”වෙහෙසට පත් වෙන්න අපිට අයිතියක් නෑ” – මංජුල වෙඩිවර්ධන
“මහපොළොවෙ දේශපාලනය කියන්නෙ මහපොළොව තේරුම් ගැනීමේ දේශපාලනයට; මහපොළොව විශ්ලේෂණය කර ගැනීමේ දේශපාලනයට. ගෙයින් ගෙට ගිහින් බෙදා හරින්නෙ ප්‍රඥාව වෙනුවට මිත්‍යාව නම් යුගය මොකක් වුණත් සමාජ විමුක්තිය අත්පත් වෙන්නෙ නෑ. අත්පත් කර ගත්තත් පවත්ව ගන්න වෙන්නෑ. තමන්ගෙ ආත්මරාගයෙන් සවිඥානිකව මිදෙන්නෙ නැති කිසිවෙක්ට බෑ මේ අධිපරිභෝජනවාදී සමාජයෙන් සවිඥානිකව මිදෙන්න. අධිපරිභෝජනවාදයත් එක්ක හැප්පෙන්න නම් මේ සවිඥානිකත්වය අත්පත් කර ගන්න ඕනි.”
දශකයකට අධික කාලයක් විප්‍රවාසීව ඔබ ගෙවා තිබෙනවා. එදා මෙදාතුර පිටුවහල් ජීවිතය සහ මව්බිම පිලිබඳ හැඟීම ඔබට දැනෙන්නේ කොහොමද?
මං හිතන්නෙ, මම ලියන කියන දෙයින් සහ ඒ ලියන කියන දේවල්වල අඛන්ඩතාව අනුව මේ ප්‍රශ්නයට ඔබට ම උත්තරයක් හොයා ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් මං යම් අදහසක් කියන්නම්.
බැංග්ලෝර්, දිල්ලි, කත්මන්ඩු හරහා අහම්බෙන් පැරිස් ඇවිත් සති දෙකකින් මං බර්ලින් ගියා. බර්ලිනයෙදි එක්සයිල් ඉන්න අපි හැමෝම එකතු වෙලා ‘ශ්‍රී ලංකාවේ නිදහස සඳහා මාධ්‍යවේදියො’- JDS සංවිධානය හදා ගත්තා. අපේ සංවිධානය අද දක්වාම සිදුකරන මාධ්‍ය භාවිතය දිහා ඔබ බලන්න. අපේ සයිට් එකේ කොන්ටෙන්ට් එක බලන්න. ඒකෙ අඛන්ඩතාව බලන්න. ඒ සඳහා ශ්‍රමය දාන සියලුම සහෝදරවරු ස්වේච්ඡාවෙන් ඒ ශ්‍රමය දාන්නෙ. ඒක ‘මව්බිම’ පිළිබඳ අපේ සාමුහික දෘෂ්ටිය පවා විශද වන විශාල මූලාශ්‍රයක්. ඒක මාධ්‍යවේදය පැත්තෙන්.
මං සාහිත්‍යකාරයෙක් විදිහට පිටුවහලෙදි මේ වෙනකොට තරමක් අතට බර නවකතා 4ක් ලියලා තියෙනවා. කවි පොත් 8ක් පළකරලා තියෙනවා. ‘මේරි’ නාමයෙන් සිංහල බෞද්ධ රාජ්‍යය සහ එහි ම කොටස් කාරයෙක් වන සිංහල කතෝලික පල්ලිය විසින් මගෙන් උදුරා ගැනුණු කෙටිකතාවට මං‘දුස්ටකමේ සවුන්දර්ය’ අරගෙන ආවෙ පිටුවහලෙදි. කියවීම කෙන්ද්‍රීය සාහිත්‍යයේ මූලික ම ප්‍රවර්ග තුනේම මං සක්‍රියව ඉන්නවා.
ඊට අමතරව මං වේදිකා සිනමා ටෙලි තිර පිටපත් ගණනාවක් ලියලා තියෙනවා. මං ලියපු පොදු ජනගත ගීත යම් ප්‍රමාණයක් තියෙනවා. මේ හුඟක් නිර්මාණවල ඔබේ ප්‍රශ්නයට උත්තර ලැබෙන මගේ පරිකල්පන අඩංගුව තියෙනවා.
මං 2012 අවුරුද්දෙ ‘සෙවණැලි මත’ නමින් කරපු ඡායාරූප ප්‍රදර්ශනයෙ ශාලාවට පිවිසෙන තැනට පෙන්නම මං විශාල ප්‍රමාණයෙන් මුද්‍රණය කරලා එල්ලලා තිබ්බ පින්තූරයක් තිබ්බා. මං ජීවත් වෙන පැත්තෙ වැවක් තියෙනවා. ඒ වැවේ තනි හංසයෙක් ඉන්නවා. මේ තනි හංසයා එක්තරා මොහොතක තනි පයෙන් ඉන්න පින්තූරයක් මං ඩැහැ ගන්නවා. මං ඒක නම් කරන්නෙ ‘පිටුවහල’ කියලා. ‘පිටුවහල් පිටු’ කියන කවි පොතේ ඒ පින්තූරෙ තියෙනවා.
ඒ ප්‍රදේශයේ නගරාධිපති මගෙන් ඇහුවා ඇයි උඹ මේක ‘පිටුවහල’ කියලා නම් කෙරුවෙ කියලා. මං කිව්වා ඒ තමයි මං. උස්සන් ඉන්න ඒ කකුළ මං කවදා වත් බිම තියන්නෑ කියලා. මං එච්චරයි කිව්වෙ, ඔහු මගෙ මුහුණ දිහා බලන් ඉඳලා මාව වැළඳ ගත්තා.
දෙමළ විමුක්ති අරගලයේ නිල කවියා විදිහට චිරප්‍රකට පුදුවෛ රත්තිනතුරෛ වරක් ලියනවා,
”ශ‍්‍රීපාද කඳු මුදුනින්
හිරු උදාව දකින්නට ප‍්‍රිය කරන්නේ
එම අයිතිය මට අහිමි නොකරන්න ”
ඒ අතුරුදහන් කරපු පුදුවෛගෙ ප්‍රාර්ථනාව. එහෙම කියපු පුදුවෛ තමන් ක්‍රියාකාරීව සිටි ‘ශ්‍රී ලංකාවේ කමියුනිස්ට් පක්ෂය’තුළ පවා තමන්ගෙ කටහඬට ඉඩක්, අවධානයක් නැති බව පවහා ගත්තට පස්සෙයි දෙමළ විමුක්ති අරගලය එක්ක එකතු වෙන්නෙ. මං හිතන්නෙ, ඉහත කාව්‍ය උපුටනය ඔබේ ප්‍රශ්නෙට මා දෙන මේ උත්තරේ එක්ක ගළප්පගන්න බැරි කමක් නෑ.
ඔබ වරෙක සම්මුඛ සාකච්ඡාවකදි කියනවා ‘ලිවීම කියන්නෙ පරම දුකක් ‘ බව. විප්‍රවාසී ජීවිතය ඒ ‘පරම දුක ‘ සමග බද්ධ වෙන්නෙ කොයි අන්දමටද ?
අපි කොදෙව්ව තුළම විප්‍රවාසීව හිටපු මිනිස්සු. බත්තලංගුණ්ඩුව හරහා ප්‍රකාශ වෙන්න ඇත්තෙ මේ ආත්මීයභාවය. අපි කොහොමත් අධිනිෂ්චය වුණු සිංහල – බෞද්ධ දෘෂ්ටිවාදය ඇතුළෙත් පිටුවහල්ලු. අනෙක් පැත්තෙන් අපි දුගීභාවය වැළඳගත් මිනිස්සු. බත්තලංගුණ්ඩුවෙ ඉඳන් මුන්නක්කරේ සංසාරේ වෙනකල් හැම නවකතාවකම මුඛ්‍ය චරිතය හෝ මුඛ්‍ය චරිත හැම එකක්ම පිටුවහල් චරිත.
වැළඳගත් දුගීභාවයක සිටින අපි ‘දුක’ කියන එක ජීවිතය තුළ අවිච්ඡින්න දෙයක්, එය මතු වෙන්නෙ නිරායාසකර තත්වයක් විදිහට. මේ දුක් විඳීම ඇතුළෙ සීරියස් ලියන්නෙක් වෙනවා කියන්නෙ දුක පැටව් ගහනවා. පරම දුකක් වෙන්නෙ ඒකයි.
ආර්ථික ප්‍රතිලාභ ගැන නොහිතා ලියන එක, ප්‍රොපර්ගැන්ඩා නැතුව ලියනවා කියන එක, මාකටිං නැතුව ලියනවා කියන එක
ලංකාවෙ ජාතික ප්‍රශ්නයට අදාලව පශ්චාත් යුද සාහිත්‍යට අදාලවත් මියගිය මනුෂ්‍යයෙක්ට ප්‍රාණය පිඹලා සාහිත්‍යට කැඳෙව්වෙ මම, ‘පැරිස් වලාකුළු’ කෘතියේ. ඒ ව්‍යුක්ත ප්‍රාණියෙක් නෙමෙයි තමිලිනී. ඒ එක්කම මම සමාජ මනස විනිවිඳ යන පින්තූර ගන්න පුළුවන් කැමරාවක් සහිත කැමරාකරුවෙක් මවනවා. 2015 ඉඳන් ලියපු පොත පළවුණේ 2018දි.
ෂෙහාන් කරුණාතිලකගෙ මෑන් බුකර් දිනපු ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අලිමේදා’ පොතේ ඉන්නෙ මරණයෙන් අවදි කළ ෆොටෝග්‍රැෆර් කෙනෙක්. ඔහුගෙ පොත පළ වෙන්නෙ 2022.
මම මේ කියන්නෙ ෂෙහාන්ගෙ බරපතල කෘතියත් එක්ක මගේ අති සරල නොවැදගත් නවකතාව සංසන්දනය කරන්න කියලා නෙමෙයි. ප්‍රතිලාභ නැතුව සාහිත්‍යකරණයේ යෙදෙනවා කියන එකේ යුද්ධය පෙන්නන්න. මං ලියන්නෙ සිංහලෙන්. මගේ පොත ස්වර්ණ පුස්තක පාදක මණ්ඩලයටවත් වැදගත් කෘතියක් නෙමෙයි. ඒ හින්දා මගේ සාහිත්‍ය හරහා මතු කරලන්න මම යෝජනා කරන සමාජ කතිකාව ඇණ හිටිනවා. ඒක සඟවන්න වැඩ කරන එකම තමයි සිංහලෙන් පොත් කියවන පාදක පාදක මණ්ඩලවල උවමනාව සහ වගකීම. නමුත් ෂෙහාන්ගෙ පොත යෝජනා කරන සමාජ කතිකාව මතු කරන්න ඒකට තටු පැළඳ ගන්නට අවශ්‍ය අනුමැතිය දෙන්න ඉංග්‍රීසියෙන් කියවන ප්‍රජාවට ගැටළුවක් මතු වෙන්නෙ නෑ. නවකතාමය තාක්ෂණයට නෙමෙයි තමන් කතා කරන විෂයට ෂෙහාන් මොනතරම් ඓන්ද්‍රීයද අනන්‍ය ද යන්න ඒ කාටවත් ගැටළුවක් වෙන්නෙ නෑ.
ඒකයි මං මේ කියන්න උත්සාහ කරන්නෙ, සිංහලෙන් ලියනවා කියන්නෙ පරම දුකම නඩත්තු කරන්න සිද්ධ වෙන සංසිද්ධියක්. මේක සයිමන් වගේ කෙනෙක් නඩත්තු නොකරපු, ඔහු හංවඩු ගහපු සමාජයක්. මේක සුගතපාල ද සිල්වා වගේ කෙනෙක් නඩත්තු නොකරපු නරුම සමාජයක්. දැන් අපේ සරුපයා බලන්න, මොන තරම් දුකක් අනුභව කරනවද තමන්ගෙ සාහිත්‍ය ක්‍රියාවලියත් එක්ක අඛන්ඩව රැඳිලා ඉන්න. මේ භෞතික ජීවිත සංසන්දනය කරන්න නිකමට වගේ. මේ මොන නරුම සමාජයක්ද මේ.
එවන් භෞතික ජීවිතයක් ගෙවමින් අඛන්ඩව ලියනවා කියන්නෙ පරම දුකක් තමයි. නමුත් මම ‘ලිවීම කියන්නෙ පරම දුකක්’ කියලා අදහස් කෙරුවෙ ලිවීමේ ක්‍රියාවලියේ තියෙන දුෂ්කරභාවය පෙන්වන්න. ඒ ඒ චරිත වලට අනන්‍ය වෙමින්, ඒ ඒ චරිත කරන සංවාද ඒ ඒ ස්වරයෙන් උච්ඡාරණය කරමින් ලිවීමක් සංවිධානය කර ගන්නවා කියන එක, මං කියන්නෙ ප්‍රබන්දයක් – පරිකල්පනය මතම පදනම් වෙන ලිවීමක්, පරම දුකක්. ඒ අතරෙ පතෝල ලියන්නෙක් නොවී, හුදු කදන්දරකාරයෙක් නොවී, දේශපාලන ස්ථාවරයක් දරමින් ලියනවා කියන්නෙ ඒ පරම දුක තව තවත් වර නඟනවා කියන එක.
මව්බිමේ සිටියදී ඔබ පුවත්පත් කලාවේදියෙකුව ගත කළ 90 දශකය 88-89 දකුණේ කැරැල්ලෙන් පසු උතුරේ සිවිල් යුදමය තත්ත්වය ඔඩුදුවමින් රට අතිශය කැලඹීමට ලක් කළ කාලවකවානුවක්. පුවත්පත් කලාවේදියෙකු ලෙස ඒ අත්දැකීම් ඔබට සම්මුඛ වුණු ආකාරය සිහියට නැගිය හැකිද?
මං ඇත්තටම ලියන්නෙක් වෙන්නෙ දකුණේ දෙවැනි කැරැල්ලෙ කම්පනය සහිතව. පුද්ගලික ජීවන අරමුණක් සොයා පහදා ගෙන සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනු වෙනුවට පොදු අරමුණක් වෙත සමීප වීමේ අභ්‍යන්තර කැඳවීම එන්නෙ ඒ සංහාරය විසින් ඉතුරු කෙරුණු ශේෂ පත්‍රය හරහා. මං 90 දශකය මුල තමයි ලංකාදීප පත්තරයට සම්බන්ද වෙන්නෙ. 95 අපි කරපු වෘත්තීය සමිති අරගලය නිසා අපි ලංකාදීප පත්තරයෙන් එළියට වැටෙනවා. චන්ද්‍රිකා බලයට ආවට පස්සෙ දකුණේ මර්දනය කෙරුණු පළමු සටන ඒක. ඒ වනවිටත් චන්ද්‍රිකා ‘සාමය සඳහා යුද්ධය’ නමින් උතුරට හිතුමතේ බෝම්බ දාන නියෝග දීලා තිබුණේ. සිංහල ගුවන් හමුවාද විසින් නවාලි ශාන්ත පීතර දේවස්තානයට බෝම්බ දාලා මරාදාපු දෙමළ ප්‍රජාව අතර හිටපු කුඩා දැරියකගෙ පින්තූරයක් ‘හිරු’ පත්තරේ මුල් පිටුවෙ දාලා තිබුණා. ඒ මුහුණ දරාගන්න අමාරු තරම් හැඟීමක් ගෙනාවා. ඒ මුහුණෙ, ඒ දෙතොල් වල හිනාවක් තිබුණා මරාදන්න බැරි වෙච්ච. මං මුන්නක්කරේ සංසාරේ කෘතියෙ පවා ඒ ගැන ලිව්වා. ලංකාවෙ ජාතික ගැටළුවට අදාල තීරණාත්මක න්‍යායික සංවාදයකින් පස්සෙ භාෂණ ඇතුළු කණ්ඩායම ජවිපෙන් කැඩෙන්නෙ මේ වකවානුවෙ. මම ‘හිරු’ මතවාදය එක්ක නතර වුණේ එහෙම. අඛන්ඩව දශක තුනකට ආසන්න කාලයක් අපි මේ අදහස නියෝජනය කරමින් මාධ්‍ය භාවිතයක මෙන්ම සාහිත්‍ය කලා භාවිතයෙ නිරත වෙනවා. 90 දශකය තමයි මගේ ජීවන දර්ශනයේ සැකැස්ම හැදුණු දශකය. එහි පදනමේ තියෙන්න රටේ කේන්ද්‍රීව ප්‍රශ්නය ගැන ගත්තු ස්ථාවරය. ඒ ස්ථාවරය නිසාම ලැබුණු අත්දැකීම් කප්පරක් තියෙනවා.
සිංහල ස්වෝත්තමවාදී බලවේග නව මුහුණුවරකින් නැගී සිටි 2000-2005 කාලවකවානුවෙදිත් ඔබ උතුරේ සහ දකුණේ සංවිධානය වූ කලා සංස්කෘතික වැඩවලට සහ වාර්තාකරණයට සහභාගි වෙනවා. ඒ අත්දැකීම කොයි වගේ ද?
සංවාදයෙ දිග පළල ගැන හිතල මං එක අත්දැකීමක් විතරක් කියන්නම්. 2002 අවුරුද්දෙ යාපනයේ වීරසිංහම් ශාලාවෙ තිබුණා කලා උළෙලක්. ‘’මනුෂ්‍යත්වයේ දෙමළ හමුව’’ ඒක තමයි නාමකරණය. අපි දකුණෙන් ගිහින් හිටියෙ අතලොස්සක පිරිසක්. ඒ අතර සිංහල පිරිස ඉතාම අල්පයි. සමාරම්භක උත්සවය සනිටුහන් කරමින් සංවිධායක මඩුල්ල වීරසිංහම් ශාලාව අබියස ප්‍රධාන මාර්ගය අයිනෙ මහෝගනී ගස් 5ක් ඉන්දවන බව නිවේදනය කළා. පළමු නම් හතර විදිහට කියවුණේ දෙමළ දේශපාලන කලා සංස්කෘතික ක්ෂේත්‍ර නියෝජනය කරන දැවැන්තයන්ගෙ නම්. පස්වැනි මහෝගනී පැළය හිටවන්න ඒගොල්ලො දකුණෙ නියෝජනය කරමින් යාපනයට පැමිණ සිටපු සිංහල සහෝදරත්වය නියෝජනය කරපු කෙනෙක් තෝර ගන්න තීන්දු කරලා තිබුණා. ඒ නියෝජනයේ නම කියවුණා. ඒ මගේ නම. මගේ හදවත සිරිපාද කන්ද පපුව උඩට පෙරලුණා වගේ බරකින් පිරිලා ගියා. උද්යෝගිමත් දෙමළ ප්‍රජාව වටකරගෙන ඔවුන්ගේ අත්පුඩි හඬ මැද, මා සිටිවිය යුතු මහෝගනී පැළය අතට ලැබුණා. ඒ පැළය අතට ගද්දි මට දැනුණෙ සංසාරෙක බර.
එදා රෑ මමත් භාෂණ සහෝදරයත් හිටියෙ අපේ අති සමීප මිත්‍ර සාමිනාදන් විමල්ගෙ ගෙදර. පහුවෙනිදා තිබ්බෙ මමත් භාෂණත් නියෝජනය කරපු මාධ්‍ය සැසිය. අපි දෙන්නගෙම කතා දෙමළට නැගුවෙ සාමි. භාෂණ ඔහුට සුපුරුදු තියුණු සහ ගැඹුරු දේශපාලන විශ්ලේෂණයන් සහිත, රැස් වෙලා හිටපු දෙමළ කලා සංස්කෘතික සභාව තිගැස්සෙන සුලු බරසාර කතාවක් කළා.
මගේ කතාව හැඟුම්බර කතාවක්. මං කොහොමත් හැඟුම්බර වෙලාමයි උන්නෙ. මම මගේ කතාව පටන් ගත්තෙ යාපනේට ඇවිල්ලා සිංහලෙන් කතා කරන්න වෙච්ච එකට සමාව ඉල්ලලා. මං කතා කෙරුවෙ දෙමළ මිනිස්සුන්ගෙ ජීවිත දකුණේ සිංහල මාධ්‍ය කොහොමද වාර්තා කරන්නෙ කියන තේමාව ඇතුළෙ. විශේෂයෙන් දිවයින පත්තරේ සහ ඉරිදා ලංකා පත්තරේ විසකුරු බව මං මගේ උදාහරණවලට අරගත්තා. සභාව පුදුම වෙන බවක් පෙනුණා මං කියන කරුණු පිළිබඳ. ඒ කතාව අවසන් වෙද්දි නැගුණු අත්පොළසන් හඬ තාමත් හදවත් ඇතුළෙ පිළිරැව් නැඟෙනවා.
ඒ සැසිය ඉවර වෙලා හිතේ ඇතිවෙච්ච ආතතියෙන් මිදෙන්න මං වීරසිංහම් ශාලාව ඉස්සරහ විවෘත අවකාශෙ සිගරට් එකක් බිබී හිටියා. මං සිගරට් එක බීලා හැරෙද්දිම, මගෙ ඉස්සරහට ආවා ඉතා තරුණ, ඉතා පැහැපත් සමක් තියෙන, ඉතා ප්‍රසන්න තරුණයෙක්, ප්‍රසන්න හිනාවක් මුහුණෙ රඳවගෙන. ඔහු ඇවිත් මගේ අත් දෙකෙන් අල්ලගෙන කතා කරන්න ගත්තා. ඔහු කිව්වා මේ විදිහට හිතන සිංහල මිනිස්සු ඉන්නවා කියන කාරණාව ගැන ඔහු පුදුම වෙලා ඉන්නෙ කියලා. ඔහු ඉතා හැඟුම්බරව හිටියෙ. ඔහු මට කතා කළේ ඉතා ආදරෙන්. උතුරා යන සහෝදරත්වයෙන්. ඔහු මට ඔහුගේ ජීවිතය ගැන සහ ඔහු ඒ මොහොතේ හිටපු ස්ථාවරය ගැන එක දිගට කියන්න වුණා.
අවසානයේ ඔහු මට, තද බැම්ම සහිත, අගනා ලෙස මුද්‍රණය කරපු, ඉතා කුඩා ප්‍රමාණයේ පොතක් තෑගි කළා. ඒ පොතේ තිබුණේ තමන්ගෙ නායකයා කරපු දේශනවලින් උපුටා ගත් විවිධ උදෘත පාඨ. දන්නවද ඔහු කවුද කියලා. ඔහු මරාගෙන මැරෙන පුහුණුව ලබපු ‘කළු කොටියෙක්’.
කතා කප්පරක් අතරින් මේ වීරසිංහම් ශාලා කතාව කීමෙන් මං උත්සාහ කළේ අපේ මාධ්‍ය දේශපාලනය පවා දෑත් දිගු කරමින් තිබුණෙ සහෝදරත්වය දෙසට කියන එක ඔබට තහවුරු කරන්න.
ඔබේ මුල් ම කෙටිකතා සංග්‍රහය ‘මේරි නම්වූ මරියා’ වාරණය වෙන්නෙත් මේ කාලෙදි. ලේඛකයෙකු විදිහට එදා ඔබට එයින් වූ බලපෑම දශක දෙකක් ගත වෙලා තියෙන අද දවසෙ ඔබ කියවන්නෙ කොහොමද?
මෙහෙමයි, මේ නිශ්චිත මොහොතෙ ඉන්න ‘මම’ මේ සියලු අත්දැකීම්වල නිර්මිතයක්. උදාහරණයක් විදිහට මාව,‘මුන්නක්කරේ සංසාරේ’ දක්වා අරන් යන කැඳවීම එන්නෙ ඒ අත්දැකීම් විසින් ගොඩනැඟුව අධ්‍යාත්මය හරහා.
මේ සංසිද්ධිය සමාජියව සහ දේශපාලනිකව විග්‍රහ කරන්න අවශ්‍ය තරම් කරුණු තියෙනවා. නමුත් ඒ වාරණය හෝ තහනම මට පුද්ගලිකව හොඳක් හෝ නරකක් වුණා කියන විග්‍රහයට යන්න අමාරුයි. මොකද මා මේ ගත කරන ජීවිතය කියන්නෙ මේ සියල්ලේ ඓක්‍යය.
ඔබේ නවතම නවකතාව ‘මුන්නක්කරේ සංසාරෙ’ කෘතියෙන් ඔබ අරන් එන්නෙත් කිතුණු සංස්කෘතික සමාජය පසුබිමෙහි තබා රාජ්‍යය සහ ආගමික සංස්ථාවන් මගින් නිර්මාණය කළ සමාජ දේශපාලනය පිලිබද ගැඹුරු කියවීමක්. මේ කෘතිය ලියවෙන්න අවශ්‍ය කරන පසුබිම හැදෙන්නෙ කොහොමද? කොයි කාලයක සිටද?
මුන්නක්කරේ සංසාරේ ලියන හෝ ලියවෙන පසුබිම කියන්නෙ මගේ සමස්ථ ජීවිතය. මං ඉපදෙන්නත් කලින් මගේ උප්පත්තිය තීන්දු කරපු, මගේ ඉගෙන ගන්න හෝ අදහන ආගම තීන්දු කරපු, මං ඉපදුණාට පස්සෙ මගේ කිසිම අනුමැතියකින් තොරව මාව බෞතීස්ම කරපු, මේ මොහොත දක්වාම වසර දශක පහකට එහා අඛන්ඩව පවතින මගේ අම්මගෙ සහ තාත්තගෙ ආදරයෙ ඉඳන්ම තමයි මේ පසුබිම හැදෙන්නෙ. මගේ තාත්තා බෞද්ධ සම්භවයක් තියෙන පවුලක. ලංකාවෙ සම්ප්‍රදාය අනුව දරුවන්ට හිමිවෙන්නෙ පිරිමියාගේ අධිකාරී බලයට අවනත තාත්තගෙ ආගම. ඒ අනුව මං බුද්ධාගංකාරයෙක් විය යුතු ව තිබුණා. නමුත් මගේ අම්මගෙයි තාත්තාගෙයි ආදරයේ සම්මුතිය හින්දා. ‘’මං ඔයාව බඳින්නෙ අපිට ලැබෙන ළමයි ආගමට දෙනවා නම් විතරයි’’ ඔන්න කොන්දේසිය. ඒ කැමැත්ත දිලා කෙල්ලව ගත්තට තාත්තා මුල ඉඳන්ම විශ්වාසයට විෂබීජ දාන්න ගත්තා. හැමදේටම ඔහුට විවේචනයක් තිබුණා. අම්මගෙ ආගමික භාවිතය ඔහු විශ්ලේෂණය කෙරුවා. ඒකෙන් මුලින්ම වුණේ විශ්වාසය සම්බන්ද ආගමික ශ්‍රද්ධාව බිඳ වැටෙන එක. ඒ අනුව මම දෙවියන් පිළිබඳ විශ්වාසයකින් තොරව දෙවියන් පිළිබඳ හදාරන්නෙක් වුණා. ජේසුස් කියන්නෙ දෙවියන්ගෙ පුත්‍රයා කියන එක විශ්වාසයෙන් කැඩිලා භෞතිකවාදී ජේසුස් කෙනෙක් හොයන්න වුණා.
නමුත් මගේ අම්මා තවමත්, අදටත්, උදේට නැගිට්ට හැටිය සුරුවම් කූඩුවට පහනක් තියලා ඔරසං කියන, ඉරිදට වරද්දන්නෙ නැතුව පූජාවට යන , හැමදාම හැන්දෑවට කොන්තෙ කියන, කොන්තෙ කියලා මං වෙනුවෙන් විතරක් නෙමෙයි වසන්ත මුදලිගේ වෙනුවෙන් පවා ඔරසමක් මතුරන, නුවාන, ඥානකාන්ති ඈ වූ කප්පරක් වතාවත් කරන, වාර්ෂිකව මීසමේ ප්‍රධාන සුරුවම ගෙදෙට්ට වඩම්මන, තවමත් වැඩ ඉර නැති ඇගෙ ගෙදර ෆාදර්ලට කියලා බෙන්සාරු කරවන අතිශය බැතිබර කතෝලික ස්ත්‍රියක්.
මගේ අම්මා දන්න ආගමයි මං දන්න ආගමයි කියන්නෙ පැහැදිලිවම දෙකක්. නමුත් මං දන්න ආගම වගේ ම මං පවා ව්‍යුත්පන්න වෙන්නෙ අම්මා හරහා සහ ඇගේ සංස්කෘතික පදනම හරහා.
අම්මා අදහපු ආගමෙන් සහ ඒ ආගමික ජීවිතයෙන් දිගින් දිගටම ඈත් වෙමින් සහ ඇගේ ආදරයට සහ අධ්‍යාත්මයට තව තවත් ළංවෙමින් ගතකරපු පුත්‍රයකුගේ අභ්‍යන්තර භාෂණය තමයි මුන්නක්කරේ සංසාරේ විදිහට මතු වෙන්නෙ. මගේ පරම්පරාව නියෝජනය කරන වැළඳගත් දුගීභාවය සහිත කිතුනු සහෝදරියන්ගේ සහ සහෝදරියන්ගේ සාමුහික විඥානය මෙන්ම සාමුහික ප්‍රාර්ථනාව ඩික්ලෙයාර් කරන්න, එහෙම නැත්තං ස්ථානගත කරන්න, ස්ථාපිත කරන්න, ලංකාවෙ මහපොලොවට කැඳවන්න, මං පරම දුකක් විඳිමින් අරගත්තු සාහිත්‍යයිතක ප්‍රවේශය තමයි මුන්නක්කරේ සංසාරේ කියන්නෙ.
රණකාමීත්වය උත්කර්ෂයට නැගෙන සමාජයක පීඩිතයා වෙනුවෙන් ජනප්‍රිය නොවන දේශපාලන ස්ථාවර දරමින් ලිවීම, එදා මෙදා තුර යම් මොහොතකදි ඔබව වෙහෙසට පත් කරල නැද්ද?
වෙහෙසට පත් වෙන්න අපිට අයිතියක් නෑ. ඒක තමයි කෙටියෙන්ම දෙන්න පුළුවන් උත්තරේ.
දේශපාලන ස්ථාවරයක් දරනවා කියන එකට ජනප්‍රියවීම කියන කාරණාව අදාල නෑ. ස්ථාවරයේ තියෙන ස්ථාවරභාවය විතරයි වැදගත්. අනික මං හිතන දේ තමයි දේශපාලන ස්ථාවරයක අඛන්ඩභාවය. ඒ අඛන්ඩභාවයේ පදනමත් ඒ දේශපාලන ස්ථාවරය ඉක්මවා යා හැකි වෙනත් බරපතල න්‍යායික හෝ භෞතික දේශපාලන ව්‍යාපාරයක් මතු නොවීම.
ලංකාවෙ අන්ත දක්ෂිණාංශික දේශපාලනයේ සිට වාමාංශික දේශපාලය හැමදාම කෙරුවෙ සහ අදටත් දෛනිකව කරමින් ඉන්නෙ ගැළරිය චූන් කරන කතා. ගැළරිය කියන්නෙ පීඩිතයා. පීඩිතයා පවා පුහුණු කරලා තියෙන්නෙ මේ කතාවලින් ප්‍රීනනය වෙන්න. ඒ හින්දා තමන් චූන් වෙන කතා ඔවුන් අවිඥානිකව අපේක්ෂා කරනවා. ෆුල් ටයිම් දේශපාලනය කරනවා කියලා කියන වාමාංශික තක්කඩිත් මේක දන්නවා. ඔබ බලන්න මේ මොහොතෙ දේශපාලනික වේදිකාවල සිද්ධ කෙරෙන කතා. මිනිහෙක් දේශපාලනිකව එක අඟලක් උස යන කතාවක් ඔබට ඇහිලා තියෙනවද? මිනිහෙක් දාර්ශනිකව එක අඩියක් පෙරට අරන් යන කතාවක් ඔබට ඇහිලා තියෙනවාද? දේශපාලන පම්පෝරි විතරයි තාම ඇහෙන්නෙ. මේ දේශපාලන පම්පෝරිකාරයොයි, අර නන්දොඩවන ක්‍රිස්තියානි පාස්ටර්ලයි, බෞද්ධ භීක්ෂු චරිතයි අතර වෙනසක් ඔබට පේනවද?
ජීවිතය යනු කුමක්ද හෝ ආදරය යනු කුමක්ද වැනි ව්‍යුක්ත දාර්ශනික ප්‍රශ්න අතර කල් මරනවා වෙනුවට රටේ කේන්ද්‍රීය මෙන්ම සංයුක්ත ප්‍රශ්න වෙත අවධානය යොමු කිරීමේ දේශපාලනික ප්‍රවාහය නියෝජනය කිරීම ඇතුළෙ කිසියම් වෙහෙසක් දැනෙන්නට ඇතැයි කියලා ඔබට අනුමාන කරන්න පුළුවන්. නමුත් අපි අත්දැකපු සහ තවමත් දෛනිකව අත්දකින සියලු දේශපාලන නාඩගම් සහ විගඩම් නිසාම, මෙම ප්‍රශ්නය තුළ ඔබ යෝජනා කරන සකල වෙහෙස මහන්සීන් ධූරින්භූත කරලන්න, ඒ දේශපාලන ස්ථාවරයටම පුළුවන් වෙලා තියෙනවා.
අධිපාරිභෝජනවාදයට යටවූ, සංස්කෘතික මිනිසුන් වඳ වෙමින් යන සමාජයක් ඇතුළෙ ජනප්‍රිය නොවන ස්ථාවර දරන නිර්මාණකරුවන්ට පවතින්න පුළුවන් කියල ඔබ හිතනවද? ඔබ හිතන විදිහට ඔවුන්ට ඇති අභියෝගයට මුහුණ දෙන්න වෙන්නේ කොහොමද?
අභියෝගයට මුහුණදීම පටන් ගන්න වෙන්නෙ තමන් තුළම කැරලි ගසමින්. අධිපරිභෝජනවාදය මුහුණ දෙන්න මතවාද සකස් කරන බොහෝ මිත්‍රවරු ඒ සඳහා වේදිකාව කරගන්නෙ ඩිජිටල් ධනේෂ්වරයෙන් ව්‍යුත්පන්න සමාජ මාධ්‍ය. ඒ මතවාද හදන ක්‍රියාවලියටම තමයි තමනුත් ගොදුරු වෙලා ඉන්නෙ කියන ප්‍රඥාව ඔවුන්ට නැහැ.
ලංකාවෙ වගේ බඩගෝස්තරවාදීන් ගහණ රටක සමාජ මාධ්‍යවලින් අරගලයක් පවත්ව ගන්න බෑ කියන අද්දැකීම අපිට තියෙනවා නේද? මහපොලොවෙ දේශපාලනයක් තමයි සමාජය ඥාණනය කිරීම ඉල්ලා සිටින්නෙ. මහපොළොවෙ දේශපාලනය කිව්වට පටලවා ගන්න එපා, මං කියන්නෙ ගෙන් ගෙට යමින්, ගමින් ගමට යමින් කරන ආත්මරාගී දේශපාලනය නෙමෙයි. මහපොළොවෙ දේශපාලනය කියන්නෙ මහපොළොව තේරුම් ගැනීමේ දේශපාලනයට; මහපොළොව විශ්ලේෂණය කර ගැනීමේ දේශපාලනයට. ගෙයින් ගෙට ගිහින් බෙදා හරින්නෙ ප්‍රඥාව වෙනුවට මිත්‍යාව නම් යුගය මොකක් වුණත් සමාජ විමුක්තිය අත්පත් වෙන්නෙ නෑ. අත්පත් කර ගත්තත් පවත්ව ගන්න වෙන්නෑ. තමන්ගෙ ආත්මරාගයෙන් සවිඥානිකව මිදෙන්නෙ නැති කිසිවෙක්ට බෑ මේ අධිපරිභෝජනවාදී සමාජයෙන් සවිඥානිකව මිදෙන්න. අධිපරිභෝජනවාදයත් එක්ක හැප්පෙන්නනම් මේ සවිඥානිකත්වය අත්පත් කර ගන්න ඕනි.*
ජීවිතය දෙස ආපසු හැරිල බලනකොට ඔබ තවමත් දකිමින් සිටින සිහිනයක් තියෙනවාද?එසේත් නැතිනම් ඔබ ඒ සිහින දැකීම මේ වන විට අත්හල කෙනෙකුද? විශේෂයෙන්ම සමාජ දේශපාලන මැදිහත් වීම් කළ සහ තවමත් කරමින් ඉන්න ලේඛකයෙකු විදිහට?
එඩ්ගා ඇලන් පෝ හෝ පසුකාලීන බොහෝ වැදගත් සාහිත්‍යකාරයො තමන් දුටු සිහිනම සාහිත්‍ය බවට පරිවර්තනය කරලා තියෙනවා. ඇතැම් ලියන්නො පුරුදු වෙලා හිටියා තමන් නැඟිට්ට හැටියෙ තමන් දැකපු සිහිනෙ ලියලා තියන්න. ඒවා බරපතල සාහිත්‍යක් ගෙනත් තියෙනවා.
මගේ භෞතික ජීවිතයෙදි මං කප්පරක් සිහින දැකලා තියෙනවා. ඒවා අතිශය ශෘංගාරාත්මක සිහිනයන්ගෙ සිට අතිශය මාරාන්තික සිහින දක්වා පරාසෙක විහිදෙන සිහින.
මං දන්න දන්න නො දන්න බොහෝ මිනිසුන් ඒ සිහින ඇතුළෙ උන්නා හිනාවුණා ඇඬුවා සමහර විට හැපුණා මැරුණා සමහර විට මැරිච්ච අය නැඟිට්ටා, කාලෙකට පෙර මැරුණු අය සජිවීව උන්නා වගේ බොහෝ දේවල් මතක තිබුණත් ඒ දකින සිහින, අවදිවුණාට පස්සෙ මට මතක හිටියෙ නෑ. මං විශාල පරිශ්‍රමයක් දරලා තියෙනවා සිහින මතක තියාගන්න. නමුත් කවදාවත් ඒ උත්සාහය ඵල දැරුවෙ නෑ. මගේ මනසේ ස්වාභාවය එහෙම වෙන්න ඇති. මං දන්නවා, සමහර සිහින තියෙනවා නින්ද කැඩිලා ආයෙ නිදාගත්තම කන්ටින්‍යු වෙන සිහින. සිහින විශ්ලේෂණයෙදි කියනවා ඒ අවදිවීම් ව්‍යාජ අවදිවීම් කියලා. මං ඒවා ගැන උනන්දු නොවුණෙ, සිහින එහෙම කන්ටින්‍යු වුණා කියලා මතක තිබුණට ඒ සිහින මොනවද කියලා මට මතක නොහිටින නිසා.
ඔබේ ප්‍රශ්නයට මං ප්‍රවේශයක් අරගත්තෙ භෞතිකවම සිහින ගැන කතා කරමින්. මං මගේ හුඟක් කතාවල සිහින ලියනවා. ඒ සියලු සිහින මං පරිකල්පනය කරපුවා. සිහින මතක නොහිටියට මට සිහින ගොතන්න පුළුවන්.
මං මුන්නක්කරේ සංසාරෙදි මෙහෙම ලියනවා. ‘’ සිහින කියන්නෙ නින්දෙන් දකින සෙලෝලයිඩ්පටිවලට නෙමෙයි. සිහින කියන්නෙ ජීවිතේම කොටසක්. ජීවිතේ ම පරාවර්තනයක්.’’
මගේ කවිය, නවකතාව හෝ සමස්ථ ලේඛනය පරාවර්තනය කරන කිසියම් විශ්වයක්, ලෝකයක්, ප්‍රේමයක්, සහෝදරත්වයක් ඔබ දකිනවා නම් ඒකම තමයි සිහිනය. මගේ ලිවීම, ඒ කියන්නෙ මගේ සිතීම එහෙම දෙයක් පෙන්නන්නෙ නැත්තං, ඒ කියන්නෙ මට කිසිම සිහිනයක් නෑ. එහෙම දෙයක් පෙන්නනවා නම්, ඒ කියන්නෙ තවමත් මට සිහිනයක් තියෙනවා.
මංජුල වෙඩිවර්ධන –
අනූව දශකය මුල භාගයේදී ජනමාධ්‍ය සහ සාහිත්‍ය ක්ෂේත්‍රවලට පිවිසෙන මංජුල වෙඩිවර්ධන මේ වනවිට කාව්‍ය කෘති දහයක් , කෙටි කතා සංග්‍රහ තුනක් සහ නවකතා පහක් රචනා කොට තිබේ. දැනට විප්‍රවාසී දිවියක් ගෙවන ඔහුගේ සාහිත්‍ය නිර්මාණ දෙමළ, ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂාවලට පරිවර්තනය වී ඇති අතර ඔහුගේ නවතම නවකතාව ‘මුන්නක්කරේ සංසාරේ’ විදර්ශන ප්‍රකාශනයක් ලෙස පසුගියදා එළි දුටුවේය.
සංවාදය – කත්‍යානා අමරසිංහ