Skip links

“ලේඛණ පරිවර්තකයෙකුට තිබෙන නිදහස කථන පරිවර්තකයෙකුට නෑ” – එස්. සිවගුරුනාදන්

දශක හයකට ආසන්න කාලයක් තිස්සේ ලේඛන සහ කථන පරිවර්තකයෙකු /අර්ථකථකයෙකු  (Interpreter) ලෙස කටයුතු කළ එස්. සිවගුරුනාදන් ලංකාවේ දෙමළ බස කතා කරන ජනයාගේ ජීවිතවල යථාර්ථය, ඔවුන්ගේ සංස්කෘතිය සහ පීඩිතභාවය සිංහල සමාජයට සන්නිවේදනය කිරීමට පුරෝගාමී වූ ප්‍රවීණයෙකි. වාමාංශික මතධාරියකු වූ සිවගුරුනාදන් කිසිදු කලෙක වරදාන, වරප්‍රසාද පතා තම ප්‍රතිපත්ති පාවා නො දුන්, ඉතා චාම් සරල දිවි පැවැත්මක් සහිත ව නිහඬ මෙහෙවරක යෙදුණේය.

ත්‍රෛ භාෂා පරිවර්තකයෙකු වශයෙන් පමණක් නොව මෙරට විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කළ ඔහු වාර්ගික අර්බුදය සම්බන්ධයෙන් ව්‍යාජ සංහිඳියාවෙන් බැහැර ව, යථාර්ථවාදී දැක්මක් සහිත ව ක්‍රියා කළ සාම ක්‍රියාධරයකු මෙන් ම සමාජ ක්‍රියාකාරිකයකු වශයෙන් ද ප්‍රකට ය.
සැප්තැම්බර් මස 03 වැනිදාට යෙදෙන ඔහුගේ 80 වැනි ජන්ම දිනය වෙනුවෙන් ඔහුගේ ශිෂ්‍යයින් පිරිසක් එක් ව පසුගිය අගෝස්තු 29 වැනි දින පැවැත්වූ උපහාර උළෙලේදී  ‘සිවා – දෙබසක සේතුව’ නමින් උපහාර ග්‍රන්ථයක් ජනගත කෙරිණි.  මේ, ඒ නිමිත්තෙන් ‘විමර්ශී’ වෙනුවෙන් ඔහු සමග කරන ලද පිළිසඳරකි.

* පළමුවෙන් ම ඔබගේ බාල විය ගැන කතා කරමු…?

මම උපන්නෙ 1944 සැප්තැම්බර් 03 වෙනිද බදුල්ල මහ රෝහලේදි. මගේ පියා ජීවත්වුණේ වැලිමඩ ලුණුවත්ත කියන ගමේ. ඔහුගෙ නම ආරුමුගම් සබාපති. වතු කම්කරු පවුලකින් පැවත එන ඔහු බදුල්ල රෝහලේ වෛද්‍යවරයෙකුගෙ පෞද්ගලික රියැදුරු වශයෙන් තමයි රැකියාව කළේ. මගේ මව ලොකුබාලසූරියගේ බියටි්‍රස් නෝනා. ඇය සිංහල බෞද්ධ කාන්තාවක්. බදුල්ල රෝහලේ ම උපස්ථායිකාවක් ලෙසයි සේවය කළේ. ඒ කාලෙ ඇතිවුණු සම්බන්ධතාවයක් මත ඔවුන් විවාහ වී තිබුණ. හැබැයි දෙමළ අයෙකු සමග විවාහ වුණ නිසා ඇගේ පවුලෙ අය ඇයව පවුලෙන් අයින් කර තිබුණ. පියා සේවය කළ වෛද්‍යවරයාට කොළඹට ස්ථාන මාරුවක් ලැබීම නිසා මගේ පියාටත් සිය පවුල පිටින් ම කොළඹ පදිංචියට ඒමට සිදුවුණා. පවුලෙ වැඩිමලා වුණේ මම. මට බාල සහෝදරයෙක් සහ සහෝදරියක් ඉන්නව.

* දෙමළ හින්දු සහ සිංහල බෞද්ධ යන ප්‍රධාන සංස්කෘතීන් දෙකක් ඔබට දෙමාපිය උරුමය නිසා උපතින් ම දායාද වෙනව. එය කුඩා කල සිට ම ඔබගේ ද්වි භාෂා දැනුම පුළුල් වීමට බලපෑ ආකාරය විස්තර කළොත්…?

මගේ මවට දෙමළ බස ගැන දැනුමක් නො තිබුණු නිසා පියාත් කතා කළේ සිංහලෙන්. පවුලෙ කවුරුත් සිංහලෙන් කතාකරන්නයි පුරුදු වුණේ. ඒත් පියාට අවශ්‍ය වුණා මට ඔහුගෙ භාෂාවයි ආගමයි උගන්වන්න. ඔහු මාව කොළඹ හින්දු විද්‍යාලයට ඇතුළත් කළා. එහිදි දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබුව. ඒ වගේ ම උසස් පෙළ කළේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. මේ අතරෙ ම මවගේ බලපෑම නිසා වැල්ලවත්ත ධර්මාරාම පන්සලේ ඉරිදා දහම් පාසැලට ගොස් බුද්ධාගම ඉගෙනගත්ත. මේ විදියට සිංහල දෙමළ භාෂා දැනුම වගේ ම හින්දු බෞද්ධ ආගමික දැනුම ලබාගැනීමට කුඩා වියේ දී ම මට අවස්ථාව ලැබුණ.

* ඒ කාලෙ මුහුණ දුන් අමතක නොවන සිදුවීමක් එහෙම තියෙනවද…?

දහම් පාසැලට ඇතුල් කර ගනිද්දි සිවගුරුනාදන් කියන මගේ නම වෙනස් කරන්න සිදුවුණා. දෙමළ නමක්  තියෙන කෙනෙක් දහම් පාසැලට එනකොට ගැටලු මතුවිය හැකි බව කියල හාමුදුරුවො මට ධර්මසේන කියල නමක් දැම්ම. නාම ලේඛනයට ඇතුළත් කළේ ඒ නම නිසා දහම් පාසැලේ පැවැත්වුණු තරගවලින් ජය ලබල මට ලැබුණු සහතිකවලත් තිබුණේ ඒ නම. ඒ නිසා ඒ සහතිකවලින් මට කිසිම ප්‍රයෝජනයක් වුණේ නෑ. එවැනි අත්දැකීම් තව බොහොමයක් තියෙනව…

* ඔබ මුලින් ම කළ රැකියා සහ ඔබ භාෂා පරිවර්තනයට එළඹීම ගැන කතා කරමුද? වමේ දේශපාලන ව්‍යාපාරවලටත් සම්බන්ධ වුණා නේද?

උසස්පෙළට ඉගෙනගන්න කාලෙ ඉඳන් ම මම රැකියාවලට ඉල්ලුම්පත් දැම්ම. වාමාංශික දේශපාලනයටත් නැඹුරුතාවයක් දැක්වුව. ඒ කාලෙ කොමියුනිස්ට් පක්ෂයෙ චීන පිලට අනුබද්ධව ‘පෙරදිග සුළඟ’ නමින් සංවිධානයක් තිබුණ. මම එහි සාමාජිකත්වය ලබාගත්ත. ඒ තුළින් රටේ විවිධ තරාතිරම්වල ප්‍රකට පුද්ගලයින් ඇසුරු කරන්න මට අවස්ථාව ලැබුණ. රැකියාවක් ලෙස මට මුලින් ම ලැබුණෙ හාලිඇල ප්‍රදේශයේ පුස්තකාලයක පුස්තකාලාධිපති තනතුර. ඒ කාලෙ මම උසස් අධ්‍යාපනය හැදෑරීමේ අරමුණින් රැකියා ස්ථාන මාරුවක් ලබාගන්න උත්සාහ කළත් ලැබුණෙ නෑ. ඒ නිසා පුස්තකාලාධිපති තනතුරින් ඉවත් වෙලා කොළඹින් වෙනත් රැකියාවකට ඉල්ලුම් කළා. කොළඹ විශ්වවිද්‍යාලෙ විභාග අංශයෙ ලිපිකරු රැකියාවක් තමයි මට ලැබුණෙ. ඒ වන විට කොමියුනිස්ට් පක්ෂයෙ චීන පිලේ නායකත්වය දැරුවෙ එන්. ෂන්මුගනාදන් මහතා. මම මුලින් ම භාෂා පරිවර්තනයක් ලෙස කළේ ඔහු කතා සිංහලට පරිවර්තනය කිරීම.
ඉන් ටික කාලෙකට පස්සෙ කොළඹ එක්සත් ජාතීන්ගෙ සංවිධානෙ සහකාර ලේඛණාගාර භාරකරු ලෙස පත්වීමක් ලැබුණ. ඒ අතරේ ම රජයෙ ලිපිකරු සේවා විභාගයෙන් සමත් වෙලා රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුවෙ ලිපිකරුවෙකු ලෙස පත්වීම ලැබුණ. රැකියාව කරන අතරේ මම කොළඹ විශ්වවිද්‍යාලයෙන් කම්කරු නීතියට අදාළ ‘ශ්‍රමවේදී උපාධියත්’ ලබා ගත්ත. 1980 ජූලි වර්ජනයෙදි බොහෝ දෙනෙකුට වගේ මටත් රැකියාව අහිමි වුණා. නැවත රැකියාව ලැබුණෙ 1985දි. මම 1991 දක්වා ලිපිකරුවකු ලෙස සේවය කරල විශ්‍රාම ගියා.
ලිපිකාර සේවයෙ යෙදී ඉන්නා අතරේ දි ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙ සිංහල දෙමළ සහන කතා පරිවර්තකයකු ලෙස සේවය කරන්න මට අවස්ථාවක් උදාවුණා. භාෂණ පරිවර්තනය පිළිබඳ මට හොඳ පරිචයක් ලැබුණෙ එසේ පාර්ලිමේන්තුවෙ මැති ඇමතිවරුන්ගෙ කතා පරිවර්තනය කිරීමට ලැබීම නිසා.

*මෙරට විධායක ජනාධිපතිවරයකුගෙ නිල භාෂා පරිවර්තක ලෙස කටයුතු කරන්න ඔබට අවස්ථාව ලැබී තිබුණ. ඒ පිළිබඳ කතා කළොත්…?

පාර්ලිමේන්තුවෙ සහන භාෂණ පරිවර්තකයකු ලෙස සේවය කරන අතරෙ තමයි ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙ කතා පරිවර්තනය කිරීමට ආරාධනා ලැබුණෙ. එවකට ජනාධිපති ප්‍රවෘත්ති ලේකම් එවන්ස්ට් කුරේ තමයි මාව ඒ සඳහා යොමු කළේ. හැබැයි මම කවදාවත් ඔහුගෙ දේශපාලන අනුගාමිකයෙක් වෙලා නම් නෑ.

*ඔහු ළඟ සේවය කරද්දි සිදු වූ අමතක නොවන සිදුවීමක් සිහිපත් කළොත්…?

ප්‍රේමදාස ජනාධිපතිතුමා සහභාගි වුණු සර්ව පාක්ෂික සමුළුවකදි ඔහු සිංහලෙන් කළ කතාව මම දෙමළට පරිවර්තනය කරමින් සිටිය. ප්‍රේමදාස ජනාධිපතිතුමා ‘විපක්ෂය’ කියන වචනය භාවිත කරන්නෙ නෑ. ඒ වෙනුවට භාවිතා කරන්නෙ ‘ප්‍රතිපක්ෂය’ කියන වචනෙ. ඉංග්‍රීසියෙන් කිව්වොත්  Alternative party. වචන දෙකේ අර්ථය බොහෝ දුරට සමාන නිසාත්, දෙමළ බසින් කාටත් තේරෙන විදිහට, මම විපක්ෂය යන අර්ථය ගෙන දෙන ‘එදිර් කච්චි’ කියල දෙමළට පරිවර්තනය කළා. එතකොට ම ජනාධිපතිතුමා මට කිව්ව “ඔයා වැරදියි, මම කිව්වෙ විපක්ෂය නෙවෙයි ප්‍රතිපක්ෂය ගැන” කියල. ඉන්පස්සෙ මම දෙමළෙන් ඒ වචනය පැහැදිලි කළා. ඊළඟ දවසෙ පත්තරවල මුල් පිටුවෙ ප්‍රවෘත්තියක් දාල තිබුණ ‘ජනාධිපතිතුමා පරිවර්තක නිවැරදි කරයි’ කියල…

*වාමාංශික දේශපාලනයට යොමුවීම නිසා වරක් ඔබට සිරගත වන්නට සිදුවෙනව…?

ඔව්. මට දේශපාලන සිරකරුවකු ලෙස වසර දෙකක් මැගසින් බන්ධනාගාරයෙ ගතකරන්න සිදුවුණා. ඒ මම කොමියුනිස්ට් පක්ෂයෙ චීන පිලේ ‘පෙරදිග සුළඟ’ සංවිධානයට බැඳී වැඩ කරන කාලෙ. 1974 වසරෙදි ආණ්ඩුව ගෙන ආපු හදිසි නීති රෙගුලාසි යටතෙ කුඩා දේශපාලන සංවිධාන තහනම් කිරීමත් සමග මාවත් කිසිදු චෝදනාවකින් තොරව අත්අඩංගුවට ගෙන සිරගත කළා. ඒ කාලෙදි මම එහි සිටි අනෙකුත් සිරකරුවන්ට දෙමළ ඉගැන්නුව. මට මතකයි එතකොට මැගසින් බන්ධනාගාරෙ හිටපු රෝහණ විජේවීර, සෝමවංශ අමරසිංහ යන අයත් මගෙන් දෙමළ ඉගෙනගත්ත. උදේ 8.00 ඉඳන් රෑ 10.00 වෙනතුරු මම ඒ ඉගැන්වීම් කටයුතු කළා.

*භාෂණ (කථන) පරිවර්තනයට අමතර ව ඔබ ලේඛන පරිවර්තනයට යොමු වූ අවස්ථා ගැනත් කතා කරමුද?

අවිවේකීභාවය නිසා ම මට සාහිත්‍ය ග්‍රන්ථ නම් පරිවර්තනය කිරීමට ලැබුණු අවස්ථා අඩුයි. සීතා රංජනී  මහත්මිය සමග එක්ව දෙමළ කෙටිකතා සංග්‍රහයක් ‘යක්කු’ නමින් සිංහලට පරිවර්තනය කළා. තවත් දෙමළ කෙටිකතා එකතුවක් ‘ප්‍රේම චාරිකාවක්’ නමින් එම්.කේ. රාහුලන් මහතා සමග පරිවර්තනය කළා. එයට අමතරව විවිධ රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රකාශන – විශේෂයෙන් ම වාර්ගික සංහිඳියාව සම්බන්ධ ලේඛන සැලකිය යුතු ප්‍රමාණයක් සිංහලෙන් දෙමළටත් දෙමළෙන් සිංහලටත්  පරිවර්තනය කර දී තිබෙනව.

*භාෂා පරිවර්තනය පිළිබඳ පුහුණු උපදේශකයෙකු විදිහට ඔබේ අත්දැකීම් කෙබඳුද?

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් 2002 වසරෙදි ‘විභාෂා’ නමින් සිංහල දෙමළ ඉංග්‍රීසි යන ප්‍රධාන භාෂාත්‍රය මුල් කර ගෙන භාෂා පරිවර්තනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කළා. එහි අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේ මහාචාර්ය අර්ජුන පරාක්‍රම. පුහුණු උපදේශක වශයෙන් එම පාඨමාලාව භාෂා තුනෙන් ම මෙහෙයවීම පැවරුණේ මට. ඒක ශ්‍රී  ලංකාවේ ප්‍රධාන භාෂාත්‍රය අතර අන්තර් පෝෂණය ප්‍රවර්ධනය කිරීමත්, පරිවර්තනය පිළිබඳව උනන්දුවක් දක්වන රට පුරා විසිර සිටින සියලු දෙනාට ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමේ අවස්ථාවක් ලබාදීමත්, එමගින් පිළිගත් සහතික පත්‍රයක් ප්‍රදානය කිරීමත් අරමුණු කර ගත් ව්‍යාපෘතියක්. අපි ඒ යටතේ කණ්ඩායම් කීපයක් ම පුහුණු කරල, විභාග පවත්වල ඔවුන්ට සහතික පත් ප්‍රදානය කළා.

*ඔබ කැලණිය විශ්වවිද්‍යාලයෙ පැවැත්වෙන දෙමළ භාෂාව හා පරිවර්තනය පාඨමාලාව සඳහාත් බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස සම්බන්ධ වුණා. එම ක්ෂේත්‍රයට පිවිසෙන නවකයින්ට ඔබ කුමන විදියේ උපදේශයක්ද දෙන්නෙ?
ඇත්තට ම භාෂණ පරිවර්තනය ගැන කතා කළොත් ලේඛන පරිවර්තකයෙකට තියෙන නිදහස භාෂණ පරිවර්තකයෙකුට, එහෙම නැත්නම් කථන පරිවර්තකයෙකුට නෑ. ඔහු ක්ෂණික ව ක්‍රියාත්මක විය යුතුයි. එම නිසා මව් බස වගේ ම දෙවන බස පිළිබඳවත් පූර්ණ සහ ක්ෂණික ලෙස ක්‍රියාත්මක වෙන දැනුමක් ඔහු සතුව තිබිය යුතුයි. ඒ ඒ භාෂාවන් භාවිතා කරන ජන කොටස්වල සංස්කෘතිය ගැන ඔහුට හදාරන්න වෙනව. නිතර පොතපත කියවන්න වෙනව. කාලය කළමනාකරණය කරගන්න වෙනව. ප්‍රාදේශීය ව්‍යවහාර, පාරිභාෂික යෙදුම් ආදිය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත යුතු වෙනව. ඒ වගේ දැඩි කැපවීමක් කළොත් විතරයි සාර්ථක කතා පරිවර්තකයෙක් වෙන්න පුළුවන්…

සංවාදය
ජී. ජී සරත් ආනන්ද  

Leave a comment

This website uses cookies to improve your web experience.