පලස්තීන සාහිත්‍ය ඉතිහාසය සහ ප්‍රතිරෝධී කවියේ නැගීම
මෙම ලිපිය මීට දශක කිහිපයකට පෙර, 1968 වසරේදී අග්‍රගන්‍ය පලස්තීන ලේඛකයෙකු, දේශපාලන විචාරකයෙකු සහ ක්‍රියාකාරිකයෙකු වූ ගසන් කනෆනි විසින් ලියන ලද Resistance literature In Occupied Palestine (බලහත්කාරී ලෙස අත්පත්කරගත් පලස්තීනයේ ප්‍රතිරෝධී සාහිත්‍යය) ලිපියේ සිංහල පරිවර්තනයයි.1948 වසරේදී සයන්වාදීන් අතට පත් වූ පලස්තීන රාජ්‍යය බිඳ වැටීම නිසා, එම සයන්වාදීන් විසින් බලහත්කාරී ලෙස අත්පත් කර ගනු ලැබූ පලස්තීන භූමියේ විසූ අරාබි ජනගහනයට සහ ඔවුන්ගේ සමාජ ව්‍යුහයට බරපතළ විනාශයක් සිදු විය. ඉන්පසු තම නිජභූමියෙහි දිගටම ජීවත් වූ අරාබි ජාතිකයෝ 200000ක් අතරින් හතරෙන් තුනක්ම ගොවීහු / අඳ ගොවීහු වූහ. යුද්ධය අතරතුර හෝ ඉන්පසුව පලස්තීන නගර වැඩි හරියක් ඉවත් කරන ලදී. මෙය එහි සිටි අරාබි සම්භවයක් ඇති ප්‍රජාවගේ සමාජමය තත්ත්ව දරුණු ලෙස විනාශ කිරීමට හේතු විය. ඊට හේතුව වූයේ ඔවුන්ගේ දේශපාලන සහ සංස්කෘතික ප්රකාශනයට එම ඉවත් කරන ලද නගර කෙන්ද්‍රස්ථාන වී තිබූ බැවිනි.
මේ ඛේදනීය බිඳ වැටීමට කලින් පලස්තීන සාහිත්‍යය එම සියවසේ මුල් භාගයේදී පෝෂණය වූ අරාබි සාහිත්‍ය ව්‍යාපාරයේ ප්‍රධාන ධාරාවේ කොටසක් විය. එය කයිරෝව මුල් කර ගත් මූලාශ්‍ර මත වැඩුණු අතර එවක එම සාහිත්‍ය ව්‍යාපාරයේ මුල් තැන ගත් ඊජිප්තු, සිරියානු සහ ලෙබනන ලේඛකයන්ගේ ආභාසය මත එය පෝෂණය විය. ප්‍රකට පලස්තීන සාහිත්‍යකරුවන් පවා ඔවුන්ව පිළිගෙන ඔවුන්ගේ සාහිත්යික නිෂ්පාදන ඇගයුමට ලක් කළ අරාබි අග නගරවලට ඔවුන්ට ලබා දුන් ප්‍රසිද්ධිය වෙනුවෙන් ණය ගැති වූහ. ඇත්තවශයෙන්ම පලස්තීනය දේශපාලන කරළියෙහි සහ අරාබි ජාතිකවාදී අරගලයේ ප්‍රකට තැනක් අත්පත් කරගෙන සිටින කාලයකදී පලස්තීන සාහිත්‍යයේ අගය කුඩා වී යාමට කාරණා කිහිපයක් ම බලපෑවේය.
2. ඉන් පෙර ගම්බද පෙදෙස්වලින් පැමිණෙන දක්ෂ පලස්තීන තරුණ පිරිසට අත දුන් අරාබි නගර ඉන්පසුව සතුරාගේ තහනම් නගර බවට පත් කෙරිණ.
3. පලස්තීන අරාබි ජනගහනය කලාපයේ සෙසු අරාබි රටවලින් සම්පූර්ණයෙන් හුදෙකලා විය.
4. සයන්වාදී මිලිටරිය මගින් එම අරාබි ප්‍රජාව මත අතිශය දරුණු නීති පනවා ඔවුන්ගේ සාහිත්‍ය ප්‍රකාශන වාරණයට ලක් කළේය.
5. සාහිත්‍ය කෘති ප්රකාශනය සහ බෙදා හැරීම අතිශයින්ම සීමා කරන ලදී. එසේත් නැතිනම් තදබල නීති පනවා පවත්වාගෙන යන ලදී.
6. අරාබිවරුන්ට විදෙස් භාෂා ඉගෙනීමට කිසිම ක්‍රමයක් නොතිබිණි. ද්විතීයක අධ්‍යාපනයට පිවිසියේ සුළු පිරිසකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පිවිසි කෙනෙකු නැති තරම් විය.
එහෙයින් යළි ඉපදීමට සමත් වූ පලස්තීන සාහිත්‍යය කියවන විට, අරාබි ජනගහණය තම පැවැත්ම තහවුරු කිරීමටත් සිය ප්රකාශනය සඳහාත් මර්දනයේ සහ වධබන්ධනයේ අඳුරු රාත්‍රීන් තුළ අරගල කරමින් සිටින බව සිහියේ තබා ගත යුතු වේ. මේ මොහොත වන විට වේගවත් ලෙස ස්පන්දනය වන ප්‍රතිරෝධී සාහිත්‍යයක් බවට පැහැදිලි ලෙස පත් වීමට ඔවුන්ගේ ස්වකීය ප්රකාශනයට හැකි වී තිබේ.
මෙවැනි තදබල මර්දනකාරී වතාවරණයක් යටතේ ප්‍රතිරෝධයේ පළමු පෙරගමන්කරුවා ලෙස කවිය පත් වීම පහසුවෙන් තේරුම් ගත හැකිය. ඒ කවිය මුද්‍රණය කිරීමකින් තොරව මුවින් මුව ප්‍රචාරය කිරීම පහසු නිසාය. මෙමගින් ආරම්භයේදී කවිය, කට පාඩමින් මතක තබා ගැනීමට හැකි සහ ඉක්මනින් හැඟීම්වලට ආමන්ත්‍රණය කරන සම්ප්‍රදායික ආකෘතියට කොටු වීම පැහැදිලි කරයි. පළමුවෙන් පෙම් කවියේ ගුණාංග මූලික කොට ගත් නිර්මාණවල ආගමනයක් සිදුවිය. ඉන්පසුව සම්ප්‍රදායික කාව්‍යයට සමගාමීව ජනප්‍රිය දේශභාෂීය ( vernacular ) කවි ප්‍රතිරෝධී ප්රකාශනයේ පළමු සාරය ලෙස එළි දකින්නට විය. ඇත්ත වශයෙන්ම කියනවා නම් එක්දහස් නමසිය විසි ගණන්වල සිටම මෙකී ජනප්‍රියවාදී කවි පලස්තීන සාහිත්‍යයේ ඉතිහාසය තුළ විශාල භූමිකාවක් ඉටු කළ අතර මුළුමහත් අරාබි ලෝකය පුරාම ඒවා සුපතළ ව තිබිණ. වර්ෂ 1936දී බ්‍රිතාන්‍ය මැන්ඩේටය/බ්‍රිතාන්‍ය භාර දේශය විසින් මරණ දඬුවමට ලක් කළ පලස්තීන අරගලකරුවෙකු ගායනා කළ මෙම ජනප්‍රිය හිටිවන කවිය හැම පලස්තීනුවෙක්ම කට පාඩමින් දනිති.
රාත්‍රිය: සිරකරුට ඔහුගේ ගීය ගයා නිම කරන්නට ඉඩ දෙන්න
හිමිදිරිය වන විට ඔහු පියාපත් ගැටෙනු ඇත
ඔහුගේ සිරුර එල්ලී
සුළඟට වැනෙනු ඇත
රාත්‍රිය : පමා කරනු මැන නුඹේ පියවර
ඉඩ දෙනු වත්කරන්නට නුඹ තුළට මගෙ හදවත
බාගදා නුඹට අමතක ඇති මා ගැන
මගේ දුක්කම්කටොළු ගැන
අහෝ මගේ හෝරා
නුඹේ දෑතින් ගිලිහෙන අයුරු
මා බියෙන් හඬන බව නොසිතනු
මගේ මව්බිම වෙනුවෙනි ඒ කඳුළු
පියෙකු නොමැතිව සාගින්දරේ පැළක තනි වූ
මා දරු පැටවු වෙනුවෙනි ඒ කඳුළු
ඔවුන් සාගිනි නිවනු කවුරුද
මා නැතිව ගිය පසු
මගේ සොයුරන් දෙදෙනද
පෝරකයක් මතම එල්ලිණි මට පෙර
කෙලෙස දිවි ගෙවන්නද මා බිරින්දෑ
තනිව කඳුළු වගුරමින?
වළල්ලක්වත් නොපැලඳුවෙමි
ඇගේ අතෙහි
මගේ මව්බිම අවි දරනු රිසියෙන් හඬ නගන විට.
ජනප්‍රියවාදී කවියේ ආධිපත්‍යය 1948න් පසුව වසර දහයක් පුරා නිසි ලෙස වර්ධන වූ සම්මත සාහිත්‍යයක් බිහි වන තුරුම පැවතිණි. පරාජිතයන් සිය ප්රකාශනය සඳහා යොදා ගත් මාධ්‍යය වූයේ එයයි. එය ඔවුන්ගේ ජීවිතවල සෑම අවස්ථාවකම ආධිපත්‍යය දැරුවේය. ගිනි අවි දැරූ බලකායන් නොතකා හරිමින් මංගල උත්සව, අවමංගල්‍ය උත්සව, හැන්දෑවරුවේ පැවැත්වෙන හමුවීම්වල සිට ජනතාව එක් රැස් වූ සෑම අවස්ථාවක්ම මෙම කවිවල බලපෑම නිසා තියුණු විරෝධය පෑම්බවට පත් විය. බොහෝ ජනප්‍රිය කවීහු සිරගත කෙරුණි. නැත්නම් ඔවුන් බරපතළ නීතිරීතිවලට යටත් කෙරිණි. ජනප්‍රියවාදී කවියේ නැගීම සහ ප්‍රචලිත වීම ක්‍රමයෙන් සිදු වෙද්දී සයන්වාදී හමුදා ඔවුන්ගේ මර්දනයද තව තවත් වැඩි කළේය. ඔවුහු සමහර කවීන් ඝාතනය කළහ. අරාබිවරුන්ගේ රැස්වීම් තහනම් කළහ. මෙවැනි ක්‍රමවලින් ප්‍රතිරෝධයේ මෙම ප්‍රවණතාවය වළක්වාලිය නොහැකි විය. ඒ වෙනුවට එය අවුරුදු පහක් පමණ යටිබිම්ගත ව තිබී ඉන්පසුව තියුණු බලයකින් සහ නව ජීවයකින් අලුතෙන් පුපුරා හැලිණ. හැටේ දශකයේ ආරම්භය වන විට පුදුමයකට මෙන් ඉතා සුවිශේෂී මෙම අලුත් සාහිත්‍ය රැල්ල කරළියට පැමිණියේය. මෙම සාහිත්‍ය රැල්ල නියෝජන කළෝ ධෛර්යයසම්පන්න වූහ. ජීව ගුණයෙන් පිරිපුන් සුබවාදීහු වූහ. මෙම වකවානුවේ ම පිටුවහල්ව ජීවත් වූ, බොහෝ විට දුක් දොම්නසින් පිරි නිර්මාණවලට පණ පෙවූ කවීන්ට වඩා විරෝධාකල්පයේ ජීවයෙන් ඔද වැඩුණෝ වූහ.
ප්‍රතිරෝධය දැක්වීම පහසු කටයුත්තක් නොවිණ. එය ඊට වඩා ජීවිතය සහ මරණය අතර ප්‍රශ්නයක් ලෙස සලකන දරුණු හමුදාවක් සමග කරන ලද දෛනික සටනක් විය. මර්දනය දරුණු වන විට ප්‍රතිරෝධය ශක්තිමත් විය. පිටුවහල් කවියට වඩා, ප්‍රතිරෝධී කවිය දුක් කඳුළු පිරි ප්‍රවණතාවයෙන් තොරව විස්මයජනක විප්ලවීය ජීවයකින් කරලියට පැමිණියේය. පුදුමයකට මෙන් එය අරාබි රටවල සියලු දේශපාලන කැළඹිලි සමග අනුනාද විය.
ප්‍රතිරෝධී කාව්‍යය එහි අරමුණෙන් සහ සාහිත්‍යමය බලපෑමෙන් පමණක් නොව එහි ආකෘතිය සහ තාක්ෂණය අතින්ද වෙනසක් පෙන්නුම් කළේය. එය සම්ප්‍රදායික කාව්‍ය ආකෘති බැහැර කර එහි බලය නොසිඳෙන ලෙස නූතන තාක්ෂණික ක්‍රම ඊට ඇතුළත් කර ගත්තේය. අරමුණ අතින් ගත් විට ප්‍රතිරෝධී කාව්‍ය ප්රකාශනයේ විවිධ මාධ්‍ය වෙත නැඹුරු වනු දකින්නට ලැබිණ.
1. ප්‍රේමය- ආදරවන්තියකට බැඳි ආලය මව්බිම කෙරෙහි ඇති ආලයට මුළුමනින්ම සම කෙරිණි. ගැහැනිය සහ පොළොව සම්පූර්ණයෙන් එක් කරන ලදී. ගැඹුරු ප්‍රේමය විමුක්තියේ සුවිසල් අරමුණ වෙත පරිවර්තනය කරන ලදී.
2. උපහාසය- සතුරා සහ ඔවුන්ගේ හෙන්චයියන් හාස්‍යයට ලක් කර මර්දනයේ විධික්රම තියුණු උත්ප්රාසයට ලක් කරන ලදී. මෙම ප්‍රවණතාවය විසින් ප්‍රකාශ කරනු ලැබුවේ සිදු වෙමින් තිබෙන සියල්ල අල්පකාලික ලෙස දකින සජීවී බවින් සහ අපරාජිත බවින් පිරුණු ජීව ගුණයකි. මෙම සංක්රාන්තීය අවධිය කවදාහෝ යථා තත්තවයට පත් වන බව හෝ පත් කළ යුතු බවකි.
3. විරෝධය සහ අභියෝගය- සතුරා නිරාවරණය කර සටන්කාමීන්ගේ නොබිඳෙනසුලු නිර්භය ආත්ම සමග මුහුණට මුහුණ ගැටෙන්නට ෂලස්වන ලදී,
මෙහිදී විශේෂයෙන් සැලකිය යුතු කරුණ වන්නේ මෙම ප්‍රතිරෝධී කවි මූලිකව වාමවාදී ලෙස හඳුන්වනු ලැබීමයි. මේ වකවානුවේ පලස්තීන ජීවිත මත ආධිපත්‍යය විහිදුවන ලද වාතාවරණය මගින් ඇති කරන ලද ප්‍රතිපලය එයයි. එම වාතාවරණය මෙසේ කරුණු කිහිපයකින් සංක්ෂිප්ත කොට දැක්විය හැකිය.
– පලස්තීනයෙහි ජීවත් වූ අරාබි ජනගහණයෙන් බහුතරයක් ගම්බදව ජීවත් වූ අතර ඔවුන් 1948ට පෙර බ්‍රිතාන්‍ය මැන්ඩේටයට විරුද්ධ විප්ලව සහ ජනතා නැගිටීම්වලට සෑහෙන ලෙස දායක වූ අයයි. එමෙන්ම 1948 වසරේදී දරුණුම බලපෑමට ලක්වූයේද ඔවුන්ය.
– ඔවුන්ගේ ජීවිත ඉතා දුක්ඛිත විය. දෛනික ජීවිතය පවත්වාගෙන යාමේදී ද ඔවුන්ට දරුණු කුරිරු පාලනයක් අත්විඳින්නට සිදු විය.
– සතුරාගේ පැවැත්ම අධිරාජ්‍ය ගැති, ධනේෂ්වර ක්රමයක ප්‍රතිපලයක් වූ අතර ඔවුන් අඛණ්ඩ පැවතීමද ධනවාදය මගින් තහවුරු කරන ලද්දකි.
සිංහල පරිවර්තනය – කත්‍යානා අමරසිංහ
මූලාශ්‍රය- Poetry of Resistance in Occupied Palestine කෘතියෙනි.
