Skip links

අද කෙරෙන වැඩ එදා කළේ කොහොමද?

දැනට දශක දෙක තුනකට ඉහත තරම් කාලයක පළ වූ ප්‍රකාශනයක පිටකවරයක් නිර්මාණය සඳහා යෙදූ කාලය අපි කෙසේ ගත කළේද?

ඉකුත් දිනෙක නිකුත් වූ HANDWOVEN සඟරාවේ පිටකවරයක් මේ සමග ඇත. බැලූ බැල්මට දැවැන්ත මෙහෙයුමක් කළ යුතු බවක් දක්නට නැති මේ සරල පිටකවරය කෙරේ ඔබගේ අවධානය යොමු කරන්නේ නම් මැනවි.

මෙය නිර්මාණය කිරීම අද කළ හැක්කේ කෙසේද සහ එයට ගත වන කාලය කොතෙක්ද?

අවශ්‍ය ද්‍රව්‍ය:
– පුද්ගල පරිගණකයක් සමග මූසිකයක්
– ෆොටෝෂොප් සහ ඉන්ඩිසයින් මෘදුකාංග
– මේසයක් සහ පුටුවක්
– පිටකවරය සඳහා අවශ්‍ය ඡායාරූපය
– විදුලි බලය

අවශ්‍ය ඡායාරූපය සඳහා මෙහි දැක්වෙන ආකාරයේ භාජනයක් ගෙන මේ සළුව ඔබට රිසි පරිදි අතුරා නිසි ආලෝකය ලැඛෙන තැනකින් තැබිය හැක.
මේ ආකාර වූ ඡායාරූපයක් ඔඛේ ජංගම දුරකථනයෙන් ගත හැකිය. එක් ඡායාරූපයක් නොවේ. ඔබ තෘප්තිමත් වන තාක් කල්, ඔබට අවශ්‍ය නියම රූප රාමුව ලැඛෙන තාක් කල් ඡායාරූප සීයක් හමාරක් ගත හැක.
(කාලය විනාඩි පහයි)

ඡායාරූපයේ ඉහළ හතරෙන් එකක කොටස බලන්න. ඒ කොටස බොඳ කර ගැනීම ෆොටෝෂොප් ආධාරයෙන් කළ හැක.
(කාලය තත්පර දහයයි)

සළුව ඉස්මතු වන ආකාරයට පසුබිම අඳුරු නැත්නම් එහි පැහැය වෙනස් කිරීම.
(කාලය තත්පර දහයයි)

ඡායාරූපයේ වර්ණවල ඒකමිතික බව පවත්වා ගැනීමට වුවමනා යැයි ඔබට හැඟෙන්නේ නම් යම් වර්ණවල පැහැය අඩු කිරීම හෝ උද්දීපනය කිරීම ද ෆොටෝෂොප් හරහා කළ හැක.
(කාලය තත්පර විස්සයි)

ෆොටෝෂොප් කටයුතු හමාරයි. දැන් ඉන්ඩිසයින් තුළට ගොස් ඉහත සංස්කරණය කළ ඡායාරූපය එහි දමා ඉතිරි කොටස කළ හැක.

HANDWOVEN යන අකුරු දෙස බලන්න. එම අකුරුවල ඡායාවක් පසු පසට යොදා ඒ අකුරු මතු කර පෙන්වා ඇත. ඔබට මෙය පහසුවෙන් කළ හැක.
(කාලය තත්පර නවයයි)

කවරය මත පෙනෙන්නට ඇති සියලුම අකුරු ඡායාරූපය මත ඇතිරීම, ෆොන්ට් වෙනස් කිරීම, පොයින්ට් සයිස් වෙනස් කිරීම ඔබට රිසි පරිදි කළ හැක.
(කාලය විනාඩි එකයි)

පිටුවේ වමේ මැදින් ඇති රවුම අමතර සුදු රේඛාවක් ද සහිත ව සාදාගැනීම.
(කාලය තත්පර දහයයි)

රවුම තුළ ඇති වර්ණය සහ අනෙක් අකුරුවල ඇත්තේ කුමන වර්ණ ද බලන්න.
මේ නිර්මාණයේ මුඛ්‍ය පරමාර්ථය වන සළුවේ පෙනුම සහ සුමට බවට හානි නොවන වර්ණයක් මෙහි දී යොදාගැනීම වැදගත් වේ. එසේම එම වර්ණය ලෙස සළුව තුළ ඇති වර්ණවලට නෑකම් කියන වර්ණයක් යොදාගැනීමට ද නිර්මාණ ශිල්පියා පරෙස්සම් වී ඇති බව පෙනේ. මේ වර්ණ යෙදීම ඉන්ඩිසයින් තුළ දී කළ හැක.
(කාලය තත්පර හතළිහයි)

එයින් පසු ඔඛේ කාර්යය හමාර ය. අවසාන පියවර පීඩීඑෆ් පිටපතක් ලෙස එළියට ගෙන එහි හැඩ බැලිය හැක. අවශ්‍ය නම් ඉහත කළ සැකසුම් හෝ වර්ණ ගැළපීම්වල සියුම් වෙනස්කම් වුවද නැවත කළ හැක.

උදාහරණයක් ලෙස ගතහොත්, WEAVE CHENILLE හා SHOW OFF YOUR WORK! යන අකුරු දෙස බලන්න.

මේ ශීර්ෂ දෙක ම ඇතුළු පිටුවල ඇති ලිපිවලින් උපුටාගත් ඒවාය. ඒ දෙකට ම සමාන තැනක් දිය යුතු නිසා එක ම පොයින්ට් සයිස් එකක් හා එක ම වර්ණයක් දිය යුතු ය. නමුත් පසුබිමෙහි ඇති අඳුර එකාකාරී නැත. අකුරුවලට යෙදූ වර්ණය සියයට එකකින් අඩු කළ යුතු යැයි ඔබට සිතෙන්නේ නම් එය කළ හැක.
(කාලය තත්පර තිහයි)

දැන් මේ අවසානයේ ලබාගත් පීඩීඑෆ් පිටපත ඊමේල් මගින් මුද්‍රණය සඳහා යැවිය හැක.
(කාලය තත්පර තිහයි)

ගත වූ සම්පූර්ණ කාලය විනාඩි නවයකට අඩුයි.

ඉහත සියල්ල කිරීමට ඔබ ප්‍රාථමික අධ්‍යාපනය නිම කළ පාසල් සිසුවකු වීම වුවද සෑහේ.

දැන් අප යන්නේ දශක තුනක් ආපස්සට.

ඉහත පිටකවරය නිර්මාණය කිරීම එදා කළේ නම් ඒ කෙසේද සහ ඒ ඒ කාර්යයන්ට ගත වූ කාලය කොතෙක්ද?

පළමුව මේ ආකාර වූ ඡායාරූපයක් අවශ්‍ය වේ. ඒ සඳහා අප දන්නා ඡායාරූප ශිල්පීන් දුරකථනයෙන් අමතා මේ මේ ලක්ෂණවලින් යුත් ඡායාරූපයක් ඔවුන් සතුව ඇද්දැයි විමසා බැලීම. “හරි හරි, ඔහොම එකක් තියෙනවා” කී විට වාහනය යවා එය ගෙන්වා ගැනීම.
(කාලය විනාඩි දෙසීයයි)

ගෙන්වා ගත් ඡායාරූපය අවශ්‍යතාව සඳහා නොගැළපේ නම් අප සතු පොත් පත් සඟරා සංචිතය කඩිමුඩියේ පරීක්ෂා කර බැලීම. මේ ප්‍රමිතියේ ඡායාරූපයක් සාමාන්‍ය සඟරාවකින් සොයාගැනීම උගහටය. පොතක තිබුනත් එය ස්කෑන් කිරීම සඳහා කපා ගැනීමට සිදු වේ. ඒ ස්කෑන් කිරීම පිණිස මිරිස් ගලක් වැනි ස්කෑනරයේ බඳ වටා කපා ගත් ඡායාරූපය එතීම අනිවාර්ය බැවිනි. අනෙක් අතට ඒ සා වටිනා පොතක් කැපීමට පොතේ අයිතිකරු එකඟ කර ගැනීම පහසු නොවේ.

එබැවින් මෙබඳු සළුවක් විකිණීමට ඇතැයි සිතෙන සාප්පුවකට කතා කොට එබඳු ඡායාරූපයක් ගැනීමට ඉඩ සලසා ගත යුතුය. නැතහොත් එවැනි සළුවක් අප කාර්යාලීය සගයකු සතු ව ඇත්නම් එය ගෙන්වා ගත යුතුය.
(කාලය විනාඩි සීයයි)

කාර්යාලයේ ඡායාරූප අංශයෙන් අප ඡායාරූප ශිල්පියකුගේ සහාය ලබා ගත යුතු වේ. සමහර විට අප විසින් දෙන දළ සටහනකට අනුව ඡායාරූප ශිල්පියකු විසින් එබඳු ඡායාරූපයක් ඇරගෙන ගෙනැවිත් දෙන අවස්ථා ද වේ. නැතහොත් අප ද ඔවුන් සමග ගොස් අපට අවශ්‍ය පරිදි ඒ ඡායාරූපය ගැනීම සිදු කෙරේ. සියලුම ඡායාරූප ශිල්පීන් සතු ව හොම්බ දිග කැමරා තිබුණි. අපේ ඉල්ලීම් සංකීර්ණ නිසා ඡායාරූප අංශයෙන් ඒ මොහොතේ සිටින හොඳම ඡායාරූප ශිල්පියෙන් අපේ කාර්ය සඳහා අනුයුක්ත කෙරුණි.

ඒ අනුව අපට චන්ද්‍රසිරි වීරසිංහ, මංගල වීරසේකර, යූ. එන්. පෙරේරා, ශ්‍රී ලාල් ගෝමස්, නිහාල් චන්ද්‍රකුමාර හෝ නිමල් දයාරත්න ආදී වූ සගයින්ගේ සහාය ලැබිණි.
අවශ්‍ය උපකරණ නිසි තැනක අටවා අදාළ ඡායාරූපය දෙතුන් වරක් ගැනීම සිදු කෙරේ. ඩිජිටල් කැමරාවල මෙන් ගන්නා ලද ඡායාරූපය විශාල කොට හරි වැරැදි බැලීමකට මෙහිදී අවස්ථාව නැත. ගත්තොත් ගත්තා!
(කාලය විනාඩි හතළිහයි)

එයින් පසු ඡායාරූප අංශය විසින් එම පටල පටය වර්ණ රසායනාගාරයක් වෙත යවා මුද්‍රණය කරවා අපට ලබා දීමට සලස්වයි.
(කාලය විනාඩි එකසිය විස්සයි)

ඉහත දැක්වෙන පියවරයන්හි දී වාහනයක් යෙදවෙන අවස්ථාවල මුහුණ පාන රථවාහන තදබද ශුන්‍ය යැයි උපකල්පනය කොට කාලය සටහන් කරන ලදී.

ඡායාරූපය අප අතට ලැබුණු පසු ඒ ගැන අප සෑහීමට පත් විය යුතු වීම අනිවාර්ය වේ. වෙනසක් කිරීම සඳහා කාලයක් තවදුරටත් නැත. එවකට විදුසර විද්‍යා සඟරාවේ පිටකවරය මුල්තැන දුන්නේ කවරයේ කතාවටයි. නමුත් මෙබඳු අර්බුදකාරී අවස්ථාවක් මතු වුවහොත් කවරයේ වෙනසක් සිදු කළ යම් අවස්ථාවන් ද විය.

නැවතත් සුපුරුදු මාතෘකාවට!

ඡායාරූපයේ කිසිදු කොටසක් බොඳ කර ගැනීම මේ අදියරේ දී කළ නොහැක.
සළුව ඉස්මතු වන ආකාරයට පසුබිම අඳුරු නැත්නම් එහි පැහැය වෙනස් කිරීම සඳහා මේ අදියරේ දී ඉඩක් නැත.

යම් වර්ණවල පැහැය අඩු කිරීම හෝ උද්දීපනය කිරීම ආදිය සඳහා මේ අදියරේ දී ඉඩක් නැත.

ඡායාරූපය ස්කෑනින් අංශයට යැවිය යුතුය. ස්කෑන් කළ පසු එය C, M, Y, K වර්ණවලට ඛෙදී පොසිටිව් ෂීට්ස් වශයෙන් දැකීමට අවස්ථාව සැලසේ.
(කාලය විනාඩි හැටයි)

එයින් ෂීට් එකක් A3 ප්‍රමාණයේ කොළයකට ඡායා පිටපතක් ලබා ගත යුතුය.
(කාලය විනාඩි තුනයි)

ශීතකරණයක් බඳු වූ කාමරයක පිහිටි දැවැන්ත මිරිස් ගලක් බඳු සිලින්ඩරාකාර වූ ස්කෑන් යන්ත්‍රය සමග වැඩ කරමින් හැකි අයුරින් අපට උපකාර වීමට සුනිල් සමරකෝන් සහ සරත් කටයුතු කළෝය.

අකුරු හා වර්ණ යෙදිය යුතු ආකාරය ගැන මග පෙන්වීමක් ලෙස යෙදූ සටහනක් දැන් සකස් කළ යුතුවේ. ඒ ලිතෝ අංශයට යැවීම සඳහා ය.

අප මුලින් සඳහන් කළ පිට කවරයේ HANDWOVEN යන අකුරු දෙස බලන්න. එම අකුරුවල ඡායාවක් යොදා ඒ අකුරු මතු කර පෙන්වා ඇත. ඔබට මේ අදියරේ දී එබඳු ශිල්ප දැක්විය නොහැක.

දැන්වීම් අංශය සතු ව ස්ප්‍රේ ගන් එකක් ඇති අතර එය උපකාර කොටගෙන අකුරුවල ඡායාවක් පසු පසට යොදා ඒ අකුරු මතු කර පෙන්වා ගැනීමේ අවස්ථාවක් තිඛේ. මේ සඳහා අප මිත්‍ර හර්ෂණ ජයතිලක හට විවේකයක් ලැඛෙන අවස්ථාවක් සොයා ගැනීම කණ කැස්බා විය සිදුරෙන් අහස බලන අවස්ථාවක් තරම් ම නම් දුර්ලභ නොවේ. එයට පමණක් දෙවැනි වේ.

යම් හෙයකින් ඔහුගේ කාලය මේ සඳහා වෙන් කළා යැයි සිතමු. එයින් පසු මේ ඡායාව ස්ප්‍රේ ගන් එකෙන් ඇඳ ගැනීම නිවි හැනහිල්ලේ සීරු මාරුවට කළ යුතුය.
(කාලය විනාඩි හයසීයයි)

මේ තරම් කාලයක් අප වෙනුවෙන් වෙන් කිරීමට ඔහුට අවස්ථාව නැති නිසා අපි කිසිදා එවන් ඡායාවක් පිටකවරයකට යොදා නැත්තෙමු.

කවරය මත පෙනෙන්නට ඇති සියලුම අකුරුවලට අවශ්‍ය ෆොන්ට් මොනවාද යන්න සටහන් කොට අප අනුමාන කරන පරිදි පොයින්ට් සයිස් යොදා ටයිප් කර දෙන ලෙස ඉල්ලා ටයිප්සෙටින් අංශයට යැවිය යුතුය. ඒවා බ්‍රෝමයිඩ් නම් ශීට් විශේෂයක මුද්‍රණය වී අපට ලැඛේ.
(කාලය විනාඩි හැටයි)

පිටුවේ වමේ මැදින් ඇති රවුම කවකටුවක ආධාරයෙන් රොට්රිං පෑනක් රඳවා ඇඳගත යුතු වේ.
(කාලය විනාඩි තුනයි)

අමතර සුදු රේඛාවකින් යුක්ත රවුම ද එතුළ ඇඳිය යුතු ය.
(කාලය විනාඩි තුනයි)

දැන් මේ රවුම කතුරකින් ඒ හැඩයට කපාගෙන යට කී ස්කැන් කොට ලබා ගත් ශීට් එකෙන් පිටපත් කළ A3 කොළයේ අදාළ ස්ථානයේ ඇලවිය යුතුය. එනම් ඡායා පිටපතක් ලෙස ගත් ඡායාරූපයේ අවශ්‍ය තැන ඇලවිය යුතුය.
(කාලය විනාඩි හතරයි)

පිටකවරය සඳහා යොදාගන්නා කොටස කුමක්ද යන්න මේ ඡායා පිටපතේ නිශ්චිත ව සඳහන් කළ යුතුය. එනම් ඩ්‍රෝවිං බෝඩ් එකක් හා ටී රූලක් ආධාරයෙන් ක්‍රොප් මාක්ස් යෙදිය යුතු ය.
(කාලය විනාඩි දෙකයි)

ඩ්‍රෝවිං බෝඩ් එකක් හා ටී රූලක් ආධාරයෙන් සියලුම වචන ඡායා පිටපතේ සීරු මාරුවට ඇලවිය යුතුවේ.
(කාලය විනාඩි දහයයි)

දැන් තිඛෙන්නේ වර්ණ යෙදිය යුතු ආකාරය සඳහන් කිරීම. උක්ත ඡායා පිටපත මත ට්‍රේසිං කඩදාසියකින් ෆ්ලැප් එකක් යොදා අවශ්‍ය උපදෙස් සඳහන් කළ හැක.
සුදු අකුරු යෙදෙන තැන්වල ඒ බව සඳහන් කළ යුතු ය. පෙර කී රවුමේ පිටත රේඛාව නොමැතිව පෙන්නුම් කළ යුතු බව ලියා තැබිය යුතුයි. ඇතුළත රවුමේ රේඛාව සුදු පැහැයෙන් තිබිය යුතු බව ද සටහන් කළ යුතු ය.
(කාලය විනාඩි එකයි)

එයින් පසු අප ඉහත සකස් කළ රවුම තුළ ඇති වර්ණය. අද නම් ෆොටෝෂොප් තුළ දී සළුවේ අවශ්‍ය තැනට ගොස් කෙටූ සැනින් එහි ඇති වර්ණය අපට ලැඛෙන්නේය. නමුත් මේ දශක තුනකට ඉහතයි.

මෙහි යෙදිය යුතු වර්ණය අප මනෝමයෙන් ගණනය කොට සඳහන් කළ යුතු ය. ලිතෝ ශිල්පීන් කරන්නේ ඒ ප්‍රතිශතයන් අනුව වර්ණ ගැළපීමයි.

මෙහි වැඩි ප්‍රතිශතයක් කහ පැහැය ඇති බව පෙනේ. රතු සහ නිල් මඳ වශයෙන් ද ඇත. අප පියවි ඇසින් දකින්නේ නැතත් ෆොටෝෂොප් කියා සිටින්නේ මෙහි කළු පැහැය ද සියයට එකක් අඩංගු බවයි.

ඒ බව සටහන් කරන්නේ නම් අප වර්ණය ලියා දැක්විය යුත්තේ මෙලෙසයි.
C 32%, M 25%, Y74%, K 1%
(කාලය විනාඩි දහයයි)

විශේෂයෙන් කිව යුතු දෙයක් නම් මේ ප්‍රතිශතයන් අපට ලබා දෙන ප්‍රතිඵල නිශ්චිත නොවන බවයි. මෙදා ලැඛෙන වර්ණය තව සති දෙකකින් එන මුද්‍රණයක දී අඳුරු විය හැක. නැතහොත් ළා පැහැ විය හැක. ඒ සඳහා අප විද්‍යාඥයින් මෙතෙක් සොයාගන්නට නොයෙදුණු තරමේ විචල්‍ය සාධක රැසක් අපට හොරා ක්‍රියාත්මක වන බව සහතික ය. කෙටියෙන් කියන්නේ නම් අපේක්ෂිත වර්ණය මුද්‍රණය වී එලෙස ම දකින්නට ලැබීමට හෝ නොලැබීමට ඔඛේ ග්‍රහචාරය සෘජුව ම බලපායි.

එවැනි අවදානම් අවස්ථා මග හැරීමට නම් අපට නිල්, රතු, කළු, කහ ආදී මූලික වර්ණ යෙදිය හැක. නමුත් ඒ වර්ණ මෙහි ඇති ඡායාරූපයට නොගැළපේ. කළු පැහැයෙන් යුතු රවුමක් ඡායාරූපය හා ගැළපුනත් එයින් අවශ්‍ය කරාණය ඉෂ්ට නොවේ. ඒ රවුම ළා පැහැයකින් යොදන්නේ අදාළ කාරණය ඉස්මතු කොට දැක්වීම සඳහා යි. කළු යෙදුවොත් එය පින්තූරයට වඩා යටපත් වෙයි.

මේ පිට කවරයේ පහළ වම් කෙළවරේ ඇති ඔවුන්ගේ වෙබ් අඩවිය සඳහන් අකුරු දෙස බලන්න. ඒ තරම් කුඩා අකුරු පුවත්පතක වර්ණ ඡායාරූපයක් මත යෙදීම එදත් අදත් අතිශය අවදානම් ය. ඔබ අතට පත්වන පිටපතෙහි ඒ කුමක්දැයි කියවීමට ඔබට හැකි විය හැකි වුවොත් ඔබට තව මොහොතකින් මුණ ගැසෙන ඔඛේ මිතුරා සතු පිටපතේ එය කියවාගැනීමට නොහැකි වනු ඇත. ඔඛේ ග්‍රහචාරය හොඳ වුනත් එයින් පලක් නොවන අවස්ථාවකි ඒ.

විරාමයෙන් පසු නැවතත් සුපුරුදු මාතෘකාවට.

කවරයේ ඇතුළත් විය යුතු අකුරු, වර්ණ ගැන්විය යුතු ආකාරය දැක්වෙන සැලැස්ම ලිතෝ අංශයට යැවූ පසු සාමාන්‍යයෙන් අපේ කාර්යය හමාර වේ.

ගත වූ සම්පූර්ණ කාලය විනාඩි හයසිය දාසයයි.

එසේ වන්නේ වී නමුදු දුරකථනයට පිළිතුරු දීම්, වෙනත් පිටුවල සංස්කරණ හෝ සැකසුම් කටයුතු, දැන්වීම් අංශය සඳහා සැපයිය යුතු දැන්වීම් නිර්මාණ, වෙනත් ලිපි සඳහා ඡායාරූප සෙවීම, පිටු වල තාක්ෂණික ගැටළු ආදිය ඉස්මතු වන අවස්ථාවල ප්‍රමුඛතාවන් වෙනස් වෙයි. ඒ කෙසේ වුවත් අව්ව, වැස්ස, රෑ, දාවල එකයිනෙ අපට. හන්දියේ බෝම්බයක් පිපුරුවා කීවත් මේ කටයුතු නියමිත වෙලාවට කලින් අවසන් කිරීම සිදු විය. සති පතා ම සිදු විය.

ලිතෝ අංශයට යැවූ පසු ඉතිරිය ඔවුන් විසින් සම්පූර්ණ කොට ඒ පොසිටිව් ශීට්ස් මුද්‍රණාලයට යවනු ලැඛේ.

එසේ වුවද අපට අවධාරණය කළ යුතු තැනක් වේ නම් ලිතෝ අංශයට ගොස් අපේ සඟරාවේ කටයුතු එම කලාපය කිරීමට අනුයුක්ත කෙරුණු ශිල්පියා හට දැනුම් දීම අප අනුගමණය කළ ක්‍රමයයි. “මම හිතුවෙ මෙහෙම” කියා අප අදහස් කළ දෙයින් බාහිර දෙයක් සිදු වන්නට ඉඩක් නොතැබීම එහි අරමුණයි.

යම් විටෙක අපට අවශ්‍ය ආකාරයේ ෆොන්ට් එකක් නැත්නම් ඒ අකුරු අප විසින් අතින් ඇඳ කැමරා අංශයෙන් ගැළපෙන තරමට කුඩි කොට බ්‍රෝමයිඩ් පිටපතක් ගත යුතු වේ. මෙවන් අවස්ථාවලදී කාලය පිරිමසා ගැනීමට හැකි ඉක්මනින් අපට ඒ ඉටුකර දුන් අය අතර සනී ස්ටැන්ලි හා උස පෙරේරා සිහිපත් වේ.

ලිතෝ අංශයෙහි කැපවීමෙන් රාජකාරි කරමින් අපට සහයෝගය දුන් ශිල්පීන් අතර බණ්ඩාර, සේනාරත්න, මෙන්ඩිස් හා ධර්මදාස මෙන් ම ඉලංගකෝන් ද වූහ. චන්ද්‍රසෝම හා එල්මෝ ලබා දුන් සහාය ද සඳහන් කළ යුතුය.

අන්‍යයන් සමග කටයුතු කිරීමේ දී අපේ අවශ්‍යතාව කෙරේ ඔවුන් උදාසීන නම් ඒ පිළිබඳ ව ඔවුන්ගේ උනන්දුව ඇතිවන පරිදි ක්‍රියා කළ යුතුය. ඒ උනන්දුව පවත්වාගත යුතුය. ඔවුන් සැම දෙනා ම ඉතා කාර්යබහුල බැවින් ඔවුන් සතුටින් තබා ගනිමින් අවශ්‍ය සහාය ලබා ගැනීම අපේ ඉලක්කය සාර්ථක ව සපුරා ගැනීමට ඉවහල් වේ.

පරිගණක සමග කටයුතු කිරීමේ දී එවැන්නක් නැතත් කුසීත පරිගණකයක් ලැබුනොත් තිබිය යුතු වන්නේ අසීමාන්තික ඉවසීම යි. අපේ වේගය හා පරිගණකයේ වේගය සමපාත නොවුනොත් කාලය සමග අරගලයක් කරන විට එය කෝපයට පත් කරන සුළුය. වරක් අප කාර්යාලයට එවැනි වයෝවෘද්ධ පරිගණකයක් ද අමතර වශයෙන් ලැබිණි. වාසනාවක ට මෙන් මට ඒ පරිගණකය පාවිච්චි කිරීමට අවශ්‍ය නොවී ය.

ඒ පරිගණකය කොතරම් මන්දගාමී ද කිවහොත් ඒ මෙතෙක් ය.

මට යමක් ටයිප් කරන විට අකුරු දෙක තුනක වචනයක් මකා දමන්නට අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් පරිගණකයක ඒ සඳහා ගත වන්නේ තත්පරයකටත් අඩු කාලයකි. නමුත් මේ පරිගණකයේ එය මැකී යන තෙක් යම් කාලයක් බලා සිටීමට සිදු වේ.
මේ අසාමාන්‍ය පමාව නිසා මට හදිසි කෝපය උපදී. එහි ප්‍රතිඵලයක් ලෙස මම පරිගණකය උස්සා පොළොවේ ගසමි. හදිසි කෝපයේ ආයුෂ කෙටි ය. විනාඩියක් හෝ දෙකක් තරම්වත් නොපවතී. දැන් මම මේ පරිගණකය සමග තව දුරටත් වැඩ කිරීමට හිත හදාගෙන අවසන් ය. ඔන්න දැන් තමයි මේ පොළොවේ ගැසූ පරිගණකය සුණු විසුණු වන්නේ!

– දර්ශන කරුණාතිලක

Leave a comment

This website uses cookies to improve your web experience.