‘අප නිහඬ කළ නොහැක’

විමර්ශී
15 Min Read

– 1987 වසරේ බ්‍රිතාන්‍ය දෙමළ සරණාගතයන්ගේ ඓතිහාසික සටන

1987 ඔක්තෝබර් 15 වැනිදා එක්සත් රාජධානිය, ප්‍රංශය සහ චැනල් දූපත් මහා කුණාටුවකින් පීඩා ලැබුවේය. පාරවල් සහ දුම්රිය මාර්ගවල ගස් කඩා වැටී අවහිර වූ අතර, බොහෝ නිවෙස්වල වහල සහ ජනේල කැඩී බිඳී ගියේය. බ්‍රිතාන්‍යයේ  ජාතික විදුලි පද්ධතියටද විශාල හානි පැමිනුණෙන් බොහෝ ප්‍රදේශවලට විදුලිය අහිමි විය. කොහොම නමුත්, වඩා වැදගත්ම දෙය වන්නේ මෙම කුණාටුව නිසා ‘අර්ල් විලියම්’ නමැති නෞකාවක රඳවා සිටි සරණාගතයන් තිහකට අධික පිරිසකට  ඉන් බේරී පලා යන්නට හැකි වීමයි.

පලා ගිය සරණාගාතයන්ට නැවත අත්අඩංගුවට පත් නොවී සිටීමට හැකි වූ අතර බ්‍රිතාන්‍යයේ  එවක  ස්වදේශ කටයුතු ලේකම් ඩග්ලස් හර්ඩ්ට  ඔවුන් ‘තාවකාලික ඇතුළත් කිරීමකට’ ලක් කිරීමට බල කරමිනි. කෙසේ නමුත් නෞකාවේ රැඳී සිටි සරණාගතයන් පිටුවහල් කරන ලද අතර, ඔවුන්ට තවදුරටත් වද බන්ධනවලට ලක් වී, දිග්ගැස්සුණු විශාල නීති සටනකින් අවුරුදු දෙකකට පසු බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ලබා ගත හැකි විය.

තැචර් ආණ්ඩුව විසින් ‘අර්ල් විලියම්’ නමැති යාත්‍රාව සරණාගත රැඳවියන්ගේ සිර මැදිරියක් ලෙස පාවිච්චි කිරීමට තීරණය කළේ 1987 ගිම්හාන සමයේදීය. මෙම නෞකාවේ ඉතියෝපියාව, ඉරානය, සෝමාලියාව ආදී රටවලින් පැමිණි අවදානමට ලක්වූ මිනිසුන් 120 ගණනක් සිටියද එහි වැඩිපුරම (60 දෙනෙකු පමණ) සිටියේ (ලංකාවෙන් පළා ගිය) දෙමළ ඊළම් සරණාගතයන්ය. ‘නෞකා සිරමැදිරියේ’ එක ගොඩේ මිනිසුන් ගාල් කර තැබීම සහ සනීපාරක්ෂක තුවා ද ඇතුළු ව ප්‍රතිපාදන හිඟකමක් පිළිබඳ ගැටළු ඔඩු දිවීම වැනි නෞකාවේ තත්වයන් නිසා එය ‘සිරමැදිරි නෞකාවක්‘ ලෙස විවේචනයට ලක් විය. දිවි නසා ගැනීමට පෙළඹීමේ අවදානම නිසා රැඳවියන් නැවේ එළිමහන් තට්ටුවලට යෑමේ ඉඩ අවුරමින් ඔවුන්ගේ කුටිවල උදෑසන හතේ සිට පස්වරු අට තෙක් අගුළු ලා රඳවා ගනු ලැබිණි. කණගාටුදායක ලෙස ඇතැමුන් දිවි හානි කර ගත් අතර, රඳවාගැනීමට විරුද්ධව අනෙක් අය උපවාසයක් ආරම්භ කළහ.

බ්‍රිතාන්‍යයේ පළමු කළු ජාතික මන්ත්‍රීවරිය වන, එවක අලුතෙන් පත්ව සිටි ඩියෑන් ඇබට් එරට කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරුන් වන ජෙරමි කෝබින් සහ හැරී කොහෙන් සමග නෞකාවට ගොස් විරෝධතාවල යෙදෙන සරණාගතයන් හමු වූවාය. බ්‍රිතාන්‍ය පුරවැසියන්ට ආමන්ත්‍රණය කරන බැනර එහිදී ප්‍රදර්ශනය විය. ‘ බ්‍රිතාන්‍ය පුරවැසියනි, අපට මිය යන්නට ඉඩ නොදෙන්න’ ඒවායින් කියැවිණි. ඔවුන් හමු වීමට ගිය ගමන ගැන සිහි කරමින් ඇබට් ‘මිරර්’ පුවත්පතට අදහස් ලබා දුන්නේ මෙසේය.

“මම ඒ නෞකා සිරමැදිරියට ගිය ගමන ගැන හොඳින් මතකයි. […..] දෙමළ තරුණයන් විශාල පීඩනයකයි හිටියේ. ඒක ඉතාම අමානුෂික තත්ත්වයක් සහ මට ඔවුන් ගැන තද කණගාටුවක් දැනුණා. නැව ඇතුළෙ තත්ත්වය ඉතාම දුක්ඛිතයි. එහි එක ගොඩේ මිනිසුන් ගාල් කර තිබුණා”

ශ්‍රී ලංකාවේ වර්ගවාදී ප්‍රචණ්ඩත්වයෙන් බේරීම සඳහා දමිළ සරණාගතයෝ පළා යමින් සිටියහ. රාජ්‍ය අනුග්‍රහය ලැබූ සිංහල දාමරිකයන් 1983 ජූලි මසදී දෙමළ නිවෙස් සහ ව්‍යාපාර ස්ථාන බිමට සමතලා කළහ. දළ වශයෙන් දෙමළ සිවිල් වැසියන් 3000ක් පමණ ඔවුන් අතින් ඝාතනයට ලක් විය.

අවුරුදු දෙකකට පසු ශ්‍රී ලංකාවෙන් පැමිණෙන සංක්‍රමණිකයන් සඳහා වීසා බලපත් නීති තද කිරීමට රජය පියවර ගත්තේය. එම අවුරුද්දේදී ම ශ්‍රී ලංකාවේ සංචාරය කළ එවක බ්‍රිතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර් ‘ත්‍රස්තවාදීන්ට’ විරුද්ධව ‘දැඩි ක්‍රියාමාර්ග’ ගන්නා බව නිවේදනය කළාය.

මැයි මාසයේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී කෝබින් තැචර්ව අභියෝගයට ලක් කළේ ලංකාවේදී බ්‍රිතාන්‍ය කුලී හමුදාවන්ගේ කාර්යභාරය පිළිබඳව විමසමිනි.

“යාපනයේදී හමුදාව හරහා මර්දනය දියත් කිරීමටත්, මිනිසුන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කිරීම දිගටම කරගෙන යාමට උදව් දීමටත්  රජය සෑහෙන තරම් සූදානම් වුණා.
අප්‍රේල් හතර වෙනිදා ‘දි ඔබ්සර්වර්’ පුවත්පතේ වාර්තාවකට අනුව ශ්‍රී ලංකා රජය විසින් අනුයුක්ත කරන ලද පොලිස් විශේෂ කාර්ය බලකායේ කමාන්ඩෝ සෙබලුන් හිටපු බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ නිලධාරීන් විසින් පුහුණු කරනු ලැබුවා. එක්සත් රාජධානිය දිගින් දිගටම මීට ආධාර දුන්නා. අගමැතිනිය (ශ්‍රී ලංකාවේ) වික්ටෝරියා වේල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වී තවත් ආධාර දෙන බවට පොරොන්දු වුණා. මිලිටරි පුහුණුව පිලිබඳ එකඟතාවක් පැවති අතර  බ්‍රිතාන්‍ය රජය විසින් මෙම රටේ (ශ්‍රි ලංකාවේ) පොලිස් පුහුණුව සඳහා ආධාර කරනු ලබනවා.”

කම්කරු පක්ෂයේ මන්ත්‍රීන් කිහිප දෙනෙකුගේ සහයෝගය මේ ආකාරයට ලැබුණත් ඊළම් දෙමළ ජනයාට බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය ජනතාවගෙන් ලැබුණේ දැඩි විරෝධයකි. සාමාන්‍ය ජනතාව සම්මුඛ සාකච්ඡාවට බඳුන් කළ මාධ්‍යවේදීන් බ්‍රිතාන්‍ය  නව යොවුන් තරුණයන් ‘පකී’ නමින් හැඳින්වූ සංක්‍රමණිකයන් තමන්ගේ නගරයේ දකින්නට අකමැති වීම පිළිබඳ වාර්තා කළහ. එක්තරා සේලරුවෙක් යෝජනා කර සිටියේ ඔවුන් ‘ඉංග්‍රීසි ඕඩය දිගේ රැගෙන ගොස් මුහුදට දැමිය යුතු’ බවය. 1986 නොවැම්බරය වන විට මෙම විරෝධතාව ප්‍රචණ්ඩත්වයක් දක්වා වර්ධනය විය. එක්සත් රාජධානියේ බර්ජෙස් පාරේ ලියුම් පෙට්ටියක් හරහා එවූ පෙට්‍රල් බෝම්බයක් පුපුරා යාමෙන් දෙමළ සංක්‍රමණිකයන් තිදෙනෙක් මිය ගියහ.

“දෙමළ සංක්‍රමණිකයන්ට කොතැනක ගියත් මේ ප්‍රචණ්ඩත්වයේ ගිනි සිළු මතකයෙන් පලවා හැරිය නොහැකි විය” ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන ෆිල් මිලර් ලියා තැබුවේය.

අපව නිහඩ කළ නොහැක – දෙමළ විරෝධය

තැචර් පාලනයට විරුද්ධව පැන නැගි දෙමළ විරෝධය ආකාර කිහිපයකින් ක්‍රියාත්මක විය. 1987 මැයි මාසයේදී අර්ල් විලියම් නෞකාවේ රඳවා ගනු ලැබූ රැඳවියන් පිරිස කාන්තාවන් 24 දෙනෙකු සහ ළමයින් 9 දෙනෙකුගෙන් සමන්විත දෙමළ ජාතිකයන් 64 දෙනෙකුගේ කණ්ඩායමට අයත් විය. එහෙත් බලධාරීන්ට ඔවුන් සියලු දෙනා එකට පිටුවහල් කළ නොහැකි විය.

එසේ වූයේ ඔවුන්ගේ ‘ට්‍රවුසස් ඩවුන්’ විරෝධතාව සාර්ථක වීම නිසාය. එනම් පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාව බලා යන ගුවන් යානයකට ඔවුන් (පිටුවහල් කරනු ලැබූ සරණාගතයන්) බලහත්කාරයෙන් නංවන්නට යාමේදී හීත්රෝ ගුවන් පථය තුළදී ඔවුන් විසින් ඇඳුම් ගලවා කරනු ලැබූ විරෝධතාවයි.ඒ අතර (ලන්ඩනයේ) ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දෙමළ සරණාගතයන්ගේ විශ්වසනීය බව ප්‍රශ්න කරමින් ඔවුන් විවේචනය කළේ ඔවුන් එරටට පැමිනුණේ තනිකරම ආර්ථික ලාභය සොයාගෙන බව කියමිනි.

“ඔවුන් මෙරටට පැමිණියේ වෙන කිසිවක් නිසා නොව මුදල් සෙවීම පිණිසයි. ඔවුන්ට මෙහි සිටින්නට අවසර දුනහොත් ඔවුන්ට සියලු සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලැබිය හැකිය. දරුවන් පාසල්වලට යැවිය හැකිය. නොමිලේ මෙහි විසිය හැකිය.”දෙමළ සංක්‍රමණික ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටියේ බ්‍රිතාන්‍ය  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් කිහිප දෙනෙකු පමණි. 1987 මාර්තු මස 6 වැනිදා කෝබින් මෙසේ ප්‍රකාශ කළේය.

“ඇමතිවරයා සහ පුවත්පත් විසින් දෙමළ සංක්‍රමණිකයන්ට විරුද්ධ වාතාවරණයක් මෙහි ඇති කිරීමට උත්සාහ කරනවා. දෙමළ සංක්‍රමණිකයන්ට විරුද්ධව ඔවුන් විසින්  එල්ල කරන මූලික චෝදනාව වන්නේ ඔවුන් මෙරටට පළා ආවේ ජීවිතවලට එල්ලවූ අවදානමක් නිසා නොවන ව්‍යාජ සංක්‍රමණිකයන් පිරිසක් ලෙස බවයි. දෙවැන්න ඔවුන් මෙහි පැමිණියේ නීති විරෝධී සංක්‍රමණික ක්‍රම හරහා මුදල් උපයා ආර්ථික ප්‍රතිලාභ සඳහා බවයි.”

“අද උදෑසන ශ්‍රී ලංකාවේ මත්ස්‍ය ගොවිපොළක සේවය කරන කෙනෙකුගෙන් මට දුරකථන ඇමතුමක් පැමිණියා. ඔහු ඉතාම සවිස්තරව සහ හැඟීම්බරව මට කියා සිටියේ ටික කලකට පෙර ශ්‍රී ලංකාවේදී සිදුවූ යම් සිද්ධියක් සම්බන්ධවයි. ඔහුගේ ගොවිපොළේ සිට සැතපුම් කිහිපයක් දුරින් මුර සංචාරයේ යෙදෙන භටයන් සහ යම් පුද්ගලයෙකු අතර ඇති වූ ආරවුලක් එයට හේතු වී තිබෙනවා. පසුව හමුදා භටයන් පිරිස කෙළින්ම ගොවිපොළට පැමිණ එහි සේවකයන් 26 දෙනෙකු රැගෙන ගොස් ඔවුන්ට වෙඩි තබා තිබුණේ ශ්‍රී ලංකාවේ අනෙකුත් මිනිසුන් දහස් ගණනින් වෙඩි තැබීම්වලට ගොදුරු කළ ආකාරයටමයි”

“රජය කියන්නේ දෙමළ ජාතිකයන් සත්‍ය සරණාගතයන් නොවන බවයි. එහෙත් ශ්‍රී ලංකාවට නැවත පිටුවහල් කරනු ලැබූ මිනිසුන් එහිදී පීඩාවට ලක් ව ඇති බවට විශාල සාක්ෂි ප්‍රමාණයක්  තිබෙනවා, එක්කෝ හමුදා මගින්, එහෙම නැත්නම් දාමරිකයන්ගෙන්.”

දෙමළ ප්‍රජාවේ සාමාජිකයන් සහ මන්ත්‍රීවරුන් කිහිප දෙනාගේ විරෝධතා නොතකමින් බ්‍රිතාන්‍ය බලධාරීන් දෙමළ ජාතිකයන්ගේ ප්‍රශ්නය තදින්ම නොසලකා හැරියේය.

මාධ්‍යවේදී මිලර් මේ ගැන ලියමින් කළු ජූලියට මසකට පෙර ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එක්සත් රාජධානිය වෙත විශේෂ සංචාරයක් ලැබුණු අතර, එහිදී ඔවුන් දෙදෙනා MI 5 ( බ්‍රිතාන්‍ය  බුද්ධි අංශය) විසින් මෙහෙයවන ලද ත්‍රස්තවාදය වැලැක්වීමේ පාඨමාලාවක් සඳහා යොමු කෙරුණු බව හෙළි කළේය. ඔවුන් දෙදෙනාට මෙට්‍රොපොලිටන් පොලිස් විශේෂ කාර්යාලයට ආරාධනා කර තිබුණේ ‘ශ්‍රී ලංකාවේ දෙමළ ජාතීන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් බිහි කිරීම සඳහා කැළඹිලි ඇති කරන, එක්සත් රාජධානිය තුළ සිට ක්‍රියාත්මක වන සංවිධානවල ක්‍රියාකාරිත්වය’ පිළිබඳ සාකච්ඡා කිරීමට බවත් ඔහු සඳහන් කරයි.

දෙමළ ජාතිකයෝ  තමන් මුහුණ පෑ මෙම ප්‍රශ්න සහ තමන්ට එරෙහි සෝදිසි කිරීමේ පරීක්ෂාවන් නොතකා හරිමින් නිහඬව සිටීම ප්‍රතික්ෂේප කළහ. කළු ජූලියෙන් අවුරුද්දකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝඩ්ස් පිටියේදී ඔවුන්ගේ පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට ආරාධනා ලැබූහ. ඊට ප්‍රතිචාරයක් ලෙස දෙමළ ජාතික ක්‍රියාකාරීහු ලෝඩ්ස්  පිටියට කඩා වැදුණහ.

එම විරෝධතාව පිළිබඳ සිහි කරමින් 47 Roots වෙබ් අඩවිය සඳහා විරෝධතාකරුවෙක් මෙම වසරේ (2020) ජූලි මසදී අදහස් දැක්වූයේ මෙසේය.

“ආපසු හැරී බලන විට මට කිසිම කණගාටුවක් දැනෙන්නේ නැත. මා එය කළේ මගේ ජනතාව සහ මගේ ජාතිය වෙනුවෙනි. ඒ ගැන මම ආඩම්බර වෙමි. අපව වාරණය කිරීමට ඔවුන්ට නොහැකි විය. අපව නිහඬ කිරීමට ඔවුන්ට නොහැකි විය. ඒත් කණගාටුවට කාරණය වන්නේ එයින් අවුරුදු තිස් හයකට පසුවත් මව්බිමේ තත්ත්වය වෙනස් වී නැති වීමයි. හදවතට දැනෙන ලොකුම වේදනාව එයයි.

(සම්පූර්ණ සටහන සහ වීඩියෝව පහතින්)

අර්ල් විලියම් සිද්ධියෙන් පසු

1987 වසරේ ඔක්තෝබරයේ ඇති වූ කුණාටුව බ්‍රිතාන්‍යයේ  කොන්සර්වේටිව් පාක්ෂිකයන්ට මුළුමනින් වෙනස් මගකට හැරෙන්නට බල කළේ  නෞකාවෙන් පිරිසක් පළා ගිය බව පිලිගැනීමට සලස්වමිනි. කෙසේ වුවත් මාධ්‍යවේදී ෆීලික්ස් බැසල්ගෙට්ට අනුව මේ සමාව නොබෝ දිනකින්ම කෙළවර වූ අතර, ස්වදේශ කටයුතු කාර්යාංශය නිදහස් කළ සංක්‍රමණිකයන්ට විරුද්ධව හොර රහසේම නීතිමය පියවර ගැනීම ඇරඹුවේය.

බැසල්ගෙට් තවදුරටත් වාර්තා කරන අන්දමට අර්ල් විලියම් නෞකාවේ රඳවා සිටි 18 හැවිරිදි දෙමළ සරණාගතයකු තවත් දෙමළ ජාතිකයන් සිව් දෙනෙකු සමග ලංකාවට පිටුවහල් කරන ලදී. ලංකාවට පැමිනුණු විගස ඔවුන් සිරගත කර පහරදීම්වලට ලක් කළ අතර ‘ කඩාකප්පල්කාරී  ක්‍රියාකාරකම්වලට ’ සම්බන්ධ වූ බවට පොලිසිය විසින් චෝදනා නගන ලදී. බැසල්ගෙට් වාර්තා කරන ආකාරයට මෙම පීඩාකාරී සැලකීම් ගැන හෙලිදරව් වූයේ ඩේවිඩ් බර්ජෙස් නම් මානව හිමිකම් නීතීඥවරයෙකු ජිනීවා සම්මුතියට අනුගත වීමට නොහැකි වීම පිළිබඳ බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු කාර්යාංශය වගඋත්තරදායකත්වයට යටත් කිරීම පිණිස සාක්ෂි එකතු කිරීමට ලංකාවේ සංචාරය කිරීමෙන් පසුවය.

බර්ජෙස්ගේ වෑයම සාර්ථක වූ අතර දෙමළ ජාතිකයන් පස් දෙනෙකුට නිදහස ලැබිණි. කණගාටුවට කාරණය වන්නේ මෙය හුදෙකලා සිද්ධියක් නොවීමය. යුද ගැටුම් අතරතුර සහ ඉන්පසුවත් ශ්‍රී  ලංකාව තුළදී වධ හිංසාවට ලක් වීම, දූෂණයට ලක් වීම, පැහැර ගැනීම් සහ අනීතික ඝාතනවලට යටත් වීමේ අවදානම පිළිබඳ පැහැදිලි සාක්ෂි තිබියදීත් දෙමළ ජාතිකයන් අඛණ්ඩව පිටුවහල් කිරීම්වලට ලක් විය.

මේ මාසය ආරම්භයේදී ‘ද ටයිම්ස්’ පුවත්පත වාර්තා කළේ එක්සත් රාජධානිය පාවිච්චියට නොගන්නා යාත්‍රා සරණාගත අයදුම්කරුවන් පිළිබඳ ක්‍රියාමාර්ග සඳහා යොදා ගැනීම පිළිබඳව නැවත වතාවක් සලකා බලමින් සිටින බවය.  මෙම යෝජනාවලි සමග සරණාගතයන් ඇසෙන්ෂන් දූපත් වැනි විදෙස් භූමි වෙත යැවීමට හැකියාවක් ඇතිදැයි යන්න විමසා බැලීම් ද සිදු විය.
මෙම යෝජිත ප්‍රතිපත්ති පිළිබඳව අදහස් දක්වමින් අර්ල් විලියම් නෞකාවේ රඳවනු ලැබූ දෙමළ සරණාගතයකු වූ සිවා මෙසේ පවසයි.

“සිවිල් යුද්ධ පවතින සිරියාව වැනි රටවල සිට පණ බේරා ගැනීමේ දැඩි ඕනෑකමින් සාගරය තරණය කරන සරණාගතයන් දකින විට මට දැනෙන්නේ දුකක් සහ තරහක්. (….) මටත් ඒ හා සමාන අවදානම ගැනීමට සිදු වූ කාලය එවිට සිහියට නැගෙනවා. රජයේ සැලසුම් නිසා මිනිසුන් මිය යාමට ඉඩ හරින භයානක සිරමැදිරි බිහි වේවි. ඔවුන්ගේ සිහිය මුළුමනින්ම විකල් වේවි. එය ඉතාම අමානුෂික අදහසක්”

(2020 ඔක්තෝබර් මස දී  Tamil Guardian වෙබ් අඩවියේ පළවූ  The Great Storm of 1987 ලිපියේ සිංහල පරිවර්තනයකි)

 

47 Roots හි පළවූ ලිපිය සහ ඊට අදාළ වීඩියෝව- මෙය ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය මගින් 47 Roots  වෙබ් අඩවියේ පූර්ණ අවසරය මත පළ කරන ලද්දකි.

”ශ්‍රී ලංකාවේ කළු ජූලියේ ප්‍රචණ්ඩත්වය නිමවී අවුරුද්දක් ගත ව තිබේ.  අප ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට ඊට එරෙහි උද්ඝෝෂණයක් කළ මුත් ඊට වඩා වෙනස් දෙයක් කිරීමේ අවශ්‍යතාව අප සතුව පැවතිණි. ඊට වඩා විශාල දෙයක් කිරීමට අපට වුවමනා විය. ක්‍රිකට් ක්‍රීඩාවේ මහ ගෙදර ලෙස සැලකෙන ලෝඞ්ස් ක්‍රීඩාංගනයේදී සිය පළමු ටෙස්ට් තරගය පැවැත්වීමට ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම පැමිණිමට නියමිතව තිබිණි. එය හොඳ අවස්ථාවකි. එහි දී අපට උද්ඝෝෂණයක් කිරීමට නොහැකි ඇයි? එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් වන මුත් අපගේ පණිවිඩය ගෙන යාමට මීට වඩා විශාල වේදිකාවක් වෙනත් තිබේද?

ඉතින් අපි සැලසුමක් සෑදුවෙමු. එනම් (තරගය පැවැත්වෙද්දී) තණතිල්ල වෙතට දිව ගොස් ශ්‍රී ලංකා ආණ්ඩුව දෙමළ ජාතිකයන් වන අපට සලකන අන්දම ගැන කියවෙන පණිවිඩය රැගත් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පිට්ටනියේ වැතිරීමට ය. අප කඩාකප්පල්කාරී වීමට තීරණය කළේ ඒ හරහා අපේ ප්‍රශ්නය පිළිබඳ අවධානය දිනා ගැනීම සඳහා ය.

අපි විරෝධතා පුවරු අපේ ඇඳුම් ඇතුළේ සඟවා සුදුසු වේලාව එනතුරු බලා සිටියෙමු. පිට්ටනිය වටා ම අපේ පිරිස විසිරී සිටියේ හැම පැත්තකින් ම එකවර පිට්ටනියට කඩා වැදිය හැකි නිසාය. ලද අවස්ථාව හැකි තරම් ප්‍රයෝජනයට ගැනීමට අප කල්පනා කළේ අප පිටියට පය තියන විටම අප පසුපස ඔවුන් ලුහුබැඳ එන බව දන්නා නිසාය. කණ්ඩායම් දෙකක් ලෙස ක්‍රියාත්මක වීමට අපි තීරණය කළෙමු. ආරම්භක පන්දුව දැමූ වහාම සහ දිවා ආහාරයෙන් ඉක්බිතිව ආදී වශයෙනි.

මා තරගය නැරඹුවේ නැති තරමය. මගේ සම්පූර්ණ අවධානය තිබුණේ අප කරන්නට යන දෙය පිළිබඳවය. මම කලබල නොවූයෙමි. මෙය සැලසුම් සහගත කාර්යයක් බව සිතුවෙමි. මට අසාර්ථක වීමට නොහැකිය. ඉයන් බොතම් සිදත් වෙත්තමුණිට පහර එල්ල කිරීම සඳහා පන්දු යවමින් සිටි අතර ඒ තරම් වෙනත් වැදගත් අවස්ථාවක් සිතා ගත නොහැකි විය. එය අපේ මොහොතයි. සංඥාව ලැබෙන තුරු මම බලා සිටියෙමි.

ඊලඟට මට මතක මා තණතිල්ල වෙත දිව යනවා පමණි. ඉතිරිය ඇත්තේ බොඳවූ මතකයක් හැටියටය -එහෙත් අපි එය කළෙමු. සේවකයන් අප ඉවත් කිරීමට උත්සාහ කළත් අපි සටන් කළෙමු. එතරම් පහසුවෙන් එය අත්හැරීමට අප සූදානම් ව සිටියේ නැත. අන්තිමේදී අපව ඉවතට ඇදගෙන යනු ලැබූ අතර- අත්අඩංගුවට පවා පත් වී රැයක් සිර ගතව සිටින්නටද සිදු විය.

ආපසු හැරී බලන විට මට කිසිම කණගාටුවක් දැනෙන්නේ නැත. මා එය කළේ මගේ ජනතාව සහ මගේ ජාතිය වෙනුවෙනි. ඒ ගැන මම ආඩම්බර වෙමි. අපව වාරණය කිරීමට ඔවුන්ට නොහැකි විය. අපව නිහඬ කිරීමට ඔවුන්ට නොහැකි විය. ඒත් කණගාටුවට කාරණය වන්නේ එයින් අවුරුදු තිස් හයකට පසුවත් මව්බිමේ තත්ත්වය වෙනස් වී නැති වීමයි. හදවතට දැනෙන ලොකුම වේදනාව එයයි.”
වැඩිදුර කියවීම්:
දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය –
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මාධ්‍යවේදියෝ  (JDS) සංවිධානය මගින් සම්පාදනය කරන ලද කොටස් 7 කින් යුතු ලිපි මාලාව සඳහා පහත සබැඳියට පිවිසෙන්න.
http://www.jdslanka.org/s/index.php/2014-12-20-03-23-33/2016-12-11-17-30-53
Share This Article
Leave a comment