‘ඒ සමනලුන්’ සමාජ සංවේදීත්වයේ ගැඹුර පරාවර්තනය කරන වර්ණවත් කැඩපතක්!
“ඒ සමනලුන්මියගියේ මා නමින් නම් ?” යනු කවි පොතක නමක් සඳහා වූ අපූර්ව යෙදුමකි. අන්තර්ගතය නොදැන වුව පොත කියවීම සඳහා උනන්දුව ඇති කරන්නක් වූ එනමින් යුතු කෘතිය නව පරපුරේ නිර්මාණකරුවෙකු වූ ගගන ලක්සර වර්ණකුලසූරියගේ පළමු කාව්‍ය සංග්‍රහයයි. සහෘද ප්රකාශනයක් වූ එය 2023 වසරේ ගොඩගේ සම්මාන උළෙලේ අවසන් පූර්ව වටයට ද නිර්දේශ වූ කෘතියකි. එහෙත් ඊට වඩා පුළුල් විචාරක අවධානයක් මෙම කෘතියට ලැබිය යුතු බව අපගේ හැගීමයි.
ගගනගේ බොහෝ කවි අප සිත පැහැර ගන්නේ එහිදී ඔහු යොදා ගන්නා තේමාවල නැවුම් බවත් ඔහුගේ අපූර්ව කවි බසත් ඇතැම් කවි සඳහා යොදා ගන්නා ආකෘතියෙහි නැවුම් බවත් නිසා ය.
එමෙන් ම මෙම කෘතිය තරුණ කවියෙකු ලෙස ඔහු සතු සමාජ සංවේදීත්වය හා දේශපාලනික සවිඥ්ඥාණකත්වයත් පරාවර්තනය කරන වර්ණවත් කැඩපතක් වැන්න. එය ද විශේෂයෙන් ඇගයුමට ලක් විය යුතු යයි සිතමු.
නිදසුනක් ලෙස ඔහුගේ “ජොගින් ට්‍රැක් හුගක් ලස්සන බව ඇත්ත” යන කාව්‍යය දැක්විය හැකිය.
කිවුල් පෑ සිනා රැඳි කලපුව පැත්ත
නොබලනු! ඒ දිහා අමු කළුවර තිත්ත
වරා මල් නෙවෙයි වැඩි හැඩ ඇති ඉත්ත
ජොගින් ට්‍රැක් හුගක් ලස්සන බව ඇත්ත
(63 පිටුව)
කවියා මෙම කවියට නිමිති කිහිපයක් යොදා ගනියි. එම විස්තරය තරමක් දිගු ය. එය කවිය අවසානයේදී සටහනක් ලෙස යෙදේ. එහි සඳහන් වන හැටියට ප්‍රධාන වශයෙන් කින්නියා ප්‍රදේශය ආසන්න කලපුවක පාරුවක් පෙරළීමෙන් පාසල් සිසුන් ඇතුළු පිරිසක් අනතුරට ලක් වීම, දිවයින පුරා ඇවිදින මං තීරු ඉදි වීම වැනි කාරණා කිහිපයක් වටා කවිය ගෙතෙන බව .සඳහන් වේ. ( 64 පිටුව ) එහි සාර්ථකත්වය වන්නේ මෙම ප්රවෘත්ති කිහිපය එකට සංකලනය කොට ජනප්රවාදයේ එන සංකේත භාවිතයකින් කවියා පුවත් වටිනාකමින් එහාට ගිය සමාජ යතාර්ථයක් දක්වා පාඨකයා ගෙන යාමයි.
දිය රකුසන් ගහන දිය පතුළක අඳුර
ගැන විතරයි නො වෙද නුඹ දන්නේ මිතුර
ගිනි මකරුන් කරන පොළොවක දිය නො හැර
පෙරළති ඔරු පාරු වුව සතුටට නිතර
අපගේ කියවීම අනුව කවියා මෙහිදී දිය රකුසන් සහ ගිනි මකරුන්ගෙන් සංකේතාත්මකව හඟවන්නේ පවතින ක්‍රමය විසින් එය පවත්වාගෙන යාම පිණිස ගොඩ නගන අධිපති දෘෂ්ටිවාදයයි. එයින් ගොඩ නගන්නේ මිත්‍යාවකි. සමස්ත ක්රමයෙහි වියවුල විද්‍යාමාන වීම ඉන් වසා ඇත. මේ කවිය ඉන් මිදී ”සැබෑ අර්බුදය’ දෙස වඩා ගැඹුරින් බලන්නැයි යෝජනා කරයි.
එකම තේමාවක් මාන කිහිපයකින් ස්පර්ශ කිරීමට හැකිවීම සහ එහිදී කවිය ගොඩ නැගීම සඳහා වෙනස් හැඩයන් පාවිච්චි කිරීම කවියෙකු සතු දක්ෂකමකි. මෙම කෘතියෙහි එන වාර්ගික අර්බුදය වටා ගෙතෙන කවි ඊට නිදසුන් වේ. “එකම එක වතාවයි මං ගියේ උතුරට (යාපනේ සරසවි වරම් ලැබූ මිතුරියකට) යන කවියේදීත් “වාල්දිය” යන කවියේදීත් කවියා එම තේමාවට ප්‍රවේශ වන එකිනෙකට වෙනස් මාන දෙකක් සොයා ගනියි. “අවුකන නැවතුම පහුවුණා විතරයි” කවියේදී ඔහු ඉහත කවි දෙකටම වඩා වෙනස් කම්පනීය, වඩා භාවාත්මක මානයකට පාඨකයා ගෙන යයි. අවසන් භාගයේදී මතුපිටින් දිවෙන ප්‍රේමයේ ඉසියුම් හැඟීම් යටින් ගැඹුරු සාංකාමය වේදනාවක් දනවන ඛේදනීය යතාර්ථයක් නිර්මාණශිලී ලෙස ඉස්මතු කිරීමට ඔහු උත්සාහ කරයි.
මේඝ ගර්ජන හඬක්
අපි අතර හරි මැදින් දිවෙයි
දෙ කඩ වූ මැදිරියක කෙළවරක් මා සමග
පොළෝ කුහරය තුළට ගිලෙයි
දහසකුත් වේදනා විලාපය අතරින්
වියෝ වන මට ඔබව පෙනෙයි
ඔබ දැවෙයි;
භුමිතෙල් සුවඳකින් වායුගෝලය පිරී
එකවර ම හුස්ම තද කරයි
ඔබ දැවි අළු වෙවී නිවෙයි.
මම පොළෝ පතුලට ම ගිලෙයි
(පිටුව 41/42 )
ප්‍රේමය විෂයයෙහිලා සුලබ තේමා සහිත බොහෝ කවි ලියැවෙන කාලයක,මෙම කෘතියෙහි හමුවන ගගන ලියන එවන් කවි නැවුම් ය. එම කවිවල හමුවන උපමා රූපක අපූර්ව ය.
“අළු පාට වලාකුළු ගොන්නක මම ආයෙම පැටළුණේ
අපේ ඇස් ගැටුණු පළවෙනි දවසෙ ම නෙවෙයි අරවින්ද!
ඒක කුණාටුවක තියා වැහි පොදකවත් අරමුණක් නැති
නිකන් බක් මහ අකුණක් අරවින්ද!
එතනින් පස්සෙ වුණු හැම දේම සිදු වුණේ
වඩු කුරුල්ලෙකුටවත් හිතා ගන්න බැරි තරම්
සීරුවට අරවින්ද !
(මේ පොළොවේ නැතත්, ඔය හිතේවත් මට ඉඩක් තියේවි ද අරවින්ද? – 85 පිටුව)
එවන් සමහර කවිවලදී ඔහු විද්‍යාත්මක වදන් සහ සංකල්ප කවිය වර්ණවත් කිරීමට සාර්ථකව යොදා ගනියි.
“ආදරේ සන්නිපාතය එක්ක සටන් කරල ම
ඇන්ටිජනුත් නැතිව අැති”
( පැන්ඩමික් සමයක නුඹ- 19 පීටුව)
ඩෝස් දෙකකින් නො නැවතුණ
බූස්ටර් එන්නත් කටු වගේ
අනිනවා මගේ හදවතට නුඹ”
(පැන්ඩමික් සමයක නුඹ- 21 පිටුව)
හුස්ම හිර කරන් ගුඩ්ෂෙඩ් සසර එතෙර වන
ඇමෝනියාමය කොන්ක්‍රීට් පඩි පෙළ
(එ් තමයි මගෙ මතක නුඹ ගැන- 35 පිටුව)
මෙම කෘතියෙහි එන එකී ‘ඒ තමයි මගෙ මතක නුඹ ගැන’ කවිය ගගනගේ කවියෙහි මටසිලුටු බවත්, ඔහුටම ආවේණික යෙදුම්වල වර්ණයත් විශේෂයෙන් සලකුණු කරන්නක් බව පෙනේ.
ගන්ධබ්බ කොරන්ටීන් ඉඩෝරෙන් අනතුරු ව
ආයෙමත් මල් නො පිපි ඒ නුවර
ගී ගයා ඉක්බිතිව වසුරු අත්සන් තබා ඉගිල යන
කපුටන් ගෙ පැණිදෙණිය හෝල්ටෙක
ටයිල් කළ වසන්තෙක බලෙන් ඇස් ඇර ඉන්න
සභාවේ ටොරින්ටන් පාර්ක් එක
හුස්ම හිර කරන් ‘ගුඩ්ෂෙඩ් සසර’ එතෙර වන
ඇමෝනියාමය කොන්ක්‍රීට් පඩි පෙළ
( ඒ තමයි මගෙ මතක නුඹ ගැන -35 පිටුව)
තවදුරටත් සංකල්පමය වශයෙන් මුවහත් කර, ඔප් නැංවිය යුතු යැයි සිතෙන කවි මෙම කෘතියෙහි අඩංගුව ඇතත්, ඉදිරියේදී ප්‍රතිභාපූර්ණ කවියෙකු බවට පත් වීමේ සලකුණු නොමඳව, තරුණ කවියෙකු වන ගගනගේ බොහෝ කවි තුළ දකින්නට ලැබේ. “ඒ සමනලුන්මියගියේ මා නමින් නම්” සිංහල කවියේ අනාගතය පිළිබඳව බලාපොරොත්තු දල්වන්නක් බවට පත් වන්නේ එබැවිනි.