Skip links

කඩදාසි ප්‍රජාව

අද රාත්‍රිය ගෙවුණු පසු… සුප්පෛයාගේ කොළඹ ගමන හෙටයි. රාත්‍රිය පුරාවට පාර්වති අම්මාට නින්දක් නැත.

“මම හුරතල් කරල ඇස් දෙක වගේ හදා වඩාපු දරුවට රස්සාවක් ලැබෙනව… කොළඹ වරායෙ ක්ලාක් වැඩ… මේ වත්තෙ කණක්කපුල්ලෛ මහත්තය මගේ පුතා ඉගෙනගන්නව දැකල විහිළු කළා නේද? ඔව්… මම දැක්ක. දැන් මගේ පුතාත් එයාගෙ තත්ත්වෙටම ඇවිල්ල ඉන්නෙ…”

මෙලෙස ඒ මව තම පුත්‍රයාට රැකියාවක් ලැබීම නිසා ඇතිවූ අසීමිත ආඩම්බරය නිසා ම සිතින් පුරසාරම් දෙඩුවාය.

සාමාන්‍ය වතු කම්කරුවකුගේ පුත්‍රයෙක් හොඳින් ඉගෙනගෙන, හොඳින් ඇඳ පැළඳගෙන යන ආකාරය වත්තේ නිලධාරීන්ගේ ඇස ගැටුණහොත් ඔවුහු බෙහෙවින් අසහනයට පත්වෙති. එය සාමාන්‍යය. ඔවුහු ‘බලාපල්ලකො ලැයිමෙ කොල්ලෙක් යන හැටි’ යි අපහාසාත්මකව කතා කරති. සුප්පෛයා නගරයේ පාසැලක ඉගෙන ගනිද්දී ඔහු දෙස එබි එබී බලමින් දත්මිටි කෑ බොහෝ දෙනෙක් ඒ වත්තේ සිටියහ.

“කුලී කාරයෙකුගෙ පුතෙක් ඉගෙනගෙන ‘දොරේ’ වෙන්න යනවලු. බලමුකො…”

මෙසේ කෙතරම් අපවාද පැවතියත් සිවනාණ්ඩිත්, පාර්වති අම්මාත් ඒවායින් සැලුනේ නැත.

“සුප්පෛය හොඳින් ඉගෙන ගෙන… අපේ වත්තෙ දොරේ වගේ… ඔව්. සපත්තු දාල… තොප්පියක් දාගෙන… දිග කලිසම ඇඳන් යනකොට එයාට කවුරුත් ‘සාමි’ කියල, නැත්තම් ‘දොරේ’ කියල කියාවි…”

මෙසේ ඒ දෙමව්පියන්ගේ යටි සිත් ප්‍රීතියෙන් නැහැවී තිබුණි. ඒ සතුට තුළ කොපමණ නම් අරමුණු, අධිෂ්ඨාන, ඉලක්ක මෙන්ම මුලාවීම් තිබෙන්නට ඇත්ද? උපන් දා සිට මියෙන තුරුම තොප්පි හා සපත්තු දා සිටින සියල්ලන්ටම ‘දොරේ’ හා ‘සාමි’ යනුවෙන් ගෞරව කර නැමී හැකිළී ‘සලාම්’ යි ආචාර කරමින් පැවත ආ පරපුරක උපන් සිවනාණ්ඩිටත්, පාර්වති අම්මාටත් සිතුණේ කුමක්ද?

“ඇයි තමන්ට ම කියල දොරේ කෙනෙක්, සාමි කෙනෙක් හිටියම හොඳ නැද්ද? එහෙම ඉන්න තහනම්ද?”

එසේ සිතමින් අධිෂ්ඨානයක් ඇති කර ගෙන සිටි ඔවුන්ගේ ප්‍රාර්ථනා ඵල දැරුවේද?

මෙන්න සුප්පෛයා… තොප්පි, සපත්තු දමා, දිග කලිසමක් ඇඳගත් දොරේ…

තමන්ව සෑම විටකදී ම, සෑම කාලයකදී ම මර්දනය කරමින් රජ කර ගෙන ආ ඒ පාලක පැලැන්තියට අභියෝග කරන්නට මෙන් ඔවුහු සිය සිතින් සුප්පෛයාගේ රැකියාව පෙන්වා දුන්හ. ඔහු දැන් ලිපිකරුවෙකි. වරායේ ලිපිකරුවෙකි. හෙට පටන් කොළඹ නගරයේ ජීවත්වන සුප්පෛයා ද බොහෝ දෙනෙකුට ‘දොරේ’ කෙනෙකි.

ඒ කම්කරු දෙමාපියෝ තම ප්‍රාර්ථනා විලෙහි දියබුං ගසමින් පීනුවෝය.

අලුයම් කාලයයි. ඔව්. රැය ගෙවී ගොස්ය. අද සුප්පෛයා කොළඹට යා යුතුය. පාර්වති අම්මා විභූති තැටිය මත කපුරු දල්වා, රැකියාව සඳහා පිටත්ව යන පුත්‍රයාට ‘ආලාර්ති පාමින්’ තෙවරක් ප්‍රදක්‍ෂිනා කර, විභූති තැටිය බිම තැබුවාය. දෑසින් සට සට ගා ගලා හැලෙන කඳුළු කැට සාරි පොටෙන් පිසලමින් ප්‍රීතිය වින්දාය. යළිත් විභූති තැටියෙහි කපුරු දැල්වූවාය. සිවනාණ්ඩි ද තලප්පාව ගලවා තබමින් නමස්කාර කළේය. දෙදෙනා ම මාරුවෙන් මාරුවට සුප්පෛයාට විභූති ආලේප කළහ. වතු ජීවිතය තුළ මුළු කාලය ම ලේ, කඳුළු, දහදිය හෙළුෑ ඔවුහු සතුටු කඳුළු හෙළුවේ අදයි. පාර්වති අම්මා තම සුරතල් පුත්‍රයාව සිප වැළඳ ගත්තාය.

“සුප්පු, කොළඹ ගිය ගමන් ම පෝස්ට්කාඞ් එකක් එවපන් පුතා. උපන් දවසෙ පටන් අපි ළඟ ම ඉඳල අද තමයි අපෙන් වෙන්වෙලා යන්නෙ.”

ඒ මවගේ කටහඬ ගොරෝසු වී ඇත.

“ඔව් අය්යේ, කොළඹ ගිය හැටියෙ ලියුම් කඩදහියක් තැපැල් කළාට පස්සෙ තමයි අනිත් වැඩ කරන්න ඕන.”

ඒ සුප්පෛයාගේ දයාබර නැගණියගේ නියෝගයකි. තවමත් කෙළි වයසේ සිටින ඒ කුමරියගේ අනාගතය ද රැඳී තිබෙන්නේ සුප්පෛයාගේ රැකියාව මතය.

අල්ලපු ගෙදර මංගලම් ද, ඊ ළඟ ලැයිම්වල සිටින හිත මිතුරන් සියලු දෙනා ද එහි පැමිණ විභූති ගා සුප්පෛයාට ආශිර්වාද කළහ. ඇතැමෙක් බුලත් කොළයක දවටා මුදලින් රුපියල් 2 – 3ක් පිළිගැන්වූහ. ඒ වත්තේ පිළිවෙලකට ඉගෙන ගෙන පළමු වතාවෙන් ම දෙටුපෙළ සමත්වූයේ සුප්පෛයා පමණි. ඔහු කම්කරුවකුගේ පුතකු වූ බැවින් වතුවල රැකියා ලබා දුන්නේ නැත. සුද්දාගේ කාලයේ පටන් වතුවල ‘පවුල් පසුබිම’ සෙවීමේ සම්ප්‍රදායක් තිබුණි. එම සම්ප්‍රදාය නිර්මාණය කළෝ එදා වතුවල රැකියාව කළ දමිළයෝමය.

කම්කරුවෙකුගේ පුතෙක් වත්තේ පරිපාලන වැඩට පැමිණියහොත් ඔහු කම්කරුවාට පක්‍ෂපාතී වන්නේය යන කාරණය එදා සුදු ජාතික පාලකයෝ විශ්වාස කළහ.

දෙවසරක් ගත වන තුරුත් තමන් ඉපදී හැදී වැඩුණු ප්‍රදේශයේ රැකියාවක් ලබාගැනීමට නොහැකි වූ සුප්පෛයාට අද කොළඹ අගනුවර… එසේම වරායේ රැකියාවක් ලැබී තිබේ. ‘තමන් නැටුවේ නැතත් තම මස්පිඬු නටන්නේය’ යි කියමනක් ඇත. කම්කරුවකුගේ පුතකුට රැකියාවක් ලැබීමෙන් සියලුම කම්කරුවෝ ආඩම්බර වූහ. සියලු දෙනා ම සුප්පෛයාට සුභ ප්‍රාර්ථනා කළහ.

සුප්පෛයා පෙට්ටියකුත්, ඇඳ ඇතිරිලිත් රැගෙන පිටත් වූයේය. ඔහුගේ ආදරණීය දේවතාවිය වූ පාර්වති අම්මා අඩිපාර ඔස්සේ කාලි කෝවිල දක්වා පැමිණ මඟට ඇරලූවාය. ඇගේ මුළු හදවත ම ඒ තේ පඳුරක දළු මෙන් සශ්‍රීකව දිදුලන්නට විය.

“අපේ පුතා කොළඹට ඇරලුව. මම දැන් ක්ලාක් කෙනෙකුගෙ අම්ම කෙනෙක්.”

ඈ ප්‍රීතියෙන් ඉපිලුනාය. මඟ දිගට දළු නෙළමින් සිටින සියලු දෙනා ම ඇය දෙසත්, සුප්පෛයා දෙසත් මාරුවෙන් මාරුවට හැරි හැරී බැලූ දර්ශනය… සිවනාණ්ඩි පෙට්ටිය ඔසවාගෙන උදාර ගමනින් යන උජාරුව…

යළි එන අතරේ හමුවන සියලු දෙනා ම පාර්වති අම්මාව නතර කරමින් ඇගෙන් ප්‍රශ්න කරන්නට වූහ.

“ඔව් ඔව්. පුතා කොළඹ ක්ලාක් ජොබ්එකට ගියා.”

ඈ පිළිතුරු දෙන්නේ ප්‍රීතිය උතුරා යන හදවතින් යුක්තවය. ඒ තුළ ආඩම්බරය ද ගැබ්ව තිබුණි. ඈ තුංමං හන්දියේ දී කිසිවෙකුටත් නොපෙනෙන සේ පස් මිටක් ගෙන ගියාය. ඒ බොහෝ දෙනෙකුගේ දෙපයට පෑගුණු පස්ය. තම පුත්‍රයාට තිබෙන ඇස්වහ, කටවහ අපල දෝෂ දුරුවීමට එම පස් මිට හිස වටා භ්‍රමණය කර ඉසීම සඳහාය.

සිවනාණ්ඩි ඉදුණු දොඩම්, පුලිච්චෝරු නමින් හඳුන්වන සියඹලා ඇඹුලින් සෑදූ බත් ඇතුළු විවිධ දෑ අසුරා තිබූ ඒ සම් පෙට්ටිය මහ බරක් ලෙස උසුලාගෙන සුප්පෛයාට ඉදිරියෙන් පැන පැන යන්නාක් මෙන් වේගයෙන් පා තැබුවේය. ඔහුට අතීත මතකයන් සිහියට නැගෙයි. තමන් ‘දොරේලා’ කී දෙනෙකුට නම් මෙවන් බර පුරවාගත් පෙට්ටි උසුලාගෙන ගොස් දී ඇත්ද? එහෙත් අද ඔසවාගෙන යන බරෙහි නැවුම් උද්‍යෝගයක්, අරුතක් පිරී ඇත. එම නිසා ම සතුට ද දෝර ගලන්නේය.

බර ද උසුලාගෙන වහ වහා පියමනින සිවනාණ්ඩි වරින් වර පුත්‍රයාව අමතන්නේය.

“පුතා පරිස්සමෙන්. සපත්තු ලිස්සයි.”

මෙලෙස ඕනෑවටත් වඩා පුත්‍රයා පිළිබඳ සැලකිලිමත් බවක් පාමින්, නන් දොඩවමින් ඔහු ගමන් කරයි. තම ජීවිතයේ යම් අරමුණක් කරා ළඟා වීමට ඔහු සිතා සිටියේද? එය අද ළඟ වී ඇත. ඒ ප්‍රීතිය ඔහු තුළ විය.

‘මම ජාතක කරපු පුතා. දැන් දොරේ… මම ඔහු වෙනුවෙන් පෙට්ටියක් උස්සන් යනව. මාරි අම්මන් දේව මෑණියනි, මම ඔබතුමිය වෙනුවෙන් පොල් ගෙඩි 300ක් බිඳිනව…’

ඔහුගේ මුව කතා නොකළත් සිත කතා කළේය. කතා කරමින් තුටුවූයේය.

ඉක්මන් ගමනින් පා තැබූ සිවනාණ්ඩිට තවත් කාරණයක් සිහිපත් විය.

“පුතා සුප්පු, රක්‍ෂාවක් ලැබෙන එක ලේසි පාසු දෙයක් නෙවෙයි. අපේ ප්‍රජා උරුම සහතිකේ කවුරුහරි ලොකු මහත්තයෙක් ඉල්ලාවි. අපි කන්දෙන් පල්ලමකට ඇදල දාන විදියට ප්‍රශ්න අහවි. තේරුනාද? උඹ හිතට හය්ය අරන් උත්තර දෙන්න ඕන…”

“තාත්ත ඒ ගැන ඕනවට වඩා හිතල කලබල වෙන්න එපා. මම ඒව කොහොමහරි විසඳගන්නම්කො.”

සුප්පෛයා පිළිතුරු දුන්නේය.

දෙදෙනා හැටන් දුම්රිය ස්ථානයට පැමිණියහ. සුප්පෛයාව නග්ගවාගෙන යාම සඳහා උඩරට මැණිකේ දුම්රිය සිංගමලෛ උමඟ ඔස්සේ හඬ නගමින් පිඹගෙන එයි. සිවනාණ්ඩි තම සාක්කුව පුරවාගෙන තිබූ සිල්ලර කාසි සියල්ල ම දී කොළඹ කොටුවට ටිකට් පතකුත්, තමන්ට දුම්රිය පාමුලට යාම සඳහා අවසර පතකුත් මිල දී ගත්තේය. දුම්රිය පැමිණ නතර කෙරිණ.

පුත්‍රයාගෙන් වෙන්වීමට යන මොහොතේ සිවනාණ්ඩි වැලපුනේය. දරුවා උපන් දා පටන් අද දක්වා දෙමාපියන්ගෙන් වෙන්වූයේ නැත. දෙදෙනා ම එකිනෙකා වැළඳගත්හ.

“පරිස්සමින් ගිහින් වරෙන් මයෙ දෙය්යො. සල්ලි පරිස්සම් කර ගනින්. ඇඳුම් පෙට්ටිය පරිස්සම් කර ගනින්. කෝච්චියෙ කෑම කඩ තියෙනව. කන අතරෙදි ම පිටත්වේවි. එහෙට ගිය ගමන් ම ටෙලිග්රෑම් එකක් ගහන්න ඕන. නැත්තම් උඹලෑ අම්ම ඇඬූ කඳුළින් ම ඉඳීවි…”

ඔහු අත් දෙක ම ඔසවා පුත්‍රයාට ආශීර්වාද කළේය. හදවත උණුවන දසුනක් පාමින් දුම්රිය ඇදී ගියේය. සිවනාණ්ඩි යළි නිවස බලා පිටත්විය. දරුවාගේ වෙන්වීමේ වේදනාව හිතේ පිරී තිබුණත් එක්තරා ආඩම්බරයක් ද ඒ පියාගේ හදවත තුළ පැවතුණි.

සුප්පෛයාව ද උසුලාගෙන ඔහුට නැවුම් දිවියක් උදාකරලීම සඳහා ඒ ශීඝ්‍රගාමී දුම්රිය ඝෝෂාකාරී හඬක් නන්වමින් ඉගිල ගියේය. දුම්රියේ රවුමට කැරකෙන රෝද මෙන් සුප්පෛයාගේ සිත තුළ ද විවිධ සිතුවිලි භ්‍රමණය වූයේය. ඒ සිතිවිලි බුබුළු ගඟක් සේ වර්ධනය විය.

‘…මම ඉපදිලා, හැදිල වැඩිල, ලොකු මහත්වෙලා පාසැල් ජීවිතේයි, මගේ ජීවිතෙන් අඩකුයි ගෙවෙනකල් මගේ ජීවන බර උහුලපු මගේ දෙමව්පියන්ට මම තව දුරටත් බරක් වෙන්න ඕනද? එපා… එහෙම පව් කාරයෙක් වෙලා මම තවදුරටත් ඉන්න කැමති නෑ… දවසෙ මුළු කාලය ම වැහි හුළං නොබල… හැම එකාගෙන් ම ඇනුම් බැනුම් පරුෂ වචන අහගෙන වැඩ කරල හම්බ කරල මාව මේ තත්ත්වෙට ගෙනාපු එයාලට මම තව දුරටත් බරක් වෙලා හිටියොත්… මම තරම් ගුණමකුවෙක් කොහෙවත් නැතිවේවි… මම ඒ විඳවපු ප්‍රශ්නෙට තමයි අද විසඳුමක් ලැබෙන්නෙ… ඔව්. මම වදාපු අම්ම මහ වරුෂාවෙ, දරුණු හීතල පින්නෙ කැළෑවල, කඳුවල ඒ පිරුණු දළු කූඩෙත් එල්ලගෙන ඇවිදිනකොට මම ඒ කූඩෙටත් වඩා බරක් වුණා… ඔව්. එහෙමයි මම උන්නෙ. මගේ ජීවිතේ ජීවත් කරවන්න ඈ විඳපු දුක් කම්කටෙලු මොනතරම්ද? කංකානමගෙන්, කණක්කපිල්ලෛගෙන්, දොරේලගෙන් එල්ලවෙන කුණු බැණුම් අහල අම්ම සැරින් සැරේ මොන තරම් අඬන්න ඇද්ද? ඒත් අම්මට මගේ බර අඩුවුණේ නෑ නේද?

මගේ තාත්ත මගේ අධ්‍යාපන වියදම් පියවගන්න කී දෙනෙකුට නම් අතපාන්න ඇද්ද…? මගේ අම්මගෙ බෙල්ලෙ තිබුණු ඒ තැල්ලෙ පබළු දෙක කී වතාවක් නම් ගලවල උගස් කරල, මට කෝච්චි සීසන් අරන් දෙන්න ඇද්ද…? මම ඉගනගනිද්දි පවුල නඩත්තු කරන්න තාත්ත මොන තරම් වැඩ කළාද…? මං ගැන මොන තරම් බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇද්ද? එයාලට සහන කාලයක් උදාකරන්න තමයි මම අද රක්‍ෂාවකට යන්නෙ. අපේ පවුලෙ මුළු බර ම මේ ලිපිකාර රක්‍ෂාවෙන් තමයි සැහැල්ලු කරවන්නෙ… ඔව්. මගේ රක්‍ෂාවෙන් ලැබෙන පඩිය අරගෙන තමයි මින් පස්සෙ අපේ පවුල නඩත්තු කරවන්න ඕන… මගේ ආදරණීය ලොකු නංගියගෙ විවාහයත් මගේ අතේ තමයි තියෙන්නෙ. මට ඉගෙනගන්න ඕන කියල එයාත් දළු කූඩෙ එල්ලගත්ත. දැන් සුදුසු වයසට ඇවිත් ඉන්න ඈට ගැළපෙන මනමාලයෙක් හොයල දීල මංගල්ලෙ ඉහළින් ම පවත්වන්න හිතාගෙන ඉන්න මේ අය්ය වගේ වාසනාවන්තයෙක් තවත් ඉන්නවද…?

මගේ මල්ලිලත්, පුංචි නංගිලාත් ඉගෙනගෙන ලොකුවෙලා ගුරුවරු විදියට… ගණකාධිකාරිවරු විදියට… ඉහළ තානාත්තර දරන කාලය තමයි ඉස්සරහට එන්නෙ. මම කොළඹ නගරෙ පහසුකම් ඇති කෙනෙක් විදියට ජීවිතය ගොඩනගා ගත්තට පස්සෙ මගේ පවුලෙ අය වත්තෙන් නිදහස් කරල එළියට අරගන්න ඕන… මේ වත්තෙ කුලීකාර කම්කරු ජීවන ක්‍රමය තවදුරටත් එපා… එපා…!! සාමාන්‍ය වතු කම්කරුවෙකුගෙ පුතෙක් වෙච්ච මට මේ රටේ ඉහළ තත්ත්වයකින් ජීවත් වෙන්න මග පාදල දීපු මගේ දෙමාපියන්ට මම කළගුණ සලකන්නෙ එහෙම තමයි… ඔව්…’

මෙසේ ඔහුගේ සිතිවිලි චක්‍රය ඒ ශීඝ්‍රගාමී දුම්රියටත් වැඩි වේගයකින් භ්‍රමණය විය. ඔහු ඇඟමැලි කඩමින් ගැඹුරු සුසුම් හෙළුවේය. පෙරවරු 11ට ඔහුව රැගෙන ගිය දුම්රිය පස්වරු 4 පමණ වන විට කොළඹ කොටුවේ නතර කෙරුණි.

සුප්පෛයා තමන් අලුතින් ජීවත්වීමට යන ස්වර්ග භූමියේ දෙපා තැබුවේය. ඒ මොහොතේ ඔහුගේ පියවි සිහිය ඈත්විය. ඔහුගේ සියලු දුක් කම්කටොලු කොහේදෝ පැන ගොස් සැඟව ගත්තේය. නාගරික ජීවිතය… මුළු කාලය ම කුසගින්නේ වුව ගෙවාගත හැකි ජීවිතයක්… ‘විනාශ වුවත් නගරයට ම එකතුවෙන්න’යි පවසා තිබෙන්නේ නිකම්ද?

ඔහුගේ සිත සතුටින් පිරී ඉතිරුණි.

‘මමත් මෙතැන් පටන් නාගරික වැසියෙක්…! කොළඹ වරායෙ ලිපිකරුවෙක්…!! ‘දොරේ’ කෙනෙක්…!!!’

සුප්පෛයා මහත් සේ ආඩම්බරයට පත්ව සිටියේය.

වරායේ වෙළඳ භාණ්ඩ පටවන ලද ලොරි ඇතුළු රථ එක් පැත්තක ධාවනය වෙමින් තිබුණි. විශාල ‘ක්රේන්’ සියල්ල ම අලුතින් පැමිණ සිටි සුප්පෛයා දොරේට ආචාර කරන්නට මෙන් පහතට නැමුණේය. කොහේදෝ සිට පැමිණ නතර කර තිබූ නැව් සියල්ල ද තමා මත පැටවී තිබූ බර සැහැල්ලු කර ගනිමින් තිබුණි. බර සැහැල්ලු වෙද්දී ඒවා ද එම ගැඹුරු දිය මත්තේ කොපමණ නම් සතුටින් අලංකාරව නර්තනයක නියැලෙන්නේද? ඔව්. සුප්පෛයා ද තව සුළු මොහොතකින් එලෙස සැහැල්ලුවෙන් හා ප්‍රීතියෙන් ඉපිලෙනු ඇත.

එය රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයයි. එහි පිවිසුම් දොරටුවේ සිට යාර 30ක් දක්වා පෙළ ගැසී සිටියේ අලුතින් රැකියා සඳහා බඳවා ගනු ලබන කණ්ඩායමයි. පෝලිමේ ඉදිරියෙන් සිටින්නන්ගේ ප්‍රීතිය අධිකය. ඔවුහු ක්‍රියාකාරී ලෙස සිටිනු පෙනෙයි. අලුත් රැකියාවල වගකීම් භාරගත්තෝ කා.කා.ස.ලා පසුපසින් තම කාර්යාල වෙතට ගමන් කරති. තවත් පුද්ගලයින් පස් දෙනෙකුගෙන් පසු සුප්පෛයා තම රාජකාරියේ වගකීම භාරගන්නා වෙලාව එළඹෙනු ඇත.

ඔහු තමන් ගෙනැවිත් තිබූ ප්‍රජා උරුම සහතික පත්‍රය පිළිබඳව සිතමින් සිටියේය. කාමරය ඇතුළේ හිඳගෙන සිටිනා උසස් නිලධාරියා එම සහතිකය භාරගතහොත් ලෝකය ම ඔහුගේ පාමුලය. නිවසේ දී එය සොයා ගත් ආකාරය පිළිබඳව ඔහු යළිත් සිහිපත් කළේය.

අම්මා එක් පැත්තකත්, පියා තවත් පැත්තකත් එම සහතිකය සොයා වෙහෙසට පත්වූහ.

“කොයි දෙයක්වත් ඕනවට වඩා පරිස්සම් කරන්න නරකයි. අන්තිමට හොයල ම පණ යනව.”

එසේ මුණු මුණු ගෑ සිවනාණ්ඩි තම අවසන් උත්සාහය ලෙස දුම් මැස්සේ තබා තිබූ ට්‍රන්ක පෙට්ටිය ගෙන විවෘත කර බැලීය. ඒ තුළ පැරණි කඩදාසි මිටියකි. එක් කොනක තිබූ කඩදාසි මීයෝ හපා කීතු කීතු කර, කූඩුවක් ද සකස් කර තිබුණි. සිවනාණ්ඩි ට්‍රන්ක පෙට්ටිය මුනින් අතට පෙරලුවේය. එදින ප්‍රසූත කරන ලද මී පැටව් සිව් දෙනෙක් එලෙස ම සිටියහ. සිවනාණ්ඩි කූඩුව සකස් කර තිබූ කඩදාසි කැබලි දෙස බැලුවේය.

‘දෙය් හාමුදුරුවනේ…’

ඔහු හිසේ අත තබා ගත්තේය. ඒ ඉරා දමා තිබෙන්නේ ඔවුන්ගේ ප්‍රජා උරුම සහතිකයයි.

සුප්පෛයා කැබලි ටික එකතු කර බැලුවේය. එම සහතිකයේ පාර්වති අම්මා, සිවනාණ්ඩි, සුප්පෛයා යන තිදෙනාගේ නම් තිබිය යුතුය. අනෙත් දරුවන් ඉපදුනේ මෙම සහතිකය ලැබුණු පසුවයි. සුප්පෛයා ඒ නම් තිබෙන කඩදාසි කැබලි සෙව්වේය. එම කොටස මීයෝ කා දමා විය හැක. සනාථ කිරීම සඳහා වාසනාවකට මෙන් එක් කොටසක් පමණක් යහතින් ඉතිරිව තිබුණි.

‘ඉන්දියන් – පකිස්තාන් රෙසිඩන්ට් සිටිසන්ෂිප්’

තවත් කඩදාසි කැබැල්ලක කොමසාරිස්තුමන්ගේ අත්සන තිබුණි. ඔහු කඩදාසි කැබලි සියල්ල ම එකතු කර ගත්තේය. ඔහුගේ දෑසට දෙවියන් දර්ශනය වූවාක් මෙන් ‘ශ්‍රී රංගන් පුත් සිවනාණ්ඩි’ යන නම සඳහන් කොටස ද තිබුණි. මෙම කඩදාසි කැබලි සියල්ල ම පොලිතීන් කවරයක ප්‍රවේශමින් බහාලූ ඔහු සුසුමක් හෙළුවේය. ‘ප්‍රජා හිමිකම් පත්‍රය’ නැති වුවහොත් හෝ විනාශව ගියහොත් අලුතින් පිටපතක් ලබා ගැනීමට නොහැකි නීතිය ද ඔහු දැන සිටියේය.

සුප්පෛයා අද මෙහි පැමිණ සිටින්නේ ඒ කඩදාසි කැබලි ටික ද සමගය.

“මිස්ටර් සුප්පෛයා…”

කා.කා.ස. හඬ නැගුවේය. සුප්පෛයා ඉතා යටහත් පහත් ලෙස උසස් නිලධාරියාගේ කාමරය තුළට ඇතුල් වූයේය.

“සිඩ්ඩවුන් මිස්ටර් සුප්පෛයා.”

“තෑන්ක් යූ සර්.”

සුප්පෛයාගේ අධ්‍යාපන සහතිකත්, ක්‍රීඩා සහතිකත් පරීක්‍ෂා කළ උසස් නිලධාරියා විස්මයට පත්විය.

“ෂහ්, ඔයා හැම විෂයකට ම විශිෂ්ඨ සාමාර්ථ අරගෙන තියෙනව. ටයිපින් පුළුවන්ද?”

“පුළුවන් සර්.”

“වෙරිගුඩ්. ඔයාගෙ රාජකාරි කටයුතු ඉහළ මට්ටමින් ඉටුකරල තිබුණොත් ‘සෙකට්ට්‍රි පෝස්ට් එක’ ලබා ගන්නත් චාන්ස් එකක් තියෙනව.”

නිලධාරියා පැවසීය. සුප්පෛයා පුෂ්ප විමානයක ඉගිලුනේය. නිලධාරියා යළි ඔහුව ඇමතුවේය.

“ඔයාගෙ ජනවාර්ගික තත්ත්වය…?”

“ශ්‍රී ලාංකික ප්‍රජාව… දෙමළ…”

“ඔයා වතුකරයෙ දෙමළ. එහෙම නේද? ලියා පදිංචි ප්‍රජාව නේද?”

“ඔව් සර්. ලියා පදිංචි ප්‍රජාව.”

“එහෙම නම් ප්‍රජා උරුම පත්‍රය ගන්න බලන්න.”

සුප්පෛයා තරමක් පසුබාමින් පොලිතීන් කවරය දික්කර සිදුවූ සියලු තොරතුරු නිලධාරියාට පැවසීය. ඔහුගේ සිරුර දහදියෙන් නැහැවී ගියේය. නිලධාරියා විදුලි පංකාව ක්‍රියාත්මක කළේය. සුප්පෛයාගේ අතේ තිබූ කඩදාසි කැබලි සියල්ල ම සුළඟේ පාවී ගියේය. උසස් නිලධාරියා ප්‍රතිමාවක් සේ ගල්ගැසී බලා සිටියේය. රටක පුරවැසියකුගේ ජාතික තත්ත්වය මෙවන් ආකාරයට ප්‍රදර්ශනය කරමින් ඉදිරිපත් කළ යුතු විය. සුප්පෛයාගේ මානව අභිමානය සිත තුළ ම දැවී අළු වී ගියේය.

“වෙරි සොරි මිස්ටර්! මේක ගවර්මන්ට් ජොබ් එකක්. මේ රටේ ප්‍රජාවට විතරයි මේ රැකියාව ලබාදෙන්න පුළුවන් වෙන්නෙ. ඔයා මේ රටේ පුරවැසියෙක් කියල නිර්දේශ කරන්න සුදුසු සහතික ප්‍රමාණවත් නෑ. ගිහින් එන්න.”

කා.කා.ස. තවත් අයෙකුට ඇතුළට එන්නැයි අඬගැසුවේය.

අඩක් උමතු භාවයට පත් වූ අයකු සේ පිටතට පැමිණ සිටි සුප්පෛයාගේ දෙතොල් අතරින් හඬ නොනැගෙන සේ මොනවදෝ එක දිගට කියවුණි.

“…ඇයි මම විතරක් මේ රටේ ප්‍රජාවට අයිති වෙන්නෙ නැත්තෙ..? ඇයි මට විතරක් සහතිකයක් නිකුත් කරල ප්‍රජා උරුමය දෙන්නෙ..? මට විතරක් ඇයි කඩදාසියක් දීල තියෙන්නෙ.? මම කඩදාසි මිනිහෙක්.. ලියා පදිංචි ප්‍රජාව.. මේ ලෝකෙ කඩදාසි ප්‍රජාව, ලියා පදිංචි ප්‍රජාව කියල හංවඩු ගහල අවමානෙට ලක් කරපු පිරිසක් තමයි මගේ පරම්පරාව. මගේ සහතිකේ මීයො හපා කෑව. මම මීයො හපා කෑ ප්‍රජාවක්. මගේ ප්‍රජා උරුම සහතිකේ තෙමිල ගිහින් තිබුණනම් මම මේ රටේ තෙමුණු ප්‍රජාව. මගේ සහතිකේ ඉරිල නම් මම ඉරුණු ප්‍රජාව. මගේ සහතිකේ පිච්චිලා නම් මම පිච්චුණු ප්‍රජාව…”

ඔහුගේ නන් දෙඩවිල්ල නතර නොවුණි.

කොළඹ ගිනි අව්වේ ඔහු කෲර ලෙස දැවී ගියේය. නැව්වලින් විලාප හඬ නැගුණි. ඒවා තුළට උස් ‘ක්රේන්’ වලින් බර පටවමින් තිබුණි.”

 

__________පරිවර්තනය ජී.ජී. සරත් ආනන්ද_____________

මෙරට වතුකරයේම ඉපිද, තලවකැලේ වතු පාසැලෙන් හා හැටන්හි හයිලෝන් මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මු. සිවලිංගන් රටේ ආර්ථික ප්‍රවර්ධනයට ප්‍රධාන දායකත්වයක් සපයන ලාංකේය වතු කම්කරු ජනතාවගේ ජීවිතවල දුක්ඛ දෝමනස්සයන් සහ පීඩිතභාවය වෙනුවෙන් සිය පන්හිඳ මෙහෙයවූ අදීන සාහිත්‍යකරුවෙකි. මේ වන විට මෙරට පමණක් නොව ඉන්දියානු දමිළ පාඨකයින් අතර පවා නමක් රඳවාගෙන සිටින සිවලිංගන් ගුරුවරයකු, පුවත්පත් කතුවරයකු, චිත්‍රපට නළුවකු හා කලා අධ්‍යක්‍ෂවරයකු ලෙස ද කටයුතු කර ඇති අතර දමිළ මාධ්‍ය නවකතා, කෙටිකතා, පරිවර්තන, ශාස්ත්‍රිය ආදී කෘති රැසක් ලියූ සම්මානනීය කතුවරයෙකුද වෙයි. ‘කඩදාසි ප්‍රජාව’ නමින් සිංහලට නැගෙන්නේ සිවලිංගන් විසින් 1963 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද කෙටිකතාවකි.

image courtesy- wikimedia.org- oil on canvas painting by Raja Segar

This website uses cookies to improve your web experience.