Skip links

ඇසේ පිපුණු ගිනි

රාත්‍රියේ නිසල බව හෙමිහිට ඇදී ඇදී යද්දී මීරාගේ කොට්ටය අසල තිබූ එලාම් ඔරලෝසුව හඬ නගන්නට වූයේ ය. එපා කරවන සුලු ඒ හඬ නොතකා හල ඈ සිය දෑස් විවර කර පිටත බැලුවාය.

පාඩම් කළ දේ යළි යළිත් සිත මතුපිටට ඇදී එමින් තිබිණි. ඈ නැගිට ගොස් කියවීමේ මේසය ඉදිරියේ හිඳගත්තා ය. නින්ද ඇයව යළි ඇඳට කැඳවී ය. එහෙත් සිත කියවීමේ පිපාසයෙන් පෙළුණි. පොත වසා කුමක්දෝ සොයමින් සිටි මීරා ‘දරුවෝ, කිරි එක බොන්න’ යි පියා හඬ නගනු ඇසී නැගී සිටියා ය. පියාගේ නොවෙනස් සිනාව නිසා ඇගේ සිතේ උනන්දුව දැල්විණි.

කුඩා දැරියක ව සිටිය දී ඇය රෝහලට ගොස් පැමිණි විට අවට නිවෙස්වල සිටින සිය සම වයස් දරුවන් සමග සෙල්ලම් කරන විට තමන් වෛද්‍යවරිය වෙමින්, අනිත් අය රෝගීන් බවට පත් කරමින් සෙල්ලම අරඹන්නේ ඇය විසින් ම ය. අනිත් දරුවන් එයට විරුද්ධ වුවහොත් ආපසු නිවසට පැමිණෙන මීරා අඬන්නට පටන් ගනියි. අද පවා ඇයට එය මතක් කර කවුරු හෝ විහිළුවක් කළහොත් ඇගේ දෑස් තෙත්වෙයි. මීරා එපමණට ම මුදු මොළොක් යෞවනියකි.

නින්දත්, කුසගින්නත් අමතක කර ‘කෙසේ හෝ කැම්පස් යන්නෙමි’ යන චිත්ත ධෛර්යයෙන් යුක්තව කුප්පි ලාම්පුවේ උපකාරයෙන් මීරා නම් දීප්තිමත් පහන් සිළ එසේ දැල්වෙමින් තිබුණි.

මිනිස්සු එදින ද වැඩ කිරීමෙන් ලද මහන්සිය තුරුළු කර ගෙන හෙට දවසේ සිහින සමග නින්දට ගොස් සිටිය හ. පිටත නිදහසේ සුළං හමා ගියේ ය. සුදු වළාකුළු ගුවන් තලයේ එහෙ මෙහෙ සැරිසැරුවේ ය.

රැයේ නිසල බව ඉරා දමමින් මතු වූ ප්‍රහාරක බෝම්බවල කම්පනය අහස දැදුරු කළේ ය. අහල පහලින් බිය මුසු හඬවල් ඇසෙන්නට විය.

මීරා අසල සිටි දස විය ද නො පිරුණු ඇගේ මල්ලී සුරේෂ් ‘අම්මේ අම්මේ, බංකරේට යමු’ යි කෙඳිරුවේ ය.

බිය මුසු බැල්මෙන් මීරා ද මව දෙස බැලුවා ය. ඒ බිය දුරු කළ හැක්කේ කාටද?

මේ ආකාරයට දිනක් මීරාගේ මිතුරිය වාසුකිගේ පවුලේ අය ද ප්‍රහාරක යානාවල බෝම්බවලට බියෙන් බංකරය තුළට වැදුණ හ- බෝම්බවල කම්පනය අඩු වී ගියත් ඔවුන්ගේ මව හැර අන් කිසිවෙකුත් පිටතට නො පැමිණිය හ-

සර්පයා ඔවුන් වෙතට යම රජු සේ පැමිණියේ ය. එදා පටන් අද දක්වා ම මීරාට බංකරය සිහි වන විට වාසුකිගේ පවුලත්, සර්පයාත් මතකයට ඒම වැළැක්විය නො හැකිය.

සුරේෂ් බංකරයට යාමට සූදානමින් දොරකඩට විත් ‘අම්මේ…. එන්න; ලාම්පුත් අරං මිනිස්සු සේරම බංකර්වලට යනවා’ යි කියා කට ගන්නටත් පෙර ආසන්නයට පතිත වී පුපුරා ගිය ෂෙල් ප්‍රහාරයක කම්පනය ඔවුන් සියලුදෙනාව ම බංකර් තුළට යාමට සැලැස්වී ය.

ඇල්මිනියම් පක්‍ෂීන්ගේ ඝෝෂාව සමග අලුයම උදාවිය. පක්‍ෂී රංචු පවා අහසේ අනාථයින් බවට පත්වූ හ. උහු ඉහළ සිට බලා හිඳින මහ විරුවන්ට පුවත් රැගෙන ගිය හ. සිංහල දේශයත්, දෙමළ ඊළාම් දේශයත් අතර යුද්ධය ඇරඹුණේ යැයි හාත්පස වට කර ගෙන තිබූ කළු දුමාරය ද කියා පෑවේ ය.

සුරේෂ් තදින් හුස්ම ගනිමින් දිව ආවේ ය.

“අම්මේ, සංවිධානෙ අය හැමෝට ම නැගිටින්න කිව්ව. මිනිස්සු සේරම තෙන්මාරච්චි පැත්තට යනව. අපිත් පිටවෙලා යමු.”

මීරා ශෝකාකූල ලෙස මව දෙස බලා සිටියා ය- ඇගේ මුවින් ‘කෝ උඹලෑ අප්පා—? මේ වෙලාවෙ කොහෙ ගිහින්ද දෙය්යනේ—-’ යන වදන් පිටවූයේ කලබලයෙනි.

පටු මග දෙසින් සිවපාදම්ගේ හඬ ඇසූ කමලා ‘අපි මෙහේ පණ කෙන්ද අතින් අල්ලගෙන ඉන්නව; ඔහේ කොහෙටද ගියේ?’ යි විමසුවා ය. තරමක කලකිරුණු ස්වභාවයෙන් යුක්තව බිරිඳ දෙස උස් පහත් වෙමින් බැලූ සිවපාදම් ‘හරි හරි උවමනා දේවල් ටික විතරක් අරගෙන පිටවෙයල්ල; ඒයි කොල්ලෝ, උඹේ බයිසිකලේ පරිස්සම් කර ගනිං— ඒ එක්ක ඔය පැදුරත් දාගනිං’ යි කෑ ගැසුවේ ය.

ඔවුහු එකිනෙකාට නොහඟවා තමන් දුව පැන සෙල්ලම් කළ, වැතිර නිදා ගත් තැන් අවසන් වරට දෑස්වලින් උරා ගත්හ. මීරාගේ බැල්ම අසල තිබූ මේසය වෙතත්, ඒ මත අසරණ ලෙස බලා සිටි පොත් ගොඩ වෙතත් යොමු විය. නටමින්, දඟලමින් සිටි ජනෙල් තිරය ඇගේ බැල්ම අවුල් කළේ ය. ඇගේ දෑස් පොකුණක් බවට පත් විය. ‘හරි එන්න’ යි පියාගේ හඬ අසා ඈ තම දෑසට නැගුණු කඳුළු වැර වෑයමින් වළක්වාලන්නට උත්සාහ ගත්තත් හිමිවූයේ පරාජයයි.

සුරේෂ් දොරකඩට පැමිණ යළි හැරී බැලුවේ ය. ඔහු ආසාවෙන් වැඩූ මල් පැළ තමන් දෙස බලා හිස සලා නිහඬ ගෞරවය පාන්නාක් සේ වේදනාත්මක හැඟීමක් ඔහුට දැනුණි. දෑස් අතරින් ගුළිවෙමින් ආ කඳුළු බිඳු අතරේ ඔහුගේ සිතට මහත් බරක් දැනුණි. ඔහු පිටතට ඇවිද යන්නට පටන් ගත්තේ ය. ඔහුගේ ළපටි සිත තුළ පිළිතුරු නොමැති කෝටි සංඛ්‍යාත ප්‍රශ්න මතුවෙමින් තිබුණි.

මහළු පොන්නෛයා පටු මගට හැරෙන ස්ථානයේ දී ඔවුන් ඉදිරියේ පෙනී සිටියේ ය. ‘ඇයි මාමේ, ඔහේ මෙහෙන් පිටවෙලා යන්නැද්ද?’ යි සිවපාදම් නැගූ පැනයට ‘මේ වයසක මම කොහෙ යන්නද දරුවෝ… උඹල පරිස්සමින් ගිහින් වරෙල්ල… බේරිල ඉන්න බලමු කොහොමහරි’ යි පිළිතුරු දුන්නේ ය.

මීරා ඒ මහල්ලා දෙස හිස ඔසවා බැලුවා ය. ‘අනේ දෙයියනේ… දරවො තුන්දෙනෙක් පිටරට. මෙයා මෙහෙ අනාථයෙක් විදියට මැරිල යන්න හදනව’ යි ඈ සිතින් වැලපුනා ය. ‘ඇයි සීයේ, අපිත් එක්ක එන්න පුළුවන් නේ’ යි මීරා ප්‍රශ්න කළා ය.

“නෑ දරුවෝ…..උඹල ගිහින් වරෙල්ලා”

මහල්ලා ළෙන්ගතු ස්වරයෙන් පිළිතුරු දුන්නේ ය. ඔහුගේ හඬේ ගැබ්ව තිබුණේ හිස් බවයි.

ප්‍රහාරක යානා ඒවායේ රඳවා ගෙන සිටින බෝම්බ මුදා හරින විට නැගෙන මරණයේ දෝංකාරය කන්බෙර පාරවා ලේ ගලන්නට සලස්වයි. එයටත් වඩා ක්‍රෑර ලෙස ඇගේ පපු කුහරයට පහර දෙයි.

“මාමේ, අපේ වත්තෙ පිටිපස්සෙ කතාකරන්න බැරි පරාණ දෙකක් ඉන්නව. බලාගන්න.”

සිවපාදම් එසේ පවසමින් මහල්ලාට සමු දුන්නේ ය.

බෝම්බ හඬ බොහෝ ඈතින් ඇසුණි. ‘මරණයේ ග්‍රහණයෙන් මිදී පිටතට ආවෙමු’ යි ඔවුහු සැනසුම් සුසුම් හෙළුෑ හ. එහෙත් සියලු දෙනාගේ ම සිත් තුළින් සිනහව සැඟවී ශෝකය දළුලමින් තිබුණි. දරුවන්ගේ මුහුණු කුසගින්න නිසා මැලවී ගොසිනි.

මීරා තමන් වරින්වර අසා තිබුණු ‘කි—ලා—ලි—’ යන වදන සිතින් උච්චාරණය කළා ය. එය පළමු වරට ඇගේ නෙත ගැටුණේ එදා ය. ඇගේ සිතුවිල්ල මුළාවකි. සෑම දෙසින් ම පෙනුණේ එක ම කැළෑවකි. බෝට්ටු දිය මත පාවෙමින් තිබූ අතර වර්ෂාව ටිකෙන් ටික හඬා වැටෙන්නට වූයේ ය. සෑම ගසක් ම කුඩයක් බවට පත්විය. සොබා දහමේ ව්‍යසනයන්ගෙන් මිදීමට සොබාදහම ම රැකවරණයක් වූයේ ය.

“අපි යනකොට හෙලිකොප්ටර් දැක්කොත් දුවන්න ඕන. නේවිකාරයො පොඩි බෝට්ටුවලින් ඇවිත් ලුහුබැන්දොත් අනිත් අය ගැන බලන්නෙ නැතුව හැරුණු පැත්තකට ගිහින් බේරෙන්න ඕන….”

එවැනි බොහෝ කතා මීරාගේ කනට ඇතුල් වී තිබුණි. ඒවා ඉදිමුණු තුවාලයකට කටුවකින් අනින්නාක් සේ ඇයට දැනුණි. එසේ වුවත් ‘අපේ සටන්කාමියො අපිට ආරක්‍ෂාව ලබා දෙනව’ යි එහි කවුදෝ අයෙක් පැවසූ වදන් ඇයට යම් පමණක සැනසීමක් ලබා දුණි.

ඇගේ සිතෙහි බොහෝ සිතුවිලි මතු වී, අවට තිබූ තුරුවැල් සමග එක්ව දෑස් තුළට ඇතුල් වෙමින් කඳුළු සමග නැටුමක් නැටුවේ ය. ගේ දොර අහිමි වී උපන් භූමිය තුළ ම සරණාගතයන් වී සිටින ජනතාව දෙස ඈ බලා සිටියා ය. මේ අහිංසකයින් කර තිබෙන පාපය කුමක්ද? මේ සෙල්ලම් කරන්නේ කී දෙනෙකුගේ ජීවිත සමගද?

ඇගේ හදවතේ තිබූ සෑම ජීවී නහරයක් තුළ ම ප්‍රශ්න ඉස්මතුවෙමින් තිබුණි.

කෆීර් යානා, හෙළිකොප්ටර් වැනි ඇලුමිනියම් උකුසන්ගේ හඬ ඇසී යළි පියවි සිහියට පැමිණි ඇයට එකවරම මරණීය නිහඬතාවක් දැනිණි.

ඉන්පසු ආසන්නයේ තිබෙන පඳුරු අතරේ මිනිස්සු සැඟවුණ හ. අහසේ සංදර්ශන ඇරඹුණි. ඒවායේ කම්පනයට මඳ වෙලාවක් සවන්පත් බිහිරි වී ගියේ ය. මීරා ඉකි ගසමින් හැඬුවා ය. කිලාලිවල සෑම තැන ම එක ම දුමාරයකි.

මඳ නිහඬතාවයකට ඉඩක් ලැබුණි.

එහෙත් එය වැඩිවෙලා නො පැවතුණි. සුවදුක් විමසීමට පැමිණි සුළඟ සමග එක් වූ ඇඬුම් හඬ සියලුදෙනාගේ ම සිත් තුළ දෝංකාර දුන්නේ ය. ‘දෙයියනේ… කවුද කවුද?’ යන ප්‍රශ්නාර්ථය සියලු දෙනාගේ ම හදවත් තුළට තට්ටු කර අවදි කළේ ය. ඒ කුමන බලයකින් සිදුවූවක්ද?

එකම පවුලක සිව් දෙනෙකුගේ සිරුරු කැබලි විසිර විසිරී ගොස් තිබුණි. කුසගිනි දැනුණු විට රැගෙන කන්නට උපකාරී වූ දෑත්, ඇවිද යන්නට උපකාරී වූ දෙපා, සිනාසෙන්නට පිහිට වුණු දෙතොල් කැඩී ඉරී ගොස් එහෙ මෙහෙ තිබූ ගස්වල අතු අතර මස් ගොඩවල් සේ එල්ලෙමින් තිබුණි.

අහස් ගඟ වියැකෙන්නට පෙර අහිංසකයින්ගේ රතු රුධිරය භූමියේ පොහොර බවට පත්විය. ගස්වල අතු ද කැඩී විසිර ගොස් තිබුණත් ඒවායින් ලේ ගැලුවේ නැත. වැලපුම් හඬ මතුවුණේ ද නැත. බුදුන්ගේ දර්ශනය මෙන් සියල්ල නිහඬ සන්සුන් බවක් දැනවීය. එහෙත් මිනිසුන්ගේ වැලපුම් හඬ හදවත් පසාරු කර සුළං රැළිවලට ද තෙත් බවක් එක් කළේ ය.

දස හැවිරිදි දැරියක් ‘මගේ අම්මා… මගේ අප්පා… මගේ අණ්ණා…’ යි එකිනෙකාට අඬගැසුවා ය. ඇගේ දෑස් ඔවුන් නැගිටින්නේදැයි විමසිලිමත් විය. ඇගේ වැලපුම, නෑසියන්ගේ වැලපුම ඒ ජීවය ගිලිහුණු සිරුරුවලට කෙසේ නම් ඇසේද?

මීරාගේ දෑස් තුළින් දිය බිඳු ගලා විත් බිමට හාදු දුන්නේ ය. ඈ එම දැරිය දෙස බලා සිටියා ය. දරිද්‍රතාවයෙන් වැහැරීම… ඇඬීම තුළින් මැලවීම…. අහිමිවීම්වල වේදනාව… ඒ සියල්ල ම ඇගේ මුහුණ තුළ සිතුවම් වී තිබුණි.

මීරා තම මවගේ අත තදින් අල්ලා ගත්තා ය. අසල සිටි මල්ලීව අනිත් අතින් අල්ලා ගත්තා ය. කමලා තම දරු දෙදෙනා සහ සැමියා දෙස එක් වරක් බියෙන් සැලෙන දෑස්වලින් බැලුවා ය. කවුරු කාට සැනසීමක් ලබා දෙන්නද?

ඝෘජුව අහස දෙස බැලූ ඈ කුමක්දෝ ඉල්ලීමක් කළා ය.

දිය රැළි බෝට්ටුව සමග ගැටී නැටුමක් පෑවේ ය. ජලය තුළට දෙපා දමන විට එක්තරා බියක් මීරාගේ සිත තුළට ඇතුළු විය. ඈ පියාගේ අත අල්ලා ගනිමින් බෝට්ටුවට නගින්නට උත්සාහ කළාය. බෝට්ටුවේ එක් පැත්තක් ඇලවිය. මීරාට නො දැනුවත්ව ම කෑ ගැසුණි. ඇයට මුහුදු ගමන අලුත් ය. හාත්පසින් ම එක ම අඳුරකි. තමන් සිටින බෝට්ටුව බලා කවුදෝ එන්නාක් වැනි හැඟීමක් ඇය තුළ උපන්නේ ය.

‘දොස් දොස්’ හඬින් බෝට්ටුව හා ගැටෙන ජලය අපගේ සුවදුක් විමසන්නේද? නැතහොත් බෝට්ටුවේ සුවදුක් විමසන්නේද?

ඇයට එය නො වැටහුණි. වරින්වර ලේ ගංගාවේ ගිලී තිබූ අහිංසකයින්ගේ සිරුරු, ගස්වල එල්ලෙන මස් වැදලි, ඒ දැරියගේ වැලපීම මීරාගේ දෑස් ඉදිරියේ පෙනී නොපෙනී යයි. ඇය ද ගොළු බසින් හැඬුවා ය. අහස දෙස ඝෘජුව බැලුවා ය. අහසේ තාරකා තමන් දෙස බලා සිනාසෙන්නාක් සේ ඇයට පෙණිනි.

‘තාරකාවනි, මින් පස්සෙ අපට අනාගතයක් නෑ කියල හිතලද ඔහොම හිනාවෙන්නෙ… නැත්තම් හිත අවුල් කරගන්න එපා කියල ධෛර්යය ලබාදෙන්නද?’

ඇගේ සිතුවිලි ප්‍රවාහය තුළ ලැව් ගින්නක් සේ එවන් සිතිවිලි පැන පැතිර ගියේ ය.

‘අපට යැයි කියා උරුමව තිබෙන්නේ රටක හැඩයක් පමණක්ද? අප සිටිය යුත්තේ පළා යමින්ද? මෙතෙක් කලක් අධ්‍යාපනය නම් රාමුව තුළ සිරව කාලය අපතේ හැරියාද?’
එවන් ප්‍රශ්න දහසක් මුහුදු රළ මෙන් ඇගේ සිතේ උතුරා ගියේ ය.

‘අප කුකුළන් මෙන් සිටිය යුත්තේ ඇයි? දිව යන්නන් සිටිනතුරු ලුහුබඳින්නන් ද සිටිනු ඇත.’

අනේක විධ පැන ඇගේ සිතේ ඊතල මෙන් ඇදී ගියේ ය. කාලය යුතුකමේ අනිවාර්ය බව නොකියා කීවේ ය. ඇගේ දෑස් තුළ දැන් කඳුළු මතු නොවෙයි. ඒ වෙනුවට………..!

පරිවර්තනය – ජී-ජී- සරත් ආනන්ද    

කුඩත්තනෛ උදයන්- යාපනයේ කුඩත්තනෛ ග්‍රාමයේ උපන් උදයන්, උතුරේ ඇවිලුණු මර්දනකාරී යුද්ධයෙහි පීඩාව විඳ මීට දශක තුනකට පෙර සරණාගතයෙකු ව උපන් බිමෙන් වෙන් වූවෙකි. ඔහු සිය පළමු නවකතාව වූ  ‘විළියෝරත්තුක් කනවුහල්’  රචනා කරන්නේ 1998 වර්ෂයේදී විප්‍රවාසීව හිදිමිනි. 2016 වර්ෂයේදී ඔහු ලියූ ‘ඉරුලුක්කුල්ලේ ඔරු නම්පික්කෛ‘ නවකතාව ප්‍රකාශයට පත් විය.  ඉන්පසු ‘විඩියලෛත්තඩි’ නමින් ප්‍රංශයේ ඊළමුරුසු පුවත්පත සඳහා කොටස් වශයෙන් පළ වූ නවකතාවක් රචනා කළ උදයන්, සිය සරණාගත දිවියෙහි අත්දැකීම් සහිතව ලියූ නවතම නවකතාව වූ ‘අගතියින් නාට්කුරිප්පු’ පසුගියදා ‘පූවරසි’ ප්‍රකාශනයක් ලෙස එළි දුටුවේය. මෙම කෙටි කතාව ඔහු 90 දශකයේ අගභාගයේදී රචනා කර ඊළමුරුසු පුවත්පතේ මුල්වරට පළ වූවකි.   

 

Image courtesy – Alwy Fadhel (painting)

Leave a comment

This website uses cookies to improve your web experience.