“මමත් පාඨකයාත් එක අරමුණක නොතබන ‍ ලිවීමක් ගැන මට හිතන්න බැහැ”

විමර්ශී
22 Min Read

2022 වසරේ සාහිත්‍ය සඳහා වූ නෝබල් සම්මානයෙන් පිදුම් ලැබුවේ අසූ දෙවැනි වියැති ප්‍රංශ ජාතික ලේඛිකා අනී එර්නෝ ය.

 “පෞද්ගලික මතකයන්ගේ මූලයන්, විභේදනයන් සහ පොදු සංයතභාවයන් අනාවරණය කරමින් ඇය විසින් ප්‍රකට කරන ඇයගේ ධෛර්යයත්, අගතියෙන් තොර තීක්ෂණභාවයත් උදෙසා”  අනී එර්නෝට එම සම්මානය ලබා දෙන බව, නෝබල් සාහිත්‍ය සම්මානය පිළිබඳ වගකීම දරන ස්විඩන ඇකඩමිය සඳහන් කොට තිබුණි.

අනී එර්නෝ ඉපදුණේ 1940 වසරේ සැප්තැම්බර් මස පළමුවැනිදා නෝමන්දිහි ලිල්බන් නම් කුඩා ග්‍රාමයේය. ඇයගේ දෙමව්පියෝ එම කුඩා ගම්මානයේ කම්කරු ජනතාව වැඩියෙන් ගැවසුණු ප්‍රදේශයක, කුඩා සිල්ලර කඩයක් පවත්වා ගෙන ගිය අයවලුන් වූහ. අනී ලොකු මහත් වූයේ එම කුඩා සිල්ලර කඩයත්, ඇයගේ දෙමව්පියන්ගේ අල්පේච්ඡ ජීවිතයත් විසින් ගොඩ නඟන ලද සමාජ වටාපිටාවකය.

අනී එර්නෝ, ඇයගේ පළමු කෘතිය වන Les Armoires vides (Cleaned Out) පළකරන ලද්දේ 1974 වසරේ දීය. ඒ වන විට ඇය තිස් හතරවන වියේ පසු වූවාය. තොරතුරු මුූලාශ්‍රවල දැක්වෙන පරිදි, ඇය මේ වන විට සාහිත්‍ය කෘති විස්සකට අධික ප්‍රමාණයක් ප්‍රකාශයකට පත් කොට ඇති අතර ඉන් බොහෝමයක් ඉංග්‍රිසී භාෂාවටද පරිවර්තනය වී ඇත.

ඇයගේ කෘති තුළ කතාව, හැඟීම්, චිත්තාවේගයන් කියා පෑමට ඇයගේ ජිවිත කතාවම ඇය යොදා ගැනීම සුවිශේෂි ලක්ෂණයක් ලෙස දැකිය හැකි වෙයි. වෙසෙසින් ඇයගේ කෘති තුළ වූ සංයතභාවය පිළිබඳව ඇය නිරතුරුව ප්‍රශංසාවට ලක්ව ඇත. ඇයගේ සෑම වදන් පෙළකින්ම, සෑම කෘතියක් තුළින්ම ඇය උත්සාහ දරා ඇත්තේ යථාර්තය නිරූපණය කිරීමටත්, සත්‍යයට ලං වීමටත්, පැවැත්මේ යථාව පිළිබඳ කියා පෑමටත්ය. එර්නෝ විසින් ඇයගේ ලීවීම් විස්තර කරන්නේ  ඒවා “ සාහිත්‍යය, සමාජ විද්‍යාව සහ ඉතිහාසය අතර පවතින කිසිවක්” ලෙසය.

සැබවින්ම කිසිවෙකු අනී එර්නෝගේ කෘති සියල්ලම පරිශීලනය කරනවා යනු  ඔහු හෝ ඇය එර්නෝගේ ජීවිතය තුළින් ගමන් කරනු ලබන චාරිකාවක නිරතවනවා වැනිය. හිරිමල් වියේ සිදුවුණු දුෂණයක් ද නැද්ද යන තෝරා බේරා ගත නොහැකි ලිංගික අත්දැකීමක්, නීති විරෝධි ගබ්සාවක්, කරදරකාරී විවාහයක්, වැඩ කරන පංතියේ පවුලක මවක සහ දියණියකගේ හොඳ නොහොඳ එකට කැටිවුණු සබඳතාවක්, මැදිවියේ පෙම් සබඳතාවක්, පිළිකාවක් සමඟ කරන අරගලයක් වැනි ඇයගේ පුද්ගලික ජීවිතයේ අත්දැකීම් මෙන්ම එදිනෙදා ජීවිතයේදී ඇයට හමුවෙන ගැහැනු මිනිසුන් ගැන කතන්දර ගොන්නක් ඇයගේ සාහිත්‍ය කෘතිවලින් පාඨකයාට දැන ගත හැකිය.

එහෙත් ඇය නවකතාකාරියක හෝ සිය ජිවිතයේ මතක සටහන් ලියන්නික ලෙස හෝ හඳුන්වා දෙන්නේ නම් එය වැරදිය. සියලු අර්ථයන්ගෙන්ම ගත් විට, ඇය නවකතා සහ ස්වයංචරිතාපදානමය මතක සටහන් යන දෙවර්ගයම ලියා ඇති මුත්, ඇයගේ කෘති, ශානර පිළිබඳ අපගේ අවබෝධය ලෙහා දමන්නේ, විධිමත් වියමනකට වඩා ලිහිල් වුණු නූල් සහ වාටි සහිත යමක් අපට ඉතිරිකරමිනි. ඇය, සරලව ලේඛිකාවක ලෙස හැඳින්විම සුදුසුය: පිළියම් ලැබෙන අවසානයක් වෙනුවෙන් හෝ කිසියම් සහනයක් අත්පත් කරගැනීම වෙනුවෙන් හෝ නොව, අපව තුවාල කරන දේ පිළිබඳව සුපරික්ෂාකාරි වද වීමක් සමඟ  ඇයගේ සිත තුළ නලියන දේ වචනවලට පෙරළන්නියකි ඇය.

ඇයගේ නවකතාවලට පසුබිම් වන්නේ ඇයගේ ජිවිතයයි, ඇයගේ ස්වයංචරිතාපදානමය මතක සටහන් නවකතාමය ස්වරූපයක් ගනියි.  ඇල්සයිමර් රෝගයෙන් පිඩා විඳ මිය ගිය එර්නෝ ගේ මව ගේ ජීවිතය පාදක කරගත් Une femme ( A Woman’s Story) කෘතිය සහමුලින්ම නවකතාවක සතුව ඇති බලයෙන් සහ ගුණයෙන් යුක්තය. විසිවන ශතවර්ෂයේ ජීවත් වූ ඇයගේ මවගේ ජිවිතයත් ඔවුන් අතර ගොඩනැ‍‍ඟෙන අම්මා- දුව සබඳතාවයේ ස්වභාවයත් එම කෘතිය තුළ නිරූපණය වෙයි. ඊව්තෝ හී පොත්වල සුවඳ විඳිමින් හැදී වැඩුණු කුඩා අනී නොසෑහෙන ලෙස ආදරය විඳි පමණටම අවඥාවෙන් බැහැර කිරීම ද විඳවනු ලැබුවාය. ඇයගේ මව ඇයට ‘සුරතලී’ ලෙස අමතන පහසු ලීලාවෙන්ම ඇයට ‘මෘග කෙල්ල’ සහ ‘අවලමී’ ලෙස ඇමතීමට ද පසුබට නොවූවාය. ඇය තම දියණියට හොඳම දේ දීමට නිරන්තරෙයෙන් උත්සුක වූවද, එපමණකට ඇය තම දියණිය පිළිබඳ අවලාද නැඟුවාය “බලපිය, උඹට හැම දේම තියෙනවා.. ඒත් උඹ සතුටින් ඉන්නවද?”

ඇය ලියූ L’Événement (Happening, 2000) කෘතියේ, 1960 වසරේ ප්‍රංශයේ සිදුවුණු නීතිවිරෝධි ගබ්සා කිරීමක් පිළිබඳ විස්තර කරයි. එම කෘතියේ වැඩිමනත් ලෙස ඇය අවධානය යොමු කරන්නේ ඇයට ගබ්සාවක් කිරීමක් සිදු කිරීමට ඉදිරිපත් වන්නේ කවුරුන්ද යන ප්‍රශ්නයට පිලිතුරු සොයා ගැනීමටය.

Mémoire de Fille(A Girl’s Story ,2016) කෘතිය තුළ හේමන්තයේ කඳවුරක උපදේශකවරියක ලෙස වැඩකරන විට ඇය නිවසින් පිටදී පළමුවරට  මුහුණ දුන් වික්‍රමයක් පිළිබඳ විස්තර කියැවෙයි. ඇය එහිදී ‘එච්’ නම් පිරිමි ළමයෙකු සමඟ ලිංගික සබඳතාවක් ඇති කරගන්නා අතර එය දූෂණය වීමක් ද යන්න ඇයට පැහැදිලිව කිව නොහැකි තත්වයට පත්වෙයි. එම කෘතියේ කතුවරියට එය ලිවීම කොතරම් අභියෝගකාරී ද යන්න පිළිබදව ඇය අවංකම පිලිගන්නා ආකාරය නිසා එම කෘතිය කියවීමට පහසු නොවන නිර්මාණයක් බවට පත් වෙයි.

“තමන්ගේ ජිවිතය පිළිබඳ ලියන කෙනෙකු සහ ප්‍රදර්ශනකාමියෙකු එකට තබා සන්සන්දනය කිරීම ‘අත්වැරැද්දකි” එර්නෝ මෙසේ සඳහන් කරන්නේ ඇය ලියූ Passion Sample ( A simple passion,1991) නම් කෘතිය තුළය. මක්නිසාදයත් ප්‍රදර්ශනකාමීයාට  තමන්ව ‍ප්‍රදර්ශනය කිරිමත්, ප්‍රදර්ශනය වීමත් එකම මොහොතේ සිදු වීමට අවශ්‍ය දෙයකි. එහෙත් ලේඛකයාට ලැජ්ජාසහගත  දේවල් පවා තැතිගැන්මකින් තොරව  විස්තර කිරීමට හැකි වන්නේ,  එය ලියන මොහොත සහ පාඨකයා එය කියවන මොහ‍ොත කාලය විසින් වෙන්කර තබන නිසාය.

එර්නෝ ගේ කෘති තුළ ඇති සෑම වාක්‍යක්ම එක් තීව්ර අරමුණක් සහ යුහුසුලු බවක් දරා සිටියි: එනම් ඇයගේ අවශ්‍යතාව ලිවීමය, නොනවත්වා ලිවීමය.

ඇයගේ ලීවිමේ කාර්යය ස්වයං ගවේෂණයකට වඩා වැඩි දෙයකි. ලිවීම මට සේවය කරන්නේ “එක්තරා විදියක යුක්ති ධර්මයක් ලෙසිනි” ඇය Se perdre (Getting Lost , 2001) කෘතිය තුළ එසේ ලියයි. “ සන්තුෂ්ටිය සොයා යාම පිළිබඳ මගේ සැමියාට මම සමාව දෙමි, මන්දයත් ඔහු ලියන කෙනෙක් නොවන නිසාය. ඔබ ලියන්නේ නැතිනම් වෙන මොනවද ඔබට කරන්න ඉතිරි වෙලා තියෙන්නෙ? කනවා බොනවා, රමණය කරනවා” එසේත් නැතිනම් ඇය L’Événement (Happening,2000) කෘතියේ මෙසේ සඳහන් කර ඇත. “ මේ දේවල් මට සිදු වුන බව මම නැවත සිහිපත් කළ යුතුයි. බාගවිට මගේ ජීවිතයේ මගේ සිරුරේ, මගේ හැඟීම දැනීම් සංවේදනා සහ සිතුවිලි සියල්ලගේම අරමුණු ලිවීම වෙන්න ඇති. වෙනත් වචනවලින් කියතොත්  පොදු ප්‍රඥාසම්පන්න කිසිවක් මිනිසුන්ගේ ජිවිතවලට සහ ඔළු ගෙඩි තුළට කාන්දු කරන්න මගේ පැවැත්ම හේතුවක් වෙනවා ඇති.”

මේ සංශ්ලේෂිත පැවැත්මේ ගුණය යනු ඇය ආඛ්‍යානයත් සිතීමත් සංයෝජනය කරන ආකාරයයි, එය ඇයගේ කෘති නැවත නැවත කියවීමට පාඨකයාව පොළඹවයි. ඇයගේ ‘පොත් කවුළුවෙන්’ පිටත බැලීම යනු පොතත් ජීවිතයත් එකිනෙකට මුහුකරමින්, කිසිවෙක් අප දෙස ආපසු බලනු අප විසින් දැකීමයි. එය කිසිවක් ආපසු නොගන්නා,  එහෙත් අප විසින් කිසිවක් අත්පත් කරගන්නා කියවීමේ ක්‍රියාවකි.

විවිධ හැලහැප්පීම් තුළින් ගලා ගිය ඇයගේ ජිවිතය ගැන ඇය ලියූවද ඉන් ප්‍රතිනිර්මාණය වූයේ වැඩ කරන පංතියේ ජනතාවගේ ජිවන ගීතයය, ඔවුන්ගේ ජීවන රිද්මයය.

පහතින් දැක්වෙන්නේ, ඇය පැවත එන සමාජ තත්වය සහ පවුල් පසුබිම ඇයගේ ලේඛණ ජීවිතයට බලපෑවේ කෙසේදැයි යන කාරණය මූලික කරගෙන Jcobin.com වෙබ් අඩවිය,  2022 වසරේ අනී එර්නෝ ලේඛිකාව සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවක සංක්ෂිප්ත පරිවර්තනයකි.

සාහිත්‍ය සම්බන්ධ ඔබගේ අධ්‍යනය කටයුතු සහ ඔබ ගුරු විභාගයෙන් සමත් වීම යන කාරණා ඔබ හැදුනු වැඩුණු බාහිර තත්වයන්ගෙන් ඔබට පලා යන්නට අවකාශ හැදුනා. ඒත් ඔබගේ ලේඛණ කාර්යයය තුළ එම තත්වයන් වඩාත් තීරණාත්මක සාධකයක් බවට පත් වුනා. ඔබ හිතනවද  ඔබගේ පවුල අයත් වූ වැඩ කරන පංතියේ වට පිටාව, වඩාත් වරප්‍රසාදිත පවුල් පසුබිමකින් එන ලේඛකයන්ට වඩා වෙනස් ආකාරයකට ඔබට බලපෑවා කියලා?

මම නිරීක්ෂණය කළ එක් දෙයක් ඔබට කියන්නම්. ඔබගේ ප්‍රශ්නයම  කිසියම් වක්‍රාකාරයකින් හුවා දක්වනවා, සැබවින්ම වැඩ කරන පංතියේ පවුල් පසුබිමක් ලේඛකයෙකුට තියෙන එක වෙනස් ආකාරයක තත්වයක්, එනම් එය බලය  සම්බන්ධ තත්වයක් කියන එක. ඔබ ‍බාගවිට ධනවත් පවුල් පසුබිමක ලේඛකයෙක්ගෙන් ඒ ප්‍රශ්නය ඔය විදියට අහන එකක් නෑ. එහෙම වරප්‍රසාදිත පවුල්වලින් පැවත එන ලේඛකයෝ තමයි ගොඩක් ඉන්නෙ, ඔවුන්ගෙන් කවදාවත් අහලා නැතිව ඇති “ඔබගේ පවුල් පසුබිම ඔබට වෙනස් විදියට ලියන්න බලපෑවද කියලා?” මම තව දෙයක් එක් කළොත්, මම වගේ පවුල් පසුබිමකින් ආපු මම දන්න තව ලේඛකයෝ ඉන්නවා, මම හිතන්නෙ ඔවුන් ‍‍මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන එකක් නෑ කියලා, මොකද ඔවුන් අනික් ලේඛකයන්ගෙන් වෙනස්ව කැපි පෙනෙන්න අකමැති නිසා.

ඒ ආරම්භක අදහසින් පස්සේ – ඒ කියන්නෙ එක්තරා විදියකට, තමන් අයත් පංතියෙන් පලා යන්නියක් පත් වුණු සංකීර්ණ තත්වයෙන් මාවම රවටාගැනීම මට ඕනෙ නැහැ-  මට පුළුවන් ඔබගේ ප්‍රශ්නයට පිලිතුරු දෙන්න, මොකද මම හොඳින් දන්නවා  මම කුමන අවකාශයේද පවතින්නෙ කියන එක ගැන. ඉතින්  මම දන්නෙ නැහැ “වෙනස් විදියකට ලියන්න මාව මෙහෙයවුනාද” කියලා. මට සහතිකවම කියන්න පුළුවන් දේ තමයි මට ඒ ගැන මුලින් අවබෝධයක් තිබුණේ නැහැ. එවැනි තත්වයක් උදා වුණේ මගේ පළමු පොත Les Armoires vides කෘතිය ලියද්දී නොව, එය ප්‍රකාශයට පත්කිරීමේදියි. එය වැදගත් වෙනසක්. ඒ කාලෙ මම දැන සිටියා මම ලියමින් සිටියේ කිසිම ශෛලියකට අනුගත නොවූ යමක් කියන එක, ඒත් මම කවදාවත් හිතලා තිබුණේ නෑ මගේ ලිවීමේ කාර්යය පිළිබඳව හෝ එහි ඇති මගේ වැඩ කරන පංතියට අයත් සළකුණු වීමක් පිළිබඳව. මම මේ පොත ලියද්දී මම දැන සිටියේ නෑ එය ප්‍රකාශයට පත් වේවි කියලාවත්. ඉතින් පොත ප්‍රකාශ වුනාට පස්සේ තමයි මම වෙනස් ආකාරයක ලිවීමක් පිළිබඳ මට දැනෙන්න පටන් ගත්තේ- එය ප්‍රචණ්ඩකාරි එකක්, විචාරකයෝ එහෙමයි කිව්වෙ. ඉන් පසු මම ප්‍රබන්ධ කියන දේ ප්‍රතික්ෂේප කරමින් La Place කෘතියේදී මම සම්පූර්ණයෙන් අර ඉහත කී ලිවීමේ විලාශය වැළඳ ගත්තා.

වරෙක ඔබ පවසා තිබුනා “මේ ලියන මම ගැහැණියක්,  මේ ලියන මම ගැහැණියක් නොවෙයි, හෝ මේ ලියන මම ‍තවත් කිසියම් කෙනෙක් කියලා මම කවදාවත් හිතලා නෑ” කියලා. ඔබ පැමිණෙන සමාජ පංතිය පිළිබඳ එවැනි යමක් ඔබට කිව හැකිද? ඔබ තුළ නිර්මාණය වී ඇති ලේඛිකාව තුළ ඔබගේ ගැමි ආච්චි සියා සහ සිල්ලර කඩයක් පවත්වාගෙන ගිය ඔබගේ දෙමව්පියන් ට අයත් කිසිවක් ඉතිරි වී නැද්ද?

ඒ සම්බන්ධව ප්‍රශ්න දෙකක් තියෙනවා.  මම නිතරම කියලා තියෙනවා ගැහැණියක් වීම නෙමෙයි ප්‍රශ්නය කියන එක. සැබවින්ම සමාජ තත්වය සහ ගැහැණියක් වී‍ම පිළිබඳ තත්වය – මම මේ කතා කරන්නෙ එහි ‘සාරය’ නොව එහි “තත්වය” ගැන-  ඒ තත්වයන් දෙකම මගේ ලිවීම තුළ සංවේදනය වෙන්න පුළුවන්, ඒ වගේම ඒ තත්වයන් දෙකම මට බලපෑවා. මට ඒ දේවල් උඩින් පැනලා ගිහිල්ලා ඒවා මට අදාළ නොවේ කියන්න බැහැ.

ලෝකයට වෙත ඇති මගේ සබැඳියාව තුළ පළමුව මගේ ගැමි ආච්චි සීයාගේ සහ වැඩ කරන පංතියෙ මගේ අම්මා තාත්තගේ දේවල් ඇතුළත්ව තිබෙනවා. උදාහරණයක් ලෙස ජිවත් වීමට ප්‍රමාණවත් ආදායමක් නොලැබේවී යැයි දැනෙන බිය,  මුල්‍යම ආරක්ෂාව සපයා ගැනීම සඳහා කිසිවෙකු උදව්වට නොඒවී යැයි ඇතිවන බිය, අනෙකා කෙරෙහි ඇති වන අහේතුක අවිශ්වාසය බිහි වෙන්නෙ ඒ පසුබිමින්.- මම දන්නෙ නැහැ, සමාජ අශුභවාදය, මම පැවත එන නොමන්ඩි වල ලක්ෂණයක් ද කියලා. මේ බිය ඇතුළෙ, අවිශ්වාසය ඇතුලෙ පවතින යමක් මම ලියන දේවලට, විශ්ලේෂණ තුළට කාන්දු වෙනවා ඇති. මගේ ගුරු වෘත්තීය අත හැරේවි යැයි යන බිය නිසා මම කවදාවකවත් මම ආසාවෙන් කරන වෘත්තීය තුළ දැවැන්ත දේ කිරීමට උත්සාහ කළේ නැහැ.

ලිවීමේ ක්‍රියාවලිය තුළ දී ඔබ, දුක්ඛිතභාවයට දෝෂාරෝපණ එල්ලවීමේ විභවතාව පිළිබඳ සැළකිලිමත් වෙනවාද? ඔබ වැඩකරන ජනතාව පිළිබඳ කතා කිරීමට කිසියම් නිවැරදි ක්‍රමයක් සොයාගෙන තිබෙනවාද නැතිනම් එය සමාජය විසින් ඔබ මත පටවන, පිටතින් එන ගැටළුවක් පමණක්ද?

එය කුඩා ගැටළුවක් නොවෙයි. මම මගේ ලිවීම පිහිටුවන්නේ වර්තමානය තුළ, මගේ කාලයට සාපේක්ෂව. මගේ යුගයේ විශ්වාසයන් ගැන සැළකිලිමත් වෙන්න, ඒවාට සාපේක්ෂව මාව තබන්න මට බල කෙරෙනවා. මම එය අඩු වැඩි වශයෙන් සවිඥානකව කරන දෙයක්. මම ලියද්දි මම මුලින්ම හිතන කාරණය එය නොවෙයි, ඒත් ව්‍යංගව ලිවීම තුළ එය තිබෙනවා. A Girl’s Story කෘතියේ මම ලිව්වෙ 1950 ගණන් සහ වර්තමානය පිළිබඳව. නමුත්  ඒ කාල පරිච්චේදයන් දෙක අතර සමාජභාවය සම්බන්ධයෙන් කිසියම් විප්ලවයක් සිදු වුණා. සමාජය ගැහැනු ළමුන්ගෙන් සහ කාන්තාවන්ගෙන් අපේක්ෂා කරන්නෙ මොනවද කියන එක සම්පූර්ණයෙන් වෙනස් වුණා. ඒ පිළිබඳ ගැඹුරින් සිතා බැලීම හැර මට කරන්න වෙන කිසිවක් ඉතිරිවී නැහැ, ඒ නිසා ඒ වගේ කාරණා මගේ පොත්වල තැනින් තැන කතා කරලා තියෙනවා. Regarde les lumières mon amour මගේ කෘතිය තුළ, හිස ආවරණය කරන කාන්තාවන් ගැන ගොඩක් කතා කරනවා, ඒ ඔවුන් පිළිබඳ පාඨකයා තුළ ඇති දැක්ම මට වෙනස් කරන්න ඕනෙ වුන නිසා. වර්තමානයේ ප්‍රංශ සමාජයේ එවැනි කාන්තාවන්ට කොහොත්ම කාරුණික නෑ. ඉතින් මගේ ලිවීම තුළ වර්තමාන කාලයේ දේවල් නිතරම අන්තර්ගත වෙනවා.

සාමාන්‍යයෙන් සාහිත්‍ය තුළ  නොසලකා හැරෙන ගබ්සාව, ගෘහස්ථ හිංසනය, පොදු ප්‍රවාහන සේවයේ යනෙන අප්‍රකට ජනතාව, සුපිරි වෙළඳසැල්වල පාරිභෝගිකයන් වැනි සංසිද්ධින් හා කාරණාවලට ඔබ කිසියම් අභිමානයක් ලබා දෙනවා. මේ ආකාරයෙන් සාහිත්‍යයික ධූරාවලිය ඇතුළතින් බිඳ දැමීම කියන්නේ දේශපාලනික සුවිශේෂීතාවක්. සාහිත්‍යයත් දේශපාලනයේ නියුක්තවීමත් අතර ඇති සබැඳියාව ඔබ දකින්නේ කොහොමද?

මට වයස අවුරුදු විස්සෙදි, මම ලිවීම පරිකල්පනය කළේ, මම ලිවීම ගැන කතා කලේ “ මගේම උන්ගෙන් පළිගන්න” වගේ අදහසකින් – එය ඒ වෙද්දීත් දේශපාලනික කාරණවක්, ඒත් එය දුරාබෝධය නිසා සිතේ පහළ වුනු බොළඳ සිතිවිල්ලක්. කම්කරුවෙකුගේ දියණියක් නවකතාවක් ලීවොත් එය මොන වගේ වෙයිද කියලා මම හිතන්න වුණා, ඒකත් දේශපාලනික ක්‍රියාවක්. ඒත් ඇත්තටම සංස්කෘතික ධූරාවලිය ශක්තිමත් කරන දෙයක් කියලා මම එය දකින්නේ නැහැ. ඒත් අවුරුදු දහයකට පස්සෙ මම Les Armoires vides ලියද්දි,  ආධිපත්‍යයික ලෝකයක අධ්‍යාපන ආයතන, බලවත් සමාජ පංතිවල දරුවන්ව, ඔවුන් බිහි වූ ලෝකයෙන් වෙන් කර තබන්න කොහොමද මැදිහත් වෙන්නෙ කියන එක පිළිබඳ මම හෙළි කරන්න උත්සාහ කළා. ඒ කාලයේදී මම ගුරුවරියක් වූ නිසා මට පාසලේදී දරුවන් මත මුදා හැරෙන සංස්කෘතිකමය ප්‍රචණ්ඩත්වය  මට දැනුනා. මේ කෘතිය සමඟ  පළමුවරට දේශපාලනිකව මම ලියන්න පටන් ගත්තා, ඒ කියන්නෙ අපි ජීවත්වෙන ආකාරය සහ අප දකින දේ මම ප්‍රශ්න කරන්න පටන් ගත්තා. මාවත් පාඨකයාවත් එක අරමුණක නොතබන ‍ලිවීමක් ගැන මට සිතන්න බැහැ.

ඔබ Regarde les lumières mon amour කෘතියේ ඔබ ලියා ඇත්තේ  වයඹ දිග පැරිසියේ අලුත් ටවුමක් වූ සර්ජි හි පිහිටි තෘවා ෆොන්ටෑන් වෙළඳ මධ්‍යස්ථානය වෙත ඔබ ගිය ගමන් ගැන. සුපිරි වෙළඳසැල්( නගරයෙන් පිට පිහිටා ඇති නිවසකට අවශ්‍ය සියළුම දේ මිලදී ගැනීමට ඇති විශාල වෙළඳ සැල්) පිළිබඳ ලිවීමේ අදහස ඔබ තුළ පැන නැඟුනේ කෙසේද?

විශාල සුපිරි වෙළඳසල් කියන්නෙ මා අමන්දානන්දයට පත් කරන ස්ථාන. සමහර විට එය එන්නෙ මගේ ළමා කාලයේ ඉඳලා මගේ සිල්ලර කඩයක් හිමි දෙමව්පියන් නිසා වෙන්න ඇති, මට අනුව එතනට එන පාරිභෝගිකයා යනු ඔවුන්ගේ ජිවන අන්දරත්, අතේ පිච්චියක් නොරඳන ආදායම් මාර්ගත් එක්ක එන, එක්තරා විදියක විශේෂිත ප්‍රජාවක්. ඒ වගේම තමයි  නිවසක සෑම තැනක්ම පුරවන ඒ ‍ ‘වෙළඳභාණ්ඩ’ මට හොඳටම හුරුයි. ඒ නිසා 1960 ගණන්වල තමන්ටම තනිවම භාණ්ඩ තෝරා ගත හැකි කුඩා සාප්පුවේ සිට, අක්කර දහස් ගණනක් පුරා ඉඳිකර තිබෙන සුපිරි වෙළඳසැල් දක්වා පරිවර්තනයට ලක් වී ඇති එම වෙළඳ අවකාශය පිළිබඳ මගේ හැඟීම ඇති වුණේ මගේ ළමා කාලයේ මතකයන් ගෙන්.

මම ඒ අවකාශයන් සළකන්නේ ස්මරණිය ස්ථාන සහ ජිවිතය හා බැඳි පවතින ස්ථාන විදියට. දේශපාලනික වගවීම එන්නෙ මෙතනදි: සුපිරි වෙළඳසැල් පහත් කොට සළකන මධ්‍යම පාන්තික- බොහිමියානු සහ ප්‍රභූ පරිකල්පනය ප්‍රතික්ෂේප කිරීම. ඔවුන් අවධානය දෙන්නෙ ඒ ස්ථානයට නොවෙයි, එතනට එන පිරිසයි, ඔවුනට මුණගැසෙන ජනතාවයි, ඒ ජනතාව සමඟ සිදුවන සමීප අවිචාරවත් මුණ ගැසීම් තමයි ඔවුන්ව අපහසුතාවට පත් කරන්නෙ. පැරිසියේ  ලාබ බඩු තියෙන වෙළඳ අංගනයේ කෙළවර  කුඩා සුපිරි වෙළඳසැල් තිබුනා, ඒත් දැන් ‍ඒවා බොහොම අලංකාර තැන්. දුර පළාත්වල සුපිරි වෙළඳ සැල් කියන්නෙ සැබෑ තත්වය කියා පාන ස්ථාන. ඉතින් Regarde les lumières mon amour කෘතිය තුළ සියලුම සමාජ පංතිවලට අයත් ජනතාව යන එන, එවැනි පුනරුථාපනය වූ අවකාශයක් පිළිබඳ නැඟුණු අවඥාසහගත පරිකල්පනයට ප්‍රතික්‍රියාවක් දක්නට ලැබෙනවා. මම දන්නෙ නෑ මගේ උත්සාහය සාර්ථක ද කියලා, ඒත් ඒ කෘතිය විශාල වශයෙන් කියෙව්වා.

ඔබගේ කෘති තුළ නිතරම පාහේ නොවරදින සුලු ලෙස කිසියම් සමාජ විද්‍යාත්මක මානයක් පවතිනවා. ඔබට අතිශයින් සමීප අත්දැකීම් යොදා ගන්නවා වඩාත් පොදු සාමුහික යාන්ත්‍රණයක් නිරාවරණය කරන්න. ඒ පුද්ගල බද්ධභාවය සහ සමාජය අතර සැබැඳියාව කොහොමද එකට සන්ධිගත කරගන්නේ? “මම” නම් ස්ථානගත වීම “අපි” විසින් ද “අපි” විසින් “මම” ද ආක්‍රමණය නොවීම ඔබ ඔබට සහතික කර ගන්නේ කොහොමද?

එය දුරස්ථභාවය සම්බන්ධ මනෝභාවික තත්වය පිළිබඳ ප්‍රශනයක්. එහි අදහස තමයි, මගෙ ලිවිමේ කාර්යය  මාගේ පෞද්ගලික හෝ මගේ සංජානන ආංගෝපාංග වලින් මම ආරම්භ කළත්, මට සිදු වන්නේ කුමක්ද, මට සිදුවුයේ කුමක්ද කියන එක  සමාජ විද්‍යාත්මක, ඓතිහාසික තත්වයන් තුළ ස්ථානගත කිරීමට නැඹුරුතාවක් තියෙනවා කියන එක. තවත් පැහැදිලි කළොත් ඉන් අදහස් වන්නේ, ලියන සෑම වචනයක් හරහාම ඒක පුද්ගලභාවයෙන් ඉවත් වීමයි. සමහරවිට තම සමාජ පංතියෙන් පිටමං වූවන්ට එය ක්‍රියාවට නැංවීමට පහසු ඇති, මොකද ඔවුන් තමන් අයත් සමාජ ස්ථරයට වඩා වෙනත් ලෝකයක ජීවත් වන නිසා. ඔවුනට තමන්ගේ අනන්‍යතාව ගැටළුකාරියි. තමන්ගේ පුද්ගලික හැඟීම් වැනි අතිශයින් සමීප කලාපයක් පිළිබඳ ලිවීමේදී පවා, එය වෙනත් කෙනෙකු අත්දකින්නා සේ ඉන් දුරස්ථව හැඟීම් විරහිතව හැර වෙන කිසිදු ආකාරයකට මම ඒ දේවල් පිළිබඳව ලියන්නේ නැහැ.

“මට මුළු රෑම නින්දක් නෑ- ඒත් මේ පොත ගෙනාවේ පුදුමාකාර සැනසිල්ලක්” – මේ වගේ පාඨක ප්‍රතිචාර ලැබෙනවා කියන්නෙ ලේඛිකාවකට ලැබෙන අනගිතම වූ ප්‍රීතියක්?

ඔව් එය ඉතා බලගතු ප්‍රිතියක්. එය සාහිත්‍ය නිෂ්ඵල දෙයක් නොවන බවට සාක්ෂි සපයනවා. ඔබ දන්නවා ලියන එක පහසු කාර්යයක් නොවෙයි. ඒ නිසා අපි ලියන දේ කිසිවකට හෝ කිසිවෙකුට ප්‍රයෝජනවත් කියලා දැන ගන්න එක වටිනවා. ඒ ප්‍රයෝජනවත් කියන හැඟිම මට ගොඩක් වැදගත්. තමන්ගේ ආදර්ශ පාඨය “ප්‍රයෝජනවත් වීම” කරගත් මගේ අම්ම ඒ සම්බන්ධයෙන් මට ලොකු බලපෑමක් උනා. මොකද අම්මට අනුව ගෙදර ඉන්න කාන්තාවෝ, විශේෂයෙන්ම මැද පංතියේ කාන්තාවෝ ‘සුපිරි තත්වයෙන්’  නිෂ්ඵල බව නියෝජන කරන්නියන්. වැඩ කිරීම සම්බන්ධයෙන් ගුඪ අදහස් දරන වටපිටාවක මම ලොකු මහත් වුණේ. ඒ හැඟීම මගෙන් කවදාවත් ඈත් වුණේ නෑ. ඒ නිසා මම කරන වැඩ  කාට හෝ ප්‍රයෝජනවත් යැයි හැඟවෙන පාඨක ප්‍රතිචාර මට ගොඩක් වැදගත්. මෙවැනි අදහස් දැක්වීම් මාව නිතරම සසල කරනවා.  එය මට තරමක අලුත් දෙයක්:  මම නාඳුනන කෙනෙක් මට ලියා එවනවා මගේ පොත එයාගේ ජීවිතය වෙනස් කළා කියලා… මට ජපාන පාඨකයන්ගෙන් පවා එවැනි ප්‍රතිචාර ලැබිලා තියෙනවා –  ඔවුන් මට දන්වා එවලා තියෙනවා La Place, Une Femme සහ Passion simple වැනි මගේ කෘති තුළ ඔවුන්ට ඔවුන්ව මුණ ගැසෙනවා කියලා. එය මට මහත් වූ විශ්මයක් වගේම ප්‍රීතියක්.

ඔබ La Place කෘතිය තුළ පවසනවාඔබගේ පියාගේ මරණය තමයි  ඔබට ඔබගේ ජිවිතයඔහුගේ ජිවිතය සහ “ ඔහු සහ ‍යුවතියක වූ මා අතර ඇති වුනු පරතරය” පිළිබඳ ලියන්නට උත්තේජනයක් සැපයුවේ කියලා. ඒ අනුව ලිවීම කියන්නෙ ඔබත් ඔබගේ පවුලේ අයත් අතර ගොඩනැඟුණු පරතරය විමසුමට ලක් කිරීමේ මාර්ගයක්. ඒත් ඒ ලිවීම එම පරතරය වැඩි වීමට අවකාශ සලසනවා නේද?

මම මගේ පවුල් සාමාජිකයන් සහ මා අතර තිබුණු ඇත්තම පරතරය ගැන ලියනවා නම් ඒ ලිවීම විසින් එම පරතරය පුළුල් කරන්නේ නැහැ. ඊට ප්‍රතිවිරුද්ධ ලෙස, ඔවුන්ට දැනුණේ ඔවුන්ගේ ජිවිත තුළ යමක් අලුත් උනා, ඔවුන්ගේ පැවැත්ම සාහිත්‍ය කෘතියක් තුළින් පිළිගැනීමකට ලක් වුණා වගේ හැඟීමක්. ඒ පරතරයට පාර හැදුණේ ගොඩාක් කාලයකට කළින්, මම ‘පාසලේ අස්වීමේ සහතිකය’ ගන්නේ නැතිව දිගටම අධ්‍යාපනය ලබන්න පටන් ගත්තාම. එවිට අප සියලු දෙනාටම කය වෙහෙසන සහ මොළය වෙහෙසන අය අතර ඇතිවන පරතරය දැනෙන්න පටන් ගත්තා. ඒත් මගේ පවුලේ අයට, මගේ විස්තෘත පවුලේ අයට මට කළින් ඒ පරතරය දැනෙන්න පටන් අරන් තිබුනා.

මම සමීපව ඇසුරු කළ, මට වඩා අවුරුදු තුනක් වැඩිමහල් ඥාති සහෝදරියක් මට උන්නා. ඇය ඉක්මනින් පාසල් ගමන අවසන් කරලා, දහදිය වගුරවන රස්සාවකට වඩා ගොඩක් ඉහළින් පිළිගැනීමක් ලැබුණු ‍ලඝු ලේඛන සහ යතුරුලියන්නියක් ලෙස රැකියාවකට බැඳුනා.

එක දවසක් මම නවවෙනි පංතියේ සිටියදී ඇය වරක් මට මෙහෙම කීවා. “ඔයා ඉතින් දැන් දිගටම ඉගෙන ගන්නවනෙ. මින් පස්සෙ අපි එච්චර කතා බහ කරන එකක් නෑ” කියලා. මම පුදුම උනා. “ මොනවා ගැන ද ඔයා මේ කියන්නෙ??”  මම ඇසුවා. ඒත් ඇය සැබෑවටම නිවැරදියි. අපි අතර පොදු අවකාශය එන්න එන්නම කුඩා වුනා. මුලින් අපිට ඕනෑ වුනා අපි කැමති දේවල් අපි එකිනෙකා අතර බෙදා ගන්න. ඇයට ඕනෑ වුනා  දුක හිතෙන කතා පොත් මා ලවා කියවා ගන්න. ඒත් පසුකලෙක මම කියවන්න කැමති පොතක් ඇයට දුන්නාම ඇය ඒකට යන්තම්වත් කැමති වුණේ නෑ. මම ඒ වෙද්දි දැන උන්නේ නෑ පාසල් ගමන අපේ රසඥතාවේ ස්වභාවය වෙනස් කරනවා කියලා. ඉතින් අපි ටිකෙන් ටික මුණ ගැහෙන එක අඩු උනා. ටික කාලයකින් ඇය විවාහ වුණා , මම විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා . ම‍ගේ අයට මම පොත් ලියනවා කියන්නේ, මගේ අධ්‍යාපනය විසින් ඔවුන් හා මා අතර ඇති කළ පරතරය තහවුරු කිරීමක්.

ඔබ ලේඛිකාවක් වීම යන කාරණය විසින් ඔබගේ අම්මාට බලකෙරුණා ඔබට ගෞරවණිය ලෙස සලකන්න.  ඇයට කිසි දිනෙක අත්පත් කර නොහැකි වූ සිහිනයක් ඔබ විසින් සැබෑ කර ගත්තේය යන දැනීම නිසා, ඇය නිතරම වාගේ ඔබ දෙදෙනාගේ සබඳතාව මැද්දට ඊර්ෂ්‍යාව සහ නොරිස්සීම ගෙන ආවද?

අපි අප අතර ක්‍රමයෙන් ඇති වුණු සංස්කෘතික හිදැස අමතක කොට දැමූවේ වුවත්, අපි අතර බිහිසුණු ගැටුම් වගේම එකිනෙකා ගේ දෝෂ ඉවසා සිටීම ද එක සමානව තිබුණා. ඇයගේ මුළු ජීවිතය පුරාම, ඇයට ඇල්සයිමර් රෝගයට ගොදුරු වූ මොහොත දක්වාම අපි හිටියේ රණ්ඩු කරමින්.

සමහරවිට අපි දෙදෙනාටම පොදු දේවල් අපට තියෙන්න ඇති. ඇයටත් පොත් ලිවීම හීනයක් වෙලා තිබුණා කියලා මුහුණත් රතු කරගෙන ඇය මට කීවේ මම අවුරුදු විසි දෙකේදී, මම අත්පිටපතක් ප්‍රකාශකයෙක් වෙත යැව්වා කියලා අම්මට කියපු මොහොතේදි. “ මටත් එහෙම කරන්න පුළුවන්කම තිබුණා නම් මමත් ඒකට ගොඩක් කැමති වෙන්න තිබුණා” ඇය එහෙම කිව්වා.

එහෙත් අවුරුදු දහතුනේදී ඇය ඉස්කෝලෙ ගමන නවත්වලා තිබුනා. ඒත් කියන්නම ඕනෙ, මට කවදාවත් මගේ ලිවීම සම්බන්ධයෙන් ඇය තුළ ඊර්ෂ්‍යාවක් හෝ නොරිස්සීමක් තියෙනවා කියලා යන්තමින් හෝ දැනිලා නෑ. ඊට මුළුමනින්ම ප්‍රතිවිරුද්ධ ලෙස, ඇය තුළින් සියල්ල පරයා මතුවුණේ ආඩම්බරයක්, ඇත්තටම ඇය තුළ තිබුණෙ ඇයට ස්තූතිවන්ත වෙන්න –  ඒ කියන්නේ ඇය මට වැඩිදුර අධ්‍යාපන ලැබීමට දිරිය දීම, මගේ කියවීමේ රසඥතාව තියුණු කර ගැනීමට සහය දීම, මා කසාදයක් උදෙසා ලොකු මහත් නොකීරීම විසින් – මා ලේඛිකාවක බවට පත් වූයේ යන නිශ්චිත බව විසින් ඇතිකර ගත් ආඩම්බරයක් ඇයට තිබුණා.

– සුභාෂිණී චතුරිකා

Share This Article
Leave a comment