Skip links

සාංකාව (දෙමළ කෙටිකතාව)

“අර්ච්චනා…..”
“දෙනට නැකත…..”

“දහයියා තුළිනුත් රන් උපදියි.”

අම්මා හඳහන බලන්නට දෙන සෑම විටක දී ම මෙය ද එක්කර කියන්නී ය.

ඈ නැගණියගේ පළමු දරු ප්‍රසූතිය සඳහා ඕස්ටේ්‍රලියාවට ගොස් සිටියා ය. ඇය යළි පැමිණෙන්නේ ‘කිලි දවස්’ ගෙවී ගිය පසුව ය.
අල්ලමින් සිටි බොත්තමේ කාසයෙහි ඉඳිකටුව රඳවා තේ වතුර බොන විට ඔහු ගැන මතකය අවදි විය.

දින තුනකින් ඇමතුමක් නැත.

ඔහුගෙන් වෙන් වී සිටි තුන් වසරක කාලයටත් වඩා ඒ දින තුන යුග ගණනාවක් සේ ඇයට දැනුණි. අවසන් වතාවට කතා කරන විට කුමක්දෝ ‘කොන්ෆරන්ස් එකකට’ යන බව පවසා තිබුණි.

“නින්දට යනකොටවත් එයාගෙන් ඇමතුමක් ඒවි.”

විවෘත මනසින් ඔහු සමග දින තුනක් පුරා ම කතා කරන්නට ඇත. එහෙත් ඒ එක් දිනයකවත් තම කාර්යාලය, තමන් සමග සේවය කරන්නන්, මිතුරන් ආදී කිසි දෙයක් පිළිබඳ විස්තර සඳහන් කර නැත. ‘මගේ හඬ ඔහුගේ සවන්පත් විනිවිද ගොස් හදවත සිසිල් කළ යුතුය’ යන ඇයගේ ආසාව ඔහුගේ හඬින් නො හැඟුණි.

“පව්—- පිළිවෙළකට කෑමවත් කනවද දන්නෙ නෑ; කනකොට මාව මතක් වෙනවද දන්නෙ නෑ….”

තුන් වසරක් ගෙවී ගිය ද මතකය සුන්දර ලෙස අලුත් වෙමින් පැවතුණි.

“අච්චු, ෂර්ට් එක මහල ඉවරද?”

දඟකාර ප්‍රවීන් ඔහුගේ ලොකු අම්මා සමග ඉදිරිපස දොරටුවෙහි සිටියේ ය. ඔහු සිතමින් සිටියේ හෙට තමන් ඇඳගෙන යන අලුත් කමිසය ගැන ය. අද පාසැලේ මිතුරන් සමග ඔහු ඒ පිළිබඳ පවසා තිබුණි. තම පංති භාර ගුරුවරයාට පවා ඒ බැව් දැනුම් දුන්නේ ය. ‘අලුත් ෂර්ට් එක’ ඔහුගේ සිහිනයයි.
දරුවන්ගේ සුරතල් කතාවල කිමිදෙන්නට ප්‍රිය කරන ඈ ප්‍රවීන්ව බෙහෙවින් ප්‍රිය කළා ය.

සිව ආගම ඉගෙනගන්නා විට ප්‍රාණඝාත නො කරන ලෙසත්, පරිසරය පාඩමේ දී පෝෂණය සඳහා ආහාර වශයෙන් මාළු, මස් ආදිය අනුභව කළ යුතු බවත් ඉගැන්වීම නිසා ප්‍රවීන් කැළඹී සිටියේ ය.

“මරන්නෙ නැතුව කන්නෙ කොහොමද?”

“වතුර බීල මාලුවෙක් ගිල්ලොත් මගේ බඩ මාලු ටැංකියක් වේවිද?”

හඬා වැලපෙමින් සිටින මොහොතක වුව රාමනාදන් මහත්මියගේ මුවට ක්‍ෂණික සිනහවක් නැංවීමට ඔහුට හැකිය.

“අනාගතේ හොඳ පර්යේෂකයෙක්.”

අලුත් කමිසය ඔහුට ආකර්ෂණීය පෙනුමක් ගෙන දුන්නේ ය. ඔහු කොට කලිසමේ සාක්කුවලට අත්  දමාගෙන සෘජුව සිටගෙන සිටියේ ය. අච්චු තම සිතේ උපන් ප්‍රීතිය සිනහවකින් පිට කර ඔහුගේ කම්මුල සෙමින් කෙනිත්තුවා ය.

කොන්ෆරන්ස් එක තාම ඉවර නැතුව වත්ද? ඉවරවුණු ගමන් ගන්නව කිව්වනේ…..?

තෝසෙ මිශ්‍රණය පදමට පිපී තිබුණි.

ඊ ළඟ දින උදෑසන ප්‍රවීන් තම පියා සමග අලුත් කමිසය ඇඳ පිටව ගියේ ය. පිටුපසින් දරණිගේ උරහිස අල්ලාගෙන සිටියේ ප්‍රවීන්ගේ මවයි. සිනිඳු කොළ පැහැති සාරියකින් සැරසී සිටින ඇයගේ බ්ලවුසය මසන ලද්දේ ද අර්ච්චනා විසිනි.

පිට රටකට ගියත් මැහුම්වලට ඇති ඉල්ලුම අඩු නැත. අම්මා වරින්වර මැහුම් ගෙතුම් වැඩවල නිරත වන්නී ය. දුහුල් නූලින් අලංකාර කමිස, වර්ණවත් මුතුමාල, හිස් වැසුම්, පා මේස් ආදිය සාදා තම අතින් නිම කර කැනඩාවට සහ ලන්ඩනයට යවන්නී ය.
“දෙනට නැකතට දහයිය තුළිනුත් රන් උපදිනව-”

දබරැඟිල්ලේ ඉදිකටුව ඇනී ලේ පැහැ ගැනී තිබූ ස්ථානය සුව වී තිබුණි- හදවතේ පතුලේ අසහනකාරී බවකි. සංවේගයකි.

“අම්මා, ඇයි මට විතරක් මෙහෙම? දහයිය තුළිනුත් රන් උපදිනව කියල ඔප්පු කරන්න සටන් කරන්න ඕනද?…ආච්චි අම්මත් දහයියවල රන් උපදින බව ඔප්පු කරන්න හිතුව නම් මම ඉපදිලා නොඉන්න තිබුණ. එයා කරපු දේ වැරදිද? මම ඒකට පව් ගෙවන්න ඕනෙද? අම්මේ, ඔයා පව්. මොනව කරන්නද?  ජීවිත කාලෙ පුරාම ඔයාට ඩොලර් එවපු මාමා මාව රට යවන්න අහපු එකේ වරදක් නෑ….”
මාමා……

නෑදෑයින්ටයි, තමන් ඉපදුණු පොළවටයි අසීමිත ඇල්මක් දක්වන සන්නාසිය….

අවුරුදු පහේ දී අච්චු වඩාගෙන හාදුවක් දී ඡායාරූපයක් ද ගැනුණි. දැනුත් අර්ච්චනාට ඇතැම් සිදුවීම් අම්මාව සිහිපත් කරවයි. රුව මවා පෙන්වයි.
අර්ච්චනාට පිට රටක ස්ථිර පදිංචි ස්ථානයක් ලැබෙන බැව් ඇගේ පැහැපත් සම තුළින් නිගමනය කළ මාමා කැනඩාවේ උපන් යාපනයේ හින්දු වෙල්ලාල කුලයේ අයකු සොයා ගත්තේ ය.

අම්මා ද කැමැත්ත ප්‍රකාශ කළා ය.

“දහයියා තුළිනුත් රන් උපදියි.”

දෙ හැවිරිදි දරුවකු සඳහා ප්‍රමාණවත් දුහුල් ඇඳුමක් අලංකාරවත් ලෙස මසා නිමවෙමින් තිබුණි. එයට ගැළපෙන තොප්පියක් සහ මේස් යුගලක් ද එක ම පැහැයෙන් මසන ලදී.

අපූරු මැවිල්ලකි. ඒ සියල්ල සම්පූර්ණ නොකර ඇය කිසි කලෙකත් සෑහීමකට පත් නො වන්නී ය.

සෑම දෙයක දී ම එලෙස ය.

ඇඳුම් සෝදා වේලා ගැනීමේ දී ද ඇය ආස්වාදනීය අයුරින් එය සිදුකරයි.

“ඒකිට පිස්සු; අව්වෙ පිච්චෙනව.”

ඈ පංජාබ් ඇඳුම් ඒ ඒ යුගල වශයෙන් එනම් ගවුම එයට අදාල කලිසම පැත්තෙන් ම තබන්නී ය. දෙක වෙන් කරන්නේ නැත. කිසි විටෙකත් එක ගවුමකට කලිසම් දෙකක් හෝ එක් කලිසමකට ගවුම් දෙකක් හෝ වන සේ යුගළ වශයෙන් ඇඳිය හැකි යැයි නො සිතයි. සියල්ල තනි තනි ජෝඩු වශයෙන් ම තබන්නී ය.

මෙම ඇඳුම් අව්වේ තම බර මුදාහැර, වියළී, මෘදු ලෙස සුළඟේ සෙලවෙන විට… ඒවා බොහෝ දේ පවසයි; සිනාසෙයි; මිනිස් මස් පිඬුවල දහදිය පැල්ලම් ඉවත්ව යාමේ සතුටින් නිදහස් හැඟීමෙන් සොබාදහම රස විඳියි-

“ඔයාට නම් හොඳට ම පිස්සු-”

එක් දුහුල් කලිසමක් සම්පූර්ණ වී නොමැති බව පෙනේ.

අසහනකාරී හැඟීමකි.

ප්‍රකාෂ් කුමක් කරනු ඇත්ද? මගේ අතින් උයාපු කෑම කන්න බලාගෙන ළතවෙනව වත්ද?

දුරකථනය  නාදවිය.

“අච්චු”

“ඔයාද? ප්‍රකාෂ්.”

“සල්ලි එව්ව….”

“ප්‍රකාෂ්… ඔයාට කොහොමද?”

“වැඩක ඉන්නෙ. පස්සෙ ගන්නම්.”

මම ප්‍රියකරන කාරණා, මිතුරියන්, සමීපව ඇසුරු කරන දර්මු, මගේ ගෙවී ගිය කාලය ගැන මගේ මේ පුංචි ලංකා දූපතේ මේ සඳලුතලය මත ඉඳගෙන ඔහු සමග දොඩමළු වෙන්න ඇත්නම්…..

සවස පහට වැඩ ඇරිල කම්මුල් දහදියෙන් තෙමාගෙන එයා එනකොට දොරකඩට වෙලා බලා ඉඳල එයාගෙ ලොකු බෑග්එක අතට අරන් උණුසුමට තේ වත්කරල දීල…..

හැම නිවාඩු දිනවල ම දෙන්න එක්කල ම සියල්ලෙන් මිදිල කොහේ හරි ගිහින් සොබාදහමේ කිමිදෙමින් සිතට නිදහසේ දිවයන්නට ඉඩ දීල……

සාහිත්‍ය උත්සවවල දී, පොත් දොරට වැඩීම්වල දී ඒ පිළිබඳ සංවාදවල නියැලී සිටි ඒ අතීතය….. අද එම සියල්ල හිස් සිහිනයකි. අද නිකම් ම නිකම් ඇඳුම් මසන්නියක පමණි.

කුඩා දුහුල් කමිසයට නූල් මදි විය.

“මිනිත්තුවක් ඩොලර් කීයක් වටිනවද කියල මනමාලයගෙන් ම තමයි අහන්න ඕන.”

මාමා ආඩම්බරයෙන් පවසා සිනාසුනේ ය. දින දහසක් ගතවුණත් ඒ හඬ රැව් දෙන්නේ ය.

එවන මුදල් නොගෙන සිටියොත් මොකද වෙන්නෙ?

ප්‍රකාෂ්, ඔයාට මේක කෙටි පණිවිඩයක් විදියට එවන්න තිබුණ ඔයාගෙ මිනිත්තු කීපය  නාස්ති නො කර….

අව්වේ දිව එළියට දමාගෙන බල්ලා පිපාසිත ව දිව යයි. ගස් නිශ්චල ව සුළඟ වෙනුවෙන් තපස් රකිමින් සිටියි.

පාර අයිනේ පෙම් යුවලකි. පෙම්වතිය සිහින් ඇඟිලිවලින් පාර අයිනේ වූ ගසක අත්තක් තද කර අල්ලා ගෙන සිටි අතර, සාංකාව පිරි මුහුණින් සිටි ඔහු ඇයගෙන් ඇසූ කිසිදු පැනයකට පිළිතුරු නැත.

ඕ නිහඬ ව සිටියා ය.

“එයා පව්; මොනව උනත් ඔහොම හිතුවක්කාර වෙන්න එපා; කට ඇරල මොනවහරි කියන්න-”

ඇය අසලට ගොස් එසේ පැවසිය යුතු යැයි හැඟීමක් අර්ච්චනා තුළ ඇති විය-

දෙදෙනාට ම කුසගිනි දැනෙන්න ඇත- වැල්ලවත්ත ‘චෙන්නායි වෙජිටේරියන්ස්’ ඔවුන් පිළිගත්තේ ය-

අර්ච්චනාට ප්‍රකාෂ්ගෙන් හැත්තෑ පන්දහස් පන්සියයක මුදලක් ඇවිත් තිබුණි-

‘ප්‍රකාෂ්, ඔබ එවූ දේ මට ප්‍රමාණවත් නැත. මගේ සාංකාව, තනිකම, සිහින සියල්ල ම අයදින්නේ ඔබ මගේ වීමත්, මා ඔබේ වීමත් පමණි. එම නිසා ඔබේ ඩොලර් අම්මාගේ ගිනුමට බැර කළෙමි.

“බදාද අලුත් අවුරුදු කෑම මේසයට එන්න කියල ආරාධනයක් තිබුණ. එයාගෙ තේරීම තමයි මේ. එයාත් මේ වගේ ම දම්පාට ෂර්ට් එකක් ඇඳන් හිටියෙ…..”

 ප්‍රවීන් ද අම්මා සමග පැමිණ සිටියේ ය. සාරිය විද්‍යාට ම කියා සාදවන ලද්දක්දෝ? ඒ තරම් ම අලංකාර ය. ඔහු ද පසෙකින් දම්පාට කමිසය ඇඳ සිටින බවට ඈ මෙනෙහි කර බැලුවා ය.

මංගල ඡායාරූපය සඳහා වසර තුනකට පෙර ප්‍රකාෂ් තමන් අසල සිටියේ ය.

“ජෝඩුව නම් නියමෙට මැච් වෙනව.”

එසේ නොපැවසුවෙක් නැති තරම් ය.

විවාහ මංගල්‍යය.
ආදරණීය බිරිඳ.
ඇගේ අතින් පිසින කෑම.
වංශය.
දරුවන්

තෙත වරලසෙන් යුතුව උණුසුම් තේ එකක් අතින් ගෙන පැමිණි ඇය කුඩා දරුවකු ලෙස නිදා සිටි ඔහුගේ හිස සෙමින් පිරිමැද කීද්දුවා ය. උදෑසන අලස බව දුරු කරමින් තේ බඳුන සීතල විය.

ඔහුට ඒ සියල්ල ම හිස් බඳුන් වී ඇත. කිසිවෙකුත් නොබී බලා සිටි ඒ තේ එකෙහි ශාපය ද මේ?

“එයාට මගේ අතින් තේ එකක් සාදා තිබෙනවාද?”

 චාරිත්‍ර නිමා වී ඊළඟ සතියේ ම ඔහු කැනඩාවට යන ගුවන් යානයක පිටත් වූ අතර, අවුරුදු තිස් දෙකේ දී බිරිඳ යන තානාන්තරය හිමි කරගත් මම පැමිණ සිටි ඥාතීන්ගෙන් අයකු ලෙස ලංකාව තුළ තනිවීමි.
“මනමාලය ලොකු සල්ලිකාරයෙක්ලු.”
“ඔයා හිතපු විදියෙ තත්ත්වෙක ඉන්නවද?”
“කවද්ද අච්චු ඔයාට ෆ්ලයිට් එක තියෙන්නෙ?”
ප්‍රශ්න වැළ දිගට ම ඇදී ගියේ ය.
තමන් යටත් කරගෙන සිටි ප්ලාස්ටික් ක්ලිප් එක ඉවත්වීමෙන් තිගැස්සී ගිය වැලේ වැනූ නිල් ඉරි සහිත බ්ලවුසය දඟලමින් සිටිනු ජනේලයෙන් පෙනුණි. ‘ඕ…..’ පැත්තක සීත සුළඟ විඳිමින් සිටිය දී ඒ සමග අඳින දිග සාය බිම ය. ඒ ජෝඩුව වෙන් වී ඇති අයුරු අර්ච්චනා එබී බැලුවා ය.
“අච්චු, කෝවිලට ගිහින් පූජාව කරන්න. උපන් දිනයට වඩා විවාහ මංගල දවස වැදගත්. එන අවුරුද්දෙ විවාහ සංවත්සර දවසට ඔයා ගිහින් තියේවි.”
උදෑසන සිට ම අම්මා ඇතුළු ඥාතීන්ගෙන් සුබ පැතුම් පැමිණ ගොඩගැසුණි. පසුගිය වසරේ ද මේ අයුරින් ම සුබ පැතුම් ලැබුණා මතකය.
“ලබන වසරේ එයා ළඟට ගිහින් තියේවි.”

“ප්‍රකාෂ්, මටත් කියන්න. මතක අමතක කරල කොහොමද හිත හදන් ඉන්නෙ කියල? ඔයාගෙ කාරණයෙදි විතරක් මමත් ඔයා වගේ තදින් ඉන්නව. බැඳපු සැමියට ගැළපෙන විදියට බිරිඳ වෙනස් වෙන්න ඕනලු නේ…”

“දන්නවද? අද අපේ මංගල දවස.”
ලබන වසරෙදිවත් ඔයත් එක්ක එකතුවෙලා මංගල සංවත්සර දිනය සමරන්න මෙහෙ කව්රුත් ප්‍රාර්ථනා කරනව. ඒත් ඔයා….?
සිදුවීම්වල අවස්ථා යළි ගෙනහැර පාන්නට මෙන් මංගල දිනයේ දෙදෙනා ජෝඩුව ලෙස ගත් රාමු කරන ලද විශාල ඡායාරූපය දැනටත් බිත්තියේ එල්ලෙමින් තිබේ.
“අච්චු, මැහුම් නතර කරන්න එපා. එන අවුරුද්දෙ එහෙ ගිහින් ඕඩර් අරන් ලස්සනට මහන්න පුරුදු වෙන්න. අලුත් ඩිසයින් ඔක්කොම පුරුදු වෙන්න ඕන. ඔයාට මොකද? ගෙදර ඉඳන් ම අත පිරෙන්න හම්බකරන රැජිනක් නේ.”
“අම්මා…. බයවෙන්න එපා අම්මා….මම නොගියත් ඔයාට දහයියවලිනුත්-…………….”
-ගීතා ගනේෂ්

– පරිවර්තනය ජී. ජී. සරත් ආනන්ද
 

* දහයියා 
තුළිනුත් රන් උපදී – නොවටිනා දෙයකින් වුවත් වාසනාව ලැබේය යන අරුත ඇති සම්ප්‍රදායික දෙමළ සංස්කෘතිය/ සාහිත්‍යය  තුළ භාවිත වෙන  කියමනක් 
ගීතා ගණේෂ් – යාපනය අර්ධද්වීපයට ඔබ්බෙන් පිහිටි වේලනාය් නම් දූපතේ උපන් ලෝකගීතා කවාෂ්කර් සාහිත්‍යකරණයේ යෙදෙන්නේ ගීතා ගනේෂ් නමිනි. වීරකේසරී පුවත්පතේ උප කර්තෘවරියක ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ ගීතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ යාපනය සේවයේ ද කෙටි කලක් සේවය කර පසුව ඉන් ඉවත්ව ගුරු වෘත්තියෙහි නියැලුනා ය. මේ වන විට ඇය ජාතික අධ්‍යාපන ආයතනයේ දෙමළ අංශයේ උපදේශිකාවක ලෙස සේවය කරන්නී ය. ගීතා ගණේෂ්  ‘එත්තනංගල්’ සහ ‘ඉරුලෛ කිළිත්ත කෝඩු’ යනුවෙන් කෙටිකතා සංග්‍රහ දෙකක් ද, දෙමළ මාධ්‍ය පාසැල් විෂය නිර්දේශයන්ට අදාල උපකාරක ග්‍රන්ථ කිහිපයක් ද ලියා ප්‍රකාශයට පත් කර ඇත.
ඇගේ ‘ඉරුලෛ කිළිත්ත කෝඩු’ කෙටිකතා සංග්‍රහය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අංශයේ විශේෂ ව්‍යාපෘතියක් යටතේ ‘අඳුර ඉරා දැමූ රේඛාව’ නමින්  සිංහල බසට පරිවර්තනය කර පසුගිය දා ප්‍රකාශයට පත් කෙරුණි. එය සිංහල බසට නැගුවේ ප්‍රවීණ භාෂා පරිවර්තකයෙකු වන ජී. ජී. සරත් ආනන්ද විසිනි.
මෙම කෙටිකතාව එම කෘතියෙන් උපුටා ගන්නා ලද්දකි.

Image courtesy-  Veils by Charmaine Honeychurch

Leave a comment

This website uses cookies to improve your web experience.