමට පවලම් ආච්චි සමත් වූවා ය. එහි ප්‍රතිඵලයක් ලෙස කලින් කලට ඒ මාර්ගය ඔස්සේ ගමන් කළ ජනතාවට තම වෙහෙස මහන්සිය නිවා ගැනීමට හැකි විය.

2009 වසරට පෙර කාලයේ ‘දෙමළ ඊළාම් වන සංරක්‍ෂණ අංශය’ මගින් දේශයේ වන සම්පත ආරක්‍ෂා කිරීමේ දුර දැක්මෙන් යුක්තව දැඩි ක්‍රියා මාර්ග රැසක් ආරම්භ කළේ ය. ප්‍රදේශය පුරා දහස් සංඛ්‍යාතව ප්‍රයෝජනවත් ගස් වර්ග සිටුවා ඒවා ආරක්‍ෂිතව රැක බලා ගනිමින් වන සම්පත ආරක්‍ෂා කළේ ය. එහෙත් අද සිටින මහජනතාව නියෝජනය කරන බලවත්හු මෙන් ම ඉවසීමක් නො මැති අපගේ ම අයත් ජනතාව සූරා කන තත්ත්වයට පත්ව සිටිති.

පාන්දර ම නැගිට පාසැල් යන මුණුබුරන් හට උදෑසන ආහාරය පිළියෙල කර දී ඔවුන් පිටත් කර හැර, කඩල පෙට්ටිය හිස මත තබා ගෙන තම බොරු කකුල ප්‍රවේශමින් තබමින් ඇදි ඇදී ගොස් පවලම් ආච්චි කොහොඹ ගහ මුල හිඳ ගන්නී ය. ඇය විසින් එදිනෙදා විකුණනු ලබන කඩල ප්‍රමාණය ඒ ඒ දිනවල ආහාරයට කැඳ ද නැතහොත් බත් ද යන්න තීරණය කරන සාධකයක් ව පැවතුණි.

කොහොඹ ගසේ මල් පිපෙන කාලයට පැදුරක් දිගහැර තබා මල් එකතු කර ‘වඩහම්’ සදා අලෙවි කිරීමත්, ගෙඩි ඉදී පක්‍ෂීන්ගේ ආහාරය බවට පත්ව, උන්ගෙන් ගිලිහී වැටෙන ඇට එකතු කර තෙල් සඳහා අලෙවි කිරීමත් තුළින් ඒ ඒ කාලවල දී ආච්චිට අමතර ආදායමක් ලබා දුන් අතර එතුළින් ඇගේ සිතට සැනසුමක් ද ගෙන දුන්නේ ය.

පවලම් ආච්චි මෙන් කොහොඹ ගස ද යුද්ධයෙන් කිහිප වතාවක් ම පීඩාවට පත් වී බරපතල තුවාල ද ලැබුවේ ය. එහෙත් කිසි විටෙකත් පරාජය භාරගෙන එය මැලවී ගියේ නැත. ඒ වෙනුවට තවත් පුළුල් ව අතු ඉති විහිදුවමින් ඒ මාර්ගයේ යන එන සියලු දෙනාට ගෘහයක් මෙන් සෙවණ සාදා දුන්නේ ය.

බස්වල නැගී ගමට එන ජනතාව සියලු දෙනා ‘කොහොඹ ගහ ළඟ බහිනවා’ යි ස්ථානය සලකුණු කරමින් බසයෙන් බැසීමටත්, එම කොහොඹ ගස යට ම හිඳ බසයට නැගීමටත් පුරුදු වීම නිසා එම ස්ථානය බස් නැවතුමක් ලෙසත්, සෙවණ දෙන ස්ථානයක් ලෙසත් ප්‍රකට විය. එපමණක් නොවේ. එම ගම් පෙදෙසේ සැරිසරමින් අයිස්පලම් විකුණන්නෝත්, ආසන්න කැළෑ බිමෙන් දර කඳන් කපා පටවාගෙන එන ගොන් කරත්තකරුවෝත් මේ ගසේ සෙවණ යට නතරව හිඳ වෙහෙස නිවා ගෙන යාමට පුරුදු වූ හ. එසේ එම ස්ථානයට පැමිණ යන්නෝත්, ආසන්නයේ පිහිටි භාරති විද්‍යාලයේ සිසු දරුවෝත් පවලම් ආච්චිගෙන් කඩල මිල දී ගෙන කෑමට මහත් රුචියක් දැක්වූ හ. පසුව පවලම් ආච්චි ගමේ සැරිසරණ දර වෙළෙන්දන්ගේ ඉල්ලීමට එකඟ වී සිසිල් මෝරු පානය පිළියෙල කර රැගෙන විත් අලෙවි කිරීමට ද පටන් ගත්තා ය. මෙසේ විවිධාකාර ගනුදෙනුකරුවන් පැමිණීම නිසා ආච්චිගේ වෙළෙඳාම දියුණු විය. ඒ සඳහා කොහොඹ ගස ද ඇයට මහත් රැකුලක් වූ බැව් නො කිව මනා ය. ඒ නිසා ම ඈ ‘මගේ දරු මුණුබුරො හදල වඩල ලොකු මහත් කරන්න මග පෙන්නන්නෙ මේ කොහොඹ ගහ; කණකාම්බිගෛ මෑණියනේ….. මගේ අන්තිම හුස්මත් මේ ගහ යටදි ම මුදා හරින්න මට මග පෙන්වන්න මෑණියනේ….’ යි පවසමින් වරින් වර සුසුම් හෙළන්නී ය.

‘උතුරු වසන්තය’ නම් වැඩ සටහනට අනුව ප්‍රදේශයේ නිවාසවලට විදුලි බලය ලබා දීමට යන බවත්, ඒ සඳහා කනු සිටුවීමට කොහොඹ ගස බාධකයක් වන බවත් කතාබහට ලක් වූ බවට එහෙන් මෙහෙන් ආච්චිගේ කනට ද වැටුණි- කලබලයට පත් වූ ආච්චි වහ වහා දිව ගොස් ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයාගේ දෙපා මුල වැටී බැගෑපත් වූවා ය. ව්‍යාජ අනුකම්පාවක් පෑ විදුලි ඉංජිනේරුවරයා ‘පාරට අවහිර වෙන අතු ටික විතරක් කපල දාල වැඬේ කරගෙන යන්න’ යි තම සේවකයින්ට උපදෙස් දුන්නේ ය. ආච්චිගේ සිතට සිසිලසක් දැනුණි. කොහොඹ ගස ආරක්‍ෂා විය.

එක් එක් අවස්ථාවල මතු වන, නො වැලැක්විය හැකි පීඩා, දුක්ඛ දෝමනස්සයන් ආච්චිත්, කොහොඹ ගසත් එක සේ විඳ දරා ගත් අතර තමන් කෙරේ විශ්වාසය තබාගෙන සිටින්නන්ගේ බලාපොරොත්තු බිඳ දැම්මේ ද නැත.

‘ගසක් කපන විට තව ගසක් සිටවන්න’ යන ප්‍රකාශය ඉතා ප්‍රකට ය. අද වන විට පරිසරයේ ස්වාභාවික සමතුලිත බව අවුල් වී සෘතු මාරු සමග ස්වාභාවික විපත් විශාල වශයෙන් සිදුවෙයි. එයට වග කිව යුත්තේ මිනිසුන් වන අප ම ය. ‘අප සොබා දහම විනාශ කරන විට සොබා දහම ද අපව විනාශ කරන්නේ ය’ යන්න සම්මතයකි.

කොහොඹ ගසත්, වන්නියේ ජනතාවත් අතර ඉතා සමීප බැඳීමක් ගොඩනැගී තිබුණි. ‘අවශ්‍යතා යනු නව නිපැවුම්වල මව වන්නේ ය’ යන ඉංග්‍රීසි කියමනට අනුව ඉකුත් යුද පරිසරය තුළ පැනවුණු වෛද්‍ය සහ ආර්ථික තහංචි මධ්‍යයේ දරුණු මැලේරියා වසංගතයෙන් මෙහි ජනතාව ආරක්‍ෂා කර ජීවිත රැක දීමට දුර්ලභ වූ ඖෂධයක් ලෙස කොහොඹ වෘක්‍ෂයෝ පෙනී සිටිය හ. අවතැන් වී පාරවල් අයිනවල හා ගස් යට තාවකාලික පැල්පත් අටවාගෙන ජීවත් වූ වන්නි ජනතාව කොහොඹ ගස්වල පොතු තම්බා පානය කිරීමෙන්, කොහොඹ දළු මිරිකා පානය කිරීමෙන් මැලේරියා රෝගයේ බලපෑම හැකිතාක් පාලනය කර ගනිමින් සිය ජීවිත ආරක්‍ෂා කර ගත් හ. අධික උෂ්ණත්වය හේතුවෙන් බෝවන්නට වූ සරම්ප රෝගයෙන් පීඩාවට පත් වූවන්ට කොහොඹ කොළ මත සැතපෙන්නට සැලැස්වීමෙන් ඒ රෝගයේ පැතිරීම බොහෝ සෙයින් පාලනය කර ගැනීමට හැකි විය. එසේ ම මෙහි ජනතාව මදුරු කරදරයෙන් මිදීමට ද කොහොඹ කොළ, ඇට ආදිය ගිනි හට්ටියකට දමා දුම් ගස්සවා මදුරුවන් පලවා හැර සැනසුමක් ලැබුවෝ ය.

සුපුරුදු පරිදි එදින ද කපුටන්ගේ සහ කුරුල්ලන්ගේ නාදයෙන් දෑස් විවර කළ පවලම් ආච්චි දරු මුණුබුරන්ට කෑම පිළියෙල කිරීම ඇරඹීමට පෙර ‘කනකාම්බිගෛ මෑණියනේ, මගේ ඇස් පියවෙන්න කලින් මේ පුංචි පැටව් හොඳ තත්ත්වෙකට පත් කරල දෙන්ඩ මෑණියනේ…..’ ඊයෙ වගෙ අදත් මගේ වෙළඳාම හොඳින් කර ගත්තොත් උන්ගෙ කැටේට කාසි ටිකකුත් එකතු වෙලා….. උන් දෙන්නට සපත්තු අරන් දෙන්න ඇහැකි…..’ යි මුමුණමින් මැටි බිත්තියේ සවි කර තිබූ කනකාම්බිගෛ මෑණියන්ගේ පිංතූරය දෙස බලා දෑත් එක් කළා ය.

කුස්සියේ කටයුතුවල නියැලී සිටි ආච්චිට වෙලාව හය පසු වී ඇති බව සිහිපත් වූයේ කෝවිලේ සීනු හඬ ඇසීමෙනි.
“දරුවනේ…. නැගිටපල්ලා….. හයත් පහුවෙලා…. ඉස්කෝලෙ ක්‍රීඩා තරඟෙට කල් ඇතුව යන්න ඕන කියල ඊයෙ කිව්ව නේද? නැගිටපල්ලා…. නැගිටපල්ලා….”

පොඩි එවුන් නින්දෙන් ඇහැරවූ ඈ එදින තම වෙළෙඳ කටයුතුවලට අවශ්‍ය දෑ සූදානම් කරන්නට වූවා ය.

උදෑසන හත පමණ වන විට පාසැල් දරුවෝත්, රාජකාරි සඳහා යන්නෝත් කලබලකාරී ලෙස පාරේ ගමන් කරන්නට වූ හ. සිලින්ඩර්, රෝද වැනි දෑ පල්ලමකට හසුවුවහොත් පෙරළි පෙරළී වේගයෙන් ඉදිරියට ඇදී යන්නේ ය. පවලම් ආච්චි කොහොඹ ගස වටා පැන් ඉස තම ‘බඩු තට්ටුව’ සකස් කර කනකාම්බිගෛ මෑණියන් සිහි කරමින් හඳුන්කූරක් දල්වා තට්ටුවේ කොනක සවි කළා ය. බුලත් විටක් ද කටේ දමා ගෙන ගසට පිට දී කුඩා ලෑලි බංකුව මත සුව පහසු අයුරින් හිඳ ගත්තා ය. දවසේ පළමු වෙළඳාම ආරම්භ කිරීමේ සූදානමින් සිටියා ය.

කිලිනොච්චිය නගරය දෙස සිට පැමිණි කැබ් රථයක් එහි වේගය අඩු කර කොහොඹ ගසට ආසන්නයෙන් නතර කෙරුණි. රථයේ පසුපස වම් පැත්තේ රාජ්‍ය ලාංඡනයත්, එයට යටින් සිංහල සහ ඉංග්‍රීසි අකුරුවලින් කුමක්දෝ වචන පේළියකුත් ලියා තිබුණි. එහි සිටි දෙදෙනෙක් වීඩියෝ කැමරාවක් වැනි ත්‍රිකෝණාකාර උපකරණයක් ගෙන පාරේ අයිනක සිටවූහ. වාහනයේ ඉදිරි අසුනේ සිටි, ඉහළ තානාන්තරයක් දරන්නකු සේ පෙනුණු නිලධාරියෙක් බැස පැමිණ එම උපකරණය එහෙට මෙහෙට හරවමින්, උස් පහත් කරමින් වටපිටාව ඡායාරූපයට නගන්නාක් වැනි ක්‍රියාවක නියැලෙන්නට විය. ඒ සමග වරින් වර අතෙහි තිබූ පොතෙහි කුමක් දෝ සටහන් කළේ ය. ආච්චි තම නළලට දකුණු අත කුඩයක් සේ විහිදුවා අල්ලමින් දෑස් දල්වා බලා සිටියා ය.

’‘මෙයාල මොකටද මේ තරම් වෙලා පොටෝ ගහන්නෙ? කෝකටත් බයිසිකල් කඬේ මුදලාලිගෙන් අහල බලනව මොකක්ද වෙන්ඩ යන්නෙ කියල……”
ඈ කිහිලි කරුවේ උපකාරයෙන් ඇදි ඇදී ගියා ය.

“ඒයි මුදලාලි, මොකටද බං මේ මිනිස්සු මේ එක දිගට පොටෝ ගහන්නෙ?”

“අයියෝ ආච්චි, ඒ ගොල්ලො ඒ ෆොටෝ ගහනව නෙවෙයි, පාර මනිනව. උතුරු පළාතෙ සංවර්ධන වැඩවලට පිට රටකින් සල්ලි දීලලු. ඒකෙන් පාරවල් ලොකු කරල, දෙපැත්තෙ කාණු කපල, පාරවල්වලට තාර දාන්නලු හදන්නෙ. හොඳයි නේද ආච්චි? ආච්චිත් මේ දූවිළි ගහන බොරළු පාර අයිනෙ වාඩිවෙලා කොච්චර කාලයක් හිටියද?”

සංවර්ධන කතාව ඇසූ පවලම් ආච්චිගේ මුහුණේ සතුටක් මතුවූයේ නැත. ඒ වෙනුවට හදිසි කම්පනයක ලකුණු මතු විය.

“දෙයියනේ….. මොකක්ද මේ වෙන්න යන්නෙ? මගේ කොහොඹ ගහට විපත්තියක් වුණොත්….. මම කාට නම් ගිහින් කියන්නද?”

එලෙස සිතින් වැලපෙමින් යළි කොහොඹ ගස යටට ගිය ආච්චි හිසට අත තබා ගෙන ගැඹුරු කල්පනාවක නියැලුනා ය.

විශාල යන්ත්‍ර, කේබල් ආදිය සවි කර තිබූ ට්‍රක් රථයක් ඝෝෂා නගමින් පැමිණ එහි නතර විය. පවලම් ආච්චිගේ අවධානය ඒ දෙසට යොමු විය. එම අවස්ථාවේ කැබ් රථයෙන් පැමිණ සිටි බලසම්පන්න නිලධාරියා ආච්චිගේ කඩල බඳුණත්, කොහොඹ ගසත් දෙස මාරුවෙන් මාරුවට බලමින් ඉදිරියට පැමිණියේ ය.

“ආච්චි, ඔය බඩු මුට්ටු සේරම ඉක්මනට අහකට ගන්න. අපි පාර ලොකු කරන්න හදන්නෙ. ඒකට අවහිරයක් වන ගස් සේරම කපල දානව…..”

පවලම් ආච්චිට අහස පුපුරා තම හිස මත කඩා වැටුණාක් මෙන් දැනුණි.

“අනේ මහත්තයෝ….කාලාන්තරයක් තිස්සෙ මේ ගමටයි මගේ පවුලටයි මනුස්සයෙකුගෙන්වත් නොකෙරුණු උදව් පදව් කරපු දෙවියෙක් වගේ මේ කොහොඹ ගහ. මම දෑත් එකතු කරල වඳින්නම් මේ ගහ නම් කපන්ඩ එපා…… ටිකක් අනුකම්පා කරල ගහ මගහැරල කාණුව කපන්ඩ මහත්තයෝ…..”

“නෑ ආච්චි, ආච්චිට කිව්වට මේක තේරෙන්නෙ නෑ. පාර පළල් කරන කොට අවහිරේට තියෙන ගස් සේරම කපල දාන්න අපට බලය දීල තියෙන්නෙ. අපේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න නම් මේ ගහ කපල දාන්න ම වෙනව.”

“බලය…. රටේ ජනතාවට කොච්චර බලතල, අයිතිවාසිකම් තියෙනවාද කියල මේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ ලියල තියෙනව. ඉතින් එයාලට ඒ බලය පාවිච්චි කරන්ඩ ඉඩ දෙනවද? නෑ…… ඔය ඔක්කොම නිකං වෙස් මූණු තමයි. එහෙම තියෙද්දි මේ කොහොඹ ගහ කපන්ඩ අපි නොදන්න බලයක් පෙන්වන්ඩ හදනව. හරියට වගකීම් ඉටුකරන බව පෙන්නන්ඩ වගේ…..”

ආච්චි වේදනාවෙන් තමන්ට ම කියා ගත්තා ය.

යම රජු තොණ්ඩුව සහිත රැහැන ගෙන දෑස් ඉදිරියේ බලා සිටින්නාක් සේ කේබල් කියත් ඔසවා ගත් කිහිප දෙනෙක් නිලධාරියා හිස වනා නියෝගය දෙන තුරු බලා සිටිය හ.

“මහත්තයෝ, ඔබතුමාත්, ආණ්ඩුවත් ජනතාවගෙ යහපත වෙනුවෙන් නේද මේ පාරවල් අලුත්වැඩියා කරන්නෙ? ඒ වගේ තමයි මේ කොහොඹ ගහත් මෙච්චර අවුරුදු ගාණක් සුළි සුළංවලින් බේරිලා, යුද්දෙනුත් පණ බේරගෙන කිසිම ලාභයක්, බලාපොරොත්තුවක් නැතුව ජනතාවට උදව් උපකාර කරනව. ටිකක් අනුකම්පා කරන්ඩ බැරිද මහත්තයෝ….තමුන්නාන්සෙගෙ දරුවන්ගෙත් යහපත ගැන හිතල…..”

ඒ මැහැල්ල කඳුළු සලමින් බැගෑපත් වූවා ය. විලාප නැගුවා ය.

“මේ නූගත් මෝඩ මිනිස්සු එක්ක කතා කරන එකේ තේරුමක් නෑ. අපේ වැඩේ කරනව මිසක.”

එසේ සිතූ නිලධාරියා සිය සේවකයින්ට අතින් සංඥා කර නියෝගය ලබා දී කැබ් රථයේ ඉදිරි ආසනයට ගොස් හිඳ ගත්තේ ය.

හමුදා සේනාධිපතියකුගේ නියෝගය ලැබ රණබිමට වන් සෙබළුන් සේ ඒ සේවකයෝ කේබල් කියත් පණ ගන්වා තම කාර්යය ඇරඹූ හ. ඒ කොහොඹ ගස ‘අම්මේ මාව රැකගන්නෙ නැද්ද?’ යි  වේදනාවෙන් කෑ මොර දෙන්නාක් ලෙසත්, අතු සහ කොළ බිම හෙලමින් කඳුළු සලන්නාක් ලෙසත් ආච්චිට හැඟුණි.

“අය්යෝහ්…….”

එසේ හඬ නගා පවලම් ආච්චි තම පපුවට ගසමින් විලාප නැගුවා ය. ඇගේ හඬට කනකාම්බිගෛ මෑණියන්වත් කන් දුන්නේ නැත.

කේබල් කියත්වල රාක්‍ෂ දත් යක්‍ෂාවේශයෙන් ගසේ මුල කපා දමමින් සිටියේ ය. වදාපු මව ඉදිරියේ දරුවකු කපා ඝාතනය කරන්නාක් සේ ආච්චිගේ යට ගැසුණු ඇස්වලට දර්ශනය විය.

‘ආ…..හ්’ යි විලාප නගමින් ඒ මහා වෘක්‍ෂය බිම පතිත විය. අතු මත සෙලවෙමින් තිබූ මල් ද, ගැට ද බිම පුරා විසිර ගියේ ය. පවලම් ආච්චි ද කඳින් වෙන් වූ ඒ ගස සේ ම තම කඩල පොට්ටනිය මත ඇද වැටුණා ය. ඈ යළි නැගිට්ටේ නැත.

වසර තුනක් ගෙවී ගියේ ය.

අහිමි වී ගියේ කොහොඹ ගස සහ පවලම් ආච්චි ය.

මේ වනතුරුත් කාණුව කැපුවේ නැත. පාර පුළුල් වී තාර දැමුණේ ද නැත.

පරිවර්තනය – ජී. ජී. සරත් ආනන්ද

විවේකානන්දනූර් සදීෂ් /එස්- සදීෂ්කුමාර්– කිලිනොච්චියේ විවේකානන්දනූර් ග්‍රාමයේ උපන් එස්. සදීශ් කුමාර් දැනට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම ව හිඳින දේශපාලන සිරකරුවෙකි. සිරගතව සිටියදී කවි සහ කෙටි කතා රචනයෙහි යෙදුණු සදීශ්ගේ කෘති හතරක් මේ වන විට ප්‍රකාශයට පත් ව ඇත. ඉරුම්බුක් කදවුක්කුල්ලිරුන්දු,  (යකඩ දොරක් තුළ හිඳ) ( කවි-2012), විඩියලෛ තේඩුම් ඉරවුහල් (අලුයම සොයන රාත්‍රී න්) – කවි 2016, සිරෛයිල් ඉරුන්දු සිංගල සහෝදරනක්කු ( සිරගෙයි සිට සිංහල සහෝදරත්වයට) – කවි- 2017, වේප්ප මරමුම් පවලම් ආච්චියුම් -(කොහොඹ ගහ සහ පවලම් ආච්චි )- කෙටිකතා, එම කෘති හතරයි.

සදීෂ් කුමාර් පිලිබඳ වැඩිදුර විස්තර පහත වෙබ් සබැඳිවලින් කියවිය හැකිය

Share This Article
Leave a comment