Skip links

දැන්වීමයි. අද චැප්ලින් මෙහි සිටී!

කලකට ඉහත දිනක එංගලන්තයේ තරමක් පාළුවට ගිය මාවතක් ඔස්සේ තරමක් අමුතු ගමනකින් යුතු මිනිසකු ඉබාගාතයේ ගමන් කරමින් සිටියි. ඔහුගේ ගමන පමණක් නොව හැඳ පැලඳ සිටින ඇඳුම් කැඩුම් ද, යම් පමණකට විකාර සහගත බවක් පෙනේ. උස් තොප්පියක් පැලඳි හිට්ලර්ගේ පන්නයේ උඩු රැවුලක් සහිත මුහුණකින් යුත් මොහුගේ අතෙහි බස්තමකි. දෙපයේ ඇති සපත්තු කුට්ටම ප්‍රමාණයට වඩා දිගු ය. ඇඟට තදවන සේ කබායක් හැඳ සිටින අතර, ටයි පටයක් වෙනුවට බෝ එකක් පැලඳ සිටියි.

යන්නේ කොහාටදැයි අප නොදන්නා මේ මිනිසා අප ඉදිරියට පැමිණෙමින් සිටින අතර ඔහුට පිටිපසින් ඇදී ආ ලී කොට පැට වූ ලොරියක් ඔහුව පසුකර ඉදිරියට ඇදෙයි. ඒ මොහොතේදී කොට ලොරියේ පසුපසට සවිකර තිබූ අනතුරු හැඟවීමේ රතු කොඩිය බිම වැටෙයි. දැන් අප දකින්නේ මේ රතු කොඩිය අහුලා ගත් මිනිසා එය දෙපසට වනමින් තමා පසුකර ගිය ලොරිකාරයින්ට කෑ ගසන ආකාරයයි. මිනිසා කොඩිය වනමින් කෑගසද්දී ලොරිය වේගයෙන් ඇදී යන අතර වෙනත් අතුරු පාරකින් පැමිණි උද්ඝෝෂකයෝ පිරිසක් මේ මාවතට පිවිසෙති. සටන් පාඨ කියමින් පැමිණෙන උද්ඝෝෂකයින් ගමනේ යෙදෙන්නේ මේ මිනිසාට පිටුපසිනි. ඔවුන් ගැන හාන්කවිසියක්වත් නොදන්නා කොඩිය අතැති මිනිසාගේ එකම අරමුණ කොඩිය ලෙළවා ලොරිකාරයා නවත්වා ගැනීමය. දැන් අපට පෙනෙන්නේ මොහු කොඩියක් අතින් ගෙන පෙළපාළියක පෙරමුණ ගෙන සිටින බවය. අපට පමණක් නොව හදිසියේම එතැනට කඩා වදින පොලිස් නිලධාරීන් පිරිස සිතන්නේ ද ඒ අයුරින්මය.

ඒ අනුව මහා වැඩ වර්ජනයකට නායකත්වය දීමේ චෝදනාව යටතේ ඔහුව අත් අඩංගුවට ගන්නා අතර හෙතෙම එක මොහොතකින් මහා කම්කරු නායකයෙකු බවට පත්වෙයි.

මේ චාලි චැප්ලින් නැමැති මහා සිනමාවේදියා 1936 දී නිර්මාණය කළ “මොඩර්න් ටයිම්ස් ”නම් කළු සුදු නිහඬ චිත්‍රපටයේ එක් ජවනිකාවකි. එම චිත්‍රපටය නරඹන අපට මේ සිදු වූයේ කුමක්දැයි අවබෝධයක් ඇතත් , මේ අබග්ගය ගැන කිසිවක්ම නොදන්නා පුද්ගලයා බවට පත් වන්නේ පාරේ ගමන් කළ ඒ මිනිසා ය. ප්‍රේක්ෂක අප තුළ ක්ෂණිකව සිනහවක් ඇති වන්නේ මේ තැනැත්තා මුහුණ දුන් ඒ ඇබැද්දිය මුල් කර ගනිමිනි. ඒ සමඟම පොලීසිය විසින් මොහු විප්ලවවාදී නායකයෙකු ලෙස එක්ෂණයකින් බෞතීස්ම කිරීමද, සිදු වූ විලැම්බෑසිය ගැන මබ්බෝද වී සිටිනා අසරණයාගේ මුහුණ ද, අපගේ සිනහව තව දුරටත් තීව්‍ර කරවන්නට සමත් වෙයි.

නමුත් සුළු මොහොතකින් ඒ සිනහව අපෙන් වියැකී යන්නේ, එක් පැත්තකින් අප සිනහසුණේ ඒ මිනිසාගේ ඛේදවාචකයට නොවේද යන්නත්, තවත් පැත්තකින් අගක් මුලක් සොයා නොබලා නීතිය ක්‍රියාත්මක වන ආකාරයත් , ඒ ඒ මොහොතවල් තුළ දෘශ්‍යමාන වන කාරණා මත ලෝකයේ කොතරම් වැරදි සිදුවෙන්නේද යන්න ගැනත් සවිඥාණක බවක් ඇති කරමිනි.

චැප්ලින්ගේ චිත්‍රපට නරඹා සිනමා හල තුළ දී බඩ අල්ලා ගෙන සිනාසුණු රසිකයින් ශාලාවෙන් එළියට පැමිණි පසු හඬා වැළපුණේ යයි විචාරකයින් විසින් පවසනු ලැබුවේ මෙන්න මේ හේතුව මුල් කර ගනිමිනි. විශ්ව සාහිත්‍යයේ කියවෙන ලෝක ප්‍රකට සාහිත්‍යධරයෙකු වූ රුසියානු ජාතික නිකොලායි ගොගොල්ගේ කෘති තුළ වූ හාස්‍යය පිටුපස ඇත්තේ කඳු`ථ කැට යැයි පැවෙසන පරිදි, චැප්ලින්ගේ චිත්‍රපටවල හාස්‍යය ද මනුෂ්‍යයාගේ දිවි ගමනේ විවිධාකාර ගැටුම් මුල්කර ගනිමින් උත්පාදනය වන්නක් ලෙස, ඉදිරිපත් කෙරෙනවා විනා තවකෙකු සිනා ගැස්සීම අරමුණු කර ගනිමින් ම ඉදිරිපත් කරන්නක් නොවී ය.

හාස්‍යොත්පාදක ඉදිරිපත් කිරීම් සම්බන්ධ ඔහුගේ ක්‍රමවේදය පිළිබඳව සහ ඔහුගේ දැක්ම පිළිබඳව වූ වඩාත් ම ගැළපෙන උදාහරණය සපයනු ලබන්නේ ඔහුගේ ම ජීවිත වෘතාන්තය තුළිනි.

එය නම් ගී ගැයීමෙන් ආදායමක් ලබා ගැනීමේ නිරතව සිටි කුඩා චැප්ලින්ගේ මව ප්‍රසංගය අතරතුර අසනීප වූ අවස්ථාවකිනි. ඇය එසේ අසනීප වූයේ යුද සෙබළුන්ගෙන් පිරී ගිය ප්‍රේක්ෂකාගාරයක් තුළ ගායනයක යෙදෙමින් සිටියදීය. අසනීප වීම නිසා ඇයව වේදිකාවෙන් ඉවතට රැගෙන යන්නට සිදු වු අතර, නරඹමින් සිටි සෙබ`ළු කෝපයට පත් ව කෑ ගසන්නට පටන් ගත්හ. එයට පිළියමක් වශයෙන් ප්‍රසංගයේ නිෂ්පාදකයා මව සමඟ පැමිණ සිටි කුඩා චැප්ලින්ව කැඳවා ගෙනවිත් වේදිකාව මත තැබීය. ඒ වන විටත් මවගේ ආභාසය සහ ආශිර්වාදය හිමිව තිබූ චැප්ලින් කිසිදු සබකෝලයකින් තොරව, අපූරුවට මවගේ ගීතය ගායනා කළේ ය. ආරම්භයේ දීම පොඩිත්තාගේ ගායනය සෙබ`ළුන් නිහඬ කරවන්නට සමත් වූ අතර, ඔවුහු තම සාක්කුවලින් ඇදගත් කාසි එක දෙක වේදිකාවට විසි කරන්නට පටන් ගත්හ. ක්‍රමයෙන් වැටෙන කාසි ප්‍රමාණය වැඩි වෙන්නට පටන් ගත් කල තම ගී ගායනය ම`ඳකට නැවැත් වූ කොලු පැටියා, කාසි අවුලන්නට පටන් ගත්තේ ය. එය සෙබ`ළුන්ගේ හාස්‍යයට හේතුවක් විය. සාක්කුවේ කාසි පුරවා ගැනීමෙන් අනතුරුව කුඩා චැප්ලින් යළිත් ගීතයේ ඉතිරි කොටස ගයන්නට පටන් ගත්තේ සෙබළ පිරිසේ හාස්‍යය දෙගුණ තෙගුණ කරවමිනි. ඒ හේතුවෙන් අවසානයේ දී ඔහුගේ දෝත පිරෙන්නට කාසි එකතුවන බව පැවසෙන අතර, විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ මෙය කිසිසේත් ම චාලි චැප්ලින් විසින් හාස්‍යය ඉපදවීම සඳහා කළ රංගනයක් නොවූ බව ය. එය තමන්ගේ අසනීප වූ ආදරණීය මව ප්‍රෙක්ෂකයාගේ දෝෂ දර්ශනයට ලක් වීමෙන් මුදා ගැනීමට කළ උත්සාහයක් පමණක් ම විය.

පසු කලෙක සිනහවෙන් ලෝකයක්ම දිනා ගනු ලැබුව ද, චාල්ස් ස්පෙන්සර් චැප්ලින් නොහොත් චාලි චැප්ලින් උපත ලබා තිබුණේ සිනාහවෙන් දිවි ගෙවිය හැකි පවුල් පසුබිමක නොවේ. 1889දී හැනා චැප්ලින් හා චාල්ස් චැප්ලින් (ජ්‍යෙෂ්ඨ) ට දාව, දකුණු ලන්ඩනයේ වැල්වර්ත්හි උපත ලද ඔහුගේ ළමා කාලය බොහෝ දුක් කම්කටො`ළුවලින් ගහණ වූවක් විය. ඔහුගේ පියා ඔහු කුඩා කාලයේදී ම චැප්ලින් හා මව හැරදා යාමත්, මවට නිශ්චිත රැකියාවක් නොතිබීමත්, මේ දුක්ඛිත භාවය තවත් වැඩි කරන්නට සමත් විය. ඔවුන් යාන්තමට දිවි ගැට ගසා ගත්තේ චැප්ලින්ගේ මව සංදර්ශන වේදිකා මත ගී ගයා උපයාගත් මුදලිනි. ජීවන බර උසුලාගත නොහැකි වූ හෙයින් කුඩා චැප්ලින් රජයේ අනාථ නිවාසයකට බාරදීම හැර මවට වෙන කළ හැකි දෙයක් නොවීය.

මේ ආකාරයට චාලි චැප්ලින්ට වයස අවුරුදු 14 වන විට ඔහුගේ මව දරුණු මානසික රෝගයකට ගොදුරු වූ අතර, ඇයට කේන්හිල් නම් මානසික රෝහලෙහි දෙමසක් නැවතී ප්‍රතිකාර ලබා ගත්තට සිදුවිය. මේ කාලය තුළ චාලි චැප්ලින් සහ ඔහුගේ සොහොයුරු සිඩ්නි චැප්ලින් පියාගේ භාරකාරත්වයට පත්වන නමුත්, එම ජීවිතයෙන් ද ඔවුනට පළක් නොවන්නේ ඔවුන්ගේ පියා ඒ වන විට දැඩි සේ මත්පැනට ඇබ්බැහි වූ බේබද්දෙකුගේ තත්ත්වයට පත්ව සිටි බැවිනි.

අධික බීමත්කම හේතුවෙන් චාලිගේ පියා ඉන් වසර දෙකකට පසු අකාලයේ මිය යන අතර, ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 37ක් පමණ විය. ඉක්බිති සිය වැඩිමහල් සොහොයුරා වන සිඩිනි චැප්ලින් හමුදා සේවයට එක්වන හෙයින් රෝගී මව බලා කියා ගැනීමේ කටයුතු ද පැවරුණේ චාලි චැප්ලින්ට ය. චාලිගේ මව වන හැනා චැප්ලින් 1905 දී බලවත් සේ රෝගී වන අතර, නැවතත් කේන්හිල් රෝහලට ඇතුළත් කරන ලදී.

මෙවර ඇය වෛද්‍ය ප්‍රතිකාරවලින් සුව කළ නොහෙන රෝගයකට මුහුණ දී සිටි නිසා, සිය මවට උරුම දෛවය බාර ගැනීමට හැර කළ හැකි අන් කිසි දෙයක් චැප්ලින්ට නොවීය. මිය යන තෙක්ම චැප්ලින්ගේ මව සිටියේ රෝහල් ගතව ය.

වයස අවුරුදු 13 න් ඔබ්බට පාසැල් අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාවක් චැප්ලින්ට උදා නොවූවද, සිය මව විසින් ඔහු තුළ දක්ෂතාවයක් තිබෙන බවට ඇති කරනු ලැබූ ආත්ම විශ්වාසය චැප්ලින්ව නිරන්තරයෙන් දිරිමත් කරනු ලැබීය. ඉන් පසු තම පියා මගින් දැන හැඳින ගෙන තිබූ ප්‍රසිද්ධ නැටුම් කණ්ඩායමකට සම්බන්ධව ගී ගැයිමේ යෙදෙමින් සංගීත වේදිකාවල පෙනී සිටීමට අවස්ථාව ඔහුට උදාවිය.

මේ ආකාරයට 1906 වන විට Juvenile Act Casey’s Circus කණ්ඩායමට සම්බන්ධ වූ ඔහු තමාට අවුරුදු 18 වන විට දක්ෂ හාස්‍ය රංගන ශිල්පියෙකු ලෙස නමක් දිනා ගැනීමට සමත් විය. ඉන් අනතුරුව 1908 දී තම සොයුරු සිඩ්නි චැප්ලින්ගේ උදව්වෙන් ෆ්‍රෙඩ් කානෝ නැමැත්තාට අයත් සුප්‍රකට හාස්‍යොත්පාදක නිර්මාණ සහ රංගන සමාගමට එක්වීමට ඔහුට අවස්ථාව උදා විය.

මෙයින් ඉදිරිපත් කරන ලද සෑම හාස්‍ය ප්‍රසංගයකදී ම චැප්ලින් තමාගේ උපරිම දක්ෂතාවය පෙන්නුම් කරන ලද හෙයින් සමාගම් හිමිකරු වන කානෝ විසින් ඔහුව ඇමෙරිකානු සංචාරයකට තෝරා ගන්නා ලදී.

මාස 21 ක් තිස්සේ කෙරුණු එම සංචාරයේ ද්ී ඇමෙරිකන් රසිකයින් විසින් චැප්ලින්ගේ රඟපෑම් මහත් ආදරයෙන් අගය කරන ලදී. ඇමෙරිකන් ජනතාව තුළ චැප්ලින් ට තිබූ ඉල්ලුම කෙතෙක් වී ද යත්, 1912 දී ආපසු එංගලන්තයට පැමිණි චාලි චැප්ලින්ට එම වසරේ ඔක්තෝබර් මාසයේ දී යළිත් ඇමෙරිකාවට පැමිණෙනු පිණිස ආරාධනයක් ලැබිණි.

මෙම ඇමෙරිකානු සංචාරයේ දී චාලි චැප්ලින් නිව්යෝක් මෝෂන් පික්චර්ස් සමාගම සමඟ එකතු වූයේ ය. එහෙත් සිනමා කරුවෙකු ලෙස ඔහුගේ ගමන් මඟ නිසි ලෙස ආරම්භ වූයේ 1913 ලොස් ඇන්ජලීස් වෙත පැමිණ කීස්ටෝන් ස්ටුඩියෝ හි වැඩ ආරම්භ කිරීමත් සමඟ ය. මෙතෙක් වේදිකාවේ පමණක් කටයුතු කර තිබූ හෙයින් මෙහිදී ඔහුට චිත්‍රපට ක්ෂේත්‍රයේ වැඩ කටයුතු පිළිබඳව අධ්‍යයනයක යෙදීමේ අවස්ථාව උදා විය. මෙහිදී තම ප්‍රථම සිනමා රංගනය ඉදිරිපත් කරනු ලැබුවේ මේකින් අ ලිවින්ග් චිත්‍රපටයට පෙනී සිටිමිනි. 1914 පෙබරවාරි මස 20 වෙනි දින මෙම චිත්‍රපටය තිරගත වූ අතර මෙම චිත්‍රපටයේ තමන්ගේ රඟපෑම ගැන මෙන් ම තමන්ගේ රූපය ඉදිරිපත් වූ ආකාරය ගැන ද ඔහු තුළ කිසිදු තෘප්තියක් නොවී ය.

අනෙක් පැත්තෙන් මෙම චිත්‍රපටියේ රඟපාන කාලය අතරතුර ඔහුට අසාධාරණකම් රැසක් සිදු වූ බව පැවසෙන අතර, ඔහු රඟපෑ සමහර කොටස් ඔහුට නොදන්වාම ඉවත් කර තිබූ බව ද සඳහන් වේ.

ඔහු කීස්ටෝන් සමාගමට බැඳුණේ ඉතාම කුඩා දර්ශනවලට පෙනී සිටින සුළු චරිතවල යෙදෙන නළුවෙකු ලෙස ය. නමුත් ඉතා කෙටි කලකින් කැමරාව ඉදිරියේ කරන සිනමා රංගනයට අමතරව තිර නාටක රචනය, අධ්‍යක්ෂණ නිෂ්පාදනය සහ අංග රචනය ආදී සෑම අංශයක් පිළිබඳව ම මනා පුහුණුවක් ලබා ගැනීමට ඔහු සමත් වූයේ ය. ඒ සමඟ ම චිත්‍රපට සඳහා පෙනී සිටින තමන්ගේ චරිතය සඳහා වෙනම ම අනන්‍යතාවයක් ගොඩ නගා ගැන්ීමට ඔහු කල්පනා කළේ ය.

චාලි චැප්ලින් යන නාමය සිහිපත් වූ සැනින් අදටත් සිහියට නැගෙන රස්තියාදුකාර පුංචි මහත්තයාගේ චරිතය ගොඩ නැගුණේ ඔහු එම කල්පනාව ක්‍රියාවට නැගීිමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඔහු පවසා ඇත්තේ තමාට තම චරිතයේ සියලු දේ වෙනස් ආකාරයකින් සිදු කරන්නට උවමනා වූ බව ය.

ඒ අනුව එල්ලා හැලෙන කලිසම, ඇඟට හිර වූ උඩු කබාය, ප්‍රමාණයට වඩා ඉදිරියට නෙරා ගිය විශාල සපත්තු දෙක, හිට්ලර් පන්නයේ උඩු රැවුල සහ කුඩා තොප්පිය යන මේ සියල්ලෙන් සම්පූර්ණ වූ මේ චරිතය හුදු රස්තියාදු කාරයෙක් හෝ පාදඩයෙක්ම නොවේ. මේ චරිතය තුළ සකල මිනිස් ගුණාංගයන් සියල්ලක්ම පවතී. මෙම රස්තියාදුකාර මහත්තයාගේ චරිතය විසින් මු`ථ සමාජ ක්‍රමයේ ම නියෝජනයක් සිදු වන බව විචාරකයින්ගේ මතය වී තිබේ.

නමුත් වෙනත් අධ්‍යක්ෂවරුන්ගේ මෙහෙයවීම්වලට යටත් වී තම රංගන ශෛලියෙන් නිසි ප්‍රතිඵල ලබාගත නොහැකි බව වටහා ගත් චැප්ලින් තමා ම චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසියේ එහි ප්‍රධාන චරිතය ද නිරූපණය කරමිනි.

මේ ආකාරයට ඔහු විසින් නිර්මාණ කර ප්‍රධාන චරිතය රඟපාන ලද ලද මුල්ම චිත්‍රටය වූයේ කෝට් ඉන් ද රේන් ය. කෙටි නිහඬ චිත්‍රපටයක් වූ එය 1914 දී ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද්දේ කීස්ටෝන් සමාගම වෙනුවෙනි. මෙය ඉතාමත් ඉහළ සාර්ථකත්වයක් අත් කරගත් අතර, චැප්ලින් විශිෂ්ට අධ්‍යක්ෂවරයෙකු හා න`ළුවෙකු ලෙස ස්ථාවරත්වයකට ගෙන ඒමට සමත් විය.

ඉන්පසු තව දුරටත් කීස්ටෝන් සමාගම වෙනුවෙන් ම තනි රීලයේ සහ රීල් දෙකේ චිත්‍රපට ගණනාවක් ඔහු විසින් නිර්මාණය කරන ලදී, මේ අන්දමට 1914 වසර තුළදී ඩෝ ඇන්ඩ් ඩයිනමයිට් චිත්‍රපටය නිර්මාණය කළ චැප්ලින් තව දුරටත් ද රවුන්ඩර්ස්, ද නිව් ජනිටර්, හිස් මියුසිකල් කැරියර්, අ බිසි ඩේ, ටිලීස් පන්ක්චර්ඩ් රොමැන්ස්, වැනි චිත්‍රපට ගණනාවක් ද එම සමාගම වෙනුවෙන් ම නිර්මාණය කළේ ය.

මේ ආකාරයට එතැන් සිට කීන්ස්ටෝන් සමාගමේ බොහෝ චිත්‍රපට චාලි චැප්ලින් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඒවා වූ අතර, ඒ හැම එකක් ම පාහේ අති සාර්ථක වූ බැවින් චැප්ලින්ගේ දිවියේ ස්වර්ණමය යුගය උදා විය.

ඒ කාලය වන විට චාලි චැප්ලින් සෑම චිත්‍රපට සමාගමකට ම අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු වූ අතර, කීන්ස්ටෝන් සමාගමෙන් ඔහුට සතියකට ලැබූ වැටුප වූයේ ඩොලර් 150කි. එය 1913 දී ඔහු එම සමාගමට බැඳෙන අවස්ථාවේ ලැබුණු වැටුප විය. ඉන් වසර දෙකකට පසු 1915 දී එසනි සමාගම සමඟ ගිවිසුමකට අත්සන් තබනු ලැබුවේ සතියකට ඩොලර් 1250ක් වැනි වැටුපක් වෙනුවෙනි.

මින් අනතුරුව මියුචුවල් සමාගමට බැඳූණු ඔහු එහි දී අත්සන් කළ ගිවිසුමට අනුව නව වැටුප වූයේ සතියකට ඩොලර් 10,000 කි. මෙම වැටුපට අමතර ව ඩොලර් 1,50,000ක බෝනස් දීමනාවක් ද එයට ඇතුළත් විය. නමුත් සියල්ලන් තුළම විස්මය දනවන කරුණ වූයේ චාලි චැප්ලින්ට මේසා අති විශාල ධනස්කන්ධයක් වැටුප වශයෙන් ලබා දුන් මේ සෑම චිත්‍රපටයක් ම රීල් එකකින් හෝ දෙකකින් යුතු නිහඬ චිත්‍රපට වීම ය.

මේ ආකාරයට නිතැනින් ම සුපිරි තරුවක් බවට පත් වූ චැප්ලින් 1917දී ෆස්ට් නැෂනල් සමාගම සමඟ ඩොලර් මිලියනයක ගිවිසුමකට අත්සන් තබනු ලැබීය. ඒ මාස 18ක් තුළ චිත්‍රපට 8ක් තැනීම සඳහා ය.

මෙම පසුබිම මත චාලි චැප්ලින්ගේ ජීවිතය මනා ස්ථාරත්වයකට පත් වූ අතර, සිනමා කර්මාන්තය ද අංක එකේ ධනෝපායන මාර්ගයක් ලෙස ප්‍රචලිත විය. මේ සමඟ ම සිනමා ක්ෂේත්‍රය තුළ තරු සංකල්පය උපත ලබන්නට පටන් ගත් අතර, චාලි චැප්ලින් ද එහි අංක එකේ තරුවක් බවට පත් වූයේ නිතැනිනි. චාලි චැප්ලින්ගේ ගමන් මඟෙහි සාර්ථකත්වය ගැන සලකා බලන කළ ඒ සඳහා බලපෑ ප්‍රධාන කරුණූ 3ක් ඇති බව පෙනෙන්නට තිබේ.

ඉන් එකක් වන්නේ ආරම්භයේ සිටම ඔහු ලැබූ ජනප්‍රියත්වයයි.

මේ වන විට චිත්‍රපට කර්මාන්තය අධික ලාභයක් උපදවන විශාල වාණිජ ව්‍යාපාරයක් බවට පත් වී තිබීම දෙවැනි කාරණයයි.

තුන්වැනි කරුණ වන්නේ චැප්ලින් තනි පුද්ගලයෙකු ලෙස මෙම කර්මාන්තයේ යෙදෙන්නට පටන් ගත් තැනැත්තා බවට පත්වීම ය.

ඔහුගේ නිර්මාණාත්මක ගමන් මඟ දෙස බලන කල 1915දී ඔහු එසනි සමාගම වෙනුවෙන් හිස් නිව් ජොබ්, අ නයිට් අවුට්, සහ ද ට්‍රෑම්ප් යන චිත්‍රපට තැනුවේ ය.

1916 දී හෙතෙම රීල් දෙකේ තුනේ නිහඬ චිත්‍රපට වශයෙන් කාර්මන්, පොලිස්, ද ෆ්ලෝ වෝකර්, ද ෆයර්මන්, ද පෝන්ෂොප්, බිහයින්ඩ් ද ස්ක්‍රීන්, වැනි නිර්මාණ බිහි කළේ ය. 1917 දී ඔහු මියුචුවල් සමාගම සඳහා ද ඉමිග්‍රන්ට්, ඊසි ස්ටි්‍රට් වැනි චිත්‍රපට නිර්මාණය කළේ ය. 1918 දී ඔහු ටි්‍රපල් ට්‍රබල්, අ ඩෝග්ස් ලයිෆ්, ද බොන්ඩ්, ෂෝල්ඩර් ආම්ස්, වැනි තනි රීලයේ චිත්‍රපට නිර්මාණය කළේ ය.

මේ අයුරින් වසර හතරක කාලයක් මු`ථල්ලේ, එනම් 1914 සිට 1918 දක්වා නිහඬ තනි රීලයේ හෝ රීල දෙකේ චිත්‍රපට නිර්මාණය කළ චාලි චැප්ලින් 1918 දී ඔහුගේ නිර්මාණ රීල් හය දක්වා වර්ධනය කළේ ය. මේ අන්දමට ඔහු දීර්ඝ වෘතාන්ත චිත්‍රපට නිර්මාණයට එළඹීම තුළින් ඔහු සතු නිර්මාණාත්මක ප්‍රතිභාවේ විවිධ මංසලකුණු ප්‍රේක්ෂකයාට දැකගත හැකි විය. මේ සමඟ ම හෙතෙම ඇතැම් නිර්මාණ සඳහා ද තමාට සුපුරුදු රස්තියාදුකාරයාගේ චරිතයෙන් අත් මිදී විවිධ චරිත නිරූපණයන්ට ද යොමු විය.

1923 දී ඔහු සිය ප්‍රහසන ශෛලීයෙන් සපුරාම වෙනස් වූ චිත්‍රපටයක් වන අ වුමන් ඔෆ් පැරිස් නැමැති නිර්මාණය බිහි කළේ ය. ඔහු විසින් ම ආරම්භ කරන ලද යුනයිටඩ් ආටිස්ට්ස් සමාගම වෙනුවෙන් සෑදූ මුල්ම චිත්‍රපටය වන එය චැප්ලින්ගේ පළමුූ දීර්ඝ වෘතාන්ත චිත්‍රපටය විය. මෙම චිත්‍රපටය සඳහා දුම්රිය පොළක පෝටර් කෙනෙකු ලෙස ඉතා කුඩා චරිතයක් නිරූපණය කළ චාලි චැප්ලින් මෙම චිත්‍රපටය තුළින් ඉදිරිපත් කරනු ලැබුවේ ගමක ජිවත් වූ අව්‍යාජ ගැමි තරුණියක් නගරයට පැමිණි්මෙන් පසු මුහුණ දෙන තත්ත්වයයි.

මෙම චිත්‍රපටයේ ගැමි තරුණියගේ චරිතය රඟපෑවේ එඩ්නා පර්වියන්සේය. එඩ්නා පර්වියන්සි යනු ඔහුගේ ප්‍රියතම නිළියයි. ඇය ඔහුගේ සෑම චිත්‍රපටයකම පාහේ ප්‍රධාන නිළිය ලෙස රඟපෑවා ය.

ඔහු 1921 දී තැනූ ද කිඩ් නැමැති චිත්‍රපටය චාලි චැප්ලින් ලොව පුරා ජනප්‍රිය කරවීමට බලපෑ බොහෝ සෙයින් ප්‍රසිද්ධියට පත් නිර්මාණයක් විය. ජැක් කූගන් නමැති ළමා න`ථවා ඉතා දක්ෂ ලෙස මෙහි චරිත නිරූපණයක යෙදෙන්නේ එම ළමා චරිතය පිළිබඳව අමරණීය මතකයක් ප්‍රේක්ෂකයා තුළ රඳවමිනි.

චිත්‍රපට කලාව කතානාද යුගයකට එළඹිමත් සමඟ චාලි චැප්ලින්ට තමන්ගේ ක්‍රියාවලිය වඩාත් ව්‍යාප්ත කිරීමේ අවස්ථාව උදා වුවද, ඔහු හඬ පටයක් නොමැතිවම ඒ වන විට ප්‍රේක්ෂකයාට මාහැඟි සිනමා කෘති ගණනාවක් දායාද කොට දී තිබිණි. 1931 දී තනන ලද සිටි ලයිට්ස් මෙන් ම 1936 දී නිමවූ මොඩර්න් ටයිම්ස් ද එවැනි අග්‍රගණ්‍ය සිනමා කෘති දෙකකි. ඔහුගේ චිත්‍රපට අතරින් වඩාත් ම ශ්‍රේෂ්ඨතම නිර්මාණය ලෙස සැලකෙන 1925 දී තනන ලද ගෝල්ඩ් රෂ් චිත්‍රපටය යි. මෙම සිනමා කෘති අතරින් සිටි ලයිට්ස් නැමැති චිත්‍රපටය මුල් වටයේ ප්‍රදර්ශනයෙන් පමණක් ඔහුට ඩොලර් ලක්ෂ 50ක පමණ ආදායමක් ලබා දී තිබෙන බව වාර්තා වේ.

1947 දී මොසියර් වර්දූ නමින් චිත්‍රපටයක් තැනූ ඔහු මෙහි දී පාදඩයාගේ චරිතයෙන් මිදුණේ ය. එයට අන්තර්ගතව තිබුණේ තම රැකියාව අහිමි වීම නිසා අසරණ වූ පුද්ගලයෙක් සිය දරු පවුල රැක ගැනීම සඳහා මිනී මැරීමේ යෙදෙන ආකාරයයි. උපායශීලීව ධනවත් කාන්තාවන් රවටා ඔවුන්ව විවාහ කර ගන්නා වර්දු නැමැත්තා ඉන්පසු සිය මනාලියන් රහසේ ඝාතනය කර එම ධනය සිය දරු පවුල නඩත්තු කිරීමට යොදා ගන්නා අයුරු මෙම චිත්‍රපටයෙන් දැක ගත හැකි විය. මෙම චිත්‍රපටය තුළින් ඔහු සමස්ත ධනවාදී සමාජයටම එල්ල කළ උපහාසය කොතෙක් තියුණු වීද, එක්තරා කාලයක එය ඇමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවලදී ප්‍රදර්ශනය කිරීම පවා තහනම් කෙරිණි.

කතානාද චිත්‍රපට යුගය එළඹීමත් සමඟ චැප්ලින් විසින් නිර්මාණය කරන ලද ආන්දෝලනාත්මක චිත්‍රපටයක් වූයේ ද ග්‍රේට් ඩික්ටේටර් ය. චාලි චැප්ලින් මෙහි හිට්ලර්ගේ චරිතයත්, එම ස්වරූපයම ඇති බාබර් කෙනෙකුගේ චරිතයත් රඟ පෑ අතර, මෙය විචාරකයන් අතර, දැඩි ලෙස කතා බහට ලක් වූ චිත්‍රපටයක් විය. නිව්යෝර්ක් ටයිම්ස් හි සිනමා විචාරකයින් පැවසුවේ මැත කාලයේ ප්‍රේක්ෂකයින් වඩාත්ම අපේක්ෂාවෙන් බලා සිටි චිත්‍රපටය වූයේ එය බව ය. ද ග්‍රේට් ඩික්ටේටර් චිත්‍රපටය හොඳම තිර නාටකය, හොඳම චිත්‍රපටය, හොඳම නළුවා ඇතුලුව ඇකඩමි සම්මාන පහකට නිර්දේශ විය.

අනෙක් සිනමා කෘති තරම් වැඩි කතාබහකට ලක් නොවූවද ද සර්කස් (1928), ද කින්ග් ඉන් නිව්යෝර්ක් (1957) සහ කවුන්ටස් ෆ්‍රොම් හොන්ග් කොං (1967) යන චිත්‍රපට ද ඔහුගේ සිනමා ගමන් මගෙහි නිර්මණාත්මක මං සලකුණු ය.

චාලි චැප්ලින් සිනමාවට සම්බන්ධ වන යුගයේ විකට චිත්‍රපට තැනීමේ යෙදී සිටි කීස්ටෝන් සමාගමේ නිර්මාණවල හාස්‍යොත්පාදක සිදුවීම් ලෙස දක්නට ලැබුණේ ඇද වැටීම්, වේගයෙන් ගමන් කිරීම්, පැන දිවීම් සහ පයින් ගැසීම් ආදී ක්‍රියාවන් ය. කීස්ටෝන් සමාගමේ ප්‍රධාන විකට ශිල්පියා වූයේ ෆෝඩ් ස්ටර්ලින් නැමැත්තෙකි. ඇවිදින අතරේ ගසක හෝ ලාම්පු කණුවක හැපීම, කාගේ හෝ පස්ස පැත්තට පහර දී පැන දිවීම වැනි කාරණා හාස්‍යය මැවීමට උපයෝගී කරගෙන තිබිණි. එමෙන්ම ඒවාට කාටූන් චිත්‍ර එක් කිරීමෙන් හාස්‍ය තීව්ර කිරීමට ද උත්සාහ ගෙන තිබිණි.

නමුත් 1913 දී කීස්ටෝන් සමාගමට බැඳුණු චාලි චැප්ලින්ගේ රංගන විලාශය ඊට වඩා නිර්මාණාත්මක එකක් විය. උදාහරණයක් වශයෙන් චාලි චැප්ලින්ට තම රංගනයේදී ගසක හෝ කණුවක හැපීමට සිදු වුවහොත්, ඔහු විසින් කරනු ලැබුවේ සිය හිස් වැස්ම ගලවා, කණුවෙන් සමාව අයදීම ය. මෙවැනි බොහෝ සියුම් අභිනයන් සහිතව රංගනයේ යෙදුණු චැප්ලින්හට කීස්ටෝන් සමාගමේ වැඩිම ඉල්ලුමක් සහිත නළුවා බවට පත්වීමට ගත වූයේ ඉතා ටික කලකි.

ඉක්බිති ඔහු කොතරම් ජනප්‍රිය වූයේ ද යත් ‘අද චැප්ලින් මෙහි සිටී” යන කුඩා දැන්වීමක් වුවද වැළ නොකැඩී ප්‍රේක්ෂකයා අද්දවා ගැනීමට මහෝපකාරී විය.

ඔහු ප්‍රථම වරට තමාගේ සුප්‍රකට රස්තියාදු කාර පුංචි මහත්තයාගේ චරිතය ලෝකයාට හඳුන්වා දෙනු ලැබුවේ කීස්ටෝන් සමාගම වෙනුවෙන් රඟපෑ දෙවන චිත්‍රපටය වූ කිඩ් ඔටෝ රේසස් ඇට් වෙනිස් (1914) නම් තනි රීලයේ චිත්‍රපටයෙනි.

කිසි දිනක සංගීතය හෝ සංගීත භාණ්ඩ වාදනය කිරීම පිළිබඳව පුහුණුවක් ලබා නොතිබුණු නමුත් ඔහු දක්ෂ සංගීත නිර්මාණකරුවෙක් බව ද අමතක නොකළ යුතු කරුණකි. ඔහු තමාගේ සියලුම සිනමා පටවල සංගීතය නිර්මාණය කළේය. ඔහු 1952 දී නිර්මාණය කළ ලයිම් ලයිට් චිත්‍රපටය වෙනුවෙන් 1972 වසරේදී ඔස්කාර් සම්මානය තිළිණ කරනු ලැබීය. චෙලෝ නමැති සංගීත භාණ්ඩය වාදනය කිරීම සඳහා විශේෂ හැකියාවක් තිබූ පුද්ගලයකු ලෙස ද ඔහු ගැන සඳහන් කළ යුතුව ඇත.

1932 වසරේදී ශ්‍රී ලංකාවට ද පැමිණ ඇති චාලි චැප්ලින් මහනුවරදී ලංකාවේ සාමාන්‍ය ජනතාව සමඟ එක්ව හිඳමින් පින්තූරයකට ද මුහුණ දී තිබේ.

සිව් වරක් විවාහ වී දරුවන් 11 දෙනෙකුගේ පියෙකු වී වසර 88ක් පමණ කලක් ජීවත් වූ ඔහු 1977 දෙසැම්බර් 25 නත්තල් දවසේ දී ස්විට්සර්ලන්තයේදී ඉතාම සාමකාමී ලෙස මෙලොවින් සමුගත්තේය.

වසර 40 කට ආසන්න කාල පරිච්ඡේදයක් ඇමෙරිකාව තුළ ජීවත් වුවද, සිය මව්රට වූ බි්‍රතාන්‍යයට තිබූ බැඳීම හේතුවෙන් චැප්ලින් ඇමෙරිකන් පුරවැසියෙකු වීමෙන් වැළකී සිටියේ ය. මේ අතර ඇතැම් දේශපාලන හේතු මත ඇමෙරිකන් ආගමන විගමන නිලධාරීහු ඔහු 1952 දී ඔහු බි්‍රතාන්‍ය සංචාරයක යෙදී සිටියදී නැවත එක්සත් ජනපදයට පැමිණිමට අවසර ලබාදීමෙන් වැළකී සිටියහ. මේ හේතුකොට ගෙන අතිශයින් කෝපයට පත් චාලි චැප්ලින් එක්සත් ජනපදයට යළි වීසා නොඉල්ලා ස්විට්සර්ලන්තය සිය පදිංචිය ලෙස තේරා ගත්තේ ය.

මේ අයුරින් වරක් ඔහුව එපාවුණු ඇමෙරිකා එක්සත් ජනපදයටම 1972 දී යළි ඔහුව ගෙන්වා ගැනීමට අවශ්‍ය විය.

ඒ ඔහුට හිමිවුණු ඔස්කාර් සම්මානය පිළිගැන්වීම පිණිස ය.

තිස්ස ප්‍රේමසිරි  

Leave a comment

This website uses cookies to improve your web experience.