Skip links

ලිවීම හදවත සුව කරන ඔසුවක්! – දීපචෙල්වන්

නූතන දෙමළ සාහිත්‍යය පෝෂණය කරන දීප්තිමත් ලේඛකයෙකු වන දීපචෙල්වන් කිලිනොච්චියේ වෙසෙන කවියෙකු සහ නවකතාකරුවෙකු වේ. පුවත්පත් තීරු ලිපි රචකයෙකු ද වන ඔහු මේ වන විට නවකතා තුනක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඉන් නවකතා දෙකක් ද ඔහුගේ කාව්‍ය කෘති අටෙන් එකක් ද සිංහල බසට පරිවර්තනය වී තිබේ. යුද්ධයේ බිහිසුණුම අත්දැකීම් මතින් දිවි ගලවාගෙන අඛණ්ඩව  නිර්මාණකරණයේ යෙදෙන ඔහු මෙරට සහ එතෙර දෙමළ පාඨකයන් අතර ජනාදරයට පත්ව සිටින්නෙකි. ඉන්දියාවේ සිට මුද්‍රණය කොට ගෙනෙන ලද ඔහුගේ කෘති දෙකක් 2026 වසරේ මාර්තු මාසයේදී රේගු භාරයේ රඳවා ගැනීමෙන් පසු ඔහු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට සිය මූලික අයිතීන් කඩ වූ බව පැමිණිලි කළේය. එම පැමිණිල්ල විභාග කළ  මානව හිමිකම් කොමිසම ඓතිහාසික  තීන්දුවක් දෙමින් පසුගියදා ඔහුගේ ප්‍රකාශනයේ නිදහස පිළිගනිමින් එම කෘති නිදහස් කිරීමට නිර්දේශ කරන ලදී. මේ, ඒ සිදුවීම අළලා ඔහු සමග ඉංග්‍රීසි බසින් කරන ලද සම්මුඛ සාකච්ඡාවක සිංහල පරිවර්තනයයි. මෙහි මුල් ලිපිය Daily Mirror පුවත්පතේ පළ විය.  

*ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින්  රේගු භාරයේ රඳවාගෙන ඇති ඔබේ කෘති නිදහස් කරන ලෙස නිර්දේශ කරමින් තීන්දුවක් ලබා දී තිබෙනවා. එහෙත් ඉන්පසුව පවා තවත් දෙමළ ලේඛකයෙකුගේ කෘතියක් ද ඉන්දියාවේ සිට මෙරටට ගෙන එන විට රඳවා ගත් පුවතක් අසන්නට ලැබෙනවා. මේ තත්ත්වය ගැන ඔබ ට කියන්නට ඇත්තේ මොනවාද ? 

ඇත්තටම මෙය එක ලේඛකයෙකුගේ හෝ දෙන්නෙකුගේ ප්‍රශ්නයක් නොවෙයි. ඒ වගේම මෙවැන්නක් පළමු වතාවට වුණාත් නෙමෙයි. එය ක්‍රමානුකූලව දෙමළ කෘති සහ දෙමළ ලේඛකයන්ට විරුද්ධව එල්ලවන වාර්ගික පීඩනයේ කොටසක්. අප වැනි දෙමළ ලේඛකයෙකු කෘතියක් ලියූ පසුව රාජ්‍ය යාන්ත්‍රණය ඒ දෙස බලන්නේ ම එය රාජ්‍යයට සහ හමුදාවන්ට විරුද්ධ දෙයක් විදිහට, අගතිගාමී හැඟීමෙන්. මෙවැනි තත්ත්වයක් යටතේ මානව හිමිකම් කොමිසම මගේ කෘති වහාම නිදහස් කරන ලෙස නිර්දේශ කළත් ( මේ කතා කරන මොහොත වන විටත්) රජය එය සිදු කරන බවක් පෙනෙන්නට නැහැ.

කොහොම නමුත් මගේ පොත් දිගටම රාජ්‍ය සන්තකයේ තබා ගැනීම විසින් අනාගතයේදී යම් කෘතියක් හෝ ලේඛකයෙකු මෙවැනි වාර්ගික පීඩනයකට, හිරිහැරයකට හෝ දුක්ඛිත භාවයකට පත් වීම වැළැක්වීම සඳහා යම් ශක්තිමත් වෙනසක්, පියවරක් හෝ විසඳුමක් ලබා ගැනීමේ වුවමනාව යටපත් කර දමනවා.

 

*ඔබේ ප්‍රකාශනයේ නිදහසට මුහුණ දෙන්නට සිදුවූ පළමු බාධකය මේ පොත් රේගු භාරයේ රඳවා ගැනීම නොවන බව අප දන්නවා. ඔබේ නිර්මාණ ගැන බලධාරීන් විසින් ප්‍රශ්න කෙරුණු අවස්ථා ගැන කතා කරමු. 

ලියන්න පටන්ගත් කාලෙ ඉඳලම ආරක්ෂක අංශ විසින් මා පිළිබඳව දැඩි සෝදිසි කිරීම් සහ ප්‍රශ්න කිරීම් කරපු අවස්ථා තිබුණ. මුලදී සිදු වුණේ වක්‍රාකාර විමර්ශන. පසුව, 2024 අග භාගයේදී කිලිනොච්චියේ ත්‍රස්ත විමර්ශන කාර්යාංශය විසින් මා ‘පයංකරවාදී’ නවකතාව ලිවීම එල්ටීටීඊ සංවිධානය නැවත පණ ගැන්වීම අරමුණු කරගනිමින් කරන ලද්දක් දැයි ප්‍රශ්න කරනු ලැබුවා. ඔවුන් විමසුවේ නවකතාවේ එන චරිත සැබෑ ඒවාද සහ ඔවුන් කොහේ සිටින්නේද යන්නයි. මා ඔවුන්ට පැවසුවේ ඒ චරිත සත්‍ය ජීවන අත්දැකීම් මත පදනම් වූ ප්‍රබන්ධ චරිත බවයි. ඒ ප්‍රශ්න කිරීම් මා වැනි ලේඛකයෙකුට පීඩනයක් වුවත් දිගටම ලිවීමේ රැඳී සිටීමේ ශක්තිය ලබා දුන්නේද එම සිද්ධි විසින්. ඇත්තම කියනවා නම් ඒ ප්‍රශ්න කිරීම් සිදුවූ අවධියේ තමයි ඉන්පසු එළිදැක්වුණු මගේ සයනයිඩ් නවකතාව මම ලිව්වෙ.

*ඔබ සහ බොහෝ දෙමළ ලේඛකයන් ඔබ ලියන පොත් මුද්‍රණය කරන්නේ ඉන්දියාවේ. එහෙත් කොළඹ පැවැත්වෙන හොඳම දෙමළ සාහිත්‍ය නිර්මාණ සඳහා වූ  සම්මාන තරගවලදී සලකා බැලෙන්නේ ශ්‍රී ලංකාව තුළ මුද්‍රිත පොත් පමණයි. ඔබ මේ ප්‍රශ්නය දකින්නේ කෙසේද ? 

සාමාන්‍යයෙන් සම්මාන සඳහා මම මගේ පොත් ඉදිරිපත් කරන්නෙ නෑ. ඔව්. මා ඇතුළු බොහෝ දෙමළ ලේඛකයන් පොත් මුද්‍රණය කරන්නේ තමිල්නාඩුවේ. ඊට හේතු කිහිපයක් තිබෙනවා. එවිට එහි සිටින (දෙමළ බසින් කියවන ) විශාල පාඨක ප්‍රජාවකට ළඟා වීමට හැකි වීම, මුද්‍රණ නිමාව ඉහළ වීම, මුද්‍රණ වියදම සාපේක්ෂව අඩු වීම සහ එහි සිට ලෝකය පුරා පොත බෙදා හැරීමට පහසු වීම ඒ අතර වනවා. ඇත්තට ම නිවැරදි පිළිවෙත වන්නේ ලේඛකයාගේ උපන් බිම කුමක්ද යන්න සළකා බලමින් සම්මාන පිරිනැමීමයි. එයට හේතුව ලංකාවේ සිය පාරම්පරික භූමියෙන් පැවත එන, ලෝකය පුරා විසිරී සිටින දෙමළ ප්‍රජාව, අඛන්ඩව සහ සක්‍රිය ලෙස සිය සංස්කෘතික සමාජයීය සහ දේශපාලනික සම්බන්ධතා පවත්වන, ජාතික සීමා මායිම් ඉක්ම වූ ( transnational)  ප්‍රජාවක් ලෙස සලකනු ලැබීමයි.

*ඔබේ මෑතක පළවූ සම්මුඛ සාකච්ඡාවකදී කුමන බාධක මැද වුවද නොලියා සිටීමට නොහැකි බව ඔබ පවසා තිබුණා. ආපසු හැරී බැලීමේදී ලිවීම ඔබ සුවපත් කරන ක්‍රමයක් වී තිබෙනවා ද ? ඔබේ නිර්මාණ කෙරෙහි රාජ්‍යයෙන් එල්ලවූ වාර්ගික පීඩනය සහ යුද්ධය කුමන අන්දමින් බලපා තිබේද ?

මේ බිමෙන් පිටත කිසිම රටක මට වාසය කළ නොහැකි සේම මට නොලියා සිටීමට ද නොහැකියි. දෙමළ ජාතිකයන් ලෙස අපේ නිජ බිම තුළම අපි දරුණු ලෙස ව්‍යුහාත්මක වාර්ගික පීඩනයක් දරාගෙන ජීවත් වී තිබෙනවා. ලිවීම තමයි අප සුවපත් කරන ඔසුව : ලිවීම තමයි අපේ වේදනාවට යුක්තිය ඉටුවන ක්‍රමය. අද වුවත් අප ජීවත් වන්නේ වේදනාබර මතක සමග. අපේ අනාගත පරම්පරා ආත්ම ගෞරවයෙන්  ලෙස සමානාත්මතාවයෙන් යුතුව ජීවත් විය යුතුයි. අපි අතට ගත්තේ පෑන් පමණයි. අපි යෙදෙන්නේ ලිවීමේ පමණයි. අප ලියන ප්‍රබන්ධ සහ නිර්ප්‍රන්ධ කෘති තුළින් සිංහල ජනතාවට සහ ලෝකයට අපේ කතාව කිව හැකියි.

*ඔබ සෑම විටදීම දකුණේ සිංහල ජනතාවට ඔබලාගේ නිර්මාණ ගෙන ඒමේ වැදගත්කම ගැන කතා කරනවා. ඒත් ඔබ ඇතුළු අනෙක් දෙමළ ලේඛකයන් දිගින් දිගටම වෙනස්කොට සැලකීම්වලට මුහුණ දෙද්දී, සිංහල ජනතාව ඔබ කවියෙන් සහ නවකතාවෙන් ඉදිරිපත් කරන ඔබේ දුක්ගැනවිලි දෙස සහකම්පනයෙන් බලාවි යැයි ඔබ තවමත් බලාපොරොත්තූ වෙනවාද ? 

සහතිකවම, අපි අපේ කතා සිංහල ජනතාවට කිව යුතුමයි. අපේ කතා තුළින් ඔවුන් අප නිසැකව තේරුම් ගනී යැයි මම තවම විශ්වාස කරනවා. සාහිත්‍යයට ඒ මහගු බලය තිබෙනවා.

මගේ නඩුගල් නවකතාවේ (සිංහල පරිවර්තනය)  කියවූ සිංහල පාඨකයන් විශාල වේදනාවකින් සහ මනෝමය අනුනාදවීමකින්  යුද්ධයේදී මිය ගිය විමුක්ති සටන්කරුවකු වූ සහෝදරයෙකුගේ වියොවින් පසු ඒ මතකය සමග පීඩා විඳින දෙමළ මවකගේ සිතිවිලි තේරුම් ගත්තා. ඒ සමගම කිව යුතුයි වාර්ගික  වෙනස්කොට සැලකීම්,  වාර්ගික පීඩනය සහ එල්ල වන තර්ජන තවමත් නැතිවී නැති බවත්. ඒත් මට තවමත් තදබල බලාපොරොත්තුවක් තිබෙනවා කවදා හෝ සිංහල ජනතාව දෙමළ ජනයාගේ දේශපාලන අරගල තේරුම් ගෙන එය පිළිගනියි කියා.

*කවියෙකු සහ නවකතාකරුවෙකු ලෙස ඔබ එම මාධ්‍ය දෙකෙහි වෙනස දකින්නේ කෙලෙසද ? නවකතාවට වඩා කවිය දේශපාලන සන්නිවේදනයේදී වඩා ප්‍රතිපලදායක ලෙස යොදා ගත හැකි යැයි ඔබ සිතනවාද ? 

කවිය සහ නවකතාව යන දෙකෙන්ම නිර්මාණකරණයේ යෙදෙන නිර්මාණකරුවෙකු ලෙස මට ඒ ඒ මාධ්‍යයට අනන්‍ය වූ ලක්ෂණවලින් සහ බලපෑම්වලින් යුතුව, ඒ දෙකෙන්ම නිර්මාණකරණයේ යෙදීමට බල කෙරී තිබෙනවා. කවිය අකුණු සැරයක් වගේ: එය ක්ෂණිකව හැඟීම් අවදි කර, පාඨකයාගේ සිතට ගැඹුරු බලපෑමක් ඇති කරනවා. නවකතාව ගංඟාවක් වගේ: එයට විස්තර කිරීමේ හැකියාව තිබෙනවා. එය සමාජය, ජීවිතය, ඉතිහාසය, සහ මිනිස් මනෝභාවයේ බොහෝ ස්ථර සාදමින් ඉවසීමෙන් ගලා බසිනවා.

කවිය සහ නවකතාව ප්‍රබල වන්නේ එකිනෙකට වෙනස් මාන දෙකකිනුයි. කවිය පීඩනයට එරෙහිව හඬක් වන අතරම පීඩිතයන්ගේ වේදනාව ක්ෂණිකව වාර්තාගත කරනවා. කාලය සහ අවකාශය අතරින් දේශපාලනයේ ගැඹුරු මූලයන්, සමාජයේ බහුවිධ මුහුණුවල ප්‍රතිවිරෝධතා සහ ඉතිහාසයේ තුවාල කැළැල් සවිස්තරාත්මකව වාර්තා කිරීමේ හැකියාව තිබෙන්නේ නවකතාවට පමණයි. මනුෂ්‍ය ආත්මවල බිඳ වැටීම් සහ  පීඩිත සමාජයක් තුළ මිනිසුන් පැවැත්ම සකසා ගන්නා ආකාරය විශාල චිත්‍රයක් ඔස්සේ නිර්මාණය කළ හැක්කේ නවකතාවෙන් පමණයි. මේ දෙකම එකිනෙකට  විකල්පයක් වන්නේ නෑ. ඒ වෙනුවට එකිනෙකට  අනුපූරක ලෙස ක්‍රියා කරන මාධ්‍ය දෙකක්.

*ඉදිරියේදී පාඨකයන්ට ඔබෙන් බලාපොරොත්තු විය හැකි නිර්මාණ මොනවාද ? ඔබේ ඉදිරි නිර්මාණ ජීවිතය කෙසේ සකස් වෙනු ඇතිද ? 

මේ දිනවල මම කුලන්දෛ වීරන් ( ළමා වීරයා) නමින් නවකතාවක් ලියමින් ඉන්නවා. එය යුද්ධයෙන් ඉතා දරුණු ලෙස පීඩාවට පත් යොවුන් දරුවෙකු පිළිබඳ කතාවක්. ඒ සමගම මගේ කෙටි කතා එකතුව යාල් සුමන්ද සිරුවන් ( වීණාවක් රැගෙන ගිය දරුවා) මේ වසර අගදී එළි දැක්වීමට නියමිතයි. මේ කෙටි කතා එකතුවේදී ද කියවෙන්නේ යුද්ධයෙන් පිඩාවට පත් කාන්තාවන් සහ දරුවන් ගැන කතා.

කොහොම නමුත් අපේ නිර්මාණකරණය ඉදිරියට ගෙන යාමට වෙනස්කොට සැලකීම්වලින් තොරව දෙමළ ලේඛකයන්ට ප්‍රකාශනයේ නිදහස ලබා දිය යුතුයි. අපට එරෙහි වාර්ගික පීඩනය සහ යුද්ධයේ ප්‍රතිපලයක් ලෙස නිර්මාණකරණයට පිවිසෙන දෙමළ ලේඛකයන් සංඛ්‍යාව සෑහෙන්න අඩුවී තීබෙනවා. අද පාසල් ළමයින් සඳහා අධ්‍යාපනික පොතක් ලියන ලේඛකයෙකු පවා හමුදා බුද්ධි අංශවල සෝදිසි කිරීම්වලට ( අවේක්ෂණයට)  ලක් විය හැකිව තිබෙනවා.  ඡායා තහනම ( shadow book ban), සහ දෙමළ ලේඛකයන් දැඩි සෝදිසි කිරීම්වලට ලක් කිරීම ( අවේක්ෂණය ) දෙමළ සාහිත්‍යයට හානි කරන ප්‍රධාන සාධක බවට පත්ව තිබෙනවා.

ඒ නිසා මම ආණ්ඩුවෙන් සහ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. කරුණාකර අපේ මතකයන් මතක තබා ගැනීමට ඉඩ දෙන්න. කරුණාකර අපට අපේ කතා කියන්නට ඉඩ දෙන්න. කරුණාකර සිංහල පාඨකයන්ට අපේ කතා කියවීමට ඉඩ දෙන්න. ඒ කතා සැබවින්ම දකුණේ සිටින සිංහල ජනයා සහ ජාත්‍යන්තර ප්‍රජාව දැනගත යුතුම ඒවායි.

සංවාදය  – කත්‍යානා අමරසිංහ 

 

Photo courtesy – Dirk Skiba 

Leave a comment

This website uses cookies to improve your web experience.