![](https://vimarshee.com/wp-content/uploads/2024/09/POST.jpg)
ඩබ්ලිව්. ජයසිරි නම් ඒ විසල් මිනිසා
පොතක් ලිවිය යුතු මිනිසකු ගැන ලිපියක් සැකසීම දුෂ්කර කටයුත්තකි. මෙම ලිපිය වූ කලී එකී අසීරු අභියෝගයට මුහුණ දීමකි.
ඒ මිනිසා ඩබ්ලිව්. ජයසිරි ය.
මහා කවි විලියම් ෂේක්ස්පියර් පැවසූ පරිදි ම මිහිතලය නම් වේදිකාව මත සිය භූමිකාව නිමකළ ඔහු දැනට දින කීපයකට පෙර අප අතරින් නික්ම ගියේ ය.
ජීවිතය නම් වේදිකාව මතට ආවා ද, ගියාදැයි පවා නොදන්නා අයුරින් මෙළොවින් නික්ම ගිය අන් බොහෝ දෙනෙකු මෙන් නොව, ඔහු පිටව ගියේ ස්වකීය භූමිකාව පිළිබඳ බොහෝ ස්මරණයන් අප තුළ ඉතිරි කරමිනි. එයට හේතුව වූයේ කලා ක්ෂේත්‍රයේ මතු නොව සිය පෞද්ගලික දිවි පෙවෙත අරබයා ද ඔහු ඔහුටම අනන්‍ය වූ භූමිකාවක් හිමි අයෙකු වීමය.
සහජයෙන් ලැබූ හැකියාවන් ප්‍රගුණ කර ගැනීමෙන් අනතුරුව යමකු ගායනය, වාදනය හෝ රංගනය ආදී කාර්යයක යෙදීම පමණක් ම ඔහු කලාකරුවෙකු ලෙස හඳුන්වා දෙන්නට තරම්, එම අර්ථ කථනය ලඝු වී ඇති යුගයක ඩබ්ලිව්.ජයසිරි යනු මේ අසම්පූර්ණ අර්ථ දැක්වීමෙන් ඔබ්බට ගියා වූ නිර්මාණශීලී චින්තකයෙකු වූයේ ය. ඔහු, කෙනෙකු කලාකරුවෙකු ලෙස තමාට හිමි සිවිල් බලය උපයෝගී කර ගත යුතු වන්නේ සමාජයේ යහපත පිණිස විනා දේශපාලනඥයින්ට ස්ත්‍රෝත්‍ර ගායනා කිරීමට නොවන බව ඉතා පැහැදිළිව වටහා ගත්තෙකි. තමාට පාඩුවක් වෙනු ඇතැයි සිතා බොහෝ කලාකරුවන් ප්‍රකාශ කිරීමට පසු බසින බොහෝ කාරණා හෙතෙම නිර්භයව හෙළි කළේය. සමරිසි පුද්ගලයෙකු නොවූවද, ඔහු ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම ඊට එක් උදාහරණයකි. ඒ හැරුණු කල සිය පෞද්ගලික දිවි පෙවෙතේ දී වුව ද, භෞතිකව තමාට වාසියක් ලැබුණු පමණින් අනෙකාගේ සාවද්‍ය මතයක් සැබෑ යයි පිළිගන්නට ඔහු සුදානම්ව සිටියේ නැත. තමා පිළිබඳව ද නැති උඬඟුවක් ඇති කර පෙන්වන්නට ඔහුට අවශ්‍ය නොවීය. මෙම ලියුම්කරු සමගම අතීතයේ දිනක කළ පුවත්පත් සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේ මේ කාලයේ තමා ජීවිකාව උදෙසා හරසුන් ටෙලි නාට්‍යවල ද රඟපාමින් සිටින බව ය.
ඔහු තුළ වූ මෙකී පෞරුෂයට ප්‍රබල හේතුවක් වූයේ අදාළ ක්ෂේත්‍රයන් පිළිබඳව පමණක් නොව, ලෝකය සහ ජීවිතය පිළිබඳව ද හෙතෙම බොහෝ ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයෙකු වීමය.
ඩබ්ලිව්. ජයසිරි කී පමණින් ශ්‍රී ලංකාවේ ඉතා වැඩි පිරිසක් ඔහුව හඳුනා ගත්තේ නළුවෙකු ලෙසය. ඉනුත් ඔබ්බට ගියෝ චිත්‍රපට හා වේදිකා රංගන ශිල්පියෙකු ලෙෂ ද ඔහු ගැන දනිති. තවදුරටත් කලා ක්ෂේත්‍රය ගැන අවධානයක් යොමු කරන්නෝ ඔහු ප්‍රබුද්ධ ගීත රචකයෙකු සහ නිර්මාණශීලී ලේඛකයෙක් බව ද දනිති.
නමුත් පුරා දශක හත හමාරක් ඉක්මවා ගිය ඔහුගේ දිවි ගමන ගැන අපට කතා කරන්නට ඇත්තේ ඔහු විසින් රඟපෑ හෝ ලියූ කියූ දැ පිළිබඳව වූ නාමාවලිය ගැන පමණක් නොවේ.
විශේෂයෙන් ම සිනමාව, වේදිකාව, රංගනය, ලේඛනය, ගුවන් විදුලි මාධ්‍යය, ගීත රචනය සහ වෙළඳ දැන්වීම් කලාව ආදී මාධ්‍යයන්හි සෑම හැරවුම් ලක්ෂයකදී ම ඒ සඳහා ඔහුගෙන් ලැබුණු දායකත්වය ද මෙහිලා සුවිශේෂ මාතෘකාවක් විය යුතු ය.
ඩබ්ලිව්. ජයසිරිගේ නිර්මාණාත්මක සහ පෞද්ගලික චරිතාපදානය අරබයා අපට ඉතාමත් සැකවින් ඇඳිය හැකි රූප සටහන ඔයාකාර වූවකි.
නමුත් මෙම ලිපිය තුළින් මා ඉදිරිපත් කරන්නට උත්සාහ කරන ඩබ්ලිව්. ජයසිරිගේ සමස්ත හැඩතලය මා සඳහන් කරනවාට වඩා බොහෝ විචිත්‍ර ය.
කෙනෙකුගේ ජීවිතයේ හැඩරුව ගැන කතා කිරීමේදී ඔහුගේ භෞතික පෙනුම ද ආධ්‍යාත්මික ගති ලක්ෂණ මෙන් ම වැදගත් වන්නෙකි. එහෙත් ඩබ්ලිව්.ජයසිරිගේ හැඩ රුව මෙන්ම නම ද ඒ පෞරුෂයේ ම කොටසක් බවට පත්ව ඇත්තකි. සිය වාසගම හැඳින්වීමට භාවිතා කරන ඉංග්‍රීසි අකුර ද ඔහුගේ නමෙහි කොටසක් බවට පත්ව, මේ වන විට ඔහු පිළිබඳව වූ මුද්‍රාවක් බවට පත්ව ඇත්තේ ය.
මේ අයුරින් නමත්, හැඩයත්, හදවතත් ආදී වශයෙන් ඩබ්ලිව්.ජයසිරි වචනවලින් පූර්ණ ලෙස ප්‍රතිනිර්මාණය කරන ලද විශිෂ්ට ගණයේ සටහනක් මම කියවා ඇත්තෙමි. එය ඩබ්ලිව්.ජයසිරි විසින් ලියන ලද “මතක සමඟ ලට්ට ලොට්ට” කෘතියේ පසු වදන ය. සිය ජීවිතයේ අතීතාවර්ජනයන් සහිත රසාලිප්ත සටහන් මාලාවක් වන මෙය නිර්මල ප්‍රකාශකයින්ගේ එළිදැක්මකි. එහි පසු වදන ලියා ඇත්තේ සිහල භාෂාවේ වදන් යොදමින් ඕනෑම ප්‍රතිමාවක් නෙළීමේ සහ සුන්නද්දූලි කිරීමේ සමත්කමින් යුත් අප මිත්‍ර උපුල් ශාන්ත සන්නස්ගල විසිනි.
එය මෙසේ ය.
“ W. ජයසිරි
ඔහුගේ රූපාකාරය
බෝලාකාරය. චිත්තාකාරය.
මට ඔහුගේ නම ලියවෙන්නේ ඉංග්‍රීසි සිංහල මිශ්‍ර සිංගිලිෂ්වලිනි. සිංගිස්ලිෂ්වලින් කී විට කිසිවෙකුට නමක් පාරිශුද්ධ නැත. හේ කවලම් ය, කලවම් ය. මේ මිනිහාට ශුද්ධ ජාන ඇතැයි මා විශ්වාස කරන්නේ නැත. එයට හේතුව මේ මනුස්සයා පාරිශුද්ධ ජාතියක්, නිර්මල සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටින්නේ නැති එක ය. නිර්භය මේකා “දේශද්‍රෝහී බල්ලා” නමින් ස්වකීය කැඩපත් ඡායාව පොතක් ලෙස ලීවේය. සමරිසි අයිතිය නිසිරිසි ලෙස පිළිගන්නා හෙතෙම ස්ත්‍රී ලෝලී ලෝභිත්වය “සිරිසේන සහ තෙපානිස් ” ලෙස අභීතව නිර්වස්ත්‍ර කළේ ය. ජයසිරි මංගලම් කියා ජයසිරිමා බෝ මූලයෙහි මධුපානෝත්සව ප්‍රතිපදාව යෝජනා කළේ ය. කටකාර වාචාල මුකරියා සංවාද ප්‍රිය බහුභාණියා ය. සුභාෂිතය සමඟ ෂේක්ස්පියර් එකට ගැටගසා හැම්ලට්ගේ බෙල්ලේ තොණ්ඩු මාලාදාමයක් එල්ලීමට තරම් තැන්වැසි නුවණැති බහුශ්‍රැතයා ය. මේ සතතාභියාසවර රංගධර ප්‍රවීණයා ඕනෑම භූමිකාවක් රූපණයෙහිලා, හැඩවැඩ බෝලාකාර මිනිසෙකි. අශිෂ්ට වනචාරයාත්, සංයත භික්ෂුවත්, නගරං චණ්ඩියාත්, සෝපාහාස උත්ප්‍රාසකයාත්, න`ළුවරණයට උචිත ලෙස මේ බෝලයාගෙන් කපා කොටගත හැකිය. ශතවර්ෂ තුන් කාලක් කලා සාහිත්‍ය ලෝකයේ ලයිව් සිවිල් පොරකි. පොර සාතිශය පරිකල්පනීය ගේය පද ලියුවෙකි. සකල කලා වල්ලභන් වර්ගයේ ශ්‍රී ලාංකික යුනික් මිනිසෙකි. ඇත්තට ම අපෙන් එකෙක් වූ මිනිසා අපේ ජීවිත මහාවංශයේ විසල් පරිච්ඡේදයකි. හිත ගත බිඳී, ලොව ම එපා වී, කලකිරුණ මොහොතක හිස තියන්නට හයිය ඇති ආදර උරහිසක් ඇති ප්‍රාණ සම මිතුරෙකි. අප්‍රමාණ ප්‍රේමවන්ත දුර්ලභයෙකි.
හෙතෙම ගෝලාකාර බෝලාකාර මිනිසෙකි”
(උපුටනය අවසන්ය)
1960 දශකයේ ආරම්භයේදී ලංකා විශ්ව විද්‍යාලයේ කොළඹ මණ්ඩපයට ඇතුල්වීමේ වරම් ලබන මේ ආකාර මිනිසකු වන ඩබ්ලිව්. ජයසිරිගේ ඉතිහාසය ලියවෙන්නේ එදා මෙදාතුර අපූරු සිද්ධීන් ගණනාවක් මුල් කර ගනිමිනි.
1960 දශකයේදී කැළණියේ විද්‍යාලංකාර පිරිවෙන සහ විද්‍යෝදය පිරිවෙන විශ්ව විද්‍යාල මට්ටමට ගෙන ඒමෙන් ලංකා විශ්ව විද්‍යාලයට කොළඹ මණ්ඩපයක් එකතු විය. එතෙක් තිබුණේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය පමණි.
ඩබ්ලිව්. ජයසිරි ඇතුළුවුණු කොළඹ මණ්ඩපය ආරම්භයේදී හැඳින්වුණේ “ගොපල්ලව ෆැකල්ටි” ලෙස බව ජයසිරි කියා තිබේ.
1963දී උසස් පෙළ විභාගයට වාඩි වුණු එවක අග්‍රාණ්ඩුකාරවාරයාගේ පුතුට විශ්ව විද්‍යාලයට ඇතුලුවීමට ලකුණු මදි වී තිබේ. මොන්ටි ගොපල්ලව නම් ඔහු එවකට අග්‍රාණ්ඩුකාරවරයා වූ විලියම් ගොපල්ලවගේ පුත්‍රයා ය. ඒ හේතුවෙන් සිදු වූයේ මොන්ටි ගොපල්ලව ලැබූ ලකුණු ප්‍රමාණය කොළඹ මණ්ඩපයට ඇතුල්වීමේ ලකුණු මට්ටම බවට පත්වීමය. ඒ අනුව සිදු වූයේ අග්‍රාණ්ඩුකාරවරයාගේ පුත්‍රයාගේ මට්ටමට ලකුණු ගත් තවත් සිය ගණනකට සරසවි වරම් හිමිවීම යයි ජයසිරි කියයි.
මේ ආකාරයට ඩබ්ලිව්.ජයසිරි වැනි නිසි ලෙස ලකුණු ලබා පිරිසක් සමඟ එකම අධ්‍යාපනය ලැබීමට සිදු වුවද, පසු කලෙක සුවිශේෂී පුද්ගලයින් වූ තවත් පිරිසක් හඳුනා ගැනීමට ඔහුට අවස්ථාව ලැබිණි.
ඒ පිරිස වූයේ බන්දුල විතානගේ, තිලක් ජයරත්න, පියසේන අහංගම, රන්ජිත් නිව්ටන් ප්‍රනාන්දු, බූන්දල හේමපාල, සරත් කැල්ලපත ආදීන්ය. මේ පිරිස තුන්වැනි වසරේ ජ්‍යෙෂ්ඨයින් වූ අතර, ජයසිරි නවක වධයට භාජනය කර ඇත්තේ පියසේන අහංගම විසිනි. පසුව ඉතා හොඳ මිතුරන් වූ අතර, බන්දුල විතානගේ නිෂ්පාදනය කළ “මේඝ ගර්ජනා” නැමැති නාට්‍යයට සම්බන්ධ වීමට ඔහුට අවස්ථාව උදාවිය. Harold Printer නැමැති බ්‍රිතාන්‍ය ජාතික නාට්‍ය රචකයාගේ කෘතියක් වූ එහි සහය නිෂ්පාදකවරයා මෙන්ම පෙළ මතක් කර දෙන්නා (Prompter) වූයේ ද ජයසිරි ය.
පසුව මරදානේ ටවර් රඟහල අසල තිබූ බන්දුල විතානගේ ගේ බෝඩිමට ජයසිරි ද එකතු වූයේ ය. ඒ කාලයේ දෙදෙනාගේම සාක්කුවලට රුපියල් දහයක ආර්ථික ස්ථාවරයක් ඇති වූ කල්හි අසල වූ ශාලිමාර් හෝටලයේ බාර් එකට ගොඩවෙති. අරක්කු ඩ්‍රෑම් දෙකක් බොන ඔව්හු සත පහේ කඩල බයිට් එකක් කා බි්‍රස්ටල් දෙකක් ද දල්වා ගනිති.
කෑමට පෙර ලබා ගන්නා මෙකී “සොමිය” අරබයා ඔවුන්ගේ මුළු වියදම වන්නේ රුපියල් 1.27 කි. මෙය අද දවසේ රසබර මුසාවක් හෝ සුරංගනා කතාවක් සේ පෙනෙන නමුදු එය සත්‍යයකි.
අද වන විට සුප්‍රකට සමාගමක් වන ප්‍රේමදාස අච්චු කන්තෝරුව පිහිටියේ ඔවුන්ගේ කාමරයට අල්ලපු ගොඩනැගිල්ලේ ය. එහි මුද්‍රණ කටයුතු රෑ මු`ථල්ලේද එක දිගට සිදු වූ අතර, ඩබ්ලිව්.ජයසිරිත් බන්දුල විතානගේත් නින්දට පිවිසුණේ එම යන්ත්‍රවල රිද්මයට අනුවය. පොහෝ දින මුද්‍රණාලයේ වැඩ කටයුතු නතර කෙරෙන බැවින් ඔවුන්ට නිදි සුව ලැබෙන්නේ නැත. සුකුරුත්තං වැඩවලට හපනෙක් වූ බන්දුල විතානගේ ළඟ වයර් කැබැළි, ඊයම්, කොයිල්, ට්‍රාන්සිස්ටර් ආදිය සහිත සන්නන් වන්නන් පෙට්ටියක් තිබී ඇත. මේවා උපයෝගී කර ගනිමින් ඔහු ට්‍රාන්සිස්ටර් රේඩියෝවක් තනනු ලැබුවේ පොහෝ දිනට අච්චු කන්තෝරුවේ සද්දය නැති පාලුව මකා ගනු පිණිස ය. එය ටියුන් කරමින් ශබ්ද තරංග ග්‍රහණය කර ගැනීමේ රාජකාරිය බාර වූයේ ජයසිරිටය.
නමුත් ජයසිරිගේ තරුණ්‍යය රසවත් වූයේ මෙවැනි රසවත් කාරණා නිසාම නොවේ. පසු කලෙක සිවිල් චරිත බවට පත්වූ නිර්මාණශීලී සගයන්ගේ සමාගමයක කොටස් කරුවෙකු වීමේ අවස්ථාව ඔහුට ද උදා වූ බැවිනි.
බොහෝ පතපොත කියවන්නෙකු වූ සුමන ආලෝක බණ්ඩාර, දයා තෙන්නකෝන්, විජයානන්ද ජයවීර, විමලදාස පෙරේරා, ධර්මසේන පතිරාජ, විජය කුමාරතුංග ආදීහු ගජයන් බවට පත් වූයේ මෙකල්හිය.
නිම්වළල්ලට මැදිවීම
පාසැල් සිසුන් පිරිසක් විසින් කළ සිනමා කෘතියක් ලෙසද, හොඳ සිනමා කෘතියක් ලෙෂ ද කතා බහට ලක්වූ “නිම් වළල්ල” සමඟ ජයසිරිගේ සම්බන්ධය ඇති වූවේ අනපේක්ෂිත අයුරකිනි.
ඒ ජයසිරි, ධර්මසේන පතිරාජ සහ දයා තෙන්නකෝන් සමඟ මරදානේ ඩෝඩිමක අනාථ වී සිටි දවසකි.
හිටිවනම දොරකඩින් එබුණ අඩි හයක් පමණ උසැති ප්‍රියමනාප තරුණයකු පතිරාජ අමතා මෙසේ පැවසීය.
“මම රංජිත්ලාල්, මට මිස්ටර් පතිරාජව මුණ ගැසෙන්නට ඕනෑ, අපි ඩිනර්වලට යමුද?” කියා ආරාධනාවක් කළේය. පතිරාජගේ ඉල්ලීම වූයේ එම ආරාධනාව පිළිගැනීමට නම් මේ දෙදෙනාව ද එක්කර ගෙන යා යුතු බවය.
රංජිත් ලාල් තමන්ගේ බෙන්ස් රථයෙන් මේ තිදෙනාවත් රැගෙන “පාක්විව්” හෝටලයට ගොස් මී විතින් සහ රස මසවුලෙන් සංග්‍රහ කළ අතර, තමා කරන්නට යන චිත්‍රපටයේ තිර රචනය සකස් කරදෙන මෙන් ඉල්ලා සිටියේය. එය කලින් ලියා තිබුණේ සුනිල් මාධව ප්‍රේමතිලක විසිනි. එය චිත්‍රපට තිර රචනයකට සුදුසු ලෙස ලියා නොතිබීම නිසා රංජිත් ලාල්ට නිසි පිටපතක් සකස් කර ගැනීමට අවශ්‍යව තිබුණි. “යළිත් වසන්තය” යනුවෙන් නම් කර තිබූ එම පිටපත සම්පූර්ණයෙන්ම අමතක කර දැමූ පතී එම කතා සැකිල්ල පමණක් ගනිමින් අලුතින් පිටපතක් නිර්මාණය කරන්නට බාර ගත්තේ ය. ඒ සඳහා සෑහෙන මුදලක් ගෙවීමටද, රංජිත් ලාල් පොරොන්දු වූ බැවින් පතිරාජ, ජයසිරිච ද හවුල් කර ගනිමින් වැඩට බැස්සේ ය. පතී සහ ජයසිරි ද එක්ව මේ කටයුත්ත දින තුනකින් නිමකළ අතර, දර්ශන බෙදා, ටයිප් කර වෘත්තීමය තිර නාටකයක් බිහි කිරීමේ වගකීම පැවරුනේ ජයසිරිට ය.
නිම කරන ලද කාබන් පිටපත ඩියුරෝ කමිස පෙට්ටියක දමා කාමරයේ එකම මේසය මත තැන්පත් කෙරිණ. තිර රචනය “නිම් වළල්ල” යයි නම් කරන ලද්දේ පතී ය.
මේ වන විට “හිත හොඳ අම්මාණ්ඩි ” වේදිකා නාට්‍යයේ පුහුණුවීම් වලට ඔවුන්ගේ ගත සිත යොමු වී තිබිණි. මේ අතර, “නිම්වළල්ල” රූපගතවීම් සිදු කෙරෙන බව ආරංචි වී සොයා බැලූ විට පෙනී ගියේ කාමරයේ බන්දුල විතානගේ නිදාගෙන සිටියදී කවුදෝ කෙනෙකු විසින් එහි තිර නාටකය සොරාගෙන ඇති බවය. ජාවත්ත පාරේ දාස මුදලාලිගේ නිවසේ රූපගත කිරීම් සිදුවන බව දැනගත් පතිරාජ එහි ගියේ ලැබිය යුතු මුදල හෝ රැගෙන එනු පිණිස ය.
නමුත් ඔහු පැමිණියේ හිස් අතිනි.
“ඔක්කෝම ඉස්කෝලේ යන කොල්ලො. රංජිත් ලාල් මගෙන් අහනවා නිම් වළල්ල කියන්නේ මොකක්ද කියල. මෙහෙම දෙයක් උනේ නැහැ කියල අපි අමතක කරල දාමූ” ප්‍රතිඵලය නීරස වුවද, සිය ප්‍රථම තිර නාටක අත්දැකීම ලෙස එය ජයසිරිට සුමිහිරි එකක් විය.
දුන්නෙන් මිදීම
මේ අයුරින් ජයසිරිගේ ගමන් මඟ හා එකට ගැට ගැසුණු සිදුවීම් දාමය වෙනම ම විග්‍රහ කිරීම යනු ඔහුගේ ජීවිත කතාව ලිවීමක් බඳු කාර්යයකි. එය මෙතනදී කළ නොහැක්කක් වුවද, දන්නා කියන කාල පරිද්ඡේදයේදී ඔහුටම කියා පෞද්ගලික ජීවිතයක් තිබී ඇත්තේ 1980 සිට 1985 දක්වා මැද පෙරදිග ස්ථාපිතව තිබූ ඇමෙරිකන් සමාගමක රැකියාව කළ කාලය තුළ බව පෙනේ. රැකියාවක් උදෙසා යනු ලැබූවද එම රටින් පිටවීමේ කාරණය පිටුපස තිබුණේ ද නාට්‍ය කලාවට අදාළ සිත් රිදීමකි.
එය සිදු වූයේ සුගතපාලද සිල්වාගේ “දුන්න දුනු ගමුවේ” නාට්‍ය දර්ශනයේ ඇතිවූ එක්තරා සිත් රිදවන කාරණයක් හේතුවෙනි. එම කාරණය වූයේ නාට්‍ය නිෂ්පාදකවරයාගේ අඹු දරුවන් නාට්‍ය කටයුතුවලට අනිසි ලෙස අත පෙවීම පිළිබඳව ය. ඒ මොහොතේදී සුගතපාල සිල්වාගේ මුහුණටම ඒ බව පවසා පියසේන අහංගම, විමල් කුමාර්ද කොස්තා, දයා තෙන්තකෝන් සහ ඩබ්ලිව්. ජයසිරි නාට්‍ය කණ්ඩායමෙන් සමු ගත්හ. මේ මොහොතේදී ඩබ්ලිව්.ජයසිරි යළි කිසි දිනක වේදිකාවට පය නොතැබීමට අදිටන් කරගත් අතර, වසර 12 ක් මු`ථල්ලේ ඔහු එම අධිෂ්ඨානය රැක ගැනීමට සමත් විය. වසර පහකට මැද පෙරදිග බලා පිටත්ව ගියේ ද වේදිකාව අරබයා නිශ්ක්‍රියව සිටි කාල පරිච්ඡේදය තුළ ය.මරාසාද්
නමුත් තමන් ඇතුලු පිරිසක් හිටිවනම “දුන්නෙන් මිදී යාම” එම නාට්‍ය කඩාකප්පල් වීමට බලපෑ අන්දම ජයසිරිගේ සිතට නිරන්තරව වද දෙමින් පැවැතිණ.
ලංකාවට පැමිණි පසු සුගත් හා අඩියක් ගසන සෑම විටකම පැවසුවේ අලුතින් නාට්‍යයක් කිරීමේ උවමනාව පිළිබඳවය. ඒ වන විට පීටර් වයිස් නැමැති නාට්‍ය කරුවා විසින් ලියන ලද “මරාසාද් ”පිටපත වේදිකා ගත කිරීමට සුගත් විසින් තෝරාගෙන තිබිණි.
මේ මොහොත වන විට තම හිතේ හයියා සුගත්ගේ නාට්‍යයට බරපැන දරන්නට පොරොන්දු වී සිටිය ද ධර්මසේන පතිරාජට එයට අත ගැසිය හැකි ශක්තියක් නොතිබූ බව ජයසිරිට වැටහී ගියේය. ඔහු මීට පෙර “රතු හැට්ටකාරී” අර්ථපතියා වූ මැණික් ව්‍යාපාරිකයෙකු මේ සඳහා කැමති කරවා ගත් නමුදු පසුව එය ද අසාර්ථක විය.
මේ වන විට අතමිට සරුව ලංකාවට පැමිණ සිටි ජයසිරි ජයවඩනගමින් තට්ටු නිවසක් මිලදී ගෙන තිබුණි. ඔහු එය ආපසු නිවාස සංවර්ධන අධිකාරියට පවරා රුපියල් එක් ලක්ෂ විසි පන්දාහක් ලබා ගත්තේ ය.
“පදිංචි ගෙදර විකුණලා නාට්‍යයකට වියදම් කරන්නේ ඇයිදැ?”යි කේමදාස මාස්ටර් විසින් විමසනු ලැබූව ද ජයසිරි කිසිත් නොකීවේය. එහෙත් ඔහු තම හදවතට මෙසේ කියා තිබිණි.
“දුන්න දුනු ගමුවේ නාට්‍ය කඩාකප්පල් කිරීමේ නොහොබිනා කමට මම වන්දි ගෙවන්නේ මෙහෙමයි”
නාට්‍ය දර්ශනය වෙනුවෙන් මුල්වරට බෙදා හරිනු ලැබූ පත්‍රිකාවේද ජයසිරිගේ ඉල්ලීම ලෙස සඳහන් කරනු ලැබුවේද “නම සඳහන් කිරීමට අකමැති අර්ථපතියෙක් ”ලෙස ය.
1985 රාජ්‍ය නාට්‍ය උළෙලේදී ප්‍රධාන සම්මාන සියල්ලම දිනා ගැනීමට එය සමත් විය. ජැක්සන් ඇන්තනි සමඟ ජයසිරි සම්මානයට පාත්‍ර විය. එහෙත් එම ජයග්‍රහණය ඔස්සේ රටවටා දිගු ගමනක යෙදිය නොහැකි වූයේ ජැක්සන් ඇන්තනි නිසි පරිදි නාට්‍ය දර්ශනවලට අවශ්‍ය අයුරින් දින ලබා නොදුන් බැවිනි. අර්ථපතිත්වය දැරීමේ බරෙන් නිදහස් වූ බැවින් සුගත් ණයකරුවකු නොවීය. නමුත් තමන් අතින් වූ වරදට වන්දියක් ලෙස සුගත්ගේ නිර්මාණ ආත්මයට ප්‍රබෝධයක් ලබා දිය හැකිවීම ගැන ඔහු සතුටු විය.
ධර්මසේන පතිරාජ සමඟ මරදාන කාමරයේ දිවි ගෙවූ කාලයේ ඔවුනට අපූරු යහළුවකු වූයේ ය. ඒ කොළඹ හෙල්ලූ ගණංකාරයෙකු මරදානේ චොප්පෙගේ ගෝලයෙකි. නම ඩී.වී. චන්ද්‍රසිරි ය. ඔහුගේ රැකියාව වූවේ නගර සභාවේ කුණු ලොරියක් එළවීමය.
මේ කාලයේ ඔවුන්ගේ මිතුරෙකු වූ විජය කුමාරතුංග රඟපෑ “හන්තානේ කතාව” ප්‍රදර්ශනය වී නොතිබුණු අතර, ඔහු සීදුවේ සිට බස් රථයක නැගී බෝඩිමට පැමිණෙයි. රෑ බෝවූ පසුව ඔහුව පිට කොටුව බස් නැවතුම් පොළට ඇරලන්නේ චන්දරේගේ කුණු ලොරියෙනි. විජය කුමාරතුංග ඉදිරිපස වාඩි කරවන පතී, තෙන්නේ, ජයසිරි ඇතුලු පිරිස පිටුපස එල්ලී යති.
පසු කලෙක “පාර දිගේ ” සහ “බඹරු ඇවිත්” යන චිත්‍රපටවලට ද පතිලාගේ මෙම අත්දැකීම් ඇතුළත් විය. චන්දරේගේ ඔවුන් ගැන තිබූ බැඳීම කෙතෙක්ද යත් චොප්පේ කඩු පහරකින් මියගිය විට බැනර් එක අඳින්නට බාර වූයේද ජයසිරිට ය. පතී තමාගේ “පාර දිගේ”හි ප්‍රධාන චරිතයට නම තැබුවේ “චන්දරේ” යනුවෙනි.
ඩබ්ලිව්. ජයසිරි අරබයා වූ මෙම ලිපිය අපට නතර කරන්නට සිදුවන්නේ එක්කෝ අසම්පූර්ණ සටහනක් සහ හදිසි අවසානයක් වශයෙනි. නොඑසේ නම් විවිධ සිදුවීම් සමුදායක මාතෘකා පෙළක් වශයෙනි.
ඒ මාතෘකා අතර ප්‍රධාන තැනක් ජයසිරි නම් ගීත රචකයාට ද හිමිවෙයි.
විශාල හැඳින්වීමක් කරනවාට වඩා ඒ වනවිට එකම ගීතයක් පමණක් ලියා තිබූ ජයසිරිට “බඹරු ඇවිත් ” තේමා ගීතය ලිවීමට බාර විය.
“උදුම්බරා හිනැහෙනවා” ගීතය බිහිවුණේ ඒ අනුව ය. එයින්ම සම්මානයට පාත්‍ර වූ ජයසිරි නම් ගීත රචකයා කවරෙක්දැයි දැන ගන්නට මේ ප්‍රමාණවත් ය.අපේ කට්ටිය
නිශ්චිත ලිපිනයක් නොමැති වඩාත්ම ප්‍රබල කලා සංවිධානයක් වූ “අපේ කට්ටිය” සාමාජිකයින් වූයේ සිරිල් බී. පෙරේරා, රැලෙක්ස් රණසිංහ, ජී. ඩබ්ලිව්. සුරෙන්ද්‍ර, අජිත් තිලකසේන, මොටාගෙදර වනිගරත්න, ඔගස්ටස් විනයාගරත්නම්, නාමෙල් සහ මානෙල් වීරමුණි, හේමන්ත වර්ණකුලසූරිය, සහ කරුණාරත්න සපුතන්ත්‍රි ආදීහුය. නායකත්වයක් නොදැරුවද සුගතපාල ද සිල්වා එහි අනිවාර්ය සාමාජිකයා විය.
1966 මුල් භාගයේදී “අපේ කට්ටිය” හා සම්බන්ධ වන ඩබ්ලිව්. ජයසිරිට සුගත්ගේ “හරිම බඩු හයක්” නාට්‍යයේ චරිත නිරූපණයකට සම්බන්ධ වීමට අවස්ථාව ලැබිණ. ඔහුට එහිදී රඟපෑමට ලැබුණේ ප්‍රේක්ෂකාගාරයට පිටුපා නාට්‍යයකට අවශ්‍ය ආකෘතියක් තනන වඩුබාස් කෙනෙකුගේ චරිතයකි.
“අපේ කට්ටිය” පිළිබඳව පසු කලෙක රැලෙක්ස් රණසිංහ නිර්මාණය කළ පෝස්ටරයක එහි තේරුම ලියා තිබුණේ මේ අයුරිනි.
එනම් “පස්සෙන් යන්නෙ නැති- පස්සෙන් එන එවුන්ට ආස නැති- එකට කන- එකට බොන එකට රණ්ඩු කරන අපේ කට්ටිය” වශයෙනිගුවන් විදුලි මතකය
හැටේ දශකය අවසන් වෙන කාලය වන විට ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළ ජයසිරි තම හිතවතුන් දෙදෙනා වූ සුගතපාල ද සිල්වා සහ දයා තෙන්නකෝන් සමඟ වෘත්තීය සමිති කටයුතුවල නිරත වීය. එහි අවසාන ප්‍රතිඵලය වශයෙන් කුරුඳුවත්ත පොලීසියෙන් එල්ල කළ බැටන් පොලු ප්‍රහාරයකට ලක් වූ ජයසිරිට දින කිහිපයක් බැන්ඩේජ් පටිවලින් වෙලන ලද උඩු කයින් යුතුව රෝහල් ගතව සිටින්නට සිදු විය.
1970 න් පසු යළි රැකියාවට පැමිණි ඩබ්ලිව්.ජයසිරි ශීලා පරණමානගේ ද සමඟ “යෞවන ලංකා” නමින් වැඩ සටහනක් ඉදිරිපත් කළේය. ඔවුන් තම වැඩ සටහනෙන් ඉදිරිපත් කරනු ලැබුවේ ලතින් ඇමෙරිකන් සහ අප්‍රිකානු තරුණ අරගල ගැනය. එම වැඩ සටහනේ පිටපත් රචකයා වූ විජයානන්ද ජයවීර එවකට ජවිපෙ නායකයෙකු වූ ජී.අයි.ඩී. ධර්මසේකර සමඟ සම්බන්ධකම් පැවැත් වු අයෙකු විය. ජයසිරි විප්ලවීය මාක්ස්වාදී පක්ෂයේ උද්යෝගීමත් සාමාජිකයකු විය.
දිනය 1917 අප්‍රේල් 04 වෙනිදාය.
එදින මරදානේ නිව් ඔලිම්පියාහි තිරගත වූයේ තරුණ අරගලයක් ගැන කියවෙන හොලිවුඩ් චිත්‍රපටයකි. එය නැරඹීමෙන් අනතුරුව දයා තෙන්නකෝන් සමඟ අරක්කු ටිකක් බොන්නට බොරැල්ලේ කල්දේරා බාර් එකට ගිය මේ දෙදෙනාට “ඇඳිරි නීතිය” පනවා ඇති නිසා වහාම නිවෙස් බලා යන ලෙසට ලවුඩ්ස්පීකරයක් මගින් පොලීසිය නිවේදනය කරනු ඇසිණි. රිට්ස් සිනමාහල ඉදිරිපිට බස් නැවතුමට ගිය මේ දෙදෙනාට දක්නට ලැබුණේ එදින 6.30 නරඹා පිටව යන තරුණ පිරිසක් පොලිස් නිලධාරීන් විසින් ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ලොරියකට පටවා ගන්නා අයුරු ය. එසේ රැගෙන ගොස් තිබුණේ රොස්මිඩ් පෙදෙසට ගොස් එවකට අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පැහැර ගැනීමට නියමිතව සිටි පියසිරි කුලරත්නගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමය.
නමුත් එදින රාත්‍රී 10.30 ට පමණ තලංගම කොස්වත්තේදී ජයසිරි පොලිස් අත්අඩංගුවට පත්විය. නමුත් පොලිසියේ ඕ.අයි.සී.මහතාගේ බිරිඳ නාට්‍ය රසිකාවියක් වීම නිසාත්, ඇය “දුන්න දුනු ගමුවේ” නරඹා තිබූ නිසාත්, ප්‍රශ්නය ගොඩින් නිමවී පොලිස් අත් අත්අඩංගුවෙන් මිදීමට ඔහුට හැකිවිය.
1977 මහා මැතිවරණයත් සමඟ අස් කිරීමට ප්‍රථම ගුවන් විදුලියෙන් ඉවත් වූ ජයසිරි මීට පෙර මෙහි සඳහන් කරනු ලැබූ අර්බූදයත් සමඟ දුන්නෙන් පමණක් නොව, මු`ථ මහත් නාට්‍ය වේදිකාවෙන්ම ඉවත්ව මැද පෙරදිග රැකියාවට ගියේය.
මෙය ඩබ්ලිව්.ජයසිරි ගැන ලියන ලිපියේ සමාපත්තියට එළඹීම නොවේ. ලිපියට හිමි ඉඩකඩ කළමණාකරණය කර ගැනීමක් පමණි.
ජයසිරි සිනමාවට සම්බන්ධ වීම අප දකින්නේ ධර්මසේන පතිරාජ හරහා වුව ද ඇත්තෙන්ම එය පටන් ගන්නට තිබුණේ සුගතපාල ද සිල්වා අධ්‍යක්ෂණය කිරීමට බලාපොරොත්තුව සිටි “සමනළයෝ ” චිත්‍රපටය තුළිනි. නමුත් මූල්‍ය ගැටළුවක් හේතුකොටගෙන එය නැවතුන අතර සුගත්ගේ “නිල් කට්රොල් මල්” නාට්‍යයෙන් යළි වේදිකාවට එකතු වුණේය.
හැටේ දශකයේදී ගුවන් විදුලියට සම්බන්ධ වූ ඔහු වැඩ වර්ජන නිසා එළියට යමින් එමින් සිට 1971 අප්‍රේල් 12 සිට සේවයෙන් පහ කෙරිණි. ඉක්බිති සුගතපාල ද සිල්වාගේ “දුන්න දුනු ගමුවේ” සමඟ යළි වේදිකාවට පැමිණය ද, හිටිවනම දුන්නෙන් මිදී ගොස් යළි වේදිකාවට පැමිණියේ දොළොස් වසරකට පසුය. ඒ “මරාසාද් ”හි නළුවෙකු මෙන්ම අර්ථපතියා ද වශයෙනි. එහිදී ජැක්සන් ඇන්තනි සමඟ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද ජයසිරිගේ සිනමාව අරබයා සමීපම සම්බන්ධතාවය ගොඩ නැඟෙන්නේ ධර්මසේන පතිරාජගේ “අහස් ගව්වේ” සිටය. ඉන් පසු පතීගේම “බඹරු ඇවිත්” චිත්‍රපටයට රඟපෑමෙන් මෙන්ම සුප්‍රකට “උදුම්බරා හිනැහෙනවා” ගීතය රචනා කිරීමෙන් ද සහභාගී වූ ජයසිරි පතිරාජගේ “එයා දැන් ලොකු ළමයෙක්” චිත්‍රපටයේ ද සුළු චරිත නිරූපණයක යෙදුණේය. ඉන් අනතුරුව අප රටෙහි සිංහල චිත්‍රපටකරුවෙකු නිර්මාණය කළ දෙමළ චිත්‍රපටයක් වූ “පොන්මනී ” හි ද ජයසිරි රගපෑවේය. මින් අනතුරුව පතිරාජගේ “සොල්දාදු උන්නැහේ ” සිට උරෙනුර ගැටී කටයුතු කළ ජයසිරි ඩී.බී. නිහාල්සිංහ සමඟ එක්වී “මල්දෙණියේ සිමියොන්” චිත්‍රපටයේ තිර රචනය ලිවීය. ඩබ්ලිව් ජයසිරි පිළිබඳව ප්‍රේක්ෂක මතකයේ රැඳෙන අනෙකුත් චරිත නිරූපණ ලෙස එක්වරම සඳහන් කළ හැකි චරිතයක් වන්නේ ”දඬුබස්නාමානයෙහි” මඩප්පු නම් මැරවරයා ය. එසේම “කඩුල්ල” ටෙලි නාට්‍යයේ රඟපෑ චරිතය ද, “ධවලකේතු” චිත්‍රපටයේ සොහොන්පල්ලා ද, “කුඹියෝ ”හි ඇමතිවරයාගේ ලේකම් ද, “අකාල සන්ධ්‍යා” හි සෙනරත් රජු ද, “විසිදැලෙහි” ගමේ මදාවියා ද ආදී චරිත නිරූපණ අපගේ සිහියට නැගෙයි.
උපුල් ශාන්ත සන්නස්ගල පවසන පරිදි අශිෂ්ට වනචරයාත්, සංයත ශික්ෂුවත්, නගරං චණ්ඩියාත්, සෝපාහාස උත්ප්‍රාසකයාත් නළුවරණයට උචිත ලෙස මේ බෝලයාගෙන් කපා කොටා ගත හැකි ය.
නමුත් සමාජ විඥාණය කපා කොටා මුවහත් කළ කලා කෘති උදෙසා ඔහුගෙන් ලැබුණු පංගුව, මෙම චරිත නිරූපණ ගැන කියනවාට වඩා බොහෝ විශාල ය. ඒ ඔහු අප දැන් අත් විඳින කලාවේ වපසරියට වඩා විසල් මිනිසකු වන බැවිනි. එබැවින් ඔහු ගැන නිසි පරිදි ලියන්නට නම් මේ ඉඩකඩ හොඳටෝම මදි ය.
තිස්ස ප්‍රේමසිරි
සේයාරුව- හේමන්ත අරුණසිරි
ග්‍රැෆික් නිර්මාණය – රොෂාන් සෙනරත්