Skip links

”මනුෂ්‍යයෙක් අතින් ගහන පින්සල් පාරක පෞරුෂය පරද්දන්න AIවලට බැහැ” ! .

80 දශකයේදී ඇරඹුණු විදුසර විද්‍යා පුවත්පතෙහි පළවූ විද්‍යා කාටූනය එවක අතිශයින් ජනප්‍රිය විය. විදුසර පුවත්පත සඳහා අනන්‍යතාවයක් ලබා දුන් එම කාටූන් නිර්මාණය කළේ දර්ශන කරුණාතිලක විසිනි. එමෙන්ම ඔහු ආරම්භක කර්තෘ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පුවත්පතේ හැඩය සහ ඊට ගුණාත්මක බව ලබා දීම වෙනුවෙන් ද විශාල දායකත්වයක් සැපයූ ජනමාධ්‍යවේදියෙක් විය. මේ, ඩිජිටල් යුගයට පෙර ඔහුගේ වෘත්තිමය දිවිය අළලා කරන ලද සංවාදයක් සහ ඔහු විසින් ලියන ලද ‘එදවස මතක’ සටහනකි.

1. විද්‍යා පුවත්පතක් සඳහා කාටූනයක් නිර්මාණය කිරීම අභියෝගාත්මක වැඩක්. ඒකට පසුබිම හැදුණෙ කොහොමද කියන තැනින් අපි කතාව පටන් ගනිමු.

ඒ කාලෙ වෙනකොට The Island පුවත්පතට සාමාන්‍ය රේඛා චිත්‍ර අඳිමින් හිටපු මට කාටූන් ගැන උනන්දුවක් ඇතිවෙලා තිබුනෙ. ජයන්ත චන්ද්‍රසිරි මහතා සංස්කරණය කළ නවලිය සිනමා අතිරේකයටත්, අසෝක ගුණතිලක මහතා සංස්කරණය කළ දිවයින ක්‍රීඩා පිටුවටත්, පද්මා වේරගොඩආරච්චි මෙනෙවිය සංස්කරණය කළ දිවයින පුවත්පතේ අධ්‍යාපනය පිළිබඳ සංවාද පිටුවටත් ඒ ඒ ක්ෂේත්‍රවලට අදාළව කාටූන් අඳින්න අවස්ථාව ලැබිලා තිබුණා.

ඒ වෙනකොට මම ස්ථිර සේවකයෙක් නොවේ. පාසලෙන් පිටවී වැඩි කලක් ගත වී නෑ. මට ගෙවීම් කෙළේ මම අඳින තරමට. පුළුවන් තරම් වැඩ කරන්නත් කැපවීමෙන් හැමවිට ම හොඳ නිර්මාණයක් කරන්නත් මට වුවමනාවක් තිබුණා.

විදුසර විද්‍යා සඟරාවේ සංස්කාරක අනුර සිරිවර්ධන මහතා මට කීවා විද්‍යාව සම්බන්ධ කාටූන් එකක් අඳින්න. කාටූන් ශිල්පීන් එකල සුලබ නොවීමත්, මම උනන්දුවෙන් ඒක කරාවි කියන විශ්වාසය නිසාත් වෙන්න පුළුවන් ඒක පැවරුවෙ. මේ වෙනකොට මම චිත්‍ර ශිල්පියෙක් හැටියට විදුසරට ඇතුළුවෙලා හිටියෙ.

2. ඔබ පුවත්පතට කාටූනය ඇන්දෙ සමාජ මාධ්‍ය තිබුණු නැති යුගයක. ඉලෙක්ට්‍රොනික මෙවලම් අවම වශයෙන් තිබුණ යුගයක. සතිපතා ඒ වැඩේ කෙරුණ කොහොමද? ඒ කියන්නෙ අදයි එදයි සන්සන්දනය කළොත් දැනෙන්නෙ කොහොමද?

සමාජ මාධ්‍ය නොතිබුණාට කාර්යාලයට ඇතුළු වුනාට පස්සෙ අවශ්‍ය තොරතුරු සොයාගන්න කිසිම බාධාවක් තිබුණෙ නෑ. බොහෝ ඇසූ පිරූ තැන් ඇති අය හිටියා. සියලුම පුවත්පත් හා සඟරා කියවන්න අවස්ථාව තිබුණා. ඩිස්කවර්, සයන්ටිෆික් අමෙරිකන්, නිව් සයන්ටිස්ට් ආදී සඟරා විදුසර වෙනුවෙන් ම කළමනාකාරිත්වය මගින් ලැබෙන්නට සලස්වා තිබුණා. අමෙරිකානු හා එංගලන්ත විශ්වකෝෂ පරිශීලනය කරන්න ඉඩ ලැබුණා. අන්තර්ජාල පහසුකම් තිබේ නම් ඒක වාසිදායකයි තමයි. ඒත් එදා එය නොතිබීමේ අඩුවක් දැනුනෙ නෑ.

එක සතියක වැඩ ආරම්භ කළ දවසෙ ඉඳලා කල්පනා කරමින් ඉන්නෙ මොකක්ද අඳින්නෙ කියලා. හැකිතාක් දුරට කාලීන මාතෘකාවක් පාදක කරගන්න උත්සාහ කළා. අනෙක් සියලු වැඩ කරන ගමන් කල්පනා කළා. ගෙදර යන අතරේ, කන බොන නාන අතරේ හෝ වැඩට එන අතරේ ඉඩ ලැබෙන පරිදි කල්පනා කරන්න යෙදුණා. බොහෝ විට අඳින්නෙ අන්තිම දවසේ.

අන්තිම දවස වෙනකොට හිතේ තියෙනවා මොකක්ද තෝරාගන්න මාතෘකාව කියන එක. වඩා හොඳ මාතෘකාවක් කල්පනා නොවුනොත් මේක අඳින්නෙ කියලා හිතාගෙන ඉන්නෙ.

ඒ අතරේ අනෙක් පිටු සැලසුම් හා ඒවාට ඈඳුණු කටයුතුවලත් අන්තිම දවස එදා. ඉලෙක්ට්‍රොනික් මෙවලම් නැතිව කෙරෙන නිසා ඒවාට ගතවෙන වෙලාවත් වැඩියි. ඔය අස්සෙ අලුත් සංකල්පයක් ආවොත් අනෙක් වැඩ අස්සෙ කල්පනා කරමින් ඉන්නෙ මේ කතාව කොහොමද අවම කාලයකින් ඇඳලා ඉදිරිපත් කරන්නෙ කියන විදිය ගැන. රූප රාමු හයක් හෝ හතරක් නැතුව එක රූපයකින් කියන විදිය ගැන. ඒ තනි රූපයත් අවම රේඛා ප්‍රමාණයකින් නිමා කරන විදිය ගැන.

කළු හා සුදු චිත්‍රය පින්සලෙන් ඇඳලා හමාර වුණාට පස්සෙ වර්ණ යෙදුවෙ වෙනම කඩදාසියක, කළු හා සුදු චිත්‍රයට සමාන්තර සටහනක් ඒක. ඒ කොටස C, M, Y, K හැටියට වර්ණ විභේදනය කරන්නට යවනවා නිෂ්පාදන අංශයට. ඔවුන් එය කළු හා සුදු චිත්‍රයට එකතු කරනවා.

මුල් චිත්‍රයේ ම වර්ණ නොයොදන හේතුවක් තිබෙනවා. ඒ වර්ණ විභේදනයේදී කළු පැහැය පවා C, M, Y, K හැටියට බෙදෙන නිසා. එහි ප්‍රතිඵලය වන්නේ කළු පැහැයට C, M, Y යන වර්ණත් එකතු වීම. යම් හෙයකින් වර්ණ හතර නිසි පරිදි එකතු නොවී ඈත් වීමක් වුනොත් කළු පාටින් පමණක් තිබිය යුතු රේඛා වර්ණ හතරකින් වෙන් වෙන් ව පේනවා. එනම් සම්පූර්ණ මහන්සිය වතුරේ!

දැන් මේ ගැටලුව නෑ. අඳින ලද කළු සුදු චිත්‍රය ස්කෑන් කොට අපට ම පරිගණකයට ඇතුළත් කළ හැකියි. එයින් පසු අවශ්‍ය පරිදි වර්ණ යෙදිය හැකියි. වැරැදීමක් වුනොත් අවශ්‍ය වෙනස්කම් කළ හැකියි.

දැන් වැඩ කරනකොට ගෙදර ඉඳලා ඇඳලා විද්‍යුත් තැපැල් මගින් යවන්න පුළුවන්. ඒත් පෞද්ගලික කටයුතුවලට ඉලෙක්ට්‍රොනික් මෙවලම් යොදාගැනීම නිසා එදාට වඩා වැඩි දේවල් අද දින චරියාවට එකතු වෙලා. අලුත් විනෝදාංශ හා විෂයයන් ගැන තොරතුරු වගේම අපි නිරත වෙලා ඉන්න ක්ෂේත්‍රයට අදාළ දැනුම සොයන කටයුතු නිසා අපි කාර්යබහුල වෙලා. ඒ නිසා තවමත් කාටූන් එකක් අඳිනවනම් ඒ අඳින්නෙ අන්තිම දවසෙ, අන්තිම මොහොතෙ.

මූලික වෙනස තියෙන්නෙ කාර්යාලයට යාමක් තවදුරටත් අවශ්‍ය නැති වීම.

3. ඔබේ කාටුන් සරල විදිහට පෙනුණත් ගැඹුරු අරුත් දනවන බවයි අපේ අදහස. නමුත් ඔබ ම වරක් සමාජ මාධ්‍යයක ලියල තිබුණ විදිහට ඇතැමෙකුට ඒවා තේරුම් ගැනීම තරමක් අසීරු විය හැකියි. පාඨක ප්‍රතිචාර සම්බන්ධයෙන් ඔබ ලබල තියෙන අත්දැකීම් මොනවද?

1996 දි ලංකාවෙ ඇතිවුණු විදුලි අර්බුදය නිසා වෙලාව පැය භාගයක් ඉස්සරහට ගන්න රජය ක්‍රියා කළා. මේකට මම ඇන්දෙ කෙනෙක් නිදාගෙන හිටපු කුකුළෙකුට “කම්මැලියා” කියලා පයින් ගහලා කුකුළා වීසිවෙන ජවනිකාවක්. අපට උදේ 4:00 වෙනකොට කුකුළාට තවම 3:30යි. එයා තවමත් නිදි.

මේක පළවුණු දවසෙ මම හිටියෙ එක ආයතනයකට ගිහින්. එහි ආලින්දයෙ කිහිප දෙනෙක් කතා කරමින් හිටියා. පත්තරේ බලමින් සිටි අයෙක් මේ කාටූන් එකෙන් කියන්නෙ මොකක්ද කියලා හිතා ගන්න බැරි බව කීවා. ඒ කෘෂි විද්‍යා උපාධිධාරියෙක්. එතමාට කාටූන් එක ගැන පැහැදිළි කරලා දුන්නේ එතැන හිටපු තරුණ රියදුරු මහතෙක්.

අදටත් පත්තර කියවපු පාඨකයොයි, ජංගම දුරකථන ලෝලියොයි අතර මේ වෙනස තියෙනවා. විශ්ව විද්‍යාලෙදි කථිකාචාර්යවරු අපට කියනවා නිතර පොත් පත්තර කියවන්න කියලා. ඒත් කියවන පිරිස අඩුයි. සිතා බැලීමටත් කම්මැලියි.

මා ළඟ තිබුණු පත්තරේ දැකලා දවසක් මිතුරු ශිෂ්‍යාවක් පුදුම වුණා. “අනේ මේ පත්තර මිනිස්සු බලනවද” කියලා. එතකොට අපේ පත්තරේ අළෙවි වාර්තා තියපු ජනප්‍රිය ප්‍රකාශනයක්.

අතිශයෝක්ති. වක්‍රෝක්ති, උපමා උපමේය නොතේරෙන අය අනන්තවත් ඉන්නවා. ඒව දන්න අය පවා ඉන්නවා සමහර සංකල්ප නොතේරෙන.

උදාහරණයක් කියනවා නම් වරක් එක දේශපාලන පක්ෂ නායකයකුට විරුද්ධ ව පක්ෂය තුළ විශාල විරෝධයක් මතු වුණා. ඔවුන් යෝජනා කළේ ‘සාමූහික ප්‍රතිපත්තියක් සම්මත කරගෙන පක්ෂය ප්‍රතිසංවිධානය කරමු’ කියලා. නායකයා කිව්වා ‘මම සාමුහික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කරලා තියෙන්නෙ, ඒකට විරුද්ධ අය කවුද කියන්න!’ කියලා. මේ සම්බන්ධ ව මම එතුමා අතට මුගුරක් දීලා කාටූන් එක ඇන්දා. සාමූහික ප්‍රතිපත්තියක් තනියම හදන්නෙ කොහොමද කියල නොතේරුණු අය හිටියා.

ආර්. කේ. නාරායන්ගෙ හෝ කුෂ්වන්ත් සිංගේ ප්‍රහාරයකට ලක්වුණාට දැනෙන්නෙ නෑ, බින් ලාඩන් ම එන්න ඕන.

ඒ වගේ ම මම කියන දේ වැඩිදුරටත් ඉදිරියට හිතන අයත් හමුවෙලා තියෙනවා. දුටුගැමුණුලා වාතයක් වුණු කාලෙක කාටූන් එකක් ඇන්දා පුවත්පත් දැන්වීමක් විදියට, “අනේ එළාර ඔබ කොහිද?” කියලා. ටෙලිවිශන් එකේ සම්මුඛ සාකච්ඡාවකදි සංඛ අමරජිත් මහතා මගෙන් ඇහුවා ‘මේ කියන්නෙ එළාරලා මේ යුගයට අවශ්‍යයි කියන එක නේද?’ කියලා. ඒ එහෙම අවස්ථාවක්.

සමාජ මාධ්‍ය නිසා මට අඳුනාගන්න ලැබුණා මම ඇඳපු කාටූන් තේරුම්ගත්ත හා රස විඳපු අය බොහොමයක් දෙනා. විශිෂ්ට සංගීතඥයකු වන නදීක ගුරුගේ මහතා කීවේ ඔහු පාසල් ශිෂ්‍යයකු ලෙස මහත් අභිරුචියෙන් විදුසර පරිශීලනය කළ බවයි. මම ඇඳපු සමහර කාටූන් ඔහුට කටපාඩම්.

හැමදෙනාට ම තේරෙන කාටූන් අඳින්න හරිම ලේසියි, දවසකට හතක් අටක් වුනත්. ඒකට හිත හදාගන්න බැහැ. ඒත් අවසාන වශයෙන් සුළු පිරිසකට පමණක් ගෝචර වන කාටූන් අඳින එකත් නොකළ යුත්තක්. පණිවුඩය වැඩි පිරිසකට ගිය තරමටනෙ ප්‍රතිපල තියෙන්නෙ. ඒ නිසා හැකිතාක් දුරට ඒ කුලකයේ අයට තේරුම් යන විදියටත්, තේරුම් ගන්නා අයට රස විඳින්න හැකි වෙන ආකාරයටත් නිර්මාණ කරන්න උත්සාහ කරනවා.

4. කාටූන් වාරණය වුණු වෙලාවල් තිබුණද ? නැත්නම් ස්වයං වාරණයක් පනවා ගත් අවස්ථා තිබුණද?

වාරණයක් කියන්න බැහැ, යම් ප්‍රායෝගික ගැටළු නිසා හෝ ආවේග මුසු වීමෙන් රසය යටපත් වූ නිසා පළ නොවූ අවස්ථා කිහිපයක් තිබෙනවා. තෝරාගන්නා මාතෘකාවට පක්ෂපාතිත්වය තිබෙන්න පුළුවන් සහ එය පෙන්නන්න පුළුවන්. නමුත් ශිල්පියා ආවේගශීලීව ඒකට බැඳිලා ඉන්නවා නම් රසය ඉස්මතු කිරීම අඩාල වෙන්න පුළුවන්. අනෙක් අතට කාටූන් එක හොඳ වෙලා, පළ වුනත් පාරෙ යන අතරමගදි තාප්පයක් කඩා වැටිලා අනතුරක් වුනොත්?

ද්වේෂයක් මතු වෙන ආකාරයට හෝ එයට අනුබල දෙන විදියේ නිර්මාණ මම කරන්නේ නෑ. එහෙම වුනොත් එය කලා නිර්මාණයක් වෙන්නෙත් නෑ. හැකිතාක් උපහාසය තමයි ඉලක්ක කරන්නෙ. යම් අයකුට තමන්ට හදාගන්න බැරි ශාරීරික ආබාධයක් වගේ දෙයක් උපහාසයට ලක් කරන්නෙ ම නැහැ.

මම වැඩි ම අවස්ථාවක් කාටූන් ඇඳලා තියෙන්නෙ අනුර සිරිවර්ධන මහතාත්, සුන්දර නිහතමානි ද මෙල් මහතාත්, පාලිත අමරසූරිය මහතාත් සංස්කාරකවරුන් හැටියට සිටි ප්‍රකාශනවලට. මගේ වාසනාවකට මොවුන් වගේ ම මට වැඩ කරන්නට ලැබුණු අවශේෂ පුවත්පත් හෝ පිටු සංස්කාරකවරුන් සෑම අයෙක් ම කාටූන් ගැන හොඳ අවබෝධයක් ඇති අය.

මේ කාලෙ ස්වයං වාරණයක් පනවාගෙන ඉන්නෙ. මගේ හිතවතෙක් කිව්වා දැන් ආයතනයක රැකවරණයකුත් නැති නිසා ඔය සමාජ මාධ්‍යවල කාටූන් ඇඳලා නැති ප්‍රශ්න ඇති කරගන්න එපා කියලා. ඒ කතාව කිරලා මැනලා බලලා අවබෝධ කරගෙන ඉන්නෙ.

5. චිත්‍ර ශිල්පියෙක් සහ කාටුන් ශිල්පියෙක් කියන්නෙ වෙනම මානයන් ( dimensions) වල වැඩ කරන දෙන්නෙක්. සමහර විට එක්කෙනාම මේ මාන දෙකේම වැඩ කරනවා වෙන්න පුළුවන්. ඒක යම් අභියෝගයක් ද? ඒ ගැන ඔබේ නිර්මාණකරණය ඇසුරෙන් පැහැදිලි කළ හැකි ද?

ඉතා හොඳ ප්‍රශ්නයක්. මම මේ අභියෝගයට මුහුණ දෙන කෙනෙක්. දකින දේ ඒ හැටියට ම චිත්‍රවලදී අඳින්නත් කාටූන් වලදී එයින් ඔබ්බට ගිය ශෛලියකින් අඳින්නත් වෙනවා.

ඒ හැරුණු විට වාණිජ අවශ්‍යතා සඳහා වෙනම කාටූන් ශෛලියකින් අඳිනවා. එය බොහෝ දෙනා ඉල්ලා සිටින හුරුබුහුටි පෙනුමක් ඇති රූප සහිත ශෛලියක්. චරිතාලේඛ්‍ය (caricatures) අඳින ශෛලිය තවත් වෙනස්. මම එබඳු පුද්ගල චරිත අතිශයෝක්තිය වඩාත් එක් කොට අඳිනවා. මේවා සම්පූර්ණයෙන් ම එකිනෙකට වෙනස් ශෛලීන් හතරක්.

ස්වාභාවික චිත්‍රයකදී රසිකයෙක් ඒ දකින දේ හරහා ගොස් ඒ තුළින් උපද්දන හැඟීම්, චිත්තවේග ඔස්සේ රස විඳින්නෙ. කාටූන් එකකදී අපි රසිකයා වෙනස් පරාසයකට ගෙනියනවා. සාමාන්‍යයෙන් අපට හුරු පුරුදු දිග පළල මිනුම් එහිදී නොසලකා හරිනවා පමණක් නොවෙයි අපි කියන කාරණයට අවශ්‍ය විදියට ඒවා වෙනස් කරනවා. සමාධිගත වෙලා ඉන්න මිනිහගෙ කපටි මූණ එළියට ගන්නවා.

මෙහෙම වැඩ කරනකොට කාටූන් ඇඳ ඇඳ ඉඳලා සාමාන්‍ය චිත්‍රයක් අඳින්න ගියාම ඒකෙ කාටූන්වලට ආවේණික ලක්ෂණ සුළු වශයෙන් පෙන්නුම් කරනවා. සාමාන්‍ය චිත්‍ර අඳිමින් ඉඳලා කාටූන් අඳින්න ගියාම කාටූන් එකට අවශ්‍ය රිද්මය නැතිව සාමාන්‍ය චිත්‍රයකට ඇති නෑකම වැඩි වෙනවා.

දැන් මගේ අවධානය වැඩිපුර තියෙන්නෙ තෙල් සායම් චිත්‍රවලට. එයිනුත් පුද්ගල ආලේඛ්‍ය චිත්‍රවලට. ඒක පටන්ගත්තම වෙනම ලෝකයක ඉන්නවා වගේ. සංගීතයට සවන් දෙමින් සිත සන්සුන් කරගෙන කරන දෙයක් නිසා මේ ගැටලුව නෑ. නමුත් යම් සේවාදායකයකුට අවශ්‍ය චිත්‍රයක් හෝ ඉක්මනින් කළ යුතු වැඩකදී මේ ගැටලුව මතු වෙනවා.

එහෙම අවස්ථාවක සරල, මූලික, දළ සටහනක් ගහගෙන විරාමයකට යන්න ඕන. ආපහු ආවම ඒ අඩුපාඩු දකින්න සහ නිවැරැදි කරගන්න පුළුවන්.

කාටූන් අඳින්න ගියාම මේ තත්වයට බොහෝ විට මුහුණ පාලා තිබෙනවා. දළ සටහනක් ගැහුවට පස්සෙ අත්‍යවශ්‍යයෙන් ම කෙටි විරාමයකට යා යුතුයි. අවධානය වෙනස් කරගත යුතුයි. තේ එකක් බීලා එන්න හරි බල්ලො එක්ක සෙල්ලම් කරලා එන්න හරි ගිහිල්ලා ආපහු ආවම කලින් සටහනේ අඩුපාඩු පේනවා.

මැච් එකක් ගහන්න කලින් ක්‍රීඩකයෙක් මානසික ව හා ශාරීරිකව සූදානම් වෙන හැටි අපි දැකලා තියෙනවනෙ. වෝම්-අප්, නැත්නම් උණුසුම් වීම අවශ්‍යයි. සමහර කාර්යාල සේවකයොත් ටිකක් වැඩ කරලා බොන්න යන්නෙ රත්වෙන්න ඕන කියලා. ආපහු ආවම ගොඩක් අඩුපාඩු පේනවා.

මේක අවබෝධ කරගෙන හිටියට ක්‍රියාත්මක කරන්න ලැබුණේ ඉතාම කලාතුරකින්. මොකද හැමදාම කාටූන් එක අඳින්නෙ අන්තිම දවසෙ. අන්තිම මොහොතෙ.

6. AIවලින් නිර්මාණය වූ කාටූන් සහ චිත්‍ර විශාල වශයෙන් සමාජ මාධ්‍යය හරහා දකින්න ලැබෙන යුගයක් මේක. ඔබට ඒ ගැන යම් පුරෝකථනයක් කළ හැකි ද?

අවම කාලයකිත් උපරිම වැඩ කොටසක් AI තුළින් කරන්න පුළුවන්. චිත්‍ර ශිල්පියෙක් හෝ කාටූන් ශිල්පියෙක් වගේ හිතනවා නම් සම්පූර්ණයෙන් ම වෙනස් දෑ මිශ්‍ර කරලා රසිකයින් වෙනම ම ලෝකයකට ගෙනියන්න පුළුවන්. එහෙම වුනත් කෙටි කලකින් ඒ නිර්මාණ ඒකාකාරී වෙන බවයි මගේ විශ්වාසය. බොහෝ විට ඒ තත්වයන්ට අනුරූප ව AI වැඩි දියුණු වේවි. නමුත් මිනිස් මොළය අබිබවා යන්න බැහැ. මනුෂ්‍යයෙක් අතින් ගහන පින්සල් පාරක පෞරුෂය පරද්දන්න බැහැ.

සංගීත භාණ්ඩවලින් උපද්දන සංගීතය දැන් කොයිතරම් දියුණුද? රිචඩ් ක්ලේඩමන් හෝ අන්ද්‍රෙ රියුගේ සංගීතය කොයිතරම් මිහිරි වුනත් එක මොහොතක අපට ඒකාකාරී බවක් දැනෙනවා. නමුත් සෙලින් ඩියොන්, ට්‍රේසි චැප්මන්, රුක්මණී දේවි හෝ ක්‍රිස්ටීන් මැක්වීගෙ කට හඬ පරද්දන්න බෑ. නැවත නැවත ඇහුම්කන් දුන්නත් එපා වෙන්නෙ නෑ. අද මිනිස්සු හැකියාවට තැන දුන්නට, සොබා දහම මිනිස්සුන්ට අනුකම්පා සහගත ව මානුෂීය විදියට සලකන්න වග බලාගෙන තියෙනවා.

7. විදුසර පුවත්පත කියන්නෙ එක්තරා යුගයක් නියෝජනය කළ විශේෂ පුවත්පතක්. ඔබට එහි මුල් කවරය සහ පිටු සැලසුම් නිර්මාණ ශිල්පියා විදිහටත් අනන්‍යතාවක් ගොඩනැගුණා. ඒ, මුල් ම විදුසර යුගය ගැන තිබෙන විශේෂ මතකයන් මොනවද?

අපි කුඩා කණ්ඩායමක් සෑහෙන වැඩ කොටසක් කළ කාලයක්. මම ඉස්කෝලෙන් අස්වෙලා වැඩි කලක් ගතවෙලා තිබුණෙ නෑ ඒකට සම්බන්ධ වෙනකොට. පිටු සැලසුම් ගැන පුහුණුවක් තිබුනෙත් නෑ. ඒ දවස්වල ටෙනිස් ගහන පිස්සුවක් තිබුණා. කැම්පස් වහලා තිබුණේ එතකොට. The Island පත්තරේ චිත්‍ර ඇඳලා ඒ ආදායම යොදලා ටෙනිස් ගහන්නයි හිටියෙ. උදේ පුහුණුවීම්වලට ගිහිල්ලා තමයි ඒ දවස්වල කාර්යාලයට ගියේ. පූර්ණකාලීන රැකියාවක් කළොත් ටෙනිස් ගහන්න බැරි වෙන නිසා මගේ ලොකු උනන්දුවක් තිබුණෙ නෑ. අනුර සිරිවර්ධන මහතා කියපු නිසා එකතු වුණා. එතුමා සෑම අවස්ථාවක ම විශාල සහයෝගයක් දුන්නා. වෙන ආයතනයක වැඩ කරනකොට නොලැබෙන තරමේ පරාසයක වැඩ කරන්න අවස්ථාව සළසා දුන්නා.

සාමාන්‍යයෙන් පුවත්පතක අක්ෂර වින්‍යාස ගැටලු මග හැරීම ඉතාමත් අසීරුයි. නමුත් විදුසර හි එවැනි අඩුවක් දකින්නට ලැබුණු අවස්ථාවක් ගැන මට මතකයක් නෑ. එවැන්නක් සඳහා ඉඩ නොතැබීමට සිරිවර්ධන මහතා ඉතාමත් පරීක්ෂාකාරී වුණා සේම අන් සියලු දෙනාටත් අවධාරණය කොට සිටියා.

පිටු සැලසුම් කිරීමේ දී ඒ ගැන ඉගෙනගන්න, සොයන්න බලන්න වෙලාවක් තිබුණෙ නෑ. වැඩ කරලා ම තමයි ඉගෙන ගත්තෙ. මම පාඨකයෙක් නම් කොහොමද මේ පිටුව තිබිය යුත්තේ කියන අදහස මූලික කරගෙන කළේ. ජයන්ත චන්ද්‍රසිරි මහතා නවලිය සිනමා අතිරේකය කළ ආකාරය නිසා තමයි මම පිටු සැලසුම් කියලා දෙයක් ඇති බව දැනගත්තෙත්. ටයිම්, නිව්ස්වීක්, ඉලස්ට්‍රේටඩ් වීක්ලි වගේ සඟරා නිසා පිටු සැලසුම්කරණය ගැන අදහසක් ආවා. නමුත් අපේ ප්‍රකාශනයේ දිග පළල වෙනස් නිසා ඒවා අනුකරණය කරන්න බැහැ. එයින් පසු විනී හෙට්ටිගොඩ මහතා සමග කතා බහ කිරීමෙන් පිටු සැලසුම්කරණය හා දැන්වීම් කලාව සම්බන්ධ දෑ දැනගැනීමටත් හැකියාව ලැබුණා.

නොයෙක් විදියේ අත්හදා බැලීම් කරන්න සිරිවර්ධන මහතා නිදහස දීලා තිබුණා. මුල් පිටුව චිත්‍රවලින් හෝ ඡායාරූප යොදාගෙන කරන්න යොමු වුණා. මේ නිසා ඡායාරූප ශිල්පය ඉගෙන ගත්තා. මුල් පිටුව ගැන අන් අය කතා බහ කරන මට්ටමට එන විදියේ නිර්මාණ කරන්න මේ කාලයේ දි අවස්ථාව සැලසුණා.

විදුසර ප්‍රවර්ධනය සඳහා සතිපතා ම දැන්වීම් නිර්මාණය කරන්නට මට භාර වුණා. ඒ හේතුවෙන් දැන්වීම් කලාව ගැන පොත් පත් බලන්නටත් යොමු වුණා. පිටපත් රචනය, අකුරු වගේ ම නිර්මාණ සහ කලා අධ්‍යක්ෂණය ගැන පවා අවබෝධයක් ලබාගන්න කටයුතු කළා.

ඇල්මැරුණු ස්වභාවයකින් ප්‍රකාශනය පවත්වාගෙන යාම සිරිවර්ධන මහතාගේ ක්‍රමය නෙවෙයි. ඔහුගේ ජවය පත්තරය ඔස්සේ පාඨකයින්ට දැනෙනවා. මේ නිසා පෝස්ටර්, පුවත්පත සමග දෙන පොත් පිංචක් හෝ මුද්‍රිත තිළිණයන් ආදී දෑ නිර්මාණය කිරීමට මට අවස්ථාව ලැබුණා.

මේ පිටු සැලසුම් හා නිර්මාණවල සාර්ථක බව මා විසින් ම කීම ඔබට නීරස විය හැකියි. ඒ නිසා එයින් සිදුවූ ප්‍රතික්‍රියා මොනවාද යන්න කියන්නම්.

පිටු සැලසුම් ගැන සාමාන්‍ය පාඨකයෝ දන්නෙ නෑ. පාඨකයෝ පත්තරේ දැකපු හැටියෙ මිලදී ගන්න පෙළඹෙනවා නම් හෝ පහසුවෙන් සහ උනන්දුවෙන් කියවනවා නම් එයින් ගම්‍ය වන්නේ පිටු සැලසුම් සාර්ථක බවයි. වරක් මාධ්‍යවේදීන්ගේ රැස්වීමකදී බන්දුල පද්මකුමාර මහතා මට මුණ ගැසුණා. මා විදුසර කර්තෘ මණ්ඩලයෙන් බව දැනගත් වහාම ඔහු ඇසුවේ “කවුද පිටු සැලසුම් කරන්නේ?” කියා.

සිරස්තල, ඡායාරූප හා ලොකු අකුරින් යොදන උපුටා දැක්වීම් පාඨකයින්ගේ අවධානය ලබාගන්නවා තමයි. නමුත් පිටු සැලසුම දුර්වල නම් පාඨකයින් ආකර්ෂණය කරගැනීම අසීරුයි. ඒ වගේ ම පිටු සැලසුම් කියන්නෙ නොයෙකුත් පාට යෙදීමත් නෙවෙයි.

සාමාන්‍යයෙන් පුවත් පත් කියවන, පොත පත ඇසුරු කරන අයගෙන් බාහිර ස්ථරවල අය මට ඒ කාලෙ මුණගැහිලා තිබුණා. “කියවන්නටත් වෙලාවක් නැත්නම් ඇයි පත්තරේ එකතු කරන්නෙ?” කියලා මම ඇහුවා. “ළමයි ලොකු වුණාම එයාලට ප්‍රයෝජනවත් වේවි” කියලා එහෙම කෙනෙක් කිව්වෙ.

කැපවීමෙන් හා වෙහෙස නොබලා වැඩ කිරීම නිසා අපට අනෙක් අයගේ ආදරය හා ගෞරවය ලැබුණා. අපේ කණ්ඩායමේ සිටි සියලුම දෙනා මට වඩා සංයමයෙන් යුක්ත හා ආචාරශීලී අය නිසා ඔවුන් සමග කටයුතු කිරීමට ලැබීමත් හරිම ආස්වාදයක්. ඔවුන්ගෙන් මා ඉගෙනගත් දේ බොහොමයි.

දිනකට පැය අටකට වඩා වැඩ කරන්න යෙදුනත් සුරා පානය කරන අය අප අතර හිටියෙ නෑ. නිශ්චිත කාල සීමාවකදි වැඩ අවසන් කිරීමට තිබූ අවස්ථා සතිපතා යෙදුනත් පීඩනය සමනය කරගැනීමට දුම්වැටි උරන අය අප අතර හිටියෙත් නෑ.

හැමෝම තමන්ගෙ පාඩුවෙ තමන්ට අදාළ දේ විතරක් කරලා හිටියෙ නෑ. කණ්ඩායමේ අනෙක් සාමාජිකයකුට වැදගත් දෙයක් දැක්කොත් ඒක දැනුම් දෙනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවකට ගියත් අනෙක් අයකුට වැදගත් වෙන තොරතුරක් තිබුනොත් ඒ අදාළ කරුණු පවා අරගෙන එනවා. පූර්ණකාලීන නොවන අය පවා ඒ විදියේ දායකත්වයක් දුන්නෙ.

සංවාදය – කත්‍යානා අමරසිංහ

Leave a comment

This website uses cookies to improve your web experience.