මායාමය සිද්ධීන් යනු ලතින් ඇමෙරිකානු කලාපයේ දෛනික ජීවිතයේ කොටසක් ! – ගාබ්‍රියල් ගාර්සියා මාර්කේස්

විමර්ශී
14 Min Read

 

වර්ෂ 1927 දී කොලොම්බියානු ගමක් වූ අරකාටාකාහි උපන් ගාබ්‍රියල් ගාර්සියා මාර්කේස් නූතන නවකතාවේ විශිෂ්ටයෙකු බවට සලකුණක් තැබුවේ 1967 වර්ෂයේදී පළවූ ඔහුගේ  Cien años de soledad (සියක් වසක හුදෙකලාව) නවකතාව හරහා ය. 1982 වසරේදී ඔහු සාහිත්‍යය පිළිබඳ නොබෙල් තෑග්ග දිනා ගත්තේය. පේරු ජාතික ජනමාධ්‍යවේදියකු වූ මනුවෙල් ඔසෝරියෝ විසින් 1991 වසරේදී සිදු කළ මෙම සම්මුඛ සාකච්ඡාවේදී ඔහු ලතින් ඇමෙරිකාව පිළිබඳ ඔහුගේ පෞද්ගලික දැක්මත්, ඔහුගේ කෘතිවල මූලික තේමාවන් පිළිබඳවත් සාකච්ඡා කරයි.

* ලතින් ඇමෙරිකාවේ විවිධ සංස්කෘතීන් එකට එක්වී නැවුම් සහ පොහොසත් යමක් නිර්මාණය කර තිබෙනවා. ලතින් ඇමෙරිකානුවන් මෙම අන්තර් සංකලනය ගැන දැනුවත්ද?

මා ගැන කතා කළොත්- ලේඛකයෙකු විදිහට මට තිබෙන අත්දැකීම් සහ විවිධ සමාජ සහ දේශපාලන යාන්ත්‍රණයන් සමග මගේ ඇති නිරන්තර සබඳතා නිසා ලතින් ඇමෙරිකානු සංස්කෘතියේ අනෙකුත් පැතිකඩ පිළිබඳව මගේ දැනුවත් බව ඉහළ ගොස් තිබුණත්- මාත් මේ කාරණය ගැන අවබෝධය ලබා ගත්තේ අවුරුදු කිහිපයකට කලින්. මම අප්‍රිකාවේ සංචාරය කරන විට නිරීක්ෂණය කළ දෙයක් තමයි එහි ජනප්‍රිය කලාවේ ඇතැම් මාදිලි සහ විවිධ කැරිබියානු රටවල එවැනි කලා මාදිලි අතර යම් සමානකම් තිබෙන බව. එය හරහා මට අපේ සංස්කෘතික වාතාවරණය ගැනත්, පොදුවේ ගත් විට විවිධ සංස්කෘතීන්වල මූලයන් අතර ඇති සබඳතාව ගැනත් පැහැදිලි අවබෝධයක් ලැබුණා.

මෙවැනි තෙරුම් ගැනීම් හරහා සංස්කෘතියක ඇති අනන්‍ය සහ විශ්වීය බව යන දෙකම නිරාවරණය කර ගත හැකියි. මිනිසුන් අතර විශාල සම්න්ධතා ජාලයක් පැවතිය හැකියි එවැන්නක් තිබෙන බව ඔවුන්වත් නොදන්න.

*ඔබේ නවකතාවල ආරම්භය එතන නොවෙයිද? වෙන එකක් තබා ඒවායේ තේමාව පවා?

ඇත්තටම ඒවා රචනා කරන විට මට බහුසංස්කෘතික බලපෑම ගැන එතරම් හිතිලා තිබුණෙ නැහැ. එය ඉබේම තමයි මා කරා පැමිණියේ. එතැනින් පස්සෙ තමයි මටත් තේරුම් ගියේ සම්පූර්ණයෙන්ම පාහේ අවිඥාණිකව මේ සංස්කෘතික සංකලනයට අයත් මූලයන් මගේ රචනාවල පවතින බව. මෙම මූලයන් මා ලියන විට ක්‍රමිකව කෘතිය තුළට රිංගා ගත් ඒවා.
ලතින් ඇමෙරිකාවේ අනේක විධ ආභාසයන් එකිනෙකට මිශ්‍ර වී මහාද්වීපය පුරා පැතිරී තිබෙනවා. බටහිර සංස්කෘතිය, අප්‍රිකානු නියෝජනය, වෙන එකක් තබා පෙරදිග මූලයන් ආදී සියල්ලම ස්වදේශික පූර්ව කොලොම්බියානු සම්ප්‍රදායට එකතු වී තිබෙනවා. ඒ නිසා තමයි මම හිතන්නෙ කාට හෝ මෙක්සිකානු හෝ කොලොම්බියානු සංස්කෘතියක් ගැන කතා කරන්න බැහැ කියලා. පුද්ගලිකව ගත්තොත් මම තවදුරටත් හිතන්නෙ නැහැ මම කොලොම්බියානුවෙක් කියලා. පළමුකොටම සහ අන් සියල්ලට පෙර මම ලතින් ඇමෙරිකානුවෙක් සහ ඒ ගැන ආඩම්බර වෙන කෙනෙක්.
මෙතනදී එකතු කළ යුතුයි ලතින් ඇමෙරිකාවේ ඉතිහාසය ස්පාඤ්ඤ යටත්විජිත සමය  සමග පටන් ගත් බව සිතීම වැරදි බව. ඒක යටත්විජිතවාදීන්ගෙ දෘෂ්ටි කෝණය. ස්පාඤ්ඤ ප්‍රතිරාජවරුන් නිර්මාණය කළ ජාතීන් යනු බාහිරින් අත්තනෝමතිකව ගත් තීරණවල ප්‍රතිඵල මිස අපේම විශේෂ අවශ්‍යතා අනුව කෙරුණු දෙයක් නොවන බව කිසිදා අමතක නොකළ යුතුයි.

අපේ කාලීන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට අප පූර්ව යටත්විජිත යුගයට වෙත යා යුතුයි. ලතින් ඇමෙරිකානු රටවල් වෙන් කරමින් අඳින ලද දේශ සීමා අපව පාවිච්චි කිරීම සඳහා නිර්මාණය කරන ලද ඒවා. තවමත්, අවශ්‍යතාව මතු වන ඕනෑම වෙලාවක ජාතිකවාදය සඳහා වූ හඬගෑම් ඉහළ යනවා. පැහැදිලිවම එය විසින් කරන්නේ අප එකිනෙකාට එරෙහිව තබා ගැනීම පමණයි. එවිට අප එකිනෙකාට අපේ පොදු ප්‍රශ්න දැකීමට සහ ඒවා කෙරෙහි සංවේදී වීමට ඉඩකඩ අහුරනවා. හැම රටකට ම තමන්ට සුවිශේෂ වූ වාතාවරණයන් තිබෙනවා. එහෙත් වඩා වැදගත් වන්නේ ඒ සියල්ල යටින් තිබෙන අපේ පොදු අනන්‍යතාවයි.

*එහෙම නම් ලතින් ඇමෙරිකානු සංස්කෘතිය කියා දෙයක් පවතීද?

මම ඇත්ත වශයෙන්ම හිතන්නෙ නැහැ සමජාතීය ලතින් ඇමෙරිකානු සංස්කෘතිය කියා යමක් ඇති බව. උදාහරණයක් විදිහට මෙක්සිකෝ හෝ පේරු වැනි ස්වදේශීක ජනකොටස් සැලකිය යුතු ප්‍රමාණයක් සිටින රටවලට වඩා මධ්‍යම ඇමෙරිකාවේත්, කැරිබියානු ප්‍රදේශවලත්, අප්‍රිකානු බලපෑම සහිත වෙනස් සංස්කෘතියක් සෑදී තිබෙනවා. මේ වගේම කාරණා අනිත් බොහෝ ලතින් ඇමෙරිකානු රටවල් අරභයාත් කියන්න පුළුවන්.

දකුණු ඇමෙරිකාවේ වෙනිසියුලාවට සහ කොලොම්බියාවට පොදු සමානතා තිබෙන්නේ කැරිබියන්වාසීන් සමගයි, අන්දීස්වාසීන්ට වඩා. මේ රටවල් දෙකේම ඉන්දියානුවන් (ස්වදේශිකයන්) සිටිනවා වුණත්. පේරු සහ ඉක්වදෝරයේ වෙරළබඩ කලාපය සහ කඳුකරය අතර ප්‍රතිවිරුද්ධතාවක් තිබෙනවා. මහාද්වීපය පුරාම මීට සමාන ලක්ෂණ දකින්නට ලැබෙනවා.

මෙකී විවිධත්වයෙන් යුතු ආභාසයන් නිසා ලතින් ඇමෙරිකානු ශිෂ්ටාචාරයට එහි විශේෂ හැඩය, ලෝකයේ වෙනත් සංස්කෘතීන්වලට වඩා වූ සුවිශේෂී බව ලබා දී තිබෙනවා.

*මේ සන්දර්භය ඇතුළෙ ස්පාඤ්ඤ බලපෑමට හිමි වන්නෙ මොන වගේ තැනක්ද?

ලතින් ඇමෙරිකාවට ස්පාඤ්ඤ බලපෑමේ ප්‍රබලතාවයත්, බ්‍රසීලයට පෘතුගීසි බලපෑමේ ප්‍රබලතාවයත් නොසලකා හැරිය නොහැකියි. අපේ ජීවිතවල සෑම පැතිකඩකම එය තිබෙනවා. වෙන එකක් තබා අපි කතා කරන්නෙ කැස්ටිලියන් ස්පාඤ්ඤ බස.

එය ඉතාම පොහොසත් ආභාසයක්. ඒ වගේම එය නිතර හෙළා දැකීමට ලක්වන විවාදාසම්පන්න දෙයක්. මේ උරුමය අපේ සංස්කෘතික අනන්‍යතාවයේ එක් අංගයක් වුවත් ලතින් ඇමෙරිකාවේ ස්පාඤ්ඤ වන සියලු දේ ගැන තිබෙන අවිශ්වාසය සියලු දේ වියවුල් කොට තිබෙනවා. එය මට හිතෙන හැටියට පමණට වැඩියි සහ භයානකයි. මම ගැන කියනවා නම්, මම ඒ සංස්කෘතිය උරුම වීම ගැන ආඩම්බරයට පත් වනවා. මම කිසිම විධියකින් ඒ ගැන ලැජ්ජාවට පත් වෙන්නෙ නෑ. ස්පාඤ්ඤ යටත්විජිතවාදය අද තවදුරටත් අපට ප්‍රශ්නයක් නොවෙයි. අපි අධික යුරෝපියානු බලපෑම හරහා නිර්මාණය වූ බව ඇත්ත. ඒත් අපි තනිකර යුරෝපීය කොපියක් නොවෙයි. ලතින් ඇමෙරිකාව යනු නැවත වරක් වෙනස් යමක්.

*සියක් වසක හුදෙකලාව, කොලරා කාලේ ආලේ, The Autumn of the PatriarchChronicle of a Death Foretold  (කරුමක්කාර කතාවක්) වැනි කෘතිවලදී අපට දක්නට ලැබෙන කතන්දර කීමේ අනුප්‍රාණය ඔබට ලිවීමේදී යොදා ගැනීමට පෙලඹුම පැමිණියේ කොහෙන්ද?

මම හිතන්නෙ එය මගේ නොස්ටැල්ජියාවෙන් පැමිණි දෙයක්.

*ඔබේ ළමා කාලය පිලිබඳ නොස්ටැල්ජියාවද එහෙමත් නැත්නම් ඔබේ රට පිළිබඳ නොස්ටැල්ජියාවද?

මගේ රට සහ ජීවිතය ගැන ම නොස්ටැල්ජියාව. මායාවන්වලින් ගහණ නොපැහැදිළි ලෝකයක ජීවත් වූ අතිශයින් පරිකල්පනීය සහ අද්භූත විශ්වාසයන් සහිත මිනිසුන් පිරිවරාගෙන ගත වූ ඉතාම සුවිශේෂි ළමා කාලයක් මට තිබුණා. උදාහරණයක් විදිහට මගේ මිත්තණිය රාත්‍රී කාලවලදී ඔහේ කියා දැමූ කතාන්දර මගේ ලොමු දැහැ ගැන්වීමට සමත් වුණා.

*ඔබේ මුත්තණුවන් ඔබේ පවුලේ ප්‍රකට චරිතයක් බව පෙනෙන්නට තිබෙනවා. ඔහු ඔබගේ ළමා කාලයේ වැදගත් කොටසක් බවට පත්ව සිටියාද?

ඔහු කාලය සහ මතකය අතර සිරවූ බව පෙනෙන්නට තිබූ දැවැන්ත චරිතයක්. මා ඔහුට තදින් ඇළුම් කළා. මට වයස අවුරුදු අටේදියි ඔහු මිය ගියේ. ඔහුගේ වියොව මට තද කම්පනයක් ගෙනාවා. මතකය වියැකෙන තරම් ඉතා ඈත අතීතයක සිට ඔහුගේ ගමත්, එය වටා තිබූ දිස්ත්‍රික්කයේත්, සිදුවූ සියලු දේ ගැනත්, ඔහුගේ ජීවිතය ගැනත් කතා කීමට ඔහු පුරුදුව සිටියා. ඔහු සටන් කළ යුද්ධ, කොලොම්බියානු ඉතිහාසයේ නොමැකෙන පැල්ලමක් ලෙස සටහන් වූ මා ඉපදුණු අවුරුද්දේ කෙසෙල් වගා බිම්වල සිදුවූ භයානක මිනිස් සංහාර ගැන සවිස්තරව ඔහු කියා දී තිබුණා.

*ඔබේ අම්මාගෙන් බලපෑමක් තිබුණාද ඔබේ ලේඛක දිවියට?

ඈ ඉතාම මනබන්දනීය ගැහැනියක්. කවුරු හෝ ඇගෙන් මා ගැන විමසුවොත්, ඇගේ පුතාගේ දක්ෂතාවයට හේතුව කුමක්දැයි යන්න විමසුවහොත්, කිසිදු පුදුමයකට පත් නොවී ඈ දෙන උත්තරය වන්නේ ‘ස්කොට්ස් ඉමල්ෂන්’ (ළමයින්ට දෙන ටොනික් වර්ගයක්) ලෙසයි. තවත් ප්‍රකට, සිත්ගන්නා සුළු අතුරු කතාවක් තිබෙනවා. මට සහෝදරයන් කිහිප දෙනෙක්ම සිටිනවා. ඉතින්, අපෙන් කවුරු හෝ කෙනෙකු ගුවන් යානයක ගමනක් යන බව දැනගත් විට ඇය ඉටිපන්දමක් පත්තු කර සියලු දෙය යහපත් අතට සිදු වෙන්නැයි යාච්ඤාවක් කරනවා. දැන් අපි හැමදෙනාම ගෙදර නොවෙයි ජීවත් වෙන්නේ. මා ඇයට හමු වූ අන්තිම වතාවෙ ඈ මට මෙහෙම කිව්වා ‘දැන් මම දිගටම ඉටිපන්දමක් පත්තු කරල තියෙනවා. ඒ මොකද මං දන්නෙ නැතිව උඹලගෙන් කවුරු හරි කෙනෙක් අහස් යාත්‍රාවකට නැග්ගොත් හෙම ”

මගේ පවුලෙ හැමදෙනාම මට ඉතා වැදගත්. මොන විදිහකින් හරි ඔවුන් මගේ ලිවීම්වල පෙනී සිටිනවා. මම කවදාවත් අමතක කරන්නෙ නැහැ මම අරකාටාකාහි තැපැල් සේවකයෙකුගෙ පුතෙකු බව.

*ඔබ කැරිබියානු කලාපයෙන් පැමිණි කෙනෙක්. ඔබේ පොත්වලින් කලාපයේ ප්‍රබල විස්මයජනක ජීවිතය විදහා දැක්වෙනවා. ඒ තුළින්ද ඔබේ කෘති ලොව පුරා ජනප්‍රිය වීමට හේතු වූ මායා යථාර්ථවාදය සොයා ගනු ලැබුවේ?

කැරිබියන් කලාපය පරිපූර්ණ වශයෙන්ම සහජීවනය සහිතයි- හොඳයි, අපි කියමු එය වෙන කොතැනටත් වඩා මේ කලාපයේ තිබෙන බව- මිනිසුන් අතර, දෛනික ජීවිතය  සහ ස්වාභාවික ලෝකය අතර. මම හැදී වැඩුණේ කොලාම්බියාවේ උතුරු වෙරළබඩ වගුරු බිම් සහ නොඉඳුල් වනාන්තරවලින් වටවුණු අවට ලෝකයෙන් සැඟවුණු ගමක. එහි ගහකොලවල පුසුඹ පමණක් ඔබේ උදරය උද්දීපනය කිරීමට සමත්.

එය නිල් පැහැයේ පරිකල්පනය කිරීමට හැකි සෑම වර්ණයක් හරහා ම මහමුහුද ගැලූ තැනක්. සුළි සුළංවලින් ගෙවල් ඉදිරී යන තැනක්. දුහුවිල්ල යට ගම් වැළලී සිටින සහ වාතය විසින් ඔබේ ළය පුළුස්සා දමන තැනක්. කැරිබියානුවාසීන්ට ස්වාභාවික ආපදා සහ මානව ඛේදවාචක යනු දෛනික ජීවිතයේ කොටසක්.

මෙතනදී මේ පෙදෙස වහලුන් විසින් ගෙන එනු ලැබූ මිත්‍යා කතා, ඉන්දියානු වංශ කතා සහ අන්දීස්වාසී පරිකල්පනය සමග මුසු වුණු තැනක්. මගේ නවකතාවල පමණක් නොවෙයි, ග්වාතමාලාවේ මිගල් අන්හෙල් අස්ටූරියස් සහ කියුබාවේ අලේහෝ කර්පෙන්ටියර්ගේ කෘතිවලත් දකින්නට ලැබෙනවා. අධියතාර්ථවාදී පැත්තක් දේවල්වල තියෙන්න පුළුවන්. තාර්කික බව බැහැර කරන යතාර්ථයක් තියෙන්න පුළුවන් හරියටම සිහින වගේ.

වරක් මම කතාවක ලිව්වා පාප් තුමා දුර බැහැර කොලොම්බියානු ගමකට පැමිණෙන අවස්ථාවක්. ලියන මොහොත වන විට එය කිසිසේත් සිදු නොවිය හැක්කක් ලෙසයි පෙනුණෙ. නමුත් ඉන් අවුරුදු කිහිපයකට පස්සේ පාප් තුමා ඇත්තටම කොලොම්බියාවට ආවා.

*ඔබ සඳහන් කරන ආභාසයන් ගැන සලකා බැලුවොත්, ඔබේ කෘතිවල ඉදිරිපත් වෙන විස්මයජනක සිද්ධීන් සැලකුවොත් ඔබ හිතනවාද ඔබ ෆැන්ටසි රචකයෙකු හෝ අතිශය සංකීර්ණතා සහිත ලේඛකයෙකු ලෙස විචාරකයන් විසින් හැඳින්වීම සාධාරණයි කියලා?

කැරිබියන් කලාපයෙත්, පොදුවේ ලතින් ඇමෙරිකාවෙත් ඊනියා මායාමය සිද්ධීන් දෛනික ජීවිතයේ කොටසක් වගේ. හරියට යතාර්ථයේ අනෙකුත් පැතිකඩක් වගේ. විය හැකියාවන්, ටෙලිපති, නරක දෙයක් සිදුවෙන්න යන විට දැනීම වගේ දේවල් විශ්වාස කිරීම, අද්භුත විශ්වාස සහ විස්මයජනක දේ යථාර්ථය සමග බද්ධ වීම එහිදී ආගන්තුක දේවල් නොවෙයි. මම කිසිවිටෙක එවැනි දේවල් පැහැදිලි කරන්න හෝ සාධාරණීකරණය කරන්න මගේ කෘතිවලදි උත්සාහ කරල නැහැ. මම මාව දකින්නෙ සුපිරිසිදු සහ සරල ලෙස යතාර්ථවාදියෙකු විදිහටයි.

*යුරෝපය සහ ලතින් ඇමෙරිකාව අතර සම්බන්ධය හැම විටම නොවැළැක්විය හැකි වරදවා වටහාගැනීම්වලින් පිරී තිබෙනවා. ඔබ හිතනවාද මේ සම්බන්ධතාව හරිහැටි තේරුම් අරගෙන, උතුර සහ දකුණ අතර කිසියම් නව සමලිතතාවයකට ඒමට අප අතර ඇති සෘණ ආකල්ප පැත්තක තැබිය යුතුයි කියා?

අපේ කලාපයේ ප්‍රශ්න අති දැවැන්තයි. අප ඒ තත්ත්වය හරි මැදම සිටියත්, එම ප්‍රශ්න විසින් අපට දේවල් පැහැදිලිව දැකීම අසීරු කර තිබෙනවා. ඉතින් ඔවුන්ගේ ම සංස්කෘතියේ ආකර්ෂණීය බව විසින් අවශෝෂණය කර ගනු ලැබූ යුරෝපයට අපව තේරුම් ගැනීමට බැරි වීම පුදුමයක් නොවෙයි. යුරෝපීයයන්ට තාර්කික සහ විචාරශීලී දැවැන්ත සම්ප්‍රදායක් උරුමව තිබෙනවා. ඔවුන්ගේ කලාපයෙන් එහාට ගිය විට පැවතෙන වෙනස්කම් ගැන සලකා නොබලා ඔවුන් දිගටම අපව විනිශ්චය කිරීම තමයි ඔවුන්ගෙන් බලාපොරොත්තු විය හැක්කේ. යුරෝපයේ එදා සහ තවමත් පැවතෙන සෞභාග්‍යය සහ අනන්‍යතාවය පිළිබඳ හැඟීමට ඇති උුවමනාව ඔවුන්ට වගේම ලතින් ඇමෙරිකාවට අප්‍රිකාවට වගේම ආසියාවටත් අදාළයි කියන එක ඔවුන්ට පෙනෙන්නෙ නැති වීම එක අතකට පුදුමයක් නෙමෙයි. එහෙම වෙලාත් ලෝකයේ එක කලාපයක් දෙස තවත් කලාපයක නිර්ණායකවලින් අර්ථකථනය කිරීම නිසා බරපතළ වරදවා වටහාගැනීම් ඇති විය හැකියි.

යුරෝපය අපව දැකිය යුත්තේ ඔවුන්ගේම අතීතයෙන් එන ආලෝකයෙන්. හරියට වර්තමානයේ ඇති අසමතුලිතතාව විසින් ඔවුන්ගේ ම ඉතිහාසයේ පෙරළි ඔවුන්ට නොපෙනෙන්නට සලස්වනවා වගෙයි. ලන්ඩන් වටේ ප්‍රාකාරයක් බඳින්න අවුරුදු තුන්සීයක් ගත වුණු බව මතක කාටද? රෝමය එක දවසකින් නොවෙයි සියවස් ගණනක් තිස්සෙ ගොඩ නැගුණු බව මතක කාටද? ඒ වගේම ඉතිහාසයේ රඟමඩල වෙත රෝමය රැගෙන ගියේ එටෘස්කන් රජකු බව? ආක්‍රමණශීලීන් පැමිණෙන විට ඇස්ටෙක් ශිෂ්ටාචාරයේ අගනුවර වුණ ටෙනෝෂ්ටිට්ලාන් පැරිසියට වඩා විශාල බව?

යම්කිසි දෘෂ්ඨියක් ඇති යුරෝපීයයන්ට – ඔවුන්ගේ කලාපය පුරා වඩා යුක්තිසහගත සහ මානුෂීයවාදී සමාජයක් ඇති කිරීමට උපරිම විදිහට වෙහෙස වෙන මිනිසුන්ට- ඔවුන් අපව විනිශ්චය කරන විදිය වෙනස් කළොත් ඇත්තටම අපට උදව් විය හැකියි. අපේ සිහින සහ ප්‍රාර්ථනාවන් ගැන සැබෑ සහානුභූතියක් තිබේ නම් එය මනුෂ්‍ය සහෝදරත්වය පිළිබඳ හැබෑ හැඟීමක් පවතින ලෝකයක ජීවත් වීම එකම අරමුණ කර ගත් මිනිසුන් කෙරෙහි දක්වන ආධාරයක ස්වරූපය ගතයුතුයි.

යුරෝපීයයන් යුරෝපය කෙරෙහි තෝරා ගන්නා විසඳුම්, එම වාතාවරණයන් සහ ක්‍රමවල වෙනසක් තිබෙනවා වුවත්, දකුණුදිග ජාතීන්ද අනුකරණය කර බලන්නට උත්සාහ නොකරන්නේ ඇයි?

*මහාද්වීපය ඇතුළින්ද පිටින්ද ප්‍රශ්න පැනනගින්නේ?

මං හිතන්නේ අපි දකුණු ඇමෙරිකාව පීඩාවට පත්කරන ප්‍රචණ්ඩත්වය, ඛේදවාචක, මතභේද  කිලෝමීටර දහස් ගණනකට එහා ඉඳල කෙරෙන කුමන්ත්‍රණ නිසා සිදු වන බව පෙන්වන එක දැන්වත් නැවැත්විය යුතුයි. හරියට ලෝක බලවතුන්ගෙ ග්‍රහණයට ලක්වීම හැර අපට වෙන කිසිම විකල්පයක් නෑ වගේ.

අසමානතාවය, පීඩිතභාවය, සූරාකෑම සහ නොසකලකා හැරීම්වලට එරෙහිව හැප්පෙනකොට අපේ උත්තරය තියෙන්නෙ ජීවිතය ඇතුළෙමයි. සියවස් ගණන් සිදුවූ යුද්ධවලින්වත් එහි අනම්‍ය සහතික කිරීම අඩු කරන්න බැහැ. අවුරුදු හතළිහකට පෙර විලියම් ෆෝක්නර් මනුෂ්‍ය වර්ගයාගේ අවසානය සිදුවීමේ විය හැකියාව පිළිගැනීම ප්‍රතික්ෂේප කළා. අද අපි දන්නවා ඔහු බිය වූයේ සෘජු විද්‍යාත්මක විය හැකියාවන් ගැනයි කියලා. මේ භයානක සත්‍යය මත පිහිටා සිටිමින් සහ වෙන කවරදාටත් වඩා ජාතීන් අතර සම්බන්ධතා බලවත් බවත්, නව යුගයක් උදාවෙන බවත් සලකා බලමින්, මම විශ්වාස කරන්නේ අනෙකා ගැන තීරණ ගන්නා කිසිවෙකු නොසිටින, ආන්තිකව සිටින මිනිසුන්ට නැවුම් ආරම්භයක් ලබා දෙන ලෝකයක් බෙදා ගන්නා යුතෝපියාවක් ගොඩනැගීමට තවම ප්‍රමාද නැහැ කියලා. සහෝදරත්වයෙන් යුතු එවැනි ලෝකයක් යථාර්ථයක් බවට පත් කළ හැකියි.

*ලතින් ඇමෙරිකාවට බද්ධව තිබෙන සහ එහි ඉරණම පිළිබඳව සවිඥාණික වන ඔබේ කෘතිවලින් පරාවර්තනය වන අභිලාෂය එයයි…?

ඔව්, ඒක ඇත්ත. විශාල කාලයක් තිස්සේ රටක් ගැන විස්තර කිරීමට හෝ මහාද්වීපයන් තේරුම් ගැනීම උත්සාහ කළ කිසිම කෙනකුට ගැඹුරු ලෙස ඒ කෙරෙහි හෝ ඒ හරහා මුළුමහත් ලෝකය කෙරෙහි බද්ධ වන හැඟීමකින් තොරව එවැනි නොස්ටැල්ජියාවක ජීවත් වෙන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ.

(unesco.org/courier හි පළවූ සම්මුඛ සාකච්ඡාවක සිංහල පරිවර්තනයකි.)

පරිවර්තනය- කත්‍යානා අමරසිංහ 

Share This Article
Leave a comment