ඔඩිසි – දේවදාසි යුගයේ සිට ඩිජිටල් යුගය දක්වා

විමර්ශී
17 Min Read
ඔඩිසි ඉතිහාසය

ඉන්දියාවේ සම්ප්‍රදායික නර්තන ක්‍රම අටෙන් එකක් වන ඔඩිසි නර්තන සම්ප්‍රදාය ආරම්භ වන්නේ නැගෙනහිර ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයෙනි. එය ඉන්දියාවේ පැරණිතම නර්තන සම්ප්‍රදායන් අතරින් එකකි. මුල් කාලීනව ඔඩිෂාවේ දේවාල ආශ්‍රිත නර්තන සම්ප්‍රදායක් ලෙස ඇරඹුණු ඔඩිසි නැටුම් නූතන වේදිකාව මත රඟ දැක්වෙන්නට පටන් ගත්තේ 1950 දශකයේදී ය.

ඔඩිසි නර්තන සම්ප්‍රදායේ මෙම දීර්ඝ ඉතිහාසය පිළිබඳව සාක්ෂි දරන්නේ එම නර්තන රූප සහිත ඉපැරණි ගෘහ නිර්මාණ, ලිඛිත සාක්ෂි සහ තවමත් ජීවමානව පවතින පූජා විධි හරහාය.

ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති ඔඩිෂා ප්‍රාන්තය අනෙක් පැතිවලින් ගොඩබිමෙන් ආවරණය වෙයි. මෙම ප්‍රන්තයේ පිහිටි පූරි, බුවනේෂ්වර්, කටක්, කොනාක් ඔඩිසි පුරාවෘත්තයට මූලික වශයෙන් පදනම් වූ නගර වෙයි. ඒ අතරින් පූරි නගරය ඔඩිසි නර්තන සම්ප්‍රදායේ අධ්‍යාත්මික නිජ බිම ලෙස සැලකේ.

විසි වන සියවසේ මැද භාගය පමණ වන තෙක් ඔඩිෂා ප්‍රාන්තයේ දෙවොල්වල විශේෂ පූජා විධි පැවැත්විණ. විශේෂයෙන් ම පූරි ජගන්නාත් දේවාලවල මහරි ශිල්පිණියන්ගේ ගීත සහ නැටුම් පූජා විධි දකින්නට ලැබිණ. (‘මහරි’ යන වචනය දෙවියන්ට හෝ දේවාලය පිණිස කැපවූ ස්ත්‍රීන් යන අරුත් දෙන දේවදාසි යන වචනයට සමානය. විශේෂත්වය වන්නේ මහරි යනු ඔඩිෂා ප්‍රාන්තයේ දේවාලවල පූජා විධි පැවැත්වීමට විශේෂ පුහුණුව ලැබූ දේවදාසීන් වීමයි.) ඈත අතීතයේදී මහරි ස්ත්‍රීහු විෂ්ණු දෙවියන්ගේ ස්වරූපයක් ලෙස සැලකෙන ජගන්නාත් දෙවියන් සමග පූජාවිධි හරහා විවාහ බන්ධනයට එළඹුනහ. නව යොවුන් වියේ දැරියන් ක්‍රම දෙකක් හරහා ජගන්නාත් දෙවොලෙහි සේවයට කැපවූ අතර ඉන් එක් මාර්ගයක් වන්නේ දෙවියන්ට සිය භක්තිමත් භාවය ඔප්පු කිරීම පිණිස ඔවුන්ගේ පවුල්වලින් ම එම දැරියන් දේවාලය වෙත කැප කිරීමයි. එසේත් නැතිනම් වැඩිමහළු මහරි ස්ත්‍රීන් විසින් ඔවුන්ගේ දියණියන් ලෙස ඔවුන් හදා වඩා ගැනීමයි. සරි- බන්ධන් නම් චාරිත්‍රයක් හරහා ජගන්නාත් සමග විවාහ බන්ධනයට එළඹුණු පසුව මෙම යෞවනියන්ගේ සියලු අවශ්‍යතා සපුරමින් රැකබලා ගන්නා ලද්දේ දෙවොල විසිනි. මහරි ස්ත්‍රීහු ද ඒ අනුව ජීවිත කාලය පුරා දෙවොලෙහි සේවයට කැප වූහ.

ආධුනික මහරි ස්ත්‍රියකට රජ වාසලෙහි ගුරුවරයෙකු (රාජ්ගුරු) හරහා නැටුම් සහ සංගීතය ඉගෙන ගන්නට අවස්ථාව ලැබිණ. ඔවුන්ට මහරි ශිල්පිණියන්ට වෙන් වූ සේවා හතරෙන් එකක් තෝරා ගැනීමට සිදු විය. එනම් ජගන්නාත් දෙවියන් නින්දට පිවිසෙන වේලාව යැයි සැලකෙන රාත්‍රී කාලයේ යම් වේලාවකදී දෙවොළෙහි ඇතුළු ගර්භයෙහි ගීත ගායනා කිරීම, දේවාලයෙන් පිටත ගීත ගායනය කිරීම, දෙවොල් ගර්භයෙන් පිටත නර්තනයෙහි යෙදීම සහ ආගමික උත්සවවලදී නර්තනයෙහි යෙදීමයි.

මහරි ස්ත්‍රීන් විවිධ කුලවලින් බඳවා ගනු ලැබූ අතර ජගන්නාත් දෙවොළෙහි වතාවත්වලට කැපවූ පසු ඇය කුල ක්‍රමයෙහි උස්පහත්කම්වලට හෝ මොන යම් හෝ සමාජ මට්ටමකට අයත් නොවූ බව කියැවේ. ඔවුන් හැම දෙනාම ‘ස්ත්‍රී ජාතියට’ අයත් ලෙස සමානාත්මතාවයෙන් සැලකිණි.

15 වැනි සියවසේදී ප්‍රතාපරුද්‍රදේව රජු විසන් මහරි ස්ත්‍රීන්ට ගායනා කළ හැක්කේ ගීතගෝවින්දයේ ගීත පමණක් බවට නියම කරන ලදී. ගීතගෝවින්ද යනු 12වැනි සියවසේ දී ලියැවුණු රාධා සහ ක්‍රිෂ්ණාගේ දිව්‍යමය ආදරය පදනම් කර ගත් සංස්කෘත කාව්‍යයකි. ඔඩිසි නර්තන ශිල්පිනියක වන සුප්‍රියා නායක් ලියන ශාස්ත්‍රීය ලිපියකට අනුව ජගන්නාත් දෙවිඳුන් සහ සරණ බන්ධනයකට එළඹි නිසා මහරි ස්ත්‍රීන්ට විවාහ විය නොහැකි විය. එහෙත් විවාහ බන්ධනයකට පත් නොවී යම් කෙනෙකු සමග ලිංගික සබඳතා පැවැත්වීමට හැකි විය. පූරි රජවරුන්ට ද ඔවුන් සිය ලිංගික සහකාරියන් ලෙස යොදා ගත හැකි විය. කෙසේනමුත් මහරි ස්ත්‍රීන් සදාකාලික පාරිශුද්ධත්වයෙන් සැලකුණු නිසා, ලිංගික සබඳතා පැවැත්වීමෙන් එම පාරිශුද්ධත්වය බිඳෙන බව සැලකුණි. එහෙයින් ලිංගික සබඳතා පැවැත්වූ දිනවලට ඔවුන්ට දෙවොළට ඇතුළු වීමේ අවසරය නොලැබිණි. නොඑසේ නම් මහරි ස්ත්‍රියක් පූජා පැත්විය යුතු දින ලිංගික කටයුතුවලින් වැළකී සිටිය යුතු විය.

මේ අනුව ඔවුන්ට එකල තිබුණු සමාජ තත්ත්වය ඉහළ වූ බව කියැවුණත් මහරි ඇතුළු දේවදාසීන් ලිංගික සුරා කෑමට ලක්වූ බව මේ පිළිබඳ ලියැවෙන බොහෝ ලිපිවලදී ඉස්මතු කර තිබේ. විශේෂයෙන් බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී මහරි කාන්තාවන් ඇතුළු දේවදාසීන්ගේ සමාජ තත්වය පහළට වැටී මෙම තත්වය තවත් වැඩි වූ බව පෙනේ. පශ්චාත් යටත් විජිත ඉන්දියානු සමාජයේ මහරි ස්ත්‍රීන්ගේ ජීවිත පිළිබඳව පැවැතුණු විවිධ සදාචාරාත්මක ආකල්ප එම ප්‍රජාවට ද විසි වැනි සියවසේ මැද භාගයේදී ඔවුන්ගේ නර්තන සම්ප්‍රදායන් ඇසුරෙන් වර්ධනය වූ ඔඩිසි නර්තනයට ද බලපෑම් එල්ල කළේය.

20 වැනි සියවසේ දී ඔඩිසි නර්තනයේ නැගීම

ඔඩියා බසට වෙනම අනන්‍යතාවක් සහිත ව, බි්‍රතාන්‍ය ඉන්දියාව තුළ වෙනම ප්‍රාන්තයක් සදහා වූ ඉල්ලීමෙහි අවසන් ප්‍රතිපලය වූයේ ඔඩිෂා ප්‍රාන්තයයි. එය පිහිටුවනු ලැබුයේ 1936 අප්‍රේල් 1 වැනිදා ය. මෙය සිදු වූයේ ප්‍රාදේශීය භාෂා සහ සංස්කෘතික අනන්‍යතාවයන් විශාල ගණනක් හරහා ගොඩ නැගුණු, ඉන්දියාවේ අනෙතුත් ප්‍රදේශවලද ක්‍රියාත්මක වූ වඩා පුළුල් ජාතිකවාදී ව්‍යාපාරයක් හරහාය.

1947 වසරේදී ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසුව සම්ප්‍රදායික නර්තන ක්‍රම හතරක් ප්‍රකාශයට පත් කරන ලදී. ඒවා නම් භරතනාට්‍යම්, කතක්, කතකලි සහ මනිපූරි ය. මෙම නර්තන ක්‍රම නව ඉන්දියානු ජාතිය නියෝජනය කරන නර්තන සම්ප්‍රදායන් ලෙස සැලකිණ. ඒ සමග 1947 සිට 2000 වසර දක්වා වූ දශක කිහිපය තුළ 1953 වසරේදී පිහිටුවනු ලැබූ ඉන්දියානු සංගීත, නර්තන සහ නාට්‍ය ඇකඩමිය වූ සංගීත් නටක් ඇකඩමිය විසින් තවත් නර්තන සම්ප්‍රදායන් හතරක් ඉන්දියානු සම්ප්‍රදායික නර්තන සම්ප්‍රදායන් අතරට එක් කරන ලදී. ඒවා ඔඩිසි, කුචිපූඩි, මොහිනියත්තම්, සත්ත්‍රිය යන නර්තන සම්ප්‍රදායන් හතරයි.

ඔඩිසි නර්තන සම්ප්‍රදායට එම පිලිගැනීම ලැබුණේ 50 දශකයේදීය. ඔඩිසි යන නම පවා ඊට භාවිත වන්නට පටන් ගත්තේ පනහේ දශකයේ අග භාගයේදී එය වැඩිදියුණු වන්නට පටන් ගැනීමත් සමගය.

ඔඩිසි- ඩිජිටල් යුගය

90 දශකයේදී ඇති වූ ආර්ථික ලිබරල්කරණය සමග ඉන්දියානු සම්ප්‍රායික නර්තන සඳහා ලැබුණු ප්‍රතිපාදන ජාල වැඩිදියුණු විය. නව පෞද්ගලික සහ ආයතනික ජාල නර්තන සම්ප්‍රදායන් ආරක්ෂා කර ගැනීමට අනුග්‍රාහකත්වය දක්වන්නට පටන් ගත්තේය. ඉන්දියාවෙන් පිටත ඔඩිසි නැටුම් සඳහා විශාල ම ප්‍රේක්ෂකාගාරය සෑදුණේ දිනෙන් දින වර්ධන වන ඉන්දියානු ඩයස්පෝරාවක් සහිත උතුරු ඇමෙරිකාවේය. ජාත්‍යන්තර වේදිකාවේ ඔඩිසි නැටුම් ප්‍රසංග සදහා අවශ්‍ය සහයෝගය ඔවුන්ගෙන් ලැබෙන්නට විය. ඒකල නර්තන ශිල්පිණියන් වෙනුවට නාට්‍ය කණ්ඩායම් සහිත ප්‍රසංග සඳහා ඉල්ලුම අධික විය.

ඒ අනුව, 21 වැනි සියවසේදී ඔඩිසි නර්තන සම්ප්‍රදාය පවත්වාගෙන යාම වෙනුවෙන් විශාල දායකත්වයක් සැපයූ නර්තන ශිල්පීන්ගේ වැඩි වීමක් මේ කාලය තුළ සිදු විය. 1990 වසරේදී ප්‍රොතිමා ගෞරි විසින් ඔඩිසි ඇතුළු සම්ප්‍රදායික නැටුම් කලාවන් සදහා වෙන්වූ ගම්මානයක් බැංගලෝරයේ හෙසාරගත්තා ප්‍රදේශයේ ගොඩ නගන ලදී. එය ‘න්රිත්‍ය ග්‍රාම්’ ලෙස හැඳින්විණ. 1998 වසරේදී ඇගේ අභාවයෙන් පසුවත් න්රිත්‍ය ග්‍රාම් දිගෙන් දිගටම වර්ධනය විය. ගුරුකුලයක් ලෙස ඇරඹුණු න්රිත්‍යග්‍රාම් අද ජාත්‍යන්තර වේදිකාව මත නර්තන ප්‍රසංග පවත්වන නර්තන ආයතනයකි. ආධුනික නර්තන ශිල්පිණියන් සදහා නර්තන වැඩමුළු ද පැවැත්වෙන එහි අද ප්‍රවර්ධන කටයුතු සිදු වන්නේ සමාජ මාධ්‍ය හරහාය.

පහත දැක්වෙන්නේ අප විසින් 2017 වසරේ අප්‍රේල් මාසයේදී බැංගලෝරයේ න්රිත්‍යග්‍රාම් වෙත කළ සංචාරයකින් පසුව ඒ අළලා සංචාරාඛ්‍යානයක් ලෙස ලියැවුණු ලිපියකි. මෙම ලිපිය මුල් වරට 2017 වසරේ මැයි මස 02 වැනිදා ලක්බිම ඉරිදා සංග්‍රහයේ පළ විය.

නැටුම් භාවනාව උගන්වන බැංගලෝරයේ නැටුම් ගම

පසුගිය සිංහල- දෙමළ අලූත් අවුරුදුදාට පසු දා අපි බංගලෝර් නගරයෙන් කිලෝමීටර තිහක් පමණ ඈත ගමකට කුලී රථයකින් යමින් සිටියෙමු. අපගේ ගමනාන්තය වූයේ ඉන්දියාවේ ප‍්‍රකට නැටුම් ගම්මානයක් වූ න්රිත්‍යග‍්‍රාම් ය. අන්තර්ජාලයේ පළවූ විස්තරයකට අනුව එය ඉන්දියාවේ ඉපැරණි ගුරුකුල ක‍්‍රමයට පිහිට වූ පළමු නවීන නැටුම් පාසලය. එහි ප‍්‍රධාන වශයෙන් උගන්වන්නේ ඉන්දියාවට ආවේණික ඔඩිසි නම් සම්ප‍්‍රදායික නැටුම් කලාවයි. ඈත අතීතයේදී මෙන් මෙහි නැටුම් උගන්නා සිසුහු නේවාසිකව නැවතී උදේ සිට හවස් වන තුරු, ඉරු දින හැරෙන්නට අවුරුද්දේ හැමදාමත් ගුරුවරුන්ගෙන් ශිල්ප ලබති. සිසුන් මෙන්ම ගුරුවරුද මෙහි නේවාසිකයෝ ය. නැටුම් පාසල පිහිටුවා ඇත්තේ අක්කර කිහිපයක විහිදෙන ගමක් හැටියට ය.

න්රිත්‍යග‍්‍රාම් බලන්නට යාමේ ආසාව මගේ සිත තුළ අවුළුවන ලද්දේ එකී විස්තර ටික ය. ඉන්දියාවේ පොහොසත් කලා සංස්කෘතික පසුබිමෙන් බිදක්වත් එහිදී දැක බලා ගත හැකි වේ යයි මගේ සිත කීවේය. එහෙත් ඒ පහන් සිතුවිල්ල සුන්නද්¥ලි කරමින් නවීන ක‍්‍රමයට ජංගම දුරකථනයේ ස්ථාපනය කළ ඇප්් එකක් මගින් මග සොයාගෙන යමින් සිටි කුලී රථ රියැදුරා ගමනාන්තයට ළං වන විට අපට බැන වදින්නට පටන් ගත්තේය.

‘‘මෙච්චර ගමක් අස්සට යනව කියල දන්නව නං මේ ගමන එන්නෙත් නෑ’’

කන්නඩ භාෂාවෙන් සහ කැඩිච්ච ඉංගිරිසි බසින් ඔහු කළ බැනුම සම්පිණ්ඩය කළ විට එසේය. අප යමින් සිටි හෙසාරගත්තා ගමට බංගලෝර නගරයේ සිට ඇති කිලෝමීටර ප‍්‍රමාණය සාපේක්ෂව අඩු වුවත්, එය පිහිටියේ ඔහුගේ ගමන් වපසරියෙන් සම්පූර්ණයෙන් පරිබාහිර, බස් පාරකටත් සෑහෙන දුර ආ යුතු පිටිසර ප‍්‍රදේශයක ය. ඉතින් ඔහුගේ නොඉවසිල්ල එක් අතකට හරි ය. අන්තිමේදී න්රිත්‍යග‍්‍රාම් (Nrityagram) යනුවෙන් ලොකු යකඩ ඉංග‍්‍රීසි අකුරු පෙළක් සවි කර ඇති අමුතු තාලේ තාප්පයක් සහ ප‍්‍රවිශ්ඨ දොරටුවක් ළග රථය නැවතුණේය. වාහන හඩක්වත් නොඇසෙන, කුරුලූ හඩ පමණක් ඇසෙන ගහ කොළවලින් සෙවණ වූ ඒ පරිසරය කලබල පරිසරයක සිට පැමිණෙන කෙනෙකුගේ සිත සැණෙකින් සමාධි ගත කරවන්නට සමත්ය. මට රියැදුරාගේ බැනුම අමතක විය. බැංලෝරයේදී හමුවූ එක්තරා ඉන්දියානු මිතුරෙකු කී කතාවක් සිහි විය.

‘‘නැටුම කියන්නේ එක්තරා විදිහක භාවනාවක්’’

න්රිත්‍යග‍්‍රාම් නැටුම් ගම්මානය පිහිටුවා ඇත්තේද එකී භාවනාවට සරිලන පරිද්දෙනි. ඉතින්, එය මෙවැනි පිටිසර පෙදෙසක පිහිටුවා ඇත්තේ ඇයි දැයි සිතමින් ආ ප‍්‍රශ්නයට පිළිතුරක් වාහනයෙන් බසින විට ම අපට ලැබී තිබිණි. අනෙක එහි ඇති ගොඩනැගිලි සියල්ල නිමවා ඇත්තේ මැටි, පොල් අතු, තල් කොළ, ගඩොල් සහ ගල් වැනි දේශීය ගොඩනැගිලි අමුද්‍රව්‍ය උපයෝගී කර ගනිමිනි. ඒ ගොඩනැගිලි ඉතා කලාත්මකය. සිත පහන් කරවන සුලු ය. එය දකින විට අපේ රටේ චූන් පාන් සංගීතය අසමින්, කොන්ක‍්‍රීට් නෘත්‍ය ශාලාවල නැටුම් කලාව ඉගෙන ගන්නා තරුණ තරුණියන් ගැන මට දැනුණේ අප‍්‍රමාණ දුකකි.

අපට දැන ගන්නට ලැබුණු හැටියට වර්ෂ 1990දී මේ නැටුම් ගම ආරම්භ කළේ ප්‍රොතිමා ගෞරි නම් ඔඩිසි නර්තන ශිල්පණිය විසිනි. දැන් මෙහි ගුරුවරුන් ලෙස හිදින්නේ අවුරුදු විසි පහකටත් පෙර මෙහි පැමිණ ඇගෙන් උගත් ශිෂ්‍යාවන් ය. තවමත්, අවුරුදු පතා ඉන්දියාවේ හතරදිග්බාගයෙන් මෙන්ම වෙනත් රටවලින් ද මෙහි නැවතී නැටුම් ඉගෙන ගන්නට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එති. අප එහි ගිය දිනයේද ඔවුන් සදහා නැටුම් පන්ති පැවැත්වුණු අතර පෙරවරු දහයේ සිට පස්වරු දෙක දක්වා මේ ගමට එන සංචාරකයන්ට එකී නැටුම් පන්ති නැරඹිය හැකි විය. එහෙත් නාටිකාංගනාවන්ගේ නැටුම් නමැති භාවනාවට කිසියම් ම හෝ අයුරක බාධාවක් නොකරන කොන්දේසිය පිට ය.

එකී කොන්දේසියට අවනත වූ අපට නැටුම් ගම්මානයේ එක් කෙළවරක තිබුණු හුදෙකලා ගොඩනැගිල්ලකිදී ඉන් එක් නැටුම් පන්තියක් දැක ගත හැකි විය. වර්ණවත් කපු සාරිවලින් සහ දිගු කලිසම්වලින් සැරසුණු ලලනාවෝ තිදෙනෙක් එහි නැටුම් පුහුණු වෙති. ඔවුන්ගෙන් දෙදෙනෙකු ඉන්දියානු යුවතියන් ය. අනෙකා යුරෝපීය පෙනුමක් ඇති යුවතියකි. නිසැකව ඇය ඉන්දියානු නැටුම්වලට පෙම් බදින බටහිර රටක යුවතියක් විය හැකිය. පන්තිය ඉදිරියෙන් බිම වාඩිවී ලී කැබැල්ලකින් තවත් ලීයකට තට්ටු කරමින් ඔවුන්ගේ තාලය අල්ලන්නේ රූමත් ගුරුවරියකි. වරද්දා වරද්දා නැටුමේ මූලික අඩියක් පුරුදු වන ඔවුන්ට ගුරුවරිය වරින්වර උපදෙස් දෙන්නේ ඉංග‍්‍රීසි බසිනි.

ඒ පන්තියට එහායින් ඇති දැවැන්ත තුරු වියන යටින් දිවෙන ගල් අල්ලා තැනූ මං පෙතකි. එහි දෙපස පිහිටන, ඉන්දියානු ගැමි අනන්‍යතාවය පෙන්වන අමුතු හැඩයේ නිවහන් මෙහි වෙසෙන නාටිකාංගනාවන්ගේ නිවස්න විය යුතු ය. නර්තන සමාධියේ යෙදෙන්නන්ට ගැලපෙන පරිදි මේ නැටුම් ගමේ ගොඩනැගිලි නිර්මාණය කළේ ඉන්දියාවේ ප‍්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ ජෙරාර්ඞ් ඩා කුන්හා විසිනි. ඔහුගේ ගෘහ නිර්මාණ කලාවෙහි අසිරිය නරඹමින් යන විට අසළ නිවස්නයකින් මද්දල හඩක් සහ බට නළා හඩක් නැගේ. න්රිත්‍යග‍්‍රාම් හි වාද්‍ය වෘන්දය පුහුණුවීම් අරඹා ඇති හැඩ ය.

ඒ හ`ඩ ඇසෙන-නෑසෙන දුරකින් පිහිටි විශාල නැටුම් ශාලාවක් වෙත අපේ දෙපා ඉබේටම ඇදෙමින් තිබිණි. ගල් සහ ගඩොලින් බැදි ඒ නැටුම් ශාලාවේ ඇත්තේ ඔප දැමූ ලී පොළොවකි. අලංකාර කපු සාරියකින් සැරසුණු නාටිකාංගනාවක් සංගීත වාදනයක් සමග එහි හඩ නැගෙන සේ පය වද්දමින් තනිව නර්තයේ යෙදෙන්නීය. ඇය නටන්නේ අපට පිටුපා ශාලාවේ අනෙක් පස බිත්තියක සවි කර ඇති කැඩපතක් දෙස බලාගෙන ය. අපි නිහඩව ඒ අසළ බිම වාඩිවී ඇයගේ නැටුම නරඹන්නට වීමු. තරුණ විය ඉක්මවා මැදි වියට ළං වෙමින් සිටින මුත් ඉතා හැඩකාර සිරුරක් ඇති ඇය නම් පළපුරුදු නර්තන ශිල්පිණියක විය යුතුය. ඒ වන තෙක් මගේ සිතේ ඇදී තිබුණේ ඔඩිසි යනු භරත නාට්‍යම් වාගේම නර්තන ශිල්පයක් කියාය. යම් යම් සමානකම් දැනුණත් මේ නාටිකාංගනාව දෙස සැලකිල්ලෙන් බලා සිටින විට ඔඩිසි යනු ඊට වඩා වෙනස් නැටුම් සම්ප‍්‍රදායක් බව තේරුම් ගන්නට අපහසු නැත. ගෙලත්, ඉගත්, දණහිසත් රිද්මයානුකූලව නවමින් නර්තනයේ යෙදීම මේ නැටුම් ක‍්‍රමයට ආවේණික ලක්ෂණයකි. ඉපැරණි ඉන්දියානු ප‍්‍රතිමාවල දකින්නට ලැබෙන ආකාරයට, සිරුරේ බර එක් පයකට යොමුකරමින්, ඉංග‍්‍රීසි S අකුර මෙන් වක‍්‍රාකාරවූ කාන්තා සිරුරේ හැඩය දක්වන ඉරියව් ඇත්තේ මේ නැටුම් ක‍්‍රමයේ පමණ ය. ඇය දෙස බලා සිටින විට සිතෙන්නේ බංගලෝරයේ ඉපැරණි කෝවිලකදී අප දුටු එවැනි ශෛලමය ප‍්‍රතිමාවකට පණ ඇවිත් වාගේ යැයි කියාය. භරත නාට්‍යම්වලට වඩා ඔඩිසි කෙරෙහි මගේ සිත පේ‍්‍රමයෙන් බැ`දීමට හේතු වූයේත් මේ නැටුම් ක‍්‍රමයේ එන වචනවලින් විස්තර කළ නොහැකි ඒ රිද්මයානුකූල ලාලිත්‍යය බව මට සිතේ. ඒ පේ‍්‍රමය අපේ සිත් තුළ දල්වන ලෙස නර්තනයේ යෙදුණු මේ ශිල්පිණිය නැටුම් ගමේ ප‍්‍රධාන ගුරුවරිය සහ කලා අධ්‍යක්ෂවරිය වන සුරූපා සෙන් බව අපි පසුව දැනගත්තෙමු. සුරූපා මීට අවුරුදු විසි පහකට පෙර මෙහි පැමිණ තුන් අවුරුදු නේවාසික පූර්ණ කාලීන නැටුම් පාඨමාලාව හදාරා ඇත්තේ නැටුම් ගමේ නිර්මෘතෘවරිය වන ප්‍රොතිමා ගෞරි යටතේ ය. 1997 වසරේදී න්රිත්‍යග‍්‍රාම්හි කලා අධ්‍යක්ෂවරිය බවට පත් වන ඇය ඉන්පසු මුළු ජීවිතයම කැප කර ඇත්තේ ඔඩිසි ගුරුකුලය පවත්වාගෙන යන මේ නැටුම් ගම වෙනුවෙනි.

සුරූපා ප‍්‍රගුණ කළ වත්මන් ඔඩිසි නැටුමේ ආරම්භය ක‍්‍රි. පූ 2 වැනි සියවස තෙක් දිව යයි. එය මුල්වරට ඇරඹි ඇත්තේ ඉන්දියාවේ නැගෙනහිර වෙරළබඩ ඔඩිෂා (ඔරිස්සා) ප‍්‍රාන්තයේ ය. ජගන්නාත් දෙවියන් වෙනුවෙන් කෝවිල් සහ දේවස්ථානවල කාන්තාවන් විසින් පුජාවක් ලෙස පවත්වන ලද නැටුම්වලින් එය බිහිවුණු බව විශ්වාස කළ හැකිය. සියවස් ගණනාවක් තිස්සේ පරිණාමය වෙමින් පැවත ආ ඔඩිසි නැටුම දැන් අප දකින ආකාරයට ප‍්‍රතිනිර්මාණය වුණේ අවුරුදු හැටකට පමණ පෙර ය. සුරූපා ඇතුළු න්රිත්‍යග‍්‍රාම් හි ගුරුවරුන් කරන්නේ එය නොනැසී ඉදිරි පරම්පරාව වෙනුවෙනුත් පවත්වාගෙන යාම ය.

පැය කාලක් පමණ නැටුමෙහි යෙදෙන සුරූපා එය නවතා සිරුරේ නම්‍යශීලී බව පෙන්වන යෝගා ව්‍යායාම්වල යෙදෙන විට වාද්‍ය වෘන්දය පැමිණ ශාලාවේ පසෙක එලා ඇති පැදුරුවල වාඩි වෙති. එයට මද්දල බෙරය, වස්දඩුව, සහ සර්පිනාව වයන්නකු ඇතුළත් වෙයි. ඒ සමග තවත් නාටිකාංගනාවන් සිව් දෙනෙක් ද ශාලාවට ඇතුළු වෙති. නියම නැටුම් පන්තිය පටන් ගන්නේ දැන් ය. මෙතෙක් වේලා තිබී ඇත්තේ සිසුන් එන්නට කලින් ප‍්‍රධාන ගුරුවරිය කළ ස්වයං පෙර පුහුණු වීමකි.

සුරූපා ද වාද්‍ය වෘන්දය අසළින් බිම වාඩි වූ පසුව නාටිකාංගනාවන් සිව් දෙනාම ඇය ළගට පැමිණ ආචාර කරති. ඉන් එක් අයෙකු වන්නේ සුරූපා සෙන් ළගට මෙහි සිටින පැරණිතම ගුරුවරිය වන බිජායිනි සත්පති ය. අප මුලින් ම දුටු නැටුම් පන්තියේ ආධුනික ශිෂ්‍යාවන් පුහුණු කළ පවිත‍්‍රා රෙඞී අනෙක් ශිල්පිණියයි. ඉතිරි දෙදෙනා මෙහි නැටුම් පාඨමාලාව හදාරන පළපුරුදු ශිෂ්‍යාවන් ය. ආචාර සමාචාරවලින් පසුව මද්දල, වස්දඩුව සහ සහ සර්පිනාව වැයෙන්නට පටන්ගනී. ගුරුවරියන් දෙදෙනා සහ ශිෂ්‍යාවන් දෙදෙනා නැටුමට අවතීර්ණ වෙති. ඔවුන්ගේ පාද තැබුමට තාලය අල්ලමින් තාලම්පොට වයන්නී සුරූපාය. මද්දල බෙරයේ හ`ඩට ඔවුන්ගේ පා තැබෙන විලාසය අපට ලංකාවේදී දුටු මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ශෛලිගත නාටකයක් මොහොතකට සිහිපත් කරන්නේය. එය වඩාත් තීව‍්‍ර කරමින් සර්පිනාව වයන වාදකයා කන්කළු හඩින් සුමධුර ගීයක් ද ගයන්නට පටන් ගනී. නාටිකාංගනාවන්ගේ සුළලිත සිරුරු විවිධ ඉරියව්, මුද්‍රා සහ අභිනවලට අනුව නැලවෙන්නට පටන් ගනී. තරුණ විය ඉක්මවා සිටින ගුරුවරියන් දෙදෙනාගේ ලාලිත්‍යය තරුණ සිසුවියන් දෙදෙනාට දෙවැනි නැත. ජීවිතයේ පළමු වතාවට ඔඩිසි නැටුම් නරඹන අපි එහි අත්‍යාලංකාර, ළයාන්විත රිද්මය දෙස බලමින් සිත ඒකාත්මික කර ගන්නෙමු.

න්රිත්‍යග‍්‍රාම් නර්තන ශිල්පිණියන් ඒ පුහුණු වීම කරන්නේ මුම්බායි නුවරදී පැවැත්වෙන නැටුම් සංදර්ශනයකට සහභාගි වීමට බව දැන ගන්නට ලැබුණේ නැවත සම්බන්ධීකරණ කාර්යාලය වෙත ආපසු ය. ‘‘අපේ ෆේස්බුක් පිටුවටයි, වෙබ් සයිට් එකටයි ගියොත් මෙහෙ වැඩසටහන් ගැන වැඩි විස්තර දැන ගන්න පුළුවනි’’ යි අප හා කියන්නී සල්වාර් ඇදුමකින් සැරසුණු එහි සම්බන්ධීකරණ නිලධාරිනියයි. ඒ අනුව සුරූපා, බිජායිනි ඇතුළු න්රිත්‍යග‍්‍රාම් නර්තන ශිල්පනියන් අන්තර්ජාතික වේදිකාවලද රැුගුම් ඉදිරිපත් කිරීමෙන් ඉමහත් ප‍්‍රසිද්ධියට පත්ව සිටින බව මා දැන ගන්නේ එකී වෙබ් අඩවි හරහා ය. ජාත්‍යන්තර වේදිකාවට ගියත්, නැටුම් ගම පිහිටි හෙසාරගත්තා ප‍්‍රදේශයේ වෙසෙන දරු දැරියන්ට නොමිලේ නැටුම් පන්ති පැවැත්වීමටද ඔවුහු අමතක නොකරති.

– කත්‍යානා අමරසිංහ

Image courtesy – watercolor on wet paper by A. Abel from https://lisaghistoryandme.wordpress.com

න්රිත්ය ග්‍රාම් ඔඩිසි නර්තන


තොරතුරු මුලාශ්‍ර

1. https://www.sahapedia.org/brief-history-odissi-dance
2 https://www.indiatimes.com/explainers/news/who-are-devadasis-their-history-and-current-status-587888.html
3. https://nrityagram.org/

Share This Article
Leave a comment