Skip links

අපේ භූමිය

මගේ කතාව ඇරඹියේ මේ බිම මතයි.

මුහුදේ ගසාගෙන ගිය
ගස්වල මුල් යට තිබූ පස්
දැන් මෙහි නග්නව වැතිර හිඳී.

ග්‍රීෂ්ම ම දිනවල පවා
ජනයා සැහැල්ලුවෙන් ඇවිද ගිය බිමක්
දින කිහිපයකින්,
සිය බස වෙනුවට වෙන බසක් පැටවූ
රටකි.

මේ අපේ බිම තුළ
පොල් ගස් හෝ කූඩාරම් හෝ නැත.

තනි තනි කතා පවා
දැන් සිර බාරයේ.
ඒත් මහා ආඛ්‍යානය
නොනැවතී පවතින බව
හඬක් මට පවසයි.

සිඳී ගිය මුහුද.
භූමියක් නැති දෙමළකම.
නමක් නැති නෑදෑකම.

රුද්‍රමූර්ති චේරන්
පරිවර්තනය-  සංජුලා පීටර්ස්
සිතුවම- කනගසූරියර් ප්‍රදීප් කුමාර්

 

1960 වසරේදී යාපනයේ අලවෙට්ට්හිදී උපත ලැබූ රුද්‍රමුර්ති චේරන් කෘතහස්ත දෙමළ කවියෙකි. නාට්‍ය රචකයෙකි. මාධ්‍යවේදියෙකි. විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකි.

දෙමළ ජනයාට එරෙහි රාජ්‍ය මර්දනය ප්‍රචණ්ඩකාරී ලෙස පැතිර ගිය සමයක තම ප්‍රජාව වෙනුවෙන් කාව්‍යකරණයේ යෙදෙන චේරන් 1975 සිට මේ දක්වා කවි 500කට අධික ගණනක් නිර්මාණය කරනු ලැබ තිබේ. එම කවි භාෂා කිහිපයකට ද පරිවර්තනය වී ඇත. ඔහුගේ කවි අතර ලංකාවේ වාර්ගික ප්‍රචණ්ඩත්වයට ලක් වූ පීඩිත ජන කොටස්වලට යුක්තිය ඉල්ලීම සම්බන්ධයෙන් වන සාහිත්‍යමය මැදිහත්වීම් දෙමළ සාහිත්‍යය තුළ පමණක් ජාත්‍යන්තර ව ද ඇගයුමට ලක්ව තිබේ. 80 දශකයේදී මව්බිම හැර යන චේරන් දැනට කැනඩාවේ පදිංචි ව සිට්යි. 2025 වසරට ඔහු සාහිත්‍යකරණයට පිවිසී වසර 50කි.

1984 වර්ෂයේදී චේරන් විසින් රචනා කරන ලද, ‘ අපේ භූමිය’ නමින් සිංහලට පරිවර්තනය වෙන මෙම කවිය නුදුරු දිනයකදී එළි දකින ඔහුගේ තෝරා ගත් කවි එකතුවක සිංහල පරිවර්තනය වූ ‘ ළසෝ දියවෙන භුමිය’ පරිවර්තිත කාව්‍ය සංග්‍රහයේ එන්නකි. මෙම කෘතියේ අඩංගු වන්නේ චෙල්වා කනගනායගම්, ලක්ෂ්මි හෝම්ස්ට්රෝන්ග්, සාෂා එබෙලිං, අනුෂියා රාමස්වාමි සහ ගීතා සුකුමාරන් විසින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කළ කවි එකතුවක සිංහල පරිවර්තනයි. පරිවර්තිකාවක, සමාජ ක්‍රියාකාරිනියක සහ නීතිඥවරියක වූ සංජුලා පීටර්ස්ගේ පරිවර්තනයක් වන ‘ ළසෝ දිය වෙන භූමිය’ ව්මර්ශි ප්‍රකාශනයකි.

Leave a comment

This website uses cookies to improve your web experience.