කාගෙ හෝ දරුවා
කාගෙ හෝ දරුවා
සුන් කරන ලද බිමෙහි හැම තැන
නොකඩවා ඇසෙන
වලප්නා හඬ ද මතක පූජා ගී හඬ ද
අතුරුදන් කරයි, විසුරුවාලයි බලකොටු
කිසිදා සුන් කළ නොහැකි
දිවියත් මුහුණත්
මිහිදන් කළ බිමෙහි සිට
දළු දමයි නොනැවතී.
සිඳ බිඳ දැමූ ඒ ජීවය,
විකල කර හඳුනාගත නොහැකි ලෙස
වළලනු ලැබූ ඒ ජීවය,
වෙන කිසිවෙකුගෙ නොව
සෙනේබර දරුවෙකි කාගෙ හෝ
කෘරතර ලෙස වැනසූ
ඒ සොහොන් කොත්වලින්
කුමක් කළ හැකි වෙද
කීසිදා කිසිවකට දරා ගත නොහෙන
කුඩු කරන ලද ඇටකටු
අහෝ පිරවිය හැකි ද ඔවුනගෙ
බොජුන් ගන්නා විතකට, බඳුනකට?
ගසා ගනිමින් පපුවලට නිහඬව
වැලපෙද්දී මාපියන් – දෙවියෝ දනිති ඒ කවුරු දැයි-
නිවා සාගිනි එයින්
රැඟුම් පෑ හැකිද සිත් තොසින්?
කඳුළැලි ඇද ගනියි සොහොන් කොත්
කාගෙ හෝ දරුවෙක්
යම්කිසි දෙයක් වෙනුවෙන්
වෙඩි පහර වැද මිය ගොසින්
සිටියි එහි වැතිර
ළගා වන්නට නොහැකි
එරුක්කුලෛ වන පෙතෙහි
අයෙක් සාම්බ්‍රානි දල්වත්
දුම් වලාවන් ඉහලට නැගෙයි
ලාම්පු දැල්වී තිබෙයි
එරුක්කුලෛ මුල් වටා රැස් වී
කතිකා කරත් සමහරු
එකෝමත් එක කාලෙක
මේ දුර්භාග්‍යවත් මිනිසුන්
යම්කිසි දෙයක් වෙනුවෙන්
යවා ඇත සිය දරුවන්
හැම දෙයකටම පය පහර දී
සුන් කර දැමෙන
හැම සොහොන් ගැබකම
මෙතෙක් කල් ගැඹුරු නින්දකට වැද සිටි
කාගෙ හෝ දරුවෙක් දැන්
නොසන්සුන් ලෙස අත් පා ගසයි
නිදි වර්ජිතව
-දීපචෙල්වන්
யாரோ ஒருவருடைய பிள்ளை – (යාරෝ ඔරුවරුඩෛය පිල්ලෛ ) කවියෙහි ඉංග්‍රීසි පරිවර්තනය වූ ‘ someone’s child’ කවිය ඇසුරෙනි.
ඉංග්‍රීසි කවිය පරිවර්තනය – ලතා රාමක්‍රිෂ්ණන්
සිංහල පරිවර්තනය – කත්‍යානා අමරසිංහ
දීපචෙල්වන් – දෙමළ බසින් නිර්මාණකරණයේ යෙදෙන, නූතන දෙමළ සාහිත්‍යයේ දීප්තිමත් ලේඛකයෙකු වන දීපචෙල්වන් කිලිනොච්චියෙහි ඉපිද යුද්ධයේ බිහිසුණු ම දවස් මැදින් ජීවිතය රැක ගත්තෙකි. වෘත්තියෙන් ගුරුවරයෙකු වන ඔහු ජනප්‍රිය කවියෙක් සහ නවකතා රචකයෙක් වේ. කාව්‍ය කෘති කිහිපයක් ලියා පළ කර ඇති දීපචෙල්වන් නඩුගල්, පයංකරවාදී, සයනයිඩ් නමින් නවකතා කෘති තුනක් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අතර පීඩිත ජාතියකට මුහුණ දෙන්නට සිදු වූ අයුක්තිය, යුද්ධය විසින් බිලිගත් ජීවිතවල ඛේදවාචකය ඔහුගේ කවි සහ නවකතාවලට නිරන්තරයෙන් තේමා වේ.
