නූතන සමාජ සන්දර්භය තුළ ලාක්ෂා කර්මාන්තකරුවන්ගේ කුල අනන්‍යතාව

තක්ෂිලා ස්වර්ණමාලි
33 Min Read

ලාක්ෂා ශිල්ප කලාව – හැඳින්වීම

ලාක්ෂා ශිල්පය යනු සාම්ප්‍රදායික ලාංකේය සමාජය තුළ සිංහල කුල ධූරාවලියේ නවන්දන්න හෙවත් විශ්ව කුලයට අයත්ව සිටි ජනතාවට පාරම්පරිකව උරුම කරදුන් ශිල්පයන් අතර පවතින පාරම්පරික ශිල්ප කලාවකි. එහි ඇති විශේෂත්වය වන්නේ ලාක්ෂා ශිල්පයෙහි පාරම්පරිකව නියුක්ත නවන්දන්න කුල සාමාජිකයින් ඊවඩු උප ප්‍රභේදයට අයත් වූවන් ලෙස සැලකීමයි. එනම් පාරම්පරිකව නියුක්ත ශිල්පය අනුව නවන්දන්න කුලයේ විවිධ පාරම්පරික ශිල්පීන් අභ්‍යන්තර ධූරාවලියක් සහිතව උප ස්තර වශයෙන් ද සංවිධානගතව සිට ඇත. එකී තත්ත්වයන්හි ශේෂයන් වර්තමානයෙහි ද ප්‍රාදේශීය විවිධත්වයන්ට යටත්ව අඩුවැඩිතා සහිතව සක්‍රීයව පවතී.

පාරම්පරික ලාක්ෂා ශිල්පීන් නියෝජනය කරනු ලබන නවන්දන්න උපකුල ප්‍රභේදය ‘ඊ වඩු’ ලෙස හඳුන්වනු ලබන්නේ, දුමින්දාගමනයත් සමඟ ආගමනය වූ කුල ක්‍රමයේ ආරම්භක වකවානුවේ දී එය ප්‍රධාන වශයෙන් ඊ තල නිමවූ සහ පින්තාරු කළ ශිල්පීය සමූහයක් වූ බැවිනි. එනම් මුල් කාලීනව ලංකාව තුළ ලාක්ෂා කලාව අවි ආයුධ සරසන පින්තාරු කලාවක් වූ අතර මෙම ආයුධ, යුද කටයුතු සඳහා ම නොව යුද ශිල්පයන් ප්‍රගුණ කිරීම සහ විනෝදය පිණිස ද රාජ පැළැන්තිය විසින් භාවිතා කළ ආයුධ විය. පසුකාලීනව එය ඉහළ සමාජ ස්තරයන්හි ගෘහ භාණ්ඩ සැරසීමේ කලාවක් සහ බෞද්ධාගමික මධ්‍යස්ථාන ආශ්‍රිත භාණ්ඩ සැරසීමේ පින්තාරු කලාවක් වූ අතර ගෘහ නිර්මාණකරණයේ දී බීරළු පින්තාරු කිරීම සඳහා ද ලාක්ෂා භාවිතා විය. එම ගෘහ නිර්මාණ කාර්යය ඉහළ පාන්තික නිවාසවලට සහ බෞද්ධාගමික සිද්ධස්ථානයන්ට සීමා වූවකි.

ලාක්ෂා ශිල්ප කලාව යනු සිතුවම් කිරීමේ කලාවක් නොහොත් පින්තාරු කිරීමේ කලාවකි. එය කැටයම් ස්වරූපයකින් යුක්ත ය. ලාක්ෂා කෘමියා හෙවත් ලාකඩ කුරුමිණියා විසින් නිකුත්කරන ලදුව ශාක මත අතහැර දමා යන ස්‍රාවයක් සූරා ගැනීමෙන් සාදාගනු ලබන ලාකඩ හෙවත් ලාක්ෂා, දහනය වන අඟුරුවල තාපයෙන් උණු කරමින් ඒවාට වර්ණ මිශ්‍ර කර, එම වර්ණ කළ ලාක්ෂාවලින් දැවමය භාණ්ඩ කැටයම්මය ආකාරයකින් පින්තාරු කිරීම ලාක්ෂා ශිල්පයේ දී සිදු කෙරේ. මෙය අනෙක් පින්තාරු ශිල්පයන්ට වඩා වෙනස් වන්නේ භාවිතා කරන අමුද්‍රව්‍ය, පින්තාරු කරන ක්‍රමවේදය, කල් පැවැත්ම, නිමාව, පින්තාරුවෙහි ඝනත්වය, එම කලාව කුලයක් සමඟ බද්ධව පැවතීම සහ ලාංකේය ලිඛිත ඉතිහාසයෙහි ආරම්භක වකවානුවෙහි පටන් පැවත එන පාරම්පරික කලාවක් වීම හේතුවෙනි.මෙම නිර්මාණ කලාව හුදෙක් ද්‍රව්‍යාත්මක ක්‍රියාවලියක් පමණක් නොවන අතර, මිනිස් මැදිහත් වීමෙන් යුක්ත ලෝක ඉතිහාසයෙහි සහ එහි උප කුලකයක් වූ ලාංකේය ඉතිහාසයෙහි පන්ති සමාජය තුළ තවත් එක් දේශපාලනික ප්‍රපංචයක් සෘජුව නියෝජනය කරයි. කෙසේද යත් අධිපති පන්තිය තෘප්ත කිරීම පිණිස ඔවුන්ගේ මෙහෙයවීමෙන් ඔවුන්ගේ අවශ්‍යතා පිණිස ශ්‍රමිකයන්ගේ නිර්මාණශීලී ශ්‍රමය බලපෑමකින් යුක්තව භාවිතා කළ, වර්තමානය දක්වා ම සූරාකෑමට ලක්වීම නියෝජනය කරන තවත් එක් ඓතිහාසික අවස්ථාවක් බැවිනි.

ලාංකේය ලාක්ෂා ශිල්පය නියපොතු වැඩ සහ පට්ටල් වැඩ ලෙස ප්‍රධාන ශිල්පීය ක්‍රම දෙකකින් යුක්ත වන අතර නියපොතු වැඩ යනු නියපොත්තේ ආධාරයෙන් ලාකඩ කෙඳි අලවා කරනු ලබන ලාක්ෂා පින්තාරු කිරීමේ ක්‍රමය යි. ශ්‍රී ලංකාවේ අතීතයේ සිට පැවත ඇත්තේ නියපොතු වැඩ ය. පට්ටල් වැඩ යනු අත් පට්ටලය නම් වූ අතින් ක්‍රියා කරවන සරල යන්ත්‍රයකින් ලාක්ෂා පින්තාරු කිරීමේ ක්‍රමය යි. මෙම ප්‍රධාන සාම්ප්‍රදායික ක්‍රම දෙක මඟින් ලාක්ෂා වැඩ දැමීම නම් වූ පාරම්පරික කලාව සිදු කරනු ලබයි. පට්ටල් ක්‍රමයේ පට්ටල් වර්ග දෙකක් තිබෙන අතර අතීතයේ දී ලංකාවේ භාවිතා වී ඇත්තේ දෙදෙනෙකු විසින් ක්‍රියා කරවන පට්ටලය යි. එය අභාවයට ගොස් වර්තමානය වන විට එක් පුද්ගලයකු විසින් ක්‍රියා කරවිය හැකි අත් පට්ටලය භාවිතයට පැමිණ ඇති අතර එය ඉන්දීය පට්ටලය ලෙස හැඳින්වේ. එම ඉන්දීය පට්ටලය ද මෑත ඉතිහාසය තුළ අභාවයට ගොස් ඇති අතර ඉක්බිති වත්මනෙහි එය ප්‍රදර්ශනාත්මක භාවිතය සඳහා පමණක් ශිල්පීන් විසින් ශේෂ කොටගෙන ඇති අතර වර්තමාන සාමාන්‍ය භාවිතාවෙහි ඉන්දීය පට්ටලය වෙනුවට විදුලි පට්ටලය ආදේශ වී ඇත.

ලාක්ෂා ශිල්පය රටින් රටට පැහැදිලි වෙනස්කම් සහිතව ගොඩනැගුනකි. ලාකඩ අමුද්‍රව්‍යයෙහි ස්වරූපය, සැරසිලිවල ස්වභාවය, ශිල්ප ක්‍රම, උපකරණ, කරනු ලබන නිර්මාණයන්හි ස්වරූපය, ලාක්ෂා ආලේපිත භාණ්ඩයන්හි ස්වරූපය, ලාක්ෂා ශිල්පීන්ගේ සමාජ තත්වය ආදී වශයෙන් විවිධ වූ සුවිශේෂී වෙනස්කම් ලාකඩ ශිල්පයෙහි නියුක්ත විවිධ රටවල විවිධ ජන සමාජයන් විසින් ප්‍රකට කරනු ලබයි.

පාරම්පරික ලාක්ෂා ශිල්පීය ජනතාවගේ කුල අන්‍යතාව නූතන සමාජ සන්දර්භය තුළ ක්‍රියාත්මක වන ස්වරූපය

මෙරට පැවති කුල වැඩවසම් ක්‍රමය යටත්විජිතකරණය යටතේ  දුර්වල කරන ලදුව ඒ මත පතිත කළ උත්තරාරෝපිත ධනවාදය මෙරට කුල පදනම් පූර්ණ වශයෙන් අහෝසි කිරීමට සමත් නොවී ය. එහි ආර්ථික කාර්යභාරය දියකර හරින ලද්දේ වුව ද කුලය වටා ගොඩනැගුණු සමාජ වටිනාකම්හි විෂමතාවන් මෙරට සමාජ යථාර්ථය තුළ ශේෂ විය. ලාංකේය ධනවාදය වැඩී වර්ධනය වන්නේ මෙම තත්ත්වය යටතේ ය.

කුල වැඩවසම් ක්‍රමය තුළ රාජ භාණ්ඩාගාර පුරවන ලද ශ්‍රමික ජනතාවගේ කුල අනන්‍යතාව, ධනවාදය තුළ වෙළඳපළ යාන්ත්‍රණයට පාවිච්චි වෙමින් පවතියි. එනම් කුල වැඩවසම් ආර්ථික පද්ධතිය තුළ පාරම්පරික ලාක්ෂා ශිල්පීය ජනතාව විසින් සිදු කළ භාණ්ඩ නිෂ්පාදන කාර්යය සමාජ ආර්ථික ක්‍රමයේ විකාශනයත් සමඟ තුරන්ව යාම වෙනුවට සිදුව ඇත්තේ එහි මුහුණුවර විපර්යාසයට ලක් වීමයි. වර්තමානය වන විට ලාක්ෂා භාණ්ඩ නිෂ්පාන කාර්යය දුර්වලව පැවතිය ද පාරම්පරික ලාක්ෂා ශිල්පීන් අති සුළුතරයකගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස වර්තමානයේ ද ලාක්ෂා භාණ්ඩ නිෂ්පාදනය පවතින අතර සැලකිය යුතු ප්‍රමාණයක අමතර ආදායම් මාර්ගයක් බවට එය පත්ව ඇත. වර්තමානය වන විට ද ඔවුන් සතුව ඇති එකී ආර්ථික හැකියාව කුල පදනම මත ක්‍රියාත්මක වන්නකි.

ලාංකේය ධනවාදයේ වර්තමාන මොහොතට පවා මගහැර යා නොහැකි ලෙස කුල සෙවනැලි මෙරට සමාජ අභ්‍යන්තරය තුළ පතිතව ඇති බව පිළිගත යුතු සහ මගහැර යා නොහැකි සත්‍යය යි. රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය හෝ සුබසාධන ධනවාදය ඉදිරියේ නොව අති ප්‍රබල වූ නවලිබරල් ධනවාදය අභිමුවේ වුව ද එය නොනැසී පවතියි. විශේෂයෙන් ලාංකේය සමාජයේ සාතිශය බහුතරය වන ග්‍රාමීය සහ අර්ධ නාගරික ජනතාව තුළ කුල හැඟීම් ප්‍රබල ලෙස ආවෘතව ක්‍රියාත්මක වෙයි. නාගරික ජන සමාජය සම්බන්ධව ද එම කුල බලපෑම පූර්ණ ලෙස අහෝසි වී නොමැත. කුල හැඟීම්හි තීව්‍රතාවන් දුර්වල වෙමින් වුව ද පරම්පරාවෙන් පරම්පරාවට එම සංකල්පයන් නොඅඩුව තවමත් ගමන් කරමින් පවතියි. ලාංකේය සමාජය කුල පදනම් පිළිබඳව සවිඥානික අතර මෙම පර්යේෂණ කාර්යය සඳහා යොදාගත් නියැදියේ සියලු සමාජිකයින් තම කුලය පිළිබඳව දැන සිටියහ. එහෙත් ඔවුහු නවන්දන්න කුලයේ උප කුල සියල්ල පිළිබඳ හෝ සියලු නවන්දන්න ශිල්පයන් පිළිබඳ මනා අවබෝධයක් රහිත ය. නවන්දන්න කුලය තුළ ශිල්පයන් විභේදනය වී ඇති ආකාරය ප්‍රදේශයෙන් ප්‍රදේශයට යම් විෂමතාවන් පෙන්නුම් කරන අතර ඔවුන් තම කුලය විග්‍රහකර ගනු ලබන්නේ එම ප්‍රාදේශීය විෂමතාවන් අනුව ය.

නිදසුනක් ලෙස මාතලේ දිස්ත්‍රික්කයේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ පාරම්පරික ලාක්ෂා ශිල්පීන් නියැලෙන්නේ ලාක්ෂා ශිල්පයේ පමණක් වුව ද හම්බන්තාට දිස්ත්‍රික්කයේ පැරණි අගුල්මඩුවේ හෙවත් වර්තමාන අගුල්මඩුව, බෙලිගල්ල, වාඩිය යන ග්‍රාමයන්හි පාරම්පරික ලාක්ෂා ශිල්පීය ජනතාව ලාක්ෂා ශිල්පයේ නිරත වන අතර ම වෙනත් පාරම්පරික නවන්දන්න වෘත්තීන්හි ද නිරත වෙයි. අඟුල්මඩුවේ එම නවන්දන්න ජනතාව තම කුලය හඳුනාගන්නේ පාරම්පරික ශිල්පයන් රාශියක් දන්නා එක් කුලයක් ලෙස ට ය. පාරම්පරික ලාක්ෂා ශිල්පීන් නවන්දන්න කුලයේ වෙනම ප්‍රභේදයක් ලෙස ඔවුන් විසින් හඳුනා නොගන්නා අතර, එම සියලු ශිල්පීය අනන්‍යතාවන් සහිත ජනතාව වාසය කරන්නේ ද එකම භූගෝලීය ඒකකයක් තුළ ය.

එහෙත් මාතලේ දිස්ත්‍රික්කයේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ පාරම්පරික ලාක්ෂා ශිල්පීය ජනතාව තම කුල පදනම හඳුනාගනු ලබන්නේ නවන්දන්න කුලයට අයත් වෙනම ශිල්පීය කොට්ඨායක් ලෙස ය. මාතලේ දිස්ත්‍රික්කයේ සහ මහනුවර දිස්ත්‍රික්යේ ද පාරම්පරික ලාක්ෂා ශිල්පීය ජනතාව භූ ගෝලීය වශයෙන් වාසය කරන්නේ වෙනත් නවන්දන්න ශිල්පයන්හි ද නිරත වන ගම් වැසියන් සමඟ වුව ද ඔවුන් තම පරම්පරාව අනෙක් නවන්දන්න ශිල්පීය පරම්පරාවන්ගෙන් වෙන්කොට හඳුනාගනියි. එහෙත් මෙම ලාක්ෂා ශිල්පීය පරම්පරා මේ වන විට වෙන්කොට හඳුනාගත නොහැකි තත්වයට පත්ව ඇත්තේ නවන්දන්න කුලය තුළ විවිධ ශිල්පීය කණ්ඩායම් අතර සිදුවන විවාහ සම්බන්ධතා හේතුකොට ගෙන ය.

තම පරම්පරාව හෝ තම පවුල වෙනම ලාක්ෂා ශිල්පීය අනන්‍යතාවයකින් හඳුනා නොගන්නා, නවන්දන්න කුලය ලෙස ම පමණක් හඳුනාගන්නා අඟුල්මඩුව පාරම්පරික ලාක්ෂා ශිල්පීන් පමණක් නොව, ලාක්ෂා ශිල්පීන් වෙනම උප කොට්ඨාසයක් ලෙස හඳුනා ගන්නා මාතලේ සහ මහනුවර පාරම්පරික ලාක්ෂා ශිල්පීය ජනතාව ද පාරම්පරික ලාක්ෂා ශිල්පීන්ගෙන් සැලකියයුතු ප්‍රමාණයක් තම කුලය ඊ වඩු කුලය ලෙස හඳුනා නොගනියි.

නැතහොත් සියලු පාරම්පරික ලාක්ෂා ශිල්පීය ජනතාව තම කුලය ඊ වඩු උප කුල ස්තරය ලෙස හඳුනාගනු ලබන්නේ නැත. තම උප කුලය ඊ වඩු නාමයෙන් හඳුනාගැනීමට දැනුවත්බවක් නොමැති අය බොහෝ සිටිති. එහෙත් ඔවුන් තම කුලය නවන්දන්න හෝ විශ්ව ලෙස ප්‍රකාශ කිරීමට මැළි වන්නේ නැත. සැබෑ ලෙස ම ඊ වඩු නාමය පිළබඳව නොදැනීම සේ ම ඊ වඩුවන් යනු නවන්දන්න කුලයේ පහළ ස්තරයක් වීම මත එය සැඟවීමට දරන උත්සාහයක් ද ඒ තුළ ඇත. උප කුල නාමය දැන සිටිය ද බහුතරය තමන් හඳුනා ගන්නේ නවන්දන්නයින් ලෙස ය. ඊට හේතුව ඊ වඩු නාමයට ලැබෙන අඩු සමාජ වටිනාකම පමණක් ම නොවන අතර කුලයක් ලෙස තම ශිල්පීය අනන්‍යතාව හෝ උප කුලය දක්වනවා වෙනුවට ප්‍රධාන කුලය පැවසීමට තරම් නවන්දන්න කුලය එක් කුලයක් ලෙස ඒකීයව පෙනී සිටීම යි.

මෙම පර්යේෂණ කාර්යය සඳහා යොදාගත් සියලු ලාක්ෂා ශිල්පීය නවන්දන්න කුල දත්තදායකයින්ට නවන්දන්න යන්නෙහි අර්ථය පිළිබඳව යම් අදහසක් පැවති අතර ඔවුන් සියලු දෙනා පවසන ලද්දේ තම කුලයේ ජනතාව ශිල්ප නවයක් දන්නා බැවින් නවන්දන්න ලෙස හඳුන්වන බවයි. එහෙත් බොහෝ ලිඛිත ශාක්ෂි හමු වන්නේ නව කර්මාන්ත දන්නා බැවින් නවන්දන්න ලෙස හඳුන්වන බවයි. ඇතැම් නවන්දන්නයින් සඳහන් කරන්නේ නැවීමට දන්නා යන අර්ථය ද නවන්දන්න පදය තුළ ඇති බවයි.

නවන්දන්න අනන්‍යතාවයේ විවෘතභාවය

ලාංකේය සිංහල කුල ධූරාවලිය තුළ ඉහළ කුලය ලෙස පිළිගැනෙන්නේ ගොවිගම කුලය පමණක් වන අතර මධ්‍යම කුල පැවතිය ද ගොවිගම හැරුණු විට අනෙක් සියලු කුල පොදුවේ ගොවිගමට සාපේක්ෂ වශයෙන් පහළ කුල ලෙස සමාජය තුළ පිළිගැනේ. එම පහළ කුල සාමාජිකයින් තම කුල නාමය සඳහන් කිරීමට දක්වන මැලිකම සහ තම කුලය ආවෘතව තබා ගැනීමට දරන සාධාරණ උත්සාහයක් පවතින නමුදු නවන්දන්න කුලයට අයත් ලාක්ෂා ශිල්පීය ජනතාවගේ විශේෂත්වය වන්නේ ගොවිගම නොවන අනෙක් කුලවලට සාපේක්ෂව ඔවුන් තම කුල නාමය පැවසීමට මැලිකමක් නොදැක්වීම යි. නිදසුනක් ලෙස මහනුවර නගරයේ දළදා වීදියේ අද ද විශ්ව කුල පුත්‍රයෝ නමින් ආභරණ වෙළඳ සැලක් පවතින අතර ඔවුන් රන් රිදී ආභරණ තනා අලෙවි කරන නවන්දන්න සාමාජිකයින් ය. වෙළඳපොළ ආර්ථිකය යටතේ ඔවුහු තම වැඩවසම් නවන්දන්න කුල පදනම වෙළඳ වටිනාකමක් බවට පත්කරගෙන සිටිති.

ලාක්ෂා ශිල්පීය ජනතාව ද කිසිදු පැකිලීමකින් තොරව තම කුලය පවසන අතර බොහෝ විට අභිමානයකින් ද යුක්තව තම කුලය පිළිබඳව පවසයි. එයට හේතුව ඔවුන්ට ඒ තුළින් හිමිවන ශිල්පීය වටිනාකම වුව ද එයට බලපාන්නේ ශිල්පීය වටිනාකම පමණක් යැයි කිව නොහැක. මන්ද නිදසුනක් ලෙස කින්නර කුලයේ ජනතාව යනු පාරම්පරික කළාල නිර්මාණ ශිල්පීන් වුව ද ඔවුන් තම ශිල්පීය හැකියාවන් හේතුවෙන් තම කුලය නොසඟවා නොපවසති. එහෙත් නවන්දන්න ජනතාව තම කුල අනන්‍යතාව හෙලවීම වැලැක්වීමට උත්සාහ නොදරන්නේ නවන්දන්න කුලය යනු ලාංකේය සිංහල කුල ධූරාවලියේ මධ්‍යම කුලයක් බැවිනි. එසේම ඔවුන් තම කුලය පිළිබඳව නොපැකිළී පවසන්නේ වෘත්තීය අනන්‍යතාව තුළින් එය හෙළි වන අවස්ථාවන්වලදී ය. එය විවෘත නොවන විට පැවසීමට ඔවුහු ඉක්මන් නොවෙති. එසේම නවන්දන්නයකු තම කුලය පිළිබඳ විශේෂයෙන් අභිමානවත් වී නම් එම අභිමානය පිටුපස හීනමානය ද සැඟව ඇත. ඔහු ඒ තුළින් අත්පත් කරගැනීමට වෙහෙසෙන්නේ නිරායාසයෙන් නොලැබෙන සමාජ වටිනාකමකි.

ලාක්ෂා ශිල්පීය කුලය සහ ප්‍රාදේශීය අභිමානය

එසේම ලාක්ෂා ශිල්පීය ජනතාවගේ කුල හැඟීම් සමඟ ප්‍රාදේශීය අභිමානයන් ද බද්ධව පවතී, මාතලේ පාරම්පරික ලාක්ෂා ශිල්පීන් සහ මහනුවර පාරම්පරික ලාක්ෂා ශිල්පීන්, කන්දඋඩරට ජනතාව තුළ ඇති ප්‍රාදේශීය සුවිශේෂත්වය මත පදනම් වූ අභිමානයකින් ද යුක්ත ය. මෙය මහනුවර ලාක්ෂා ශිල්පීන් සම්බන්ධව විශේෂිත ය. මාතලේ දිස්ත්‍රික්කයේ පාරම්පරික ලාක්ෂා ශිල්පීය ජනතාව අතර ලාක්ෂා ශිල්පය යළි ව්‍යාප්ත වන්නේ අනගාරික ධර්මපාල ප්‍රමුඛ ජාතික ව්‍යාපාරයේ මැදිහත් වීමෙන් ඉන්දියාවට ගොස් ලාක්ෂා පාඨමාලාවක් හදාරා 1929 දී ලංකාවට පැමිණි පසුකාලීනව කේ. එච්. අබේවර්ධන ලෙස හැඳින්වූ කේ. හංගිඩියා ආබරණඅප්පු ශිල්පියාගෙනි. කේ. එච්. අබේවර්ධන හෙවත් කේ. හංගිඩියා ආබරණඅප්පු විසින් මාතලේ දිස්ත්‍රික්කයේ ලාක්ෂා ශිල්පය ව්‍යාප්ත කිරීමට පෙර මාතලේ දිස්ත්‍රික්කයේ පාරම්පරික ලාක්ෂා ශිල්පීන්ගේ ප්‍රධාන ජීවනෝපාය වී ඇත්තේ කුලී වැඩ ය. දුෂ්කර ආර්ථික සහ සමාජයීය ජීවිතයක් ගෙවූ ඔවුනට ජාතික ව්‍යාපාරයේ මැදිහත් වීමෙන් ලාක්ෂා පුහුණුව ලැබීමත් සමඟ ශිල්පීය වටිනාකමක් ලැබුණ ද ඔවුහු පසුකාලීව මව් පර්ශවය ද මිශ්‍රව ලාක්ෂා ශිල්පයට නැඹුරු වූවන් බැවින් මහනුවර පාරම්පරික ලාක්ෂා ශිල්පීන් අභිමානය සම්බන්ධව මාතලේ පාරම්පරික ශිල්පීන්ව අභිබැවීමට දරන උත්සාහය ප්‍රකට වේ.

එසේ එක්දහස් නවසිය විස්ස දශකයේ දී ද මාතලේ දිස්ත්‍රික්කයේ ලාක්ෂා ශිල්පය ව්‍යාප්ත කරන ලද්දේ පාරම්පරික ලාක්ෂා ශිල්පීය පවුල්වල ම ය. එහෙත් මහනුවර දිස්ත්‍රික්කයේ ලාක්ෂා ශිල්පීය පවුල් කන්ද උඩරට රාජධානි සමයේ සිට අඛණ්ඩව හෝ කඩින්කඩ පාරම්පරික ශිල්පයෙහි නියැලුණු පවුල් බැවින් ඔවුන් තුළ විශේෂ අභිමානයක් ඇත. මහනුවර රාජධානිය තුළ රාජකීයයන් සම්බන්ධව තම අතීත පාරම්පරිකයින් විසින් සපයන ලද සේවාවන් සහ ගොඩනගන ලද නිර්මාණයන් මහත් අභිරුචියෙන් සිහිපත් කිරීමේ පූර්ණ අයිතිය සැබවින් ම ඔවුන්ට ඇති අතර එම නිර්මාණයන් සිදු කළ ශිල්පීන් ලැබිය යුතු පැසසුම් නොලැබුව ද එම නිර්මාණ වනාහි අතිශය විස්මයජනක නිර්මාණයන් ය. එබැවින් තම අතීත පාරම්පරිකයින්ගේ නිර්මාණ කෞශල්‍යය පිළිබඳව අභිමානවත් වීම අතිශය තාර්කික නමුදු, එහෙත් සැබවින්ම ඔවුන් අභිමානවත් වන්නේ රාජකීයයන් සම්බන්ධ කොට තම මුතුන්මිත්තන් සිහිපත් කිරීමෙන් ය.

රාජ්‍ය බලය සහ නවන්දන්න ශිල්පීන්

තම පෙළපත රාජකීයයන් නොවූව ද රදළ පේරුවේ තබා අවම වශයෙන් ගොයිගම නොවූව ද මධ්‍යම කුලයක් පමණක් වුව ද රාජකීයත්වයත් සමඟ පැවති සම්බන්ධය ඔවුහු ගර්වයෙන් සලකති. එහෙත් සැබෑව නම් අනෙක් කුල සේ ම ලාක්ෂා ශිල්පීන් ඇතුළත් වන නවන්දන්න කුලය ද රාජකීයයන්ට යටත්ව ඔවුන්ගේ පීඩාවන්ට ලක්ව පීඩිතව පැවති තවත් එක් කුලයක් බව ය. ඓතිහාසික නටබුන් ලෙස අද අප දකින බොහෝ නිමැවුම් ශේෂයන් ඉතිහාසය පුරා ගොඩනැගුණු නවන්දන්න උරුමයන් ය. ඔවුන් එම ඉදිකිරීම් හෝ කලා නිමැවුම් තනනු ලැබුවේ අසීමිත දීමනා හෝ අසීමිත සමාජ වටිනාකම් හෝ සමාජ බලයක් උදෙසා නොවේ. ගල් පිළිම නෙලූවන් නේත්‍රා මංගල්‍යයෙන් පසු ඝාතනය කිරීමේ මෙරට රජුන්ගේ ම්ලේච්ඡත්වයට ජනප්‍රවාද සාක්ෂි දරයි. එහෙත් එහෙව් රාජකීයයන්ගේ පීඩාවන් පවා ගෞරවයක් කොට තකන මානසිකත්වයක් බොහෝ නවන්දන්නයින් සතු ය. නිදසුනක් ලෙස දළදා මාලිගාවේ පත්තිරිප්පුව නිර්මාණය කළ දේවේන්ද්‍ර මූලාචාරි නැමැති නවන්දන්න ශිල්පියා සම්බන්ධව, එම ශිල්පියාගෙන් පැවත එන ඥාති පරම්පරාවන්ගේ පවුල්වල අද වන විට පවතින ජනප්‍රවාද සහ ඒ පිළිබඳව එම ලාක්ෂා ශිල්පීය සාමාජිකයින් සහ අනෙකුත් නවන්දන්න ශිල්පීන් ද දක්වන අදහස් ගෙනහැර පෑ හැක.

දළදා මාලිගාවේ පත්තිරිප්පුව නිර්මාණය කළ දේවේන්ද්‍ර මූලාචාරි නැමැති නවන්දන්න ශිල්පියා සියදිවි නසාගෙන ඇත්තේ ද අධිපති පන්තියේ පීඩාව අභියස ය. එහෙත් එසේ සියදිවි නසා ගත් තම ආදි ඥාතියාගේ ප්‍රවෘත්තිය තුළ ඔහුගේ වර්තමාන ඥාතී ශිල්පීන් පවා දකිනුයේ රාජ තේජස මිස තම ඥාති ශිල්පියාට අත්විඳින්නට සිදු වූ ඛේදවාචකය නොවේ. දේවේන්ද්‍ර මූලාචාරි සම්බන්ධව ඔහුගේ ඥාති පවුල් අතර ඇති ජනප්‍රවාදය මෙසේ ය.

හුරිකඩුවේ වෙසෙන අසූ හත් වියැති පාරම්පරික ලාක්ෂා ශිල්පී ඇකිරියා කුඹුරේ ගෙදර දේවේන්ද්‍ර ගේ බිරිඳ වන ඩී.ජී.චන්ද්‍රලතාගේ මුල් ගම උඩු නුවර අරන්ගහ ය. දේවේන්ද්‍ර මූලාචාරි ඇයගේ මුත්තකු වන අතර දේවේන්ද්‍ර මූලාචාරි පදිංචිව සිට ඇත්තේ ද උඩු නුවර අරන්ගහ ප්‍රදේශයේ ය. උඩු නුවර අරන්ගහ ප්‍රදේශයට දේවේන්ද්‍ර මූලාචාරි ගෙන්වාගෙන පදිංචි කරවාගෙන ඇත්තේ රාජසිංහ රජු විසින් වන අතර, ඒ දකුණු පළාතේ මාතර සිට ය. රාජසිංහ රජු විසින් එසේ දකුණු පළාතේ මාතර සිට දේවේන්ද්‍ර මූලාචාරියාව ගෙන්වාගෙන උඩු නුවරින් ඉඩම් ලබා දී විවාහයක් ද කර දී පදිංචි කරවාගෙන ඇත්තේ දේවේන්ද්‍ර මූලාචාරිගේ දක්ෂතා රජුට සැලවීමෙන් බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. දළදා මාලිගාවේ පත්තිරිප්පුව මෙන්ම, මහනුවර නගර ප්‍රතිසංස්කරණ සැලැස්ම ද දළදා මාලිගාවේ මගුල් මඩුව ද දළදා මාලිගයේ සියලු ලී කැටයම් ද, ඇම්බැක්කේ ලී කැටයම් කළ දෙල්මඩ මූලාචාරියාගේ ගෝලයකු ලෙස සැලකෙන මෙම දේවේන්ද්‍ර මූලාචාරිගේ නිර්මාණ බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි.

මෙම නවන්දන්න ඥාතීන් සඳහන් කරන ආකාරයට දේවේන්ද්‍ර මූලාචාරිගේ ශිල්පය වාස්තු විද්‍යාවයි. හෙතෙම මහනුවර යුගයේ දී සිංහල රාජධානිය පවත්වාගෙන ගිය ද්‍රවිඩ මූලයන් සහිත රජවරුන් විසින් ඉන්දියාවෙන් ගෙන්වූ පරම්පරාවකින් පැවත එන්නකු නොවන අතර, දුමින්දාගමනට සම්බන්ධ ශිල්පීය පරම්පරාවකින් පැවතෙන්නකු බව ගර්වයෙන් සඳහන් කරන දේවේන්ද්‍ර මූලාචාරිගේ ඥාතීන් පවසන ආකාරට ඔහුගේ මුල් නම ජීවනයිදෙ වන අතර දේවේන්ද්‍ර නාමය රජු විසින් ලබා දී ඇත්තේ නම්බු නාමයක් ලෙස ය. කන්ද උඩරට සිංහල රජකු විසින් දේවේන්ද්‍ර වැනි නම්බු නාමයක් ප්‍රදානය කිරීම ගැටලුකාරී නොවන්නේ කන්ද උඩරට අවසාන රජවරුන් ඉන්දීය ද්‍රවිඩ මූලයක් සහිත රජුන් බැවිනි. මූලාචාරී යනු උඩරට රජු විසින් ජීවනයිදේ හෙවත් දේවේන්ද්‍රට දුන් තනතුර යි. හෙතෙම මහනුවර නවන්දන්න ශිල්පයන්ට නායකත්වය දුන් බව ද පට්ටල් හතරේ නායකයා වූ බව ද පැවසේ. මහනුවර දේවනාරායන නවන්දන්න පරපුර මහනුවර යුගයේ දී ඉන්දියාවෙන් ගෙන්වූවන්ගෙන් පැවත එන බව අවඥාවෙන් සඳහන් කරන දේවේන්ද්‍ර මූලාචාරිගේ ඥාතීන් පවසන්නේ දේවනාරායන පරපුර ද දේවේන්ද්‍ර මූලාචාරි යටතේ සිටි බවයි.

මෙම දේවේන්ද්‍ර මූලාචාරී රජුට ඉතා කිට්ටුවන්තයකු වූ අතර ඒ නිසා ම ඔහුට සතුරන් සිටි බව ද ඥාතීන් පවසයි. එබඳු සතුරකු විසින්, දේවේන්ද්‍ර මූලාචාරි විසින් නිර්මාණය කළ දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ සැලැස්ම විකෘති කළ බව ජනප්‍රවාදයේ එයි. වර්තමානයේ ඇත්තේ ද එම විකෘති කරන ලද සැලැස්මට අදාළ පත්තිරිප්පුවයි. දේවේන්ද්‍ර මූලාචාරිගේ සතුරකු විසින් කරන ලද එම විකෘති කිරීම පිළිබඳව අදහස් දෙකක් පවතියි. එකක් නම් පත්තිරිප්පුව සාදමින් පවතිද්දී දිනක් රාත්‍රියේ දී පත්තිරිප්පුවේ සැකිල්ලෙන් අඟල් හතර බැගින් මොල්ලිගොඩ විසින් කැප්පවූ බවයි. අනෙක් මතය නම් පත්තිරිප්පුවේ ආකෘතිය කෙසෙල් කොටවලින් සාදා තිබූ අතර දේවේන්ද්‍ර මූලාචාරියාගේ සතුරන් විසින් රාත්‍රියේ දී එම ආකෘතියේ කෙහෙල් කොට කපා දිග අඩු කළ බවයි. පත්තිරිප්පුව සාදා ඇත්තේ එම විකෘති කරන ලද ආකෘතියට අනුවයි.

මෙසේ පත්තිරිප්පුවේ වහළෙහි කණුවල සිට ඉදිරියට නෙරන අගුව කොට වීමේ වරදට රජු විසින් දේවේන්ද්‍ර මූලාචාරියාගේ ඇඟිල්ලක් කැප්පවූ බව ජනප්‍රවාදයේ එයි. දේවේන්ද්‍ර මූලාචාරී අත් දෙකෙන්ම චිත්‍ර අඳින ශිල්පියකු බැවින් එක් අතක ඇඟිල්ලක් කැපූ පසු සිතුවම්කරණයෙහි පෙර මෙන් නිරතවීමට තිබූ නොහැකියාව හේතුවෙන් තමාම සෑදූ බෝගම්බර අලුත්වැවට පැන දිවි නසාගත්බව සඳහන් වෙයි. දේවේන්ද්‍ර මූලාචාරී විසින් නිතර ම ඇත්දත් රියන් ලෑල්ලක් අතේ තබා ගෙන සිටි බව ඔහුගේ පරපුරේ ඥාතීන් පවසන අතර එය ඇත් දළින් කළ කැයටම් සහිත රියනක් දිග සැරයටියක් බව ද සඳහන් වේ. මෙයින් පෙනී යන්නේ දේවේන්ද්‍ර මූලාචාරී ශිල්ප කලා හැකියාවන් කිහිපයක් ම ප්‍රගුණ කළ ශිල්පියකු බවයි. දේවේන්ද්‍රගේ මරණය පිළිබඳ තවත් මතයක් නම් රජු ඇඟිල්ලක් කැප්පවූයේ නැති බවත් රජු උදහස් වේ ය යන බිය නිසා තමන් ම නුවර වැවට පැන සියදිවි නසාගත් බවත් ය. දේවේන්ද්‍ර මූලාචාරිගේ සියදිවි නසා ගැනීමෙන් පසු පත්තිරිප්පුවේ ඉතිරි කොටස නිමවන ලද්දේ ඔහුගේ පුතා විසින් බවත් පුතා පත්තිරිප්පුව සාදා අවසන් වූ පසු සැඟවී සිටි බවත් සඳහන් වේ. එසේ සැඟවී සිටීමට හේතු දෙකක් දේවේන්ද්‍ර මූලාචාරීගේ ඥාතීන් අතර පවතින ජනප්‍රවාදයන්හි අඩංගු අතර එක් හේතුවක් වන්නේ රාජ උදහසට බියේ සැඟවී සිටි බවත්, අනෙක් හේතුව වන්නේ දේවේන්ද්‍ර මූලාචාරිගේ සතුරන්ට බියේ සැඟවී සිටි බවත් ය.

මෙම ජනප්‍රවාදය පිළිබඳව මහනුවර දිස්ත්‍රික්කයේ පාරම්පරික නවන්දන්න ශිල්පීන් කරනු ලබන ප්‍රකාශයන් තුළින් හෙළි වන විශේෂ කරුණ වන්නේ එම ශිල්පීන් තම අතීත ඥාතියා වන අති දක්ශ නවන්දන්න ශිල්පියාට රජුගෙන් සිදු වූ අකටයුත්ත නොදැකීමේ ඛේදවාචකය යි. රජු විසින් දේවේන්ද්‍ර මූලාචාරිගේ ඇඟිල්ලක් කැපීම හෝ රාජ උදහස හෝ මෙම අති දක්ෂ මුතුන්මිත්තාට සියදිවි නසා ගැනීමට සිදු වීම හෝ, රාජ පැළැන්තියේ චර්යාවන්ට විරෝධය පෑ යුතු සිදුවීම් ලෙස දේවේන්ද්‍ර මූලාචාරිගේ පරපුරේ ඥාතීන් හඳුනා නොගන්නා අතර ඔවුන් විසින් උත්කර්ෂයට නගන්නේ රජු විසින් දේවේන්ද්‍ර ශිල්පියාගේ ඇඟිල්ල කැපූ පසු දේවේන්ද්‍ර සියදිවි නසාගැනීම නිසා පසුතැවීමට පත් රජු තම ඇඟිල්ල හපාගත් සිදුවීමකි. රජු විසින් තම ඇඟිල්ල හපා ගැනීම රජුගේ උදාර ගුණයක් ලෙස ඔවුහු දකිති. එහෙත් රජුගේ ක්‍රියාකලාපයේ යථාර්ථය ඔවුහු විචාරශීලීව නොදකිති.

ලිඛිත හෝ අලිඛිත පිළිගත් ඉතිහාස වෘත්තාන්තය පුරා යටපත්ව සැඟවී පවතින, ගොවිගමයින් විසින් පමණක් නොව නවන්දන්නයින් විසින් ද නොපිළිගන්නා නමුත් ජනප්‍රවාද තුළ සැඟවී පවතින නවන්දන්න පරපුරේ ඛේදවාචකය තුළ ඉහත සඳහන් ආකාරයේ සියදිවි නසාගැනීම් මෙන්ම ඝාතන ද රාශියක් පවතී. නිදසුනක් ලෙස දඹදෙණි රාජධානියේ නිර්මාතෘ වූ නවන්දන්න ශිල්පියා සිරකොට තබා මරා දැමූ, දඹදෙණි රාජධානියේ ඉදිකිරීමට පසෙකින් ඇති වඩුවා කෙටූ ගල ඊට සාක්ෂි දරයි. සීගිරිය නිර්මාණය කළ නවන්දන්න මූලයක් සහිත ශිල්පීන් සම්බන්ධව ද එබඳුම පුරාවෘත්ත පවතී. කාශ්‍යප විසින් විනාශ කරන ලද බවට ජනප්‍රවාදයන්හි සඳහන් වන, සීගිරිය සැරසූ සිත්තරුන්, ගල් වඩුවන් සහ ඉදිකිරීම් ශිල්පීන් යනු නවන්දන්න කුලය ලෙසට ඒකරාශී වූවන් ය. එසේ ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වහමල්ගොල්ලෑවේ කොංඩසිංහ පටබැදි ගෙදර හින්නි අප්පු සඳහන් කරන ආකාරයට අතීතයේ රාජධානි සැලසුම් කළ ගොඩනැගිලි නිර්මාණ ශිල්පීන් වූ ගල් වඩුවන් සේ ම ගල් පිළිම නෙලූ ශිල්පීන් ද රජුන් විසින් ඝාතනය කරන ලදී. අවුකන පිළිමය නිර්මාණය කළ ගල් වඩුවා පමණක් එම මරණයෙන් ගැලවුණු බව සඳහන් කරන හින්නි අප්පු පවසන්නේ අවුකන පිළිමය තැනූ නිර්මාණ ශිල්පියා පිළිමයට ඇස් තැබීමේ නේත්‍රා මංගල්ලයට පැමිණෙන බව පවසා පලා ගිය බවයි. ඉන් පසු පිළිමයට නෙත් තබා ඇත්තේ එම ශිල්පියාගේ පුතා විසිනි. රාජධානි සැලසුම් කරනු ලබන සහ ගොඩනගනු ලබන නිර්මාණ ශිල්පීන් මරා දැමීම සම්බන්ධව ද රජුන් සාධාරණීකරණය කිරීමේ නැමියාවක් සාමාන්‍ය ජනයා අතර පමණක් නොව නවන්දන්න ජනයා අතර ද පවතී. ඔවුන් පවසන්නේ ආරක්ෂක හේතූන් මත රාජ්‍ය ආරක්ෂාව පතා, රාජධානි නිර්මාණශිල්පීන් ඝාතනන කළ බවයි. රජුන් විසින් හුවාදැක්වූ එකී හේතුව අද දක්වා පිළිගැනෙමින් පවතී. එහෙත් ඊට විකල්ප ක්‍රියා මාර්ග නොතිබුණේ ද, රාජ්‍ය බලය ආරක්ෂා කර ගැනීම යනු ජනතාව ආරක්ෂා කර ගැනීම නොවන බැවින් රාජ්‍යය ආරක්ෂා කර ගැනීම යන සංකල්පය තුළ ඇත්තේ ආත්මාර්ථකාමී පුද්ගල බලයක් රැක ගැනීම සඳහා පාලක කුලය තුළ වූ ම්ලේච්ඡ වුවමනාව නොවේද, අති දක්ෂ නිර්මාණ ශිල්පියකු එලෙස ඝාතනය කිරීම සමස්ත නවන්දන්න කුලය විසින් පිළිකුලින් හෙළා දැකිය යුත්තක් නොවන්නේ ද වැනි ගැටලු බහුතරයක් නවන්දන්නයින්ට අද ද මතු නොවේ.

වර්තමානය වන විට ද නවන්දන්න ශිල්පීන් තුළ අභ්‍යන්තරීකරණය වී පවතින කුල වැඩවසම් ක්‍රමය තුළ එල්ල වූ පාලක රදළ කුල පීඩාවන්ට විරෝධය නොදැක්වීමේ යටහත් මානසිකත්වය මෙයින් හෙළි වේ. ඇතැම් විට මෙම රටාවට අනුකූල නොවන ලෙස කුල ධූරාවලියේ රදළ බලය ප්‍රශ්න කරන සහ තම කුලයේ ශිල්පීය හැකියාවන් අධිපති පන්තිය වෙනුවෙන් පාවිච්චි වීමේ ස්වභාවය පිළිබඳ යම් සවිඥානිකත්වයක් දක්වන අවස්ථා ද නැත්තේ නොවේ.

ලාක්ෂා ශිල්පීය පරම්පරාවන්හි ඇතමුන්ට, කුල වැඩවසම් ක්‍රමය තුළ තම කුලයෙහි ශිල්පීන් අධිපති කුලය අභිමුව මුහුණදුන් තත්ත්වයන් පිළිබඳ අදහසක් නොතිබුණු අතර, බහුතරයකට තම කුලයේ ශිල්පීන්ට රජුන් විසින් දැක්වූ ප්‍රතිචාර පිළිබඳව පැවතියේ සුබවාදී ආකල්පයකි. ඔවුන් තම කුලයේ අතීත ශ්‍රී විභූතියක් පිළිබඳ ෆැන්ටසියක ජීවත් වන අතර තම ආදි මුතුනුමිත්තන් ලද දීමනාවලින් ඔබ්බට ක්‍රියාත්මක වූ සංකීර්ණතා හඳුනා නොගනියි. මෙම කෘතිය සඳහා පාදක වූ පර්යේෂණ කාර්යයේ නවන්දන්න කුල දත්තදායකයින් අතරින් සුළුතරයකට පමණක් තම ශිල්පීය පරම්පරාවට රජුන් දැක්වූ ක්‍රියා සහ ප්‍රතික්‍රියා පිළිබඳ විවේචනාත්මක අදහස් පැවතුණි.

නිදසුනක් ලෙස අඟුල්මඩුවේ සායම් ගෙදර බමරන්ද බඩල්ගේ අමරසේන ඉතා සෘජුව නිශ්චිතව පවසන ආකාරයට ලංකාවේ ලාක්ෂා කලාව යනු වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික රටාවට උචිත වූ, ජනතාවගේ ජීවනෝපායක් වීමට සුදුසු වෘත්තියක් නොවේ. අතීතයේ දී තම පරම්පරාවන්ගේ අතීත ශිල්පීන්ගේ අනර්ඝ හැකියාවන් රදළ බලය අබියස ලඝු වූ ආකාරය බමරන්ද බඩල්ගේ අමරසේන විසින් දැඩි විවේචනාත්මක දැක්මකින් ඉදිරිපත් කරයි. පාරම්පරික ශිල්පීන් අබියස ඇති කඩතුරා විනිවිද දැකීමට තැත් කරන අමරසේන පවසන්නේ ලාක්ෂා කර්මාන්තයේ ලාභය ලැබෙන්නේ ධනවතුන්ට සහ බලවතුන්ට මිස ලාක්ෂා ශිල්පියාට නොවන බව ය. සාමාන්‍ය මිනිසුන් තම භාණ්ඩ ලාක්ෂා කරනොගත් අතර, අධික ආදායම් සහිතවූවන් ‘සල්ලිවලට කරන්න දෙයක් නැතුවාට’ භාණ්ඩ ලාක්ෂා කරවාගත් බව පවසන්නේ තමා විඳි ආර්ථික පීඩාවෙන් ලද සංවේදීතාවන් ද සහිතව ය. ශිල්ප කාර්යය තුළින් ලාක්ෂා ශිල්පියකු ලද මානසික තෘප්තිය, ශිල්පියාගේ ශ්‍රමයෙහි ලාභය පාර්ශවයට යොදා ගණන් බැලීමක් කිරීමට තරම් ඔවුහු සූක්ෂම නොවන නමුදු එබදු පාර්ශවයක් ද ඒ තුළ පැවති බව මගහැර යා නොහැක. තම පරම්පාවේ ශිල්පීන්ගේ හැකියා අර්ථයක් රහිත කාර්යයක් වෙනුවෙන් වැය වූ බව අමරසේන පවසයි. අධිපති මතයට යටහත්ව සියල්ල දැක විග්‍රහ කරගැන්ම වෙනුවට පාරම්පරික ශිල්පීන් සම්බන්ධව පවත්නා සහ පැවතුනා වූ යාන්ත්‍රණය හැකි පමණින් හෝ කියවීමට දරන්නා වූ උත්සාහයන්, කුමන ක්ෂේත්‍රයක දී වුව ද පාරම්පරික ශිල්පීන් තුළින් දුලබව හෝ හමුවන්නකි.

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ලාක්ෂා ශිල්පය සාපේක්ෂ වශයෙන් සාර්ථකව පවතින එකම ප්‍රදේශය වන මාතලේ දිස්ත්‍රික්කයේ හපුවිද ප්‍රදේශයේ ලාක්ෂා ශිල්පය පුනර්ජීවනය කළ කේ. එච් අබේවර්ධනගේ මරණය පසුපස ඇත්තේ ද, දේවේන්ද්‍ර මූලාචාරිගේ මරණය පසුපස සිටි දළදා මාලිගාව සහ කුල පීඩනයේ සෙවනැලි ම ය. කේ. එච්. අබේවර්ධනගේ මරණය පිළිබඳව ලාක්ෂා ශිල්පීය සමාජය තුළ ව්‍යාප්තව ඇති ප්‍රවෘත්තියට අනුව ඔහු මිය යන්නේ දළදා මලිගාවේ ලාක්ෂා කළ බීරලුවල වර්ණය අවපැහැ වීම නිසා වන්දි ලෙස ඉල්ලා සිටි මුදලක් ගෙවීමට නොහැකි වීම කේන්ද්‍ර කරගත් සිදුවීමක බලපෑමෙනි.

මෙම මරණය පිටුපස ඇති දළදාව කේන්ද්‍ර කරගත් අමානුෂීය කුල ආධිපත්‍යය සහ ඒ හා බැඳුණු බල ධූරාවලියේ පීඩාසහගත බව අබේවර්ධනගේ පරපුරේ අද ජීවත් වන නවන්දන්න ශිල්පීන් පවා නොදකින අතර ඔවුන් දකින්නේ දළදා මාලිගාවේ ලාක්ෂා වර්ණය වෙනස් වීමේ ‘පාපතර වරද’ ය. ලාක්ෂා කල්පැවැත්ම සඳහා ලාක්ෂාවලට කිසිවක් මිශ්‍ර නොකළ යුතු අතර යකඩ කම්මල්වලින් ලබා ගන්නා රට දුම්මල වර්ගයක් මිශ්‍ර කළ විට අඩු ලාක්ෂා ප්‍රමාණයකින් වැඩි වර්ග ප්‍රමාණයක් ලාක්ෂා කිරීමේ හැකියාව ඇති බැවින් එමගින් ලාක්ෂා බාල කර ලාක්ෂා ශිල්පීන් ලාබ ලැබීමට යොමු වීමේ       ‘අභාග්‍යදායක තත්ත්වයක්’ පවතින බව ද එසේ කිරීම විශාල වරදක් ලෙස ද දකින බොහෝ ලාක්ෂා ශිල්පීහු (තමා ද එසේ කරන අතර) කේ. එච්. අබේවර්ධන ද එසේ ලාක්ෂා බාල කර ලාබ සෙවූ බැවින් එම ‘දඬුවමට’ මුහුණ දුන් බව ඔහුගේ ම පරම්පාවේ ද දැනට ජීවත්ව සිටින ශිල්පීන්ගේ බහුතර අදහසයි. ඔවුන් මෙම කියවා ගැනීම තුළින්, තම පරම්පරාවේ ම අති දක්ෂ වූ ද ඓතිහාසික කාර්යභාරයක් ඉටු කළා වූ ද පැරැන්නකු පිළිබඳ ඔවුන් තුළ ඇති මතය, තම කුලයේ සාමූහිකත්වය නොව, බලය කේන්ද්‍රගත වූ ඉහළ කුලයට ඇති ගැති බව සහ කුල ක්‍රමය විසින් ඔවුන් තුළ ගොඩනගා ඇති අවිචාරශීලීත්වය පෙන්නුම් කරයි.

කුල ආධිපත්‍යය ක්‍රියාත්මක වන අවස්ථාවල දී ඔවුහු අධිපති කුලයේ පීඩාව ප්‍රශ්න නොකර අධිපති කුලයට වාසිදායී වන අයුරින් බාර ගත්ත ද නිලධාරිවාදය තුළ දී ආයතනික ව්‍යුහයන් තුළ පවතින නිල බලයන් ඔවුහු ප්‍රශ්නකර සිටිති. නිදසුනක් ලෙස ශිල්ප සභාව හෝ කුඩා කර්මාන්ත දෙපාර්තුවේ නිලධාරීන් විසින් තම පරපුරේ ශිල්පීන්ට අවාසිසහගත ලෙස කරනු ලබන අක්‍රමිකතා ඔවුන් විසින් සෘජුව ප්‍රශ්නකර සිටින අතර එම නිලධාරීන් සහ එම ආයතන පිළිබඳ විරෝධී මානසිකත්වය සෘජුව ප්‍රකාශ කරයි.

වෙනත් කුල සමග අන්තර් සම්බන්ධතා

පාරම්පරික ලාක්ෂා ශිල්පීය නවන්දන්නයින් විසින් වෙනත් කුලයන්ට අයත් ජන කණ්ඩායම් සමඟ පවත්වන්නා වූ සබඳතා තුළ මතුපිටින් ආරෝවන් පෙන්නුම් නොකෙරේ. මහනුවර දිස්ත්‍රික්යේ පාරම්පරික ලාක්ෂා ශිල්පීන් වාසය කරන හුරීකඩුව සහ ගල්මඩුව ගම්මානයන් අවට පිහිටා ඇති රොඩී ගම්මානය සහ කින්නර ගම්මානය සම්බන්ධව තත්ත්වය එසේ නොවේ. ඔවුන්ගේ නිවෙස්වලින් අන්‍ය කුලවල ජනතාව ආහාර නොගන්නා සහ විවාහ උත්සව සඳහා ආරාධනා නොකරන තත්ත්වයට තවමත් ඔවුන් සම්බන්ධව කුල භේදය පවතින අතර බත්ගම කුලයට ද තවමත් එබඳු තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇත. එහෙත් මධ්‍යම කුලයක් වූ නවන්දන්න කුලය සම්බන්ධව එබඳු තත්ත්වයක් නොමැති අතර අවට ගම් සමඟ ඇති කුල භේදය වඩාත් ප්‍රකට වන්නේ විවාහ අවස්ථාවන්හි දී ය. ඔවුන්ගෙන් අති බහුතරය විවාහ වී සිටියේ නවන්දන්න කුලයේ ම සාමාජිකයින් අතරයි.

මේ අනුව ලාක්ෂා ශිල්පීය මූලයක් සහිත පවුල් බහුතරයක විවාහ අන්තර්ජන්‍ය විවාහ වූ අතර ඉතා කලාතුරකින් කුලයෙන් පරිබාහිර විවාහ සිදුව ඇත. නවන්දන්න ශිල්පීන් අතර මෙසේ ගෙඩනැගෙන ඥාති සබඳතා කොතරම් පුළුල්ව ව්‍යාප්ත වී ඇත්ද යත් දකුණු පළාතේ පාරම්පරික ලාක්ෂා ශිල්පීය නවන්දන්නයින් බස්නාහිර පළාතේ වැලිවේරියේ නවන්දන්නයින් සමඟ ද සම්බන්ධතා ගොඩනගා ගෙන ඇත. මෙසේ ඉතා දුරස්ථ භූගෝලීය ඒකකයන් අතර පවා කුල පදනම මත ඥාති සබඳතා ගොඩනැගී ඇත.

කුලය සහ වාසගම්

කුල පදනම විවෘත වීම වළක්වා එය ආවෘත්තව තබා ගැනීම පිණිස පුද්ගල නාමයන්හි වාසගම් වෙනස් කිරීමේ චර්යාව සිංහල කුල ධූරාවලියේ ගොවිගම නොවන්නයින් අතර පවතින අතර, එනමුදු මෙම පර්යේෂණ කාර්යය සඳහා යොදාගත් එකදු දත්තදායකයෙකුදු තම වාසගම් වෙනස් කර ගෙන නොමැත. එනම් වාසගම තුළින් කුලය හෙළිවීම ඔවුන්ව දැඩි පීඩාවකට හසු නොකරන්නක් මෙන්ම බොහෝ විට මහා සමාජය සමඟ පුළුල් වපසරියක ගනුදෙනුවක් කරා ඔවුන් නොයන බැවින්, භූගෝලීය වශයෙන් සමීප වූවන් ඔවුන්ගේ ග්‍රාමය දන්නා බැවින් කුලය ද දන්නා නිසා ද ශිල්පය විවෘත බැවින් ද කෙසේවුවත් කුලය ආවෘත්ත කළ නොහැකි බැවින්, වාසගම වෙනස් කොට කුලය සැඟවීමේ අවශ්‍යතාවක් ඔවුන්ට අභිමුඛ වී නොමැත. මන්ද ඉහත තත්ත්වයන් තුළ ඔවුන්ගේ කුලය, කෙසේවුවත් විතෘත්ත බැවින් නමක් වෙනස් කිරීමෙන් පමණක් එය ආවෘත්ත කළ නොහැකි බැවිනි.

ශ්‍රී ලංකාවේ ලාක්ෂා ශිල්පය නගාසිටුවීමේ ඓතිහාසික කාර්යභාරයට උරදුන් කිරිනයිදේ හංගෙඩියලෑ ආභරණඅප්පු තම නම කිරිනයිදේ හංගෙඩියලෑ අබේවර්ධන ලෙස වෙනස් කරගැනීමට බලපා ඇත්තේ කුල පදනම සැඟවීම නොවන බවට යමෙකුට තර්ක කළ හැක්කේ, නම වෙනස් කරන විට ඔහු තම කුලය හෙළි වන වාසගම වෙනස් කර නොමැති බැවිනි. එහෙත් කේ. එච්. ආභරණඅප්පු නාමයට වඩා කේ.එච්. අබේවර්ධන නාමය තුළ කුල අනන්‍යතාව බාහිරට ප්‍රකට වීම සාපේක්ෂව අඩු ය. ඔහු තම පුද්ගල නාමය තුළ කුල අනන්‍යතාව රඳවා ගන්නා අතර ම බැහැර කිරීම ද සිදු කර ඇති අතර නූතන පුද්ගල නාමයක් තුළින් ප්‍රතිරූපය කෙරහි වටිනාකමක් ලබා ගන්නට උත්සාහ කළා ද විය හැක. තවද එවකට කුලය හෙළිකරන වාසගම වෙනස් කිරීම තරම් එඩිතර (නමුදු හීනමානී) ප්‍රවණතාවක් සමාජය තුළ නොතිබුණු අතර සමාජමය හැකියාව පැවතියේ අවසන් නාමය පමණක් වෙනස් කරගැනීමට ය. කෙසේවුව ද කේ.එච්. අබේවර්ධනගේ පුද්ගල නාමය වෙනස් කිරීමේ සිදුවීම තුළ, නවන්දන්න කුල අනන්‍යතාව පැවසීම සහ සැඟවීම යන පරස්පර තත්ත්වයන් දෙක ම සඳහා පැවති සමාජ අවශ්‍යතාව ප්‍රකට වේ.

නවන්දන්නයින් ස්ථානගතවීමේ උභතෝකෝටිකය

තමන්ගේ ශිල්පීය කුලය හේතුවෙන් තමන් කිසිදු සමාජයීය පීඩාවකට පත් නොවන බව සඳහන් කිරීමට බහුතරයක් ශිල්පීන් උත්සාහ කරන අතර තම පාරම්පරික වෘත්තීන් නිසා ඔවුන් පත්වන අපහසුතාවය ආර්ථික දුෂ්කරතා පමණක් බව බහුතර මතය යි. පාරම්පරික ශිල්පයන්හි නිරත වන නවන්දන්න සාමාජිකයන් බහුතරය තම පාරම්පරික ශිල්පීය හැකියාව පිළිබඳ ආස්වාදයෙන් හැඟීම් පලකරන අතර ම දැඩි කනස්සලු හැඟීම් ප්‍රකට කරනුයේ එම ශිල්පීය ඤාණයට වර්තමානයේ ඇති ඉතා අඩු ආර්ථික වටිනාකම පිළිබඳව ය. තමන්ව තම වෘත්තීය කුල අනන්‍යතාව මත උත්කර්ෂයකට මිස පහතහෙළා තැකීමකට භාජනය නොවන බව පැවසීමට රුචි ශිල්පීන් ම නැවත පවසන පරිදි, ජාතික ශිල්ප සභාව හරහා වෙනත් රටවලට ගොස් තමන් ලැබූ අත්දැකීම් අනුව එම රටවල මෙරට මෙන් ලාක්ෂා ශිල්පීන් පහත් කොට නොකතන බව පවසයි. එනම් යළි ඔවුන්ම පිළිගන්නා පරිදි මෙරට නවන්දන්නයින් පහත්කොට තැකීමට භාජනය වෙයි.

නවන්දන්නයින්ගේ නොනවතින උභතෝකෝටිකය බවට පත්ව ඇත්තේ මධ්‍යම කුලයක් වූ තම කුලය, කුල ධූරාවලිය තුළ ඇතමුන් අබියස උසස් වීම ද ඇතමුන් අබියස පහත් වීම ද, විශ්වකර්ම දෙවියන්ගෙන් ලද විස්මයජනක ශිල්පීය ඤාණයක් උසුලා දරා සිටිමින් කරනු ලබන සියුම් නිමැවුම්වල කලාත්මක වටිනාකමේ ඉහළ තලයත් සමාජ හා ආර්ථික වටිනාකමේ පහළ තලයත් අතර වන දෝලනය යන තත්ත්වයන් ය. කෙසේ වුව ද, පාරම්පරික ඤාණ සම්භාරය අභිබවා නව ලිබරල් ධනවාදය විසින් අති ඉහළ වටනාකම් ප්‍රදානය කරමින් සිටින ධනේෂ්වර අධ්‍යපනය හමුවේ සහ මිනිස් වටිනාකම් තක්සේරු කිරීමේ ප්‍රබලතම මිනුම් දණ්ඩ බවට පත්කරගෙන ඇති මුදල යන සාධකය හමුවේ කුලය යන ප්‍රපංචයේ චලනය තීරණය කරමින් සිටියි.

-තක්ෂිලා ස්වර්ණමාලි


තක්ෂිලා ස්වර්ණමාලි
සමාජ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරිණියක වන තක්ෂිලා ස්වර්ණමාලි මේ වන විට කාව්‍ය, කෙටිකතා, නවකතා සහ ශෘස්ත්‍රීය ග්‍රන්ථ ගණනාවක් රචනා කර ඇති ලේඛිකාවක්ද වෙයි. තක්ෂිලා සිය ආචාර්ය උපාධිය සඳහා ඉදිරිපත් කළ ‘පාරම්පරික ලාක්ෂා ශිල්පීය ජනතාව’ පිළබඳ පර්යේෂණ නිබන්ධය ඇසුරින් ඇය විසින් රචනා කරන ලද ‘ලාක්ෂා කලාව  සහ පාරම්පරික ලාක්ෂා ශිල්පීය ජනතාව’ කෘතිය ඇගැල්මා ප්‍රකාශනයක් ලෙස 2019 වසරේදී එලිදැක්විණ. ඉහත දැක්වෙන ශාස්ත්‍රීය රචනාවට ඇතුළත් පර්යේෂණාත්මක කරුණු ඇතුළු  ලාංකේය ලාක්ෂා කලාව පිළිබඳ පූර්ණ සමාජ විද්‍යාත්මක පර්යේෂණ විමසුමක් එම කෘතියෙහි අඩංගු වෙයි.

Image – Dhammika Heenpella – https://www.flickr.com/photos/photosofsrilanka/15044343983

Share This Article