දරු උපත හා බැඳි මුස්ලිම් සංස්කෘතිකාංග පිළිබඳ අධ්‍යයනයක්

විමර්ශී
20 Min Read

මුස්ලිම් ජන සමාජය සහ සංස්කෘතිය  

ක්‍රි.ව 7 වැනි සියවසේ සිට ලංකාව වාසස්ථානය කර ගත් මුස්ලිම් ජනතාව සමග ඔවුන්ට ම අනන්‍ය වූ මුස්ලිම් සංස්කෘතියක් සහ ඉස්ලාමීය ජීවන ක්‍රමයක් ද ස්ථාපිත විය. සියවස් ගණනාවත් තිස්සේ මෙරට ජීවත් වූ අනෙකුත් ජන සමාජ සමග අන්‍යෝන්‍යව බැඳෙන අතර ම ඔවුහු ඉස්ලාම් සම්ප්‍රදායට අනුව ඔවුන්ගේ සංස්කෘතියක් ශ්‍රී ලංකාවට ආවේණික වන ආකාරයකට පිහිටුවා ගන්නා ලදී.
ආචාර්ය සුලෙයිමන් ලෙබ්බේ රිෆායිගේ පර්යේෂණ වාර්තාවකට අනුව ඈත අතීතයේ සිටම ලක්දිව සමග වෙළෙඳ සබඳතා පැවැත්වූ, අරාබි රටවල සිට පැමිණි මුස්ලිම් ජාතිකයන් ක්‍රි. ව අට වැනි සියවස වන විට ඉන්දියාව සහ ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල ස්ථිර ජනවාස සාදා ගෙන තිබූ සඳහන් වේ. ඉබන් බතූතාගේ දේශාටන සටහනකට අනුව ද ක්‍රි. ව. 7 වැනි සියවසේ අගභාගයේදී ලක්දිව ස්ථිර මුස්ලිම් ජනාවාසයක් තිබී ඇත. ප්‍රධාන වශයෙන් උතුරු නැගෙනහිර සහ බටහිර වෙරළබඩ පදිංචි වූ මෙම මුස්ලිම් ජාතිකයන් එකල සිටි ලක්දිව රජවරුන් සහ වැසියන් විසින් මිත්‍රශීලී ලෙස පිළිගත් බව ඓතිහාසික වාර්තා මගින් තහවුරු කරන බව ද ආචාර්ය රෆායි එහිදී සඳහන් කරයි.

එම ප්‍රදේශවල මුල් පදිංචිකරුවන් වූ මුස්ලිම් වෙළඳුන් කථන භාෂාව ලෙස ප්‍රධාන වශයෙන් තෝරා ගන්නා ලද්දේ දෙමළ භාෂාව බව මූලාශ්‍රවල සදහන් වේ.. මෙම වකවානුවේ දී බොහෝ අරාබි වචන ද ඔවුන් කතා කළ දෙමළ බස් වහරට එකතු විය. ඔවුන් විසින් දෙමළ වචන අරාබි බසින් ලිවීම ආරම්භ කළ අතර, එය ‘අරාබි-දෙමළ’ ලෙස හැඳින්වේ.

ඉස්ලාම් ආගමෙහි දෙවියන් අල්ලාහ් දෙවියන් වේ. ඔවුන්ගේ ආගමික ග්‍රන්ථය කුරාණය නමින් හැඳින්වේ. කුරාණය හරහා අල්ලාහ් දෙවියන් පිළිබඳව, ඉස්ලාම් ආගමේ ඉතිහාසය හා මුස්ලිම්වරයෙකුගේ ජිවන පැවැත්ම කෙසේ විය යුතුද යන්න ප්‍රධාන වශයෙන් විස්තර කෙරෙනු ලබයි. මස්ජිදය ඔවුන්ගේ ආගමික ස්ථානයයි.

ලාංකේය මුස්ලිම් ජන සමාජයේ සංස්කෘතිකාංග ඊට අනන්‍ය වූ විශේෂ ලක්ෂණවලින් පෝෂණය වන්නේ මෙම ආගමික හා සමාජයීය පසුබිම තුළය. මෙම අධ්‍යයනය සිදු කෙරෙන්නේ මුස්ලිම් ජන සමාජය තුළ දකින්නට ලැබෙන එම ජන සමාජයට ආවේණික දරු උපත හා සම්බන්ධ සංස්කෘතිකාංග පිළිබඳවය.

මෙම අධ්‍යයනය සදහා තෝරා ගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ මල්වාන ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ප්‍රජාව අතර දකින්නට ලැබෙන සිරිත් විරිත් ය. මල්වාන ග්‍රාමය ප්‍රධාන වශයෙන් මුස්ලිම් ජන ගම්මානයක් ලෙස හැඳින්විය හැකිය. සිංහල හා දමිළ ජාතීන් සුළු පිරිසක් ද එහි ජීවත් වෙති.
එම ප්‍රජාවෙහි වැසියන් සමග සිදු කරන ලද සම්මුඛ සාකච්ඡා හරහා එක්රැස් කරන ලද කරුණු අනුව ස්ත්‍රියක් ගැබ් ගත් අවස්ථාවේ සිට දරු උපත සිදු වන අවස්ථාව දක්වා සහ ඉන්පසුවත් සිදු කෙරෙන, විශේෂ සංස්කෘතිකාංග ගණනාවක් ගැන මෙම ලිපියෙන් සාකච්ඡාවට බඳුන් කෙරෙයි.

1. ස්ත්‍රියක් ගැබ් ගත් පසුව සිදු කරන චාරිත්‍ර

1.1 නේන්ඳ වීම ( භාරහාර වීම )

යහපතක් පතා භාරහාර වීම ඉස්ලාම් දහමෙහි ‘නේන්ඳ වීම‘ යනුවෙන් හැඳින්වේ. කාන්තාවක් ගැබ් ගෙන ඇති බව දැනගත් විගසම සිදු කරනු ලබන ක්‍රියාවක් වනුයේ දරු ගැබත්, දරු ගැබ දරන මවගේත් නිරෝගී බව හා ආරක්ෂාව පතා පවුලේ සාමාජිකයන් විසින් භාරහාර වීමයි. එසේ මස්ජිදයට බොහෝ විට භාර වන්නේ කිච්චඩි නමින් හැඳින්වෙන මුංඇට, කිරි, හකුරු හෝ පැණි, කජු, මුද්දිරප්පලම් මිශ්‍ර කොට සාදන ලබන මුං කිරිබත් විශේෂයකි. මේවා පල්ලියේ පූජකවරයා වන මෞලවී තුමා අතට දුන් පසු ඔහු විසින් පල්ලියට කුරාණය කියවීමට ඉගෙනීමට එන දරුවන් අතර බොහෝ විට බෙදාදෙනු ලැබේ. නැතහොත් පල්ලියට නැමදුමට එන පිරිස අතර බෙදා දෙනු ලැබේ. සමහර විටෙක දුප්පත් පවුල් කිහිපයකට දිවා ආහාර වේලක් උයා දීමට භාර වී එසේ උයා දෙන අයද සිටිති. එසේම මෙලෙස භාර වී  දුප්පත් පවුල්වලට හාල් බෙදාදීමද දක්නට ලැබේ. එසේම දරුවාගේ පියා, ආච්චි, සීයා දරුවාගේ හා මවගේ නීරෝගී බව පතා නෝම්බි උපවාසය රැකීමත් නේන්ද වීමක් ලෙස සිදු කෙරේ.

1.2. කුරාණය පාරායණය කිරීම.

එසේම ගැබ් ගත් කාන්තාව විසින් තම දරුවා නීරෝගී, යහපත් දරුවෙකු වේවායි පතා , දේව ආශීර්වාදය ලබා ගැනීමේ අරමුණින් ගැබිණි කාලය තුළ කුරාණය සම්පූර්ණයෙන්ම පාරායණය කිරීම හෙවත් කුරාණය තාලයකට කියැවීම නිම කිරීමද සිදු කෙරේ. සමහර කාන්තාවන් තුන් වතාවක් පාරායණය කරනු ලබති.

1.3. ‘ සූල් තීන් ‘  ගෙනයාම

දරු ගැබට මාස 07 ක් වූ විට ගැබිණි කාන්තාවගේ මව්පිය පාර්ශවය විසින් කැවිලි පෙවිලි හා විවිධ ආහාර පාන රැගෙන එන චාරිත්‍රයක් ඇත. දරු ප්‍රසූතිය සඳහා ගැබිණි කාන්තාව තම මහගෙදරට යෑම මෙම චාරිත්‍රයෙන් සංකේතවත් වී ඇත. මෙම චාරිත්‍රය සිදුකෙරෙන්නේ ගැබිණි කාන්තාව සිටින්නේ තම ස්වාමිපුරුෂයාගේ නිවසෙහි නම්ය.

මෙලෙස ගෙන යන කැවිලි පෙවිලි අතර අතිරස, ආස්මි, දොදොල්, මස්කට්, බූන්දි, රුලන් ලඞ්ඩු, කජු අලුවා හා පැණි වළලු ඇත. මෙලෙස ගෙන යන බත් ජාති 7ක් ඇති බව පැවසේ. දුන්තෙල් බත, පොල්කිරි යොදා සාදන කහ බත, බිරියානි බත, කොස් සමඟ උයන බත ආදිය ඒ අතරින් විශේෂ වේ. මෙහි විශේෂත්වය වන්නේ මෙම අහාර පාන පොල් අතුවලින් වියන ලද වට්ටියක රැගෙන යාමයි. මෙලෙස පොල් අතු වියා රැගෙන යන ආහාර  ‘ සූල් තීන් ‘  නමින් හැඳින්වේ.

ගැබිණි කාන්තාව ඒ වනවිටත් සිටින්නේ තම මහගෙදර නම් එලෙස කැවිලි, අහාර පාන පිස ගම් වාසීන්ට බෙදා දෙනු ලැබේ.

1.4. තල ෆාතිහා උත්සවය පැවැත්වීම.

දරු ගැබට මාස හතක් වූ පසු පවත්වන උත්සවයක් ඇත. එය තල ෆාතිහා උත්සවයයි. සුබ අවස්තාවන්ට ප්‍රථම අල්ලාහ් ගේ ආශිර්වාදය පතා කරන උත්සවයකි. විවාහ මංගල්‍යයන්ට පෙරද මෙම උත්සවය පවත්වනු ලබති. මෙය බෞද්ධාගමිකයන්ගේ පිරිත් දේශනාවකට සමාන කළ හැකිය. තලෆාතිහා ගාථාව  පරායණය කිරීම තුලින් ගැබිණි කාන්තාවටත්, දරුවාටත් දේව ආරක්ෂාව හා ආශීර්වාදය පතනු ලැබේ. මෙම උත්සවය සඳහා ගමේ ගැහැණු උදවියට ආරාධනා කරනු ලැබේ. ආශිර්වාද ගාථාව පැමිණ සිටින සියල්ලන්ම එකට හිඳ පාරායනය කරන අතර ඔවුන්ට හිඳ ගැනීම සඳහා බිම සුදු රෙදි කඩක් එලනු ලැබේ. උත්සවය  උදේ 9 ට පමණ ආරම්භ වේ. දිවා ආහාරය හා සවසට කෝපි හා රසකැවිලි සංග්‍රහ කිරීමෙන් උත්සවය අවසන් වේ.

රිදී තසිමක බුලත් කොළ අතුරා එහි මැද පිච්ච මල් හා ඉතා සුවඳවත් මල් වර්ගයක් වන මෙහෙන්දි ගසේ මල් තබනු ලැබේ.  සුබ කටයුත්ත සංකේතවත් කිරීමට බුලත් කොලද , පිවිතුරු බැඳීම සංකේතවත් කරමින්  පිච්ච මල්ද, බැඳීම් අතර ආදරය සෙනෙහෙස සංකේතවත් කරමින් මෙහෙන්දි මල්ද තබනු ලබන බව කියැවේ. දරුවන් නොමැති කාන්තාවන්ද මෙම උත්සවයට ඕනෑකමින් සහභාගී වීම විශේෂත්වයකි. දරුවන් නොමැති කාන්තාවක් මෙම උත්සවය හරහා දරුවෙකු ලැබීමට සිටින කාන්තාවක් වෙනුවෙන් ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම තුලින් ඇයටද දෙවියන් කරුණාව දක්වා දරුවන් ලබා දෙනු ඇති බව විශ්වාසයක් පවතියි. එසේම  ගැබිණි කාන්තාවකගේ තල ෆාතිහා උත්සවයකට දරුවන් නොමැති කාන්තාවක් සහභාගී වී දෙවියන්ගේ කරුණාවට ආදරයට පාත්‍ර වීමට ඉඩ සැලසීම නිසා අදාළ ගැබිණි කාන්තාවටද පින් රැස් වෙන බව කියනු ලැබේ.

මීට අමතරව දරුවාගේ මව පියා දෙදෙනාම දරුවා නීරෝගී වේවා ! , මතු අනාගතයේ යහපත් පුද්ගලයෙකු වේවා !, දරුවාව නීරෝගී, ගුණවත්, නැණවත්, ධාර්මික හා සමාජයට වැඩදායී පුද්ගලයෙකු  කිරීමට දරුවාගේ දෙමව්පියන් වන අපිට ශක්තිය ලැබේවායි නිතරම ප්‍රාර්ථනා කල යුතු බව ඉස්ලාම් දහමේ කියවේ. දරුවා රූමත් විය යුතුය, පැහැපත් විය යුතුය, ගැහැණු දරුවෙකු හෝ පිරිමි දරුවෙකු විය යුතුය ලෙස ප්‍රාර්ථනා කිරීම බලවත් පාපයක් ලෙස ඉස්ලාම් ධර්මයේ දක්වා ඇත.

එසේම ඉස්ලාම් ධර්මයේ නීති වලට අනුව ගැබිණි මාතාවක් හෝ කිරි දෙන මවක් මුස්ලිම්වරුන්ට අනිවාර්ය කොට ඇති නෝම්බි උපවාස වලින් නිදහස් වේ.
2. දරුවා ලැබීමෙන් පසු සිදුකරන සංස්කෘතිකාංග
 
 
දරුවා ඉපදුනු පසු කරනු ලබන පළමු චාරිත්‍රය වන්නේ දරුවාගේ පියා විසින් දරුවාගේ කණට අසාන් පාඨ නොහොත් බාංගු කීමයි. මෙය අලුත උපන් දරුවාට අල්ලාහ්ගේ ආශිවාදය ලැබේවායි පතා කියනු ලැබේ. ඊට අමතරව දරුවාගේ දිවේ මී පැණි හෝ රටඉඳි ස්වල්පයක් ගෑනු ලැබේ. දරුවාගේ ඇරඹෙන දිවිය මී පැණි සේ මිහිරි වේවායි පතා මෙම චාරිත්‍රය ඉටු කරනු ලැබේ.

2.1 දරුවා නැවීම ආශ්‍රිත චාරිත්‍ර   

දරුවා නිවසට ගෙන ආ දාට පසු දින සිටම දරුවා නැවීම සිදු කෙරේ. දරුවා නැවීම සඳහා පොකුරු වද මල්, රත් මල්, කොහොඹ කොළ, වෙනිවැල්ගැට තම්බා ගත් දිය භාවිතා කරනු ලැබේ. මීට අමතරව  සුදු හඳුන් හා රත් හඳුන් ගලේ ගා දිය සමඟ මිශ්‍ර කරනු ලැබේ. එසේම වියළා ගත් රෝස මල් පෙති හා පිච්ච මල් තම්බා ගත් දිය දරුවා නැවීමට යොදා ගැනේ. දරුවා නැවීමට ප්‍රථම තල තෙල් හෝ ඔලිව් තෙල් ගා දරුවා හොඳින් සම්බාහනය කිරීමද සිදුකෙරේ.
 එසේම දරුවාට දහඩිය බිබිලි හෝ සම වියළී ඇත්නම් මිටි පොල් කිරි ස්වල්පයක් දරුවා නහවන ජලයත් සමඟ මිශ්‍ර කර නැවීම සිදු කෙරේ.
 දරුවාට සෙම්ප්‍රතිශ්‍යා ගතියක් ඇත්නම් තේ කොළ තම්බා ගත් ජලයෙන් දරුවා නෑවීම සිදු කෙරේ.

දරුවා ඉපදුණු දින සිට දින 40 ක් යන තුරු දරුවාටත් මවටත් නිවසින් පිටතට යා නොහැකිය. මෙය මව හා දරුවා විසබීජවලට නිරාවරණය වී ඉක්මනින් රෝගී විය හැකියැයි සිතා කරනු ලැබේ. එසේම කාන්තාවකට දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන රුධිරය පිටවීම නවතින තෙක් අමනුෂ්‍ය දෝෂවලට ලක් නොවී සිටීම යන විශ්වාසය මත මෙම චාරිත්‍රය පිලිපදිනු ලැබේ.

මීට අමතවර දරුවා විසබීජවලින් ආරක්ෂා කරගැනීම සඳහා දරුවාගේ අතේ පෙරුම්කායම් හෝ වඳ කහ කැබැල්ලක් ගැට ගැසීම කරනු ලැබේ. දරුවා ඉපදුණු පසු දින 40 ක් යන තුරු නිවසට කුන්දිරික්කන් යොදාගෙන දුම් ඇල්ලීම සිදු කරනු ලැබේ. මැසි මදුරු කරදර නැති වීම සඳහා මදුරුතලා දුම් ඇල්ලීම සිදු කරනු ලැබේ.

අලුතින් ඉපදුනු දරුවෙකු බලන්නට ගිය විට මෙම දරුවා වෙනුවෙන් ඉස්ලාම් ආගමේ සූරා පාරායනය කරනු ලැබේ. මෙය ආගමික චාරිත්‍රයකි. සූරා යනු බුදු දහමේ ගාථා වැනි ඉස්ලාම් දහමේ ගාථා විශේෂයකි.

 බාරකල්ලාහු ලක ෆිල් මව්හූබි ලක වෂකර්තල් වාහිබ වබලග අෂුද්දහූ වරුසික්ත බිර්රහූ.

තේරුම – අල්ලාහ් ඔබට ලබාදුන් දෙය කෙරෙහි අල්ලාහ් අභිවෘද්ධිය ඇති කරත්වා !! එම පරිත්‍යාගශීලියාට (අල්ලාහ්ට) ස්තූති වේවා !! එම දරුවා නීරෝගී, ගුණවත්, නැණවත්, ධාර්මික දරුවෙකු බවට පත්වේවා !! ඒ මඟින් ඔබට සෞභාග්‍යය ලැබේවා !!

 උඊදුකුමා බි කලිමාත්ලිලාහිත් තාම්මාති මින් කුල්ලි ෂෙයිතානින් වහාම්මතින් වමින් කුල්ලි අයිනින් ලාම්මතින්

තේරුම – සියලූම ෂෙයිතාන් වරුන්ගෙන් හා ඇස්වහ වැදීමෙන් දරුවා අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් ආරක්ෂා වේවා !!

ඉස්ලාම් ධර්මයට අනුව අලුතින් දරුවෙකු ඉපදුනු කාන්තාවකට උදව් උපකාර කිරීමට යාම විශාල පිනකි. එසේම බිලිඳා දෙස බලා බිලිඳාගේ සිරුරේ වර්ණය, හැඩරුව, ශරීරය පිලිබඳ අඩුපාඩු කීම බලවත් පාපයක් ලෙස දක්වා ඇත.

2.2 දින 07 චාරිත්‍ර
මෙම චාරිත්‍ර ඉස්ලාම් ධර්මයෙන් මුස්ලිම්වරුන්ට පැවරුණු අනිවාර්ය යුතුකම් වේ.  අලුත උපන් දරුවාගේ හිස බූ ගෑම දරුවා ඉපදී දින 07 කින් සිදු කරනු ලැබේ. එසේම අලුත ඉපදුණු දරුවෙකු වෙනුවෙන් දෙවියන්ට ස්තූති කිරීමේ චාරිත්‍රයක් ඇත. එය ආගමික චාරිත්‍රයක් වන අතර ‘ අඛීකා ලබා දීම’ යනුවෙන් හැඳින්වේ. අඛීකාව සිදු කරනු ලබන්නේ එළුවන් දෙදෙනෙකු මරා එම මාංශ ගමේ මිනිසුන් සමඟ බෙදාගැනීමෙනි. එළුවන් මිලදී ගැනීමට මිල මුදල් නොමැති නම් බිත්තර හෝ හාල් මෙලෙස බෙදාදෙනු ලැබේ.

එසේම දරුවා ඉපදී දින 07 කින් සිදු කරනු ලබන පිරිමි දරුවන්  ‘ සුන්නත් කිරීම ‘තවත් ප්‍රධාන චාරිත්‍රයකි. සුන්නත් කිරීම හෙවත්  චර්ම ඡේදනය යනු ශිෂ්නයේ පෙර සම කපා ඉවත් කිරීමයි. මෙය පිරිසිදු බව වෙනුවෙන් කරන චාරිත්‍රයකි. එසේම ගැහැනු දරුවන්ට කන් විදීමේ චාරිත්‍රයද ඉපැදී 07 වන දින සිදු කරනු ලැබේ. බොහෝ විට මෙම කාර්යයන් දෙකම රෝහලකින් සිදු කරගනු ලැබේ. මෙදිනට විශේෂ දිවා අහාර වේලක් සාදා නෑදෑයින් අසල්වාසීන් සමඟ බෙදා ගැනීම මෙන්ම පනියාරම් නමින් හැඳින්වෙන රස කැවිල්ලක් සාදා එය සූකිරි, රටඉඳි, කෙසෙල් සමඟ ගමේ සාමාජිකයින්ට බෙදා දෙනු ලැබේ.

2.3 දින හතළිහේ උත්සවය

දරුවෙකු ඉපදී දින 40 ක් ගත වූ පසු සිදු කරන උත්සවයයි. මෙය විශේෂිත වන්නේ මෙතෙක් දවස් නිවසටම වී සිටි මවටත් දරුවාටත් දින 40 නිම වීමත් සමඟ නිවසින් පිටතට යෑමට හැකි වීමයි. නෑදෑයින්, අසල්වාසීන් උත්සවයට ආරාධනා කරනු ලැබේ.

දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවකට සිදුවන රුධිරය පිටවීමේ ක්‍රියාවලිය නැවතී ප්‍රසූත තුවාල සනීප වී මව නැවත සාමාන්‍ය ජීවිතයට පිවිසීමත් මෙහි ප්‍රධාන වේ. කොහොඹ පත්‍ර, කහ, නික , ආඩතෝඩා පත්‍ර, රෝස වතුර ආදී ඖෂධ තම්බා ගත් ජලයෙන් මව නැවීම සිදු කරනු ලැබේ. මවද අලංකාර ඇඳුමකින් සැරසී, අත් වල මෙහෙන්දි අඳ, තම රත්‍රන් ආභරණ පලඳා අලංකාරව සැරසෙනු ලැබේ.

දරුවා නාවා දරුවාට දිලිසෙන අලංකාර දිග ගවුමක් අන්දවනු ලැබේ. මෙම ගවුම ගැහැණු පිරිමි දරුවන් දෙපිරිසට ම අන්දවනු ලැබේ.

දරුවා බැලීමට පැමිණෙන නෑයින්, අසල්වාසීන්, හිතමිත්‍රාදීන් විසින් දරුවාට තෑගී ගෙන එනු ලැබේ. මෙහිදී දරුවාගේ පියාගේ හෝ මවගේ මව පියා,  සහෝදර සහෝදරියන් විසින් දරුවාට ආභරණ තෑගී කිරීම විශේෂත්වයකි. ගැහැනු දරුවෙකු නම් රත්‍රන් වළලු, මුදු, මාල ලැබීම විශේෂය. පිරිමි දරුවෙකු රිදී වළලු, මුදු, මාල තෑගී කෙරේ.

මීට අමතරව දරුවන්ගේ ඇස් වහ කට වහ දුරු වීම යන විශ්වාසය මත දරුවන්ගේ ඇස් වල අඳුන් ඇඳීම දරුවන්ගේ මුහුණේ කලු ලපයක් ඇඳීම ආදිය සිදු කෙරේ.එසේම දරුවන්ගේ කකුල් වලට පාද සළඹ පළඳවා තිබීමද දැකිය හැකිය.
එසේම දරුවාගේ ආරක්ෂාව හා ඇස්වහ කටවහ දුරුවීම පතමින්   ‘ ආයුතුල් කුරුශි ‘ හා ‘ කුල් සූරා ‘ නමැති ගාථා දෙකක් දරුවා නිවසින් පිටතට ගොස් පැමිණි විට හා දරුවා නින්දට යන විට පරායණය කරනු ලැබේ.

දරුවාගේ දත් ඒම හා දරුවා පළමු වර අත්පොඩි ගැසීම වැනි අවස්ථාවන්හි  ‘ කොල්කට්ටයි ‘නම් රසකැවිල්ලක් සාදා අසල්වාසීන්ට බෙදා දී සතුට බෙදාගනු ලැබේ.  ‘කොල්කට්ටයි ‘රසකැවිල්ල හාල් පිටි, පැණි එක් කර සාදනු ලැබේ. එහි විශේෂත්වය වනුයේ දත් පහරක් හෝ ඇඟිලි පහරක් රැදී ඇති ආකාරයට  එම රසකැවිල්ල සෑදීමයි.

3. මුස්ලිම් ජන සංස්කෘතියේ භාවිත වන දරු නැලවිලි ගී

මල්වාන ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වෙන පුද්ගලයන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවලින් ලැබුණු තොරතුරු අනුව දරුවන් නළවා ගැනීමට නැළවිලි ගීත ලෙස භාවිතා වනුයේ කුරාණ පාඨ, කසීදා ගීත හා හදීස් ගීත වේ. මෙම ගී වර්ග තුනම ආගමික පාදනම මත නිර්මාණය වී ඇති ගීත ලෙස දැක්විය හැකිය. මුස්ලිම් ජනයා ආගමට වඩාත් නැඹුරු බව නිසා උපන් දා සිට මරණය දක්වාම සාමාන්‍ය ජීවිතයේ සියලුම ක්‍රියාදාමයන් ආගමානුකූලව සිදු කිරීමට මුස්ලිම්වරුන් බැඳී සිටිති.  සාමාන්‍යයෙන් දමිළ හෝ සිංහල සංස්කෘතීන් සමඟ මිශ්‍රව ජීවත් වන මුස්ලිම් ජනයා අතර එම සංස්කෘතීන්ට අයත් නැලවිලි ගීත ගායනය කිරීම දක්නට ලැබුනද මල්වාන ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව බහුතරව සිටීමත් අනෙක් සංස්කෘතීන් සමඟ මිශ්‍ර වීමට නොලැබීමත් නිසා ඔවුන් මෙම ආගමික ගායනා පමණක් නැලවිලි ගීත ලෙස යොදාගෙන ඇත.
3.1 කුරාණ් පාඨ පාරායණය කිරීම.

දරුවන් නිදිකරවිමේදී දේව ආශීර්වාදය පතා කුරාණය පාරායණය කිරීම මුස්ලිම්වරුන් සතු චාරිත්‍රයකි. මේ සඳහා විශේෂයෙන් කුරානයේ ‘ අර් රහ්මාන් ‘ සූරාව හා ‘ අයතුල් කුරුෂි ‘ සූරාව පාරයානය කිරීම දක්නට ලැබේ. මෙම සූරාවන් දෙකම  ප්‍රධාන වශයෙන් දේව ආරක්ෂාව හා දේව ආශීර්වාදය දරුවාට ප්‍රර්ථනා කිරීම, දරුවාට සුව නින්දක් ලැබේවායි ප්‍රර්ථනා කිරීම, දරුවාට සුභ සිහින පෙනේවායැයි ප්‍රර්ථනා කිරීම හා  දරුවා මතු අනාගතයේදී යහපත් මිනිසෙකු වේවායි ප්‍රාර්ථනා කරමින් ලියැවී ඇත. කුරාණයේ ගාථාවන් පාරායණය කිරීමට ඊට අවේණික වූ විශේෂ නාද රටාවක් නොමැති අතර එය ඒ ඒ පුද්ගලයා කැමති ආකාරයකට ගායනය කළ හැකිය.

3.2 අර් රහ්මාන් සූරාව

අර් රහ්මාන්
අල්ලමල් කුර්ආන්
හලකල් ඉන්සාන්
අල්ලමහුල් බයාන්
අශ්සම්සුවල් හමරු බිහුස් බාන්
වස්සමා අරෆ අහා වවදඅල්  මී’සාන්
3.3 අයතුල් කුරුෂි  සූරාව 
අල්ලාහු ලාහිලාහා ඉල්ලාහුවල්
අයියුල් කයියිමූ ඉලා තව්කුසු
සින්නතුන් වලා නවුමු
ලවූ මාෆිස් සමා වාති
වමා ෆිල් අර්ලි මන්සල්ලසී
යෙස්ෆහූ ඉන්දහූ ඉල්ලා බිහිස්නහී
යහ්ලමු මාබයින අයිදීහිම් වමාකල්ෆ හුම්
වලායු ඊ තූන බිශෛ ඉන් මින් ඉල්මී
ඉල්ලා භිමාශාහා වසීහ කුරුසියතුෂ් සාමාවතී
වල් අර්ල වලා යහූදහු ඉෆ්ලුහුමා වහුවල් අලීයුල් අලීම් .

3.4 ‘කසීදා ගීත ගායනා කිරීම.

නැලවිලි ගායනා සඳහා දෙවියන් වර්ණනා කරනු ලබන ගීතද යොදාගනු ලැබේ. මේවා ‘ කසීදා ගීත’ නමින් හැඳින්වේ. මෙම ගීත මඟින් දෙවියන්ගේ ගුණ වර්ණනාව , තමා තුළ දෙවියන්ට ඇති භක්තිය හා ආදරය පිලිබඳ කියවේ. නැලවිලි ගීතයකට අදාළ කිසිදු ලක්ෂණයක් නොමැති වුවද මෙහි ලය අඩු බව හා ලයාන්විත නාද  රටාවන් නිසා මෙන්ම දේව ආශිර්වාදය පතා නැලවිලි ගායනාවලට භාවිතා කරන්නට ඇතැයි සැලකිය හැකිය.

නැලවිලි ගීත ලෙස භාවිතා කරන කසීදා ගී

1. අස් සූබූ හූ බදා මින් ත්වාල ආතිහී..
වල්ලයි ලුඩජා මිව් වාෆරතිහී..
හයිනූරූ  සහාර් චෙහෙරේ සෙතෙරේ..
ඔර්ශාබ කී රූන කල්’සුල් ෆෝන්සේ..
අල්ලාහු අල්ලාහු අල්ලාහු අල්ලාහ්..
අල්ලාහු  අල්ලාහු අල්ලාහු අල්ලාහ්..
කල් ’සුල් කරමී මවුලන් නියායාමි.
හාදිල් උමමී ලී ශාරී ආතිහී..
අල්ලාහු අල්ලාහු අල්ලාහු අල්ලාහ්..
අල්ලාහු අල්ලාහු අල්ලාහු අල්ලාහ්..
 2. ලාහිලාහා ඉල්ලල්ලා..
මුහම්මදුර් රසූලුල්ලා..
නූර් මුහම්මදු සල්ලල්ලාහ්..
ලාහිලාහා  ඉල්ලල්ලා..

හස්බි රබ්බි ජල්ලල්ලා..
මාෆි හයිබි හයිරුල්ලා..
නූර් මුහම්මදු සල්ලල්ලාහ්..
ලාහිලාහා  ඉල්ලල්ලා..


3.5 “හදීස් ගී” ගායනා කිරීම.

මුස්ලිම්වරුන් තම ජීවිතය පවත්වා ගෙන යුත්තේ කෙසේද යන්න ඉස්ලාම් ආගම විසින් දක්වා තිබේ.මේවා ලියැවී ඇති ග්‍රන්ථ ‘හදීස් ග්‍රන්ථ’ නමින් හැඳින්වේ. මෙම ග්‍රන්ථයන්හි මුස්ලිම්වරයෙකු උදෑසන අවදි වන මොහොතේ සිට රාත්‍රියේ නින්දට යන මොහොත තෙක් මෙන්ම  එදිනෙදා ජීවිතයේදී පිළිපැදිය යුතු යහපත් ජීවන රටාවන් ඇතුලත් ව ඇත. මෙම ග්‍රන්ථවල ලියැවී ඇති ආකාරයට නින්දට යෑමේදී මුස්ලිම්වරයෙකු විසින් පිළිපැදිය යුතු කරුණු යොදාගනිමින් ද මුස්ලිම් ජන සංස්කෘතිය තුල නැලවිලි ගී නිර්මාණය වී ඇත. මෙම නැලවිලි ගීත සඳහා යොදාගෙන ඇත්තේ  අරාබි හා දෙමළ භාෂාව මිශ්‍ර කරගනිමින් නිර්මාණය වී ඇතිි ‘අරබු තමුල් ‘  යනුවෙන් හැඳින්වෙන භාෂාවයි.
මවුලාය සල්ලි වසල්..
ලින්දායි මන්අ බදන්..
අලා හබීබී කහෙ..
බිල්හල්කි කුල්ලි හිමි..

අර්ථය – දෙවියනි, මගේ දරුවා ආරක්ෂා කර දෙන්න. නිරෝගී කරවන්න. යහපත් ගතිගුණ ලබා දෙන්න. බුද්ධිමත් භාවය ලබාදෙන්න

අරාරෝ ආරිරාරෝ..
ආරුමන්ජෙයි කට්පාලේ..
ආරයින්දදින් පොරුලයි..
අරින්දුනරන්ද නිත්තිරෙයි නියි..

අර්ථය – උගත් සියලු දේවල් යලි මෙනෙහි කොට නිදියන්න පුතේ.. මුදී කලිමා වෙයි..

මෞන ධ්‍යානම් සෙයිද..
නෙට්‍රියන් මත්තිදනිල්..
නිනෛවිරුත්ති නිත්තිරෙයි සෙයි..

අර්ථය – ආගම සිහිකොට, සිත එක්තැන් කරගෙන, නිදහස් සිතින් නිදියන්න පුතේ..

උල්ල පඩි නඩක්ක..
උල්ලම් පූරම් ඔන්ඩාහ..
උල්ලමෛයියයි කන්ඩරිය..
උටෘනන්ද නිත්තිරෙයි සෙයි..

අර්ථය – අද කල හොඳ නරක ගැන සිතා, හෙට කල යුතු හොඳ දේ ගැන අධිශ්ඨාන කොට නිදියන්න පුතේ..

සමාලෝචනය


මුස්ලිම් ජන සංස්කෘතිය ඉස්ලාම් දහම සමඟ තදින් බැඳී ඇත. මුස්ලිම් ජනයාගේ සිතුම් පැතුම් එදිනෙදා චර්යාවන් පවා ඉස්ලාම් දහම අනුව සකසා ගෙන ඇත.  මල්වාන ප්‍රදේශය ආශ්‍රිත දරු උපත හා සම්බන්ධ සංස්කෘතිකාංග ගත් කළ බොහෝ සංස්කෘතිකාංගයන් ආගමික චාරිත්‍ර ලෙස ල දේව ආශිර්වාදය පතා දේව අරාක්ෂාව පතා සිදු කරන  ඒවාය. සමාජයේ යහපැවැත්මට අවශ්‍ය වූ භෞතික වූත් අභෞතික වූත් සාධකයන් කෙරෙහි සාමුහික විඤ්ඤානයන් ජනිත කිරීම මෙම සංස්කෘතිකාංගවල සුවිශේෂී ලක්ෂණ වේ.  මෙම සංස්කෘතිකාංග තුලින් අනෙකා සමග බෙදා හදා ගැනීම නිතර නිතර ඉස්මතු වීම හරහා සමාජය තුළ සාමූහිකත්වය ස්ථාපිත කිරීමේ උත්සාහයක්ද මෙම සංස්කෘතිකාංග හරහා දක්නට ලැබේ. එමෙන් ම රෝග නිවාරණය පිළිබඳ මුස්ලිම් ජන සංස්කෘතිය තුළ තිබූ පාරම්පරික ඥානය ද මෙම සංස්කෘතිකාංග හරහා පිළිඹිබු වේ.
-ෆාතිමා රික්සා
 
ෆාතිමා රික්සා –  සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත විද්‍යා අධ්‍යයන අංශයේ අවසන් වසර උපාධි අපේක්ෂිකාවකි. භාෂා පරිවර්තිකාවකි.  මෙම ලිපිය ඇය සිය අවසන් වසර උපාධි නිබන්ධනයක් සඳහා කළ අධ්‍යයනයක් ඇසුරෙන් සැකසුනකි.
මූලාශ්‍ර

1. මල්වාන ග්‍රාමයේ පදිංචිකරුවන් සමග කළ සම්මුඛ සාකච්ඡා
2. Rifai, S. (2021).  Arab and Muslim settlements in Sri Lanka from pre Islamic periods to 16th century. SSRN. https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=3815477
.

Image courtesy-  Shutterstock

Share This Article
Leave a comment