ගුලාම් මොහොමඩ් ; බොලිවුඩය සැඟවූ විශිෂ්ට සංගීත අධ්‍යක්ෂවරයා
තමන්ගේ විශිෂ්ටතම නිර්මාණයේ සාර්ථකත්වය දකින්නට වරම් නොලැබූ, ජාතික මට්ටමේ සම්මානයක් ලැබීමෙන් පසුව ද නොසලකා හැරීම්වලට ලක් වූ බොලිවුඩයේ අවාසනාවන්තම සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස බොහෝ දෙනා ගුලාම් මොහොමඩ් හඳුන්වති.
ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසු කාලවකවානුවේදී බිහිවූ අති දක්ෂතම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයෙකු වන ගුලාම් මොහොමඩ්ගේ අමරණීය සංගීත නිර්මාණ ලෙස ‘පාකීසා’ (Pakeezah) සහ ‘මිර්සා ගාලිබ්’ (Mirza Ghalib) වැනි චිත්‍රපටවල සංගීත නිර්මාණ සඳහන් කළ හැකිය. ඔහුගේ ගීත අදටත් ජනප්‍රියව පැවතුණත්, එම නිර්මාණකරු අද වන විට බොහෝ දෙනෙකුට අමතක වී ගොස් ඇත.
ඔහුගේ මුළු ජීවිතයම දුගී බව හා අගහිඟකම් නිසා දැඩි අරගලයකින් පිරී තිබූ අතර, කමල් අම්රෝහිගේ විශිෂ්ටතම නිර්මාණය වූ ‘පාකීසා’ චිත්‍රපටය තිරගත වීමට වසර කිහිපයකට පෙර, ආහාර සහ ඖෂධ පවා සපයා ගැනීමට අපහසු තත්ත්වයක සිටියදී ඔහු මෙලොව හැර ගියේය. එබැවින් තමන් ලැබූ අතිමහත් සාර්ථකත්වයේ අස්වැන්න භුක්ති විඳීමටද ඔහුට වාසනාව ලැබුණේ නැත.
ගුලාම් මොහොමඩ් 1905 වසරේදී බිකානෙර් හි නාල් ගම්මානයේ උපත ලැබීය. ඔහුගේ පියා වූ නබි බක්ෂ් ප්‍රකට තබ්ලා වාදකයෙකු වූ අතර, ගුලාම් සිය මූලික සංගීත පුහුණුව ලැබුවේ ඔහුගෙනි. පියාගේ මගපෙන්වීම යටතේ ඔහු ඩෝලක්, තබ්ලා සහ පක්වාජ් වැනි සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩ වාදනයෙහි දක්ෂයෙකු විය. සංගීතය වාදනය කරමින් විවිධ ප්‍රදේශවල සංචාරය කළ ඔහු, වරක් ජුනාගාද් ප්‍රාන්තයේදී සිය දක්ෂතා දැක්වූ අතර, එහි සිටි අමාත්‍යවරයෙකු ඔහුගේ වැයීමෙන් කෙතරම් පැහැදුණේද යත්, ඔහුට රන් ආලේපිත කඩුවක් තෑගි කළේය.
1924 වසරේදී ගුලාම් මොහොමඩ් සංගීත ක්ෂේත්‍රයේ වෘත්තියක් අපේක්ෂාවෙන් මුම්බායි බලා පැමිණියේය. වසර අටක දැඩි අරගලයකින් පසු, 1932 දී ‘රාජා භර්තාරි’ (Raja Bharthari) චිත්‍රපටයේ තබ්ලා වාදකයෙකු ලෙස දායක වීමට ඔහුට ප්‍රථම අවස්ථාව ලැබුණි. ඒ සඳහා ඔහුට ලැබුණු වැටුප මසකට ඉන්දියානු රුපියල් 100කි. අනතුරුව, ඔහු ප්‍රකට සංගීත අධ්‍යක්ෂ නවුෂාඩ් (Naushad) යටතේ වසර 12කට අධික කාලයක් සහාය සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළේය. එහිදී චිත්‍රපට සංගීත නිර්මාණකරණයේ සියුම් ශිල්පීය ක්‍රම ප්‍රගුණ කළ ඔහු, 1947 වසරේ ‘ටයිගර් ක්වීන්’ (Tiger Queen) චිත්‍රපටය හරහා ස්වාධීන සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස සිය ගමන ආරම්භ කළේය.
ස්වාධීන ගමන ආරම්භ කිරීමෙන් පසු ඔහු මධුබාලා රංගනයෙන් දායක වූ ‘පර්දේස්’ (Pardes) වැනි චිත්‍රපට කිහිපයකට සංගීතය සැපයීය. ලතා මංගේෂ්කාර් ගායනා කළ “Jiya Laage Nahin Mora” සහ “Raat Hai Taaron Bhari” වැනි මියුරු ගීත එහි අන්තර්ගත විය. පසුව ඔහු ‘අජීබ් ලඩ්කි’ (1952), ‘අම්බර්’ (1952) සහ ‘දිල්-ඒ-නාදාන්’ (1953) වැනි චිත්‍රපට සඳහා ද සංගීත අධ්‍යක්ෂනයෙන් දායක විය. ඔහුගේ සංගීත කුසලතාව සහ නිර්මාණ විචාරක පැසසුමට ලක් වුවද, වාණිජමය වශයෙන් විශාල සාර්ථකත්වයක් ලැබීමට ඔහුට නොහැකි විය. මේ හේතුවෙන් ඔහුගේ වෘත්තීය ජීවිතයේ වැඩි කාලයක් ඔහු ගත කළේ දැඩි මූල්‍ය දුෂ්කරතා මධ්‍යයේය.
ප්‍රකට උර්දු කවි මිර්සා ගාලිබ්ගේ ජීවිත කතාව පදනම් කරගෙන 1954 වසරේ නිර්මාණය වූ ‘මිර්සා ගාලිබ්’ (Mirza Ghalib) චිත්‍රපටය වෙනුවෙන් හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි ජාතික සිනමා සම්මානය දිනා ගැනීමට ගුලාම් මොහොමඩ් සමත් විය. එමගින් ඔහු ජාතික මට්ටමේ ඇගයීමට ලක්විය. එම චිත්‍රපටයේ ඇතුළත් වූ “Dil-E-Nadan Tujhe,” “Phir Mujhe Deeda-E-Tar,” සහ “Aah Ko Chahiye Ek Umar” වැනි අමරණීය ගසල් (Ghazals) ගීත අතිශය ජනප්‍රියත්වයට පත්විය.
මෙම චිත්‍රපටය ඉන්දියාවේ ජනාධිපති මන්දිරය වන ‘රාෂ්ට්‍රපති භවන්’ හිදී පවා තිරගත කරන ලද අතර, එවකට සිටි අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු එහි සංගීතය පෞද්ගලිකවම ඉතා ප්‍රශංසා කළේය. එම සංගීත නිර්මාණ මහා කවි ගාලිබ් වෙනුවෙන් කරන ලද උසස් උපහාරයක් බව අග්‍රාමාත්‍ය නේරු එහිදී පවසා සිටියේය.
ජාතික ඇගයීමට ලක් වුවද, ගුලාම්ගේ වෘත්තීය ජීවිතය බලාපොරොත්තු වූ පරිදි සාර්ථක වූයේ නැත. 1956 වන විට ඔහුට තිබූ රැකියා අවස්ථා බොහෝ දුරට අහිමි වී ගිය අතර, ඉන්පසු ගත වූ වසර කිහිපය තුළ ඔහුට සංගීතය සැපයීමට ලැබුණේ එක් චිත්‍රපටයකට පමණි. ඔහුගේ ඉරණම වෙනස් වූයේ 1962 දී සිනමාකරු කමල් අම්රෝහි ‘පාකීසා’ (Pakeezah) චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කිරීම සඳහා ඔහුට ආරාධනා කිරීමත් සමඟය. ගුලාම් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් තම මුළු හදවතම කැප කළ අතර, ඔහු නිර්මාණය කළ ගීත සංඛ්‍යාව කෙතරම්ද යත්, අවසානයේදී අම්රෝහිට ඉන් ගීත තුනක්ම ඉවත් කිරීමට සිදු විය.
කෙසේ වෙතත්, කමල් අම්රෝහි සහ මීනා කුමාරි අතර පැවති පෞද්ගලික සහ වෘත්තීයමය මතභේද හේතුවෙන් ‘පාකීසා’ තිරගත වීම වසර ගණනාවකින් ප්‍රමාද විය. මෙම කාලය තුළ ගුලාම් මොහොමඩ්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට ලක් වූ අතර, 1972 දී චිත්‍රපටය තිරගත වීමට වසර හතරකට පෙර, එනම් 1968 වසරේදී ඔහු අවාසනාවන්ත ලෙස අභාවප්‍රාප්ත විය. ඔහුගේ මරණයෙන් පසු, චිත්‍රපටයේ පසුබිම් සංගීතය සම්පූර්ණ කිරීමට අවශ්‍ය වූ විට, ගුලාම්ගේ පැරණි මිතුරා සහ ගුරුවරයා වූ නවුෂාඩ් ඉදිරිපත් වී එම කටයුතු නිම කර දුන්නේය.
‘පාකීසා’ චිත්‍රපටය ඉන්දීය සිනමා ඉතිහාසයේ අමරණීය විශිෂ්ට සංගීතමය කෘතියක් බවට පත් විය. එහි ඇතුළත් වූ “Inhin Logon Ne,” “Thade Rahiyo,” “Chalte Chalte,” “Mausam Hai Aashiqana,” “Teer-E-Nazar,” සහ “Najariya Ki Maari” වැනි ගීත අදටත් ඉන්දීය සිනමාවේ වඩාත්ම ආදරයට පාත්‍ර වූ නිර්මාණ ලෙස ඉතිහාසයට එක්වී ඇත.
ගුලාම් මොහොමඩ්ට වෘත්තීය මට්ටමෙන් සිදු වූ අසාධාරණයට එරෙහිව ගෞරවනීය මෙන්ම ප්‍රබල පියවරක් ගැනීමට සුප්‍රකට නළු ප්‍රාන් (Pran) විසින් 1972 වසරේදී ‘බේ-ඊමාන්’ (Be-Imaan) චිත්‍රපටය වෙනුවෙන් තමන්ට හිමි වූ හොඳම සහාය නළුවාට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය.
‘පාකීසා’ චිත්‍රපටය වෙනුවෙන් ගුලාම් මොහොමඩ් කළ විශිෂ්ට සංගීත නිර්මාණය නිසි ඇගයීමකට ලක් නොවීම නිසා ඔහුට අසාධාරණයක් සිදු වූ බව ප්‍රාන් තරයේ විශ්වාස කළේය. එම වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය ‘බේ-ඊමාන්’ චිත්‍රපටය වෙනුවෙන්ම ශංකර්-ජයිකිෂන් (Shankar-Jaikishan) වෙත පිරිනමන ලදී. එහෙත් එම ගෞරවය සැබවින්ම හිමි විය යුත්තේ අභාවප්‍රාප්ත ගුලාම් මොහොමඩ්ට බව ප්‍රාන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.
( The Indian Express වෙබ් අඩවියේ පළවූ ලිපියක් ඇසුරිනි)
ෆාතිමා රික්සා
