ආර්ථික අර්බුද සමය සහ මඩකලපුවේ යුක්තිය ඉල්ලීමේ පා ගමන්

තවරාසා අනුකුවි
28 Min Read

2022 වසරේ කොළඹ ගෝල්ෆේස් විරෝධතා සමයේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ පැවැති ‘යුක්තිය ඉල්ලීමේ පා ගමන’ සහ එම ප්‍රදේශය ආශ්‍රිතව ගොඩ නැගුණු විශේෂ විරෝධතා මාදිලි පිළිබඳව ලියැවුණු විමර්ෂනාත්මක ලිපියක සිංහල පරිවර්තනයකි. ගෝල්ෆේස් විරෝධතා සම්බන්ධව උතුරු නැගෙනහිර වැසියන්ගේ ආකල්ප ද විමසා බැලෙන මෙම ලිපිය පර්යේෂකයා විසින් මාස ගණනාවක් තිස්සේ මඩකලපුවෙහි පැවැති එම විශේෂ විරෝධතාව නිරීක්ෂණයෙන් ලබා ගත් දත්ත ඇසුරෙන් ලියැවී තිබේ.

හැඳින්වීම
ගෝටාගෝහෝම් (#GotaGoHome) උද්ඝෝෂණ ඇරඹීමත් සමග උතුරු සහ නැගෙනහිර ‘ජනතාව’ද එයට සහයෝගය පළ කරමින් එම උද්ඝෝෂණයට එක්විය යුතුද නැද්ද හෝ ඔවුන් එම උද්ඝෝෂණවලට එක් වෙයිද නැද්ද යන්න මහත් විවාදාසම්පන්න මාතෘකාවක් බවට පත් වී තිබිණ. (පන්ඩීර් සහ කනපතිපිලෛ, 2022; සන්ද්‍රනාදන්, 2022; එලිස් – පීටර්සන් සහ සන්ද්‍රන්, 2022; ඩි සොයිසා, 2022; ඩි සෙයිරා, 2022). යුද්ධයෙහි අවසානයේ සිට ම දිගු කලක් තිස්සේ උතුරු නැගෙනහිර ජනතාව සිය මූලික අයිතිවාසිකම් දිනා ගැනීම, සංස්ථාපිත වෙනස්කොට සැලකීම්වලට එරෙහි වීම, සංඛ්‍යාත්මකව සුළු ජාතිකයන් වන ජනතාවට එල්ලවන වර්ගවාදී ප්‍රහාරවලට එරෙහි වීම, යුක්තිය ඉල්ලා සිටීම, වගඋත්තරදායකත්වය, දිගුකල් පවතින සාමය, මිලිටරිකරණයට විරුද්ධව දිගින් දිගටම ගෙන යන විරෝධය, තමන් ජීවත් වන උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් අහිමි වීම වැනි කාරණා පාදක කරගෙන අඛණ්ඩ අරගලවල යෙදී සිටිති. ඒ සමගම උතුරු නැගෙනහිර ජනතාව මෙවැනි ආහාර හෝ වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල අර්බුදයකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙම කාලය නොවන බවත් සඳහන් කිරීම වටී. සිවිල් යුද්ධය පැවැති අවුරුදු 26ක් පුරාම- විශේෂයෙන් 2009 වසරේ යුද්ධයෙහි අවසන් කාල සීමාව තුළ උතුරු නැගෙනහිර ජනතාව දැඩි ආහාර, ඉන්ධන සහ බෙහෙත් හිඟයකට මුහුණ දුන්හ. (සන්ද්‍රනාදන්, 2022)

මෙවැනි පසුබිමක් තුළ මා මෙම ලිපියෙන් විමර්ශනය කිරීමට බලාපොරොත්තු වන්නේ මා ජීවත්වන මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාව කොළඹ පැවති ගෝටාගෝහෝම් උද්ඝෝෂණ කෙරෙහි දැක්වූ ප්‍රතිචාර සහ කොළඹ සහ මඩකලපුව දක්වා අවධානය විතැන් කරන විට ලැබුණු යථාර්තය පිලිබඳ පුළුල් සහ නිවැරදි අවබෝධය බෙදා ගැනීමයි. මෙම රචනාව සඳහා මගේ පුද්ගලික අත්දැකීම්, විවෘත සාකච්ඡා සහ 2022 ජනවාරි සිට ජූලි දක්වා මෙම විරෝධතාවලට සහභාගි වීමෙන් ලැබුණු අත්දැකීම් ඇතුළත් කර ඇත. මෙම රචනාව සඳහා ඇතුළත් කර ඇති සේයාරූ මගින් මෙම ප්‍රදේශයේ ජනතාව සතු, දුෂ්කරතා හමුවේ නොසැලී නැගී සිටීමේ හැකියාව සහ මඩකලපුව ප්‍රදේශය ආශ්‍රිත විශේෂ විරෝධතා ආකෘතියක්  නිරූපණය කරයි. එමෙන්ම එය ගෝටාගෝහෝම් විරෝධතා සම්බන්ධයෙන් මෙහි වෙසෙන ජනයාගේ  ව්‍යාකූල, මිශ්‍ර හැඟීම් සහ විවිධාකාරයේ ආකල්ප පිළිඹිබු කරන අතර එය දිස්ත්‍රික්කයේ මෙතෙක් පැවැති සිවිල් සමාජ විරෝධතාවලම දිගුවක් බව ද නිරීක්ෂණය කළ හැකි වෙයි.

මඩකලපුව

මඩකලපුව යනු බහු වාර්ගික, බහු ආගමික සමාජ වියමනකි. එහි බහුතරය දෙමළ සහ මුස්ලිම් ජනතාවගෙන් සමන්විතය. මෙහි සමාජ වියමන තවදුරටත් විභේදනය වෙමින් කුලය, වාර්ගිකත්වය, සමාජභාවී ධූරාවලි (gendered hierarchies) සහ වෙනත් සමාජ ස්ථරායනයන්ට අනුව බෙදුණු සංකීර්ණ පන්ති පද්ධතියකින් සමන්විත සමාජයක් ලෙස හැඳින්විය හැකිය. මීට අමතරව දශක ගණනක සිවිල් යුද්ධය නිසාද අන්තර් වාර්ගික ගැටුම් නිසාද ඇතිවූ විවිධාකාරයේ සමාජ ආර්ථික සහ දේශපාලන ඉතිහාසයන් නිසා සංකීර්ණ සමාජ සංස්කෘතික සහ දේශපාලන චිත්‍රයක් සහිත ප්‍රදේශයක් බවට මෙය පත් ව තිබේ. මම මඩකලපුව නගරයෙහි මෙන්ම දිස්ත්‍රික්කයේ දුප්පත්ම ගම ලෙස සැලකෙන වවුනතිවු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පවට්කොඩිච්චෙනෛ නම් මගේ උපන් ගමේද ජීවත් ව ඇත්තෙමි. සිවිල් යුද සමයේදී දිස්ත්‍රික්කයේ ජනතාව බරපතළ ආහාර සහ ඖෂධ හිඟයකින් පෙළුණහ. සිවිල් යුද්ධයෙන් පසුව මඩකලපු වැසියන්ගේ ආර්ථික දුෂ්කරතා දරා ගැනීමේ විශේෂිත ක්‍රම සහ යළි නැගී සිටීමේ හැකියාව ගැන පුදුමයක් නැත. රටේ අනෙකුත් පළාත්වල වැසියන්ට වඩා ලෙහෙසියෙන් වර්තමාන ආර්ථික අර්බුදයට මුහුණ දීමට මෙම අත්දැකීම මේ පළාත්වල විවිධ ජන කොටස්වලට උදව් විය. එනිසා කිරිපිටි හිඟ වීම, ගෑස් හිඟය, එක දිගට සිදුවූ විදුලි විසන්ධි වීම් නිසා මේ පළාත්වල වැසියන් වීදි බැස්සේ නැත. තවමත් දිස්ත්‍රික්කයේ වෙසෙන බොහෝ මිනිසුන් එසේය.

එබැවින් ආර්ථික අර්බුද සමයේ මුල් වකවානුවේදී පුද්ගලික අවකාශවලදී ඒ පිළිබඳ බොහෝ සාකච්ඡා ඇති වුවත්, අර්බුදය පිළිබඳව අවධානය යොමු කෙරුණු බව පෙනුණත් දිස්ත්‍රික්කයේ වීදි බොහෝ දුරට නිහඬව පැවැතිණි. මාර්තු 31 දා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස් වීමට බල කරමින් බස්නාහිර පළාතේ ඔහුගේ පුද්ගලික නිවහන ඉදිරිපිටදී සිය ගණනක් ජනතාව එක් වී කෙරුණු විරෝධතාවලට පසුවය, එයට සහය පළ කරමින් මඩකලපුව නගරයේ ගෝටාගෝහෝම් විරෝධතා කිහිපයක් සංවිධානය කෙරුණේ.

අප්‍රේල් 4 වැනිදා මඩකලපුවේ වැදගත් ස්ථාන දෙකක් වූ කල්ලඩි පාලම සහ ගාන්ධි උද්‍යානය අසල නැගෙනහිර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ සිසුන්ගේ උද්ඝෝෂණයක් සංවිධානය කෙරිණි. ආණ්ඩු පක්ෂයට අයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හවුල්කාර පක්ෂයක් වන ටී.එම්.වී.පී පක්ෂයේ මන්ත්‍රී සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) ගේ නිවස ඉදිරිපිටට ගොස් ඔහු ආණ්ඩුවේ දරන සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන්නැයි බල කර සිටින ගෝටාගෝහෝම් සටන් පාඨය යටතේ සංවිධානය වූ පා ගමනකට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම්ද මූලිකත්වය ගනිමින් එක් ව සිටිනු දකින්නට ලැබිණ. අප්‍රේල් 7 වැනිදා ගාන්ධි උද්‍යානය ඉදිරිපිටට එක් රැස් වූ කාන්තාවන් පිරිසක් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල පහත දමන ලෙසත්, රටේ අවවරප්‍රසාදිත ජන කොටස් වෙනුවෙන් සහනාධාර ලබා දෙන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින තවත් උද්ඝෝෂණයක් මට දකින්නට ලැබිණ.

මැයි අට වෙනිදා නැගෙනහිර විශ්වවිද්‍යාලය සහ පළාතේ මහජන සංවිධාන කිහිපයක් එක්වී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිට චෙන්ක්කලාඩි හන්දිය දක්වා පාගමනක් පැවැත්විණ. ඔවුහු එම මංසන්ධියේ ගෝටාගෝගම නමින් ආවරණයක් සහිතව දිවා රෑ පහන් කළේ ආණ්ඩුවට ඉල්ලා අස් වීමට බල කරමින් කොළඹ ගෝල්ෆේස්හි ගෝටාගෝගම අත්පත්කර ගැනීමට සහයෝගය පළ කරමිනි. මෙම විරෝධය එක දිගට දවස් විස්සක් පැවතියත් රජයේ පාර්ශ්වවලින් එල්ලවූ බියවැද්දීම් නිසා එය ඉන්පසු අත්හැරදැමුණු බව ඊට සහභාගිවූවෙකු කියා සිටියේය. මේ අතර 2022 අප්‍රේල් 18 වැනිදා ආණ්ඩුවේ නව ඇමතිවරුන් පත් කෙරුණු අතර මේ අතරට මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් පස් දෙනා අතරින් තිදෙනකු – එනම් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නසීර් අහමඞ්, ටී.එම්.වී.පී පක්ෂයේ සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සතාසිවම් වියලේන්දිරන් පත්ව සිටියහ. මෙය ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ කෝපය තවත් වැඩිකරන්නක් විය. මෙම පත්වීම් සමග එරාවුර්, ඔඩ්ඩමාවඩි සහ කල්මුනෛ ජනතාව ජනප්‍රිය නොවන පාලන තන්ත්‍රයකට දිගටම සහය දීම පිලිබඳ මෙම ඇමතිවරුන්ට විරෝධය පාමින් උද්ඝෝෂණය කළහ. මෙම උද්ඝෝෂණ ප්‍රධාන වශයෙන් සංවිධානය කරන ලද්දේ මුස්ලිම් ජනතාව වීම විශේෂයකි. ඔවුන්ගේ ස්ථාවරය වූයේ 2020 මහමැතිවරණයේදී රාජපක්ෂවරුන්ට ප්‍රතිවිරුද්ධව තරඟ කළ සමගි ජනබලවේගයට සහය දුන්, මුස්ලිම් කොංග්‍රසයෙන් නාමයෝජනා ලැබ තේරී පත්වූ නිසා නසීර් අහමඩ් ඔහුගේ ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි. මීට අමතරව ජාතික මට්ටමේ වෘත්තීය සමිති වර්ජන දියත්වූ හැම අවස්ථාවකම මඩකලපුව දිස්ත්‍රික්කයේ විවිධ වෘත්තීය සංගම් වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය, ගුරු සංගමය, බැංකු සංගමය සහ මඩකලපුව ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් ඒවාට සහාය දැක්වූහ.

ගෝටාගෝහෝම් විරෝධතාවලට සහය පළ කරමින් පැවැත්වූ මෙම උද්ඝෝෂණවලට සහ මහජන විරෝධතාවලට පසුව මඩකලපුවේ විවිධ සිවිල් සංවිධානවලට අයත් කාන්තා සංවිධාන, මානව හිමිකම් ක්‍රියාකාරීන්, සමාජ ක්‍රියාකාරීන් සහ අන්තර් ආගමික කණ්ඩායම් උද්ගත වෙමින් පැවති තත්ත්වය පිළිබඳව සාකච්ඡා පැවැත්වීම ආරම්භ කළහ. මම සෑම සාකච්ඡාවකටම පර්යේෂකයෙකු ලෙස සහභාගි වීමි. මෙම සාකච්ඡාවල අරමුණ වූයේ ප්‍රදේශයේ ජනතා ප්‍රතිචාර මෙම අලුත් තත්ත්වයට අනුකූලව හැසිරවිය යුතු ආකාරය සහ එය ජාතික සංවර්ධනය සඳහා දායක වීමේ ක්‍රමයක් ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමයි. මෙම සාකච්ඡාවලදී ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් තම අත්දැකීම්ද, කොළඹ පැවැත්වෙන ගෝටාගෝහෝම් ව්‍යාපාරය සම්බන්ධයෙන් මඩකලපු වැසියන්ගේ භූමිකාව කුමක්ද යන්න ද සංවාදයට ලක් විය.

මෙම සාකච්ඡාවලට සහභාගි වූ බොහෝ දෙනෙක් මීට කලින් මඩකලපුවේ වෙසෙන දෙමළ සහ මුස්ලිම් ජනතාව කළ ප්‍රජාතන්ත්‍රවාදී අරගල ගැන කතා කළහ. සාමකාමී පාගමන් සහ කලා කෘති යොදා ගනිමින් කළ එම විවිධ විරෝධතා සහ අරගල ක්‍රම වර්තමාන අර්බුදය හා සම්බන්ධ කෙරිණි. මෙහිදී, ඇතැම්විට ප්‍රජාවන් අතර පවතින ආතතීන් වැනි දෙමළ මුස්ලිම් සබඳතා ගැනත්, එකිනෙකා සමග එකම පළාතක ජීවත් වන මුත් අනෙකාගේ ප්‍රශ්නය දෙස නොබලා නොසලකා හැරි අවස්ථා ගැනත් සාකච්ඡාවට බඳුන් විය. උතුරු නැගෙනහිර ප්‍රදේශවල වාර්ගික සුළුතර ජනකොටස් මත ක්‍රමිකව එල්ල වූ රාජ්‍යයේ පීඩකභාවය පිලිබඳව මෙන්ම කාන්තාවන් ගෘහ මූලිකයන් වූ පවුල්වල සහ පීඩිත ප්‍රජාවන්ගේ ප්‍රශ්න සම්බන්ධව අවධානය යොමු කිරීමේ වැදගත්කම ගැනත් ඔවුන්ට මෙම ආර්ථික අර්බුද සමය බලපාන අන්දම ගැනත් සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණ. සමස්ථයක් වශයෙන් ගත් කල, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් සඳහා, මෙම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රතිචාරය තුළ ප්‍රාදේශීය වශයෙන් පවතින ප්‍රශ්න වැඩියෙන් ඉස්මතු කිරීමේ වැදගත්කම මෙම සාකච්ඡාවලට සහභාගි වූ බොහෝ දෙනෙකු විසින් අවධාරණය කරන ලද්දකි.

මඩකලපුවේ යුක්තිය ඉල්ලීමේ පා ගමන


මැයි 9 වැනිදා ආණ්ඩුවට සම්බන්ධ කලහකාරී කල්ලියක් ගෝල්ෆේස්හි ගෝටාගෝගමට පහර දී දිවයින පුරා ප්‍රචණ්ඩත්වය ඇවිල යාමෙන් පසු මැයි 12 වැනිදා මඩකලපු ජනතාව යුක්තිය ඉල්ලීමේ පා ගමන ආරම්භ කළහ. එය (මෙම ලිපිය ලියවෙන) සැප්තැම්බරය අග වන විටත් පැවැත්වෙමින් තිබේ. මගේ රචනාවෙහි මූලික අවධානය යොමුවන්නේ මඩකලපුවේ මෙම යුක්තිය ඉල්ලීමේ පා ගමන හෙවත් Batticaloa Justice walk වෙතය. ඒ, එම පා ගමන තුළින් මඩකලපුවේ විවිධ ජනතා හඬවල් නිරාවරණය වන අතර ම එයින් ගෝටාගෝහෝම් විරෝධතාව සම්බන්ධව මඩකලපුවෙහි දෘෂ්ටිකෝණය පිලිබඳ අදහසක්ද එකතු කරන නිසාය. ආර්ථික අර්බුද සමයේදී මඩකලපුවේ පැවති ඉහතින් විස්තර කරන ලද අනෙකුත් විරෝධතාවලින් මෙය වෙනස් වන්නේ එය කිසිම දේශපාලන පක්ෂ නැඹුරුතාවක් හෝ කිසියම් සංවිධානයකට අනුබද්ධව සංවිධානය කෙරුණක් නොවන නිසාය. පුද්ගලිකව මෙයට සහභාගි වූවෝ කිසිදු දේශපාලන පක්ෂයක්, සංවිධානයක් හෝ කණ්ඩායමක් නියෝජනය නොකළහ. අනෙක් කාරණය වන්නේ මෙය ගෝටාගෝහෝම් විරෝධතා අනුකරණය නොකිරීමය. ඒ වෙනුවට යුද්ධයෙන් පෙර හා පසු කාලය තිස්සේම මඩකලපුවේ විවිධ සමාජ ක්‍රියාකාරීන්, කාන්තා සංවිධාන, සහ පුද්ගලයන් විසින් ක්‍රියාත්මක කරන ලද ආකාරයට ප්‍රාදේශීයව අත්විඳින ගැටළු ඉස්මතු කරන විරෝධතාවන් හරහා රටේ සිදුවන ප්‍රජාතන්ත්‍රීය වෙනසකට සහයෝගය දැක්වීම ඔවුන්ගේ අරමුණ විය.

යුක්තිය ඉල්ලීමේ පා ගමන නොවෙනස්ව එකම ආකාරයට පැවතීම, එහි විශේෂ හැඩය, එය පැවැත්වූ වාතාවරණය, සහභාගීවූවන් සහ ඔවුන්ගේ ඉල්ලීම් ගැඹුරින් විශ්ලේෂණය කර බලන විට ගෝටාගෝහෝම් විරෝධතා සම්බන්ධයෙන් අපගේ දැක්ම මඩකලපුව ගැන කෝණයක සිට මඩකලපුව වෙතින් ලැබෙන කෝණයක් දක්වා රැගෙන යා හැකිය. මේ ආකාරයට අපගේ දැක්ම වෙනස් ආකාරයකට සලකා බලනු ලබන්නේත්, මඩකලපු යුක්තිය ඉල්ලීමේ පා ගමන සුවිශේෂ වන ආකාරය අවධාරණය කරනු ලබන්නෙත් කිසිසේත් අනෙකුත් විරෝධතා මාදිලීන් අවතක්සේරු කිරීමට නොවේ. ඒ වෙනුවට විවිධ ඉතිහාසයන් සහ විවිධ අත්දැකීම් පාදක කරගෙන පන්නරය ලැබූ ජනතා ප්‍රතිරෝධයන්හි විවිධත්වය- වැඩිපුර දකින්නට නැති, වැඩි හඬක් නෑසෙන සහ ප්‍රාදේශීය මූලයන් සහිත විරෝධතා ක්‍රම ඇතුළත්ව- එහි ගතිකයන් සහ විටෙක ගෝටාගෝහෝම් ව්‍යාපාරය සම්බන්ධව මිශ්‍ර හැඟීම් සහ අදහස් ඇතිවීම ආදිය හඳුනාගැනීම මෙම රචනාවෙහි අරමුණ වෙයි.

ජස්ටිස් වෝක් හෙවත් මඩකලපු යුක්තිය ඉල්ලීමේ පා ගමන මඩකලපුවේ විශේෂ ස්ථාන දෙකක් සම්බන්ධ කරමින් පැවැත්විණ. එය ඇරඹුණේ කල්ලඩි පාලම දිවෙන මඩකලපු කලපුවට එහි නැගෙනහිර කොටස මුහුණලා පිහිටි ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයෙනි. එය නිම වන්නේ මඩකලපුව නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කනුව අසල පිහිටි ගාන්ධි උද්‍යානයෙනි. මේ ස්ථාන දෙක සම්බන්ධ වන්නේ මඩකලපුවේ ප්‍රධාන මාර්ගය වූ මඩකලපු-කල්මුනෛ මාර්ගයෙනි. මේ ස්ථාන දෙක අතර දුර කිලෝ මීටර 1.5කි. මේ මාර්ගයේ යන විට රජයේ රෝහල, අර්සඩි ඔරලෝසු කනුව, මඩකලපු පොලිස් ස්ථානය පසුකරමින් පැයක පමණ පාගමනකින් පසුව ගාන්ධි උද්‍යානයට ළඟා විය හැකිය. මෙහි ඇති ගාන්ධි ප්‍රතිමාව බොහෝ මහජන රැස්වීම් සහ විරෝධතා පැවැත්වෙන ප්‍රකට ස්ථානයකි. එය මඩකලපුවේ නිලනොලත් විරෝධතා මධ්‍යස්ථානය ලෙස සැලකේ.

පා ගමනට සහභාගී වීමට කැමැත්තෝ හැම දිනයකම පෙරවරු 8.45 සහ 9.15 අතර කාලයේ ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයට පැමිණෙති. පාගමන ඇරඹෙන්නේ පෙරවරු 9.15ටයි. සහභාගි වන්නෝ මේ ගමන අතරතුර කතාබහ නොකරති. පා ගමන ඇරඹීම සහ අවසන් වීම සිදු වන්නේ එක්තරා භාවනාවකිනි. කෙසේවෙතත් පාගමන අතරතුරදී ඇති නිහඬතාව පරයමින් මඩකලපුව කල්මුනෛ මහාමාර්ගය සහ ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයට නැගෙනහිර දෙසින් වූ ලේඩි මැනිං ඩ්‍රයිව් යන ඉතා කලබලකාරී මාර්ග දෙකින් නැගෙන ඝෝෂාව ඇසෙයි. එසේ වුවත් ඉන්ධන හිඟය නිසා සමහර විටෙක වීදි සම්පූර්ණයෙන්ම වාගේ වාහනවලින් තොර වෙයි. එවිට අවකාශය වසා ගන්නේ කලපුවෙන් නැගෙන ශාන්ත වූ දිය රැළි නැගෙන හඬයි. මගේ අත්දැකීමට අනුව සිත එකඟ කර ගැනීම සඳහා භාවනාවක යෙදීමෙන් විරෝධතාකරුවන්ට එදා දවස සඳහා මානසිකව මෙන් ම කායිකවද සූදානම් විය හැකිය. පාගමන ඇරඹීමට පෙර කිසිවකු වැඩිපුර කතා නොකරති. ඔවුන් එකිනෙකා සමග සම්බන්ධ වන්නේ මදහස පෑමෙන් හෝ නිහඬ ආචාර සමාචාරවලින් පමණි. භාවනාව අවසන් වී පාගමන ඇරඹීමට පෙර එක් විරෝධතාකරුවෙක් අලුතෙන් ඊට සම්බන්ධවන්නන් දැනුවත් කිරීම සඳහා විරෝධතාවේ අරමුණ සහ එය පැවැත්වෙන ආකාරය පිළිබඳ කෙටි කතාවක් පවත්වයි. මෙම කාලය මෝසම් වැසිවලින් තොර වූ කාලය වූ බැවින් උදෑසන හිරු එළිය පවා තරමක් දැඩිය. එහෙත් කලපුව දෙසින් හමන සුළඟෙන් අව් රශ්මියෙහි පීඩාව යම් තරමකින් මැඩපැවැත්වෙයි.

මෙම විරෝධතා පා ගමනට සහභාගී වූ ජනතාව විවිධත්වයෙන් යුතු ඉල්ලීම් රැගෙන ආවෝය. ඔවුන්ගේ හැඟීම්, අදහස් සහ අභිලාෂයන් නියෝජනය කළ ආර්ථික දුෂ්කරතාවල සිට වඩා පුළුල් ව්‍යුහාත්මක ප්‍රශ්න වන බෙහෙවින් දිගු කාලයක් තිස්සේ පවතින ත්‍රස්තවාදය වැළක්වීමේ පනත, යුද්ධයේදී මිය ගිය අය සැමරීම, උතුරු නැගෙනහිර වැසියන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීම වැනි පරාසය දක්වා විහිදී තිබුණි. සමහර අය නිවෙස්වල සිට විරෝධතා පුවරු ලියාගෙන පැමිණි අතර ඇතමුන් ශාන්ත සෙබෙස්තියන් පල්ලියට පැමිණ ඒවා පිළියෙල කළහ. විරෝධතා පුවරුවලින් යුක්තිය, සාමය, ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රාදේශීය දැනුම, ආර්ථික දුෂ්කර සමයේ බලපෑම් සහ රටේ ව්‍යුහාත්මක ප්‍රශ්නවල පිළිඹිබුවක් දකින්නට ලැබිණ. සමහර ඉල්ලීම් ගෝටාගෝගම සටන් පාඨවලට සමානකම් දැක්වීය. ගෝටාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බල කිරීමද ඒ අතර තිබුණු මුත් එය තවත් ඉල්ලීම් රාශියක් අතර තිබුණු එක් ඉල්ලීමක් පමණි. පහත දැක්වෙන්නේ මා සටහන් කර ගත් සටන්පාඨ කිහිපයක් වන අතර ඒවායින් මඩකලපු විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්, අභිලාෂයන් සහ බලාපොරොත්තුවල පුළුල් පරාසය නියෝජනය වෙයි.

‘විධායක ජනපති ධුරය අහෝසි කරනු’ ‘සාමය සඳහා පාගමනට එක් වීම’ ‘මැයි 18 සිහිකිරීම’ ‘දූෂණයෙන් තොර සමාජයක් වෙනුවෙන් වූ අපේක්ෂාව’ ‘අපේ ප්‍රාදේශීය සම්පත් සොරා නොගනු’ ‘බලය’, අධිපතිවාදය සහ පීඩකභාවයට එරෙහිව එක්සත් වීම’ ‘ජනතාවගේ ව්‍යස්ථාවක් ඕනෑ’ ‘ අනාගත පරපුරේ ජීවය ආරක්ෂා කරන ව්‍යස්ථාවක් ඕනෑ’ வன்முறை வீட்டிலும் வேண்டாம், நாட்டிலும் வேண்டாம் (පවුල තුළ සහ රට තුළ හිංසනය අපට අවශ්‍ය නැත) நான் நானாக இந்த நாட்டில் வாழ வேண்டும் (මට මගේ අනන්‍යතාවයෙන් ජීවත්වීමට අවශ්‍යයි) ‘ ක්‍රම වෙනස’ ‘රටේ හැම දෙනාගේම අයිතීන් සුරකිමු’ ‘உயிர் வாழும் உரிமை (ජීවත්වීමේ අයිතිය) ‘ අපේ අයිතීන් අපට නැවත ඕනෑ’ ‘දූෂණය එපා’ ‘අපේ පළාතේ සම්පත් සුරකිනු’ ‘අපේ මුදල් අපට ලබා දෙනු’ ‘දැනුම සහ සද්චර්යාව ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් ඕනෑ’ உணவும் இல்லை, உறவும் இல்லை (කෑමත් නෑ නෑයොත් නෑ) ( අතුරුදන් කළ ඥාතීන් සම්බන්ධ පාඨයකි) ‘ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත එපා’ ‘වගඋත්තර බඳින ආණ්ඩුවක් ඕනෑ’ ‘ආණ්ඩුවට තමන්ගේ නිසි කාර්යභාරය කිරීමට බලකරමින් මම පාගමනට එක් වෙමි’ ‘මේ අර්බුදයට වගඋත්තර බැඳිය යුත්තේ ආණ්ඩුවයි’ ‘බියෙන් තොරව අදහස් ප්‍රකාශ කිරීමට අපට අවකාශයක් ඕනෑ’ நீதி, பொறுப்புக்கூறல், நிலையான எதிர்காலம் (යුක්තිය, වගඋත්තරදායකත්වය සහ ධරණීය අනාගතය) ‘මේ බර ඉදිරි පරම්පරාවට දරා ගන්නට සිදු නොවන මාවතක් සාදන්න’ ‘ උතුරු නැගෙනහිර මිලිටරිකරණය සහ බලහත්කාරයෙන් ඉඩම් අල්ලාගෙන සිටීම නවත්වන්න’ ‘பெண்களையும், இயற்கையையும், சக மனிதனையும் வன்முறைக்கு உட்படுத்தாத வாழ்விற்க்கான நியாயப்பயணம்’ (‘කාන්තාවන්, පරිසරය සහ සෙසු මානවයන්ට හානිකර නොවන ජීවන විලාසයක් සදහා වූ යුක්තිය ඉල්ලීමේ පා ගමන’).

මෙම සටන් පාඨ ලියා තිබුණේ දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලිනි. සටන්පාඨ ගණනාවක් පොදු ක්‍රියාපදයක් යටතේ උක්තයක් නැතිව ලියා තිබුණි. උදාහරණයක් ලෙස ‘මම පාගමනට එක්වෙමි’ යන්න නැතිව ‘සාමය සඳහා පාගමනට එක් වීම’ ලෙස යෙදීම. මම හෝ අපි සිහි කරමි හෝ කරමු යන්න නැතිව ‘සිහි කිරීම’ ලෙස යෙදීම. මගේ අත්දැකීම අනුව මේ ආකාරයට පුද්ගලාරෝපණය රහිත ඉල්ලීම් සහ අභිලාෂවලින් හැඟවෙන්නේ එය, ප්‍රචණ්ඩ ඉතිහාසයන් සහ විරෝධතා මැඩපැවැත්වීම පිළිබඳ අත්දැකීම් නිසා ඒකපුද්ගල ස්වභාවයෙන් එහාට ගොස් ප්‍රවේශමෙන් (වචන) හසුරවන ක්‍රමයක් බවය.

හැම දිනයකදීම පැවැත්වුණු පාගමන් එකම රටාවක් ගත්තේය. එහෙත් පැවැත්වුණු වාතාවරණය, ශබ්ද, සහභාගිවූවන්ගේ සංඛ්‍යාව, කාලගුණය හේතුවෙන් හැම දවසක්ම එක මෙන් නොවුණි. දෛනික පාගමනට ගත් කාලය එය ඉදිරියෙන් ගිය අය අනුව වෙනස් විය. එහෙත් මඩකලපු ඔරලෝසු කනුව පාගමනට ගත වූ කාලය අපට සිහි කිරීම කිසි විටෙක මග නොහැරියේය. ගාන්ධි උද්‍යානයට ළඟා වන විට සාමාන්‍යයෙන් හැම දිනයකම පාහේ උදෑසන දහයේ කණිසම වැදෙයි. සාමාන්‍යයෙන් කලබලකාරී උදය වරුවල මෙම පාගමන බැංකු, ඉන්ධන පිරවුම්හල්, පොලිස් ස්ථාන, අවන්හල්, සහ කඩසාප්පු ගණනාවක් පසු කර ඇදෙයි. කඩසාප්පු සහ වීදිවල සිටින මිනිසුන්ට මෙම පාගමන නිතිපතා දකින්නක් බවට පත් විය. වරක් විරෝධතාකරුවෙකු මා හා පැවසුවේ පාගමනට සහභාගි වීමට ඇයට නොහැකි වන හැම විටෙකම කඩසාප්පු හිමියන් එය නිරීක්ෂණය කර පසුදාට ඇගෙන් ඒ බව විමසන බවයි. හැම විටෙකම සාප්පු හිමියන් විරෝධතාකරුවන්ට සුහද සිනාවකින් සංග්‍රහ කරමින් කතාබහේ යෙදෙති. ඔවුන් පාගමන සමග ලංකාවේ පුළුල් දේශපාලන චිත්‍රය සම්බන්ධ කරමින් කතා කළ ආකාරය මම නොයෙක් වර නිරීක්ෂණය කළෙමි. සමහර විට ඔවුහු මෙසේ කියති. “ඔයගොල්ලො හැමදාම පාගමනක් යනව. ඒත් රටේ තත්ත්වය නම් එහෙම මයි” තවත් දවසක පාගමන නිරීක්ෂණය කරමින් සිටි කාන්තාවක් මට මෙසේ කීවාය. “ඔයගොල්ල අපි වෙනුවෙන් පාගමන් යනව. ඒත් හුඟක් අය මේකට එන්නෙ නෑ. අන්තිමේදී ඔයාලගේ මහන්සිය නිසා තමයි අපි හැමෝටම හොඳක් වෙන්නෙ” පාගමන අතරතුරදී කාලය එක තැන නැවතී ඇත්තාක් මෙන් අපට දැනිණි.

යුක්තිය ඉල්ලීමේ පා ගමන් සඳහා වූ විශාල කාන්තා සහභාගිත්වය සැලකිය යුත්තකි. මෙය ප්‍රජාතන්ත්‍රීය උත්සාහයන්වලදී මුල් පෙළේ ක්‍රියාකාරීන් ලෙස වැඩ කළ ධෛර්යසම්පන්න කාන්තාවන් සහ කාන්තා සංවිධානවල සමාජ ක්‍රියාකාරී ඉතිහාසය ඔස්සේ ගොඩනැගුණකි. උදාහරණයක් ලෙස මීට සමාන සාම පා ගමන් මඩකලපු දිස්ත්‍රික්කයේ 1995 වසරේදී ඇරඹිණ. එහිදී කාන්තාවන් පිරිසක් ගාන්ධි උද්‍යානය දක්වා පා ගමනකින් ගොස් එහි වාඩි වී යුක්තිය සහ සාමය සඳහා නිහඬ විරෝධතාවක යෙදුණේ දිස්ත්‍රික්කය පුරා ප්‍රචණ්ඩත්වය ඇවිළී, හදිසි නීති සහ ඇදිරි නීති බලපැවැත්වෙද්දීය. (මෞනගුරු, 2016 : 27). 2014 වසරේදී අලුත්ගම සිද්ධියෙන් පසු මුස්ලිම් සහ දෙමළ ජන කොටස් අතර යම් ආතතීන් වර්ධනය වෙද්දී මුස්ලිම් සහ දෙමළ කාන්තාවෝ විවිධ ආගමික ස්ථාන කරා පා ගමනින් යමින් නිර්ප්‍රචණ්ඩත්වය සහ සාමය ඉල්ලා සිටියහ. (එම්මානුවෙල්, 2022). මේ ආකාරයට ම නිර්ප්‍රචණ්ඩත්වය සඳහා වූ සූරියා කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය, මඩකලපු සාම කමිටුව, බලහත්කාර අතුරුදන්වීම්වලට ලක් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් බොහෝ විට දැඩි අවදානමක් දරාගෙන අයුක්තියට විරුද්ධව සාමය පතා දිගින් දිගටම හඬ නැගුවෝය. වර්තමාන මඩකලපු යුක්තිය ඉල්ලීමේ පාගමනේද විශාල වශයෙන් නායකත්වය ගනු ලැබුවේ කාන්තාවන්ය.

මේ විරෝධතාව ආරම්භ වූ විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිතරම පාහේ සිවිල් ඇඳුමින් සැරසී ගාන්ධි උයනට පැමිණ ‘මේ පාගමන සංවිධානය කරන්නේ කවුද?’ ‘මේ විරෝධතාවේ අරමුණ කුමක්ද?’ ‘මෙයට යම් දේශපාලන පක්ෂයක් සම්බන්ධ ද?’ වැනි ප්‍රශ්න නැගුවෝය. කෙසේ වෙතත් බලාපොරොත්තුව වූයේ පොලීසිය හෝ සිවිල් පරිපාලනය සමග ගනුදෙනු කිරීමේදී මේ ආකාරයේ විරෝධතාවලට යම් වාසියක් ලබා ගත හැකි බවය. එක් දිනක් ඉන්ධන පිරවුම්හලක විශාල පිරිසක් රැස්වී සිටි අතර එහිදී පොලිසිය සහ පෝලිම්වල රැඳී සිටි පිරිසක් අතර යම් ගැටුමක් ඇති විය. ඒ වෙලාවේ පා ගමන එම ස්ථානය පසුකරගෙන යමින් තිබිණි. පොලිසීය මද වේලාවකට පිරිස සන්සුන් කර අපට එතනින් ගමන් කරන්නට ඉඩ දුන්නේය. මේ ආකාරයේ විරෝධතා කෙරෙහි පොලිසියද යම් පමණක අස්වැසිල්ලක සිටිනවා විය හැකිය.

යුක්ති ගම්මානය- நியாய கிராமம் Justice Village

පා ගමනේ කොටසක් ලෙස සෑම සෙනසුරාදාම පාගමනේ අවසන් නැවතුම්පල වන ගාන්ධි උද්‍යානයේදී කිසියම් වැඩසටහනක් සංවිධානය කෙරිණි. පාගමනෙන් වෙනස්ව යමින් එය විවිධ දේශන, සාකච්ඡා, රංග කාර්යයන්, ප්‍රදර්ශන, කවි කියවීම, අධ්‍යාපන කාර්යයන් සහ ගී ගායනා පැවැත්විණ. මඩකලපුවේ ගාන්ධි උද්‍යානය පිහිටන්නේ නගරය මැදය. එහෙයින් බොහෝ දෙනා විවේක සුවය විඳීමටත්, සැන්දෑවේ හිරු බැස යන සුන්දරත්වය විඳීමටත් මෙහි පැමිණෙන බැවින් මේ වැඩසටහන් සදහා සෑහෙන ප්‍රේක්ෂක පිරිසක් එක්ව සිටිනු දකින්නට ලැබිණි. ජූනි 4 වැනිදා විරෝධතාකරුවන් පිරිසක් විසින් පැවැත්වූ එලුත්තානි නාට්‍යයෙන් දැක්වුණේ ආර්ථික දුෂ්කරතා සමය ගෙවා ගත හැකි මඩකලපු ආහාර සංස්කෘතිය සතු කුසලතා සහ දැනුමයි. වෙනත් සෙනසුරාදා දිනයක ජනප්‍රිය සම්ප්‍රදායික දමිළ නාට්‍ය ආකෘතියක් වූ ‘කුත්තු’ නාට්‍යය තවත් විරෝධතාකරුවන් පිරිසක් විසින් රඟ දැක්වුණේ වර්තමාන තත්ත්වය පිලිබද වැදගත් තොරතුරු සන්නිවේදනය කරමිනි. චිත්‍ර සහ දෘෂ්‍ය නිර්මාණ ද සෙනසුරාදා හැන්දෑ වරුවල ගාන්ධි උද්‍යානයේ වැදගත් අංගයක් විය. ඒවායින් ස්මරණය කිරීම, සමාජභාවය පදනම්ව සිදුවන හිංසාවන් සහ ප්‍රාදේශීය දැනුමේ වැදගත්කම විදහා දැක්විණ.

නියාය කිරාමම් හෙවත් පාගමනට එක්වූවන් සිය ගමන අවසන් කරන ස්ථානය ලෙස හැඳින්වූ යුක්ති ගම්මානයේ තවත් ඉතා වැදගත් අංගයක් වූයේ ළමයින්ය. ගාන්ධි උද්‍යානයේදී ඔවුහු අරගලය පාදක කරගෙන චිත්‍ර ඇඳීම, ගී ගැයීම සහ නර්තනයේ යෙදුණහ. හැම සෙනසුරාදාම විරෝධතාකරුවෝ කලින් දවස් හතේම දක්නට ලැබුණු සටන් පාඨ එකතු කර යෝධ විරෝධතා පුවරු නිර්මාණය කළහ. මෙම සාමූහික ක්‍රියාකාරකම මිනිසුන් අතර එක්සත්කම ඇති කර, ගත වූ සතිය සමාලෝචනය කිරීමටත්, විරෝධතාව වාර්තා කර තැබීමටත් ඉවහල් විය. විරෝධතාවට සහභාගි නොවූ බොහෝ දෙනා මෙහි පැමිණ මෙම වැඩසටහන් නරඹමින් සමහර විට සංවිධායකයන් සමග සංවාදවල යෙදුණේ වැඩසටහන් ගැනද විමසමිනි. මෙම සංවාද හැම විටම යොමු වුණේ අර්බුදය පිලිබද ඔවුනොවුන්ගේ සුවිශේෂී අත්දැකීම් බෙදාහදා ගැනීමට මෙන්ම හැඟීම් ප්‍රකාශනයට ය. මට නිරීක්ෂණය කිරීමට හැකි වූ කාරණයක් වූයේ මෙහි පැමිණි පිරිස පෞද්ගලිකව පැමිණි මුත් කලාව, සමාජ ක්‍රියාකාරීත්වය සහ සමාජ සේවා වැනි විවිධ ක්ෂේත්‍ර හරහා එකට බැඳුණු අය වූ බවයි. විරෝධතාකරුවෝ උද්‍යානයට පැමිණෙන අනෙක් ජනතාව සමඟද මුසු වීමට කැමැත්තක් දැක්වූහ. උදාහරණයක් ලෙස දිනක් විරෝධතාකරුවන් එහි පැමිණි ජනයා අසලට ගොස් සිතුවමක් ඉදිරිපත් කර ඒ හරහා සංවාදයක් ගොඩනැගීමට සමත් වූහ. මේ ආකාරයට විරෝධතාකරුවෝ සෙසු ජනතාවද අරගලයට එකතු කර ගැනීමට සමත් වූහ.

විරෝධතාකරුවෝ සිය සමාජ මාධ්‍යවල මෙම විරෝධතා අවකාශය ප්‍රජාතන්ත්‍රවාදය, සාමය සහ යුක්තිය අගය කරන අයට විවෘත බව නිතර සටහන් කළහ. විරෝධතාවට සම්බන්ධ වූවන් විවිධ වයස් මට්ටම්වලට, විවිධ ජන වර්ගවලට, විවිධ පන්තිවලට සහ දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලට අයත් අය වූහ. සහභාගිවූ අයෙක් මේ ගැන අදහස් දක්වා සිටියේ මෙසේය. “අපි සාමය සහ යුක්තිය වෙනුවෙන් පා ගමනක යෙදෙන මිතුරන්. මේ පා ගමන නිසා අපට මේ දුෂ්කර සහ ඛේදනීය කාලයේදී එක්තරා සහනයක් දැනෙනවා. අපි මේ ප්‍රශ්නකාරී වාතාවරණයෙන් හෙම්බත් වෙලයි ඉන්නෙ. ඒක නිසා අපි මේ පා ගමනෙ යෙදෙන්නෙ එක්තරා විදිහකට වෙනත් අයට වඩා අපි අපි වෙනුවෙන්මයි”

සමාප්ත නිරීක්ෂණ

මගේ සහභාගිත්ව නිරීක්ෂණයෙන් සහ මඩකලපු දිස්ත්‍රික්යේ ජනතාව සමඟ මා කළ විවෘත සාකච්ඡාවලින් ගෝටාගෝහෝම් ව්‍යාපාරය සහ මඩකලපු දිස්ත්‍රික්කයේ ජනතාව ඊට සම්බන්ධ වූ ආකාරය පිළිබඳ කරුණු කිහිපයක් අවධාරණය කිරීමට කැමැත්තෙමි.

පළමුවැනි කරුණ වන්නේ දිස්ත්‍රික්කයේ වැසියන් ආර්ථික දුෂ්කරතා සහිත අර්බුදයට පමණක් විසඳුම් නොඉල්ලූ බවයි. නිදහසේ ජීවත් වෙමින් රටේ නව පරිච්ජේදයක් ඇරඹීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක සහ ව්‍යස්ථාමය වෙනස්කම් පිළිබඳ බලාපොරොත්තු ගෝටාගෝහෝම් ව්‍යාපාරයෙන් මෙන්ම යුක්තිය ඉල්ලීමේ පා ගමනට සහභාගි වූවන්ගෙන්ද නැගුණි. අතුරුදන්වීම්වලට ලක් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, දිස්ත්‍රික්කයේ සමාජ ක්‍රියාකාරීන් සහ යුක්තිය ඉල්ලීමේ පාගමනට සහභාගි වූ ඇතැම් පිරිස් සමග මා කළ සාකච්ඡාවලදී ආර්ථික අර්බුද සමයක පවා සුළුතර ජන කොටස්වලට විරුද්ධව රාජ්‍ය ක්‍රියාමාර්ග අඛණ්ඩව බලපැවැත්වෙන ආකාරය පිළිබඳව උදාහරණ ගණනාවක් අවධාරණය කරනු ලැබිණ. නාවික හමුදාව මගින් වට්ටුවකාල් ප්‍රදේශයේ ඉඩම් අත්පත් කර ගැනීම සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මුලතිව් දිස්ත්‍රික්කයේ කුරුන්දූර්මලෛ හින්දු දේවාල භූමිය ආශ්‍රිතව කරගෙන යනු ලබන බෞද්ධාගමිකකරණය පිළිබඳ ක්‍රියා මෑත කාලීන උදාහරණ හැටියට එහිදී ඉදිරිපත් කෙරිණි. දිගු කලක් තිස්සේ පැවති සිවිල් යුද්ධය හා මිලිටරිකරණය නිසා දළ ජාතික ආදායම විශාල වශයෙන් අඩු වී ඇත (සත්කුනනාදන්, 2022). එහෙයින් දිගු කල් පවතින වාර්ගික ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන නිසි දර්ශනයකින් තොරව ශ්‍රී ලංකාව යහපත් වෙනසක් කරා ගෙනයාම සඳහා සාමූහිකව උත්සාහ කිරීම අභියෝගයකි ය යන්න මඩකලපුව වෙතින් ලැබෙන සාමූහික අපේක්ෂාව යැයි යම් කෙනෙකුට නිගමනයකට පැමිණිය හැකිය. මඩකලපුවේ ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් ක්‍රියාධරයෙකු මා හා පැවසුවේ “අපි පහුගිය අවුරුදු තිහ තිස්සෙම සිවිල් යුද්ධයෙන් බැට කෑ මිනිස්සු. ඒ නිසා මේ ආර්ථික අර්බුදයකින් අපි මැරෙන්නෙ නෑ. අපට අවශ්‍ය කෑම නෙමෙයි. මේ රටේ ඉන්න අනික් මිනිස්සුන්ට වගේම සමාන අයිතිවාසිකම්”. එහෙත් මීට වෙනස්ව යමින් බොහෝ දෙනා ආර්ථික දුෂ්කරතාවලින් තමන් දැඩි ලෙස පෙළෙන අන්දම ප්‍රකාශ කළ අවස්ථාද මට දැකගන්නට ලැබිණි. මගේ අවබෝධයේ හැටියට මෙය හුදු ආර්ථික ප්‍රශ්නයක් ලෙස දැකීමක් නොව බොහෝ කලක් තිස්සේ උසුලනු ලබන යුක්තියේ ඉතිහාසයන් සහ අත්දැකීම් සමග එන වඩා පුළුල් අවධානයක කොටසකි. එහෙයින් උතුරු නැගෙනහිර බොහෝ ප්‍රදේශවලට බලපාන ආර්ථික දුෂ්කරතා පිළිබඳව සලකා බැලීම වැදගත් වන අතරම ( ශ්‍රීනිවාසන්, 2022; ෆොන්සේකා, 2022) මේ දිස්ත්‍රික්කවල ජනතාව දිගින් දිගටම පීඩා විඳිමින් සිටිනු ලබන මර්දනය සහ පීඩාවත්, හිංසනයත් සමග බද්ධ කරමින් එම ප්‍රශ්නය විමසා බැලීමද එකසේ වැදගත් වෙයි.

දෙවැනි කාරණය වන්නේ ගෝටාගෝම් ව්‍යාපාරයට සහභාගි වීම පිළිබඳ උතුරු නැගෙනහිර ජනතාව ව්‍යාකූල මිශ්‍ර හැඟීම්වලින් පෙලුණු බව සැබෑවක් වුවත් එහි තේරුම ඔවුන් පොදුජන පෙරමුණ ආණ්ඩුව හෝ ගෝඨාභය රාජපක්ෂට පක්ෂ බව නොවේය යන්නයි. මඩකලපුවේ ජනතාව සමඟ මා කළ සාකච්ඡා සහ නිරීක්ෂණවලින් හෙළි වූයේ බොහෝ දෙනාට එම ව්‍යාපාරය ගැන බලාපොරොත්තුවක් හෝ විශ්වාසයක් නැති බවය. අතුරුදන්වීම්වලට ලක් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ මූලික ප්‍රශ්නය වූයේ “ලංකාවේ සුළුතර ජනකොටස්වල ප්‍රශ්න විසඳන්න මේ ව්‍යාපාරයෙන් පසුව කරන්නේ කුමක්ද?” යන්නය. මා සමග සංවාදයේ යෙදුණු බොහෝ දෙනා කියා සිටියේ තමන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලවල දශක ගණනාවක් තිස්සේ යෙදී සිටින නමුත් යුද්ධයෙන් පසු කාලයේදී පවා තම අරගලවලට සිංහල සමාජයෙන් එතරම් සහායක් නොලැබුණු බවයි. අනෙකුත් අය කියා සිටියේ රටේ වාර්ගික ප්‍රශ්න හා සම්බන්ධව සැලකිය යුතු මට්ටමක ඉල්ලීම් ගෝටාගෝහෝම් ව්‍යාපාරය වෙතින් නොඇසෙන බව තමන්ට දැනෙන බවයි. මෙවැනි තත්තවයක් යටතේ මා හා සංවාදයේ යෙදුණු පුද්ගලයන් කියා සිටියේ ඔවුන්ට එවැනි විරෝධතා සඳහා සහභාගි වීම විශාල වශයෙන් සිතා බැලිය යුතු කරුණක් බවයි. මීට අමතරව නිතර නිතර සිදුකෙරෙන පරීක්ෂාවන්, බිය වැද්දීම්, අමානුෂික නීති වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ආදිය මගින් සුළුතර ජන කොටස්වල හඬ මර්දනය කිරීම සහ ඔවුන් තවදුරටත් පීඩිතභාවට ලක්කිරීම සිදුවේ. එහෙයින් ඉතිහාසය පුරා ගොඩ නැගුණු මර්දනය සහ බියෙහි විවිධ ස්වරූපයන් නිසා ඇති වන පසුබට බව පිලිබඳ සාමූහික ප්‍රකාශනයක් ලෙස මෙකී කාරණය සම්බන්ධයෙන් වූ නිහඬ බව කියවිය හැකිය. (Castillejo-Cuellar 2013: 20). එහෙයින් නිහඬ වීම විරෝධතා ක්‍රමයක් ලෙස සහ තම පැවැත්ම සඳහා මිනිසුන් විසින් ගොඩනගා ගත් ක්‍රමයක් බවත් ගෝටාගෝහෝම් ව්‍යාපාරය සඳහා එක්වීමට ඔවුන්ගේ ඇති පසුබට බව සාමූහික අතීතයේදී සිදුවූ අහිමි වීම්, වේදනා සහ බලාපොරොත්තු කඩවීම්වලින් උගත් අවබෝධයෙහි ප්‍රකාශනයක් බවටත් විශ්ලේෂණය කළ හැකිය. එම අතීතය නොසළකා හැරිය නොහැකි අතර යමෙකුට අතීතය සමග ගනුදෙනු කිරීමට සිදු වන්නේ වර්තමානය සමග සහයෝගීතාවය ගොඩනැගීම සඳහාය.

තවරාසා අනුකුවි- මඩකලපුවේ ස්වාධීන පර්යේෂකයෙකු සහ ඡායාරූප මාධ්‍යවේදියකු වන තවරාසා අනුකුවි ඉන්දියාවේ නවදිල්ලි නුවර දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි. ඔහු දැනට ඔස්ට්‍රියාවේ  Central European Universityහි සමාජ විද්‍යා සහ සමාජ මානව විද්‍යාව පිළිබද ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටියි.

පරිවර්තනය- කත්‍යානා අමරසිංහ
(ලිපියෙහි තොරතුරු මූලාශ්‍ර සඳහා මෙහි ඉංග්‍රිසි ලිපිය මුල් වරට පළවූ https://ssalanka.org/economic-crisis-and-resistance-in-batticaloa-eastern-sri-lanka-thavarasa-anukuvi/ https://ssalanka.org/economic-crisis-and-resistance-in-batticaloa-eastern-sri-lanka-thavarasa-anukuvi/ වෙත පිවිසෙන්න)

Share This Article
Leave a comment